Skip to content

පටුනට යන්න

“යෙහෝවා දෙවි මාගේ ශක්තියයි”

“යෙහෝවා දෙවි මාගේ ශක්තියයි”

“යෙහෝවා දෙවි මාගේ ශක්තියයි”

ජෝන් කෝවිල්

මම ඉපදුණේ 1925දී, එංගලන්තයේ හඩර්ස්ෆීල්ඩ් කියන ප්‍රදේශයේයි. මම පවුලේ එකම දරුවායි. ඒ වගේම මම නිතරම අසනීප වුණා. ඒ නිසා මගේ තාත්තා නිතරම මෙහෙම කියනවා. “ඔයාට හුළං පාරක් වැදුණත් අසනීප වෙනවනේ.” ඒ කතාව නම් ඇත්තයි.

මට මතකයි මම පොඩි කාලේ කතෝලික පූජකයන් සාමය ඉල්ලලා උනන්දුවෙන් යාච්ඤා කරනවා. නමුත් දෙවන ලෝක මහා යුද්ධය පටන්ගත්තට පස්සේ ඔවුන් යාච්ඤා කළේ ජයග්‍රහණය ඉල්ලලයි. ඒක මට ලොකු ප්‍රශ්නයක් වුණා. අපේ ප්‍රදේශයේ හිටියේ එකම එක සාක්ෂිකරුවයි. ඒ ඇනි රැට්ක්ලිෆ්. එයා අපිව හම්බවෙන්න ආවෙත් මේ කාලයේදීමයි.

සත්‍යය ලැබුණේ මෙහෙමයි

ඇනි මගේ අම්මට සැල්වේෂන් කියන පොත දීලා, ඇගේ ගෙදර තියෙන බයිබල් සාකච්ඡාවට එන්න කිව්වා. * අම්මා ඒකට මාවත් එක්කගෙන ගියා. ඒක මට අද වගේ මතකයි. එදා සාකච්ඡා කළේ යේසුස්ගේ ජීවිත පූජාව ගැනයි. ඒ වගේම ඒක හරිම උනන්දුවෙන් අහගෙන ඉන්න පුළුවන් එකක්. මට තිබුණු ප්‍රශ්න ගොඩකට ඒකෙන් පිළිතුරු ලැබුණා. ඊළඟ සතියෙත් අපි ඒකට සහභාගි වුණා. එදා කතා කළේ අවසාන දවස් ගැන යේසුස් කියපු අනාවැකියි. අපි ඉගෙනගන්නේ සත්‍යය බව තේරුම්ගන්න ඒ සාකච්ඡාව මටත් අම්මාටත් ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. එදා සාකච්ඡා කළ කරුණු ලෝකයේ සිදු වූ දේවල් එක්ක හොඳට ගැළපුණා. එදාම ඔවුන් අපිට රාජ්‍ය ශාලාවට එන්න කියලත් ආරාධනා කළා.

රාජ්‍ය ශාලාවේදී මට තරුණ පුරෝගාමින් කිහිපදෙනෙක් මුණගැසුණා. ජොයිස් බාබර් ඒ අයගෙන් එක්කෙනෙක් (දැන් එයාට කියන්නේ එල්සි). ඇයත් ඇගේ ස්වාමිපුරුෂයා පීටර් දැන් ලන්ඩන් බෙතෙල් නිවසේ සේවය කරනවා. හැමදෙනාම පුරෝගාමින් කියලා මම හිතපු නිසා මමත් හැම මාසයකම දේශනා සේවයේ පැය 60ක් විතර ගත කළා. හැබැයි එතකොටත් මම පාසැල් යනවා.

