Skip to content

පටුනට යන්න

අවංක යාච්ඤාවකට දෙවිගෙන් පිළිතුරු

අවංක යාච්ඤාවකට දෙවිගෙන් පිළිතුරු

අවංක යාච්ඤාවකට දෙවිගෙන් පිළිතුරු

“යෙහෝවා දෙවි නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තමයාණන් බව සියල්ලෝ දැනගනිත්වා!”—ගීතා. 83:18, නව ලොව පරිවර්තනය, NW.

1, 2. බොහෝදෙනෙකුගේ අද්දැකීම වී තිබෙන්නේ කුමක්ද? දැන් අපි සලකා බලන ප්‍රශ්න මොනවාද?

මීට අවුරුදු කිහිපයකට පෙර තම ප්‍රදේශයේ සිදු වූ ව්‍යසනයක් නිසා එක් කතෝලික ස්ත්‍රියක් දැඩි සේ කම්පාවට පත් වුණා. සිතට සහනයක් ලබාගැනීම සඳහා ඇය පල්ලියේ පූජකයා වෙත ගියා. නමුත් ඇය සමඟ වචනයක්වත් කතා කරන්න ඔහු කැමති වුණේ නැහැ. අවසානයේදී ඇය දෙවිට මෙසේ යාච්ඤා කළා. ‘ඔබ කවුද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. නමුත් ඔබ සිටින බව මම දන්නවා. අනේ මට ඔබ ගැන දැනගන්න උදව් කරන්න.’ ඊට පිළිතුරු වශයෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ඇයට හමු වූ අතර ඇය සෙවූ සහනය මෙන්ම දෙවි පිළිබඳ නිවැරදි අවබෝධයත් ලබන්න හැකි වුණා. විශේෂයෙන්ම දෙවිගේ නම යෙහෝවා බව දැනගැනීමෙන් ඇය පුදුමයට පත් වුණා! “මේ දෙවිව තමයි මම කුඩා කාලේ ඉඳලා හෙව්වේ” කියා ඇය පැවසුවා.

2 ඒ හා සමාන අද්දැකීම් බොහෝදෙනෙකුට තිබෙනවා. ඔවුන් පළමු වතාවට දෙවිට නමක් තිබෙන බව දැනගෙන තිබෙන්නේ ගීතාවලිය 83:18 (පරණ අනුවාදය, ගීතාවලිය 83:17) කියවීමෙන් පසුවයි. එය නව ලොව පරිවර්තනයෙහි කියවීමට තිබෙන්නේ මෙසේයි. “යෙහෝවා දෙවි නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තමයාණන් බව සියල්ලෝ දැනගනිත්වා!” මෙම 83වන ගීතිකාව රචනා කළ හේතුව ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? මෙම ගීතිකාවේ සඳහන් ලෙස එකම සැබෑ දෙවි, යෙහෝවා පමණක් බව පිළිගැනීමට සියලුදෙනාටම සිදු වන්නේ කුමන අවස්ථාවේදීද? එමෙන්ම ඉන් අපට ගත හැකි පාඩම කුමක්ද? මේ ප්‍රශ්න දැන් අපි සලකා බලමු. *

දෙවිගේ සෙනඟට විරුද්ධව කුමන්ත්‍රණයක්

3, 4. අසූ තුන්වන ගීතිකාව රචනා කළේ කවුද? එමෙන්ම අවට ජාතීන් කුමන්ත්‍රණය කළේ කුමක් කිරීමටද?

