Skip to content

පටුනට යන්න

ප්‍රමාද නොවී නැවත එන්න ඔවුන්ට උපකාර කරමු

ප්‍රමාද නොවී නැවත එන්න ඔවුන්ට උපකාර කරමු

ප්‍රමාද නොවී නැවත එන්න ඔවුන්ට උපකාර කරමු

“අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබ ළඟය.”—යොහ. 6:68.

1. අනුගාමිකයන් බොහෝදෙනෙක් යේසුස්ව හැර ගිය විට පේතෘස් පැවසුවේ කුමක්ද?

යේසුස් එක් අවස්ථාවකදී පැවසූ දෙයක් නිසා ඔහුගේ අනුගාමිකයන්ගෙන් බොහෝදෙනෙක් ඔහුව අතහැර ගියා. එවිට “ඔබටත් යන්න ඕනෑද?” කියා ඔහු අනෙක් ගෝලයන්ගෙන් ඇසුවා. එවිට පේතෘස් පිළිතුරු දුන්නේ “ස්වාමිනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබ ළඟය” කියායි. (යොහ. 6:51-69) ඉන් පැහැදිලි වුණේ ඔවුන්ට ‘සදාකාල ජීවනය’ ලබා දීමට එදා තිබූ යුදෙව් ආගමටවත් වෙන කිසි කෙනෙකුටවත් නොහැකි වූ බවයි. එලෙසම අද දිනත් අසත්‍යය උගන්වන ආගම් වන මහා බැබිලෝනියටද එය කළ නොහැකියි. ඒ නිසා දෙවිගේ සෙනඟ සමඟ ආශ්‍රය කිරීම නතර කර තිබෙන, නැවතත් දෙවිගේ කැමැත්ත කරන්න ආශාවෙන් සිටින අය ඒ ගැන බැරෑරුම්ව කල්පනා කළ යුතුයි. එනම් නැවතත් දෙවිට සේවය කිරීමට ඉක්මන් පියවර ගත යුතුයි.—රෝම 13:11.

2. අක්‍රියාශීලී තැනැත්තා බරපතළ පාපයක් කර ඇති බව දැනගන්න ලැබුණොත් ප්‍රචාරකයා කුමක් කළ යුතුද?

2 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතියේ නැති වූ බැටළුවන් වැනි අය කෙරෙහි සැලකිලිමත් වුණා. (එසකියෙල් 34:15, 16 කියවන්න.) ඒ හා සමානව අද සිටින එවැනි අයට උපකාර කිරීමට වැඩිමහල්ලන් ආශාවෙන් සිටින අතර එය ඔවුන්ගේ වගකීමක්ද වෙනවා. වැඩිමහල්ලන්ගේ මඟ පෙන්වීමකට අනුව ප්‍රචාරකයෙක් අක්‍රියාශීලී කෙනෙකු සමඟ බයිබල් පාඩමක් පවත්වනවා කියා සිතන්න. මෙම අක්‍රියාශීලී තැනැත්තා යම් බරපතළ පාපයක් කර ඇති බව මේ ප්‍රචාරකයාට දැනගන්න ලැබෙනවා. එවිට ඒ තැනැත්තාට උපදෙස් දෙනවා වෙනුවට ඒ ගැන වැඩිමහල්ලන්ට පවසන්න කියා ඔහුට යෝජනා කළ යුතුයි. නමුත් ඔහු එසේ නොකරයි නම් ප්‍රචාරකයා විසින් ඒ බව වැඩිමහල්ලන්ට දැනුම් දිය යුතුයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර වැඩිමහල්ලන් විසින් ගනු ලබයි.—ලෙවී. 5:1; ගලා. 6:1.

