Skip to content

පටුනට යන්න

දෙවිගේ අරමුණ තුළ යේසුස්ට හිමි සුවිශේෂී කාර්යය

දෙවිගේ අරමුණ තුළ යේසුස්ට හිමි සුවිශේෂී කාර්යය

දෙවිගේ අරමුණ තුළ යේසුස්ට හිමි සුවිශේෂී කාර්යය

“මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත.”—යොහ. 14:6.

1, 2. දෙවිගේ අරමුණු ඉටු කිරීමේදී යේසුස්ට හිමි සුවිශේෂී කාර්යය ගැන අප උනන්දු විය යුත්තේ ඇයි?

අතීතයේ සිට විවිධ පුද්ගලයන් අන් අයට වඩා තමන් ශ්‍රේෂ්ඨ බව පෙන්වන්න වෑයම් කර තිබෙනවා. ඒ අය අතරින් සාර්ථක වී ඇත්තේ සුළු පිරිසක් පමණයි. එසේ වුවත් ඒ නිශ්චිත පැති කිහිපයකින් පමණයි. ඒ සැමටම වෙනස්ව බොහෝ පැතිවලින් ශ්‍රේෂ්ඨ හා සුවිශේෂී පුද්ගලයෙක් සිටිනවා. ඔහු නම් දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස්.

2 යේසුස් එතරම් සුවිශේෂී පුද්ගලයෙකු වීම ගැන අප උනන්දු විය යුතුයි. ඊට හේතුව දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට එය අපට අත්‍යවශ්‍ය දෙයක් වන නිසයි. යේසුස්ම ඒ ගැන පැවසුවේ මෙසේයි. “මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත.” (යොහ. 14:6; 17:3) යේසුස් සුවිශේෂී පුද්ගලයෙක් වන්නේ කුමන පැතිවලින්ද කියා දැන් අපි සලකා බලමු. දෙවිගේ අරමුණු ඉටු කිරීමේදී යේසුස්ට තිබෙන සුවිශේෂී කාර්යභාරය තේරුම්ගැනීමටත් එය අගය කිරීමටත් ඒ මගින් අපට හැකියි.

“දෙවිගේ ඒකජාතක පුත්‍රයා”

3, 4. (අ) දෙවිගේ ඒකජාතක හෙවත් එකම පුත්‍රයා ලෙස යේසුස් සුවිශේෂී කෙනෙකු වන්නේ කෙසේද? (ආ) දෙවි කළ නිර්මාණයන්වලදී යේසුස් කළ කාර්යය සුවිශේෂී එකක් වන්නේ කෙසේද?

3 යේසුස් “දෙවිගේ පුත්‍රයෙකු” පමණක්ම නොව ඔහු ‘දෙවිගේ ඒකජාතක [එකම] පුත්‍රයායි.’ (මතෙ. 4:3, 6) “ඒකජාතක” හෝ එකම යන්නට යොදා ඇති ග්‍රීක වචනයේ අදහස වන්නේ වෙන කිසිවෙකුට සම කළ නොහැකි එනම්, සුවිශේෂ යන්නයි. (යොහ. 3:16, 18) යෙහෝවා දෙවිට මිලියන ගණන් දේවදූතයන් හෙවත් පුත්‍රයන් සිටින බව අප දන්නවා. එසේනම් ඒ අය අතරින් යේසුස් පමණක් සුවිශේෂ වන්නේ කෙහොමද?

4 ඊට හේතුව දෙවි විසින්ම නිර්මාණය කළ එකම හා පළමු මැවිල්ල ඔහු වීමයි. ඔහුව “මුළු මැවිල්ලේම කුලුඳුලා” සහ “දෙවිගේ මැවිල්ලේ පටන්ගැන්ම” කියා හඳුන්වන්නේ ඒ නිසයි. (කොලො. 1:15; එළි. 3:14) දෙවි කළ නිර්මාණයන්වලදී යේසුස් දැරූ කාර්යභාරය සම්බන්ධයෙන්ද ඔහු සුවිශේෂයි. ඔහු සියලු දේවල නිර්මාණකරු නොවුණත් සියලු දේවල් නිර්මාණය කිරීමට දෙවි යොදාගත්තේ ඔහුවයි. (යොහන් 1:3 කියවන්න.) පාවුල්ද එය තහවුරු කළේ මෙසේයි. “ඇත්තෙන්ම අපට සිටින්නේ එක දෙවි කෙනෙක්ය. එනම් පියාණන්ය. සියල්ල පැමිණියේ ඔහුගෙන්ය. අපද ඔහු උදෙසාය. තවද, සිටින්නේ එක ස්වාමීන් කෙනෙක්ය. එනම් යේසුස් ක්‍රිස්තුස්ය. සියල්ල පැමිණියේ ඔහු මාර්ගයෙන්ය. අපද ඔහු මාර්ගයෙන්ය.”—1 කොරි. 8:6.