3 අසූතුන්වන ගීතිකාව “ආසාෆ් රචනා කළ” බව ඊට දී ඇති ශීර්ෂ පාඨයෙහි [NW] සඳහන්. ඔහු, දාවිත් රජගේ කාලයේ සිටි ප්‍රවීණ සංගීතඥයෙක්. පෙනෙන විදිහට ඔහු ලෙවී ගෝත්‍රයට අයත් ආසාෆ්ගෙන් පැවත එන්නෙක්. මෙම ගීතිකාවෙන් ඔහු දෙවිගෙන් අයැද සිටියේ සියල්ල පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය තහවුරු කරන්න හා ඔහුගේ නාමය සියල්ලන්ට දැනගන්න සලස්වන්න කියායි. ඔහු එම ගීතිකාව රචනා කළේ කුමන කාලයේදීද? සලමොන්ගේ මරණයෙන් යම් කලකට පසුව විය යුතුයි. එසේ පැවසීමට හේතුව කුමක්ද? එම ගීතිකාවේ, ඊශ්‍රායෙල්වරුන්ට සතුරුකම් කළ තීර් ඇතුළු ජාතීන් දහයක් ගැන ඔහු සඳහන් කරනවා. නමුත් දාවිත් හා සලමොන්ගේ පාලන කාලවලදී තීර් වැසියන් ඊශ්‍රායෙල්වරුන්ට සතුරුකම් කළේ නැහැ. ඒ අනුව බලද්දී ඔහු මෙය රචනා කළේ සලමොන් රජගේ මරණයෙන් යම් කලකට පසුව විය යුතුයි. ඒ වන විට එනම් එම ගීතිකාව රචනා කළ කාලයේදී තීර් වැසියන් ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන් සමඟ එක් වී ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න පටන්ගෙන තිබුණා.

4 තම ජාතිය විනාශ කිරීමට කුමන්ත්‍රණය කළ අවට ජාතීන් දහය ඔහු නම් වශයෙන් සඳහන් කරන්නේ මෙසේයි. “ඔවුහු නම් ඒදොම්වරුද ඉෂ්මායෙල්වරුද මෝවබ්වරුද හග්රියවරුද ගෙබල්වරුද අම්මොන්වරුද අමලෙක්වරුද ෆිලිස්තිවරුද තීර්හි වැසියෝද යන ජාතීන්ය. ඇසිරියානුවරුද ඔවුන්ට එක් වී සිටිති.” (ගීතා. 83:6-8NW) ඔවුන් තම ජාතියට සතුරුකම් කළා කියා ඔහු සඳහන් කරන්නේ කුමන සිදුවීම් නිසා විය හැකිද? යෙහෝෂපාට් රජට විරුද්ධව අම්මොන්, මෝවබ් හා සෙයිර් කඳුකරයේ වැසියන් යුද්ධ කළ අවස්ථාව ගැන කියා සමහරුන් කියනවා. (2 ලේක. 20:1-26) තවත් සමහරුන් කියන්නේ ඊට හේතු වුණේ අවට ජාතීන්ගෙන් විටින් විට පැමිණි සතුරුකම් කියායි.

5. අසූ තුන්වන ගීතිකාවෙන් ක්‍රිස්තියානීන්ට ගත හැකි ප්‍රයෝජනය කුමක්ද?

5 එම ගීතිකාවට පදනම් වූ සිද්ධිය කුමක් වුණත් එය ලිවීමට දෙවි තම බලයෙන් ගීතිකාකරුව පෙලඹෙව්වේ තම සෙනඟ යම් අනතුරකට මුහුණ පා සිටි අවස්ථාවකදීයි. එලෙසම මෑත ඉතිහාසය පුරාද දෙවිගේ සතුරන් ඔහුගේ සේවකයන්ට නොනවත්වා ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහි අරමුණ වී ඇත්තේ ඔවුන්ව සහමුලින්ම විනාශ කිරීමයි. මාගොග් දේශයේ ගොග් වන සාතන් හා ඔහුගේ පිරිස දෙවිට පූර්ණ භක්තිය පිරිනමන සේවකයන්ට විරුද්ධව ඉතා ළඟදීම සිය අවසන් සටන දියත් කරයි. ඊට සාර්ථකව මුහුණ දීම සඳහා අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට 83වන ගීතිකාවේ ඇති වටිනා තොරතුරු උපකාරවත් වෙනවා.—එසකියෙල් 38:2, 8, 9, 16 කියවන්න.

ඔහු වැඩියෙන්ම සැලකිලිමත් වූ දෙය

6, 7. (අ) අසූ තුන්වන ගීතිකාවේ ආරම්භක වදන් මොනවාද? (ආ) ගීතිකාකරු වැඩියෙන්ම සැලකිලිමත් වුණේ කුමක් ගැනද?