3. නැති වූ බැටළුවා හමු වූ විට එඬේරා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

3 නැති වූ බැටළුවා පිළිබඳ යේසුස්ගේ උපමාවේ සමහරක් තොරතුරු අපි කලින් ලිපියේදී සලකා බැලුවා. එහි සඳහන් එඬේරා තම බැටළුවන් 99දෙනාවම අතහැර නැති වූ එකාව සොයන්න ගියා. ඌව සම්බ වූ විට ඔහු මොන තරම් ප්‍රීති වුණාද! (ලූක් 15:4-7) එලෙසම නැති වූ බැටළුවන් වැනි අයට තිබෙන ප්‍රේමය නිසා වැඩිමහල්ලන් හා සෙසු සාමාජිකයන් ඔවුන්ව හමු වී උපකාර කර ඇති බව ස්ථිරයි. මෙසේ අප සැමගේ ආශාව වන්නේ ඔවුන් නැවතත් සභාවට පැමිණ දෙවිගේ උපකාර, ආරක්ෂාව හා ආශීර්වාද ලබනවා දැකීමයි. ඔවුන්ගේ පැමිණීම අපට මහත් ප්‍රීතියක්! (ද්වි. 33:27; ගීතා. 91:14; හිතෝ. 10:22) එවැනි අයට උපකාර කරන්න වැඩිමහල්ලන් ඇතුළු අප සියලුදෙනාටම තව කුමක් කළ හැකිද?

4. ගලාති 6:2, 5 සාකච්ඡා කිරීමෙන් ඔහුට ඒත්තුගැන්විය හැක්කේ කුමක්ද?

4 සභාවට නැවත පැමිණෙන අයව දිරිගන්වන්න අප සියල්ලන්ටම හැකියි. දෙවි ඔවුන්ට ප්‍රේම කරන බවත් ඔහු ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට කළ හැකි දේ පමණක් බවත් පැහැදිලි කරන්න පුළුවන්. ඔවුන්ට කළ හැකි දේවල් අතර බයිබලය අධ්‍යයනය කිරීම, රැස්වීම්වලට සහභාගි වීම හා ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හවුල් වීම සඳහන් කළ හැකියි. එමෙන්ම ගලාති 6:2, 5හි සඳහන් දුෂ්කරතා නමැති බර උසුලන්න ඔහුට උපකාර කිරීමට ක්‍රිස්තියානීන් නිතරම සූදානම් බව පවසන්න. නමුත් අනෙක් අතට ‘එකිනෙකා තම තමාට තිබෙන වගකීම් නමැති බර උසුලන්න’ අවශ්‍ය බවද පෙන්වා දෙන්න. දෙවි ඔහුට පවරා ඇති වගකීම් ඔහු වෙනුවෙන් ඉටු කිරීමට වෙන කෙනෙකුට බැරි බවත් කාරුණිකව පෙන්වා දෙන්න. බොහෝදෙනා අක්‍රියාශීලී වී ඇති හේතු සහ ඔවුන්ට උපකාර කළ හැකි ක්‍රම කිහිපයක් දැන් අපි සලකා බලමු.

“ජීවිතයේ කරදර” නිසාද?

5, 6. (අ) අක්‍රියාශීලී වී සිටින අයට හොඳින් ඇහුම්කන් දීම වැදගත් ඇයි? (ආ) එවැනි කෙනෙකු පත් වී සිටින තත්වය තේරුම්ගන්න ඔවුන්ට උපකාර කරන්න ඔබට හැක්කේ කෙසේද?

5 අක්‍රියාශීලී කෙනෙක් තම හැඟීම් ප්‍රකාශ කරද්දී ඔහුට උපකාර කිරීමේ අරමුණින් වැඩිමහල්ලන් හා ප්‍රචාරකයන් ඔහුට හොඳින් සවන් දීම වැදගත්. ඔබ එවැනි තත්වයක පසුවන යුවළක් හමුවීමට යන වැඩිමහල්ලෙක් කියා සිතන්න. ඔවුන්ට රැස්වීම්වලට සහභාගී වීම අතපසු වී ඇත්තේ “ජීවිතයේ කරදර” නිසා බව ඔවුන්ට සවන් දීමෙන් තේරුම්ගන්න ඔබට හැකි වෙයි. (ලූක් 21:34) එම කරදර අතරට ආර්ථික ප්‍රශ්න හෝ පවුල් වගකීම් වැඩි වීම අයත් විය හැකියි. ඒවාට විසඳුම් සෙවීම සඳහා ඔවුන් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් අතපසු කර තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් එසේ කිරීම ඊට විසඳුම නොවන බව ඔවුන්ට පෙන්වා දිය හැකියි. (හිතෝපදේශ 18:1 කියවන්න.) ඔබට ඥානවන්ත ලෙස හා කාරුණික ඔවුන්ගෙන් මෙසේ අසන්නත් පුළුවන්. “රැස්වීම්වලට එන එක නතර කළාට පස්සේ ඔයා සන්තෝෂයෙන් ඉන්නවා කියලා ඔයාට දැනෙනවාද? ඉස්සරට වඩා ඔයාගේ පවුලේ සන්තෝෂය තියෙනවා කියලා ඔයා හිතනවාද? යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීම නිසා ලබපු ප්‍රීතිය ඔයාට තවමත් දැනෙනවාද?”—නෙහෙ. 8:10.

