Skip to content

පටුනට යන්න

සදාකාල ජීවිතය වෙනුවෙන් ඔබ පරිත්‍යාග කරන්නේ කුමක්ද?

සදාකාල ජීවිතය වෙනුවෙන් ඔබ පරිත්‍යාග කරන්නේ කුමක්ද?

සදාකාල ජීවිතය වෙනුවෙන් ඔබ පරිත්‍යාග කරන්නේ කුමක්ද?

“මිනිසෙකු තම ජීවිතය වෙනුවට කුමක් දෙන්නේද?”—මතෙ. 16:26.

1. පේතෘස් පැවසූ දෙයට යේසුස් එතරම් තදින් ප්‍රතිචාරය දැක්වූයේ ඇයි?

තමා වද විඳ මියයන බව යේසුස් “විවෘතව” පැවසූ විට පේතෘස්ට එය අදහාගන්න බැරුව ගියා. ඊට තම අකමැත්ත පළ කරමින් ඔහු මෙසේ පැවසුවේ යහපත් චේතනාවකින් බව නිසැකයි. ‘ස්වාමිනි, ඔබ ගැන හිතන්න. ඔබට එවැන්නක් කවදාවත් සිදු වෙන්නේ නැහැ.’ එවිට පේතෘස්ට තම පිටුපස හරවා යේසුස් අනික් ගෝලයන් දෙස බැලුවේ ඔවුන්ද එම වැරදි අදහස දැරූ නිසා විය හැකියි. ඒ සමඟම ඔහු පේතෘස්ට මෙසේ පැවසුවා. “සාතන් මා පස්සට යන්න! ඔබ මට බාධාවට හේතුවකි. මන්ද, ඔබ සිතන්නේ මිනිසුන් සිතන දේ මිස දෙවි සිතන දේ නොවේ.”—මාක් 8:32, 33; මතෙ. 16:21-23.

2. තම අනුගාමිකයන්ගෙන් බලාපොත්තුවන දේ ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

2 යේසුස්ගේ ප්‍රතිචාරයට හේතුව ඔහු ඊළඟට පැවසූ දෙයින් පේතෘස් තේරුම්ගන්න ඇති. ඔහු “තම ගෝලයන්ද ඇතුළු සමූහයාව තමන් වෙතට කැඳවා” ඔවුන්ට මෙසේ කීවේය. “යමෙකුට මා අනුව එන්න ඕනෑ නම්, ඔහු තමාවම නොසලකා තම වධකණුව ගෙන, දිගටම මා අනුව ඒවා. මන්ද, යමෙකු තම ජීවිතය ගලවාගන්න කැමති වේද, ඔහුට එය නැති වන්නේය. නමුත් මා නිසාත් ශුභාරංචිය නිසාත් තම ජීවිතය නැති කරගන්නා එය ගලවාගන්නේය.” (මාක් 8:34, 35) ඉහත වචනවලින් පැහැදිලි වන්නේ යේසුස් මෙන් ඔහුගේ අනුගාමිකයන්ද අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ ජීවිත පවා පූජා කිරීමට සූදානමින් සිටිය යුතු බවයි. ඔවුන් එසේ කළොත් බොහෝ ආශීර්වාද ලැබෙන බවද ඔහු පැවසුවා.—මතෙව් 16:27, කියවන්න.

3. (අ) යේසුස් ඇසූ ප්‍රශ්න දෙක කුමක්ද? (ආ) යේසුස් ඇසූ දෙවන ප්‍රශ්නය මගින් සවන් දෙන්නන්ට කුමක් මතක් වන්න ඇද්ද?

