Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි සියල්ලන්වම සෝදිසි කර බලයි

යෙහෝවා දෙවි සියල්ලන්වම සෝදිසි කර බලයි

යෙහෝවා දෙවි සියල්ලන්වම සෝදිසි කර බලයි

“[යෙහෝවා දෙවිගේ] දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.”—ගීතා. 11:4, නව ලොව පරිවර්තනය, NW.

1. ඔබ වඩා කිට්ටු වන්න කැමති මොන වගේ අයටද?

ඔබ යම් මඟ පෙන්වීමක් ඉල්ලා සිටින විට හෝ ඔබට යම් උපකාර අවශ්‍ය විට එය නොපමාව ලබා දෙන මිතුරන් ගැන සිතන්න. එපමණක් නොව ඔබට යම් උපදෙසක් අවශ්‍ය බව දකින විට එය ඔවුන් ප්‍රේමණීයව ලබා දෙනවා. එවැනි අය ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? (ගීතා. 141:5; ගලා. 6:1) එවැනි අයට ඔබ වඩාත් කිට්ටු වන්නේ නැද්ද? යෙහෝවා දෙවි සහ යේසුස් ඔබට සලකන්නෙත් ඒ විදිහටයි. මිනිසුන් දක්වන සැලකිල්ලට වඩා වැඩි සැලකිල්ලක් ඔවුන් අපට දක්වනවා. නමුත් ඔවුන් එසේ කරන්නේ යම් වාසි ප්‍රයෝජන තකා නොවෙයි. ඒ වෙනුවට “සැබෑ ජීවිතය තදින් අල්ලාගැනීමට” අපට උපකාර කිරීම ඔවුන්ගේ ආශාවයි.—1 තිමෝ. 6:19; එළි. 3:19.

2. දෙවි තම සේවකයන් කෙරෙහි කොතරම් සැලකිල්ලක් දක්වනවාද?

2 අප කෙරෙහි ඇති දෙවිගේ සැලකිල්ල ගැන ගීතිකාකරු මෙසේ පැවසුවා.“[යෙහෝවා දෙවිගේ] දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.” (ගීතා. 11:4NW) ඉන් පැහැදිලි වන්නේ දෙවි අප දෙස නිකම්ම බලනවා වෙනුවට අපව සෝදිසි කර බලන බවයි. ඒ ගැන දාවිත් මෙසේ පැවසුවා. ‘ඔබ මාගේ සිත විමසා බලා රාත්‍රියේදී මාව සෝදිසි කළේය. මා කුමන්ත්‍රණ නොකළ කෙනෙකු බව ඔබ දකිනු ඇත.’ (ගීතා. 17:3NW) දෙවි, තමන් ගැන මොන තරම් සැලකිල්ලක් දක්වනවාද කියා දාවිත් හොඳින් දැන සිටියා. එමෙන්ම වංචාසහගත සිතක් හෝ පව්කාර සිතුවිලි තමන් තුළ වර්ධනය වුණොත් ඉන් දෙවිගේ සිත රිදෙන බවත් තමන් ඔහුගේ අප්‍රසාදයට ලක් වන බවත් දාවිත් තේරුම්ගත්තා. දාවිත්ට මෙන් ඔබටත් දෙවි සැබෑ පුද්ගලයෙක්ද?

දෙවිට අපගේ සිතුවිලි තේරුම්ගත හැකියි

3. අප අතින් සිදු වන අඩුපාඩුකම් දෙවි සලකන්නේ කොහොමද?

