Skip to content

පටුනට යන්න

අප දෙවිට විශ්වාසවන්තව සිටිය යුත්තේ ඇයි?

අප දෙවිට විශ්වාසවන්තව සිටිය යුත්තේ ඇයි?

අප දෙවිට විශ්වාසවන්තව සිටිය යුත්තේ ඇයි?

“යෙහෝවා දෙවියනි, මාව විනිශ්චය කරන විට මා ධර්මිෂ්ඨව හා ඔබට විශ්වාසවන්තව ජීවත් වූ බව සිහි කරන්න.”—ගීතා. 7:8, නව ලොව පරිවර්තනය, NW.

1, 2. ක්‍රිස්තියානීන් දෙවිට දක්වන විශ්වාසවන්තකම අභියෝගයට ලක් කරන සමහර තත්වයන් මොනවාද?

පාසැලේදී සෙසු ශිෂ්‍යයන් විසින් යෞවන ක්‍රිස්තියානියෙකුව කෝප කරවන්න උත්සාහ කරනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ ඔහුව රණ්ඩුවකට ඇදගැනීමටයි. ඔහු රණ්ඩුවකට පැටලෙයිද නැත්නම් එතැනින් ඉවත් වී යයිද? ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් අන්තර්ජාලය භාවිත කරමින් ගවේෂණයක යෙදෙනවා. එවිට එකවරම අසභ්‍ය දර්ශනයක් තිරයේ දිස් වෙනවා. මේ අවස්ථාවේදී නිවසේ සිටින්නේ ඔහු පමණයි. ඔහු එය නරඹයිද? නැත්නම් එය ඉක්මනින් ඉවත් කර දමයිද? සහෝදරියක් තවත් සහෝදරියන් කිහිපදෙනෙක් සමඟ කතා බහක යෙදෙමින් සිටිනවා. ටික වේලාවක් යද්දී එය, සභාවේ සහෝදරියක් ගැන ඕපාදූප කීමක් බවට පත් වෙනවා. මේ අවස්ථාවේදී ඇයත් ලුණු ඇඹුල් දමමින් ඊට හවුල් වෙයිද? නැත්නම් කතා කරන විෂය වෙනස් කරයිද?

2 ඔවුන් මුහුණ දුන් තත්වයන් විවිධ වුණත් ඔවුන්ට පොදු එක් දෙයක් තිබෙනවා. එය නම් සෑම කාරණයකදීම දෙවිට විශ්වාසවන්තව සිටීමේ අභියෝගයයි. ඔබත් ජීවිතයේ මුහුණ දෙන සෑම තත්වයකදීම දෙවිට විශ්වාසවන්තව සිටින්න උත්සාහ කරනවාද? බොහෝදෙනා වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඔවුන්ගේ පෞද්ගලික පෙනුම, ශරීර සෞඛ්‍යය, ජීවිතයේ ප්‍රශ්න ගැටලු, මිත්‍රත්වයන් හා ප්‍රේම සබඳතා වැනි දේවල්වලටයි. අපත් එවැනි දේවල් ගැන සාධාරණ මට්ටමකින් සැලකිලිමත් වෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා අප සැලකිලිමත් විය යුතු දෙයක් තිබෙනවා. (ගීතා. 139:23, 24) එය නම් අපි සෑම කාරණයකදීම දෙවිට විශ්වාසවන්තව සිටිනවාද යන්නයි. දෙවි අපව සෝදිසිකර බලද්දී ඔහු වඩා වැදගත් කොට සලකන්නේද එයයි.

3. යෙහෝවා දෙවි අපට ලබා දී තිබෙන දේවල් මොනවාද? මෙම ලිපියෙන් අපි සලකා බලන්න යන්නේ කුමක් ගැනද?