6 ඔවුන්ගේ ප්‍රීතිය හා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය අඩු වී තිබෙන්නේ ඔවුන් රැස්වීම්වලට පැමිණීම නතර කර තිබෙන නිසා බව තේරුම්ගන්න එවැනි ප්‍රශ්න ඔවුන්ට උපකාරවත් විය හැකියි. (මතෙ. 5:3; හෙබ්‍රෙ. 10:24, 25) එමෙන්ම දේවසේවයේ හවුල් නොවීමද ඊට හේතු වී ඇති බව තේරුම්ගන්න උපකාර කරන්න. (මතෙ. 28:19, 20) එසේනම් එවැනි කෙනෙක් දැන් කළ යුත්තේ කුමක්ද?

7. අක්‍රියාශීලී වී සිටින අයට දිරිගැන්විය හැක්කේ කුමක් කිරීමටද?

7 යේසුස් වරක් මෙසේ පැවසුවා. ‘අධික කෑමෙනුත් බීමෙනුත් ජීවිතයේ කරදරවලිනුත් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරෙන පිණිස දිගටම අයැදිමින් අවදිව සිටින්න.’ (ලූක් 21:34-36) වර්තමානයේ අක්‍රියාශීලී වී සිටින නමුත් නැවතත් තමන් කලින් භුක්ති විඳි ප්‍රීතිය ලබන්න කැමති අය සිටිනවා. එවැනි අයට දෙවිගේ බලයේ උපකාර පතා යාච්ඤා කරන්න කියාත් එම යාච්ඤාවට එකඟව ක්‍රියා කරන්න කියාත් දිරිගැන්විය හැකියි.—ලූක් 11:13.

බාධාවට පත් වී ඇති නිසාද?

8, 9. බාධාවට පත්වීම නිසා අක්‍රියාශීලී වී ඇති කෙනෙකුට උපකාර කරන්න වැඩිමහල්ලෙකුට හැක්කේ කෙසේද?

8 අප අසම්පූර්ණ අය නිසාත් අපගේ පෞද්ගලිකත්වයන් විවිධ නිසාත් ගැටලු ඇති වෙනවා. සභාවේ සාමාජිකයන්ගේ ගෞරවය දිනාගෙන ඇති කෙනෙක් බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි දෙයක් කිරීම නිසා සමහරුන් බාධාවට පත් වී තිබෙනවා. එවන් කෙනෙකුව හමුවීමට වැඩිමහල්ලෙක් යන විට ඒ තැනැත්තාට කුමක් පැවසිය හැකිද? ඔහුව බාධාවට පත්කර ඇත්තේ යෙහෝවා දෙවි නොවන බව පෙන්විය හැකියි. එසේනම් ඔහු දෙවි හා ඔහුගේ සෙනඟ සමඟ තිබෙන මිත්‍රත්වය නවතා දමා ඇත්තේ ඇයි කියා විමසිය හැකියි. ඔහු බාධාවට පත් වූ හේතුව ගැන දෙවි සම්පූර්ණයෙන්ම දන්නා බවත් “මුළු පොළොවේම විනිශ්චයකාරයාණන්” නියමිත කාලයේදී ඊට නිසි පිළිතුරු ලබා දෙන බවත් පැහැදිලි කළ හැකියි. එමනිසා ඔහු නොකඩවා දෙවිට සේවය කළ යුතු බව අවධාරණය කරන්න. (උත්. 18:25, නව ලොව පරිවර්තනය, NW; කොලො. 3:23-25) එය ඔහුට පැහැදිලි කිරීමට මෙවැනි නිදර්ශනයක් භාවිත කළ හැකියි. කෙනෙකු යමක පැටලී බිම ඇද වැටුණොත් ඔහු එතැනම, ඒ විදිහටම සිටින්නේ නැහැ. ඒ වෙනුවට එතැනින් නැඟිටින්න උත්සාහ කරනවා. ඒ හා සමානව ඔහුටද නැවතත් ක්‍රියාශීලී වීමට උනන්දු කරන්න.