5. යේසුස් සුවිශේෂී පුද්ගලයෙකු බව බයිබලයේ අවධාරණය කර තිබෙන්නේ කෙසේද?

5 යේසුස් සුවිශේෂී පුද්ගලයෙකු නිසා, ඒකජාතක පුත්‍රයා යන පදවි නාමයට අමතරව බයිබලයේ ඔහුව තවත් පදවි නම්වලින් හඳුන්වා තිබෙනවා. ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ සඳහන් තවත් එවැනි පදවි නාම පහක් ගැන අපි සලකා බලමු. *

“වචනය”

6. යේසුස්ව “වචනය” කියා හැඳින්වීම සුදුසු ඇයි?

6 යොහන් 1:14 කියවන්න. යේසුස්ව “වචනය” හෙවත් දෙවිගේ ප්‍රධාන නියෝජිතයා යන පදවි නාමයෙන් හඳුන්වන්නේ ඇයි? ඒ දෙවි, දේවදූතයන්ට හා මිනිසුන්ට තම පණිවිඩ රැගෙන යෑම සඳහා යේසුස්ව යොදාගත් නිසයි. තමන් දෙවිගේ වචනය හෙවත් ප්‍රධාන නියෝජිතයා බව යේසුස් යුදෙව්වන්ට පැවසූ මේ වචනවලින්ද තහවුරු වෙනවා. “මා උගන්වන දේ මාගේ නොව, මාව එවූ තැනැත්තාට අයිතිය. යමෙක් ඔහුගේ කැමැත්ත කරන්න ආශා වන්නේ නම්, මේ ඉගැන්වීම දෙවිගෙන් වූ ඉගැන්වීමක්ද නැත්නම් මා කතා කරන්නේ මාගේම අදහස්ද කියා ඔහු දැනගන්නවා ඇත.” (යොහ. 7:16, 17) ඔහු ස්වර්ගයට ගිය පසුවත් “දෙවිගේ වචනය” යන පදවිය දරමින් සිටින බව බයිබලය පවසනවා.—එළි. 19:11, 13, 16.

7. “වචනය” ලෙස යේසුස් ඉටු කරන කාර්යභාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

7 එම පදවි නාමයට එකඟව යේසුස් කටයුතු කළ ආකාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? ඔහු, යෙහෝවා දෙවිගේ සෑම මැවිල්ලකටම වඩා ප්‍රඥාවන්ත වුණත් කිසිදාක තමාගේම ප්‍රඥාවට අනුව කටයුතු කළේ නැහැ. ඔහු නිතරම පැවසුවේ ඔහුගේ පියා ඔහුට ඉගැන්වූ දේවලුයි. ඒ තුළින් ඔහු නිතරම දෙවිට ප්‍රශංසාව ගෙන දුන්නා. (යොහ. 12:50) යටහත්පහත්කම සම්බන්ධයෙන් ඔහු අපට කදිම ආදර්ශයක්! අපත් යටහත්පහත් අය ලෙස නිතරම දෙවිගේ ප්‍රඥාවට අනුව කටයුතු කරමු. එමෙන්ම දෙවි අපට විශ්වාසයෙන් භාර දී තිබෙන ‘යහපත් දේවල් පිළිබඳ ශුභාරංචි ප්‍රකාශ’ කිරීමේදීත් යේසුස්ව අනුකරණය කරමු. (රෝම 10:15) එසේ කරනවා නම් ජීවිත ගලවන පණිවිඩය අප ප්‍රකාශ කරද්දී දේවවචනයේ ‘ලියා තිබෙන දේවල් ඉක්මවා’ යමින් අපගේම අදහස් අපි ජනයාට උගන්වන්නේ නැහැ.—1 කොරි. 4:6.

