Skip to content

පටුනට යන්න

දෙවි අපව සෝදිසි කරන්නේ අපේම යහපතටයි

දෙවි අපව සෝදිසි කරන්නේ අපේම යහපතටයි

දෙවි අපව සෝදිසි කරන්නේ අපේම යහපතටයි

“යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් උපකාර කරන පිණිසයි.”—2 ලේක. 16:9, නව ලොව පරිවර්තනය, NW.

1. යෙහෝවා දෙවි අපව සෝදිසි කර බලන්නේ ඇයි?

යෙහෝවා දෙවි අපගේ ශ්‍රේෂ්ඨතම පියායි. ඔහු අප ගැන කොතරම් හොඳින් දන්නවාද කියනවා නම් අපගේ “සෑම සිතුවිල්ලක්ම” ඔහුට වැටහෙනවා. (1 ලේක. 28:9NW) කෙසේනමුත් අපව සෝදිසි කිරීමේදී ඔහුගේ චේතනාව වන්නේ අපගේ වැරදි සෙවීම නොවෙයි. (ගීතා. 11:4; 130:3) ඒ වෙනුවට ඔහු සමඟ තිබෙන අපගේ මිත්‍රත්වයට හෝ අපගේ අනාගත බලාපොරොත්තුවට හානි විය හැකි දේවලින් අපව ආරක්ෂා කිරීමයි.—ගීතා. 25:8-10, 12, 13.

2. දෙවි තම බලය යොදාගන්නේ කවුරුන් වෙනුවෙන්ද?

2 සියලු බලය යෙහෝවා දෙවි සතු නිසා සියලු දේ දැකීමටද ඔහුට හැකියි. එමනිසා තම සේවකයන් පරීක්ෂාවන්ට මුහුණ දෙන විට උපකාර පතා ඔහුට හඬගසන ඕනෑම විටක ඔවුන්ට උපකාර කරන්න ඔහුට හැකියි. 2 ලේකම් 16:9හි [NW] පවසන්නේද එයයි. “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් උපකාර කරන පිණිසයි.” සම්පූර්ණ සිතකින් හෙවත් අවංක ලෙස තමන්ට සේවය කරන අයට උපකාර කරන්න ඔහු තම බලය යොදාගන්නා බව ඔබ දුටුවාද? නමුත් වංචනික හෝ කුහක අයට නම් දෙවි උපකාර කරන්නේ නැහැ.—යෝෂු. 7:1, 20, 21, 25; හිතෝ. 1:23-33.

දෙවි සමඟ ගමන් කරන්න

3, 4. ‘දෙවි සමඟ ගමන්’ කළ අයගේ ආදර්ශ මොනවාද? අපට දෙවි සමඟ ගමන් කළ හැක්කේ කුමක් කිරීමෙන්ද?

3 මුළු විශ්වයේම නිර්මාණකරු සමඟ ගමන් කරනවා කියද්දී සමහරුන්ට නම් එය සිතාගන්නවත් බැරි දෙයක්. නමුත් දෙවි අපෙන් බලාපොරොත්තු වන්නේ එයයි. අතීතයේදී ඒනොක් හා නෝවා ‘දෙවි සමඟ ගමන් කළා.’ (උත්. 5:24; 6:9NW) මෝසෙස්ද ‘අදෘශ්‍යමාන තැනැත්තාව දකින්නාක් මෙන් දිගටම ස්ථිරව සිටියා.’ (හෙබ්‍රෙ. 11:27) “ඔහු [යෙහෝවා දෙවි] මාගේ දකුණු පැත්තේ සිටින නිසා මම නොසැලී සිටිමි” කියා දාවිත් රජද පැවසුවා.—ගීතා. 16:8NW.

4 පියෙකුගේ අත අල්ලාගෙන ගමන් කරනවා හා සමානව දෙවි සමඟ ගමන් කිරීමට අපට නොහැකි බව ඇත්තයි. නමුත් එසේ කළ හැකි ක්‍රමයක් තිබෙනවා. ඒ ගැන ආසාෆ් පැහැදිලි කළේ මෙසේයි. “මම නිතරම ඔබ සමඟ සිටිමි. ඔබ මාගේ දකුණතින් අල්ලාගෙන සිටින්නේය. ඔබ උපදෙස් දෙමින් මට මඟ පෙන්වන්නේය.” (ගීතා. 73:23, 24NW) බයිබලයෙන් හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මගින් අපට ලැබෙන උපදෙස් අප ක්‍රියාත්මක කරද්දී අප දෙවි සමඟ ගමන් කරනවා කියා පැවසිය හැකියි.—මතෙ. 24:45; 2 තිමෝ. 3:16.