9 වැඩිමහල්ලන්ට මෙවැනි දේවල්ද ඔවුන් සමඟ කතා කළ හැකියි. සමහරුන්ව බාධාවට පත් කළ දේවල්, කාලයක් ගත වුණාට පසුව එතරම් ලොකු ගැටලුවක් නොවන බව එසේ බාධාවට පත් වූ අයම තේරුම්ගෙන තිබෙනවා. එමෙන්ම කල් යද්දී එම බාධාව සම්පූර්ණයෙන්ම ඉවත් වීමටද ඉඩ තිබෙනවා. තවත් අය බාධාවට පත් වී ඇත්තේ ඔවුන්ට යම් උපදෙස් ලැබී තිබෙන නිසයි. ඒ ගැන ඔහු කුමක් කළ යුතුද? දෙවිට යාච්ඤා කිරීමත් එම උපදෙස ලැබුණේ ඇයි කියා කල්පනා කිරීමත් සුදුසුයි. එවිට තමා අතින්ද යම් වරදක් සිදු වී ඇති බවත් ලැබුණු උපදෙස ගැන බාධාවට පත්වීම සුදුසු දෙයක් නොවන බවත් තේරුම්ගන්න ඔහුට හැකියි.—ගීතා. 119:165; හෙබ්‍රෙ. 12:5-13.

යම් ඉගැන්වීමක් නිසාද?

10, 11. බයිබල් ඉගැන්වීමක් නිසා අක්‍රියාශීලී වී සිටින කෙනෙකුට උපකාර කරන්න පුළුවන් කොහොමද?

10 තවත් අය බයිබලයේ ඇති යම් ඉගැන්වීම්වලට එකඟ නොවන නිසා සභාව සමඟ ඇසුරු කිරීම නතර කර තිබෙනවා විය හැකියි. ඊශ්‍රායෙල්වරුද එවැනි දෙයක් කළා. ඔවුන් ඊජිප්තුවෙන් නිදහස් වී පැමිණි පසු දෙවි ඔවුන් වෙනුවෙන් කළ සෑම දෙයක්ම ඉක්මනින් ‘අමතක කළා’. සමහර අවස්ථාවලදී ‘ඔවුන් දෙවිගෙන් උපදෙස් ලැබෙන තෙක් බලා නොසිට’ ඉක්මන් වී ක්‍රියා කළා. (ගීතා. 106:13NW) අක්‍රියාශීලී තැනැත්තාද සිටින්නේ එවැනි තත්වයක විය හැකියි. ඔහුට උපකාර කරන්න පුළුවන් කොහොමද? “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” දෙවි පිළිබඳව වටිනා තොරතුරු සපයන බවත් ඔහු සත්‍යය ඉගෙනගත්තේ ඒවායින් බවත් ඔහුට සිහිගැන්වීම ප්‍රයෝජනවත් විය හැකියි. (මතෙ. 24:45) එමනිසා නැවතත් සත්‍යය මාර්ගය තුළ ගමන් කිරීමට ඔහුව දිරිගන්වන්න.—2 යොහ. 4.

11 යේසුස්ගේ ඉගැන්වීමක් නිසා ඔහුව අතහැර ගිය අනුගාමිකයන් ගැනද ඔහුට මතක් කර දිය හැකියි. (යොහ. 6:53, 66) ඔවුන් එසේ කළ නිසා දෙවි සමඟ තිබූ මිත්‍රත්වයත් ප්‍රීතියත් අහිමි වුණා. අද දිනත් සභාව හැර ගොස් සිටින අය ගැන කිව හැක්කේ ඒ දෙයමයි. ඔවුන්ට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න උපකාර කරන ස්ථානයක් හමු වී තිබෙනවාද? නැහැ. එවැනි ස්ථානයක් වෙන කොහේවත් නැහැ!

බරපතළ පාපයක් නිසාද?

12, 13. අක්‍රියාශීලී කෙනෙක් තමන් බරපතළ පාපයක් කර ඇති බව ඔබට පැවසුවොත් ඔබ කළ යුත්තේ කුමක්ද?

