Skip to content

පටුනට යන්න

ඔබ අන් අයට ගෞරව කරන කෙනෙක්ද?

ඔබ අන් අයට ගෞරව කරන කෙනෙක්ද?

ඔබ අන් අයට ගෞරව කරන කෙනෙක්ද?

“එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න.”—රෝම 12:10.

1. අද ලෝකයේ බොහෝවිට දක්නට නොලැබෙන්නේ කුමක්ද?

සමහර රටවල දරුවන් වැඩිහිටියන්ට ගෞරවය පෙන්වීම සඳහා ඔවුන් ඉදිරියෙහි දණ නමනවා. එමෙන්ම දරුවන් වැඩිහිටියෙකුට තම පිටුපස හරවා සිටීම ඔවුන්ට කරන අගෞරවයක් ලෙසද සැලකෙනවා. මෙසේ වැඩිහිටියන්ට ගෞරවය දක්වන ආකාරය රටින් රටට වෙනස් විය හැකියි. ගෞරව කිරීම සම්බන්ධයෙන් කතා කරද්දී අපගේ මතකයට නැඟෙන්නේ මෝසෙස්ට දුන් නීතියේ අඩංගු මෙම ආඥාවයි. “පැසුණු හිසකෙස් ඇති කෙනෙකු ඉදිරියේ නැඟිට සිටින්න. මහලු තැනැත්තෙකුට ඔබ ගෞරවයෙන් සැලකිය යුතුයි.” (ලෙවී. 19:32, නව ලොව පරිවර්තනයNW) නමුත් එවන් ගෞරවයක් අද දින ලෝකයේ බොහෝ ප්‍රදේශවල දක්නට නොලැබීම කනගාටුවට කරුණක්.

2. බයිබලයේ පවසන්නේ අප කවර අයට ගෞරව කළ යුතු බවද?

2 ගෞරවය පෙන්වීමේ ඇති වැදගත්කම ගැන බයිබලය අපට පවසනවා. යෙහෝවා දෙවිට සහ යේසුස්ට ගෞරවය පෙන්වන්න කියා එහි උනන්දු කරනවා. (යොහ. 5:23) පවුලේ සාමාජිකයන්ට, සෙසු ඇදහිලිවන්තයන්ට හා ආණ්ඩු බලධාරීන් වැනි අයටද ගෞරව කරන්න කියා එහි අණ කර තිබෙනවා. (රෝම 12:10; එෆී. 6:1, 2; 1 පේතෘ. 2:17) මේ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ යෙහෝවා දෙවිට ගෞරවය පෙන්විය හැකි ක්‍රම මොනවාද සහ අපගේ සෙසු ඇදහිලිවන්තයන්ට ගෞරවය පෙන්වන්නේ කෙසේද යන ප්‍රශ්න ගැනයි.

යෙහෝවා දෙවිට ගෞරව කරන්න

3. දෙවිට ගෞරව කළ හැකි එක් වැදගත් ආකාරයක් වන්නේ කුමක්ද?

3 දෙවිට ගෞරව කළ හැකි වැදගත් ක්‍රමයක් නම් ඔහුගේ නාමයට ගෞරවය ගෙනෙන ආකාරයෙන් ජීවත් වීමයි. සියලු බලැති දෙවි ‘තම නාමය උදෙසා සෙනඟක්’ ලෙස අපව තෝරාගෙන තිබීම අපට මොන තරම් ගෞරවයක්ද! (ක්‍රියා 15:14) ඒ ගැන අනාගතවක්තෘ මීකා මෙසේ පැවසුවා. “අන් අය තම තමන්ගේ දෙවිවරුන්ගේ කැමැත්තට අනුව ජීවත් වුණත්, අපි සදහටම අපේ දෙවි වන යෙහෝවාගේ නාමය දරමින් ඔහුගේ කැමැත්තට අනුව ජීවත් වන්නෙමු.” (මීකා 4:5NW) අප සෑම දවසකම දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙනවා නම් ඉන් ඔහුගේ නාමයට අපි ගෞරව කරන බව පෙන්විය හැකියි. නමුත් අනෙක් අතට පාවුල් රෝමවරුන්ට සිහිගැන්වූ ලෙස අප ප්‍රකාශ කරන ශුභාරංචියට එකඟව අප කටයුතු කළේ නැත්නම් ඉන් අප දෙවිගේ නාමයට “අපහාස” ගෙනෙනවා. එයින් සිදු වන්නේ දෙවිගේ නාමයට මහත් අගෞරවයක්.—රෝම 2:21-24.