“ආමෙන් නමැති තැනැත්තා”

8, 9. (අ) “ආමෙන්” යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද? එමෙන්ම යේසුස්ව “ආමෙන් නමැති තැනැත්තා” ලෙස හඳුන්වන්නේ ඇයි? (ආ) “ආමෙන් නමැති තැනැත්තා” ලෙස යේසුස් සුවිශේෂී කාර්යයක් ඉටු කරන්නේ කෙසේද?

8 එළිදරව් 3:14 කියවන්න. යේසුස්ව “ආමෙන් නමැති තැනැත්තා” ලෙස හඳුන්වන්නේ ඇයි කියා දැන් අපි බලමු. “එසේම වේවා” හෝ “ස්ථිර වේවා” යන අදහස ඇති “ආමෙන්” යන හෙබ්‍රෙව් වචනය සෑදී ඇත්තේ අමාන් නමැති මුල් හෙබ්‍රෙව් වචනයෙනුයි. එහි අදහස වන්නේ “විශ්වාසවන්තකම” යන්නයි. බයිබලයේ යෙහෝවා දෙවිව “විශ්වාසවන්ත” කෙනෙක් බව විස්තර කිරීමට යොදාගෙන තිබෙන්නේද එම මුල් හෙබ්‍රෙව් වචනයමයි. (ද්වි. 7:9; යෙසා. 49:7) එසේනම් යේසුස් “ආමෙන් නමැති තැනැත්තා” ලෙස සුවිශේෂ වන්නේ කෙසේද? දෙවන කොරින්ති 1:19, 20හි පාවුල් පැවසූ මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “දෙවිගේ පුත්‍ර ක්‍රිස්තුස් යේසුස් එසේය කියාත් නැත කියාත් වූවා නොව, ඔහු තුළ එසේය යන්න, එසේය වී තිබේ. මන්ද, දෙවිගේ පොරොන්දු කොපමණ වුවත්, යේසුස් මාර්ගයෙන් ඒවා එසේය වී තිබේ. එබැවින්, දෙවිට මහිමය ලැබෙන පිණිස ‘ආමෙන්’ යයි කීමත් පැමිණෙන්නේ යේසුස් මාර්ගයෙනි.”

9 යේසුස් “ආමෙන් නමැති තැනැත්තා” වන්නේ දෙවිගේ පොරොන්දු සියල්ල ඉටුවීමට ඔහු දායක වූ නිසයි. ඔහුගේ ජීවිත පූජාව ඇතුළු ඔහු පොළොවේ නිර්දෝෂ ලෙස ගත කළ ජීවිතයත් නිසා දෙවිගේ සියලුම පොරොන්දු ස්ථිර වීමට හා ඉටුවීමට මඟ විවෘත වුණා. ඒ වගේම ඔහු දෙවිට විශ්වාසවන්තව සිටි නිසා, පීඩා පරීක්ෂා හමුවේ දෙවිගේ සේවකයන් දෙවිව අත් හරින බවට සාතන් ගෙනා චෝදනාවද ඔහු බොරු බව ඔප්පු කළා. (යෝබ් 1:6-12; 2:2-7) එසේ කළ අය අතරින් සුවිශේෂී තැනැත්තා වූයේ යේසුස් පමණයි. එමෙන්ම සියල්ල පාලනය කිරීමට අයිතිය තිබෙන්නේ දෙවිට පමණක් බවද යේසුස් ඉතා පැහැදිලිව ඔප්පු කර පෙන්නුවා.

10. “ආමෙන් නමැති තැනැත්තා” ලෙස යේසුස් කළ දේ අනුගමනය කරන්න අපට හැක්කේ කෙසේද?

10 “ආමෙන් නමැති තැනැත්තා” වශයෙන් යේසුස් කළ කාර්යය අනුගමනය කරන්න අපට හැක්කේ කෙසේද? දෙවිට දිගටම විශ්වාසවන්තව සිටීමෙන් හා සියල්ල පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය තහවුරු කිරීමට හවුල් වීමෙනුයි. ඒ තුළින් හිතෝපදේශ 27:11හි [NW] සඳහන් දෙවිගේ මෙම ඉල්ලීමට කීකරු වීමට අපට හැකියි. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර, මාගේ සිත සතුටු කරන්න.”