ඊට මාස පහකට පස්සේ ඒ කියන්නේ 1940 පෙබරවාරි 11 වෙනිදා බ්‍රැඩ්ෆර්ඩ්වල තිබුණ කාලාපීය එක්රැස්වීමකදී (දැන් චාරිකා එක්රැස්වීම) මමයි අම්මයි බව්තීස්ම වුණා. තාත්තා අපි කරන දේවල්වලට විරුද්ධ වුණේ නැහැ. හැබැයි එයා කවදාවත් සාක්ෂිකරුවෙක් වුණේ නැහැ. මම බව්තීස්ම වුණ කාලේම තමයි වීදි සාක්ෂි දැරීම හඳුන්වා දුන්නේ. මම සඟරා බෑග් එකත් අරගෙන දැන්වීම් පුවරු කරේ එල්ලගෙන වීදි සාක්ෂි දැරුවා. එක සෙනසුරාදාවක මට නගරයේ කාර්යබහුලම ස්ථානයේ වීදි සේවය කරන්න පැවරුවා. එදා මම බයවෙලයි හිටියේ. කොච්චර බය වුණාද කිව්වොත් මට දැනුණේ හරියට අපේ පංතියේ හැමෝම මං ළඟින් යනවා වගෙයි.

වර්ෂ 1940දී අපේ සභාව සභා දෙකකට වෙන් කළා. මගේ වයසේ හිටපු හැම කෙනෙක්ම අයිති වුණේ අනිත් සභාවටයි. ඉතින් මම ඒ ගැන මුලසුන භාර අවේක්ෂකට කිව්වාම එයා කිව්වේ මෙහෙමයි. “ඔයාට ඔයාගේ වයසේ අයව ආශ්‍රය කරන්න ඕන නම් සේවයේ ගිහිල්ලා තරුණ අයට දේශනා කරන්න.” මම එයා කියපු විදිහටම කළා. එහෙම ටික දවසක් දේශනා සේවයේ යද්දී මට එල්සි නෝබල් කියන කාන්තාව මුණ ගැහුණා. එයා බයිබලය ගැන ඉගෙන ගන්න හරිම උනන්දුයි. ඊට පස්සේ එයා මගේ හොඳ යාළුවෙක් වුණා.

පුරෝගාමි සේවයේ ආශීර්වාද

මගේ අධ්‍යාපන කටයුතු අවසන් වුණාම මම ගණකාධිකාරිවරයෙක් යටතේ වැඩ කළා. නමුත් පුරෝගාමීන් කොච්චර සතුටින් සේවය කරනවාද කියලා මම දැක්ක නිසා මට පුරෝගාමියෙක් වෙන්න තිබුණු ආශාව තව තවත් වැඩි වුණා. ඊට පස්සේ 1945 මැයි මාසයේදී මම විශේෂ පුරෝගාමියෙක් හැටියට ඒ ප්‍රීතිමත් සේවය ආරම්භ කළා. මම සේවයේ ගිය මුල්ම දවසේ හොඳටම වැස්සා. නමුත් ඒ වැස්ස ගැන හිතන්නේ නැතුව මම සතුටින් සේවයේ ගියා. මට දුර්වල සෞඛ්‍යක් තිබුණත් බයිසිකලයෙන් දේවසේවයේ යන එක මට හොඳ ව්‍යායාමයක් වගේම, හොඳ සෞඛ්‍යකින් ඉන්නත් උපකාරයක් වුණා. මගේ බර මගේ වයසට අනුව හැමවිටම තිබුණේ අඩුවෙනුයි. ඒ වුණත් පුරෝගාමි සේවයට ඒක බාධාවක් වුණේ නැහැ. “යෙහෝවා දෙවි මාගේ ශක්තියය” කියලා මගේ ජීවිතයේ හැමදාම මට දැනිලා තියෙනවා.—ගීතා. 28:7, නව ලොව පරිවර්තනය, NW.