6 ගීතිකාකරු තම හැඟීම් දෙවිට යාච්ඤාවෙන් හෙළි කරන්නේ මෙසේයි. “අනේ දෙවියනි, නිශ්ශබ්දව නොසිටින්න. අනේ බලවත් තැනැත්තාණෙනි, පිළිතුරු නොදී නිහඬව නොසිටින්න. මන්ද ඔබේ සතුරෝ කෝලාහල කරති. දැඩි ලෙස ඔබට වෛර කරන අය හිස ඔසවති. ඔබේ සෙනඟට විරුද්ධව ඔවුහු කූට ලෙස කුමන්ත්‍රණය කරති. ඔවුහු එකම ඉලක්කයක් ඇතිව අදහස් හුවමාරු කළෝය. ඔවුහු එම ගිවිසුම ඇති කරගත්තේ ඔබට විරුද්ධවය.”—ගීතා. 83:1-3, 5NW.

7 ගීතිකාකරු වැඩියෙන්ම සැලකිලිමත් වුණේ කුමක් ගැනද? ඔහුගේත් පවුලේ අයගේත් ආරක්ෂාව ගැන ඔහු උනන්දු වූ බවට කිසිම සැකයක් නැහැ. නමුත් ඔහු වඩාත් සැලකිලිමත් වුණේ දෙවිගේ නාමයට සතුරන් ගෙනෙමින් තිබූ අපහාසය හා එම නාමය දැරු සෙනඟට එල්ල වී තිබූ තර්ජනය ගැනයි. අපත් මේ අවසාන කාලයේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට ගීතිකාකරුට තිබූ ආකල්පයම ඇතුව සිටිමු.—මතෙව් 6:9, 10 කියවන්න.

8. සතුරන් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කළ කුමන්ත්‍රණයේ අරමුණ කුමක්ද?

8 ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන් කුමන්ත්‍රණය කරන ආකාරය ඔහු මෙසේ ගෙන හැර දක්වනවා. “අපි ඒ ජාතියම නැත්තටම නැති කර දමමු. එවිට ඊශ්‍රායෙල් යන නාමය කිසිවෙකුගේ මතකයටවත් නොඑනු ඇත.” (ගීතා. 83:4NW) ඔවුන්ට දෙවිගේ සෙනඟ සමඟ තිබුණේ මොන තරම් වෛරයක්ද! දෙවිගේ සෙනඟව විනාශ කරනවාට අමතරව ඔවුන්ට තව අරමුණක් තිබුණා. ඒ ගැන ඔවුන් පැවසුවේ “අපි දෙවිගේ ශුද්ධ වාසස්ථානය අත් කරගනිමු” කියායි. (ගීතා. 83:12NW) ඔවුන්ට ඊශ්‍රායෙල්වරුන්ගේ දේශයත් අල්ලාගැනීමට ඕනෑකමක් තිබූ බව ඉන් පැහැදිලියි. අද දින “දෙවිගේ ශුද්ධ වාසස්ථානය” හා ඔහුගේ ජනයාගෙන් නියෝජනය වන්නේ කුමක්ද? ඊට පිළිතුරු දැනගැනීමට පෙර පුරාණයේදී ‘දෙවිගේ ශුද්ධ වාසස්ථානයෙන්’ අදහස් කළේ කුමක්ද කියා දැන් සලකා බලමු.

“ඔබේ ශුද්ධ වාසස්ථානය”

9, 10. (අ) එදා දෙවිගේ ශුද්ධ වාසස්ථානය වුණේ කුමක්ද? (ආ) අද දින අභිෂේක ලත් අය හා “වෙනත් බැටළුවන්” භුක්ති විඳින තත්වය කුමක්ද?