12 සමහරුන් රැස්වීම්වලට හා දේවසේවයේ සහභාගි වීම නතර කර තිබෙන්නේ ඔවුන් බරපතළ පාපයක් කර ඇති නිසයි. ඒ ගැන වැඩිමහල්ලන්ට පැවසුවහොත් සභා සාමාජිකත්වයෙන් ඉවත් කරයි කියා ඔවුන් සිතනවා. නමුත් ඔවුන් එම වරද නැවතත් නොකරනවා නම් හා අවංකව පසුතැවිලි වෙනවා නම් එවැනි දෙයක් සිදු වන්නේ නැහැ. (2 කොරි. 7:10, 11) දෙවි සමඟ නැවතත් හොඳ මිත්‍රත්වයක් ඇති කරගැනීමට වැඩිමහල්ලන් ඔවුන්ට උදව් කරන අතර සභාවට ඔවුන්ව සාදරයෙන් පිළිගන්නවා.

13 වැඩිමහල්ලන්, අක්‍රියාශීලී කෙනෙකු සමඟ බයිබල් පාඩමක් පැවැත්වීමට ප්‍රචාරකයෙකුට ආරාධනා කළ හැකියි. ඒ ප්‍රචාරකයා ඔබ කියා සිතන්න. තමා බරපතළ පාපයක් කර තිබෙන බව ඔහු ඔබට පැවසුවොත් ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ ගැන වැඩිමහල්ලන්ට පවසන්න කියා ඔහුව දිරිගන්වන්න. නමුත් ඔහු එසේ නොකළොත් ඔබ කුමක් කළ යුතුද? යෙහෝවා දෙවිගේ නාමයට අපහාසයක් නොවීම සඳහාත් සභාව පවිත්‍රව තබාගැනීම සඳහාත් ඔබ එම කාරණය වැඩිමහල්ලන්ට පැවසිය යුතුයි. (ලෙවී කතාව 5:1 කියවන්න.) එවිට නැවතත් දෙවිගේ කැමැත්තට අනුව ජීවත් වෙන්න ආශා කරන ඒ තැනැත්තාට අවශ්‍ය උපකාර වැඩිමහල්ලන් ලබා දෙයි. සමහරවිට ඔහුට අවශ්‍ය වන්නේ ප්‍රේමණීය හික්මවීමක් විය හැකියි. (හෙබ්‍රෙ. 12:7-11) ඒ අවස්ථාවේදී තමන් දෙවිට විරුද්ධව පාපයක් කර ඇති බව පිළිගෙන ඉන් සම්පූර්ණයෙන්ම ඉවත් වී අවංකව පසුතැවිලි වෙනවා නම් වැඩිමහල්ලන්ගේ උපකාර ඔහුට ලැබෙන අතර දෙවිගෙන් සමාව ලබන්නද ඔහුට හැකියි.—යෙසා. 1:18; 55:7; යාකො. 5:13-16.

පුතෙකු නැවත පැමිණීමේ ප්‍රීතිය

14. අකීකරු පුත්‍රයාගේ උපමාව ඔබේ වචනවලින් විස්තර කරන්න.

14 අක්‍රියාශීලී තැනැත්තාට උපකාර කිරීමේදී ලූක් 15:11-24හි සඳහන් යේසුස්ගේ උපමාවේ තොරතුරු යොදාගන්න ප්‍රචාරකයාට හැකියි. එහි සඳහන් තරුණයා තම වස්තුව නාස්ති කරමින් නරක ජීවිතයක් ගත කළා. ඒ නිසා අවසානයේදී ඔහු ඉතා අසරණ වුණා. දැන් ඔහුට කන්නවත් දෙයක් නැහැ. තමා ගත කළේ නරක ජීවිතයක් කියා ඔහුට තේරෙන්න පටන්ගත්තා. එමෙන්ම ගෙදර මතක් වෙලා දුක හිතුණා. අවසානයේදී නැවතත් ගෙදර යන්න ඔහු තීරණය කළා. තම පුතා නැවතත් එන බව දුර තියාම දකින පියා දුවගොස් ඔහුගේ බෙල්ල බදාගෙන ප්‍රීතියෙන් ඔහුව සිප වැළඳගන්නවා. මෙම උපමාව එවැනි කෙනෙක් සමඟ සාකච්ඡා කිරීම, ක්‍රිස්තියානි සභාව සමඟ නැවතත් ඇසුරු කිරීමට ඔහුට දිරිගැන්වීමක් විය හැකියි. කෙසේනමුත් මෙම දුෂ්ට සමාජය විනාශ වීමට ආසන්න නිසා ඔහු ප්‍රමාද නොවී නැවතත් සභාව සමඟ ඇසුරු කිරීමට පටන්ගත යුතුයි.