“අලුත් ගිවිසුමක මැදිහත්කරු”

11, 12. මැදිහත්කරු ලෙස යේසුස්ගේ කාර්යය සුවිශේෂ වන්නේ කෙසේද?

11 1 තිමෝති 2:5, 6 කියවන්න. යේසුස්, ‘දෙවි හා මිනිසුන් අතර සිටින එකම මැදිහත්කරුයි.’ එමෙන්ම “අලුත් ගිවිසුමක මැදිහත්කරු” වන්නේද ඔහුයි. (හෙබ්‍රෙ. 9:15; 12:24) බයිබලයේ මෝසෙස්ව හඳුන්වා ඇත්තේද නීතියේ මැදිහත්කරු ලෙසයි. (ගලා. 3:19) එසේනම් යේසුස් පමණක් මැදිහත්කරු ලෙස සුවිශේෂ වන්නේ කෙසේද?

12 “මැදිහත්කරු” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය නීතිමය කාරණාවලදී යොදාගන්නා වචනයක්. යේසුස්ට එවන් පදවි නාමයක් දී ඇත්තේ ඔහු “දෙවිගේ ඊශ්‍රායෙල්” නමැති අලුත් ජාතිය බිහි වීමට ඉවහල් වූ අලුත් ගිවිසුමේ නීත්‍යනුකූල මැදිහත්කරු වූ නිසයි. (ගලා. 6:16) ‘රාජකීය පූජක පන්තිය’ ලෙස හඳුන්වන මෙම අලුත් ජාතිය සමන්විත වන්නේ දෙවිගේ බලයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙනුයි. (1 පේතෘ. 2:9; නික්. 19:6) ඒ අනුව බලද්දී යේසුස් මැදිහත්කරු ලෙස මෝසෙස්ට වඩා සුවිශේෂී කාර්යයක් ඉටු කරනවා.

13. මැදිහත්කරු ලෙස යේසුස් කළ කාර්යයෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

13 යේසුස් මැදිහත්කරු ලෙස කටයුතු කිරීමේ ප්‍රයෝජන මොනවාද? ඔහුගේ ජීවිත පූජාවේ වටිනාකම නිසා අලුත් ගිවිසුමට අයත් සාමාජිකයන්ව ධර්මිෂ්ඨ අය ලෙස පිළිගන්න යෙහෝවා දෙවිට හැකියි. (රෝම 3:24; හෙබ්‍රෙ. 9:15) ඒ තුළින් ඔවුන්ට රාජකීය පූජකයන් ලෙස සේවය කිරීමේ වරප්‍රසාදය හිමි වෙනවා. එතෙක් යෙහෝවා දෙවිට පිළිගත හැකි ආකාරයෙන් ජීවත් වීමට උපකාර කරමින් ඔවුන්ගේ මැදිහත්කරු ලෙස යේසුස් කටයුතු කරනවා.—හෙබ්‍රෙ. 2:16.

14. මැදිහත්කරු ලෙස යේසුස් කළ කාර්යය අපි සියලුදෙනාම අගය කළ යුත්තේ ඇයි?

14 යේසුස් මැදිහත්කරු ලෙස සේවය කරන නිසා පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති අයට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඔවුන් එම අලුත් ගිවිසුමට සම්බන්ධ නොවුණත් ඉන් ප්‍රයෝජන ලබනවා. එනම් ඔවුන්ගේ පව්වලට සමාව ලැබෙන අතර දෙවි ඔවුන්ව තම මිත්‍රයන් හැටියට පිළිගන්නවා. (යාකො. 2:23; 1 යොහ. 2:1, 2) අපගේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වීමට හෝ පොළොවේ ජීවත් වීමට වුණත් අලුත් ගිවිසුමේ මැදිහත්කරු වන යේසුස් කළ සුවිශේෂී කාර්යය අගය කරන්න අප සෑම කෙනෙකුටම හොඳ හේතු තිබෙනවා.

“උත්තම පූජක”

15. උත්තම පූජක ලෙස කටයුතු කර ඇති අන් සියල්ලන්ට වඩා යේසුස් සුවිශේෂී වන්නේ කෙසේද?

