Skip to content

පටුනට යන්න

යේසුස් මෙන් “යක්ෂයාට විරුද්ධ වන්න”

යේසුස් මෙන් “යක්ෂයාට විරුද්ධ වන්න”

යේසුස් මෙන් “යක්ෂයාට විරුද්ධ වන්න”

“යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යන්නේය.”—යාකො. 4:7.

1. යේසුස් දැන සිටියේ තමන් සාතන් අතින් කුමක් විඳීමට නියමිත බවද? එමෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස ඉන් පසු සිදු වූයේ කුමක්ද?

තමන් සාතන් අතින් දැඩි පීඩා විඳින්න නියමිත බව යේසුස් දැන සිටියා. ඊට හේතුව යෙහෝවා දෙවි සාතන්ට පැවසු මේ වචන නිසයි. “ඔබ සහ ස්ත්‍රිය [දෙවිගේ සංවිධානයේ ස්වර්ගීක කොටස] අතරද ඔබෙන් පැවත එන්නන් සහ ඇගෙන් පැවත එන තැනැත්තා අතරද මම සතුරුකම් තබන්නෙමි. ඔහු [යේසුස්] ඔබේ හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්. 3:14, 15, නව ලොව පරිවර්තනය, NW; එළි. 12:9) අනාවැකියේ සඳහන් ලෙස සාතන් යේසුස්ගේ විලුඹ පොඩි කරනවා කීමෙන් අදහස් කළේ ඔහුව තාවකාලිකව මරණයට පත් කිරීමයි. පසුව යෙහෝවා දෙවි ඔහුව නැවත නැඟිටුවා තේජවත් තත්වයකට පත් කළා. නමුත් සාතන්ගේ හිස පොඩි කිරීමෙන් අදහස් කරන්නේ ඔහුව නැත්තටම නැති කර දැමීමට නියමිත බවයි.—ක්‍රියා 2:31, 32; හෙබ්‍රෙව් 2:14 කියවන්න.

2. යේසුස්, සාතන්ට සාර්ථකව මුහුණ දෙයි කියා යෙහෝවා දෙවිට එතරම් විශ්වාසයක් තිබුණේ ඇයි?

2 යේසුස්, සාතන්ට විරුද්ධව සිටියි කියාත් තමන් පැවරූ කාර්යය සාර්ථකව ඉටු කරයි කියාත් දෙවිට සම්පූර්ණ නිසැකකමක් තිබුණා. ඊට හේතුව නම් යේසුස්, දෙවි සමඟ අවුරුදු ගණනාවක් ගත කර තිබූ නිසා දෙවිට ඔහු ගැන හොඳ අවබෝධයක් තිබීමයි. එමෙන්ම දෙවිගේ “ප්‍රධාන සේවක” හා “මැවිල්ලේ කුලුඳුලා” හැටියට යේසුස් තමන්ට කීකරුව හා විශ්වාසවන්තව සිටි බවත් දෙවි දැන සිටියා. (හිතෝ. 8:22-31NW; කොලො. 1:15) පසුව යෙහෝවා දෙවි තම පුත්‍රයාව පොළොවට එව්වා. එහිදී සාතන් ඔහුට පීඩා කර මරණයට පත් කළා. නමුත් තම පුත්‍රයා සාතන්ට සාර්ථකව මුහුණ දෙන බවට දෙවිට ස්ථිර විශ්වාසයක් තිබුණා.—යොහ. 3:16.

දෙවි තම සෙනඟව ගලවයි

3. දෙවිගේ සේවකයන් සම්බන්ධයෙන් සාතන්ගේ ඉලක්කය කුමක්ද?

3 “මේ ලෝකයේ පාලකයා” වන සාතන්ගේ පීඩාවලට යේසුස් මුහුණ දුන් අතර තම අනුගාමිකයන්ටද සාතන් පීඩා කරන බව ඔහු පැවසුවා. (යොහ. 12:31; 15:20) ඔහු එසේ පීඩා කරන්නේ ඔවුන් දෙවිට සේවය කරන හා ශුභාරංචිය ප්‍රකාශ කරන අය නිසයි. (මතෙ. 24:9; 1 යොහ. 5:19) සාතන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ යේසුස් සමඟ පාලනය කිරීමට සිටින අභිෂේක ලත් අනුගාමිකයනුයි. එමෙන්ම පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින දෙවිගේ සේවකයන්ටද ඔහු පීඩා ගෙනෙනවා. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ ගිල දමන්න සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.”—1 පේතෘ. 5:8.

4. සාතන්ගේ පීඩාවන්ට විරුද්ධව වර්තමානයේ දෙවිගේ සේවකයන් සාර්ථක වී ඇති බව ඔප්පු වන්නේ කුමකින්ද?

4 අප යෙහෝවා දෙවිගේ උපකාර ලබන කණ්ඩායමක් නිසා සාතන්ගේ පීඩාවන්ට සාර්ථකව මුහුණ දෙන්න අපට හැකි වී තිබෙනවා. පසුගිය සියවස පුරා කෲර පාලකයන් තම රටේ සිටි සාක්ෂිකරුවන්ව සම්පූර්ණයෙන්ම අතුගා දමන්න උත්සාහ කර තිබෙනවා. නමුත් වර්තමානයේ ඔවුන්ගේ වර්ධනය දෙස බලද්දී පැහැදිලි වන්නේ එවන් රටවල්වලින් තුරන් වී ඇත්තේ දෙවිගේ සෙනඟව තුරන් කරන්න උත්සාහ කළ අයම බවයි. දැන් දෙවිගේ සේවකයන්ගේ ගණන 70,00,000 දක්වාත් සභා ගණන 1,00,000කට වැඩි ප්‍රමාණයක් දක්වාත් වර්ධනය වී තිබෙනවා.

5. යෙසායා 54:17හි සඳහන් පොරොන්දුව දෙවිගේ සේවකයන් සම්බන්ධයෙන් සැබෑවක් වී තිබෙන්නේ කෙසේද?

5 දෙවි, පුරාණයේ සිටි තම භාර්යාව බඳු සෙනඟට මෙවන් පොරොන්දුවක් දුන්නා. “ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත. ඔබට විරුද්ධ චෝදනා එල්ල කරන සියලුදෙනාම දුෂ්ටයන් බව ඔබ ඔප්පු කරනු ඇත. යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි. එමෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ සෙනඟක් වී සිටින්නේ මා නිසාය.” (යෙසා. 54:11, 17NW) එය “අන්තිම දවස්වල” සිටින දෙවිගේ සේවකයන් වන අප සම්බන්ධයෙනුත් සැබෑ වී තිබෙනවා. (2 තිමෝ. 3:1-5, 13) අපව විනාශ කිරීමට සාතන් ඉතා ප්‍රබල ආයුධ වැනි පීඩා ගෙනාවත් දිගටම ඔහුට විරුද්ධ වීමට අපට හැකි වී තිබෙනවා. ඒ යෙහෝවා දෙවි අපගේ පැත්තේ සිටින නිසයි.—ගීතා. 118:6, 7.

6. සාතන්ගේ පාලනයේ අනාගතය ගැන දානියෙල්ගේ අනාවැකියේ පවසන්නේ කුමක්ද?

6 සාතන්ගේ පාලනයට අයත් සියලුම දේවල් සහමුලින්ම විනාශ වීමට ඇත්තේ තව කෙටි කාලයයි. ඒ ගැන කලින්ම මෙසේ වාර්තා කිරීමට දෙවි දානියෙල්ට මඟ පෙන්නුවා. “ඒ රජුන්ගේ [අපගේ කාලයේ සිටින පාලකයන්ගේ] දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් [ස්වර්ගයේ] පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් [අද පවතින රාජ්‍යවල්] පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.” (දානි. 2:44NW) එම වචන ඉටු වන විට සාතන්ගේ පාලනයත් ඔහුගේ පාලනය යටතේ පවතින සියලු මිනිස් පාලන ක්‍රමත් පහවීමට නියමිතයි. ඉන්පසුව මේ මුළු පොළොවම පාලනය කරන්නේ දේවආණ්ඩුව විසිනුයි!—2 පේතෘස් 3:7, 13 කියවන්න.