3 අපට “සෑම යහපත් දීමනාවක්ම හා සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම” දී තිබෙන්නේ යෙහෝවා දෙවියි. ඊට අප සතු විවිධ හැකියාවන්ද අයත්. (යාකො. 1:17) ඒ වගේම අපට ශරීරයක්, මනසක් හා ප්‍රමාණවත් සෞඛ්‍යයක් ලැබී තිබෙන්නේද දෙවිගෙනුයි. (1 කොරි. 4:7) දෙවි අපට දී ඇති දේවල් නිසා අප ඔහුට විශ්වාසවන්තව සිටිය යුතුයි කියා ඔහු අපට බල කරන්නේ නැහැ. ඒ වෙනුවට අපට තීරණයක් ගන්න ඔහු අවස්ථාව දී තිබෙනවා. (ද්වි. 30:19) සෑම කාරණයකදීම දෙවිට විශ්වාසවන්තව සිටීමට අයත් වන්නේ කුමක්ද කියාත් එය ඉතා වැදගත් වීමට හේතුවන කාරණා තුනක් ගැනත් දැන් අපි සලකා බලමු.

විශ්වාසවන්තව සිටීමට ඇතුළත් වන දේ

4. දෙවිට විශ්වාසවන්තව සිටීම යන්නට ඇතුළත් වන්නේ කුමක්ද? එමෙන්ම සත්ව පූජා සම්බන්ධයෙන් දෙවි දුන් නීතියෙන් අපි ඉගෙනගන්නේ කුමක්ද?

4 දෙවිට විශ්වාසවන්තව සිටින්නේ කෙසේද යන්න ගැන බොහෝදෙනෙකුට නිවැරදි අවබෝධයක් නැහැ. ඇත්තටම ඉන් අදහස් කරන්නේ කුමක්ද? දෙවිට විශ්වාසවන්තව සිටීම යන්නට අවංකව හා නිර්දෝෂව කටයුතු කිරීමද අයත් බව බයිබලයේ සඳහන්. එම වචනවලට අදාළ මුල් හෙබ්‍රෙව් වචනයට පූර්ණ, නිකැළැල් හා පලුද්දක් නැති යන අදහස්ද ඇතුළත්. එදා යෙහෝවා දෙවිට ඔප්පු කළ පුජා තිබිය යුතු තත්වය විස්තර කිරීමටද යොදාගත්තේ එම වචනවලින් එකක්. කෙනෙක් දෙවිට පූජාවක් ලෙස සතෙකුව ඔප්පු කළා නම් එම සතා නිකැළැල් හෝ පලුද්දක් නැති සතෙකු විය යුතු වුණා. (ලෙවී කතාව 22:19, 20 කියවන්න.) නමුත් කෙනෙකු හිතාමතාම අන්ධ, කොර හෝ අසනීප සතෙකුව පූජා කළ විට දෙවි ඊට තම අප්‍රසාදය පළ කළා.—මලා. 1:6-8.

5, 6. (අ)ඕනෑම දෙයක හොඳම දෙය ලබාගැනීමට ආශා කරන බව පෙන්වන උදාහරණ මොනවාද? (ආ) දෙවි අපගෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු වෙනවාද? පැහැදිලි කරන්න.

5 අපත් ආශා කරන්නේ ඕනෑම දෙයක හොඳම දෙය ලබාගැනීමටයි. එය තේරුම්ගැනීමට මෙම උදාහරණ දෙක බලන්න. පොත් එකතු කරන පුද්ගලයෙකුට, ඔහු සොයමින් සිටි පොතක් පොත් සාප්පුවක තිබී සම්බ වෙනවා. එය විවෘත කර බලද්දී එහි පිටු කිහිපයක් අඩු බව ඔහු දකිනවා. ඉන් කලකිරීමට පත් ඔහු එය නැවතත් රාක්කයේ තබනවා. ඊළඟ උදාහරණයත් බලන්න. කාන්තාවක් මුහුදු වෙරළේ ඇවිදිමින් සිප්පි කටු එකතු කරනවා. විවිධ අලංකාරයෙන් යුත් සිප්පිකටු ඇගේ සිත් ගත් නමුත් ඒවායින් ඇය රැගෙන යන්නේ පලුද්දක් නැති, හොඳ තත්වයෙන් තිබෙන ඒවා පමණයි. යෙහෝවා දෙවිද ආශා කරන්නේ අඩුවක් නැතුව පූර්ණ හදවතකින් ඔහුට විශ්වාසවන්තව සේවය කරන අයටයි.—2 ලේක. 16:9.