15 අතීතයේදී බොහෝදෙනෙක් උත්තම පූජකයන් ලෙස සේවය කර තිබෙන නිසා යේසුස් පමණක් උත්තම පූජක ලෙස සුවිශේෂී වන්නේ කෙසේද? පාවුල් එය මෙසේ විස්තර කරනවා. “ඒ උත්තම පූජකයන් මෙන්, පළමුකොට තමාගේම පව් උදෙසාත් ඉන්පසු සෙනඟගේ පව් උදෙසාත් ඔහු දිනපතා පූජා ඔප්පු කිරීමට අවශ්‍ය නැත. (මන්ද, තමාවම ඔප්පු කිරීමෙන් සදහටම ඔහු එක් වරක් එය කළේය.) මන්දයත් නීතිය, අසම්පූර්ණ මිනිසුන්ව උත්තම පූජකයන් ලෙස පත් කරන්නේය. නමුත් නීතියට පසුව පැමිණි දිවුරුමේ වචනය, සදහටම පරිපූර්ණ කරනු ලැබුවාවූ පුත්‍රයෙකුව පත් කරන්නේය.”—හෙබ්‍රෙ. 7:27, 28. *

16. යේසුස්ගේ ජීවිත පූජාව සුවිශේෂ වන්නේ කෙසේද?

16 යේසුස් ආදම් හා සමාන පරිපූර්ණ කෙනෙක්. (1 කොරි. 15:45) ඒ නිසා කිසිම අඩුවක් හෝ කැළලක් නැති, නැවතත් කිරීමට අවශ්‍ය නොවන පූජාවක් ඔප්පු කිරීමට සමත් එකම එක පුද්ගලයා වුණේද යේසුස් පමණයි. ඔහු එසේ කළේ ඔහුගේම ජීවිතය පූජා කිරීමෙනුයි. එදා මෝසෙස්ගේ නීතිය යටතේ දිනපතා පූජාවන් ඔප්පු කළා. එම පූජාවලින් හා පූජකයන්ගේ සේවාවන්වලින් නියෝජනය කළේ යේසුස්ගේ ජීවිත පූජාවයි. (හෙබ්‍රෙ. 8:5; 10:1) යේසුස්ගේ ජීවිත පූජාවෙන් සියලුදෙනාටම කල්පවතින හා සදාකාලික ප්‍රයෝජන අත් වෙනවා. ඒ අනුව බලද්දී අනෙක් උත්තම පූජකයන්ට වඩා යේසුස් සුවිශේෂයි.

17. උත්තම පූජක ලෙස යේසුස්ගේ කාර්යය අප අගය කළ යුත්තේ ඇයි? එමෙන්ම අපට එය අගය කළ හැක්කේ කෙසේද?

17 දෙවිට පිළිගත හැකි ආකාරයෙන් කටයුතු කිරීම සඳහා උත්තම පූජක යේසුස් අපට උපකාර කරනවා. ඒ ගැන පාවුල් පැවසුවේ “අපට සිටින්නේ අපේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන තැනැත්තෙකු නොව, අප මෙන් හැම අතින්ම පරීක්ෂා කරනු ලැබූ, පාප රහිත උත්තම පූජකයෙකි” කියායි. ඇත්තෙන්ම අපට සිටින්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙක්ද! (හෙබ්‍රෙ. 4:15) එය තේරුම්ගැනීමෙන් අප පෙලඹිය යුත්තේ ‘අප උදෙසා නොව අප වෙනුවෙන් මිය ගිය’ යේසුස් උදෙසා ජීවත් වීමටයි.—2 කොරි. 5:14, 15; ලූක් 9:23.

“පොරොන්දු වූ තැනැත්තා”

18. මුල් යුවළ පව් කළ අවස්ථාවේදී දෙවි අනාවැකියකින් පැවසුවේ කවුරුන් ගැනද? ඔහු ගැන තවත් බයිබල් අනාවැකිවලින් පසුව හෙළි කළේ කුමක්ද?

18 ඒදන් උයනේදී මුල් යුවළ කළ පාපය නිසා දෙවි සමඟ තිබෙන සම්බන්ධතාවය හා පාරාදීස පොළොවේ සතුටින් සදාකල් ජීවත් වීමේ වරප්‍රසාදය මිනිස් වර්ගයාට අහිමි වුණා. නමුත් ඒ අවස්ථාවේදීම දෙවි ගැලවුම්කරුවෙකු ගැන අනාවැකියක් පැවසුවා. (උත්. 3:15) මෙම ගැලවුම්කරු කවුද යන්න බොහෝ කාලයක් පුරා අභිරහසක්ව පැවතුණත් බයිබල් අනාවැකි තුළින් ඔහු ගැන ක්‍රමානුකූලව හෙළි කළා. ඒ අනුව ඔහු පැවත ඒමට නියමිතව තිබුණේ ආබ්‍රහම්, ඊසාක් හා යාකොබ් යන අයගේ පෙළපතිනුයි. එමෙන්ම පසුව ඔහු දාවිත්ගේ රජ පෙළපතින් පැමිණීමට නියමිතව තිබුණා.—උත්. 21:12; 22:16-18; 28:14; 2 සාමු. 7:12-16.