4. දෙවි ගැන සාක්ෂි දැරීමට ලැබී ඇති වරප්‍රසාදය ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

4 ශුභාරංචිය ප්‍රකාශ කිරීම මගින්ද දෙවිට ගෞරව කරන්න අපට හැකියි. පුරාණයේදී තම සාක්ෂිකරුවන් ලෙස කටයුතු කරන්න දෙවි ඊශ්‍රායෙල්වරුන්ව තෝරාගත්තා. නමුත් ඔවුන් ඒ වරප්‍රසාදය අගය කළේ නැහැ. (යෙසා. 43:1-12) ඔවුන් දෙවිට පිටුපාමින් ‘ඊශ්‍රායෙලයේ ශුද්ධ තැනැත්තාට දුක් දුන්නා.’ (ගීතා. 78:40, 41NW) එහි ප්‍රතිඵලය වූයේ ඔවුන්ට දෙවිගේ ආශීර්වාද අහිමි වීමයි. නමුත් දෙවි තම සාක්ෂිකරුවන් ලෙස අපව තෝරාගෙන තිබීම හා ඔහුගේ නාමය අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට අපට දී තිබෙන ප්‍රස්තාව අප සලකන්නේ මහත් වරප්‍රසාදයක් හැටියටයි. අප දෙවි ගැන සාක්ෂි දරන්නේ ඔහුට ප්‍රේම කරන නිසා මෙන්ම ඔහුගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් වෙනවා දැකීම අපගේ එකම ආශාව නිසයි. අපිට දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් හොඳ අවබෝධයක් තිබෙන නිසා ඒ ගැන අන් අයට දැනුම් දීමෙන් වැළකී සිටින්න අපට පුළුවන්ද? ඒ ගැන අපට හැඟෙන්නේත් පාවුල්ට හැඟුණු ආකාරයටමයි. “එසේ කිරීමට මම බැඳී සිටිමි. ඇත්තෙන්ම, මා ශුභාරංචිය ප්‍රකාශ කළේ නැතිනම්, මට දුක් වේ!”—1 කොරි. 9:16.

5. දෙවි කෙරෙහි විශ්වාසය තැබීම මගින් ඔහුට ගෞරව කළ හැක්කේ කෙසේද?

5 යෙහෝවා යන දෙවිගේ නාමයෙන් අදහස් කරන දේ හොඳින් අවබෝධ කරගැනීමෙන් හා ඒ මත විශ්වාසය තැබීමෙන්ද ඔහුට ගෞරවය පෙන්වන්න අපට හැකියි. දාවිත්ද ඊට එකඟව මෙසේ පැවසුවා. “ඔබේ නාමය හඳුනන්නෝ ඔබව විශ්වාස කරති. යෙහෝවා දෙවියනි, ඔබේ මඟ පෙන්වීම් පතන අයව ඔබ කිසිසේත් අත්නාරින්නෙහිය.” (ගීතා. 9:10NW) දෙවිගේ නාමයේ අර්ථයට අනුව ඔහුට ඕනෑම දෙයක් කිරීමට හැකියාව තිබෙන බව දෙවිගේ පුරාණ ඇදහිලිවන්තයන් මෙන් අපද විශ්වාස කළ යුතුයි. දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් නොතැබුවොත් අප දෙවිට කරන්නේ අගෞරවයක්. ඊශ්‍රායෙල්වරු දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබීමට අපොහොසත් වුණා. එමගින් ඔවුන් දෙවිට අගෞරව කළා. මෝසෙස්ගෙන් දෙවි ඇසූ මෙම ප්‍රශ්නයෙන් ඒ බව පැහැදිලියි. “මේ සෙනඟ තව කොතරම් කාලයක් මේ විදිහට මට අගෞරව කරයිද? මම ඔවුන්ට මෙතරම් ලකුණු පෙන්වා තිබියදීත් ඔවුන් මාව විශ්වාස කරන්නේ නැත.” (ගණන්. 14:11NW) එමනිසා දෙවිගේ නාමයේ අර්ථයට එකඟව, දුෂ්කර කාලවලදී පවා අපට අවශ්‍යය රැකවරණය හා පෝෂණය ලබා දෙන්න දෙවිට හැකි බව විශ්වාස කරමු. එමගින් අප ඔහුට ගෞරව කරන බව පෙන්වමු.