9 එදා දෙවිගේ ශුද්ධ වාසස්ථානය වුණේ පොරොන්දු දේශයයි. ඒ බව ඊශ්‍රායල්වරුන්, ඊජිප්තුවරුන්ගෙන් ගැලවීම ලැබූ අවස්ථාවේ ගැයූ මෙම ගීතිකාවෙන් පැහැදිලියි. “ඔබ මුදාගත් ඔබේ සෙනඟට මඟ පෙන්වමින් ඔවුන්ට කරුණාව පෙන්නුවේය. ඔබ ශක්තිය පෙන්වමින් ඔබේ ශුද්ධ වාසස්ථානයට ඔවුන්ව ගෙන යන්නේය.” (නික්. 15:13NW) පසු කාලයේදී එම ශුද්ධ වාසස්ථානයේ දේවමාලිගාවක් ගොඩ නැගූ අතර එහි සේවය සඳහා දෙවි පූජක පිරිසක්ද පත් කළා. දෙවිගේ සිංහාසනය මත හිඳගත් දාවිත්ගෙන් පැවත එන රජවරුන් එහි රජ කළ අතර යෙරුසලම එහි ප්‍රධාන නගරයක් බවට පත් වුණා. (1 ලේක. 29:23) යේසුස්ද “මහ රජුගේ නුවර” ලෙස යෙරුසලම හැඳින්වූයේ ඒ නිසයි.—මතෙ. 5:35.

10 පොරොන්දු දේශයට ගිය ඊශ්‍රායෙල්වරුන්ව පසුව දෙවි ප්‍රතික්ෂේප කළා. ඊට හේතුව ඔවුන් දෙවිගේ නාමය දරන සෙනඟක් ලෙස කටයුතු නොකළ නිසයි. (යෙසා. 43:10) පසුව දෙවි තම නාමය දැරීමට “දෙවිගේ ඊශ්‍රායෙල්” නමැති අලුත් ජාතියක් ක්‍රිස්තු වර්ෂ 33දී බිහි කළා. (ගලා. 6:16) මේ ජාතිය සැකසෙන්නේ යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ගෙනුයි. (1 පේතෘ. 2:9) දෙවි පුරාණ ඊශ්‍රායෙල්වරුන්ට දුන් පොරොන්දුවම මොවුන්ටත් දුන්නා. “මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.” (2 කොරි. 6:16; ලෙවී. 26:12) ඒ අනුව වර්ෂ 1919දී “දෙවිගේ ඊශ්‍රායෙල්” හෙවත් අභිෂේක ලත් ඉතිරි අය දෙවි සමඟ විශේෂ සබඳතාවක් භුක්ති විඳි අතර ඔවුන් යම් සංකේතවත් “දේශයක්” උරුම කරගත්තා. (යෙසා. 66:8) එනම් දෙවිට විශේෂ ආකාරයකින් සේවය කරන්න ඔවුන්ට අවස්ථාව උදා වුණා. ඔවුන් භුක්ති විඳි එම තත්වය පාරාදීසයක් හා සමානයි. වර්ෂ 1930 ගණන්වල සිට මිලියන ගණනක් “වෙනත් බැටළුවන්ද” ඔවුන්ට එක් වෙමින් සිටිනවා. (යොහ. 10:16) අද දින සැබෑ ක්‍රිස්තියානීන් භුක්ති විඳින ප්‍රීතිය හා දෙවිගේ ආරක්ෂාව ඇතුළු බහුල ආශීර්වාදවලින් මනාව ඔප්පු වන්නේ සාර්ථක පාලනයක් කිරීමට දෙවිට හැකි බව හා සියල්ල පාලනය කිරීමට ඔහුට සම්පූර්ණ අයිතියක් තිබෙන බවයි. (ගීතාවලිය 91:1, 2 කියවන්න.) එය සාතන්ට මොන තරම් නින්දාවක්ද!

11. දෙවිගේ සතුරන්ගේ ප්‍රධාන අරමුණ කුමක්ද?