7. සාතන්ට විරුද්ධව කටයුතු කිරීමට අප එකිනෙකාට හැකි බව බයිබලය පෙන්වා දෙන්නේ කෙසේද?

7 දෙවිගේ සෙනඟ කණ්ඩායමක් ලෙස දිගටම පවතින බවත් සාර්ථක වන බවත් ස්ථිරයි. (ගීතාවලිය 125:1, 2 කියවන්න.) නමුත් පෞද්ගලිකව අප ගැන කුමක් කිව හැකිද? යේසුස් මෙන් අපටත් සාතන්ට දිගටම විරුද්ධ විය හැකි බව බයිබලය පවසනවා. ඒ බව යේසුස්, යොහන් තුළින් ලබා දුන් එළිදරව්වේ සඳහන් දෙයින් පැහැදිලියි. එහි “මහත් සමූහයක්” ගැන සඳහන් වන අතර ඔවුන් සාතන්ගේ පීඩාවලට සාර්ථකව මුහුණ දෙන බවත් මේ දුෂ්ට සමාජයේ විනාශයෙන් ගැලවෙන බවත් සඳහන්. එම ගැලවීම ගැන ඔවුන් දෙවිට ස්තුති කරන ආකාරයද මෙසේ සඳහන් වෙනවා. “ගැලවීම අපට ලබා දුන්, සිංහාසනය මත ඉඳගෙන සිටින අපේ දෙවිටත් බැටළු පැටවාටත් [යේසුස් ක්‍රිස්තුස්ටත්] අපි ණයගැතිව සිටිමු.” (එළි. 7:9-14) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සාතන්ගෙන් ජය ගන්නවා හා සමානව ඔවුන්ගේ සහයකයන් වන “වෙනත් බැටළුවන්ද” සාතන්ට විරුද්ධව ජය ගන්නා බව බයිබලයේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. (යොහ. 10:16; එළි. 12:10, 11) ඉහත සඳහන් තොරතුරුවලින් පැහැදිලි වන්නේ සාතන්ට විරුද්ධව කටයුතු කිරීමට අප එක් එක්කෙනාට හැකි බවයි. නමුත් ඒ සඳහා අප දැඩි වෑයමක් දැරීමත් උනන්දුවෙන් දෙවිට යාච්ඤා කිරීමත් අවශ්‍යයි.—මතෙ. 6:13.

හොඳම ආදර්ශය

8. සාතන් පාළුකරයේදී යේසුස්ට ගෙනා පළමු පරීක්ෂණය කුමක්ද? ඊට යේසුස් දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?

8 සාතන් පාළුකරයේදී යේසුස්ව වරදට පොලඹවන්න උත්සාහ කළ ආකාරය දැන් අපි බලමු. සාතන් ගෙනා පරීක්ෂාවල අරමුණ වූයේ යේසුස් දෙවිට දක්වන විශ්වාසවන්තකම බිඳ දැමීමයි. කෙසේනමුත් යේසුස් ඒ සෑම අවස්ථාවකදීම දෙවිට විශ්වාසවන්තව සිටියා. දහවල් 40ක්ද රාත්‍රි 40ක්ද නිරාහරව සිටි යේසුස්ට විශාල කුසගින්නක් දැනුණා. එවිට සාතන් පැමිණ “ඔබ දෙවිගේ පුත්‍රයෙකු නම්, මේ ගල්වලට රොටි වෙන්න කියන්න” කියා ඔහුට පැවසුවා. නමුත් දෙවි තමාට ලබා දුන් බලය තමාගේම ප්‍රයෝජනය වෙනුවෙන් ඔහු භාවිත කළේ නැහැ. ඒ වෙනුවට ඔහු සාතන්ට මෙසේ පිළිතුරු දුන්නා. “‘මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව, යෙහෝවා දෙවිගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි’ කියා ලියා තිබේ.”—මතෙ. 4:1-4; ද්වි. 8:3.