6. දෙවිට හදවතින්ම ගෞරව කරන්න අපව පොලඹවන්නේ කුමක්ද?

6 අප දෙවිට ගෞරව කළ යුත්තේ අපගේ හදවතින්ම බව යේසුස් පෙන්වා දුන්නා. නමුත් දෙවිට හදවතින්ම ගෞරව නොකළ වංක මිනිසුන් ගැන දෙවිට හැඟුණු ආකාරය යේසුස් මෙසේ පැහැදිලි කළා. “මේ ජනයා තොල්වලින් මට ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් බොහෝ ඈත්ව තිබේ.” (මතෙ. 15:8) කෙනෙකු දෙවිට හදවතින්ම ගෞරව කරන්න පෙලඹෙන්නේ දෙවි කෙරෙහි ඔහුට ඇති ප්‍රේමය නිසයි. (1 යොහ. 5:3) අපි දෙවිට මුළු හදවතින්ම ගෞරව කරනවා නම් දෙවිද අපට මෙසේ පොරොන්දු වෙනවා. “මට ගෞරව කරන අයට මමත් ගෞරව කරමි.”—1 සාමු. 2:30NW.

අවේක්ෂකයන් අන් අයට ගෞරව කරයි

7. (අ) අවේක්ෂකයන් අන් අයට ගෞරවය පෙන්විය යුත්තේ ඇයි? (ආ) සෙසු ක්‍රිස්තියානීන්ට පාවුල් ගෞරවය පෙන්වූයේ කෙසේද?

7 ගෞරව කිරීම ගැන පාවුල් ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා. “එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න.” (රෝම 12:10) සභාවේ සිටින අවේක්ෂකයන් සෙසු ඇදහිලිවන්තයන්ට ගෞරව කිරීමට “පෙරමුණ” ගත යුතුයි. ඔවුන් ඒ සම්බන්ධයෙන් පාවුල්ව ආදර්ශයට ගන්නවා. (1 තෙසලෝනික 2:7, 8 කියවන්න.) පාවුල්, අන් අයට ගෞරවය පෙන්වූ එක් ආකාරයක් බලන්න. සහෝදරයන්ව දිරිගැන්වීමට ඔහු බොහෝ සභාවන්වලට ගිය අතර තමන් කිරීමට අකමැති දේවල් සෙසු සහෝදරයන් ලවා කරගැනීමට ඔහු කොහෙත්ම උත්සාහ කළේ නැහැ. ඒ බව එම සහෝදරයන්ද තේරුම්ගත්තා. මෙසේ අන් අයට ගෞරව කිරීමෙන් ඔවුන්ගේ ගෞරවය දිනාගැනීමට ඔහුට හැකි වුණා. “මාව අනුකරණය කරන්නන් වන මෙන් මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි” කියා ඔහු කළ ඉල්ලීමට බොහෝදෙනෙක් කැමැත්තෙන්ම එකඟ වූ බව ස්ථිරයි.—1 කොරි. 4:16.

8. (අ) යේසුස් තම ගෝලයන්ට ගෞරව කළ එක් ආකාරයක් කුමක්ද? (ආ) එය අනුකරණය කරන්නට අවේක්ෂකයන්ට හැක්කේ කෙසේද?