11 මෙම අවසාන කාලයේදී අභිෂේක ලත් ඉතිරි අයට හා වෙනත් බැටළුවන්ට පීඩා කරන්න සාතන් තම පැත්තේ සිටින අයව පොලඹවා තිබෙනවා. නාට්සි පාලනය පැවති බටහිර යුරෝපයේ හා කොමියුනිස්ට් පාලනයක් පැවති සෝවියට් දේශයේ සිදු වූ සිද්ධීන්වලින් එය පැහැදිලියි. ඒ වගේම වෙනත් බොහෝ රටවලද ඒ හා සමාන දේවල් සිදු වී තිබෙනවා. ඉදිරියේදීද මාගොග් දේශයේ ගොග් අවසන් ප්‍රහාරය එල්ල කරන විටද එවැනි තත්වයක් හටගැනීමට නියමිතයි. එම ප්‍රහාරයේදී ඔවුන් දෙවිගේ සෙනඟට අයිති දේපළ හා ඔවුන් සතු වෙනත් දේවල් බලෙන් අයිති කරගැනීමට උත්සාහ කළ හැකියි. කෙසේනමුත් සාතන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ දෙවිගේ සෙනඟව මේ පොළොවෙන් තුරුන් කිරීමෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යන නාමය සම්පූර්ණයෙන්ම අමතක වීමට සැලැස්වීමයි. ඊට යෙහෝවා දෙවි ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ගීතිකාකරු සඳහන් කර ඇති දෙයින් ඊට පිළිතුරු සොයා ගත හැකියි.

දෙවි ලබා දුන් ජයග්‍රහණයන්

12-14. ගීතිකාකරු සඳහන් කරන්නේ මෙගිද්දෝ නගරය අසල දෙවි ලබා දුන් කුමන ජයග්‍රහණ දෙක ගැනද?

12 සතුරු ජාතීන්ගේ කුමන්ත්‍රණයන් අසාර්ථක කිරීමට දෙවිට හැකි බව ගීතිකාකරු විශ්වාස කළා. දෙවි තම සෙනඟට ලබා දුන් ජයග්‍රහණ දෙකක් ගැන ඔහු සඳහන් කරනවා. ඒවා සිදු වුණේ පුරාණ මෙගිද්දෝ සමභූමියේ පිහිටා තිබූ මෙගිද්දෝ නගරය ආසන්නයේයි. කීෂොන් ඔය ගලා බසින්නේද මෙම සමභූමිය හරහායි. පායන කාලයේදී ඔය සිඳී යන අතර වැසි කාලයේදී මෙය උතුරා පිටාර ගලන නිසා අවට සමභූමියද ජලයෙන් යට වෙනවා. එම ඔය “මෙගිද්දෝ ජල ධාරා” කියා බයිබලයේ හඳුන්වන්නේ ඒ නිසා විය හැකියි.—විනි. 4:13; 5:19NW.

13 ගීතිකාකරු සඳහන් කරන, දෙවි ලබා දුන් එම ජයග්‍රහණ අතරින් පළමු එක ගැන දැන් සලකා බලමු. මෙගිද්දෝ සිට කිලෝමීටර් 15ක් ඈතින් මෝරේ කන්ද පිහිටා තිබෙනවා. විනිශ්චයකාර ගිඩියොන්ට විරුද්ධව මිදියන්වරු, අමලෙක්වරු හා නැගෙනහිර ප්‍රදේශවල වැසියන් එක්ව යුද්ධයට රැස් වුණේ මෙම ස්ථානයේයි. (විනි. 7:1, 12) අවසානයේදී ගිඩියොන් ප්‍රමුඛ 300ක් තරම් කුඩා හමුදාවක් දෙවිගේ උපකාරය ඇතුව එම විශාල සතුරු හමුදාව පරාජය කළා. ඒ කොහොමද? දෙවි දුන් මඟ පෙන්වීම්වලට අනුව ක්‍රියා කිරීමෙනුයි. එනම් ගිඩියොන් හා ඔහුගේ හමුදාව ගිනි පන්දම් සැඟවූ විශාල මැටි භාජන අතැතිව රාත්‍රියේදී සතුරු කඳවුර වට කළා. පසුව ගිඩියොන් සංඥාවක් දුන් වහාම ඔවුන් එම මැටි භාජන බිඳ දමා ගිනි පන්දම් අතට ගත්තා. ඒ සමඟම ඔවුන් ළඟ තිබූ හොරණෑ පිඹ ශබ්ද නඟා මෙසේ කෑගැසුවා. “යෙහෝවා දෙවිට හා ගිඩියොන්ට ජය නියතයි.” ඉන් කැලඹීමට පත් සතුරන්, ඔවුන් එකිනෙකාව මරාගන්න පටන් ගත්තා. ඉන් ගැලවුණු සමහරුන් යොර්දාන් ගඟෙන් එගොඩට පලා ගියා. එවිට ගිඩියොන් සමඟ ගිය අයට අමතරව වෙනත් ඊශ්‍රායෙල්වරුන්ද සතුරන් පසුපස හඹා ගොස් ඔවුන්ට පහර දුන්නා. එම සටනින් සතුරන් 1,20,000ක් මිය ගියා.—විනි. 7:19-25, NW; 8:10.

