Skip to content

පටුනට යන්න

දෙවිව සතුටු කරන ගුණාංග වර්ධනය කරගන්න

දෙවිව සතුටු කරන ගුණාංග වර්ධනය කරගන්න

දෙවිව සතුටු කරන ගුණාංග වර්ධනය කරගන්න

“ඔයා කොහොමද අර මනුස්සයාව වෙනස් කෙරුවේ” කියා පිලිපීනයේ එක් උසස් පොලිස් නිලධාරියෙක් පුරෝගාමි සහෝදරියකගෙන් ඇසුවා. තම මේසය මත තිබූ ලිපි ගොනුවක් පෙන්වමින් ඔහු මෙහෙමත් කිව්වා. “ඔයා දන්නවාද, මේ ඔක්කොම එයාට විරුද්ධව දාලා තිබුණු නඩු. ඒ මනුස්සයාව වෙනස් කරලා ඔයා නම් අපේ ඔළුවෙන් ලොකු බරක් නිදහස් කෙරුවා.” ඔහු සඳහන් කළ ඒ පුද්ගලයා බීමට ඇබ්බැහි වී සිටි නිසා අන් අයට විශාල කරදරයක් වී තිබුණා. ඔහුගේ මේ පුදුමාකාර වෙනසට හේතුව කුමක්ද? ඔහු බයිබලය අධ්‍යනය කිරීමට පටන්ගැනීමයි.

ඔහු මෙන් බොහෝදෙනෙක් බයිබලයේ ඇති මේ උපදෙස සිතට ගෙන තිබෙනවා. ‘ඔබේ කලින් හැසිරීම් රටාවට ආවේණික මුළා කරවනසුලු ආශාවලින් දූෂ්‍ය වන්නාවූ පරණ පෞද්ගලිකත්වය අහක දමා, දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න.’ (එෆී. 4:22-24) ක්‍රිස්තියානියෙකු බවට පත්වීමේදී කෙනෙකුට තම ජීවිතයේ සිදු කරගැනීමට අවශ්‍ය වන වෙනස්කම සුළු හෝ විශාල එකක් විය හැකියි. ඒ කෙසේවෙතත් ඔහු අලුත් පෞද්ගලිකත්වය හෙවත් ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යයි.

කෙනෙකු බව්තීස්මය දක්වා දියුණු වීම, ක්‍රිස්තියානියෙකු බවට පත්වීමේ පටන්ගැන්ම පමණයි. බව්තීස්ම වන විට ඔහුගේ තත්වය, කැටයම්කරුවෙකු විසින් අඩක් නිම කරන ලද රූපයකට සමාන කරන්න පුළුවන්. බැලූ බැල්මට එය කුමක්ද කියා තේරුම්ගත හැකි වුණත් එය සම්පූර්ණ කිරීමට හා අලංකාර කිරීමට තව බොහෝ දේවල් කළ යුතුයි. ඒ හා සමානව අපත් බව්තීස්ම වන අවස්ථාවේදී දෙවිගේ සේවකයෙක් වීමට අවශ්‍ය මූලික වෙනස්කම් කර තිබෙනවා. කෙසේනමුත් අප පැළඳගත් අලුත් පෞද්ගලිකත්වය තවත් වර්ධනය කිරීමට හා අලංකාර කිරීම සඳහා තව බොහෝ වෙනස්කම් කළ යුතුයි.

තමන්ද යම් පැතිවලින් දියුණු විය යුතුයි කියා පාවුල්ටද හැඟුණා. “හරි දේ කිරීමට මා කැමැත්තෙන් සිටින විට, මා තුළ නපුර තිබෙන බව මට පෙනේ” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (රෝම 7:21) තමන් තුළ තිබෙන දුර්වල ගුණාංග මොනවාද කියාත් ඒ වෙනුවට තමන් වර්ධනය කරගත යුතු ගුණාංග මොනවාද කියාත් පාවුල් දැන සිටියා. අපත් එය තේරුම්ගත යුතුයි. ඒ සඳහා දැන් අපි මෙම ප්‍රශ්න දෙක සෝදිසි කර බලමු. ‘මගේ ඇතුළාන්ත පුද්ගලයා හෙවත් සිතුවිලි, චේතනා හා ආකල්ප මොනවාද? මට අවශ්‍ය මොන වගේ පුද්ගලයෙක් වීමටද?’

මගේ සිතුවිලි චේතනා හා ආකල්ප මොනවාද?