15. සමහරුන් ක්‍රිස්තියානි සභාවෙන් ඈත් වීමට හේතු වී ඇත්තේ කුමක්ද?

15 අකීකරු පුත්‍රයා මෙන් නොව ක්‍රිස්තියානි සභාවෙන් ඈත් වී ඇති බොහෝදෙනා එසේ ඈත් වී තිබෙන්නේ ක්‍රමානුකූලවයි. එය හරියට ගං ඉවුරේ නවතා තිබෙන බෝට්ටුවක් සෙමින් සෙමින් ඈතට ගසාගෙන යනවා හා සමානයි. සමහරුන්ට එසේ සභාවෙන් ඈත් වී තිබෙන්නේ ජීවිතයේ කාරණා ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වන නිසයි. සභාවේ සෙසු සාමාජිකයෙක් කළ කී දෙයක් නිසාද තවත් අය අක්‍රියාශීලී වී තිබෙනවා. බයිබල් ඉගැන්වීම්වලට තමන් එකඟ නොවන නිසාත් සභාවෙන් ඈත් වන අයද සිටිනවා. බරපතළ පාපයක් කර ඇති නිසාද සමහරුන් සභාවෙන් ඈත් වෙනවා. ඔවුන් එසේ අක්‍රියාශීලී වීමට හේතුව කුමක් වුණත් ප්‍රමාද නොවී නැවතත් අප සමඟ ඇසුරු කරන්න ඔවුන්ට උපකාර කරමු. ඒ සඳහා මෙම තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වේවි.

“පුතේ, ඔයා ආපු එක අපිට ලොකු සතුටක්”

16-18. (අ) අවුරුදු ගණනාවක් පුරා අක්‍රියාශීලී වී සිටි සහෝදරයෙකුට වැඩිමහල්ලෙක් උපකාර කළේ කෙසේද? (ආ) ඔහු අක්‍රියාශීලී වීමට හේතුව කුමක්ද? ඉන් ගොඩ ඒමට ඔහුට ලැබුණු උපකාර ගැන ඔහු පවසන්නේ කුමක්ද? ඔහු නැවත පැමිණෙද්දී සභාවේ අය ඔහුව පිළිගත්තේ කෙසේද?

16 අක්‍රියාශීලී කෙනෙකුට උපකාර කළ වැඩිමහල්ලෙක් පවසන දේ බලන්න. “අපේ සභාවේ වැඩිමහල් මණ්ඩලය, අක්‍රියාශීලී අයව හමු වී ඔවුන්ව දිරිගන්වන්න විශේෂ වෑයමක් දරනවා. සත්‍යය ඉගෙනගන්න මම උදව් කරපු කෙනෙක් පසුව ඇදහිල්ලෙන් දුර්වල වෙලා අවුරුදු 25ක් තිස්සේම අක්‍රියාශීලී වෙලා හිටියා. ඒ වගේම ඔහු නොයෙකුත් දුෂ්කර තත්වයන්ටද මුහුණ දුන්නා. මම ඔහුව හමු වෙන්න ගිහිල්ලා ඔහුට පෙන්නලා දුන්නා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න උත්සාහ කළොත් ඔහුට මේ තත්වයෙන් ගොඩ එන්න පුළුවන් බව. ඊට ටික කාලෙකට පස්සේ ඔහු රැස්වීම්වලට එන්න පටන්ගත්තා. ඒ වගේම බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා.”

