Skip to content

පටුනට යන්න

එහි වර්ධනය මම දැක්කා

එහි වර්ධනය මම දැක්කා

එහි වර්ධනය මම දැක්කා

මිල්ටන් හැමිල්ටන්

‘කොරියානු රජය විසින් ඔබගේ වීසා බලපත්‍ර අවලංගු කර තිබෙනවා. ඔබගේ පැමිණීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බව දැනුම් දීමට සිදුවීම ගැන අපිට කනගාටුයි. මෙම තත්වය මත ඔබව තාවකාලිකව ජපානයේ සේවය කිරීමට පත් කර ඇති බව දැනුම් දීමට අපි සතුටුයි.’

එම පණිවිඩය මටත් මගේ භාර්යාව වන ලිස්ටත් ලැබුණේ බෘක්ලින්හි පිහිටි අපගේ ලෝක මූලස්ථානයෙනුයි. ඒ 1954 අවසාන භාගයේදීයි. එම වසර මුලදී අප දෙදෙනාම 23වන ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වී තිබුණු අතර කොරියාවේ සේවය කිරීමට පැවරුමක් ලැබුණා. නමුත් අපිට ඉහත සඳහන් දැනුම් දීම ලැබෙන විටත් අපි සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයේයි.

ලිස් (ඇගේ කලින් නම ලිස් සෙමොක්) හා මම විවාහ වුණේ 1948දීයි. අපි දෙන්නාම එකම පංතියේ හොඳ යහළුවෝ. ඇය පූර්ණ කාලීන සේවයට ගොඩාක් ආශා කළා. ඒ වුණත් වෙනත් රටකට ගිහිල්ලා සේවය කරන්න ඇය ටිකක් අදිමදි කළා. නමුත් පසුව ඇය ඊට කැමති වුණා. ඒ ඇයි කියලා මම ඔබට කියන්නම්.

වර්ෂ 1953 ඇමෙරිකාවේ යැංකි ක්‍රීඩාංගණයේ පැවති ජාත්‍යන්තර සමුළුවකට අපි සහභාගි වුණා. එහි මිෂනාරිවරුන් වීමට කැමති අය සඳහා පැවති රැස්වීමකට අපි දෙන්නත් ගියා. එම කදිම රැස්වීමෙන් පසුව ගිලියද් පාසැල සඳහා මා සමඟ අයදුම් පතක් පුරවා දෙන්න ලිසුත් කැමති වුණා. අපව පුදුමයට පත් කරවමින් 1954 පෙබරවාරි මාසයේ පවත්වන ඊළඟ ගිලියද් පාසැලට සහභාගි වීමට අපටත් ඇරයුමක් ලැබුණා.

අවුරුදු තුනක් පුරා පැවති කොරියාවේ විනාශකාරී යුද්ධය 1953 වන විට අවසන් වී තිබුණා. අපේ පැවරුම ලැබුණෙත් කොරියාවටයි. නමුත් ඊට පෙර අපට තාවකාලිකව ලැබුණු පැවරුම සඳහා අපි ජපානය බලා පිටත් වුණා. ඒ සඳහා දින 20ක් ගත වූ අතර අප සමඟ තවත් මිෂනාරි සහෝදර සහෝදරියන් හයදෙනෙක් එහි ගියා. මෙසේ 1955 ජනවාරි මාසයේ එක් දිනක උදෑසන හයට පමණ අපි ජපානයට පැමිණියා. අපව පිළිගැනීමට එහි ශාඛා කාර්යාලයේ අවේක්ෂක, සහෝදර ලොයිඩ් බැරී පැමිණ සිටියා. පසුව අපව යොකොහමාහි පිහිටි මිෂනාරි නිවස වෙතට රැගෙන ගියා. අපි එදාම සේවයේ යන්න පටන්ගත්තා.