8 සෙසු ක්‍රිස්තියානීන්ට ගෞරවය පෙන්වන්න අවේක්ෂකයෙකුට හැකි තවත් ආකාරයක් සම්බන්ධයෙන් යේසුස් ආදර්ශයක් තබනවා. එක් අවස්ථාවකදී අස්වැන්න නෙළීම සඳහා තවත් ගොවියන් එවන මෙන් යාච්ඤා කරන්න කියා ඔහු ගෝලයන්ගෙන් ඉල්ලා සිටි විට ඊට හේතුවද ඔහු ඔවුන්ට පැහැදිලි කළා. ඒ මෙසේයි. “අස්වැන්න නම් බොහෝය, නමුත් වැඩ කරන්නෝ ස්වල්පදෙනෙක්ය. එහෙයින් තම අස්වැන්න නෙළීමට වැඩ කරන්නන් එවන ලෙස අස්වැන්නේ ස්වාමියාගෙන් අයැදින්න.” (මතෙ. 9:37, 38) තවත් විටෙක “සෝදිසියෙන් සිටින්න” කියා ඔහු තම ගෝලයන්ට පැවසූ අතර ඊට හේතුවද මෙසේ සඳහන් කළා. “මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැත.” (මතෙ. 24:42 ) මෙසේ ඔහු නිතරම තම ගෝලයන් කළ යුතු දේවල් ඔවුන්ට පැවසුවා පමණක් නොව ඒවා කළ යුතු වීමට හේතුවත් ඔවුන්ට පැහැදිලි කළා. එමගින් ඔහු පෙන්වූයේ ඔහු තම ගෝලයන්ට ගෞරව කරන බවයි. ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට ඔහු කදිම ආදර්ශයක්. ඔවුන්ද සෙසු සහෝදරයෙකුගෙන් යමක් කරන්න කියා ඉල්ලා සිටින විට හෝ යම් මඟ පෙන්වීමක් දෙන විට ඊට හේතුව පැහැදිලි කිරීමෙන් ඔහුට ගෞරව කරන බව පෙන්විය හැකියි.

දෙවිගේ සංවිධානයට හා එහි මඟ පෙන්වීම්වලට ගෞරව කරන්න

9. අප දෙවිගේ සංවිධානයට හා එහි නියෝජිතයන්ට ගෞරව කිරීමෙන් පෙන්වන්නේ කුමක්ද? විස්තර කරන්න.

9 අප දෙවිගේ සංවිධානයට හා එහි නියෝජිතයන්ට ගෞරව කරනවා නම් ඉන් පෙන්වන්නේ අප දෙවිට ගෞරව කරන බවයි. විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලබා දෙන බයිබලය මත පදනම් උපදෙස්වලට කීකරු වීමෙන්ද අප පෙන්වන්නේ දෙවිගේ සංවිධානයට හා එහි මඟ පෙන්වීම්වලට අප ගෞරව කරන බවයි. නමුත් පළමු ශතවර්ෂයේ සිටි සමහරුන් අවේක්ෂකයන්ට ගෞරව නොකළ නිසා යොහන් ඔවුන්ව හෙළා දැක්කා. (3 යොහන් 9-11 කියවන්න.) එවන් අය අවේක්ෂකයන්ට පමණක් නොව ඔවුන් ශුද්ධ ලියවිලිවලට එකඟව කළ ඉගැන්වීම්වලට හා ලබා දුන් මඟ පෙන්වීම්වලටත් ගෞරව කළේ නැහැ. නමුත් යේසුස්ගේ මුල් ගෝලයන්ගේ කාලයේ සිටි බොහෝදෙනෙක් අවේක්ෂකයන්ට ගැඹුරු ගෞරවයක් දැක්වූවා. එය සතුටට කරුණක්.—ෆිලි. 2:12.

10, 11. ක්‍රිස්තියානි සභාවේ සිටින සමහර අයට යම් අධිකාරියක් තිබීම සුදුසු බව බයිබලයේ ඇති උදාහරණවලින් ඔප්පු වන්නේ කෙසේද?

10 “ඔබ සියල්ලෝම සහෝදරයෝය” කියා යේසුස් පැවසූ නිසා සභාව තුළ කිසිවෙක් මූලිකත්වය නොදැරිය යුතු බව සමහරුන් තර්ක කර තිබෙනවා. (මතෙ. 23:8) නමුත් දෙවි තම ජනයාව අධීක්ෂණය කිරීම සඳහා විවිධ පුද්ගලයන්ව යොදාගෙන තිබෙන බව බයිබලයේ සඳහන් වෙනවා. විනිශ්චයකරුවන්ව, රජවරුන්ව හා තවත් විශ්වසවන්ත සේවකයන්ව දෙවි ඒ සඳහා යොදාගෙන ඇති බවට සාක්ෂි හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලෙහි දැක ගත හැකියි. ජනයා මෙම නියෝජිතයන්ට ගෞරව නොකළ අවස්ථාවලදී දෙවි ඔවුන්ට දඬුවම් කළ බවද එහි වාර්තා කර තිබෙනවා.—2 රාජා. 1:2-17; 2:19, 23, 24.