5. දෙවි සමඟ ගමන් කරන අයට ඔහු සලකන්නේ කෙසේද? ඒ ගැන අප සිතා බැලිය යුත්තේ කුමක්ද?

5 තමන් සමඟ ගමන් කරන අයව දෙවි ආදරයෙන් රැකබලා ගන්නවා. ඒ නිසා ඔහු ඔවුන්ව ආරක්ෂා කර උගන්වනවා. ඒ ගැන දෙවිම පවසන්නේ “වටහාගැනීමේ හැකියාව ලබාගැනීමට මම ඔබට උදව් කරන්නෙමි. ඔබ යා යුතු මාර්ගය ඔබට කියා දෙන්නෙමි. මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි” කියායි. (ගීතා. 32:8NW) එමනිසා අප මෙසේ කල්පනා කළ යුතුයි. ‘මම යෙහෝවා දෙවිගේ අත අල්ලාගෙන ගමන් කරනවා වගේ මට දැනෙනවාද? දෙවි මා දෙස ඕනෑකමින් බලමින් මට ප්‍රඥාවන්ත උපදෙස් දෙන බව මට දැනෙනවාද? ඔහු මා සමඟ සිටින බව මා දන්නා නිසා එය මගේ කතාවට, සිතුවිලිවලට හා ක්‍රියාවලට බලපානවාද? ඒ වගේම මම යම් වරදක් කළ විට මට දැනෙන්නේ දෙවි මගෙන් ඈත් වෙලා කියාද? එසේත් නැතිනම් ඔහු ඉතා දැඩි හෝ රළු කෙනෙක් හැටියටද? නැත්නම් වැරදි ගැන පසුතැවිලි වන අයට සමාව දී නැවත ආදරයෙන් පිළිගන්න දයාන්විත පියෙක් හැටියටද?—ගීතා. 51:17.

6. ඕනෑම පියෙකුට වඩා යෙහෝවා දෙවිට තිබෙන හැකියාව කුමක්ද?

6 සමහර අවස්ථාවලදී අපගේ රැවටිලිකාර හදවත තුළ යම් නුසුදුසු ආකල්පයක් වර්ධනය වී ඉන් බරපතළ වරදක් සිදුවීමට ඉඩ තිබෙනවා. නමුත් වරද කිරීමට පෙර අප තුළ ඇති වන එම නරක සිතුවිලි දකින්න දෙවිට හැකියි. ඒ අනුව එම වරදින් වැළකී සිටින්න අපට උපකාර කරන්න දෙවිට පුළුවන්. (යෙරෙ. 17:9) ඉන් පැහැදිලි වන්නේ ඕනෑම පියෙකුට වඩා ඉක්මනින් ක්‍රියාත්මක වන්න දෙවිට හැකි බව හා අපටවත් නොතේරෙන අප තුළ ඇති වැරදි සිතුවිලි තේරුම්ගැනීමට දෙවිට හැකි බවයි. (ගීතා. 11:4; 139:4; යෙරෙ. 17:10) ඒ බව යෙරමියාගේ ලේකම් හා කිට්ටු මිතුරෙක් වූ බාරුක් මුහුණ දුන් තත්වයකදී දෙවි ඔහුට උපකාර කළ ආකාරයෙන් තේරුම්ගත හැකියි.

බාරුක්ට ප්‍රේමණීය පියෙක් වෙමින්

7, 8. (අ) බාරුක් කියන්නේ කාටද? එමෙන්ම ඔහු තුළ වර්ධනය වූවායයි සිතිය හැකි වැරදි ආශාව කුමක්ද? (ආ) දෙවි ප්‍රේමණීය පියෙකු මෙන් ඔහුට උපකාර කළේ කෙසේද?

