Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න:

• දෙවි හා ඔහුගේ අරමුණු පිළිබඳ සත්‍යය නමැති “පවිත්‍ර භාෂාව” දක්ෂ ලෙස කතා කරන්න අපට හැක්කේ කෙසේද? (ශෙප. 3:9, නව ලොව පරිවර්තනය, NW)

වෙනත් භාෂාවක් කතා කරන්න ඉගෙනගන්නවා හා සමානව “පවිත්‍ර භාෂාව” දක්ෂ ලෙස කතා කිරීමට නම් අප හොඳ අවධානයෙන් සවන් දීම, දක්ෂ කථිකයන්ව අනුකරණය කිරීම, බයිබල් පොත්වල නම් මෙන්ම බයිබල් පද මතක තබාගැනීම, සිහියට නඟා ගැනීම, ඇසෙන පරිදි කියවීම, භාෂාවක තිබෙන ව්‍යාකරණ ගැන දැනුවත් වෙනවා මෙන් බයිබල් සත්‍යය ගැන හොඳ අවබෝධයක් ඇතිව සිටීම, කාලසටහනකට අනුව අධ්‍යයනය කිරීම හා ඉගෙනගත් දේ කතා කිරීමද අවශ්‍යයි.—8/15, 21-25 පිටු.

• දෙවිව හොඳින් දැන හඳුනාගැනීමට ඇතුළත් වන්නේ කුමක්ද?

“ඔහුගේ නාමය යෙහෝවාය” යන්න දැනගැනීම ඊට අයත්. (නික්. 15:3NW) එමෙන්ම ඔහු “ප්‍රේමයේද සමාදානයේද දෙවි” බව තේරුම්ගැනීමත් අවශ්‍යයි. (2 කොරි. 13:11) ඔහු “සියල්ල දන්නා දෙවි” බවත් “ගැලවීම සලසා දෙන” තැනැත්තා බවත් අප දැනගත යුතුයි. (1 සාමු. 2:3; ගීතා. 25:5NW) එලෙස ඔහුව දැන හඳුනාගන්නා අයට ඔහු ළං වෙනවා.—9/1, 4-7 පිටු.

• “තුන්පට ලණුවක්” යන ප්‍රකාශය විවාහයට සම්බන්ධ වන්නේ කෙසේද?

ස්වාමිපුරුෂයා හා භාර්යාව ලණු දෙපොටකට සමාන කළ හැකියි. අනෙක් ලණුපට යෙහෝවා දෙවියි. යුවළක් දෙවිවත් සම්බන්ධ කරගනිමින් තම විවාහය ගොඩනැගුවොත් එය “තුන්පට ලණුවක් “ මෙන් ශක්තිමත්. (දේශ. 4:12NW) එමගින් විවාහය තුළ පැන නඟින ප්‍රශ්න ගැටලු විසඳාගන්න අවශ්‍ය උපකාර දෙවි ලබා දෙනවා. ප්‍රීතිමත් හා සාර්ථක විවාහයකට යතුර එයයි.—9/15, 16වන පිටුව.

හෙබ්‍රෙව් 6:2හි සඳහන් “අත් තැබීම” යන්නෙන් අදහස් කළේ කුමක්ද?

එසේ කිරීමෙන් අදහස් කළේ සුදුසුකම් ලත් අවේක්ෂකයන්ව පත් කිරීම නොව, දෙවිගේ බලය මගින් ලැබෙන දීමනා තව කෙනෙකුට ලබා දීම විය හැකියි. (ක්‍රියා 8:14-17; 19:6)—9/15, 32වන පිටුව.

• හොඳ පියෙක් තම දරුවන්ට ලබා දෙන්නේ ඔවුන්ට අවශ්‍ය කුමන දේවල්ද?

ඒවා අතර (1) පිය සෙනෙහස, (2) කදිම ආදර්ශය, (3) ප්‍රීතිමත් වාතාවරණයක්, (4) දෙවි ගැන ඉගෙනගැන්වීම, (5) හික්මවීම, (6) රැකවරණය.—10/1, 18-21 පිටු.

• අන් අයට ගෞරවය පෙන්වීමට අවේක්ෂකයන්ට හැක්කේ කෙසේද?

තමන් කිරීමට අකමැති දේවල් සෙසු සහෝදරයන් ලවා කරගැනීමට උත්සාහ නොකිරීමෙන්ද යමක් කරන්න කියා සෙසු සහෝදරයෙකුගෙන් ඉල්ලා සිටින විට හෝ යම් මඟ පෙන්වීමක් දෙන විට ඊට හේතුව පැහැදිලි කිරීමෙන්ද ඔවුන්ට ගෞරව කරන බව පෙන්විය හැකියි.—10/15, 22වන පිටුව.

• විවාහ බැඳීම ශක්තිමත්ව තබාගත හැක්කේ කෙසේද?

ඊට ප්‍රධාන කාරණා දෙකක් ඇතුළත්. (1) විවාහ ජීවිතයට මුල් තැන දීම. (2) අනාචාරයට රුකුල් දෙන සියල්ල ප්‍රතික්ෂේප කිරීම. ඔබ සාර්ථක විවාහයක් ගත කරනවා වෙන්න පුළුවන්. නැතහොත් විවාහයේ බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා විය හැකියි. තත්වය කුමක් වුණත් විවාහ බැඳීම සාර්ථක කරගැනීම සඳහා ඔබ දැඩි වෑයමක් දරන බව ඔබේ සහකරුට හෝ සහකාරියට දැනෙන්න අවශ්‍යයි.—11/1, 18-21 පිටු.

• ඊශ්‍රයෙලයේ සිටි එඬේරුන් භාවිත කළ දිග සැරයටියෙන් අද දින සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

එඬේරුන්, බැටළුවන් ගාලට ඇතුළු වන විට හා පිට වන විට එහි දොරටුව ළඟ සිටගෙන තම සැරයටිය ඔවුන්ට ඉහළින් අල්ලාගෙන සිටිනවා. බැටළුවන් ඒ යටින් යද්දී එඩේරා උන් එකිනෙකාට හොඳ අවධානයක් දී උන්ව ගණන් කරනවා. (ලෙවී. 27:32) එලෙසම වැඩිමහල්ලන්ද දෙවිගේ සියලු සේවකයන් ගැන හොඳ අවධානයකින් හා අවබෝධයකින් සිටීම අවශ්‍යයි.—11/15, 9වන පිටුව.

• පිරිසිදුකම තමන් වැදගත් කොට සලකන බව මවකට පෙන්විය හැක්කේ කෙසේද?

විවිධ ක්‍රමවලින් කෑමට විෂ බීජ ඇතුළු විය හැකි නිසා ඒවා සූදානම් කිරීමට පෙර තම දෑත් සෝදාගැනීමෙන් වගේම කෑම පිසීමෙන් පසුව ඇය ඒවා ආරක්ෂිතව වසා තැබීමෙන් එය කළ හැකියි. මීයන්, කැරපොත්තන් හා කෘමීන් වැනි සතුන් නිවසට ඒම වැළැක්වීම සඳහා නිවස නිතරම පිරිසිදුව තබාගැනීමද වැදගත්. එමෙන්ම ඇඳුම් පැළඳුම් සෝදා පවිත්‍ර කිරීම හා ස්නානය කිරීමෙන් පිරිසිදු වීමත් ඊට අයත්. එසේ පිරිසිදුව සිටීම බයිබල් ප්‍රතිපත්තිවලටත් එකඟයි.—12/1, 9-11 පිටු .