14 දැන් අපි මෝරේ කන්දේ සිට කිලෝමීටර් හයක් ඈතින් පිහිටා තිබෙන තාබෝර් කන්ද අසලදී දෙවි ලබා දුන් දෙවෙනි ජයග්‍රහණය ගැන සලකා බලමු. විනිශ්චකාර බාරාක් හා සෙබළු 10,000කින් සමන්විත ඔහුගේ හමුදාව තාබෝර් කන්දේ රැස්ව සිටියා. ඒ හාශෝර්හි රජවූ කනානීය යාබින්ගේ හමුදාපති වූ සිසේරා යටතේ පැමිණි හමුදාවට විරුද්ධව සටන් කිරීමටයි. එතරම් සන්නද්ධ නොවූ ඊශ්‍රායෙල් හමුදාව තාබෝර් කන්දට රැස්ව සිටි බව දැන ගත් සිසේරා වහාම ඔවුන්ට විරුද්ධව සමභුමියට පැමිණියා. ඔහු පැමිණියේ යුධ රථ 900ක්ද සමඟයි. එම රථවල රෝදවලට භයානක යකඩ උල් සවි කර තිබුණා. කෙසේනමුත් ඒ අවස්ථාවේදී “යෙහෝවා දෙවි සිසෙරාවද ඔහුගේ සියලු යුධ රථද ඔහුගේ මුළු හමුදාවද වියවුල් තත්වයකට පත්” කළා. පෙනෙන විදිහට හදිසියේම ඇදහැළුණු මහ වැස්සක් නිසා කීෂොන් ඔය පිරී පිටාර ගැලූ අතර අවට සමභූමිය ජලයෙන් යට වුණා. ඒ නිසා සිසෙරාගේ යුධ රථ මඩේ එරෙන්න පටන් ගත්තා. ඉන් ප්‍රයෝජන ගත් ඊශ්‍රායෙල්වරුන් තම සතුරන්ව විනාශ කළා.—විනි. 4:13-16, NW; 5:19-21.

15. (අ) ගීතිකාකරු දෙවිගෙන් ඉල්ලා සිටියේ කුමක් කරන්න කියාද? (ආ) අර්මගෙදොන් කියද්දී අපට මතක් වන්නේ කුමක්ද?

15 තම ජාතිය විනාශ කිරීමට සූදානම් වන සතුරන්ටත් එසේම කරන්න කියා ගීතිකාකරු දෙවිට මෙසේ ආයාචනා කරනවා. “ඔබ මිදියන්වරුන්වත් කීෂොන් නිම්නයේ සිසෙරාවත් යාබින්වත් පරාජය කළාක් මෙන් ඔවුන්වත් පරාජය කරන්න. ඔවුහු එන්-දෝර්හි විනාශ කරනු ලැබුවෝය. ඔවුහු පසට පොහොර වී ගියෝය.” (ගීතා. 83:9, 10NW) දෙවි එවැනිම විනාශයක් මෙම දුෂ්ට ලෝකයටත් ගෙන ඒමට නියමිතයි. එම අවසන් යුද්ධය හඳුන්වන්නේ හර්–මගෙදොන් (එහි තේරුම “මෙගිද්දෝ කන්ද” යන්නයි) හෝ අර්මගෙදොන් කියායි. ඒ නමින් අපට මතක් වන්නේ එදා මෙගිද්දෝ අසල සිදු වූ තීරණාත්මක යුද්ධ පිළිබඳවයි. එම සිද්ධීන්වලින් තහවුරු වන්නේ යෙහෝවා දෙවි අර්මගෙදොන් නමැති අවසන් යුද්ධයේදී ස්ථිර වශයෙන්ම ජය ගන්නා බවයි.—එළි. 16:13-16.

අප යාච්ඤා කළ යුතු ප්‍රධාන දෙය

16. දෙවිගේ සතුරන්ගේ මුහුණු ‘ලජ්ජාවෙන් පිරී’ ගොස් තිබෙන්නේ කුමක් නිසාද?

16 මෙම “අන්තිම දවස්වලදී” තම සෙනඟව විනාශ කිරීමට සතුරන් දරන උත්සාහයන් දෙවි අසාර්ථක කර තිබෙනවා. (2 තිමෝ. 3:1) එය එම සතුරන්ට මොන තරම් ලජ්ජාවක්ද! ගීතාවලිය 83:16හි [NW] ඒ ගැන මෙසේ පවසා තිබෙනවා. “යෙහෝවා දෙවියනි, ජනයා ඔබේ නාමය සොයන පිණිස, ඔවුන්ගේ මුහුණු ලජ්ජාවෙන් පිරී යන්න සලස්වන්න.” සෑම රටකම පාහේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නිහඬ කිරීමට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා. දෙවිගේ සේවකයන්ගේ නොසැලෙන ස්ථාවරය හා විඳදරාගැනීම නිසා අවංක හදවත් ඇති බොහෝදෙනෙක් ‘දෙවිගේ නාමය සොයන්න’ පෙලඹී තිබෙනවා. කලින් දෙවිගේ සෙනඟට කෲර වද හිංසා කළ රටවල් ගණනාවක පවා දැන් දෙවිගේ නමස්කාරකයන් සිය දහස් ගණනින් දෙවිට ප්‍රශංසා කරමින් සිටිනවා. එය දෙවිට මොන තරම් ජයග්‍රහණයක්ද! එය ඔහුගේ සතුරන්ට නම් අන්ත පරාජයක්.—යෙරෙමියා 1:19 කියවන්න.

17. පසුතැවිලිවී ගැලවීම ලබා ගන්න මිනිසුන් ඉක්මනින්ම ක්‍රියා කළ යුත්තේ ඇයි? එමෙන්ම වැඩි කල් නොගොස් අපට මතක් වන්නේ ගීතිකාකරුගේ කුමන වචනද?

17 සතුරන් අපට ගෙනෙන පීඩා තවමත් නතර වී නැහැ. ඒ වුණත් අපි ඔවුන් ඇතුළු සියල්ලන්ටම ශුභාරංචිය ප්‍රකාශ කරනවා. (මතෙ. 24:14, 21) ඒ තුළින් අපට සතුරුකම් කරන අයට පවා පසුතැවිලි වී ගැලවීම ලබන්න දෙවි අවස්ථාව දී තිබෙනවා. නමුත් ඒ කාලය ඉක්මනින්ම අවසන් වීමට නියමිතයි. කෙසේනමුත් මිනිසුන්ට ගැලවීම ලැබෙනවාට වඩා වැදගත් දෙයක් මේ ශුභාරංචිය මගින් සිදු වෙනවා. එනම් දෙවිගේ නමට ඇති වී තිබෙන කැළල ඉවත් කිරීමට එය දායක වීමයි. (එසකියෙල් 38:23 කියවන්න.) අවසානයේදී දෙවිගේ සෙනඟව විනාශ කිරීමට පොළොවේ සියලු ජාතීන් එක්රැස් වන විට ගීතිකාකරුගේ මෙම වදන් අපගේ මතකයට නැගේවි. “ඔවුහු සදහටම අවමානයට ලක් වී කැලඹී සිටිත්වා! ඔවුහු ලජ්ජාවට පත් වෙත්වා. ඔවුහු විනාශ වී යත්වා!”—ගීතා. 83:17NW.