3 එම අවස්ථාවේදීම යේසුස් අසන්නන්ව සිතන්න පොලඹවන ප්‍රශ්න දෙකක් ඇසුවා. “මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත්, තම ජීවිතය නැති කරගන්නවා නම්, ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද? සැබවින්ම මිනිසෙකුට තම ජීවිතය වෙනුවට කුමක් දිය හැකිද?” (මාක් 8:36, 37) ඉන් පළමු ප්‍රශ්නයට පිළිතුර ඉතා පැහැදිලියි. කෙනෙකුට මුළු ලෝකයම ලැබුණත් ඔහුගේ ජීවිතය නැති වුණොත් ඉන් ඔහුට කිසි ප්‍රයෝජනයක් නැහැ. ඔහු සතු ධන සම්පත් භුක්ති විඳිය හැක්කේ ඔහු ජීවත්ව සිටියොත් පමණයි. යේසුස් දෙවනුව ඇසුවේ “මිනිසෙකුට තම ජීවිතය වෙනුවට කුමක් දිය හැකිද?” කියායි. එය තවත් ආකාරයකින් ඇසුවොත් මෙසේයි. මිනිසෙකු තමන් සතු සියල්ල දුන්නත් ඔහුට තම ජීවිතය බේරාගත හැකිද? මෙහිදී යේසුස්ට සවන් දුන් අයට යෝබ්ගේ කාලයේදී සාතන් කළ මෙම චෝදනාව මතක් වෙන්න ඇති. “[මිනිසෙකු] තම පණ කෙන්ද රැකගන්න ඕනෑම දෙයක් පරිත්‍යාග කරයි.” (යෝබ් 2:4NW) සාතන් පැවසූ දේ දෙවිගේ සේවකයන් නොවන සමහරුන් සම්බන්ධයෙන් නම් සැබෑවක් විය හැකියි. ඔවුන් තම ජීවිතය රැකගැනීම සඳහා ඕනෑම ආකාරයේ පහත් වැඩක් කරන්න හෝ ප්‍රතිපත්ති පාවා දෙන්න සූදානම්. නමුත් ක්‍රිස්තියානීන් නම් ඔවුන්ට වඩා වෙනස්.

4. යේසුස් ඇසූ ප්‍රශ්න දෙක ක්‍රිස්තියානීන්ට ඉතා වැදගත් වන්නේ ඇයි?

4 යේසුස් ඇසූ මුල් ප්‍රශ්නය ක්‍රිස්තියානීන් තේරුම් ගත යුත්තේ මෙලෙසයි. “මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත්, සදාකාල ජීවනයේ බලාපොරොත්තුව නැති කරගන්නවා නම්, ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?” ඉන් කිසි ප්‍රයෝජනයක් නැති බව පැහැදිලියි. (1 යොහ. 2:15-17) සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව අපට ඉතා අනර්ඝයි. යේසුස් මේ පොළොවට පැමිණියේ අපට එම බලාපොරොත්තුව ඉටු කරගැනීමට අවස්ථාව උදාකර දීමට මිස මේ ජීවිතයේ භුක්ති විඳීමට වස්තුව හෝ දීර්ඝායුෂ ලබා දීමට නොවෙයි. (යොහ. 3:16) යේසුස් ඇසූ දෙවන ප්‍රශ්නයට පිළිතුර තේරුම්ගැනීම සඳහා අප මෙසේ කල්පනා කිරීම සුදුසුයි. ‘පාරාදීස පොළොවේ සදාකාල ජීවිතය වෙනුවෙන් මම දැන් මොන තරම් පරිත්‍යාග කරන්න කැමතිද?’ ඊට පිළිතුරු අප ජීවත් වන ආකාරයෙන් පැහැදිලි වන අතර සදාකාල ජීවනය ලබාගැනීම සඳහා අපට මොන තරම් ආශාවක් තිබෙනවාද කියාත් ඉන් ඔප්පු වෙයි.—යොහන් 12:25 බලන්න.

5. සදාකාල ජීවනය ලබාගන්න අපට හැක්කේ කෙසේද?

5 කෙනෙකුට ඔහුගේම උත්සාහයෙන් හෝ හැකියාවකින් සදාකාල ජීවනය ලබා ගත හැකියි කියා යේසුස් පැවසුවේ නැහැ. එමෙන්ම එය මිල දී ගැනීමටද කිසිවෙකුට බැහැ. අප ජීවත් වන මේ කෙටි කාලය පවා දෙවිගෙන් ලද ත්‍යාගයක්. සදාකාල ජීවනය ලැබිය හැකි එකම මාර්ගය වන්නේ ‘ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි’ හා ‘තමන්ව ඕනෑකමින් සොයන අයට විපාක දෙන’ යෙහෝවා දෙවි කෙරෙහි ඇදහිල්ල තැබීම මගිනුයි. (ගලා. 2:16; හෙබ්‍රෙ. 11:6) ‘ක්‍රියා නැති ඇදහිල්ල මැරී තිබේ’ කියා බයිබලයේ පවසන නිසා එම ඇදහිල්ල අපගේ ක්‍රියා තුළින් දිස් විය යුතුයි. (යාකො. 2:26) එමනිසා අප දෙවිට කරන සේවය වෙනුවෙන් කොතරම් දේවල් අත්හරින්න කැමතිද එම සේවය වෙනුවෙන් අප මොන තරම් දේවල් කරන්න කැමතිද කියා කල්පනා කළ යුතුයි. එසේ කිරීමෙන් යේසුස් ඇසූ ප්‍රශ්නයට අප වැඩි අවධානයක් දීමටත් ඒ තුළින් අපගේ ඇදහිල්ල ජීවමාන බව පෙන්වීමටත් හැකියි.