7 බාරුක් දක්ෂ ලියන්නෙක් මෙන්ම යෙරමියා සමඟ විශ්වාසවන්තව වැඩ කළ කෙනෙක්. එමෙන්ම යූදා රාජ්‍යයට දෙවිගේ විනිශ්චය ප්‍රකාශ කිරීමට සිදු වූ නිසා ඔහුට යම් අභියෝගවලට මුහුණ දීමටද සිදු වුණා. (යෙරෙ. 1:18, 19) සමහරවිට ඔහු ධනවත් පවුලකට අයත්ව සිටින්න ඇති නිසා “බොහෝ දේවල් ලබාගැනීමට” ආශාවක් ඔහුට ඇති වුණා. ඒ හේතුවෙන් ධන සම්පත් රැස් කිරීම ගැන ඔහු නිතර නිතර කල්පනා කළා විය හැකියි. ඒ කුමක් වුණත් ඔහුගේ සිතේ හානිකර දෙයක් වර්ධනය වෙමින් තිබෙන බව දෙවි දුරතියාම දුටුවා. වහාම දෙවි ඒ ගැන යෙරමියා තුළින් බාරුක්ට කිව්වේ මෙයයි. “ඔබ මෙසේ පවසා තිබෙනවා. ‘අනේ, මට සිදු වූ විපතක මහත! මම කලකිරී දුකෙන් සිටියා. යෙහෝවා දෙවි මගේ දුක තවත් වැඩි කළා. මට සැනසිල්ලේ ජීවත් වෙන්නවත් තැනක් නැහැ. මම ගත කරන මේ ජීවිතය දැන් මට ඇති වෙලා.’” එවිට දෙවි ඔහුට මෙසේ පැවසුවා “ඔබ ඔබ ගැනම සිතමින් ඔබටම බොහෝ දේවල් ලබාගැනීමට උත්සාහ කරමින් සිටිනවා. බාරුක්, එසේ නොකරන්න.”—යෙරෙ. 45:1-5NW.

8 දෙවි බාරුක්ට කෙළින්ම යම් උපදෙස් දුන්නත් ඔහු එසේ කළේ කෝපයෙන් නොව ප්‍රේමණීය පියෙකු ලෙසයි. බාරුක් ආශා කළ දෙවල් නිසා ඔහුට යම් හානියක් සිදු විය හැකි බව දෙවි දුටුවත් ඔහුගේ හදවතේ දුෂ්ට ආකල්ප නොතිබූ බව දෙවි තේරුම්ගත්තා. එමෙන්ම යූදා හා යෙරුසලම විනාශ වීමට ඇත්තේ කෙටි කාලයක් බව දෙවි දැන සිටි අතර ඔහුට අවශ්‍ය වුණේ ඒ භයානක තත්වයෙන් බාරුක්ව ආරක්ෂා කරන්නයි. ඔහු සිටි තත්වය තේරුම් කර දුන් දෙවි පැවසුවේ “සියලුදෙනා පිටට මම මහත් විපතක් ගෙන එන්නෙමි” කියායි. නමුත් ඔහු ප්‍රඥාවන්තව කටයුතු කළොත් ගැලවිය හැකි බව දෙවි පැවසුවා. (යෙරෙ. 45:5NW) තවත් විදිහකින් දෙවි ඔහුට පැවසුවේ මෙයයි. ‘බාරුක්, කල්පනාවෙන් වැඩ කරන්න. යුදයට හා යෙරුසලමට සිදුවීමට යන විනාශය ගැන අමතක කරන්න එපා. විශ්වාසවන්තව ඉන්න. මම ඔයාව ආරක්ෂා කරන්නම්.’ යෙහෝවා දෙවි පැවසූ දෙයින් බාරුක් තම ආකල්ප වෙනස් කරගත්තා. එමෙන්ම ඊට වසර 17කට පසුව පැමිණි විනාශයෙන් ඔහු තම දිවි ගලවාගත්තා.

9. මෙම ඡේදයේ ඇති ප්‍රශ්නවලට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

9 බාරුක් පිළිබඳ සිද්ධිය ගැන කල්පනා කරන විට පහත සඳහන් බයිබල් පද හා ප්‍රශ්න ගැන ගැඹුරින් සිතන්න. බාරුක්ගේ සිද්ධියෙන් අපට යෙහෝවා දෙවි ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද? එමෙන්ම තම සේවකයන් ගැන දෙවිට තිබෙන්නේ මොන වගේ හැඟීමක්ද? (හෙබ්‍රෙව් 12:9 කියවන්න.) බාරුක්ට දෙවි දුන් උපදෙස්වලින් හා ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයෙන් අවසාන කාලයේ සිටින අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? (ලූක් 21:34-36 කියවන්න.) දෙවි තම සේවකයන්ට සැලකිල්ල දක්වන ආකාරය සම්බන්ධයෙන් යෙරෙමියාගෙන් වැඩිමහල්ලන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?—ගලාති 6:1 කියවන්න.

තම පියාගේ ප්‍රේමය පිළිබිඹු කළ යේසුස්

10. ක්‍රිස්තියානි සභාවේ හිස ලෙස කටයුතු කරන්න යේසුස්ට හැක්කේ කුමක් නිසාද?

10 පුරාණයේ සිටි තම සේවකයන්ට දෙවි අනාගතවක්තෘවරුන් හා විශ්වාසවන්ත මිනිසුන් මගින් තම ප්‍රේමණීය සැලකිල්ල දැක්වූවා. ඉන් පසුව සිටි තම සේවකයන්ට ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස් මගින් දෙවි තම සැලකිල්ල ප්‍රකාශ කළා. (එෆී. 1:22, 23) යේසුස්ව එළිදරව් පොතේ සමාන කර තිබෙන්නේ ‘ඇස් සතක් ඇති’ බැටළුවෙකුටයි. (එළි. 5:6) ඉන් පැහැදිලි වන්නේ යේසුස්ට දෙවිගේ බලය පූර්ණ ලෙස ලැබී තිබෙන බව හා ඒ මගින් පොළොව් ඇති සෑම දෙයක් ගැනම පූර්ණ අවබෝධයක් ඔහුට තිබෙන බවයි. එමනිසා ඔහුටත් දෙවි මෙන් අපගේ සියලු සිතුවිලි හා ආකල්ප තේරුම්ගත හැකියි.

11. යේසුස් සතු කාර්යය කුමක්ද? ඔහු දක්වන සැලකිල්ලෙන් අපට යෙහෝවා දෙවි ගැන උගන්වන්නේ කුමක්ද?

11 දෙවි මෙන් යේසුස්ද අපව සෝදිසි කරන්නේ වැරදි සෙවීමට නොව ප්‍රේමයෙන් අපට උපකාර කරන්නයි. තමන් කෙරෙහි ඇදහිල්ල තබන සියල්ලන්ට ඔහු සදාකාල ජීවනය ලබා දෙනවා. “සදාකාල පියාණෝ” යන ඔහුට දී ඇති නාමයෙන්ද එය පැහැදිලියි. (යෙසා. 9:6) සභාවේ හිස වන යේසුස් උපකාර අවශ්‍ය අයට එය ලබා දෙන තවත් ආකාරයක් තිබෙනවා. එනම් සැනසීම හෝ මඟ පෙන්වීම් අවශ්‍ය අයට ඒවා ලබා දීම සඳහා ඔහු වැඩිමහල්ලන් වැනි අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන්ව පෙලඹවීම මගිනුයි.—1 තෙස. 5:14; 2 තිමෝ. 4:1, 2.

12. (අ) සභා සතට ලියූ ලිපිවලින් යේසුස් ගැන හෙළි වන්නේ කුමක්ද? (ආ) යේසුස්, වැඩිමහල්ලන් තුළින් තම සැලකිල්ල අපට දක්වන්නේ කෙසේද?

12 යේසුස් තම සේවකයන්ට මොන තරම් සැලකිල්ලක් දක්වනවාද කියා කුඩා ආසියාවේ පිහිටි සභා සතට ඔහු ලියූ ලිපිවලින් ඔප්පු වෙනවා. (එළි. 2:1–3:22) සෑම සභාවකම සිදු වන සෑම දෙයක් ගැනම ඔහුට පූර්ණ අවබෝධයක් තිබෙන බවත් ඔහුගේ අනුගාමිකයන් ගැන ඔහු සැලකිලිමත් බවත් යේසුස් ප්‍රකාශ කළා. අද අප ජීවත් වන්නේ එළිදරව් පොතේ ඇති සිද්ධීන් ඉටු වන “ස්වාමීන්ගේ දවස” * තුළ නිසා ඔහුගේ සේවකයන් ගැන ඔහු ඊටත් වඩා සැලකිල්ලක් දක්වනවා. (එළි. 1:10) යේසුස් අපට සභාවේ එඬේරුන් මෙන් සේවය කරන වැඩිමහල්ලන් මගින් තම ප්‍රේමය පෙන්වනවා. ඔහු එසේ කරන්නේ අපට සහනය, දිරිගැන්වීම් හෝ උපකාර අවශ්‍ය විට ඒවා ලබා දීමට ‘තෑගි වශයෙන් දී ඇති පුරුෂයන්ව’ පෙලඹවීමෙනුයි. (එෆී. 4:8; ක්‍රියා 20:28; යෙසායා 32:1, 2 කියවන්න.) එවන් උපකාර ලැබෙන විට ඔබ ඒවා සලකන්නේ යේසුස් ඔබට දක්වන පෞද්ගලික සැලකිල්ලක් ලෙසද?

නියම වේලාවට ලැබුණු උපකාරය

13-15. දෙවි අපගේ යාච්ඤාවලට කෙසේ පිළිතුරු දිය හැකිද? ඊට උදාහරණ දෙන්න.

13 ඔබ උපකාර පතා ඕනෑකමින් කළ යාච්ඤාවකට අද්දැකීම් ලත් වැඩිමහල්ලෙක් පැමිණ දුන් දිරිගැන්වීමක් මගින් ඊට පිළිතුරු ලැබී තිබෙනවා විය හැකියි. (යාකො. 5:14-16) නැත්නම් කතාවක් මගින් හෝ අපගේ ප්‍රකාශනයක් මගින් අවශ්‍ය උපකාර ලැබී තිබෙනවා වෙන්න පුළුවන්. බොහෝවිට දෙවි ඔබේ යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ එයාකාරයටයි. ඒ සම්බන්ධයෙන් එක් සහෝදරියකගේ අද්දැකීම බලන්න. ඇය සති කිහිපයකට කලින් දැඩි අසාධාරණයකට මුහුණ දුන් නිසා මහත් කලකිරීමකින් පසු වුණා. පසුව රැස්වීමකදී වැඩිමහල්ලෙක් ඉදිරිපත් කළ කතාවක තිබූ බයිබල් මඟ පෙන්වීම් ඇය මුහුණ දුන් තත්වය සමඟ කටයුතු කරන්න ඇයට උපකාරවත් වුණා. ඇය ඉන් මහත් සැනසීමක්ද ලැබුවා. ඇය තම ගැටලුව ගැන පවසනවා වෙනුවට වැඩිමහල්ලා වෙතට පැමිණ ඔහුට ස්තුති කළා. එදා ඇය රැස්වීමට පැමිණීම ගැන මොන තරම් සතුටු වන්න ඇද්ද!

14 තවත් අද්දැකීමක් බලන්න. සිරකරුවන් තිදෙනෙක් සිර ගෙදරදීම සත්‍යය ඉගෙනගෙන බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් බවට පත් වුණා. සිරගෙදර සිදු වූ යම් කැරලිගැසීම් නිසා එහි සිටි සියලුම සිරකරුවන්ගේ සමහර පහසුකම් ඔවුන්ගෙන් ඉවත් කළා. ඒ නිසා ඊට විරෝධය පෑමක් ලෙස ඊළඟ උදෑසන තමන්නට කෑම ලැබෙන පිඟන් නැවතත් භාර නොදෙන්න ඔවුන් තීරණය කළා. මේ තත්වයේදී බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් තිදෙනාට ඉතා අමාරු තීරණයක් ගැනීමට සිදු වුණා. ඔවුන් විරෝධයට එක් වී පිඟන් ලබා දීම ප්‍රතික්ෂේප කළොත් එක් පැත්තකින් රෝම 13:1හි ඇති ප්‍රතිපත්තිය කැඩෙනවා. අනෙක් අතට විරෝධයට සහය නොදුන්නොත් සෙසු සිරකරුවන්ගේ හිංසාවන්ට ලක් වෙන්න සිදු වෙනවා.