19, 20. (අ) පොරොන්දු වු තැනැත්තා කවුද? (ආ) පොරොන්දු වූ තැනැත්තාට තවත් පිරිසක් සම්බන්ධ බව අප දන්නේ කෙසේද?

19 මෙම පොරොන්දු වූ තැනැත්තා කවුද? ඊට පිළිතුරු ගලාති 3:16 කියවීමෙන් සොයාගත හැකියි. (කියවන්න) කෙසේනමුත් මෙම පොරොන්දු වූ තැනැත්තා වන ක්‍රිස්තුස්ට තවත් පිරිසක් සම්බන්ධ වන බව එම පරිච්ඡේදයේම පාවුල් මෙසේ පැවසුවා. “තවද, ඔබ ක්‍රිස්තුස්ට අයිති නම්, ඔබ ඇත්තෙන්ම ආබ්‍රහම්ගේ වංශය වන්නහුය. පොරොන්දුවක් සම්බන්ධයෙන් උරුමක්කාරයෝ වන්නහුය.”—ගලා. 3:29.

20 මිලියන ගණනක් දෙනා පවසන්නේ තමන් ආබ්‍රහම්ගේ පරම්පරාවෙන් පැවත එන බවයි. ඔවුන්ගෙන් සමහරෙක් අනාගතවක්තෘවරුන් හැටියටත් පෙනී සිටිනවා. ඒ වගේම තවත් සමහර ආගමික සාමාජිකයන් පවසන්නේ තම අනාගතවක්තෘවරුන් ආබ්‍රහම්ගේ පරම්පරාවෙන් පැමිණෙන අය බවයි. නමුත් ආබ්‍රහම්ගේ සියලුම දරුවන් තුළින් මිනිසුන්ට ආශීර්වාද ලැබෙන බව දෙවි පැවසුවේ නැහැ. ඒ වෙනුවට එය සිදු වන්නේ ඊසාක්ගේ පෙළපතින් පමණයි. ඒ අනුව පොරොන්දු වූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් පැමිණියේ ඊසාක්ගේ පෙළපතිනුයි. ඊට බයිබල් වාර්තාවේද සාක්ෂි සපයා තිබෙනවා. * (හෙබ්‍රෙ. 11:18) යේසුස්ට සම්බන්ධ අනෙක් අය ආබ්‍රහම්ගෙන් පැවත එන අය බවට පත් වන්නේ ඔවුන් ‘යේසුස්ට අයිති’ අය වන නිසයි. ඒ අනුව ඔවුන් “පොරොන්දුවක් සම්බන්ධයෙන් උරුමක්කාරයෝ” බවට පත් වෙනවා. මේ සියල්ලෙන්ම අපට පැහැදිලි වන්නේ දෙවිගේ පුදුමාකාර අරමුණු ඉටු කිරීමේදී යේසුස් කොතරම් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවාද යන්නයි.

21. යෙහෝවා දෙවිගේ අරමුණු ඉටු කිරීමේදී යේසුස් ඉටු කළ කාර්යභාරයෙන් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

21 යෙහෝවා දෙවිගේ අරමුණු ඉටු කිරීමේදී යේසුස්ට තිබෙන කාර්යභාරය ගැන අපි ඉගෙනගත්තේ කුමක්ද? දෙවි, යේසුස්ව නිර්මාණය කළ දා සිට යේසුස් කළ කාර්යභාරය ඇත්තෙන්ම සුවිශේෂයි. ඔහු නිතරම දෙවිට කීකරුව යටහත්පහත්ව සේවය කළ අතර ඔහුටම ගෞරවය ලබාගන්න උත්සාහ කළේ නැහැ. (යොහ. 5:41; 8:50) එමගින් ඔහු අපිට තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද! එමනිසා අපත් “දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න” අධිෂ්ඨාන කරගනිමු.—1 කොරි. 10:31.