අලුත් සභා පිහිටුවන්න අවශ්‍ය නිසා මාව විශේෂ පුරෝගාමියෙක් හැටියට සාක්ෂිකරුවන් නැති නගරවලට යැව්වා. මම අවුරුදු තුන ගානේ එංගලන්තයේ සහ අයර්ලන්තයේ සේවය කළා. අයර්ලන්තයේ ලිස්බර්න්වල සේවය කරද්දී රෙපරමාදු පල්ලියේ පූජකයෙක් එක්කත් බයිබල් පාඩමක් කළා. එයා මාත් එක්ක කරපු බයිබල් පාඩමෙන් ඉගෙන ගන්න දේවල් එයාගේ පල්ලියට එන අයට උගන්වනවා. එයා ඒවා උගන්වන එක ගැන සමහරුන් පල්ලියේ බලධාරීන්ට පැමිණිලි කළා. පල්ලියේ ඒවා උගන්වන්නේ ඇයි කියලා ඔවුන්ට පැහැදිලි කරන්න ඔහුට සිදු වුණා. ඒ ගැන ඔහු කිවේවේ, තමන් මෙතෙක් කල් ඉගැන්නුවේ බොරු දේවල් නිසා පල්ලියට එන අයට ඒ ගැන පැහැදිලි කිරීම තම වගකීම බවයි. එයාගේ පවුලේ අයගේ දැඩි විරුද්ධවාදීකම් හමුවේ පවා එයා දෙවිට කැප වී මරණය දක්වාම විශ්වාසවන්තව සේවය කළා.

මගේ දෙවන පැවරුම වුණේ අයර්ලන්තයේ ලාන් නගරයයි. මම මාස හයක් විතර එහෙ සේවය කරන කොට ඒ කියන්නේ වර්ෂ 1950දී මගේ පුරෝගාමි සහයකයා සමුළුවක් සඳහා නිව් යෝර්ක් නගරයට ගියා. මමත් යන්න හරි ආශාවෙන් හිටියේ. ඒත් යන්න බැරි වුණ නිසා මම ටිකක් දුක හිතුණා. නමුත් ඒ සති කිහිපයේ මම සේවයේ යද්දී දිරිගැන්වෙන අද්දැකීම් ගොඩාක් ලැබුවා. මීට අවුරුදු 20කට කලින් අපගේ ප්‍රකාශන ලබා ගත් එක් මහලු කෙනෙකුව මට හමුවුණා. ඔහු එම ප්‍රකාශන කොච්චර වාර ගාණනක් කියවලා තිබුණාද කිව්වොත් ඒවා ඔහුට කට පාඩම්. පස්සේ ඔහුත්, ඔහුගේ දුව සහ පුතාත් බයිබල් සත්‍යය පිළිගත්තා.

ගිලියද් පාසැලෙන් ලැබූ පුහුණුව

වර්ෂ 1951දී මටත් එංගලන්තයේ ඉන්න තවත් පුරෝගාමින් දහදෙනෙකුටත් නිව් යෝර්ක් නුවර පැවැත්වෙන 17වෙනි ගිලියද් පාසැලට සහභාගි වීමට ආරාධනා ලැබුණා. ඒ මාස කිහිපයේදී ලැබුණු බයිබල් උපදෙස් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ කාලයේ දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කතා ඉදිරිපත් කරන්න සහෝදරියන්ට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ගිලියද් පාසැලේදී නම් කතා ඉදිරිපත් කරන්නත් යම් වාර්තා ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලැබුණා. එය අලුත් අද්දැකීමක් නිසා මම හිටියේ ටිකක් බයෙන්. ඒ නිසා මගේ පළමු කතාව පුරාම මාව වෙව්ලුවා. කතාව ඉවරවුණාට පස්සේ පාසැල් උපදේශක සහෝදර මැක්ස්වල් ෆ්‍රෙන්ඩ් පොඩි විහිළුවක් කරමින් මෙහෙම කිව්වා. “සාමාන්‍යයෙන් දක්ෂ කථිකයන් වුණත් කතාවක මුලදී ටිකක් වෙව්ලනවා. හැබැයි ඔයා නම් කතාව මුලදි විතරක් නෙවෙයි මුළු කතාව පුරාම වෙව්ළුවා.” මෙසේ ශිෂ්‍යයන් ඉදිරියෙහි පැවරුම් ඉදිරිපත් කරන ආකාරය ගැන අපිට හොඳ පුහුණුවක් ලැබුණා. ඒ ප්‍රීතිමත් කාලය හරි ඉක්මනින් ගෙවිලා ගියා. අපේ පුහුණුව අවසන් වුණාට පස්සේ අපිට පැවරුම් ලැබුණා. මට පැවරුම ලැබුණේ තායිලන්තයටයි.