‘ක්‍රිස්තුස් තමාවම සතුටු කරගත්තේ නැහැ’

6. යේසුස් මූලික අවධානය දුන්නේ කුමක් සඳහාද?

6 යේසුස්, දෙවිට කළ සේවයට බාධා වන දේවලට තම අවධානය දුන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු නිතරම අවධානය දුන්නේ දෙවිගේ කැමැත්ත කිරීමටයි. පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කළ ඔහු නිතරම දෙවිට කීකරු වුණා. ඔහු තමාවම සතුටු කර ගන්නවා වෙනුවට ‘සැමවිටම කළේ [දෙවිට] ප්‍රසන්න දේවලුයි.’ (යොහ. 8:29) දෙවිව සතුටු කිරීම සඳහා යේසුස් කළ තවත් දේවල් දැන් අපි සලකා බලමු.

7, 8. (අ) යේසුස් කළ පරිත්‍යාගය කුමක්ද? ඉන් ඔහු ලැබූ විපාකය කුමක්ද? (ආ) අප අසා ගත යුතු ප්‍රශ්නය කුමක්ද?

7 එක් අවස්ථාවකදී යේසුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොව, සේවය කිරීමටත් බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමටත්ය.” (මතෙ. 20:28) යේසුස් ඉතා ඉක්මනින්ම තම ‘ජීවිතය දීමට’ නියමිත බව ගෝලයන්ට පැවසූ අවස්ථාවේදී පේතෘස් ඊට බාධා කරමින් පැවසුවේ ‘ස්වාමිනි, ඔබ ගැන හිතන්න’ කියායි. ඉන් බාධාවට පත් නොවූ යේසුස් තම පරිපූර්ණ ජීවිතය මිනිස් වර්ගයා වෙනුවෙන් කැමැත්තෙන්ම පූජා කළා. ඔහුගේ එම පරිත්‍යාගශීලී ස්වාභාවය නිසා ඔහු ඉදිරියේ තිබූ බලාපොරොත්තුව ස්ථිර වුණා. ඒ නිසා දෙවි ඔහුව නැවත නැඟිටුවා තමගේ ‘දකුණු පැත්තට ඔහුව උසස් කළා.’ (ක්‍රියා 2:32, 33) ඒ අනුව අවසානයේදී ඔහු අපට කදිම ආදර්ශයක් තැබුවා.

8 “ක්‍රිස්තුස් පවා තමාවම සතුටු කර නොගත්” බව පසු කාලයක පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට මතක් කළා. එමනිසා ඔහු ඔවුන්ට උනන්දු කළේ ඔවුන්වම ‘සතුටු කර නොගන්න’ කියායි. (රෝම 15:1-3) ක්‍රිස්තුස්ව අනුකරණය කරන්නන් හැටියට පාවුල්ගේ උපදෙස අප අදාළ කර ගන්නේ කොතරම් දුරකටද?

අපගේ හොඳම දේ දෙවිට දෙමු

9. අප දෙවිට කැප වීමෙන් පෙන්වන්නේ කුමක්ද?