3 දෙවි වඩාත් සැලකිලිමත් වන්නේ අපගේ හදවතේ තිබෙන සිතුවිලි හා ආකල්ප ගැනයි. (ගීතා. 19:14; 26:2) ප්‍රේමණීය දෙවි හැටියට ඔහු අප අතින් සිදු වන සුළු සුළු අඩුපාඩුකම් මතක තබාගන්නේ නැහැ. ඒ ගැන මේ උදාහරණය සලකා බලන්න. එක් අවස්ථාවකදී සාරා දේවදූතයෙකුට සත්‍යය නොවන යමක් පැවසුවා. ඒ අවස්ථාවේදී ඇය බියට හා අපහසුතාවට පත් වී සිටීම ඊට හේතුව බව තේරුම්ගත් දේවදූතයා ඇය සමඟ දැඩිව කටයුතු කළේ නැහැ. (උත්. 18:12-15) “දෙවිට වඩා තමා ධර්මිෂ්ඨය කියා” යෝබ් පැවසූ නිසා ඔහුට ආශීර්වාද නොකරන්න දෙවි තීරණය කළේ නැහැ. ඊට හේතුව ඒ වන විටත් ඔහු සාතන්ගේ දරුණු පීඩාවලට මුහුණ දී ඇති බව දෙවි තේරුම්ගෙන තිබීමයි. (යෝබ් 32:2; 42:12NW) අනාගතවක්තෘ එලියාට සාරෆෙත්හි වැන්දඹුව දොස් පැවරූ විට දෙවි ඇය කෙරෙහි කෝප වුණේ නැහැ. තම එකම දරුවා අහිමි වීම නිසා ඇය සිටියේ දැඩි වේදනාවෙන් බව දෙවි තේරුම්ගත්තා.—1 රාජා. 17:8-24.

4, 5. දෙවි අබිමෙලෙක්ට කාරුණික සැලකිල්ල පෙන්නුවේ කෙසේද?

4 දෙවි, තම නමස්කාරකයන් නොවන අයට පවා සැලකිල්ල දක්වනවා. පිලිස්තීය නගරයක් වූ ගෙරාර්හි රජ වූ අබිමෙලෙක් සමඟ දෙවි ක්‍රියා කළ ආකාරයෙන් එය පැහැදිලියි. සාරා අබ්‍රහම්ගේ භාර්යාව කියා නොදැන ඇයව විවාහ කරගැනීමට ඔහු තීරණය කළා. නමුත් ඊට පෙර සිහිනයක් මගින් දෙවි ඔහුට මෙසේ පැවසුවා. “ඔබ මේ දේ කළේ නොදන්නාකමින් කියා මමත් දනිමි. මට විරුද්ධව පව් කිරීමෙන් ඔබව වළක්වා ඇයට අත තබන්න මම ඔබට ඉඩ නොදුන්නේ ඒ නිසයි. දැන් ඒ මනුෂ්‍යයාගේ භාර්යාව ආපසු ඔහුටම භාර දෙන්න. ඔහු අනාගතවක්තෘවරයෙකු වන නිසා ඔහු ඔබ වෙනුවෙන් මට කන්නලව් කරාවී. එවිට ඔබේ ජීවිතය රැකෙයි.”—උත්. 20:1-7NW.

5 දේවතා රූපවලට නමස්කාර කළ පුද්ගලයෙක් වූ අබිමෙලෙක්ට දැඩි දඬුවම් දීමට දෙවිට හැකියාව තිබුණා. නමුත් අබිමෙලෙක් ඒ තීරණය ගත්තේ නොදැනුවත්ව බව දෙවි දැක්කා. ඒ නිසා යෙහෝවා දෙවි, කාරුණික සැලකිල්ල දක්වමින් ඔහුගේ ‘ජීවිතය රැකගැනීමටත්’ සමාව ලබාගැනීමටත් කළ යුතු දේ ඔහුට පැවසුවා. එවැනි කරුණාවන්ත දෙවි කෙනෙකුට නමස්කාර කරන්න ඔබ පෙලඹෙන්නේ නැද්ද?

6. යේසුස් තම පියාව අනුකරණය කළේ කුමනාකාරයෙන්ද?

6 යේසුස්ද තම පියාව ඉතා කදිමට අනුකරණය කළා. ඔහු වැඩි අවධානයක් දුන්නේ තම ගෝලයන්ගේ යහපත් ක්‍රියාවලට වූ අතර ඔවුන්ගෙන් සිදු වූ වැරදිවලට නිතරම සමාව දුන්නා. (මාක් 10:35-45; 14:66-72; ලූක් 22:31, 32; යොහ. 15:15) යොහන් 3:17හි ඇති ඔහුගේ මෙම වචනවලට එකඟවම ඔහු කටයුතු කළා. “දෙවි තම පුත්‍රයාව ලෝකයට එව්වේ, ඔහු විසින් ලෝකය විනිශ්චය කරනු ලබන පිණිස නොව, ඔහු මාර්ගයෙන් ලෝකය ගලවන පිණිසය.” අප සදාකල් ජීවත් වෙනවා දැකීම යෙහෝවා දෙවි හා යේසුස්ගේ ආශාවයි. අප කෙරෙහි ඉතා ගැඹුරු ප්‍රේමයක් ඔවුන්ට තිබෙන අතර එය කිසිවිටෙක වෙනස් නොවන බව අපට පැහැදිලියි. (යෝබ් 14:15) යෙහෝවා දෙවි අපව සෝදිසි කර බලන්නේත් ඔහුට අපව ඉතා වටින්නේත් අපට අවශ්‍ය උපකාර දීමට ඉදිරිපත් වන්නේත් ඔහු අපට ප්‍රේම කරන නිසයි.—1 යොහන් 4:8, 19 කියවන්න.

ඔහු අපව සෝදිසි කරන්නේ ප්‍රේමය නිසයි

7. දෙවි අපව සෝදිසි කරන්නේ ඇයි?

7 යෙහෝවා දෙවි, මිනිසුන්ගේ වැරදි සෙවීමට බලා සිටින කෙනෙක් කියා සිතීම කොතරම් වැරදිද? එසේ කරන්නේ දෙවි නොව සාතන්. (එළි. 12:10) දෙවිගේ ධර්මිෂ්ඨ සේවකයන් ආත්මාර්ථකාමී පුද්ගලයන් කියා ඔහු චෝදනා කරනවා. (යෝබ් 1:9-11; 2:4, 5) නමුත් දෙවි ඊට වෙනස් බව පවසමින් ගීතිකාකරු මෙසේ අසනවා. “යෙහෝවා දෙවියනි, ඔබ අපේ වැරදි සොයනවා නම්, අනේ යෙහෝවා දෙවියනි, එක්කෙනෙකුවත් ඉතුරු වෙයිද?” (ගීතා. 130:3NW) ඊට පිළිතුර වන්නේ ‘නැහැ’ යන්නයි. (දේශ. 7:20) දෙවි අපට සැලකිල්ල දක්වන ආකාරය, ප්‍රේමණීය පියෙක් තම ආදරණීය දරුවන්ව ආරක්ෂා කරන ආකාරයට සමානයි. අපව ආරක්ෂා කිරීමට දෙවිට අවශ්‍ය නිසා, දුර්වල හා අඩුපාඩුකම් හේතුවෙන් අප සිදු කරගත හැකි අනතුරු ගැන ඔහු අපව දැනුවත් කරනවා.—ගීතා. 103:10-14; මතෙ. 26:41.

8. දෙවි අපට හික්මවීම් හා මඟ පෙන්වීම් ලබා දෙන්නේ කෙසේද?

8 දෙවි අපට දක්වන ප්‍රේමණීය සැලකිල්ල විවිධාකාරයි. බයිබලයෙන් හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මගින් ලැබෙන උපදෙස් හා හික්මවීම් ඊට ඇතුළත්. (මතෙ. 24:45; හෙබ්‍රෙ. 12:5, 6) ක්‍රිස්තියානි සභාව මගින් හා ‘තෑගි වශයෙන් දී ඇති පුරුෂයන්’ වන අවේක්ෂකයන් මගින් ලැබෙන උපකාරද ඊට අයත්. (එෆී. 4:8) තමන් පියෙකු මෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අප ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද කියාත් ඔහු හොඳ අවධානයෙන් සිටින අතර ඒ අනුව අවශ්‍ය තවත් උපකාර ලබා දෙනවා. ඒ ගැන ගීතාවලිය 32:8හි [NW] සඳහන් දේ බලන්න. “වටහාගැනීමේ හැකියාව ලබාගැනීමට මම ඔබට උදව් කරන්නෙමි. ඔබ යා යුතු මාර්ගය ඔබට කියා දෙන්නෙමි. මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.” අප හැම විටම දෙවිට ඇහුම්කන් දීම මොන තරම් වැදගත්ද! දෙවි අපේ ප්‍රේමණීය ගුරුවරයා හා පියා නිසා අපි ඔහු ඉදිරියෙහි නිතරම යටහත්පහත් ලෙස හැසිරෙමු.—මතෙව් 18:4 කියවන්න.

9. අප වැළකිය යුත්තේ කුමකින්ද? ඒ ඇයි?

9 අපි කෙදිනකවත් උඩඟුකම, ඇදහිල්ලේ ඌනතාවක් හෝ ‘පාපයේ මුළා කරවන බලපෑම’ නිසා අපගේ සිත් දැඩි කර නොගනිමු. (හෙබ්‍රෙ. 3:13; යාකො. 4:6) කෙනෙක් දිගින් දිගටම වැරදි සිතුවිලි හා ආශාවන්ට සිත යොමු කළොත් එවැනි තත්වයකට පත් විය හැකියි. ඒ නිසා ඔහු බයිබලයෙන් ලැබෙන උපදෙස් පවා ප්‍රතික්ෂේප කරන්න පෙලඹන්නත් පුළුවන්. එහි ඇති භායානකම දේ වන්නේ අවසානයේදී ඔහු දෙවිගේ සතුරෙකු බවට පත්වීමයි. (හිතෝ. 1:22-31) එය සිදු වන ආකාරය තේරුම්ගැනීමට දැන් අපි කායින් ගැන සලකා බලමු.

දෙවි සියල්ල දකින අතර ඒ අනුව ක්‍රියාත්මක වෙයි

10. දෙවි කායින්ගේ පූජාව ප්‍රතික්ෂේප කළේ ඇයි? ඊට කායින් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

10 කායින් හා ආබෙල් දෙවිට පූජාවන් දෙකක් ගෙනා බව බයිබලයේ සඳහන් වෙනවා. දෙවි ඔවුන්ගේ පූජා ගැන පමණක් නොව, ඒවා ඉදිරිපත් කිරීමේදී ඔවුන්ට තිබූ ආකල්ප ගැනත් සැලකිලිමත් වුණා. ඒ නිසා ඇදහිල්ලෙන් යුතුව ආබෙල් ඔප්පු කළ පූජාව දෙවි පිළිගත්තත් කායින්ගේ ඇදහිල්ලේ තිබූ අඩුවක් නිසා දෙවි ඔහුගේ පූජාව ප්‍රතික්ෂේප කළා. (උත්. 4:4, 5; හෙබ්‍රෙ. 11:4) ඊට හේතුව තේරුම්ගෙන තම ආකල්ප වෙනස් කරගන්නවා වෙනුවට ඔහු ආබෙල් සමඟ දැඩි කෝපයෙන් පසු වුණා.—උත්. 4:6.

11. කායින්ගේ හදවතේ තිබූ රැවටිලිකාර ස්වභාවය පැහැදිලි වූයේ කෙසේද? එමෙන්ම ඉන් අපට ගත හැකි පාඩම කුමක්ද?

11 කායින් තුළ භයානක ආකල්පයක් වර්ධනය වෙමින් තිබූ බව දෙවි දුටුවා. ඒ ගැන දෙවි ඔහුට කාරුණිකව පැවසුවේ ඔහුගේ ආකල්ප නිවැරදි කරගතහොත් තමන් ඔහුව පිළිගන්නා බවයි. නමුත් ඔහු තම නිර්මාණකරුගේ උපදෙස් පැත්තකට දමා ආබෙල්ව ඝාතනය කිරීම කනගාටුවට කරුණක්. ඔහුගේ ආකල්ප කොතරම් දූෂ්‍ය වී තිබුණාද කියනවා නම් “ඔබේ සහෝදරයා වන ආබෙල් කොහේද” කියා දෙවි ඇසූ විට ඔහු පිළිතුරු දුන් ආකාරයෙන් එය පැහැදිලියි. ඔහු කෝපයෙන් පැවසුවේ මෙසේයි. “මම දන්නේ කොහොමද? මම මගේ සහෝදරයාගේ රැකවලාද?” (උත්. 4:7-9NW) දෙවි ඍජුවම ලබා දෙන උපදෙස් ප්‍රතික්ෂේප කිරීමට තරම් හදවත රැවටිලිකාර විය හැකි බව ඉන් පැහැදිලියි. (යෙරෙ. 17:9) එමනිසා අප තුළ වර්ධනය විය හැකි එවැනි වැරදි සිතුවිලි හා ආශාවන් වහාම ඉවත් කිරීමට පියවර ගනිමු. (යාකොබ් 1:14, 15 කියවන්න.) අපට බයිබලයෙන් ලැබෙන සෑම උපදෙසක්ම දෙවි අපට දක්වන ප්‍රේමයක් හැටියට සලකා එය අගය කරමු.

රහසින් කරන පාපයන් පවා දෙවි දකිනවා

12. වැරදිකරුවන් සමඟ දෙවි කටයුතු කරන්නේ කෙසේද?

12 තමන් කරන වැරදි කවුරුවත් දැක්කේ නැත්නම් දඬුවම් විදින්න සිදු වන්නේ නැහැයි කියා සමහරුන් සිතන්න පුළුවන්. (ගීතා. 19:12) නමුත් එවන් වැරදි පවා දකින කෙනෙක් සිටිනවා. ඒ යෙහෝවා දෙවියි. බයිබලය පවසන්නේ “අප විසින් ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ” කියායි. (හෙබ්‍රෙ. 4:13) දෙවි මිනිසුන්ගේ චේතනා පවා පරීක්ෂා කරන නිසා, වරදකරුවන් සමඟ කටයුතු කරන ආකාරයත් හරිම සාධාරණයි. යෙහෝවා ‘දයාන්විත, කරුණාවන්ත, කෝපවීමට ඉක්මන් නොවන, මහත් ප්‍රේමයක් නොඅඩුව පෙන්වන හා සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන’ දෙවි කෙනෙක්. ඒ වුණත් ඔහු පසුතැවිලි නොවී දිගටම පව් කරන අයට දිය යුතු ‘දඬුවමින් කිසි විටෙක ඔවුන්ව නිදහස් නොකරන’ දෙවි කෙනෙක්. (නික්. 34:6, 7NW; හෙබ්‍රෙ. 10:26) එය තේරුම්ගැනීමට දැන් අපි ආකාන්, අනනියස් හා සෆීරාගේ සිද්ධිය සලකා බලමු.

13. ආකාන්ට තිබූ වැරදි සිතුවිලි නිසා බරපතළ වරදක් කිරීමට එය ඔහුව පෙලඹවූයේ කෙසේද?

13 දෙවිගේ අණට පිටුපාමින් ආකාන්, යෙරිකෝවේ කොල්ලයෙන් යම් දෙයක් ගෙන තම කූඩාරමේ සඟවා තැබුවා. පෙනෙන විදිහට ඔහු මෙය කළේ පවුලේ අයගෙත් අනුදැනුම ඇතුවයි. පසුව ඔහු වරදකරු වූ විට තමන් කළේ කොතරම් බරපතළ පාපයක්ද කියා වටහාගත් බව ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලියි. ‘මම යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළා.’ (යෝෂු. 7:20NW) කායින් මෙන් ආකාන්ගේද සිතුවිලි හා ආකල්ප බොහෝ සේ දූෂ්‍ය වී තිබුණා. ඊට හේතු වූ ප්‍රධාන දේ නම් ධන සම්පත් කෙරෙහි ඔහුට තිබූ කෑදරකමයි. යෙරිකෝ නගරයෙන් ගත් කොල්ලය දෙවිට අයිතිව තිබූ නිසා ආකාන් එයින් යමක් ගැනීමෙන් දෙවිට අයත් දෙයක් සොරකම් කළා. ඊට වන්දි ගෙවීමට සිදු වුණේ ඔහුගේත් පවුලේ අයගේත් ජීවිතවලිනුයි.—යෝෂු. 7:25.

14, 15. දෙවිගෙන් දඬුවම් ලබන්න අනනියස් සහ සෆීරා සුදුසු වුණේ ඇයි? ඉන් අපට ගත හැකි පාඩම කුමක්ද?

14 දැන් අපි එදා යෙරුසලමේ සිටි අනනියස් සහ සෆීරා යන ක්‍රිස්තියානි යුවළ ගැන සලකා බලමු. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයෙන් පසු පොදු අරමුදලක් ඇති කිරීමට සහෝදරයන් සැලසුම් කළා. ඊට හේතුව දුර ඈත ප්‍රදේශවලින් එහි පැමිණ සිටි ඇදහිලිවන්තයන්ගේ අවශ්‍යතාවන් සැපයීමටයි. ඊට මුදල් ලැබුණේ ස්වේච්ඡා සම්මාදම්වලිනුයි. අනනියස්ද ඉඩමක් විකුණා, ඒ මුදල්වලින් කොටසක් ඊට සම්මාදම් කළා. කෙසේනමුත් ඔහු හා ඔහුගේ බිරිඳ වන සෆීරා පැවසුවේ ඉඩමෙන් ලැබුණු මුළු මුදලම තමන් සම්මාදම් කළ බවයි. ඉන් ඔවුන්ට අවශ්‍ය වුණේ සභාවේ අයගෙන් විශේෂ ගෞරවයක් ලැබීමටයි. නමුත් ඔවුන්ගේ එම වංචනික ක්‍රියාව දෙවි පේතෘස්ට හෙළි කළා. පසුව පේතෘස් අනනියස්ට ඔහු කළ වරද පෙන්වා දුන් විට ඔහු එතනම වැටී මිය ගියා. එතැනට පැමිණි ඔහුගේ බිරිඳ සෆීරාටද සිදු වුණේ එයමයි.—ක්‍රියා 5:1-11.

15 මේ යුවළගේ ක්‍රියාව හොඳින් සැලසුම් කළ එකක් වූ අතර ඔවුන් උත්සාහ කළේ ප්‍රේරිතයන්ව නොමඟ යවන්නයි. නමුත් භයානකම දේ වුණේ ඔවුන් ‘ශුද්ධාත්මයට [දෙවිගේ බලයට] හා දෙවිට බොරු’ කිරීමයි. දෙවි ඔවුන්ට දුන් දඬුවමින් පැහැදිලි වන්නේ තම සභාව වංචනික පුද්ගලයන්ගෙන් ආරක්ෂා කරන්න ඔහු පසුබට නොවන බවයි. ඇත්තෙන්ම “ජීවමාන දෙවිගේ අත්වලට අසුවීම භයානක” දෙයක්!—හෙබ්‍රෙ. 10:31.

සැමවිටම දෙවිට විශ්වාසවන්තව සිටින්න

16. (අ) සාතන් අපගේ සිතුවිලි දූෂ්‍ය කරන්න පාවිච්චි කරන ක්‍රම මොනවාද? (ආ) ඔබ ජීවත් වන සමාජයේ එය සිදු වන්නේ කෙසේද?

16 සාතන් උත්සාහ කරන්නේ කුමන හෝ ක්‍රමයකින් අපගේ සිතුවිලි දූෂ්‍ය කර දෙවිගේ අනුමැතිය අපෙන් අහිමි කිරීමටයි. (එළි. 12:12, 17) ඒ බව අද ලෝකය පුරා ඔහු ව්‍යාප්ත කර තිබෙන දුරාචාර හා සැහැසික දේවල් මගින් පැහැදිලියි. පරිඝණකය හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ මගින් පහසුවෙන්ම කාමුක දර්ශන නැරඹීමට සාතන්ගේ මේ දුෂ්ට ලෝකය ඉඩ සලසා තිබෙනවා. නමුත් අපි කෙදිනකවත් ඔහුගේ උගුල්වලට හසු නොවෙමු. ඒ වෙනුවට අපි දාවිත්ට තිබූ ආකල්පය ඇතුව සිටිමු. ‘මම කල්පනාකාරීව සහ නිර්දෝෂව කටයුතු කරන්නෙමි. මම මාගේ නිවසේදී පවා සිතේ අවංකකමින් හැසිරෙන්නෙමි.’—ගීතා. 101:2NW.

17. (අ) කෙනෙකුගේ පාප දෙවි නියමිත කාලයේදී හෙළි කරන්නේ ඇයි? (ආ) අපගේ වෑයම විය යුත්තේ කුමක්ද?

17 දෙවි, යම් කෙනෙකු කරන බරපතළ පාප එදා මෙන් අද ආශ්චර්යවත් ලෙස හෙළි කරන්නේ නැහැ. ඒ වුණත් ඔහුට සියල්ල පෙනෙන අතර නියමිත කාලයේදී නියමිත ආකාරයෙන් ඔහු ඒවා හෙළි කරනවා. පාවුල්ද එය ස්ථිර කළේ මෙසේයි. “සමහරුන්ගේ පාප ප්‍රසිද්ධියේ ප්‍රකාශ වී, ඔවුහු එවෙලෙහිම විනිශ්චය ලබන්නෝය. එහෙත් සමහරුන්ගේ පාප පසුව ප්‍රකාශ වන්නේය.” (1 තිමෝ. 5:24) දෙවි එවන් පාප හෙළි කරන්නේ ඔහුගේ ප්‍රේමය නිසයි. තම සභාව පවිත්‍රව තබන්න ඔහු කැමතියි. එමෙන්ම කෙනෙක් කළ වරද ගැන අවංකව පසුතැවිලි වන්නේ නම් ඔහු එවැනි අයට කරුණාව පෙන්වන්නත් කැමතියි. (හිතෝ. 28:13) එමනිසා අපි සෑමවිටම දෙවිට විශ්වාසවන්තව සිටීමටත් දූෂිත බලපෑම්වලට එරෙහි වීමටත් දැඩි වෑයමක් දරමු.

සම්පූර්ණ සිතකින් දෙවිට සේවය කරන්න

18. දාවිත්ට අවශ්‍ය වුණේ තම පුතා දෙවිව කෙසේ අගය කරනවාටද?

18 දාවිත් තම පුත් සලමොන්ට මෙසේ පැවසුවා. “මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම ප්‍රීතියෙන් ඔහුට සේවය කරන්න. යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා. සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා.” (1 ලේක. 28:9NW) දාවිත්ට අවශ්‍ය වුණේ සලමොන්, දෙවි සිටින බව නිකම්ම විශ්වාස කිරීම පමණක් නොවෙයි. ඒ වෙනුවට දෙවි තම සේවකයන් ගැන මොන තරම් සැලකිල්ලක් දක්වනවාද කියා තේරුම්ගෙන එය අගය කිරීමයි. එලෙසම ඔබත් දෙවිව අගය කරනවාද?

19, 20. ගීතාවලිය 19:7-11ට අනුව දෙවිට ළං වන්න දාවිත්ට උපකාර කළේ කුමක්ද? දෙවිට ළං වන්න අපට පුළුවන් කොහොමද?

19 තම ශ්‍රේෂ්ඨ ගුණාංග ඉගෙනගන්නා අවංක හදවත් තිබෙන මිනිසුන් තමාට ළං වන බව යෙහෝවා දෙවි දන්නවා. තමන් කුමනාකාර දෙවි කෙනෙක්ද කියා වඩා හොඳින් ඉගෙනගන්න දෙවි අපට ආරාධනා කරන්නේ ඒ නිසයි. අපි දෙවිව හොඳින් හඳුනාගන්නේ කොහොමද? බයිබලය හොඳින් අධ්‍යයනය කිරීමෙන් හා දෙවිගේ ආශිර්වාද අද්දැකීම මගිනුයි.—හිතෝ. 10:22; යොහ. 14:9.

20 ඔබ බයිබලය කියවන විට එහි ඇති උපදෙස් අදාළ කරගන්න උපකාර ඉල්ලා දෙවිට යාච්ඤා කරනවාද? බයිබල් ප්‍රමිති අනුව ජීවත් වීම ඇත්තටම ප්‍රයෝජනවත් බව ඔබ වටහාගෙන තිබෙනවාද? (ගීතාවලිය 19:7-11 කියවන්න.) එසේ නම් දෙවි කෙරෙහි ඔබට ඇති ප්‍රේමයත් ඇදහිල්ලත් වඩාත් ශක්තිමත් වෙයි. එවිට යෙහෝවා දෙවිද ඔබට වඩාත් ළංවන අතර පියෙකු මෙන් ඔහු ඔබේ අතින් අල්ලාගෙන ඔබට මඟ පෙන්වයි. (යෙසා. 42:6; යාකො. 4:8) එමෙන්ම ජීවනයට යන සංකේතවත් පටු පාරේ ඔබ ගමන් කරද්දී ඔහුට ළං වී සිටින්න හැකි වන ලෙස ඔහු ඔබව ආරක්ෂා කරයි. ඔබට ආශීර්වාද කරමින් ඔබ කෙරෙහි ඇති ඔහුගේ ප්‍රේමයද පෙන්වයි.—ගීතා. 91:1, 2; මතෙ. 7:13, 14.

ඔබට මතකද?

• යෙහෝවා දෙවි අපව සෝදිසි කරන්නේ ඇයි?

• සමහරුන් දෙවිගේ සතුරන් බවට පත්වීමට හේතු වුණේ කුමක්ද?

• යෙහෝවා දෙවි සැබෑ පුද්ගලයෙකු බව පෙන්වන්න අපට හැක්කේ කෙසේද?

• සම්පූර්ණ සිතකින් දෙවිට සේවය කරන්න අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[4වන පිටුවේ පින්තූරය]

ප්‍රේමණීය පියෙකු මෙන් දෙවි අප ගැන සැලකිලිමත් වන්නේ කෙසේද?

[5වන පිටුවේ පින්තූරය]

අනනියස්ගේ සිද්ධියෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

[6වන පිටුවේ පින්තූරය]

සම්පූර්ණ සිතකින් දෙවිට සේවය කරන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද?