Skip to content

පටුනට යන්න

“මෝසෙස්ගේ ගීතය” හිස්තැනක් පුරවයි

“මෝසෙස්ගේ ගීතය” හිස්තැනක් පුරවයි

“මෝසෙස්ගේ ගීතය” හිස්තැනක් පුරවයි

ක්‍රිස්තු වර්ෂ හත්වන හෝ අටවන සියවසට අයත් හෙබ්‍රෙව් ශුද්ධලියවිල්ලේ යම් කොටසක් වර්ෂ 2007 මැයි මස 22දින යෙරුසලමේ පිහිටි ඊශ්‍රායෙල් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරනු ලැබුවා. එහි ඇතුළත් වී තිබුණේ බයිබලයේ නික්මයාම 13:19–16:1 දක්වා ඇති කොටසයි. ඊශ්‍රායෙල්වරුන් රතු මුහුද අසළදී ලැබූ මහත් ගැලවීම පිළිබඳ ගැයූ ගීතිකාවද ඊට අයත්. අලුත හඳුනාගත් මෙම අත්පිටපතෙහි ඇති විශේෂත්වය කුමක්ද?

එය ලියනු ලැබූ කාලය තේරුම්ගැනීමෙන් ඊට පිළිතුරු සොයාගත හැකියි. මළ මුහුද ආශ්‍රිතව සොයාගත් අත්පිටපත් ලියා ඇත්තේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසත් ක්‍රි.ව පළමුවෙනි සියවසත් අතර තුර කාලයේදීයි. මීට වසර 60කට පෙර එනම් මළ මුහුදේ ලියවිල්ල සොයාගන්නා තෙක් පැරණිතම ලියවිල්ල හැටියට විශ්වාස කළේ ඇලෙප්පෝ කෝඩෙක්ස් නම් ලියවිල්ලයි. නමුත් එය ලියා තිබුණේ ක්‍රි.ව. 930 පමණ කාලයේදීයි. ශුද්ධ ලියවිලිවල කොටස් කිහිපයක් හැරෙන්න ක්‍රි.පූ. තුනේ සිට ක්‍රි.ව. 930 දක්වා අතර තුර කාලයේදී ලියැවුණු වෙන අත්පිටපත් හමුවී තිබුණේ නැහැ.

මෝසෙස්ගේ ගීතය කියා හඳුන්වන එම ලියවිල්ල ගැන ඊශ්‍රායෙල් කෞතුකාගාරයේ අධ්‍යක්ෂක, ජේම්ස් එස්. ස්නයිඩර් පවසන්නේ මෙසේයි. ‘එය මළ මුහුදේ ලියවිල්ල හා ඇලෙප්පෝ කෝඩෙක්ස් ලියවිල්ල අතර ඇති කාලය යා කරන පාලමක් වගෙයි.’ ඔහුගේ අදහසට අනුව මෙම අත්පිටපත් සහ අනෙකුත් පැරණි අත්පිටපත් දෙස බලද්දී පැහැදිලි වන කරුණ නම් ‘බයිබලයේ මුල් පිටපත්වල තිබූ අදහස් වෙනස් නොවී පැවත ඇති බවයි’.

දහනව වන සියවසේදී ඊජිප්තුවේ කයිරෝ නගරයේ සිනගෝගයක තිබී ශුද්ධ ලියවිලි අත්පිටපත් බොහොමයක් සොයාගනු ලැබුවා. ඒවා අතර මෙම ලියවිල්ලත් තිබූ බව සැලකෙනවා. කෙසේවෙතත් පැරණි ශුද්ධ ලියවිලි පිටපත් එකතු කරන්නෙක් සතුව ඒවා තිබුණත් එහි ඇති වැදගත්කම හඳුනාගත්තේ 1970 අවසන් භාගයේදී එය විශාරදයෙකුට පෙන්වීමෙන් පසුවයි. ඊට පසු ඒවා කොතරම් පැරණිද කියා තහවුරු කර ඊශ්‍රායෙලයේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබුවා.

මළ මුහුදේ ලියවිලිවල භාරකරු සහ ඊශ්‍රායෙල් කෞතුකාගාරයේ ප්‍රධානියා වන ආඩොල්ෆො රොයිට්මන් එම ශුද්ධලියවිලි පිටපත්වල ඇති වැදගත්කම ගැන පවසන්නේ මෙසේයි. “සියවස් ගණනාවක් පුරා භාවිත කරන, මැසොරෙට්වරුන් විසින් පිටපත් කළ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ඇති තොරතුරු ඉතා නිවැරදි බව මෑතකදී හඳුනාගත් මෝසෙස්ගේ ගීතිකාව ලෙස හඳුන්වන අත්පිටපතෙන් ඔප්පු වෙනවා. පුදුමයට කරුණක් වන්නේ ක්‍රි.ව. හත හෝ අට වෙනි සියවසේදී පිටපත් කළ මෝසෙස්ගේ ගීතිකාව නම් කොටසේ ඇති භාෂා ශෛලියම අද අප සතු බයිබලයේත් නොවෙනස්ව තිබීමයි.”

ශුද්ධ බයිබලය යෙහෝවා දෙවිගේම බලයෙන් ලියැවුණු පොතක් වන බැවින් දෙවි එය ආරක්ෂා කිරීමට වගබලා ගෙන තිබෙනවා. එමෙන්ම ශුද්ධ ලියවිල්ල පිටපත් කළ අය එය ඉතා නිවැරදිව පිටපත් කළා. මේ සියලු කරුණු සලකා බලා අපට පැමිණිය හැකි නිගමනය වන්නේ එය ඉතාමත් විශ්වාසදායක සත්‍යය පොතක් යන කාරණයයි.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Courtesy of Israel Museum, Jerusalem