17 ඒ සහෝදරයා අක්‍රියාශීලී වීමට හේතුව කුමක්ද? ඒ ගැන ඔහුම පවසන්නේ මෙසේයි. “මම යෙහෝවා දෙවිත් එක්ක තියෙන මගේ මිත්‍රත්වය ශක්තිමත් කරගන්නවාට වඩා මගේම ජීවිතයේ කාරණාවලට වැඩි අවධානයක් දෙන්න පටන්ගත්තා. මම බයිබලය අධ්‍යයනය කිරීම, දේවසේවයේ හවුල් වීම සහ රැස්වීම්වලට සහභාගි වීම ටිකෙන් ටික නතර කළා. පස්සේ බලද්දී නොදැනුවත්වම මම ක්‍රිස්තියානි සභාවෙන් ගොඩාක් ඈත් වෙලා. කොහොමවුණත් මේ ප්‍රේමණීය වැඩිමහල්ලා මං ගැන දක්වපු අවංක උනන්දුව නිසා නැවතත් සභාව සමඟ ඇසුරු කරන්න මට පුළුවන් වුණා.” ඔහු නැවතත් බයිබලය පාඩම් කරන්න පටන්ගත් නිසා ඔහු අද්දුටු දුෂ්කරතාවන්ගෙන් යම් සහනයක් ලැබුවා. ඒ ගැන ඔහු පැවසුවේ මෙහෙමයි. “ඇත්තටම මගේ ජීවිතයේ ලොකු අඩුවක් තියෙන බව මට දැනුණා. ඒ, යෙහෝවා දෙවිගේ ප්‍රේමය, ඔහු හා ඔහුගේ සංවිධානයෙන් ලැබුණු මඟ පෙන්වීම්වල අඩුවයි.”

18 මේ සහෝදරයාව සභාවේ අය පිළිගත්තේ කොහොමද? ඒ ගැන ඔහු මෙහෙම කියනවා. “මම ආයෙත් සභාවට යන විට මට මං ගැන දැනුණේ හරියට මම අකීකරු පුත්‍රයා වගේ කියලයි. ඒ වුණත් එදා මම රාජ්‍ය ශාලාවට ගියාම එක වසයක සහෝදරියක් මට මෙහෙම කිව්වා. ‘පුතේ, ඔයා ආපු එක අපිට ලොකු සතුටක්.’ ඒක මගේ හිතට හොඳට වැදුණා. අතරමං වෙලා හිටිය මම ආයේ ගෙදර ආවා වගේ මට දැනුණා. මට එය කියූ සහෝදරිය මීට අවුරුදු 30කට කලිනුත් දෙවිට විශ්වාසවන්තව සිටියා. ඇය තවමත් එහෙමයි. මට දක්වපු ප්‍රේමණීය සැලකිල්ල, ඉවසීම හා මං ගැන උනන්දු වූ ඒ වැඩිමහල් සහෝදරයාවත් මුළු සභාවත් මම ගොඩක් අගය කරනවා. ඔවුන්ට යෙහෝවා දෙවි හා අසල්වැසියා කෙරෙහි තිබූ ප්‍රේමය නිසා මට නැවතත් දෙවිගේ සංවිධානයට එන්න හැකි වුණා.”

පමා නොවී පියවර ගන්න උනන්දු කරන්න

19, 20. ප්‍රමාද නොවී ක්‍රිස්තියානි සභාවට පැමිණීමට අක්‍රියාශීලී අයව දිරිගන්වන්න ඔබට හැක්කේ කෙසේද? අපට කළ නොහැකි දේවල් දෙවි අපගෙන් බලාපොරොත්තු නොවන බව ඔවුන්ට පැහැදිලි කළ හැක්කේ කෙසේද?

19 අප ජීවත් වන්නේ අන්තිම දවස්වල නිසා මේ දුෂ්ට සමාජය ඉක්මනින් විනාශ වීමට නියමිතයි. එමනිසා කල් දමන්නේ නැතුව රැස්වීම්වලට පැමිණෙන්න කියා අක්‍රියාශීලී අයව දිරිගන්වමු. දෙවි හා ඔවුන් අතර තිබෙන බැඳීම විනාශ කිරීමට සාතන් සියලු උත්සාහයන් දරන බවත් ඔවුන්ට සිහිගන්වන්න. ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබාගත හැක්කේ දෙවිට නමස්කාර කිරීම නතර කිරීමෙන් බව සාතන් සිතන්න සලස්වනවා. ඒ බව ඔවුන්ට පෙන්වා දෙන්න. නමුත් ඔවුන්ගේ ගැටලුවලින් සහනයක් ලැබිය හැක්කේ යේසුස්ගේ අනුගාමිකයෙක් ලෙස විශ්වාසවන්තව සිටියොත් පමණයි යන කාරණයද ඔවුන්ට මතක් කරන්න.—මතෙව් 11:28-30 කියවන්න.