අබලන් වූ නිවසක් අලුත්වැඩියා කිරීමේදී එහි ඇතුළත ලී කණු දිරාපත් වී ඇත්නම් නිකම්ම පිටත පමණක් තීන්ත ආලේප කිරීම ප්‍රමාණවත් නැහැ. එසේ කළොත් එහි පදිංචිව සිටින අයට පසු කලකදී භයානක අනතුරකට මුහුණ දීමට සිදු විය හැකියි. ඒ හා සමානව අපත් අපගේ පිටාතර පෙනුම ගැන පමණක් නොව අපගේ සිතුවිලි, ආකල්ප හා චේතනා මොන වගේද කියාත් සෝදිසි කළ යුතුයි. එසේ නොකළොත් අපගේ වැරදි ගුණාංග යළිත් ඉස්මතු වෙයි. ඒ නිසා අප අප ගැනම අවංක සෝදිසියක් කරගත යුතු අතර අපට තිබෙන ගැටලු හඳුනාගෙන ඒවා නිවැරදි කරගැනීමට පියවර ගත යුතුයි. (2 කොරි. 13:5) ඒ සඳහා අපට අවශ්‍ය උපකාර යෙහෝවා දෙවි සපයා තිබෙනවා.

ඉන් එකක් වන්නේ දේවවචනයයි. ඒ ගැන පාවුල් මෙසේ පැවසුවා. “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය, ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය. බාහිර පුද්ගලයාගෙන් ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයද, සන්ධිවලින් ඒවායේ ඇටමිදුලුද වෙන් කරන තරමටම පසාරු කරගෙන යන්නේය. සිතේ සිතුවිලිද චේතනාද ඊට වටහාගත හැක.” (හෙබ්‍රෙ. 4:12) කෙනෙකුගේ ඇටමිදුලු පසාරු කරගෙන යෑමට දෙමුවහත් කඩුවකට හැකියි. ඒ හා සමානව අපගේ ඇතුළාන්ත පුද්ගලයා එනම් අපගේ සිතුවිලි, ආකල්ප හා චේතනා මොනවාද කියා තේරුම්ගැනීමට උපකාර කරන්න දේවවචනයට හැකියි. එමෙන්ම අප අන් අය ඉදිරියෙහි කටයුතු කරද්දී යම් මවාපෑමක් කරනවාද කියා තේරුම්ගන්නත් එය අපට උපකාර කරනවා. ඇත්තෙන්ම දේවවචනය මොන තරම් වටිනා ත්‍යාගයක්ද!

නිවෙසක් අලුත් වැඩියා කිරීමේදී දිරාපත් වී ඇති දේවල් වෙනුවට අලුත් ඒවා දැමීම මෙන්ම එසේ දිරාපත් වීමට හේතුව තේරුම්ගැනීමත් අවශ්‍යයි. ඒ තුළින් එය නැවතත් සිදුවීම වළක්වා ගත හැකියි. ඒ හා සමානව අපගේ දුර්වලකම් හඳුනාගන්නවාට අමතරව ඊට හේතු වී ඇති දේවල් හොඳින් අවබෝධ කරගන්නවා නම් නැවතත් එවන් දුර්වලකම් කිරීමෙන් වැළකීමට අපට පුළුවන්. අප සිතන, කතා කරන හා හැසිරෙන ආකාරයට බලපාන හේතූන් කිහිපයක් තිබෙනවා. ඒවා අතරට අප හැදී වැඩුණු සමාජ තත්වය, ආර්ථිකය, පරිසරය, සංස්කෘතිය, දෙමාපියන්, ආශ්‍රිතයන් හා ආගමික පසුබිමද අයත් වෙනවා. එමෙන්ම රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට හා වෙනත් විනෝදාස්වාදයන්ද ඊට බලපානවා. මේවා අතර තිබෙන අපට අහිතකර ලෙස බලපාන දේවල් හඳුනාගතහොත් ඉන් අපට ඇති වන බලපෑම් අවම කරගැනීමට පුළුවන්.

කෙනෙකු තමන්වම සෝදිසි කරගැනීමෙන් පසුව මෙසේ පවසන්න පුළුවන්. ‘ඒ ඉතිං මගේ හැටි.’ නමුත් එය තමන්වම රවටාගැනීමක් වන නිසා අවශ්‍ය වෙනස්කම් කරගැනීමට ඔහු උත්සාහ කළ යුතුයි. ඒ ගැන මේ උදාහරණය බලන්න. එදා කොරින්ති සභාවේ සිටි සමහරුන් ක්‍රිස්තියානීන් වීමට පෙර වේශ්‍යාකමේ, සමලිංගික සේවනයේ හා බේබදුකමේ නියැලී තිබුණා. ඔවුන් ගැන පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. ‘ඔබෙන් සමහරෙක් කලින් එවැනි අය වී සිටියා. නමුත් අපේ දෙවිගේ ආත්මයෙන් [බලයෙන්] ඔබව සෝදා පවිත්‍ර කර ඇත.’ (1 කොරි. 6:9-11) එදා මෙන් අදත් ඕනෑම කෙනෙකුට දෙවිගේ බලයේ උපකාර ඇතිව ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් සිදු කරගත හැකියි.

ඒ සම්බන්ධයෙන් පිලිපීනයේ ජීවත් වන මාකෝස්ගේ * අද්දැකීම සලකා බලන්න. තම ළමා කාලය ගැන අදහස් දක්වමින් ඔහු මෙසේ පවසනවා. “මගේ අම්මයි තාත්තයි හැම තිස්සේම රණ්ඩු වෙනවා. අපේ ගෙදර තිබුණු ඒ තත්වය නිසා මට වයස අවුරුදු 19ක් වෙද්දී මම ගොඩාක් නරක වැඩවලට සම්බන්ධ වුණා.” ඔහු සූදුවට, සොරකම් කිරීමට හා මංකොල්ලකෑමට නමගිය පුද්ගලයෙක් වුණා. වරක් ඔහු තවත් පිරිසක් සමඟ එකතු වී ගුවන් යානයක් කොල්ලකෑමට පවා සැලසුම් කළා. නමුත් එය අසාර්ථක වුණා. මාකෝස් විවාහ වීමෙන් පසුවත් කටයුතු කළේ එයාකාරයටමයි. කල් යද්දී සූදුව නිසා ඔහුට තිබූ සියල්ලම අහිමි වුණා. මේ වන විට ඔහුගේ බිරිඳ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරමින් සිටියා. වැඩි කල් නොගොස් මාකොස්ද ඊට හවුල් වුණා. ඔහුට මුලින් හැඟුණේ දෙවිගේ සේවකයෙක් වීමට තමන් වටින්නේ නැහැ කියායි. නමුත් බයිබලයෙන් ඔහු ඉගෙනගත් දේවල් ක්‍රියාත්මක කරමින් රැස්වීම්වලට සහභාගි වූ නිසා ඔහු සත්‍යය තුළ දියුණු වෙන්න පටන්ගත්තා. පසුව ඔහු බව්තීස්ම වුණා. දැන් ඔහු නිතිපතා දේවසේවයේ සහභාගි වෙමින් අන් අයටත් ඔවුන්ගේ ජීවිත වෙනස් කරගැනීමට උපකාර කරමින් සිටිනවා.

ඔබට අවශ්‍ය කුමනාකාර පුද්ගලයෙකු වීමටද?

අපගේ ක්‍රිස්තියානි ගුණාංග තවත් දියුණු කරගැනීම සඳහා අප ඉවත් කරගත යුතු ගුණාංග ගැන පාවුල් මෙසේ සඳහන් කළා. ‘උදහස, කෝපය, අයහපත, නිග්‍රහ කිරීම සහ කටින් පිට වන අසභ්‍ය කතා මුළුමනින්ම ඉවත දමන්න. එකිනෙකාට බොරු නොකියන්න. පරණ පෞද්ගලිකත්වය එහි ක්‍රියාත් සමඟ ඉවත් කර දමන්න.’ අනෙක් අතට “අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න. එය මැවූ තැනැත්තාගේ ස්වරූපයට අනුව, නිවැරදි දැනුම මාර්ගයෙන් දිගටම එය අලුත් වන්නේය” කියාද ඔහු පැවසුවා.—කොලො. 3:8-10.

අපගේ ආශාව වන්නේ පරණ පෞද්ගලිකත්වය වෙනුවට අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීමයි. ඒ සඳහා අප වර්ධනය කරගත යුතු ගුණාංග මොනවාද කියා පාවුල් පවසනවා. “දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත්පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න. යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න. යෙහෝවා මුළු හදවතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න. නමුත් මේ සියල්ලට අමතරව, ප්‍රේමය පැළඳගන්න. මන්ද එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.” (කොලො. 3:12-14) අප එවන් ගුණාංග වර්ධනය කරගැනීමට නොකඩවා උත්සාහ කරනවා නම් “යෙහෝවා දෙවි හා මනුෂ්‍යයන් ඉදිරියේ ප්‍රසාදය” ලබන්න අපටත් හැකියි. (1 සාමු. 2:26NW) යේසුස්ද පොළොවේ සිටියදී දෙවිව ප්‍රසන්න කරන ගුණාංග විදහාපෙන්නුවා. අප ඔහු ගැන අධ්‍යයනය කර ඔහුව ආදර්ශයට ගන්නවා නම් “දෙවිව අනුකරණය” කරන්නන් බවට පත්වීමට අපටත් හැකියි.—එෆී. 5:1, 2.