6 දෙවි අපගෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු වන බවක් මින් අදහස් කරනවාද? නැහැ. මුල් යුවළ කළ පාපය නිසා අපි කිසිවෙකු පරිපූර්ණ නැහැ. ඒ නිසා අපි හරියට පිටු කිහිපයක් අඩු පොතක් හෝ පලුදු වු සිප්පි කටුවක් හා සමානයි කියා අපට හැඟෙන්න පුළුවන්. නමුත් අපගේ තත්වය ඔහු හොඳින් දන්නා නිසා කෙදිනකවත් අපට කළ හැකි දේවලට වඩා අපෙන් බලාපොරොත්තු වන්නේ නැහැ. * (ගීතා. 103:14; යාකො. 3:2) ඒ වුණත් ඔහුට පූර්ණ හදවතකින් නමස්කාර කිරීම ඔහු අපගෙන් බලාපොරොත්තු වෙනවා. අපට එය කළ හැක්කේ කෙසේද? අපි එය මෙම උදාහරණයෙන් තේරුම්ගනිමු. තමා විවාහ වීමට සූදානමින් සිටින තරුණියට, ආදරය කරන තරුණයෙක් ගැන සිතන්න. තම අනාගත බිරිඳ කිසි අඩුවක් නැති පරිපූර්ණ කෙනෙක් ලෙස කටයුතු කරයි කියා ඔහු බලාපොරොත්තු වීම සාධාරණද? නැහැ. නමුත් ඇය මුළු හදවතින්ම තමාට පමණක් ආදරය කරයි කියා ඔහු බලාපොරොත්තු වීම සාධාරණයි. ඒ හා සමානව යෙහෝවා දෙවිද අපෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු නොවුණත් අප පූර්ණ හදවතකින් ඔහුට පමණක් නමස්කාර කිරීම ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා. ඊට හේතුව ඔහු “අන් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළා” දකින නිසයි.—නික්. 20:5NW.

7, 8. (අ) දෙවිට විශ්වාසවන්තව සිටීම සම්බන්ධයෙන් යේසුස් ආදර්ශයක් තැබුවේ කෙසේද? (ආ) බයිබලයේ සඳහන් ලෙස දෙවිට විශ්වාසවන්තව සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

7 ආඥාවලින් උතුම්ම ආඥාව කුමක්ද කියා විමසූ විට යේසුස් දුන් පිළිතුර ඔබට මතකද? (මාක් 12:28-30 කියවන්න.) ඔහු පැවසුවේ ඔබේ මුළු හදවතින්, මුළු ජීවිතයෙන්, මුළු මනසින් හා මුළු ශක්තියෙන් දෙවිට ප්‍රේම කරන්න කියායි. ඔහු එය වචනයට පමණක් සීමා නොකොට ඔහු ජීවත් වූ ආකාරයෙන්ද එය පෙන්නුවා. ඒ තුළින් ඔහු අවධාරණය කළේ දෙවිට විශ්වාසවන්තව සිටීම යනු වචනයට පමණක් සීමා වූ දෙයක් නොවන බවයි. ඒ වෙනුවට නිවැරදි චේතනාවකින් යුතුව එය ක්‍රියාවෙන්ද පෙන්විය යුතු බවයි. අපත් දෙවිට විශ්වාසවන්තව සිටිනවා කියා පෙන්වීමට නම් යේසුස් මෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.—1 පේතෘ. 2:21.

8 බයිබලයේ සඳහන් ලෙස දෙවිට විශ්වාසවන්තව සිටීම යනු පූර්ණ හදවතකින් ඔහුට කැප වී ඔහුගේ කැමැත්ත කිරීමයි. එනම් අපගේ ජීවිතයේ ලොකු කුඩා සෑම කාරණයකදීම අප කැමති දේ කරනවාට වඩා දෙවිව සතුටු කරවන දේවල් කිරීමයි. එවිට අපගේ ජීවිතයේ මුල් තැන ගන්නේ දෙවි වැදගත් කොට සලකන දේවලුයි. අප දෙවිට විශ්වාසවන්තව ජීවත් වීම එතරම්ම වැදගත් වීමට හේතු තුනක් ගැන දැන් සලකා බලමු.

1. එය වැදගත් ප්‍රශ්නයක් හා සම්බන්ධයි

9. සියල්ල පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය තහවුරු කිරීමෙහි හවුල් වීමට අපට හැක්කේ කෙසේද?