11 පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්, යේසුස්ගේ මුල් ගෝලයන් ලබා දුන් මඟ පෙන්වීම්වලට කීකරු වුණා. ඔවුන් එසේ කළේ දෙවි ඒ සඳහා ඔවුන්ව පත් කර ඇති බව එම ක්‍රිස්තියානීන් පිළිගත් නිසයි. (ක්‍රියා 2:42) එසේ සෙසු ක්‍රිස්තියානීන්ට මඟ පෙන්වීම් ලබා දුන් කෙනෙක් වන්නේ පාවුල්. (1 කොරි. 16:1; 1 තෙස. 4:2) අනෙක් අතට ඔහුද, ඔහුට මඟ පෙන්වීම් ලබා දුන් අයට යටත් වුණා. (ක්‍රියා 15:22; ගලා. 2:9, 10) යම් අධිකාරියක් තිබෙන අයට යටත් වීම සම්බන්ධයෙන් ඔහු තබන්නේ කදිම ආදර්ශයක්.

12. යම් අධිකාරියක් දරන අයට ගෞරව කිරීම සම්බන්ධයෙන් ඉගෙනගත හැකි වැදගත් කරුණු දෙක කුමක්ද?

12 ඉහත ඡේදවලින් අපට වැදගත් කරුණු දෙකක් ඉගෙනගත හැකියි. පළමුවැන්න නම් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා විසින් පාලක මණ්ඩලයේ සාමාජිකයන්ව යොදාගෙන විවිධ වගකීම් සඳහා අවේක්ෂකයන්ව පත් කිරීම ශුද්ධ ලියවිල්ලට එකඟ බවයි. එමෙන්ම එම අවේක්ෂයන්ව අධීක්ෂණය කිරීම සඳහාද පාලක මණ්ඩලය විසින් තවත් සහෝදරයන්ව පත් කරනවා. (මතෙ. 24:45-47; 1 පේතෘ. 5:1-3) දෙවැනි කරුණ නම්, එම අවේක්ෂකයන් ඇතුළුව අප සියලුදෙනාම, අපව අධීක්ෂණය කිරීමට පත් කර ඇති අයට ගෞරව කළ යුතු බවයි. අප ඔවුන්ට ගෞරව කරන බව පෙන්විය හැකි ආකාර කිහිපයක් දැන් සලකා බලමු.

සංචාරක අවේක්ෂකයන්ට ගෞරව කරන්න

13. දෙවිගේ සංවිධානයේ නියෝජිතයන්ට ගෞරවය පෙන්වන්න අපට හැක්කේ කෙසේද?

13 පාවුල්ගේ මෙම වදන් සැලකිල්ලට ගන්න. “සහෝදරයෙනි, ඔබ අතරේ වෙහෙසී වැඩ කරන, ස්වාමීන් තුළ ඔබ කෙරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන, ඔබට දැනමුතුකම් දෙන අයට සැලකිල්ල දක්වන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම, ඔවුන්ගේ සේවය නිසා ඔවුන්ට ප්‍රේමණීයව බොහෝ සෙයින් සැලකිල්ල දක්වන මෙන් ඉල්ලා සිටිමු. එකිනෙකා සමඟ සමාදානයෙන් සිටින්න.” (1 තෙස. 5:12, 13) පාවුල් සඳහන් කළ “වෙහෙසී වැඩ කරන” සහෝදරයන්ට සංචාරක අවේක්ෂකයන්ද අයත්. එමනිසා අපි ඔවුන්ට “බොහෝ සෙයින් සැලකිල්ල” දක්වමු. එමෙන්ම ඔවුන් ලබා දෙන උපදෙස් හා දිරිගැන්වීම් සතුටින් පිළිගනිමු. එවැනි අවේක්ෂකයෙක් විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගේ මඟ පෙන්වීම් අපට ලබා දෙන විට ඊට හොඳින් ‘කීකරු වීම සඳහා සූදානම් වීමට’ “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” අපව පොලඹවයි.—යාකො. 3:17.