20 යෙහෝවා දෙවි අපගෙන් බලාපොරොත්තු වන්නේ අපට කළ හැකි දේවල් පමණක් බව ඔහුට පවසන්න. ඒ බව යේසුස්ගේ මරණයට ටික දවසකට පෙර සිදු වූ දෙයින්ද පැහැදිලි කළ හැකියි. ලාසරුස්ගේ සහෝදරිය වූ මරියා ඉතා වටිනා සුවඳ තෙලක් යේසුස්ගේ හිස මත වත් කළා. එය බලා සිටි අය ඇයව විවේචනය කළත් යේසුස් පැවසුවේ ‘ඇයට ඉන්න ඉඩහරින්න. ඇයට හැකි දේ ඇය කළාය’ කියායි. (මාක් 14:6-8) තවත් අවස්ථාවකදී දිලිඳු වැන්දඹුව දේවමාලිගාවට දැමූ කුඩා කාසි දෙක පවා යේසුස් ඉතා අගය කළා. ඊට හේතුව ඇය කළේ ඇයට කළ හැකි දේ නිසයි. (ලූක් 21:1-4) අපගෙන් බොහෝදෙනෙකුට එසේ කළ හැකි දේවල් තිබෙනවා. ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීම, රාජ්‍ය ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හවුල් වීම ඊට අයත්. එමනිසා අක්‍රියාශීලී අයටත් දෙවිගේ උපකාරය ඇතුව එවැනි දේවල් කිරීමට පටන්ගත හැකියි.

21, 22. දෙවි වෙතට නැවත හැරී එන අයට ලබා දිය හැකි නිසැකකම කුමක්ද?

21 නැති වූ බැටළුවෙක් වැනි කෙනෙකුට නැවතත් රැස්වීම්වලට පැමිණීමට යම් ලජ්ජාවක් දැනෙන බව ඔබට පවසයි නම් කුමක් කළ හැකිද? අකීකරු පුත්‍රයා නැවත පැමිණි විට දැනුණ ප්‍රීතියට හා සමාන ප්‍රීතියක් සභාවේ අයට දැනෙන බව ඔහුට පවසන්න. එමනිසා සාතන්ට විරුද්ධව සිටීමටත් දෙවිට ළං වීමටත් අපි ඔවුන්ව දිරිගන්වමු.—යාකො. 4:7, 8.

22 එසේ යෙහෝවා දෙවි වෙතට නැවත පැමිණෙන අයව සභාව පිළිගන්නේ ප්‍රීතියෙන් උතුරා යන හදවත්වලිනුයි. (විලා. 3:40) ඔවුන් කලින් දෙවිට කළ සේවයෙන් ඉමහත් ප්‍රීතියක් ලැබූ බව නිසැකයි. ඒ වගේම ප්‍රමාද නොවී දෙවි වෙතට නැවත හැරී එන එවන් අය අද්දැකීමට නියමිත ආශීර්වාද වචනයෙන් විස්තර කළ නොහැකියි!

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• බාධාවට පත් වී අක්‍රියාශීලී වී සිටින කෙනෙකුට උපකාර කරන්න ඔබට හැක්කේ කෙසේද?

• යම් ඉගැන්වීමක් නිසා ක්‍රිස්තියානි සභාවෙන් ඈත් වී සිටින කෙනෙකුට උපකාර කරන්න ඔබට පුළුවන් කොහොමද?

• නැවතත් සභාවට පැමිණීමට ලජ්ජාවෙන් සිටින කෙනෙකුට කෙසේ උපකාර කළ හැකිද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

අක්‍රියාශීලී කෙනෙක් තම අදහස් සහ හැඟීම් ප්‍රකාශ කරද්දී ඔහුට හොඳින් සවන් දෙන්න

[15වන පිටුවේ පින්තූරය]

අකීකරු පුත්‍රයාගේ උපමාව සාකච්ඡා කිරීම, අක්‍රියාශීලී කෙනෙකුට නැවතත් හැරී ඒමට දිරිගැන්වීමක් වෙයි