ජපානයෙන් කොරියාවට

ටික කලකට පසුව කොරියාවට ඇතුළු වීමට අපට වීසා බලපත්‍ර ලැබුණා. මෙසේ 1955 මාර්තු හත්වන දින පැය තුනක ගුවන් ගමනකින් පසු අපි ටෝකියෝවේ සිට සියෝල්වලට පැමිණියා. අපි එහි යන විට 200කට වැඩි කොරියානු සහෝදරයන් අපව පිළිගැනීමට පැමිණ සිටියා. ඔවුන් අපව පිළිගත් ආකාරය ඇත්තෙන්ම හද දනවන සුළුයි. ඒ කාලයේදී කොරියාවේ සිටියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 1000ක් පමණයි. එහි ගිය විගස වෙනත් අය වගේ අපිත් හිතුවේ කොරියානු ජාතිකයනුත් චීන හා ජපාන ජනයාට සමාන ඇති කියලයි. නමුත් වැඩි කල් නොගොස් අපට වැටහුණේ ඔවුන් සෑම පැත්තකින්ම වෙනස් බවයි. ඔවුන්ගේ භාෂාව, අකුරු හෝඩිය, කෑම වර්ග, මුහුණේ පෙනුම, ජාතික ඇඳුම පමණක් නොව ඔවුන්ගේ ගොඩනැඟිලිත් හරිම වෙනස්.

එහි අපට තිබූ මුල්ම අභියෝගය වුණේ ඔවුන්ගේ භාෂාව ඉගෙනගැනීමයි. එය ඉගෙනගන්න පහසු කරවන පොත් පත් එහෙ තිබුණේ නැහැ. කෙනෙකුට කොරියානු භාෂාවේ වචන නිවැරදිව උච්චාරණය කිරීමට නම් මුලින්ම ඔහු එහි අකුර හෝඩිය ඉගෙනගන්න අවශ්‍ය බව අපි තේරුම්ගත්තා.

අපිට වැරදුණ අවස්ථාත් තිබුණා. දවසක් ලිස් එක්කෙනෙකුගෙන් ඇහැව්වා, ඔයාට බයිබලයක් තියෙනවාද කියලා. එතකොට ඒ කෙනා ලිස් දිහා ටිකක් අමුතු විදිහට බලලා ගේ ඇතුළට ගිහිල්ලා ගිනි පෙට්ටියක් අරගෙන ආවා. ඒකට හේතුව බයිබලය (සන්යාං) කියන වචනයට ලිස් කියලා තියෙන්නේ ගිනි පෙට්ටිය (සන්ක්යුං) කියන වචනයයි.

මාස කිහිපයකට පසු වරාය නගරයක් වන පූසාන්වලට අපිට පැවරුමක් ලැබුණා. අපිටත් අපිත් එක්ක සේවය කරන්න පැවරුම් ලැබූ සහෝදරියන් දෙන්නෙකුටත් ඉන්න කාමර තුනක් අපි කුලියට ගත්තා. නමුත් ජල නළ පහසුකම්වත් අප හුරුව සිටි වැසිකිළි පහසුකම්වත් එහෙ තිබුණේ නැහැ. ඒ නිසා අපි මාරුවෙන් මාරුවට ටිකක් පාන්දරින් නැඟිටලා භාජනවලට වතුර පිරෙව්වා. ඒ වගේම බීමට ගන්නා වතුර උතුරුවා ගන්න හෝ ක්ලෝරින් දමා පිරිසිදු කරගන්න අපට සිදු වුණා.