9 ඊශ්‍රායෙල්වරුන් යටතේ සේවය කළ හෙබ්‍රෙව් දාසයෙකුව ඔහුගේ සේවයේ සත්වන අවුරුද්දේදී හෝ ජුබිලි වර්ෂයේදී නිදහස් කළ යුතු බව මෝසෙස්ට දුන් නීතියෙන් අණ කර තිබුණා. නමුත් ඔහු තම ස්වාමියාට තිබෙන ප්‍රේමය නිසා ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම ඔහුට සේවය කරන්න අවස්ථාව තිබුණා. (ද්විතීය කථාව 15:12, 16, 17 කියවන්න.) අපත් දෙවිට කැපවන අවස්ථාවේදී ඒ හා සමානවම තීරණය කරන්නේ අපවම සතුටු කර නොගෙන ජීවිතය පුරාම දෙවිගේ කැමැත්ත කිරීමටයි. ඉන් අප පෙන්වන්නේ අප දෙවිට බොහෝසෙයින් ප්‍රේම කරන බව හා ඔහුට සේවය කිරීම අපගේ ආශාව බවයි.

10. අප දෙවිට අයිති වන්නේ කුමන අවස්ථාවේදීද? අප දෙවිගේ සේවකයන් බව තේරුම්ගැනීම අපගේ සිතුවිලි හා ක්‍රියාවන්වලට බලපෑ යුත්තේ කෙසේද?

10 ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන, දේවසේවයේ හවුල් වන හා රැස්වීම්වලට සහභාගි වන කෙනෙක්ද? එසේනම් අපි ඔබට ඒ ගැන ප්‍රශංසා කරන්න කැමතියි! ඔබ ඉතා ඉක්මනින්ම දෙවිට කැපවීමට පියවර ගෙන, එදා ඉතියෝපියානු නිලධාරියා ඇසූ මෙම ප්‍රශ්නය අසයි කියා අපි බලාපොරොත්තු වෙනවා. “මට බව්තීස්ම වීමට ඇති බාධාව කුමක්ද?” (ක්‍රියා 8:35, 36) ඔබ එම තීරණය ගත් පසු දෙවි හා ඔබ අතර තිබෙන මිත්‍රත්වය ශක්තිමත් වෙයි. එමෙන්ම පහත සඳහන් පාවුල්ගේ වචන ඔබ සම්බන්ධයෙන්ද සත්‍යයක් වෙයි. “ඔබ ඔබටම අයිති නැත. මන්දයත්, ඔබව මිල දී ගනු ලැබීය.” (1 කොරි. 6:19, 20) අපගේ බලාපොරොත්තුව පොළොව මත ජීවිතයක් වුණත් ස්වර්ගයේ වුණත් අප දෙවිට කැපවී සිටිනවා නම් අපගේ අයිතිකරු වන්නේ යෙහෝවා දෙවියි. එමනිසා අපගේම ආශාවන්ට වහල් නොවීම හා ‘මිනිසුන්ගේ දාසයන් නොවීම’ මොන තරම් වැදගත්ද! (1 කොරි. 7:23) එවිට දෙවි කැමති පරිදි ඔහුගේ සේවය තුළ අපව යොදාගන්න ඔහුට හැකියි. ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙකු ලෙස සිටීම මොන තරම් වරප්‍රසාදයක්ද!

11. මෝසෙස්ගේ නීතිය යටතේ ඔප්පු කළ පූජාවන්ට සමානව ක්‍රිස්තියානීන්ට කිරීමට උනන්දු කරන පූජාව කුමක්ද? ඉන් අදහස් කරන්නේ කුමක්ද?

11 පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ උනන්දු කළා. ‘ඔබේ ශරීර ජීවමාන වූද, ශුද්ධ වූද, දෙවිට පිළිගත හැකි වූ පූජාවක් ලෙසද, ඔබේ කල්පනා ශක්තිය භාවිත කර පරිශුද්ධ සේවයක් ලෙසද ඔප්පු කරන්න.’ (රෝම 12:1) එම වචන ඇසුණු යුදෙව් ක්‍රිස්තියානීන්ට, ඔවුන් යේසුස්ගේ අනුගාමිකයන් වීමට පෙර ඔප්පු කළ පූජාවන් මතක් වන්න ඇති. මෝසෙස්ගේ නීතියට අනුව දෙවිට ඔප්පු කළ යුත්තේ හොඳම සතුන් බව ඔවුන් දැන සිටියා. කැළල් ඇති සතුන්ව පූජා කළ විට දෙවි ඒවා ප්‍රතික්ෂේප කළා. (මලා. 1:8, 13) අපත් දෙවිට අපගේ ශරීර ‘ජීවමාන පූජාවක්’ ලෙස ඉදිරිපත් කිරීමේදී එනම් අප දෙවිට කරන නමස්කාරයේදී අපගේ හොඳම දේ දිය යුතුයි. අප සතු දේවල් අපගේම ආශාවන් පිනවීම සඳහා යොදවා, ඉන්පසු අප දෙවිට දෙන්නේ අප සතු වැඩිපුර දේ නම් එය අප දෙවිට දෙන හොඳම දේ නොවෙයි. අප දෙවිට කැප වන විට කොන්දේසි විරහිතව පොරොන්දු වුණේ අපගේ මුළු ජීවිතයෙන් එනම් මුළු ශක්තියෙන්, වස්තුවෙන් හා හැකියාවන්ගෙන් දෙවිට සේවය කිරීමටයි. (කොලො. 3:23) එම පොරොන්දුව ඉෂ්ට කරන්න අපට පුළුවන් කොහොමද?