9. අප තුළ ඇති ආශාවන් වැරදි ලෙස යොදාගැනීමට සාතන් දරන උත්සාහයට අප විරුද්ධ විය යුත්තේ ඇයි?

9 සාතන්, යේසුස්ව මෙන් අපවත් පරීක්ෂා කරනවා. ඒ සඳහා අප තුළ ඇති ආශාවන් වැරදි ලෙස යොදාගැනීමට ඔහු අපව පොලඹවනවා. එයට අප තුළ තිබෙන ලිංගික ආශාවත් ඇතුළත්. ඒ නිසා මේ ලෝකයේ පොදුවේ දකින්න තිබෙන විවාහයට පිටතින් සිදු වන සියලුම ලිංගික ක්‍රියා අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුයි. ඊට හේතුව බයිබලයේ මෙසේ විස්තර කර තිබෙනවා. ‘අධර්මිෂ්ඨ අයට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව ඔබ දන්නේ නැද්ද? මුළා නොවන්න. වේශ්‍යාකම් කරන්නන්ටවත්, රූප වඳින්නන්ටවත්, පරදාර සේවනයේ යෙදෙන්නන්ටවත්, අස්වාභාවික කාම සේවනය සඳහා යොදාගන්නා ලද පිරිමින්ටවත්, සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින්ටවත්, දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.’ (1 කොරි. 6:9, 10) තමන් ගත කරන දුරාචාර ජීවිතය වෙනස් කිරීමට අකමැති කිසිවෙකුට දෙවි ලබා දෙන පාරාදීස පොළොවේ කිසි ඉඩක් නැති බව ඉතා පැහැදිලියි.

10. මතෙව් 4:5, 6ට අනුව සාතන් යේසුස්ට ගෙනා දෙවන පරීක්ෂණය කුමක්ද?

10 යේසුස්ව වරදට පොලඹවන්න සාතන් දැරූ දෙවන උත්සාහය ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “යක්ෂයා ඔහුව ශුද්ධ නුවරට ගෙන ගියේය. එහිදී, ඔහුව දේවමාලිගාවේ පවුර මුදුනේ සිටුවා, ‘ඔබ දෙවිගේ පුත්‍රයෙකු නම්, පහතට පනින්න. මන්ද ‘ඔහු තම දූතයන්ට ඔබ ගැන අණ දෙන්නේය. එවිට ඔබේ පය කිසිවිටකත් ගලක නොවදින පිණිස ඔවුන් සිය අත්වලින් ඔබව උසුලනවා ඇත’ කියා ලියා තිබේ’ යයි ඔහුට කීවේය.” (මතෙ. 4:5, 6) ඉන් සාතන් යේසුස්ට අඟවන්න උත්සාහ කළේ ඔහු දේවමාලිගාවේ පවුරෙන් බිමට පනිද්දී දේවදූතයන් ඔහුව ආරක්ෂා කරන නිසා බලා සිටින අය ඉදිරියෙහි ඔහුට කැපීපෙනෙන්න පුළුවන් බවයි. නමුත් එය ඉතා නුසුදුසු හා උඩඟු ක්‍රියාවක් වන අතර එසේ කිරීමෙන් දෙවිගේ උපකාරය, ආරක්ෂාව හා අනුමැතියද අහිමි වෙනවා. කෙසේනමුත් ඒ අවස්ථාවේදීත් යේසුස් දෙවිට දැක්වූ විශ්වාසවන්තකම රැකගත් අතර සාතන්ට මෙසේ පිළිතුරු දුන්නා. “‘ඔබේ දෙවි වූ යෙහෝවාව පරීක්ෂා නොකළ යුතුය’ කියාද ලියා තිබේ.”—මතෙ. 4:7; ද්වි. 6:16.

11. සාතන් අපවත් වරදට පෙලඹවිය හැකි ආකාර මොනවාද? එමෙන්ම ඉන් ඇති විය හැකි ප්‍රතිඵල මොනවාද?