සිනහ මුසු මිනිසුන්ගේ දේශය”

සහෝදරී ඇස්ට්‍රිඩ් ආන්ඩර්සන්ව තායිලන්තයේ මගේ මිෂනාරි සහයකයා හැටියට ලැබීම යෙහෝවා දෙවිගෙන් ලැබුණු ත්‍යාගයක් වගෙයි. අපි තායිලන්තයට ආවේ බඩු අරගෙන එන නැවකිනුයි. ඒ නිසා ඒකට සති හතක් ගත වුණා. තායිලන්තයේ අගනුවර වන බැංකොක් නගරය පොඩි පොඩි කඩසාප්පු ගොඩාක් තිබෙන කාර්යබහුල නගරයක්. ඒ වගේම එකිනෙකට සම්බන්ධ ඇළ මාර්ග රාශියක් තිබෙන අතර ඒවා ඔවුන්ගේ ප්‍රධාන ගමන් මාර්ගයි. අපි 1952දී එහෙ ගිය අලුත එහි ප්‍රචාරකයන් හිටියේ 150ක් වැනි සුළු පිරිසක් පමණයි.

තායි භාෂාවෙන් තිබුණු මුරටැඹ සඟරාව අපි මුලින්ම දැක්ක වෙලාවේ ‘මේ භාෂාව ඉගෙනගන්න අපිට තව කොච්චර කල් යයිද’ කියලා හිතුණා. ඒ වගේම ඒ භාෂාවේ තිබුණු තවත් අභියෝගයක් වුණේ වචන උච්චාරණයයි. උදාහරණයකට කාඕඌ යන වචනය ඉහළ ස්වරයකින් පටන් ගෙන අවසන් වන්නේ පහළ ස්වරයකින් නම් ඉන් අදහස් කරන්නේ ‘සහල්’ යන්නයි. නමුත් ඒ වචනයම ගැඹුරු ස්වරයකින් ශබ්ද කරන විට ඉන් අදහස් කරන්නේ ‘ආරංචියක්’ යන්නයි. ඉතිං මුල් දවස්වලදී අපි දේවසේවයට වැඩි අවධානයක් දුන් නිසා ඒ වචන ශබ්ද කරන ආකාරය ටිකක් පැටලුණා. ඒ නිසා “අපි ඔයාලට හොඳ ආරංචියක් ගෙනාවා” කියනවා වෙනුවට කියලා තියෙන්නේ “අපි ඔයාලට හොඳ සහල් ගෙනාවා” කියලයි. ඒ වගේ පොඩි පොඩි වැරදීම් ගැන අපි හරියට හිනා වුණා. කොහොමවුණත් ටිකෙන් ටික අපි ඒ භාෂාව ඉගෙනගත්තා.

තායිලන්තයේ ජනයා හරිම මිත්‍රශීලීයි. ඒ නිසා බොහෝදෙනා ඒ රට හඳුන්වන්නේ සිනහ මුසු මිනිසුන් සිටින දේශය කියායි. අපි මුලින්ම එහි සේවය පටන්ගත්තේ කෝරාට් කියන නගරයේයි. (දැන් නකහෝන් රාට්චාසිමා) එහි අපි අවුරුදු දෙකක් සේවය කළා. පසුව චියෑං මායි කියන ප්‍රදේශයට පැවරුමක් ලැබුණා. එහි ජනයාගෙන් බහුතරයක් බෞද්ධයන් වන අතර බයිබලය ගැන කිසිම දැනුමක් ඔවුන්ට තිබුණෙ නැහැ. අපි කෝරාට් ප්‍රදේශයේ ඉන්නකොට එහි තැපැල් ස්ථානාධිපති එක්ක පාඩමක් කළා. අපි ඔහුත් එක්ක ආබ්‍රහම් ගැන කතා කළා. ඔහු මීට කළින් ආබ්‍රහම් කියන නම අසා තිබුණු බව අඟවමින් ඔහුගේ හිස වැනුවා. නමුත් ඔහු මෙච්චර වෙලා හිතාගෙන ඉඳලා තියෙන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වූ ඒබ්‍රහැම් ලින්කන් ගැන කියලා ටික වෙලාවක් යද්දී මට තේරුණා.