9 මුළු විශ්වයම පාලනය කිරීමට අයිතිය ඇත්තේ යෙහෝවා දෙවිටයි. ස්වර්ගයේ හෝ පොළොවේ සිටින කිසිවෙක් කරන කියන දෙයක් නිසා එම අයිතිය අහෝසි වන්නේ නැහැ. නමුත් දෙවිගේ පාලනයට විරුද්ධව බරපතළ චෝදනාවක් එල්ල වී තිබෙනවා. එය නම් පාලනය කිරීමට දෙවිට අයිතියක් තිබෙනවාද යන්නයි. එමනිසා ඒ චෝදනාව බොරු බව ඔප්පු කිරීම අවශ්‍යයි. එනම් පාලනය කිරීමට දෙවිට සම්පූර්ණ අයිතිය තිබෙන බවත් එම පාලනය යුක්තිසහගත හා ප්‍රේමණීය එකක් බවත් සියල්ලන් ඉදිරියෙහි ඔප්පු කිරීමයි. ඊට හවුල් වෙන්න අපටත් අවස්ථාව තිබෙනවා. එම විෂය ගැන ඕනෑම කෙනෙකු සමඟ අප කතා කරන්නේ ඒ නිසයි. එමෙන්ම මෙම ප්‍රශ්නයේදී අපි දෙවිගේ පැත්ත ගන්නවා කියා, අප ගන්නා සෑම තීරණයකින්ම හා අපගේ හැසිරීමෙන්ද පෙන්විය හැකියි. ඒ කෙසේද? සෑමවිටම දෙවිට විශ්වාසවන්තව සිටීම මගිනුයි.

10. මිනිසුන් සම්බන්ධයෙන් සාතන් කළ චෝදනාව කුමක්ද? ඊට ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

10 යෝබ්ගේ සිද්ධියේදී සාතන් කළ චෝදනාවට ඔබත් සම්බන්ධයි. ඔහු චෝදනා කළේ සෑම මිනිසෙක්ම දෙවිට සේවය කරන්නේ දෙවිට ඇති ප්‍රේමය නිසා නොව වාසි ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් බවයි. දේවදූතයන් අති විශාල පිරිසක් ඉදිරියේ සාතන් පැවසුවේ මෙයයි. “හම වෙනුවට හමත් එසේය, ප්‍රාණය වෙනුවට තමාට තිබෙන සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය.” (යෝබ් 2:4) එහිදී සාතන් ‘මනුෂ්‍යයා’ කියා පැවසීමෙන් එම අපහාසාත්මක චෝදනාව එල්ල කළේ යෝබ්ට පමණක් නොව මුළු මිනිස්වර්ගයාටම බව ඔබ දුටුවාද? විශේෂයෙන්ම බයිබලයේ ඔහුව හඳුන්වා තිබෙන්නේ “අපේ සහෝදරයන්ට විරුද්ධව චෝදනා කරන පැමිණිලිකරු” ලෙසයි. (එළි. 12:10) ඔහුගේ චෝදනාව වුණේ ඔබ ඇතුළු සෑම ක්‍රිස්තියානියෙක්ම දුෂ්කරතා හමුවේ දෙවිට විශ්වාසවන්තව නොසිටින බවයි. එනම් ඔබගේ ජීවිතය බේරාගැනීම සඳහා දෙවිගේ ප්‍රතිපත්ති පාවා දෙන්න වුණත් ඔබ පසුබට නොවන බවයි. සාතන් ඔබට කර ඇති එම අපහාසාත්මක චෝදනාව ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? ඔහු බොරුකාරයෙක් බව ඔප්පු කරන්න අවස්ථාවක් ලැබෙන තෙක් ඔබ බලා සිටින්නේ නැද්ද? ඔව්, ඔබ බලා සිටිනවා. ඔබට එය කළ හැක්කේ සෑම කාරණයකදීම දෙවිට විශ්වාසවන්තව සිටීම මගිනුයි.

11, 12. (අ) දෙවිට විශ්වාසවන්තව සිටිය හැකි ආකාර පෙන්වන උදාහරණ සඳහන් කරන්න. (ආ) දෙවිට විශ්වාසවන්තව සිටීම වරප්‍රසාදයක් වන්නේ කෙසේද?

11 ඔබ එදිනෙදා කටයුතු කරන ආකාරය හා ගන්නා තීරණ මගින් ඔබ දෙවිට කොතරම් විශ්වාසවන්තව සිටිනවාද කියා පෙන්විය හැකියි. එය වටහාගැනීමට පළමු ඡේදයේ සඳහන් අවස්ථා තුන අපි නැවත සලකා බලමු. එම යෞවනයාගේ ඉවසීම දැඩිසේ පරීක්ෂා කෙරුණු අවස්ථාවේදී ඔහුට මෙම බයිබල් උපදෙස මතක් වෙනවා. “ප්‍රේමණීය තැනැත්තෙනි, පළි නොගෙන දෙවිගේ උදහසට ඉඩහරින්න. මන්ද, ‘පළිගැනීම මගේය. මම විපාක දෙන්නෙමි කියා යෙහෝවා කියන්නේය’ යි ලියා තිබේ.” (රෝම 12:19) ඒ නිසා ඔහු සන්සුන්ව එතැනින් ඉවත්ව යනවා. ඊළඟට ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයා ගැන සිතන්න. ලිංගික හැඟීම් අවුස්සන දර්ශන නරඹන්න අවස්ථාව තිබුණත් ඔහුට යෝබ්ගේ මෙම වදන් මතක් වෙනවා. “මාගේ දෑස් සමඟ මා ගිවිසුමක් කළෙමි. මා කෙසේ කන්‍යාවක් දෙස බලන්නද?” (යෝබ් 31:1NW) එවන් දර්ශන නැරඹීම තමාට හානිකර දෙයක් බව දන්නා ඔහු ඉන් වැළකී සිටිනවා. දැන් අපි කතා බහක නියැලී සිටි ක්‍රිස්තියානි සහෝදරිය ගැන බලමු. ඒ සාකච්ඡාව ඕපාදූප කීමකට හැරෙමින් තිබෙන අවස්ථාවේදී ඇයට මෙම බයිබල් ප්‍රතිපත්තිය මතක් වෙනවා. “අපි එකිනෙකා, තම තමාගේ අසල්වැසියාගේ වැඩි දියුණුවට දායක වන යහපත් දෙයින් ඔහුව සතුටු කරමු.” (රෝම 15:2) තමන්ද ඊට හවුල් වුණොත් කිසිවෙකුටවත් ඉන් යහපතක් සිදු නොවන බව ඇය තේරුම්ගන්නවා. එමෙන්ම ඉන් යෙහෝවා දෙවි සතුටු නොවන බවද ඇය දන්නා නිසා ඇගේ දිව පාලනය කරගනිමින් කතා කරන විෂය මාරු කරනවා.

12 ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් ගත් තීරණවලින් ඔවුන් පෙන්නුවේ මෙයයි. ‘පාලකයා ලෙස මම යෙහෝවා දෙවිව පිළිගන්නවා. ඒ නිසා මේ අවස්ථාවේදී මම යෙහෝවා දෙවිව සතුටු කරන විදිහට කටයුතු කරන්න ඕනේ.’ ඔබත් සෑම කාරණයකදීම එසේ කරන්න උත්සාහ කරනවාද? එසේනම් ඔබ හිතෝපදේශ 27:11හි [NW] සඳහන් මෙම ආරාධනාව පිළිගෙන තිබෙනවා. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තරයක් දෙන පිණිස ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.” යෙහෝවා දෙවිගේ සිත සතුටු කිරීමට ලැබීම අපට මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! සෑම කාරණයකදීම දෙවිට විශ්වාසවන්තව සිටීමට එයම හේතුවක් නොවෙයිද!

2. එය විනිශ්චය සඳහා පදනමක්

13. දාවිත් හා යෝබ් පැවසූ ලෙස කෙනෙක් ධර්මිෂ්ඨද නැද්ද කියා දෙවි තීරණය කරන්නේ කුමක් පදනම් කරගෙනද?

13 දෙවි, අපව ධර්මිෂ්ඨ අය හැටියට සලකන්නේ අප ඔහුට දක්වන විශ්වාසවන්තකම පදනම් කරගෙනයි. ඒ බව යෝබ්ද දැන සිටියා. (යෝබ් 31:6 කියවන්න.) දෙවි සියලු මිනිසුන්ව “නිවැරදි තරාදියක තබා කිරා මැන” බලන්නේ එනම් ඔවුන් තමන්ට විශ්වාසවන්තද නැද්ද කියා තීරණය කරන්නේ ඔහුගේ යුක්තිසහගත ප්‍රමිතිවලට අනුවයි. ඊට සමාන අදහසක් දාවිත්ද මෙසේ පැවසුවා. ‘යෙහෝවා දෙවි ජනයාට හිමි තීන්දුව දෙන්නේය. යෙහෝවා දෙවියනි, මාව විනිශ්චය කරන විට මා ධර්මිෂ්ඨව හා ඔබට විශ්වාසවන්තව ජීවත් වූ බව සිහි කරන්න. ධර්මිෂ්ඨ වූ දෙවි, මිනිසාගේ සිත් සෝදිසි කර ඇතුළාන්ත හැඟීම් විමසා බලන්නේය.’ (ගීතා. 7:8, 9NW) සියලු මිනිසුන්ගේ “සිත් සෝදිසි කර ඇතුළාන්ත හැඟීම් විමසා” බලන්න දෙවිට හැකියි. දාවිත් පැවසූ ලෙස කෙනෙක් ධර්මිෂ්ඨද නැද්ද කියා දෙවි තීරණය කරන්නේ ඒ තැනැත්තා ඔහුට දක්වන විශ්වාසවන්තකම අනුවයි.

14. අප පව්කාර මිනිසුන් නිසා දෙවිට විශ්වාසවන්තව සිටින්න බැහැයි කියා නොසිතිය යුත්තේ ඇයි?

14 දෙවි බිලියන ගණනකගේ සිත් සෝදිසි කළත් ඔහුට විශ්වාසවන්තව සිටින අය හමුවන්නේ ස්වල්ප දෙනෙක් පමණයි. (1 ලේක. 28:9) අප පව්කාර මිනිසුන් නිසා දෙවිට නොකඩවා විශ්වාසවන්තව සිටින්න බැහැ කියා අපට සිතෙන්න පුළුවන්. නමුත් දාවිත් හා යෝබ් වැනි අය දෙවිට විශ්වාසවන්තව සිටියා නම් අපටත් එසේ සිටිය හැකි බව ස්ථිරයි. කෙනෙක් පරිපූර්ණ වූ පමණින් දෙවිට විශ්වාසවන්තව සිටියි කියා ස්ථිර වෙන්න බැහැ. පොළොව මත ජීවත් වුණේ පරිපූර්ණ පුද්ගලයන් තුන්දෙනෙක් පමණයි. ඒ අයගෙනුත් දෙදෙනෙක්ම එනම් ආදම් සහ ඒව දෙවිට විශ්වාසවන්තව සිටියේ නැහැ. ඒ වුණත් පරිපූර්ණ නොවන මිලියන ගණනක් දෙනා දෙවිට විශ්වාසවන්නතව සිට තිබෙනවා. ඔබටත් එසේ කළ හැකියි!

3. එය අපගේ අනාගත බලාපොරොත්තුවට අත්‍යවශ්‍යයි

15. තම අනාගත බලාපොරොත්තුව ස්ථිර කරගැනීමට නම් තමා කුමක් කළ යුතු බව දාවිත් තේරුම්ගත්තාද?

15 අපගේ අනාගත බලාපොරොත්තුව රඳා පවතින්නේද දෙවිට විශ්වාසවන්තව සිටීම මතයි. දාවිත්ද එය හොඳින් තේරුම්ගත්තා. (ගීතාවලිය 41:12 කියවන්න.) අප හා සමානව ඔහුගේ ආශාව වුණේද දෙවිගේ අනුමැතිය ඇතිව සදාකල් ජීවත් වෙමින් දෙවිට වඩ වඩා ළං වීමටයි. ඒ සඳහා දෙවිට විශ්වාසවන්තව සිටීම කොතරම් වැදගත්ද කියා ඔහු තේරුම්ගත්තා. අපත් දාවිත් මෙන් දිගටම දෙවිට විශ්වාසවන්තව සිටිද්දී ඔහු අපට උපකාර කර, උගන්වමින්, මඟ පෙන්වමින් ආශීර්වාද කරන බව නිසැකයි.

16, 17. (අ) අප සෑම කරණයකදීම දෙවිට විශ්වාසවන්තව සිටීමට අදිටන් කරගත යුත්තේ ඇයි? (ආ) ඊළඟ ලිපියෙන් අපි සලකා බලන්නේ කුමන ප්‍රශ්නද?

16 අපට ඇති බලාපොරොත්තුව දැන් පවා අපව ප්‍රීතියෙන් තබනවා. එම ප්‍රීතිය නිසා දුෂ්කර තත්වයන්ට සාර්ථකව මුහුණ දෙන්න අපට හැකියි. එම බලාපොරොත්තුව අපගේ සිතීමේ හැකියාවද ආරක්ෂා කරනවා. බයිබලයේ බලාපොරොත්තුව සමාන කර තිබෙන්නේ ආරක්ෂක හිස්වැස්මකටයි. (1 තෙස. 5:8) එමගින් සටන් වදින සොල්දාදුවෙකුගේ හිසට ආරක්ෂාව සපයනවා. එලෙසම ගරාවැටෙමින් තිබෙන මෙම දුෂ්ට සමාජයේ සාතන් පතුරුවා තිබෙන හානිකර ආකල්පවලින් අපගේ මනස් ආරක්ෂා කිරීමට එම බලාපොරොත්තුවට හැකියි. බලාපොරොත්තුවක් නැති ජීවිතයකින් කිසිම පලක් නැහැ. ඒ නිසා අපට දෙවි කෙරෙහි මොන තරම් විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තිබෙනවාද කියා අවංකව සෝදිසිකර බැලිය යුතුයි. දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් අත් වන ප්‍රයෝජන මොනවාද? සියලු දේ පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය තහවුරු කරන්නත් අපගේ බලාපොරොත්තුව ආරක්ෂා කරගන්නත් අපට හැකියි. ඒ නිසා නොකඩවා දෙවිට විශ්වාසවන්තව සේවය කිරීමට අප සියලුදෙනාම අධිෂ්ඨාන කරගනිමු.

17 අප, දෙවිට විශ්වාසවන්තව සිටීම අත්‍යවශ්‍ය දෙයක් නිසා ඒ හා සම්බන්ධ තවත් ප්‍රශ්න කිහිපයක් සලකා බැලීම අවශ්‍යයි. ඒවා නම් දෙවිට විශ්වාසවන්ත පුද්ගලයෙක් වන්න අපට හැක්කේ කෙසේද? විශ්වාසවන්තකම දිගටම පවත්වා ගත හැක්කේ කෙසේද? කෙනෙක් දෙවිට විශ්වාසවන්තව සිටීමට අසමත් වුණොත් තත්වය කුමක්ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

^ 6 ඡේ. යේසුස් වරක් පැවසුවේ “එබැවින් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නා සේම ඔබද පරිපූර්ණව සිටිය යුතුය” කියායි.(මතෙ. 5:48) එයින් යේසුස් අදහස් කළේ අසම්පූර්ණ මිනිසුන්ටද යම් පැතිවලින් පරිපූර්ණව හෝ සම්පූර්ණව කටයුතු කළ හැකි බවයි. අන් අයට ප්‍රේම කරන්න කියා දී තිබෙන ආඥාව සම්පූර්ණයෙන් ඉටු කිරීම මගින් අපට එය කළ හැකියි. නමුත් යෙහෝවා දෙවි සෑම අතින්ම පරිපූර්ණයි. අපට වෙනස්ව, විශ්වාසවන්තකම දෙවිට අදාළ කරද්දී එයට පරිපූර්ණත්වය යන අදහස ගැබ් වී තිබෙනවා.—ගීතා. 18:30.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවිට විශ්වාසවන්තව සිටීමට අයත් වන්නේ කුමක්ද?

• දෙවිට විශ්වාසවන්තව සිටීම මගින් සියල්ල පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය තහවුරු කිරීමට අපට හැක්කේ කෙසේද?

• අපගේ බලාපොරොත්තුව ස්ථිරව තබාගැනීමට දෙවිට විශ්වාසවන්තව සිටිම අත්‍යවශ්‍ය වන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[5වන පිටුවේ පින්තූර]

දෙවිට දක්වන විශ්වාසවන්තකම අභියෝගයට ලක් කරන බොහෝ තත්වයන්ට අප මුහුණ දෙනවා