11 මේ ලෝකයේ කැපීපෙනෙන පුද්ගලයෙක් වීමට සාතන් අපවත් විවිධ ක්‍රමවලින් පොලඹවන්න පුළුවන්. ක්‍රිස්තියානීන්ට නුසුදුසු කාලීන විලාසිතා අනුකරණය කිරීමට හෝ නුසුදුසු විනෝදාස්වාදයන්වල යෙදීමට ඔහු අපව පෙලඹවිය හැකියි. දෙවිගේ ප්‍රතිපත්ති නොසලකා හරිමින් අප එවන් දේවල යෙදෙනවා නම් ඉන් භයානක ප්‍රතිඵලවලට මුහුණ දීමට අපට සිදු වෙනවා. දේවදූතයන් අපව ඒවායින් ආරක්ෂා කරයි කියා අපට සිතිය හැකිද? දාවිත්ද බැත්ෂෙබා සමඟ අනාචාරයේ යෙදීමෙන් කළ පාපයේ ප්‍රතිඵල අද්දැක්කා. එම නරක ප්‍රතිඵලවලින් දෙවි ඔහුව ආරක්ෂා කළේ නැහැ. (2 සාමු. 12:9-12) අපත් ලෝකය සමඟ මිත්‍ර වුණොත් ඉන් ඇති වන නරක ප්‍රතිඵලවලින් දෙවි අපව ආරක්ෂා කරයි කියා සිතන්න පුළුවන්ද?—යාකොබ් 4:4; 1 යොහන් 2:15-17 කියවන්න.

12. මතෙව් 4:8, 9හි සඳහන් ලෙස සාතන් යේසුස්ට ගෙනා පරීක්ෂණය කුමක්ද? ඊට යේසුස්ගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද?

12 සාතන් යේසුස්ව වරදට පොලඹවන්න තවත් ක්‍රමයක් භාවිත කළා. මේ ලෝකයේ රාජ්‍යයන් ඔහුට පෙන්වා “ඔබ වැඳ වැටී මට වරක් නමස්කාර කළොත්, මම මේ සියල්ල ඔබට දෙන්නෙමි” කියා ඔහු පැවසුවා. (මතෙ. 4:8, 9) ඉන් සාතන් උත්සාහ කළේ ලෝකයේ සියලු රාජ්‍යයන් කෙරෙහි පාලන බලය ලබාගැනීම සඳහා යේසුස් තුළ ආශාවක් ඇති කිරීමටයි. දෙවිට පමණක් දිය යුතු නමස්කාරය ලබාගැනීමට හා යේසුස් දෙවිට දක්වන විශ්වාසවන්තකම බිඳ දැමීමට සාතන් දැරුවේ මොන තරම් කුහක උත්සාහයක්ද! ඔහුද කලින් දෙවිට නමස්කාර කළ දේවදූතයෙක්. නමුත් පසුව ඔහු පව්කාර, ඊර්ෂ්‍යාසහගත දුෂ්ට සාතන් නමැති යක්ෂයා බවට පත් වුණේ දෙවිට හිමි නමස්කාරය තමන්ට ලබාගැනීමට ඔහු තුළ කාලයක් පුරා තිබූ ආශාව නිසයි. (යාකො. 1:14, 15) ඊට හාත්පසින්ම වෙනස්ව යේසුස් තම පියාට දිගටම විශ්වාසවන්තව සිටි අතර සාතන්ට මෙවැනි පිළිතුරක් දීමටත් ඔහුට හැකි වුණා. “සාතන්, අහක්ව යව! මන්ද, ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වූ යෙහෝවාටය. පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණය’ කියා ලියා තිබේ.” යේසුස් මේ ලෝකයේ දේවලට හවුල් නොවූ අතර සාතන්ට නමස්කාර කිරීමෙන්ද සම්පූර්ණයෙන්ම වැළකී සිටියා.—මතෙ. 4:10; ද්වි. 6:13; 10:20.

“යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා” යයි

13, 14. (අ) ලෝකයේ සියලු රාජ්‍යයන් පෙන්වීමෙන් සාතන් යේසුස්ට ඉදිරිපත් කළේ කුමක්ද? (ආ) සාතන් අපව වරදට පොලඹවන්න උත්සාහ කරන්නේ කෙසේද?