අපගේ ජීවිතයේ වෙනස් කරගත යුතු ගුණාංග හඳුනාගැනීමට උපකාරවත් වන තවත් ක්‍රමයක් තිබෙනවා. එය නම් බයිබලයේ සඳහන් යහපත් ගුණාංග මෙන්ම දුර්වල ගුණාංග විදහාපෙන්වූ පුද්ගලයන් ගැන අධ්‍යයනය කිරීමයි. උදාහරණයකට යෝසෙප් ගැන කල්පනා කර බලන්න. ඔහු දැඩි අසාධාරණයකට මුහුණ දුන්නත් ඔහුගේ ඇතුළාන්ත අලංකාරය හෙවත් යහපත් ගුණාංග නැති කරගත්තේ නැහැ. (උත්. 45:1-15) නමුත් දාවිත්ගේ පුත් අබ්සලොම් ඊට වඩා වෙනස්. ඔහුට තිබූ කඩවසම් පෙනුම නිසා ඔහු ජනයාව තමා වෙත ඇදගත්තා. එමෙන්ම ඔහු ඔවුන් කෙරෙහි ඉතා සැලකිල්ලක් දක්වන බවද බොරුවට මවා පෙන්වන්න උත්සාහ කළා. නමුත් ඔහු ඇත්තටම ඉතා කපටි මෙන්ම මිනීමරු පුද්ගලයෙක්. (2 සාමු. 13:28, 29; 14:25; 15:1-12) කෙනෙක් තමා යහපත් පුද්ගලයෙක් බව මවා පෙන්වීමට උත්සාහ කිරීම හා තම පිටාතර පෙනුමෙන් අන් අයගේ අවධානය ඇදගැනීමට උත්සාහ කිරීම ප්‍රසන්න දෙයක් නොවන බව පැහැදිලියි.

අපට සාර්ථක විය හැකියි

යෙහෝවා දෙවි ඉදිරියෙහි ප්‍රසන්න පුද්ගලයෙක් වීමට නම් අපි අපගේ සිතුවිලි, ආකල්ප හා චේතනා නිවරැදි කරගැනීම අවශ්‍යයි. (1 පේතෘ. 3:3, 4) ඒ සඳහා අප මුලින්ම වැරදි ගුණාංග හඳුනාගැනීමත් ඒවාට හේතුවන කාරණා අවබෝධ කරගෙන ඒවා ඉවත් කරගැනීමටත් පියවර ගත යුතුයි. ඒ අතරම ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීමටද වෑයම් කළ යුතුයි. එමගින් අපට සාර්ථක විය හැකි බව ස්ථිරයි.

ඇත්තෙන්ම, දෙවිගේ උපකාර ඇතිව අපගේ ජීවිතයේ ඕනෑම වෙනස්කමක් කිරීමට අපට හැකියි. ඒ සඳහා ගීතිකාකරු මෙන් අපත් දෙවිට මෙසේ ආයාචනා කරමු. “අනේ දෙවියනි, මට නිර්මල සිතක් ලබා දෙන්න. මට නැවත විශ්වාසවන්තව සිටීමට හැකි වන පිණිස අලුත් සිතුවිලි මා තුළ ඇති කරන්න.” (ගීතා. 51:10NW) දෙවිගේ කැමැත්තට එකඟව අපගේ ජීවිත ගත කිරීමට ඔහුගේ බලයේ උපකාර ලබා දෙන්න කියා අපි ඉල්ලමු. ඒ මගින් දෙවිට ප්‍රසන්න වූ සේවකයන් හැටියට කටයුතු කිරීමට අපිට හැකි වෙනවා නොඅනුමානයි.

[පාදසටහන]

^ 11 ඡේ. ඔහුගේ සැබෑ නම නොවෙයි.

[4වන පිටුවේ පින්තූරය]

අබලන් වූ මෙම නිවස අලුත්වැඩියා කිරීමේදී එහි පිටත තීන්ත ආලේප කිරීම පමණක් ප්‍රමාණවත්ද?

[5වන පිටුවේ පින්තූරය]

ඔබත් ක්‍රිස්තුස් මෙන් දෙවිට ප්‍රසන්න ගුණාංග විදහා පෙන්වනවාද?