15 කළ යුතු දේ කුමක්ද කියා කතා කරගන්න මේ තුන්දෙනාට අවස්ථාව තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් වෙන වෙනම දෙවිගෙන් ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කර තිබුණා. අවසානයේදී ඔවුන් තිදෙනාම කිරීමට අදහස් කරගෙන තිබුණේ එකම දෙයයි. එනම් උදෑසන කෑම නොකා ඉන්නයි. පසුව පිඟන් එකතු කිරීමට නිලධාරීන් පැමිණියා. නමුත් ඔවුන් උදෑසන ආහාර ලබා නොගත් නිසා නිලධාරීන්ට දීමට ඔවුන් ළඟ පිඟන් තිබුණේ නැහැ. එවන් දෙයක් කිරීමට ඔවුන්ට ප්‍රඥාව දීම ගැන “යාච්ඤා අසන” තැනැත්තාට ඔවුන් කොතරම් ස්තුති වන්ත වෙන්න ඇද්ද!—ගීතා. 65:2.

අනාගතයට නොබියව මුහුණ දෙන්න

16. අවංක හදවත් ඇති අයට යෙහෝවා දෙවි සැලකිල්ල දක්වන බව ශුභාරංචිය ප්‍රකාශ කිරීම මගින් දැකගත හැක්කේ කෙසේද?

16 දෙවි, අවංක හදවත් තිබෙන මිනිසුන් කෙරෙහි සැලකිල්ල දක්වන තවත් ක්‍රමයක් වන්නේ ඔවුන් කොහේ සිටියත් ශුභාරංචියට ඇහුම්කන් දීමට අවස්ථාව ලබා දීමයි. (උත්. 18:25) ඔහු එසේ කරන්නේ එවැනි අයට පවා එම පණිවිඩයට සවන් දීමට අවස්ථාවක් ලබා දීම මගිනුයි. ඒ සඳහා දෙවි, දේවදූතයන්ව යොදාගෙන තම සේවකයන්ට මඟ පෙන්වනවා. (එළි. 14:6, 7) උදාහරණයකට, ඉතියෝපියානු නිලධාරියා කියවමින් සිටි ශුද්ධ ලියවිලි කොටස තේරුම් කර දීමට ෆිලිප්ට මඟ පෙන්නුවේ දේවදූතයෙකුයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ශුභාරංචිය පිළිගෙන, බව්තීස්ම වී යේසුස්ගේ අනුගාමිකයෙකු වුණා. *යොහ. 10:14; ක්‍රියා 8:26-39.

17. අනාගතය ගැන අප අනවශ්‍ය ලෙස කනස්සලු නොවිය යුත්තේ ඇයි?

17 අප මේ දුෂ්ට සමාජයේ අවසානයට ළං වෙත්ම “විපත්ති නිසා ඇති වන වේදනා” තව තවත් උග්‍ර වෙනවා. (මතෙ. 24:8) ඊට එක් උදාහරණයක් වන්නේ ආහාර මිල ඉහළ යෑමයි. එයට හේතු වී තිබෙන්නේ අසාමාන්‍ය කාලගුණික විපර්යාස, නිතරම වෙනස් වන ආර්ථිකය හා වැඩි වන ඉල්ලුමයි. ඊට තවත් උදාහරණයක් වන්නේ රැකියා අවස්ථා හිඟකම හා බොහෝ කාලයක් වෙහෙසී වැඩ කිරීමට සිදු වන නිසා ඇති වන පීඩනයයි. ඒ කුමන තත්වයක් යටතේ වුණත් දෙවිට තම ජීවිතයේ මුල් තැන දෙමින් ‘ඇස සරලව’ තබා ගන්නා අයට නම් අනවශ්‍ය ලෙස කනස්සලු වෙන්න හේතුවක් නැහැ. දෙවි එවැනි අයව ප්‍රේමණීයව රැකබලා ගන්නා බව ඔවුන් දන්නවා. (මතෙ. 6:22-34) ඉතා දුෂ්කර කාලයක් වූ ක්‍රිස්තු පූර්ව 607 යෙරුසලම විනාශ වීමට ආසන්නව තිබියදී දෙවි යෙරෙමියාට අවශ්‍ය දේවල් සපයා ඔහුව රැකබලා ගත්තා. ඒ ගැන දැන් අපි සලකා බලමු.

18. බබිලෝනිවරු විසින් යෙරුසලම වැටලූ කාලයේදී දෙවි යෙරෙමියාව ප්‍රේමයෙන් රැකබලා ගත්තේ කෙසේද?