14. සංචාරක අවේක්ෂකයන්ට ගෞරවය පෙන්වන්න සභාවේ සෙසු අයට හැක්කේ කෙසේද? ඉන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

14 අප කාලයක් පුරා කරන්න පුරුදුව සිටි දෙයක් වෙනස් ආකාරයකට කරන්න කියා සංචාරක අවේක්ෂකයෙක් යම් මඟ පෙන්වීමක් දුන්නොත් තත්වය කුමක්ද? එවැනි අවස්ථාවකදී අප මෙසේ සිතනවාද? “අපි නම් කරන්නේ ඔහොම නෙවෙයි” කියා හෝ “මේ යෝජනාව වෙන සභාවකට නම් හොඳයි. හැබැයි අපේ සභාවට නම් ගැළපෙන්නේ නැහැ.” අප එසේ ඔවුන්ගේ මඟ පෙන්වීම් සුළු කිරීම ඔවුන්ට කරන අගෞරවයක්. ඒ වෙනුවට අප ඔවුන් ලබා දෙන මඟ පෙන්වීම් ප්‍රීතියෙන් පිළිගෙන ඒවා අදාළ කරගන්නවා නම් ඉන් අප පෙන්වන්නේ අප කැමැත්තෙන්ම ඔවුන්ට ගෞරව කරන බවයි. එසේ කිරීමට අපට උපකාරයක් වන්නේ අපගේ සභාව අයිති යෙහෝවා දෙවිට බවත් යේසුස් සභාවේ හිස බවත් පිළිගැනීමයි. ඒ බව තේරුම්ගෙන තිබූ කොරින්ති සභාවේ සහෝදරයන්ද, ඔවුන්ව දිරිගැන්වීමට පැමිණි අවේක්ෂකයෙක් වූ තීතස් දුන් මඟ පෙන්වීම්වලට කීකරු වී ඔහුට ගෞරව කළා. ඒ නිසා පාවුල් ඔවුන්ට ප්‍රශංසා කළා. (2 කොරි. 7:13-16) අද දින සංචාරක අවේක්ෂකයන් අපට දේවසේවය හා සම්බන්ධ විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. ඒවා කැමැත්තෙන්ම පිළිගෙන අදාළ කරගන්නා විට දේවසේවයේ ප්‍රීතිය වැඩි කරගත හැකි බව අපට ස්ථිරයි.—2 කොරින්ති 13:11 කියවන්න.

“සියලු ආකාර මිනිසුන්ට ගෞරව කරන්න”

15. සෙසු ඇදහිලිවන්තයන්ට ගෞරව කළ හැකි අවස්ථාවන් මොනවාද?

15 අප ගෞරව කළ යුතු තවත් අය ගැන පාවුල් පවසනවා. “වැඩිහිටි පුරුෂයෙකුව දැඩි ලෙස විවේචනය නොකරන්න. උපදෙස් දීමේදී ඔහුව පියෙකු මෙන්ද, තරුණයන්ව සහෝදරයන් මෙන්ද, වැඩිහිටි ස්ත්‍රීන්ව මව්වරුන් මෙන්ද, තරුණියන්ව සහෝදරියන් මෙන්ද, පවිත්‍ර සිතින් සලකන්න. ඇත්තටම වැන්දඹුවන් වී සිටින ස්ත්‍රීන්ට ගෞරව කරන්න.” (1 තිමෝ. 5:1-3) ඒ අනුව බලද්දී බයිබලය අපට දිරිගන්වන්නේ ක්‍රිස්තියානි සභාවේ සියලුදෙනාටම ගෞරව කරන්න කියායි. නමුත් අපට සෙසු ඇදහිලිවන්තයෙක් සමඟ යම් එකඟ නොවීමක් ඇති වුණොත් තත්වය කුමක්ද? ඔහුට හෝ ඇයට ගෞරව කිරීමට අපට තිබෙන වගකීම පැහැර හැරීමට එය හේතුවක්ද? නැහැ. එවැනි කෙනෙකු සතු යහපත් ක්‍රිස්තියානි ගුණාංග ගැන කල්පනා කිරීමෙන් ඔහුට හෝ ඇයට ගෞරව කිරීමට අපට හැකියි. ඒ වගේම අවේක්ෂකයන්ද සභාවේ සිටින අය කෙරෙහි ‘අනිසි ලෙස බලය නොපවත්වා’ සිටීම මගින් ඔවුන්ට ගෞරව කරනවා. (1 පේතෘ. 5:3) මෙලෙස එකිනෙකාට ගෞරව කිරීමට අපට ඕනෑ තරම් අවස්ථාවන් උදා වෙනවා. ක්‍රිස්තියානීන් හැටියට අප තුළ ප්‍රේමය තිබෙන නිසා එකිනෙකාට ගෞරව කිරීම තවත් පහසුයි.—යොහන් 13:34, 35 කියවන්න.