13 එදා, ලෝකයේ සියලු රාජ්‍යයන් පෙන්වීමෙන් සාතන් උත්සාහ කළේ කිසිම මිනිසෙකුට නොතිබූ ආකාරයේ පාලන බලයක් ලබාගැනීමට යේසුස්ව පෙලඹවීමටයි. යේසුස් එම රාජ්‍යයන් දැක ඒ සියල්ලේ බලවත්ම පාලකයා වීමට ආශාවක් දක්වයි කියා සාතන් සිතුවා. නමුත් අද ඔහු අපට ලෝකයේ රාජ්‍යයන් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු උත්සාහ කරන්නේ අප අසන, දකින හා සිතන නොයෙකුත් දේවල් තුළින් අපගේ හදවත දූෂ්‍ය කිරීමටයි.

14 ඒ සඳහා ඔහු තම පාලනය යටතේ තිබෙන ජනමාධ්‍ය යොදා ගන්නවා. අද දින මිනිසුන් කියවන, ඇහුම්කන් දෙන හා නරඹන බොහෝ දේවල්, අනාචාරය හා සැහැසියාව පිළිබඳ තොරතුරුවලින් පිරී තිබෙන්නේ ඒ නිසයි. වෙළඳ දැන්වීම් තුළින් උත්සාහ කරන්නේ අපට අත්‍යවශ්‍ය නැති වුණත් විවිධාකාර බඩු භාණ්ඩවලින් අපගේ නිවස පුරාවාගැනීමට අප තුළ ආශාවක් ඇති කිරීමටයි. මෙසේ සාතන් නිතරම උත්සාහ කරන්නේ අපගේ ඇසට, කනට හා මනසට ප්‍රිය දේවල් යොදාගෙන ධන සම්පත් රැස් කිරීම නමැති උගුලට අපව හසු කිරීමටයි. එමනිසා අපව එවැනි තත්වයන්ට ඇද දමන දේවල් කියවීමෙන්, නැරඹීමෙන් හා ඒවාට ඇහුම්කන් දීමෙන් වළකිමු. සාතන්ගේ ලෝකයේ සියලුම දූෂිත දේවල් අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමු. එවිට යේසුස් මෙන් “සාතන්, අහක්ව යව” කියා පැවසීමට අපටත් හැකියි. අප සාතන්ගේ ලෝකයේ කොටසක් නොවන බව පෙන්වීම සඳහා රැකියා ස්ථානයේ සේවකයන්ට, පාසැල් මිතුරන්ට, අසල්වාසීන්ට හා නෑදෑයන්ට අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බව හඳුන්වා දීමද අවශ්‍යයි.—මාක් 8:38 කියවන්න.

15. සාතන්ට විරුද්ධව කටයුතු කරද්දී අප සෝදිසියෙන් සිටිය යුත්තේ ඇයි?

15 යේසුස්ව පරීක්ෂා කිරීමට දැරූ තුන්වැනි වෑයමත් අසාර්ථක වීමෙන් පසු “යක්ෂයා ඔහු වෙතින් අහක්ව” ගියා. (මතෙ. 4:11) නමුත් ඒ නැවතත් ඔහුව පරීක්ෂා කිරීමේ අරමුණ ඇතිවයි. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “එබැවින් යක්ෂයා පරීක්ෂා සියල්ල අවසන් කර, වෙන සුදුසු වේලාවක් පැමිණෙන තෙක් ඔහුගෙන් අහක්ව ගියේය.” (ලූක් 4:13) අපත් සාතන්ගේ උපායන්වලට සාර්ථකව මුහුණ දුන් විට ඒ ගැන දෙවිට ස්තුති කළ යුතුයි. නමුත් ඔහු නැවතත් අපට පරීක්ෂා ගෙනෙන නිසා දෙවිගේ උපකාර නොකඩවා අයැදිමින් සිටිය යුතුයි. ඔහු අපව පරීක්ෂා කරන්නේ අප නොසිතන අවස්ථාවක නිසා අප නිතරම සෝදිසියෙන් සිටිය යුතුයි. අප මුහුණ දෙන පරීක්ෂාව කුමක් වුණත් ඒ සෑම අවස්ථාවකදීම අප දෙවිට විශ්වාසවන්තව සිටිය යුතුයි.

