Skip to content

පටුනට යන්න

බයිබල් වාර්තාව මොන තරම් නිවැරදිද!

බයිබල් වාර්තාව මොන තරම් නිවැරදිද!

බයිබල් වාර්තාව මොන තරම් නිවැරදිද!

මිනිස් ඉතිහාසයේ ආරම්භයේදී ජනයා කතා කරමින් සිටියේ එක් භාෂාවක් පමණයි. නමුත් බාබෙල්හි සිදු වූ සිද්ධිය නිසා ඔවුන් භාෂා ගණනාවක් කතා කරන්න පටන්ගත්තා. එමෙන්ම ඔවුන් තොරතුරු වාර්තා කර තැබීමටද යම් ක්‍රම භාවිත කළා. එහි දියුණුවත් සමඟම මෙසපොතේමියාවේ ජීවත් වූ සුමේරියානුවරුන් සහ බැබිලෝනිවරුන් උල් හැඩැති සංකේත භාවිතයට හුරු වුණා. ඒවා ඔවුන් සටහන් කළේ තෙත මැටි පුවරු මතයි. එමෙන්ම ඒවා ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්තයි. එම ක්‍රමය ක්‍යුනීෆෝර්ම් යන නමින් හඳුන්වන අතර එම වචනය ලතින් භාෂාවෙන් පැමිණි එකක්.

මෙම සංකේත ක්‍රමය යොදාගෙන ලියනු ලැබූ බයිබලයේ සඳහන් සිද්ධීන් හා පුද්ගලයන් පිළිබඳ වාර්තා ඇතුළත් මැටි පුවරු පුරාවිද්‍යාඥයන්ට හමු වී තිබෙනවා. මෙම ක්‍රමය ආරම්භ වුණේ කෙසේද, එමෙන්ම ඉන් බයිබලයේ නිවැරදිභාවයට ලැබෙන සාක්ෂි මොනවාද කියා දැන් අපි බලමු.

විනාශ නොවූ වාර්තා

විශාරදයන් පවසන ආකාරයට මුලින්ම මෙසපොතේමියාවේ සිටි මිනිසුන් යම් අදහසක් හෝ වචනයක් ලිවීමට අකුරු වෙනුවට භාවිත කළේ යම් සංකේත හෝ රූප සටහනුයි. උදාහරණයකට ගවයෙකුව විස්තර කිරීමට ඔවුන් භාවිත කළේ උගේ හිසේ රූප සටහනක් පමණයි. මෙසේ වාර්තා ලියා තැබීමේ අවශ්‍යතාව වැඩි වෙද්දී උල් හැඩැති සංකේත ක්‍රමය දියුණු වෙන්න පටන්ගත්තා. ඒ ගැන එක් පොතක මෙසේ විස්තර කරනවා. ‘එම දියුණුව නිසා වචනයක් සඳහා සංකේතයක් භාවිත කිරීමට අමතරව ඒ වචනය ශබ්ද කරන ආකාරයෙන් එය ලිවීමටද එමගින් හැකි වුණා.’ එමෙන්ම ඔවුන් ලැබූ එම දියුණුව නිසා ඔවුන් භාවිත කළ 200ක් පමණ වූ සංකේත යොදාගනිමින් වැඩි වචන ප්‍රමාණයක් ලිවීමටද ඔවුන්ට හැකි වුණා. ‘එය ඉතා සංකීර්ණ දෙයක් වුණත් ඔවුන් පවසන දේ නිසියාකාරව වාර්තා කිරීමට එමගින් ඔවුන්ට හැකි වුණා.’—NIV Archaeological Study Bible.

ආබ්‍රහම්ගේ කාලය වන විට එනම්, ක්‍රිස්තු පූර්ව 2,000 පමණ වන විට මෙම උල් හැඩැති සංකේත ක්‍රමය බොහෝ සෙයින් දියුණු මට්ටමක පැවතුණා. එතැන් සිට වසර 2,000කට පමණ පසු තවත් භාෂා 15ක් පමණ මෙම ක්‍රමය යොදාගත්තා. මෑතකදී සොයාගනු ලැබූ උල් හැඩැති සංකේතවලින් යුත් ලියවිලිවලින් සියයට 99ක්ම මැටි පුවරුවල ලියූ ඒවායි. පසුගිය වසර 150 තුළ මෙවැනි පුවරු විශාල සංඛ්‍යාවක් ඌර්, යූරාක්, බැබිලෝනිය, නිම්රඩ්, නිප්පූර්, අෂූර්, නිනිවය, මාරි, එබ්ලා, උගරිට්, අමාර්නා යන නගරවලින් සොයාගනු ලැබුවා. එක් සඟරාවක සඳහන්ව ඇති ආකාරයට මෙවැනි පුවරු මිලියන එකත් දෙකත් අතර ප්‍රමාණයක් දැනට සොයාගෙන ඇති අතර තවමත් වසරකට එවැනි පුවරු 25,000ක් පමණ සොයාගනු ලබනවා.—Archaeology Odyssey.

විශාරදයන්ට තිබෙන අභියෝගය නම් කැනීම්වලින් ගොඩගනු ලබන මෙම උල් හැඩැති සංකේත සහිත පුවරු කන්දරාව කියවා තේරුම්ගැනීමයි. එක් ගණන් බැලීමකට අනුව ‘සොයාගෙන ඇති එම පුවරුවලින් දැනට කියවා තේරුම්ගෙන ඇත්තේ පුවරු දහයකින් එකක් වැනි සුළු ප්‍රමාණයක් පමණයි.’

උල් හැඩැති එම සංකේතම යොදාගනිමින් භාෂා දෙකකින් හෝ තුනකින් ලියා ඇති මැටි පුවරු පුරාවිද්‍යාඥයන්ට හමු වී තිබෙනවා. ඔවුන් එයින් තේරුම්ගෙන තිබෙන්නේ කුමක්ද? එනම් යම් කාලයක සිටි පාලකයන්ගේ නම්, ඔවුන් දැරූ පදවිය, පෙළපත් හා ඔවුන් තමන් ගැනම දෙඩූ පුරසාරම් වැනි දේ ඊට ඇතුළත් බවයි. එමෙන්ම ඔවුන් විවිධ භාෂාවලින් විස්තර කර තිබෙන්නේ එකම දේ බවත් ඔවුන් තේරුම්ගෙන තිබෙනවා. ඒවා ලියා ඇත්තේ විවිධ භාෂාවලින් වුණත් ඒ සඳහා උල් හැඩැති සංකේත භාවිත කර තිබෙන නිසා ඒවා කියවා තේරුම්ගන්න විශාරදයන්ට යම් පහසුවක් වුණා.

වර්ෂ 1850 ගණන්වල මැද පෙරදිග සහ අක්කාඩියන් ප්‍රදේශවල සාමාන්‍ය ජනයා කතා කළ භාෂාවෙන් ලියැවී තිබෙන උල් හැඩැති සංකේත කියවා තේරුම්ගැනීමට විශාරදයන්ට හැකි වුණා. එක් පොතක ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. ‘විශාරදයන් දැඩි වෑයමක් දරා අක්කාඩියන් භාෂාවෙන් ලියැවුණු සංකේත තේරුම්ගත් නිසා අනෙක් භාෂාවලින් ලියූ සංකේත තේරුම්ගැනීමටද එය ඔවුන්ට පහසුවක් වුණා. ඊට හේතුව නම් අනෙකුත් උල් හැඩයට සටහන් කළ සංකේත සහ අක්කාඩියානු සංකේතවල යම් සමානකම් තිබීමයි.’ අප මෙතෙක් සලකා බැලූ කරුණුවලින් බයිබලයේ තොරතුරුවල නිවැරදිභාවය ඔප්පු වන්නේ කෙසේද?

බයිබලය සත්‍යය බවට සාක්ෂි

ක්‍රිස්තු පූර්ව 1070දී දාවිත් යෙරුසලෙම අල්ලාගන්නා තෙක් එය පාලනය කළේ කානානීය රජවරුන් බව බයිබලයේ වාර්තා වෙනවා. (යෝෂු. 10:1; 2 සාමු. 5:4-9) සමහර විශාරදයන් ඒ ගැන සැක පළ කළා. නමුත් වර්ෂ 1887දී ඊජිප්තුවේ අමාර්නා නගරයේ ජීවත්වන කාන්තාවකට හමු වූ මැටි පුවරුවක් නිසා එම අදහස වෙනස් වුණා. එහි විවිධ ලිපි 380ක් පමණ තිබූ අතර විශාරදයන් ඒවා කියවා තේරුම්ගත්තා. ඉන් ඔවුන් වටහාගත්තේ ඊජිප්තුවේ පාලකයන් හා කානානීය රාජ්‍යයන් අතර දේශපාලනික සබඳතා පැවති බවයි. එමෙන්ම යෙරුසලෙම පාලනය කළ ආබ්ඩයි-හිබහ් යන පාලකයාගෙන් වූ ලිපි හයක්ද ඊට අයත්.

එක් පොතක සඳහන් වන්නේ, ‘එම ස්ත්‍රියට හමු වූ මැටි පුවරුවේ සඳහන් ආකාරයට යෙරුසලෙම එක් පුද්ගලයෙකුට අයත් ප්‍රදේශයක් නොව එය නගරයක් ලෙස දක්වා ඇති බවයි. එහි පාලකයා ලෙස ආබ්ඩයි-හිබහ්ව සඳහන් කර තිබෙන අතර ඊජිප්තු සොල්දාදුවන් 50 දෙනෙකුගෙන් යුත් හමුදා මුරපොළක් එහි තිබූ බවද සඳහන් වෙනවා. එයින් පැහැදිලි වන්නේ යෙරුසලෙම කියන්නේ කුඩා කඳුකර නගරයක් හෝ රාජ්‍යයක් බවයි. ඒ නිසා එම මැටි පුවරුවේ සඳහන් ලිපිවලින් ඔප්පු වන ආකාරයට යෙරුසලෙම කියන්නේ ඒ කාලයේ පැවති වැදගත් නගරයක් බවට කිසිම සැකයක් නැහැ.’

ඇසිරියාවෙන් හා බැබිලෝනියෙන් ලැබූ සාක්ෂි

ඇසිරියානුවන් හා පසුව බැබිලෝනිවරුන් ඔවුන්ගේ වාර්තා සටහන් කළේ සිලින්ඩරයක හැඩැති මැටි පුවරුවල හා ගලින් තැනූ ස්මාරක වැනි පුවරුවලයි. උල් හැඩැති සංකේතවලින් යුත් අක්කාඩියන් ලියවිලිවල සඳහන් පුද්ගලයන්ගේ නම් බයිබලයේද සඳහන්ව ඇති බව එම ලියවිලි කියවීමෙන් විශාරදයන් තේරුම්ගත්තා.

තවත් පොතක මෙසේ සඳහන් වෙනවා. ‘වර්ෂ 1870දී බයිබල් පුරාවිද්‍යා ආයතනයක් පිහිටෙවූ අතර ඒ අවස්ථාවේදී ඊජිප්තුවේ පුරාණ නගර ගවේෂණය පිළිබඳ විශාරදයකු වන සැමුවෙල් බර්ච් දේශනයක් ඉදිරිපත් කළා. එහිදී ඔහු පැහැදිලි කළේ උල් හැඩැති සංකේත යොදාගෙන ලියූ වාර්තාවල තිබී හෙබ්‍රෙව් රජවරු වන ඔම්රී, ආහබ්, යේහු, අෂරියා, මෙනහෙම්, පේකා, හෝෂෙයා, හෙසකියා සහ මනස්සේ යන අයගේ නම් සොයා ගත හැකි වූ බවයි. ඒ වගේම ඇසිරියානු රජවරු වන තුන්වන තිග්ලත්-පිලෙසෙර්, සර්ගොන්, සෙනකෙරීබ්, ඒසර්-හද්දොන්, අෂූර්බනිපල් සහ සිරියානු රජවරුන් වන බෙන්-හාදද්, හසායෙල් හා රෙශීන් යන අයගේ නම්ද එහි සඳහන්ව තිබුණු බවයි.’—The Bible in the British Museum.

බයිබලයේ සඳහන් ඊශ්‍රායෙල් සහ යුදා ඉතිහාසය සමඟ මැටි පුවරුවලින් සොයාගත් තොරතුරු සන්සන්දනය කරමින් එක් පොතක මෙසේ සඳහන් කර තිබුණා. ‘බයිබලයේ රාජාවලිය පොතේ සඳහන් රජවරුන් 15දෙනෙකු හෝ 16 දෙනෙකු පිළිබඳ විස්තර එම ලියවිලිවලින් සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඒ කාලයේ රජ කළා යයි කියන, බයිබලයේ සඳහන් නොවන වෙනත් රජ කෙනෙකුගේ නමක් ඔවුන්ට හමු වී නැහැ. තවදුරටත්, බයිබලයේ රාජාවලිය පොත්වල සඳහන් රජවරුන්ට අමතරව වෙනත් රජ කෙනෙකු ඒ කාලයේ රජ කළ බවට කිසිම සාක්ෂියක් ලැබී නැහැ.’

සයිරස් රජු බැබිලෝනියේ වහල්භාවයේ සිටි අයව නිදහස් කිරීමට නියෝගයක් නිකුත් කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (එස්රා 1:1-4) ඒ වුණත් 19වන සියවසේ සිටි බොහෝ විශාරදයන් බයිබලයේ සඳහන් එම නියෝගය ගැන සැක මතු කළා. නමුත් වර්ෂ 1879දී උල් හැඩැති සංකේත සහිත සිලින්ඩරාකාර මැටි ලියවිල්ලක් සොයාගත්තා. සයිරස් රජ විසින් ක්‍රි.පූ. 539දී බැබිලෝනිය යටත් කරගත්තායින් පසු එහි වහල්භාවයේ සිටි සියල්ලන්ටම නිදහස ලබා දීමට නියෝගයක් නිකුත් කළ බව එහි සඳහන්ව තිබුණා. ඉන් යුදෙව්වන්ටද නිදහස් වීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව සයිරස් රජු ගැන ලියැවුණ උල් හැඩැති සංකේත සහිත මැටි සිලින්ඩරය හා පර්සියානු පාලන කාලය ගැන ලියැවුණ මැටි පුවරුවලින් ඔප්පු වන්නේ බයිබලයේ සඳහන් වාර්තාව සත්‍යය බවයි.

වර්ෂ 1883දී බැබිලෝනියේ නගරයක් වන නිප්පූර්වල තිබී උල් හැඩැති සංකේත සහිත මැටි පුවරු 700 පමණ සොයා ගනු ලැබුවා. එහි සඳහන්ව තිබූ නම් 2500 අතරින් 70ක් පමණ නම් යුදෙව්වරුන්ගේයි. එහි ඔවුන්ව සඳහන් කර තිබෙන්නේ “කොන්ත්‍රාත්කරුවන්, නියෝජිතයන්, සාක්ෂිකරුවන්, බදු එකතු කරන්නන් හා රාජ්‍යය නිලධාරීන් හැටියටයි” කියා ඉතිහාසඥ එඩ්වින් යමව්චි පවසනවා. ඉන් ඔප්පු වන්නේ නැවතත් යෙරුසලමට ගියේ යුදෙව්වන්ගෙන් “කුඩා පිරිසක්” බවයි. වැඩිදෙනා බැබිලෝනිය ආශ්‍රිත ප්‍රදේශයේම නතර වී විවිධ කටයුතුවල නිරත වුණා. ඒ ගැන බයිබලයේ සඳහන්ව තිබූ අනාවැකිය සත්‍යය බවට එමගින් සාක්ෂි ලැබෙනවා.—යෙසා. 10:21, 22, නව ලොව පරිවර්තනය.

අප මෙතෙක් සලකා බැලූ ලෙස මිනිස් ඉතිහාසයේ පළමු අවුරුදු දහස තුළ උල් හැඩැති සංකේත හා වචනය ශබ්ද කරන ආකාරයෙන් ලිවීමේ ක්‍රමයද එක හා සමානව භාවිත කෙරුණා. නමුත් කල් යද්දී ඇසිරියානුවරුන් හා බැබිලෝනියවරුන් උල් හැඩැති සංකේත ක්‍රමය අත්හැර දමා වචන ශබ්ද කරන ආකාරයෙන් ලිවීමේ ක්‍රමයට හුරු වුණා.

තවමත් අධ්‍යයනය කිරීමට ඇති මෙවන් මැටි පුවරු සිය දහස් ගණනක් කෞතුකාගාරවල තැන්පත් කර තිබෙනවා. බයිබලය සත්‍යය තොරතුරු අඩංගු පොතක් යන කාරණය සනාථ කිරීමට විශාරදයන් දැනටමත් කියවා තේරුම්ගෙන ඇති ලියවිලි හොඳටම ප්‍රමාණවත්. එමෙන්ම අධ්‍යයනය කිරීමට නියමිත ඉතිරි මැටි පුවරුවලින්ද බයිබලයේ නිවැරදිභාවය ඔප්පු කළ හැකි අමතර තොරතුරු විශාල ප්‍රමාණයක් සොයා ගත හැකි බව නම් ස්ථිරයි.

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photograph taken by courtesy of the British Museum