ඔබේ කාලය නැණවත්ව භාවිත කරන්න

12, 13. දෙවිට අපගේ හොඳම දේ දිය හැකි එක් ආකාරයක් කුමක්ද?

12 දෙවිට අපගේ හොඳම දේ දිය හැකි එක් ආකාරයක් නම් අප සතු කාලය නැණවත්ව භාවිත කිරීමයි. (එෆීස 5:15, 16 කියවන්න.) මේ ලෝකයේ බලපෑම හා අපගේම අසම්පූර්ණකම අපව පොලඹවන්නේ අප සතු මුළු කාලය අපගේම ආශාවන් ඉටු කරගැනීම සඳහා යෙදවීමටයි. ඒ නිසා ‘සෑම දෙයකටම නියමිත කාලයක් තිබෙනවා’ යන බයිබල් උපදෙස අදාළ කරගැනීම අවශ්‍යයි. රැකියාව හා විවේකය සඳහා යම් කාලයක් වෙන් කිරීමත් ඊට ඇතුළත්. ඒ තුළින් අපගේ ක්‍රිස්තියානි වගකීම් හොඳින් ඉටු කරන්න අපට හැකියාව ලැබෙනවා. (දේශ. 3:1) කෙසේවෙතත් කැපවූ ක්‍රිස්තියානීන් ලෙස අප කාලය යොදවන්නේ කුමන දේවල්වලටද කියා සමබරව හා ඥානවන්තව සිතා බැලීම අවශ්‍යයි.

13 පාවුල් ඇතන්ස් නගරයට ගිය විට එහි “සියලු වැසියන් හා එහි තාවකාලිකව නැවතී සිටි විදේශිකයන් නිතරම තම විවේක කාලය ගත කළේ යම් අලුත් දෙයක් කතා බහ කරමින් හෝ ඒවාට සවන් දෙමින්” බව පාවුල් දුටුවා. (ක්‍රියා 17:21) ඔවුන් හා සමානව අද සිටින බොහෝදෙනා රූපවාහිනිය නැරඹීම, වීඩියෝ ක්‍රීඩාවල යෙදීම හා අන්තර්ජාලය භාවිත කිරීම සඳහා බොහෝ කාලයක් වැය කරනවා. අපත් එසේ කළොත් දෙවි පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීම අතපසු විය හැකියි. ඒ තුළින් “වඩා වැදගත් දේවල්” සඳහා එනම් දෙවිට කරන සේවයේ විවිධ අංගයන්වල නිරත වීමට තරම්වත් අපිට කාලය නැහැයි කියා සිතන්න අප පෙලඹිය හැකියි.—ෆිලි. 1:9, 10.

14. අපට තිබෙන කාලය සම්බන්ධයෙන් අප සලකා බැලිය යුතු වැදගත් ප්‍රශ්න මොනවාද?