තායිලන්තයේ ජනයාට දෙවි ගැන ඉගැන්වීමෙන් අපි ලොකු ප්‍රීතියක් ලැබුවා. ඒ වගේම සරල ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා අපි ඔවුන්ගෙන් ඉගෙනගත්තා. ඒක අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වුණේ කෝරාට්වල අපි කලින් හිටපු මිෂනාරි නිවසේ විදුලි බලයවත් නල ජල පහසුකම්වත් තිබුණේ නැති නිසයි. එවැනි දුෂ්කර තත්වයන් යටතේදී ‘බොහෝ දේවල් ඇතිව සිටින්නත්, අග හිඟකම් ඇතිව සිටින්නත් හැකි රහස ඉගෙනගත්තා.’ පාවුල් පැවසුවාක් මෙන් අපට ‘බලය දෙන තැනැත්තාගෙන් සියලු දේ සඳහා ශක්තිය’ ලැබුණු බව අපි අද්දැක්කා.—ෆිලි. 4:12, 13.

අලුත් පැවරුමක් හා සහයකයෙක්

මම 1945දී ලන්ඩන් නුවරට ගිය විට පුරෝගාමීන් කිහිපදෙනෙක් හා බෙතෙල් සාමාජිකයන් කිහිපදෙනෙකු සමඟ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය නරඹන්න ගියා. ඒ අය අතර ඇලන් කොවිල් කියන සහෝදරයාද හිටියා. ඔහු ඉන් ටික කාලකට පස්සේ 11වෙනි ගිලියද් පාසැලට සහභාගි වීමෙන් පසු ප්‍රංශයටත් පසුව බෙල්ජියමටත් පැවරුම් ලැබුණා. * මම තායිලන්තයේ සේවය කරමින් ඉන්න විට ඔහු මට විවාහ යෝජනාවක් ගෙනාවා. මමත් ඊට කැමති වුණා.

පසුව අපි 1955 ජූලි නවවෙනිදා බෙල්ජියමේ බ්‍රසල්ස්වලදී විවාහ වුණා. කවදා හරි විවාහ වුණාම මධු සමය ගත කරන්න පැරීසියට යන්න ලොකු ආශාවක් මගේ හිතේ තිබුණා. ඒ නිසා අපගේ විවාහයෙන් පසු සතියේ තිබෙන සමුළුවකට සහභාගි වෙන්නත් එක්ක එහේ යන්න ඇලන් කටයුතු සුදානම් කළා. කොහොම වුණත් අපි එහෙ යනවාත් එක්කම ඒ සමුළුවේ තියෙන කතා ඔක්කොම වගේ පරිවර්තනය කරන්න සහෝදරයන් ඔහුගෙන් උදව් ඉල්ලා සිටියා. ඒ නිසා හැම දවසකම උදෙන්ම පිට වීමට අපිට සිදු වුණා. අපි නැවතත් නවාතැනට එද්දී හුඟාක් රෑ බෝ වෙලා. අපි පැරීසියට ගියේ මධු සමය ගත කරන්න වුණත් ඇලන්ට මාත් එක්ක ඉන්න වැඩි කාලයක් තිබුණේ නැහැ. ඒ වුණත් මගේ ස්වාමිපුරුෂයාව සෙසු සහෝදරයන් වෙනුවෙන් සේවය කිරීමට යොදාගැනීම ගැන මම ගොඩාක් සතුටු වුණා. අපි යෙහෝවා දෙවිට මුල් තැන දුන්නොත් විවාහයේ සැබෑ සතුට ලබන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා.