18 බැබිලෝනිවරුන් යෙරුසලම වටලා සිටි කාලයේ අවසාන භාගයේදී යෙරෙමියා සිටියේ මුරකාර මළුවේ සිරගතවයි. මේ දුෂ්කර කාලයේදී ඔහු කෑම සොයා ගත්තේ කොහොමද? ඒ සඳහා ඔහුව නිදහස් කෙරුවාද? නැහැ. ඒ වෙනුවට ඔහුට අවශ්‍ය දේවල් ලබාගන්න සිදු වුණේ ඔහු අවට සිටි අයගෙන්මයි. ඔවුන්ගෙන් වැඩිදෙනා ඔහුට වෛර කළ අයයි. ඒ වුණත් දෙවි තමාව රැකබලා ගන්නා බවට දී තිබූ පොරොන්දුව යෙරෙමියා විශ්වාස කළා. දෙවිද එය එසේම ඉටු කළා. ඒ අනුව ‘නගරයේ රොටි පිලිස්සීම නතර වන තෙක්ම, යෙරෙමියාට දිනපතාම රොටියක් බැගින්’ ලැබීමට දෙවි සැලැස්සුවා. (යෙරෙ. 37:21NW) යෙරෙමියාව පමණක් නොව බාරුක්, එබෙද්මෙලෙක් හා තවත් සේවකයන්ව ඒ දුෂ්කර කාලයේදී පවා දෙවි සාගතයෙන්, වසංගතයෙන් හා මරණයෙන් ගලවාගත්තා.—යෙරෙ. 38:2; 39:15-18.

19. අනාගතයට මුහුණ දෙන විට අපගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

19 “යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත්, ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම වෙතටත් යොමු වී තිබේ” යන්න මොන තරම් සත්‍යයක්ද! (1 පේතෘ. 3:12) යෙහෝවා දෙවි පියෙකු මෙන් ඔබට සපයන රැකවරණය ගැන ඔබ සතුටු වෙනවාද? ඔබගේම යහපත වෙනුවෙන් දෙවි ඔබව සෝදිසි කරන නිසා ඔබට ආරක්ෂාවේ හැඟීමක් ඇති වෙනවාද? එසේ නම් ඉදිරියේදී කුමන තත්වයකට මුහුණ දීමට ඔබට සිදු වුණත් දෙවි සමඟ දිගටම ගමන් කිරීමට අදිටන් කරගන්න. එවිට යෙහෝවා දෙවිද ප්‍රේමණීය පියෙකු මෙන් සෑම අවස්ථාවකදීම තම පක්ෂපාත සේවකයන්ව ආදරයෙන් රැකබලා ගන්න බව අපට ස්ථිරයි.—ගීතා. 32:8; යෙසායා 41:13 කියවන්න.

[පාදසටහන්වල]

^ 12 ඡේ. මෙම ලිපිවල තොරතුරු මූලිකවම අදාළ වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට වුණත් ඒවා දෙවිගේ සියලුම සේවකයන්ටත් අදාළයි.

^ 16 ඡේ. ශුභාරංචිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දෙවි මඟ පෙන්වූ තවත් අවස්ථාවක් ක්‍රියා 16:6-10හි දැක ගත හැකියි. පාවුල් සහ ඔහුගේ සහයකයන්ට අසියාවේ හා බිතිනියේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම “ශුද්ධාත්මය [දෙවිගේ බලය] විසින් ඔවුන්ට තහනම්” කළ අතර ඒ වෙනුවට ශුභාරංචියට කැමති බොහෝ පිරිසක් සිටින මැසිඩෝනියාවට යන්න ඔවුන්ව පෙලඹෙව්වා.

ඔබට මතකද?

• අපි ‘දෙවි සමඟ ගමන්’ කරන බව පෙන්විය හැක්කේ කෙසේද?

• දෙවි බාරුක්ට ප්‍රේමණීය සැලකිල්ල දැක්වූයේ කෙසේද?

• සභාවේ හිස හැටියට යේසුස් තම පියාගේ ගුණාංග විදහා පෙන්වූයේ කෙසේද?

• මේ දුෂ්කර කාලයේදී අප දෙවි කෙරෙහි විශ්වාසය තබන බව පෙන්විය හැකි ආකාර මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූර]

යෙහෝවා දෙවි යෙරෙමියා මගින් බාරුක්ට තම සැලකිල්ල පෙන්නුවා හා සමානව වැඩිමහල්ලන් මගින්ද තම සෙනඟට සැලකිල්ල පෙන්වනවා

[10වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි නියමිත වේලාවට උපකාර සපයන්නේ කෙසේද?