18, 19. (අ) දෙවිගේ පාලනයට අකීකරු වන උඩඟු සියල්ලන්ට අත් වන්නේ කුමක්ද? (ආ) සියල්ල පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය ළඟදීම තහවුරු වීම ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

18 සියලු දේ පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය පිළිනොගන්නා උඩඟු සියල්ලන්ට අත්වන්නේ ඉතා ලජ්ජාසහගත විනාශයක්. “ශුභාරංචියට කීකරු නොවන” සියල්ලන් අර්මගෙදොන් යුද්ධයේදී “සදාකාල විනාශය” ලබනවා. (2 තෙස. 1:7-9) දෙවිට පූර්ණ භක්තිය පිරිනමන අය ගැලවීම ලබන අතර දෙවිගේ සතුරන්ගේ විනාශය ඔවුන් දකිනවා. යෙහෝවා පමණක් සත්‍යය දෙවි බව ඉන් ඔවුන්ට තවත් තහවුරු වෙයි. එමෙන්ම දෙවි ලබා දුන් මෙම ගැලවීම ඔවුන්ට කෙදිනකවත් අමතක වෙන්නේ නැහැ. පාරාදීස පොළොව තුළ ‘නැවත නැඟිටීම ලබන ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ’ යන සියල්ලන්ද දෙවිගේ මෙම පුදුම ක්‍රියා දැනගැනීමට නියමිතයි. (ක්‍රියා 24:15) එවිට දෙවිගේ පාලනයට කීකරු වීම ඥානවන්තම දේ බවට ඕනෑ තරම් සාක්ෂි ඔවුන්ට තිබේවි. ඒ නිසා යෙහෝවා පමණක් සැබෑ දෙවි බව ඔවුන් අතර සිටින නිහතමානි අය තේරුම්ගනියි.

19 තම විශ්වාසවන්ත සේවකයන්ට ප්‍රේමණීය දෙවි සූදානම් කර තිබෙන්නේ මොන තරම් මවිතකර අනාගතයක්ද! ඒ නිසා ගීතිකාකරු දෙවිගෙන් කළ මෙම ඉල්ලීමේ අවසන් ඉටුවීම සිදු කරන්න කියා අපත් ඕනෑකමින් යාච්ඤා කරමු. “ඔවුහු [ඔබගේ සතුරන්] සදහටම අවමානයට ලක් වී කැලඹී සිටිත්වා! ඔවුහු ලජ්ජාවට පත් වෙත්වා. ඔවුහු විනාශ වී යත්වා! යෙහෝවා දෙවි නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තමයාණන් බව සියල්ලෝ දැනගනිත්වා!”—ගීතා. 83:17, 18NW.

[පාදසටහන]

^ 2 ඡේ. මෙම ලිපිය සාකච්ඡා කිරීමට පෙර 83වන ගීතිකාව සම්පූර්ණයෙන්ම කියවීම මගින් එහි ඇති තොරතුරු ගැන අවබෝධයක් ලබාගන්න ඔබට හැකියි.

ඔබට මතකද?

• අසූතුන්වන ගීතිකාව රචනා කළ කාලයේදී ඊශ්‍රායෙල්වරු මුහුණ දෙමින් සිටි තත්වය කුමක්ද?

• ගීතිකාකරු වැඩියෙන්ම සැලකිලිමත් වූයේ කුමක් ගැනද?

• අද දින සාතන්ගේ වෛරයට ලක් වී තිබෙන්නේ කවුද?

ගීතාවලිය 83:18හි ඇති වචනවල අවසන් ඉටුවීම දෙවි සිදු කරන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

එදා මෙගිද්දෝ නගරය අසල සිදු වූ යුද්ධ හා අනාගතයේදී සිදුවීමට නියමිත දේ අතර ඇති සම්බන්ධය කුමක්ද?

කීෂොන් ඔය

හරොෂෙත්

කර්මෙල් කන්ද

යෙශ්‍රෙයෙල් මිටියාවත

මෙගිද්දෝ

ටානැක්

ගිල්බෝවා කන්ද

හරොද්හි උල්පත

මෝරේ කන්ද

එන්-දෝර්

තාබෝර් කන්ද

ගලීල මුහුද

යොර්දාන් ගඟ

[12වන පිටුවේ පින්තූරය]

අසූතුන්වන ගීතිකාව රචනා කිරීමට ගීතිකාකරුවෙක් පෙලඹුණ හේතුව කුමක්ද?