විවාහ වුණාට පස්සේ මට අලුත් පැවරුමක් ලැබුණා. ඒ බෙල්ජියමේයි. මේ රට ගැන මම දැන ගෙන හිටියේ බොහොම ටිකයි. එනම් ඒ රටේ යුද්ධ කිහිපයක් වුණා කියලා විතරයි. නමුත් මේ රටේ මිනිස්සු සාමයට ගොඩාක් කැමති බව මම පසුව තේරුම්ගත්තා. ඒ වගේම බෙල්ජියමේ දකුණු ප්‍රදේශයේ ජනයා කතා කළ ප්‍රංශ භාෂාව ඉගෙනගන්නත් මට සිදු වුණා.

වර්ෂ 1955 වන විට 4,500ක් පමණ සාක්ෂිකරුවන් බෙල්ජියමේ සිටියා. අවුරුදු 50ක කාලයක් පුරා ඇලන් හා මම බෙතෙල් නිවසෙත් චාරිකා සේවයෙත් හවුල් වුණා. අපගේ සේවයේ මුල් අවුරුදු දෙකහාමාර තුළ අපි බයිසිකලයෙන් ගමන් කරමින් අව්ව වැස්ස කඳු පල්ලම් නොතකා සේවය කළා. ඒ කාලය තුළ අපි නවාතැන් ගත් සාක්ෂිකාරුවන්ගේ ගෙවල් ගණන 2000කටත් වැඩියි. එතරම් ශරීර ශක්තියක් නොතිබුණත් දෙවිට තම උපරිමයෙන් සේවය කර තිබූ සහෝදර සහෝදරියන් ගණනාවක් මට හමු වෙලා තියෙනවා. මගේ සේවයත් දිගටම කරගෙන යන්න ඒක මට ලොකු හයියක් වුණා. සභාවක් සමඟ සේවය කළ සෑම සතියක අවසානයේදීම අපි බොහෝ සෙයින් දිරිගැන්වුණා. (රෝම 1:11, 12) පසුගිය කාලය පුරාම ඇලන් මාව හොඳින් බලාගත්තා. ඒ වගේම දේශනාකාරයා 4:9,10හි වචන මොනතරම් සත්‍යයද කියා මට තේරුණා. ‘එක්කෙනෙකුට වඩා දෙදෙනකු හොඳය එක්කෙනෙකු වැටුණොත් අනිත් තැනැත්තාට ඔහුව නැඟිටුවන්න පුළුවන.’

‘දෙවිගේ ශක්තිය’ නිසා ලැබූ ආශීර්වාද

දෙවිට සේවය කරන්න අන් අයට උපකාර කිරීමෙන් ඇලනුයි මමයි ප්‍රීතිමත් අද්දැකීම් ගොඩාක් ලැබුවා. උදාහරණයකට, 1983දී අපි ඇන්ට්වර්ප්හි පිහිටි ප්‍රංශ භාෂාව කතා කරන සභාවකට ගියා. අපි නවාතැන්ගත් ගෙදර, සයිරේවලින් (දැන් ප්‍රජාතාන්ත්‍රවාදි කොන්ගෝ ජනරජය) පැමිණ සිටි බෙන්ජමින් බාන්ඩිවිලා කියන තරුණ සහෝදරයාත් හිටියා. සහෝදර බෙන්ජමින් බෙල්ජියමට ඇවිත් තිබුණේ වැඩි දුර අධ්‍යාපනය සඳහායි. එදා ඔහු අපට මෙහෙම කිව්වා. “ඔය දෙන්නා යෙහෝවා දෙවිට කැපවීමකින් සේවය කරනවා දැක්කම මට නම් හරිම ආසා හිතෙනවා.” ඊට පස්සේ ඇලන් ඔහුට මෙහෙම කිව්වා “අපි කරන සේවය ගැන ඔයාට ගොඩාක් ආසා හිතෙනවා කියලා කිව්වානේ. ඒ වුණත් ඔයා ලබා ගන්න උත්සාහ කරන්නේ වෙන දෙයක්නේ. ඉතින් ඔයා හිතන්නේ නැද්ද මේ දෙකෙන් ලැබෙන ප්‍රතිඵල එකිනෙකට වෙනස් කියලා?” ඇලන්ගේ ඍජු මඟ පෙන්වීම නිසා ඔහු තම තීරණය වෙනස් කරන්න සිතුවා. පසුව ඔහු සයිරේවලට නැවත ගොස් පුරෝගාමි සේවය පටන් ගත් අතර දැන් ඔහු තම රටේ ශාඛා කාර්යාලයේ කමිටු සාමාජිකයෙක් ලෙස සේවය කරනවා.

වර්ෂ 1999දී මගේ උගුරේ ශල්‍යකර්මයක් සිදු කළා. ඒ නිසා එදා ඉඳලා මගේ බර කිලෝග්‍රෑම් 30ට වඩා වැඩි වුණේ නැහැ. මම හරියට බිඳෙන සුළු ‘මැටි භාජනයක්’ වගේ දුර්වලයි. ඒ වුණත් යෙහෝවා දෙවි මට “සාමාන්‍යය ඉක්මවූ බලය” ලබා දී තිබීම ගැන මම ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මගේ ශල්‍යකර්මයෙන් පස්සේ නැවතත් ඇලන් සමඟ චාරිකා සේවයේ යන්න දෙවි මට උපකාර කළා. (2 කොරි. 4:7) මෙසේ අප දෙදෙනා එක්ව කළ සේවය නිමා කරමින් 2004 මාර්තු මාසයේ දවසක නින්දට ගිය ඇලන් ආයේ අවදි වුණේ නැහැ. එයා නැති පාඩුව මට ගොඩාක් දැනෙනවා. නමුත් යෙහෝවා දෙවිගේ නියමිත කාලයේදී ඔහුව නැවතත් හමු වන බව දැන සිටීම මට ලොකු සැනසීමක්.

දැන් මට වයස අවුරුදු 83යි. අවුරුදු 63කට වඩා වැඩි කාලයක් පුරා කළ පූර්ණ කාලීන සේවය ගැන මම කල්පනා කරනවා. මම තවමත් දේවසේවයේ යන අතර බයිබල් පාඩමකුත් පවත්වනවා. ඒ වගේම හමුවන හැමෝටම දෙවිගේ පුදුමාකාර අරමුණු ගැන කතා කරනවා. ‘එදා 1945දී මම පුරෝගාමි සේවය පටන් ගත්තේ නැත්නම් මගේ ජීවිතය මොන වගේ වෙන්න තිබුණද’ කියලා සමහර වෙලාවට මට හිතෙනවා. ඒ කාලයේ මගේ සෞඛ්‍ය තත්වය ටිකක් දුර්වල වෙලා තිබුණු නිසා ඒක නිදහසට හේතුවක් කර ගනිමින් පුරෝගාමි සේවය නොකරන්න තීරණය කරන්නත් ඉඩ තිබුණා. නමුත් ඒ මොනවා වුණත් මගේ ජීවිතයේ හොඳම කාලයේ දෙවිට පූර්ණ කාලීනව සේවය කරන්න පටන්ගත්ත එක ගැන මම දැන් කොතරම් සතුටු වෙනවාද! අපි යෙහෝවා දෙවිට අපේ ජීවිතයේ මුල් තැන දුන්නොත් ඔහු අපිට ශක්තිය සපයන බව ජීවිත කාලය පුරා ලැබූ අද්දැකීම්වලින් මම තේරුම් ගත්තා.

[පාදසටහන්වල]

^ 6 ඡේ. මෙම පොත සිංහලෙන් නැත. එය 1939 දී මුද්‍රණය කළ අතර එය දැන් මුද්‍රණය නොකෙරේ.

^ 22 ඡේ. සහෝදර කොවිල්ගේ ජිවිත කතාව වර්ෂ 1961 මාර්තු 15 මුරටැඹ කලාපයේ (සිංහලෙන් නැත) පළ වුණා.

[18වන පිටුවේ පින්තූරය]

මගේ පුරෝගාමි සහයක සහෝදරී ඇස්ට්‍රිඩ් ආන්ඩර්සන් සමඟ (දකුණු පසින්)

[18වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1956දී ඇලන් සමඟ චාරිකා සේවයේ හවුල් වෙමින්

[20වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2000දී ඇලන් සමඟ