16, 17. (අ) දේවසේවයේදී හමුවන අයට මෙන්ම අපට විරුද්ධවාදිකම් කරන අයටත් අප ගෞරව කළ යුත්තේ ඇයි? (ආ) “සියලු ආකාර මිනිසුන්ට ගෞරව කරන්න” අපට හැක්කේ කෙසේද?

16 අප සෙසු ඇදහිලිවන්තයන්ට පමණක් නොව වෙනත් අයටත් ගෞරව කළ යුතුයි. ඒ ගැන පාවුල් පැවසුවේ මෙසේයි. ‘අපට ප්‍රස්තාව තිබෙන තාක් කල් සියල්ලන්ටම යහපත්කම් කරමු.’ (ගලා. 6:10) නමුත් සමහරවිට එම උපදෙස ආදාළ කරගැනීම අමාරුයි කියා හැඟෙන අවස්ථාවන් තිබිය හැකියි. උදාහරණයකට අපගේ රැකියා ස්ථානයේ හෝ පාසැලේ සිටින මිතුරෙක් අපට අකාරුණාවන්තව සැලකුවොත් අප ඔවුන්ට ගෞරව කරන්නේ කෙසේද? ඒ ගැන බයිබලයේ පවසන්නේ “දුෂ්ටයන්ගේ ක්‍රියාවන් නිසා කේන්ති නොගන්න” කියායි. (ගීතා. 37:1NW) එම උපදෙස ආදාළ කරගැනීම මගින් ඉවසීමෙන් යුතුව එවන් අය සමඟ වුණත් ගෞරවනීය ලෙස කටයුතු කරන්න අපට හැකියි. ඒ හා සමානව දේවසේවයේදීත් අපට හමු වන සියල්ලන්ට “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන්” සලකන්න අපට පුළුවන්. ඒ සඳහා යටහත්පහත්කම ඉතා වැදගත්. (1 පේතෘ. 3:15) තවදුරටත් අප අඳින පළඳින ආකාරය මගින්ද ඔවුන්ට ගෞරව කරන බව පෙන්විය හැකියි.

17 අප සෙසු ඇදහිලිවන්තයන් සමඟ හෝ ඇදහිලිවන්තයන් නොවන අය සමඟ කටයුතු කරන ඕනෑම අවස්ථාවකදී බයිබලයේ ඇති මේ උපදෙස මතක තබා ගනිමු. “සියලු ආකාර මිනිසුන්ට ගෞරව කරන්න. මුළු සහෝදර සංගමයටම ප්‍රේම කරන්න. දෙවිට භය වන්න. රජුට ගෞරව කරන්න.”—1 පේතෘ. 2:17.

ඔබට මතකද?

අප පහත සඳහන් අයට ගෞරව කරන බව පෙන්වන්නේ කෙසේද?

• යෙහෝවා දෙවිට

• සභා වැඩිමහල්ලන්ට හා සංචාරක අවේක්ෂකයන්ට

• සභාවේ සිටින සෙසු ඇදහිලිවන්තයන්ට

• දේවසේවයේදී හමු වන අයට

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම්වලට ගෞරව කළා

[24වන පිටුවේ පින්තූරය]

ලොව පුරා සභාවල සිටින වැඩිමහල්ලන් පාලක මණ්ඩලය මගින් පත් කර තිබෙන සංචාරක අවේක්ෂකයන්ට ගෞරව කරනවා