අපි තවත් අභියෝගවලට මුහුණ දුන්නා. එම ප්‍රදේශයේ විදුලිබල සැපයුම සීමිත වූ නිසා විදුලි උපකරණ පාවිච්චි කරලා රෙදි සෝදාගන්න හෝ මැදගන්න අපට හැකි වුණේ නැහැ. අපිට කුස්සිය හැටියට පාවිච්චි කරන්න සිදු වුණේ කාමර ඉදිරිපස තිබූ පටු තීරුවයි. ඒ වගේම උයාගන්න අපට තිබුණේ භූමිතෙල් ලිපක් විතරයි. අපි හතරදෙනාම මාරුවෙන් මාරුවට කෑම පිළියෙල කළා. අපි කොරියාවට ඇවිල්ලා අවුරුදු තුනකට පස්සේ අපි දෙන්නටම හෙපටයිටිස් හැදුණා. මේ කාලයේදීම තවත් මිෂනාරීන් බොහෝදෙනෙකුට මේ අසනීපයම හැදුණා. ඒක හොඳ වෙන්න මාස ගණනක් ගියා. ඊට පස්සෙ අපිට තවත් අසනීප හැදුණා.

අප ලැබූ උපකාර

පසුගිය අවුරුදු 55 ඇතුළත කොරියාව දේශපාලන වශයෙන් ඉතා නොසන්සුන් තත්වයක පැවතුණා. එහි පැවතුණු යුද්ධ වැළැක්වීමට උතුරු සහ දකුණු කොරියාව අතර තිබූ දේශ සීමාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔවුන්ගේ හමුදා භටයන්ව යෙදෙව්වා. බොහෝ අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් හා උතුරු හා දකුණු කොරියානු රාජ්‍යයන්වල නියෝජිතයන් මෙම ස්ථානයේ මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබෙනවා. දකුණු කොරියාවේ අගනුවර වන සියෝල් සිට උතුරින් පිහිටි එම දේශ සීමාවට කිලෝමීටර් 55ක දුරක් තියෙනවා. වර්ෂ 1971 සහෝදර ෆ්‍රෙඩ්රික් ෆ්‍රාන්ස් බෘක්ලින්හි සිට පැමිණි අවස්ථාවේ මම ඔහුව එම දේශ සීමාවට රැගෙන ගියා.

ක්‍රිස්තියානීන් හැටියට අපි මේ ලෝකයේ දේශපාලනික හා යුධ කටයුතුවලදී පැති නොගන්නා නිසා කොරියාවේදීත් අපි ඒ සම්බන්ධයෙන් දුෂ්කර තත්වයන්ට මුහුණ දුන්නා. (යොහ. 17:14) අන් අයට විරුද්ධව අවි අතට නොගත් නිසා අපගේ සහෝදරයන් 13,000කට වඩා සිරගත කරතිබෙනවා. මේ සියලුදෙනා සිරගතව සිටි කාලය එකතු කළ විට එය වසර 26,000ක් පමණ වෙනවා. (2 කොරි. 10:3, 4) තමන්ටද එවැනි තත්වයකට මුහුණ පාන්න සිදුවෙන බව මෙහි සිටින සියලුම යෞවන ක්‍රිස්තියානීන් දන්නවා. ඒ වුණත් ඔවුන් ඒ ගැන බිය වන්නේ නැහැ. රජය විසින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව “අපරාධකරුවන්” ලෙස හංවඩුගසා තිබීම කනගාටුවට කරුණක්. ඔවුන් කර ඇති එකම “අපරාධය” වන්නේ යුද්ධය හා දේශපාලනයේදී පැති නොගෙන සිටීමයි.

මමත් දෙවන මහ ලෝක යුද්ධ කාලයේදී ඒ කියන්නේ 1944දී හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කළ නිසා ඇමෙරිකාවේ අවුරුදු දෙකකුත් මාස හයක් සිරභාරයේ සිටියා. මටත් ඒ අද්දැකීම තිබෙන නිසා කොරියාවේ සිටින යෞවන ක්‍රිස්තියානීන් සිරගෙදර මුහුණපාන දුෂ්කර තත්වය මට හොඳින් තේරෙනවා. මමත් තවත් මිෂනාරි සහෝදරයනුත් එවැනි අද්දැකීම්වලට මුහුණ දී තිබීම ගැන ඇසීමෙන් කොරියානු සහෝදරයන්ට එය මහත් දිරිගැන්වීමක් වුණා.—යෙසා. 2:4.

අප මුහුණ දුන් ප්‍රබල අභියෝගයක්

අප ඊට මුහුණ දෙන්න පටන්ගත්තේ 1977දීයි. එහි බලධාරීන් සිතුවේ, හමුදාවට බැඳෙන්න එපා කියා අපි කොරියානු යෞවනයන්ට බලපෑම් කරනවා කියායි. ඒ නිසා කොරියාවෙන් පිට වී යන කිසිම මිෂනාරිවරයෙකුට නැවත රට තුළට පැමිණීමට අවසර නැති බව ඔවුන් පැවසුවා. එම තහංචිය 1977 සිට 1987 දක්වා අවුරුදු දහයක් පුරා පැවතුණා. අපි එම කාලය තුළ කොරියාවෙන් පිට වී ගොස් තිබුණා නම් නැවත පැමිණෙන්න හැකි වෙන්නේ නැහැ. ඒ නිසා පොඩි නිවාඩුවකටවත් අපිට ගෙදර යන්න බැරි වුණා.

ඒ ගැන කතා කරන්න අපි විටින් විට එහි බලධාරීන්ව හමු වූ අතර ක්‍රිස්තියානීන් හැටියට අපගේ ස්ථාවරය ඔවුන්ට පැහැදිලි කරන්න උත්සාහ කළා. අවසානයේදී ඔවුන් අපව තේරුම්ගත් අතර පනවා තිබූ තහංචි ඉවත් කළා. නමුත් තහංචිය පැවති අවුරුදු දහය තුළ මිෂනාරීන් කිහිපදෙනෙකුට අසනීප වැනි හේතූන් නිසා රටින් පිටවීමට සිදු වුණා. නමුත් අපිට දිගටම මෙහි සිටීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා.

අපිට විරුද්ධව කටයුතු කළ අය 1980 ගණන්වල මැද භාගයේදී කොරියාවේ ශාඛා කාර්යාලයේ අධ්‍යක්ෂක සහෝදරයන්ට බොරු චෝදනාවක් එල්ල කළා. එනම් කොරියානු යෞවනයන්ව හමුදාවට බැඳීමෙන් වළක්වන්න ඔවුන් උත්සාහ කරන බවයි. ඒ නිසා කොරියානු රජය විසින් අප සෑම කෙනෙකුගෙන්ම ප්‍රශ්න කළා. අවසානයේදී 1987 ජනවාරි 22වන දා නිලධාරීන් තීරණය කළේ අපට විරුද්ධව කර ඇති චෝදනාව පදනම් විරහිත බවයි. එම සිද්ධිය, ඉදිරියේදී අප ගැන ඇති විය හැකි යම් වරදවා වටහාගැනීම් නිවැරදි කරගැනීමටත් උපකාරවත් වුණා.

අපගේ සේවයට දෙවිගේ ආශීර්වාද

හමුදාවට බැඳීම සම්බන්ධයෙන් සහෝදරයන්ගේ ස්ථාවරය නිසා කොරියාවේ අප කළ සේවයට පැමිණි විරුද්ධවාදිකම් තවත් දරුණු වෙන්න පටන්ගත්තා. ඒ නිසා සමුළු පැවැත්වීමට ස්ථානයක් සෙවීම එන්න එන්නම දුෂ්කර වුණා. ඊට පිළියමක් ලෙස අපගේ සහෝදරයන් එකතු වී පූසාන්හි එක්රැස්වීම් ශාලාවක් ගොඩනැඟුවා. එය නැගෙනහිර ආසියාවේ ඉදි කළ පළමු එක්රැස්වීම් ශාලාවයි. වර්ෂ 1976 අප්‍රියෙල් 5වන දා පැවති එහි කැපකිරීමේ කතාව ඉදිරිපත් කිරීමට මට ආරාධනා කළා. එය මා සලකන්නේ වරප්‍රසාදයක් ලෙසයි. එම අවස්ථාවට 1,300ක් පමණ පැමිණ සිටියා.

වර්ෂ 1950 සිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පැමිණි දහස් ගණනක් සොල්දාදුවන් කොරියාවෙහි හමුදා සේවයේ යෙදෙනවා. අපි ඔවුන්ටත් සාක්ෂි දැරුවා. ඔවුන් නැවතත් ඇමෙරිකාවට ගිය විට ඔවුන්ගෙන් බොහෝදෙනෙක් සත්‍යය ඉගෙනගෙන දෙවිට සේවය කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ අයගෙන් අපිට බොහෝවිට ලිපිත් ලැබෙනවා. ඔවුන්ටත් උදව් කරන්න ලැබීම අප සලකන්නේ අපි ලද ආශීර්වාදයක් හැටියටයි.

මෙසේ දිගු කාලයක් පුරා අප දෙදෙනා එක්ව කළ සේවය අවසන් කරමින් 2006 සැප්තැම්බර් 26වෙනිදා ලිස් මගෙන් සමුගත්තා. ඇය නැති පාළුව මට ගොඩාක් දැනෙනවා. කොරියාවේ මාත් එක්ක අවුරුදු 51ක් පුරා පූර්ණ කාලීනව කළ සේවයේදී අපිට ලැබුණු විවිධ පැවරුම් ඇය බාරගත්තේ ඉතා සතුටිනුයි. ඒ ගැන ඇය කවදාවත් කෙඳිරුවේ නැහැ. ඒ වගේම නැවතත් තම රටට යන්න ඕනේ කිව්වේවත් ඒ ගැන කිසි ඇඟවීමක් කළේවත් නැහැ.

මම තවමත් කොරියාවේ බෙතෙල් නිවසේ සාමාජිකයෙක් ලෙස සේවය කරනවා. එදා අතළොස්සක්ව සිටි බෙතෙල් සාමාජිකයන් අද 250ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මෙම ශාඛා කමිටුවේ සාමාජිකයන් සමඟ එක්ව වැඩ කරන්න ලැබීමත් මා ලද ලොකු වරප්‍රසාදයක්.

මුල් වතාවට අපි කොරියාවට පැමිණෙන විට එය තිබුණේ ඉතා දිලිඳු තත්වයකයි. නමුත් දැන් එය ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටවල් අතරින් එකක්. දැන් මෙහි සාක්ෂිකරුවන් 95,000ක් සිටින අතර සියයට 40කට ආසන්න සංඛ්‍යාවක්ම ස්ථාවර හෝ උපකාරික පුරෝගාමීන් ලෙස සේවය කරනවා. මේ හැම දෙයක් ගැනම කල්පනා කරද්දී හා දෙවිගේ සෙනඟගේ මහත් වර්ධනය දකිද්දී මෙවැනි රටක යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබීම ගැන මට හැඟෙන්නේ එය මා ලැබූ මහත් වරප්‍රසාදයක් හැටියටයි.

[24වන පිටුවේ පින්තූරය]

සෙසු මිෂනාරිවරුන් සමඟ කොරියාවට පැමිණි අවස්ථාව

[25, 24වන පිටුවේ පින්තූරය]

පූසාන්හි සේවය කරමින්

[25වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1971දී සහෝදර ෆ්‍රාන්ස් සමඟ උතුරු හා දකුණු කොරියාව වෙන් කරන සීමාවේ

[26වන පිටුවේ පින්තූරය]

ලිස් මිය යෑමට ටික කලකට පෙර ඇය සමඟ

[26වන පිටුවේ පින්තූරය]

මම දැන් සේවය කරමින් සිටින කොරියානු බෙතෙල් නිවස