14 දෙවිට කැපවූ සේවකයෙක් හැටියට ඔබගෙන්ම මෙසේ අසා ගන්න. ‘බයිබලය කියවීමට, ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීමට හා යාච්ඤාවට මම දිනපතා කාලය වෙන් කර තිබෙනවාද?’ (ගීතා. 77:12; 119:97; 1 තෙස. 5:17) ‘රැස්වීම්වලට සූදානම් වීම සඳහා මම කාලය වෙන් කරනවාද? රැස්වීම්වලදී පිළිතුරු දීම මගින් අන් අයව දිරිගන්වනවාද?’ (ගීතා. 122:1; හෙබ්‍රෙ. 2:12) පාවුල් හා බානබස් ‘යෙහෝවා දෙවිගේ බලයෙන් නිර්භීතව කතා කරමින් බොහෝ කලක් ගත කළ’ බව බයිබලයේ පවසනවා. (ක්‍රියා 14:3) ඔවුන් අපට තබන්නේ කදිම ආදර්ශයක්. ඔබටත් ශුභාරංචිය දේශනා කිරීම සඳහා වැඩිපුර කාලයක් ගත කරන්න හෝ පුරෝගාමියෙක් ලෙස සේවය කිරීම සඳහා ‘බොහෝ කාලයක්’ වැය කරන්න හැකිද කියා සිතා බලන්න.—හෙබ්‍රෙව් 13:15, කියවන්න.

15. වැඩිමහල්ලන් තම කාලය වැය කරන්නේ කුමක් සඳහාද?

15 පාවුල් හා බානබස් අන්තියෝකියේ තිබූ සභාවේ සහෝදරයන් හමුවීමට ගිය අතර ‘ඔවුන් සමඟ එහි බොහෝ කලක් නැවතී සිටියේ’ ඔවුන්ව දිරිගැන්වීමටයි. (ක්‍රියා 14:28) ඔවුන් මෙන් අද සිටින ප්‍රේමණීය එඬේරුන් වන වැඩිමහල්ලන්ද අන් අයව දිරිගැන්වීමට තම කාලය වැය කරනවා. ඔවුන් දේවසේවයේ හවුල් වෙනවාට අමතරව ඇදහිල්ල දුර්වල වී සිටින හා අසනීප වී සිටින අයට අවශ්‍ය උපකාර සපයමින් තවත් බොහෝ වගකීම් ඉටු කරමින් රැළ රැකබලා ගන්න බොහෝ වෙහෙසෙනවා. ඔබ බව්තීස්ම ලත් සහෝදරයෙක් නම් මෙවන් වගකීම් ඉසිලීම සඳහා සුදුසුකම් අත්කර ගන්න ඔබටත් හැකිද කියා කල්පනා කර බලන්න.

16. “අපේ ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම්” කළ හැකි සමහර ක්‍රම මොනවාද?

16 තවත් බොහෝදෙනා ඔවුන්ගේ කාලය යොදවා තිබෙන්නේ ස්වාභාවික විපත් හෝ වෙනත් තත්වයන් නිසා විපතට පත් අයට උපකාර කිරීමටයි. ඉන් ඔවුන් මහත් ප්‍රීතියක්ද ලබා තිබෙනවා. එක් රටක බෙතෙල් ගෘහයේ සේවය කරන වයස අවුරුදු 65ක් පමණ වන සහෝදරියකගේ අද්දැකීම සලකා බලන්න. සහනාධාර බෙදා දීමට ඇය කැමැත්තෙන්ම දුර ඈත ප්‍රදේශවලට අවස්ථා කිහිපයකදීම ගොස් තිබෙනවා. එසේ කිරීමට ඇය ඇගේ පෞද්ගලික නිවාඩු දවස් යොදවනවා. ඊට හේතුව ඇය විස්තර කරන්නේ මෙසේයි. “මට යම් දේවල් සම්බන්ධයෙන් විශේෂ දක්ෂතා නැහැ. ඒ වුණත් අවශ්‍යතා ඇති අයට උපකාර කරන්න ලැබීම මට ලොකු සතුටක්. අපේ සහෝදර සහෝදරියන්ගේ ගොඩාක් දේවල් එයාලට අහිමි වෙලා තිබුණා. ඒ වුණත් ඔවුන්ට තිබුණු ශක්තිමත් ඇදහිල්ල දැකලා මාව පුදුම විදිහට දිරිගැන්වුණා.” තවත් ලොව පුරා දහස් ගණනක් දෙනා රාජ්‍ය ශාලා සහ එක්රැස්වීම් ශාලා ඉදි කිරීම වෙනුවෙන් තම කාලය යොදවනවා. මේ සියලු දේවල් සඳහා අපගේ කාලය යෙදවීමෙන් පෙන්වන්නේ අපි “අපේ ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම්” කරන බවයි.—ගලා. 6:10.

“මම ඔබ සමඟ සැමදා සිටිමි”

17. සදාකාල ජීවනය අත් කරගැනීම සඳහා ඔබ පෞද්ගලිකව පරිත්‍යාග කරන්නේ කුමක්ද?

17 මේ දුෂ්ට සමාජය පහව යෑමට නියමිතයි. නමුත් එය සිදු වන දිනය අප දන්නේ නැහැ. ඒ වුණත් ‘ඇත්තේ තව කෙටි කාලයක්’ බවත් “මේ ලෝකයේ ස්වභාවය වෙනස්” වෙමින් පවතින බවත් අපි දන්නවා. (1 කොරින්ති 7:29-31 කියවන්න.) “මිනිසෙකු තම ජීවිතය වෙනුවට කුමක් දෙන්නේද” කියා යේසුස් ඇසූ ප්‍රශ්නයේ වැදගත්කම එයින් තවත් වැඩි වෙනවා. “සැබෑ ජීවිතය” අත් කරගැනීම සඳහා යෙහෝවා දෙවි අපට කරන්න කියන ඕනෑම පරිත්‍යාගයක් කිරීමට අප සූදානම් වී සිටින්නේ ඒ නිසයි. (1 තිමෝ. 6:19) එමෙන්ම මේ අවසාන කාලයෙදී ‘දිගටම තමාව අනුගමනය කරන්න’ හා ‘පළමුකොට රාජ්‍යය සොයන්න’ කියා යේසුස් දුන් අණට කීකරු වීමත් ඉතා වැදගත්.—මතෙ. 6:31-33; 24:13.

18. අපට තබාගත හැකි විශ්වාසය කුමක්ද? ඒ ඇයි?

18 දිගටම යේසුස්ව අනුගමනය කිරීම පහසු දෙයක් නොවෙයි. සමහරුන්ට තම ජීවිත පවා ඒ වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සිදු වී තිබෙනවා. අපට එසේ කිරීමට සිදු වුණොත් අප ‘අප ගැනම නොසිතා’ යේසුස් මෙන් කටයුතු කරනවා. එමෙන්ම යේසුස්, තම මුල් අභිෂේක ලත් අනුගාමිකයන්ට දුන් මෙම පොරොන්දුව අපත් විශ්වාස කරනවා. “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.” (මතෙ. 28:20) එමනිසා අප සියලුදෙනාම අපගේ කාලය හා හැකියාවන් උපරිමයෙන් භාවිත කරමින් දෙවිට සේවය කරමු. ඉන් අප පෙන්වන්නේ අපව මහත් පීඩාවෙන් බේරාගැනීමට හෝ නැවත නැඟිටීම තුළින් යළිත් ජීවත් කරවීමට දෙවිට හැකියාව තිබෙන බව අප විශ්වාස කරනවා කියායි. (හෙබ්‍රෙ. 6:10) මෙලෙස දෙවි අපට ලබා දුන් ජීවිතය නමැති ත්‍යාගය අපි අගය කරන බව පෙන්වීමට එය හොඳ අවස්ථාවක්.

ඔබට මතකද?

• දෙවි සහ මිනිස් වර්ගයා වෙනුවෙන් සේවය කිරීමට තමන් කැමති බව යේසුස් පෙන්වූයේ කෙසේද?

• කෙනෙකු තමාවම නොසලකා හැරිය යුත්තේ ඇයි? එය කළ හැක්කේ කෙසේද?

• දෙවි පිළිගත්තේ ඊශ්‍රායෙල්වරුන් ඔප්පු කළ කුමනාකාරයේ පූජා පමණක්ද? ඉන් අපි ඉගෙනගන්නේ කුමක්ද?

• අපගේ කාලය නැණවත්ව භාවිත කළ හැකි ක්‍රම මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූර]

යේසුස් නිතරම කළේ දෙවිට ප්‍රසන්න දේවල්

[28වන පිටුවේ පින්තූරය]

දෙවිගේ දීමනා අගය කළ ඊශ්‍රායෙල්වරුන් සෑබැ නමස්කාරය වෙනුවෙන් තම හොඳම දේ ලබා දුන්නා

[29වන පිටුවේ පින්තූර]

අපගේ කාලය නැණවත්ව භාවිත කිරීමෙන් දෙවිව සතුටු කරන්න අපට හැකියි