[පාදසටහන්වල]

^ 5 ඡේ. ග්‍රීක භාෂාවට අනුව යේසුස්ට දී ඇති පදවි නාමවලින් පැහැදිලි වන්නේද එම නාමයන්, යේසුස්ට පමණක් අදාළ වන බවයි. ඔහු සුවිශේෂී පුද්ගලයෙකු බව එයින්ද පැහැදිලියි.

^ 15 ඡේ. එක් බයිබල් විශාරදයෙක් පවසන ආකාරයට ‘සදහටම එක වරක්’ යන ප්‍රකාශයෙන් අදහස් වන්නේ යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජන සදාකාලික බවයි. ඒ නිසා ඔහුගේ මරණය සුවිශේෂයි.

^ 20 ඡේ. පළමු සියවසේ සිටි යුදෙව්වන් සිතුවේ තමන් ආබ්‍රහම්ගේ පුත්‍රයන්ගෙන් පැවත එන බව හා තමන්ට දෙවිගේ අනුමැතිය ඇති බවයි. කෙසේනමුත් ඔවුන්ද ගැලවුම්කරු හෙවත් ක්‍රිස්තුස් හැටියට බලාපොරොත්තුවෙන් සිටියේ එක පුද්ගලයෙකුව පමණයි.—යොහ. 1:25; 7:41, 42; 8:39-41.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යේසුස්ට දී ඇති සුවිශේෂී පදවි නාමවලින් ඔබ ඉගෙනගත්තේ කුමක්ද? (කොටුව බලන්න.)

• දෙවිගේ සුවිශේෂී පුත්‍රයාව අනුකරණය කිරීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ කොටුව/පින්තූරය]

යේසුස් සුවිශේෂී පුද්ගලයෙකු බව පෙන්වන පදවි නාම කිහිපයක්

දෙවිගේ ඒකජාතක පුත්‍රයා. (යොහ. 1:3) යේසුස්, දෙවි විසින්ම නිර්මාණය කළ එකම හා පළමු මැවිල්ලයි.

වචනය. (යොහ. 1:14) දේවදූතයන්ට හා මිනිසුන්ට තම පණිවිඩ රැගෙන යෑම සඳහා දෙවි තම පුත් යේසුස්ව යොදා ගන්නවා.

ආමෙන් නමැති තැනැත්තා. (එළි. 3:14) යේසුස්ගේ ජීවිත පූජාව ඇතුළු ඔහු පොළොවේ නිර්දෝෂ ලෙස ගත කළ ජීවිතයත් නිසා දෙවිගේ සියලුම පොරොන්දු ස්ථිර වීමට හා ඉටුවීමට මඟ විවෘත වුණා.

අලුත් ගිවිසුමක මැදිහත්කරු. (1 තිමෝ. 2:5, 6) යේසුස් නීත්‍යනුකූල මැදිහත්කරු ලෙස කටයුතු කළ නිසා “දෙවිගේ ඊශ්‍රායෙල්” නමැති අලුත් ජාතිය බිහි වීමට එය ඉවහල් වුණා. මෙම “රාජකීය පූජක පංතිය” සමන්විත වන්නේ බිහි වූ අලුත් ජාතියට අයත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙනුයි.—ගලා. 6:16; 1 පේතෘ. 2:9.

උත්තම පූජක. (හෙබ්‍රෙ. 7:27, 28) කිසිම අඩුවක් හෝ කැළලක් නැති, නැවතත් කිරීමට අවශ්‍ය නොවන පූජාවක් ඔප්පු කිරීමට සමත් එකම එක පුද්ගලයා වූයේ යේසුස් පමණයි. අපගේ පාපවලින් අපව පවිත්‍ර කිරීමටත් මරණයෙන් අපව ගලවාගන්නත් ඔහුට හැකියි.

පොරොන්දු වූ තැනැත්තා. (උත්. 3:15) එම පොරොන්දු වූ තැනැත්තා වූයේ යේසුස් පමණයි. පසුව තවත් පිරිසක් යේසුස්ට සම්බන්ධ වෙනවා. එසේ වන්නේ ඔවුන් “ක්‍රිස්තුස්ට අයිති” අය නිසයි.—ගලා. 3:29.