16. විශ්වයේ තිබෙන ප්‍රබලතම බලය කුමක්ද? එය ඉල්ලා අප යාච්ඤා කළ යුත්තේ ඇයි?

16 සාතන්ගේ පරීක්ෂාවන්ට එරෙහි වීමට නම් මේ විශ්වයේ තිබෙන අති ප්‍රබලම බලය වන දෙවිගේ බලයේ උපකාර ඉල්ලා අප යාච්ඤා කළ යුතුයි. එය නොමැතිව අපගේම ශක්තියෙන් සාතන්ට විරුද්ධ විය නොහැකියි. දෙවිගේ බලය අපට ලබාගත හැකි බව යේසුස්ගේ මෙම වචනවලින්ද පැහැදිලියි. “ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය [දෙවිගේ බලය] දෙනු ඇද්ද!” (ලූක් 11:13) එමනිසා අපත් දෙවිගේ බලය ඉල්ලා නොකඩවා යාච්ඤා කරමු. එහි උපකාරය ඇතිව සාතන්ගෙන් ජය ගන්න අපට හැකි බව ස්ථිරයි. ‘යක්ෂයාගේ උපායවලට විරුද්ධව ස්ථිරව සිටීම සඳහා’ උනන්දුවෙන් කරන යාච්ඤාවට හා දැඩි උත්සාහයට අමතරව දෙවි අපට ලබා දී ඇති මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගැනීමද අත්‍යවශ්‍යයි.—එෆී. 6:11-18.

17. යේසුස් ඉදිරියෙහි තිබූ ප්‍රීතිය ඔහුට උපකාරවත් වුණේ කුමක් කිරීමටද?

17 සාතන්ට විරුද්ධව සිටීමට යේසුස්ට උපකාරවත් වූ දෙයක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔහු ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොතකා වධකණුව විඳදරාගෙන, ඔහු දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ ඉඳගත්තේය.” (හෙබ්‍රෙ. 12:2) යේසුස් ඉදිරියේ තිබූ ප්‍රීතිය සාතන්ට විරුද්ධව සිටීමට ඔහුට උපකාර කළ ලෙසම අපටත් උපකාර කරනවා. එවන් ප්‍රීතියක් ලබන්න අපට හැක්කේ කෙසේද? දෙවිගේ පාලනයට පක්ෂව සිටීමෙන් ඔහුට ගෞරවය ගෙනෙන ආකාරයෙන් ජීවත් වීමෙන් හා සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව ඇතිව සිටීමෙනුයි. සාතන්වත් ඔහුට අයත් සියලුම දේවලුත් මේ පොළොවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා දැකීම අපට මොන තරම් ප්‍රීතියක් ගෙන දේවිද! එමෙන්ම ‘නිහතමානි අය පොළොව උරුම කරගෙන සමාදානයෙන් ජීවත් වන විට ඇති වන ප්‍රීතිය’ මොන තරම්ද! (ගීතා. 37:11) ඒ වන තෙක් අපි දිගටම යේසුස් මෙන් සාතන්ට විරුද්ධව සිටිමු!—යාකොබ් 4:7, 8 කියවන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවි තම සේවකයන්ව ආරක්ෂා කරන බවට තිබෙන සාක්ෂි මොනවාද?

• සාතන්ට විරුද්ධ වීම සම්බන්ධයෙන් යේසුස් අදර්ශයක් තැබුවේ කෙසේද?

• සාතන්ට විරුද්ධ වීමට ඔබට හැක්කේ කුමන ආකාරවලින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ පින්තූරය]

ලෝකය සමඟ මිත්‍රකම අපව දෙවිගේ සතුරන් බවට පත් කරනවා

[31වන පිටුවේ පින්තූරය]

සාතන් මේ ලෝකයේ සියලු රාජ්‍යයන් යේසුස්ට ඉදිරිපත් කළත් ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා