Skip to content

පටුනට යන්න

සම්පූර්ණ සාක්ෂියක් දැරීමට අදිටන් කරගන්න

සම්පූර්ණ සාක්ෂියක් දැරීමට අදිටන් කරගන්න

සම්පූර්ණ සාක්ෂියක් දැරීමට අදිටන් කරගන්න

“ජනයාට දේශනා කරමින් සම්පූර්ණ සාක්ෂියක් දෙන ලෙසත් ඔහු අපට අණ කළේය.”—ක්‍රියා 10:42.

1. රැස්ව සිටි පිරිසට කතා කරද්දී පේතෘස් අවධාරණය කළේ කුමන පැවරුම ගැනද?

ඉතාලි ජාතික හමුදා නිලධාරියෙක් තම ඥාතීන් හා මිතුරන් සමඟ විශේෂ අවස්ථාවකට සූදානම් වී සිටියා. ඔහු නම් දේවගරුබිය ඇති පුද්ගලයෙකු වූ කොර්නේලියස්. එම අවස්ථාවේදී දෙවි මිනිසුන් සමඟ එතෙක් කටයුතු කළ ආකාරයේ විශාල වෙනසක් වීමට නියමිතව තිබුණා. එහි රැස්ව සිටි පිරිස අමතමින් පේතෘස් අවධාරණය කළේ ‘ජනයාට දේශනා කරමින් යේසුස් ගැන සම්පූර්ණ සාක්ෂියක් දෙන්න කියා’ තමන්ට අණ ලැබී ඇති බවයි. පේතෘස් මෙසේ සාක්ෂි දැරූ නිසා බොහෝ ප්‍රතිඵල ලැබුණා. අන්‍යජාතිකයන්ටත් දෙවිගේ බලය ලැබුණු අතර ඔවුන්ද බව්තීස්ම වුණා. එමෙන්ම යේසුස් සමඟ අනාගත රජවරුන් ලෙස සේවය කිරීමේ මහත් වරප්‍රසාදයද ඔවුන්ට විවෘත වුණා.—ක්‍රියා 10:22, 34-48.

2. සාක්ෂි දැරීමේ කාර්යය මුල් ගෝලයන් 12දෙනාට පමණක් සීමා නොවූ බව අප දන්නේ කෙසේද?

2 එම සිද්ධිය වුණේ ක්‍රිස්තු වර්ෂ 36දීයි. එනම් සාවුල්, පාවුල් බවට පත්වීමට අවුරුදු දෙකකට කලිනුයි. දිනක් සාවුල් දමස්කයට යමින් සිටියදී යේසුස් ඔහුට පෙනී මෙසේ පැවසුවා. “නුවරට ඇතුල් වන්න. ඔබ කළ යුතු දේ ඔබට කියනු ලබන්නේය.” පසුව යේසුස් තම අනුගාමිකයෙක් වූ අනනියස්ට පැවසුවේ තමාගේ නාමය ගැන සාක්ෂි දැරීම සඳහා සාවුල් නමැත්තාව “ජාතීන් වෙතටත් රජුන් වෙතටත් ඊශ්‍රායෙල් පුත්‍රයන් වෙතටත්” යැවීමට තෝරාගෙන ඇති බවයි. (ක්‍රියා 9:3-6, 13-20 කියවන්න.) ඉන්පසු අනනියස්, සාවුල්ව හමු වී මෙසේ පැවසුවා. ‘අපේ මුතුන්මිත්තන්ගේ දෙවි ඔබව සියලු මිනිසුන්ට ඔහුගේ සාක්ෂිකරුවෙකු වීමට තෝරාගෙන තිබේ.’ (ක්‍රියා 22:12-16) ඉන් පැහැදිලි වන්නේ සාක්ෂි දැරීමේ කාර්යය යේසුස්ගේ මුල් ගෝලයන් 12දෙනාට පමණක් සීමා නොවූ බවයි. පාවුල් එම පැවරුම මොන තරම් වගකීමකින් යුතුව ඉටු කළාද කියා දැන් අපි බලමු.

ඔහු සම්පූර්ණ සාක්ෂියක් දැරුවා!

3. (අ) දැන් අප අවධානය යොමු කරන්නේ කුමකටද? (ආ) පාවුල්ගේ පණිවිඩයට එෆීසයේ වැඩිමහල්ලන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? එමෙන්ම එය අපට ආදර්ශයක් වන්නේ කෙසේද?

3 යේසුස්ගේ අනුගාමිකයෙක් වීමෙන් පසු පාවුල් කළ සේවය ගැන හොඳින් අධ්‍යයනය කිරීමෙන් අපටත් දිරිගැන්වීමක් ලැබිය හැකියි. පාවුල් තම තුන්වන මිෂනාරි ගමන අවසානයේදී එනම් ක්‍රි.ව. 56දී ඔහු පැවසූ දේවල්වලට දැන් අපි අවධානය දෙමු. එය වාර්තා කර තිබෙන්නේ ක්‍රියා 20වන පරිච්ඡේදයේයි. ඔහු ඒ වන විට මිලේටස් වරායට පැමිණ සිටියා. එහි සිට කිලෝමීටර් 50ක් පමණ දුරකින් පිහිටා තිබූ එෆීස සභාවේ වැඩිමහල්ලන්ට තමාව හමුවීමට පැමිණෙන ලෙස ඔහු පණිවිඩයක් යවා තිබුණා. ඔවුන් පැමිණිය යුතු ගමන් මාර්ගය වංගු සහිත දුෂ්කර එකක් වුණා. ඒ වුණත් පාවුල්ගේ පණිවිඩය අසා ඔවුන් මොන තරම් සතුටු වන්න ඇද්ද! (හිතෝපදේශ 10:28 බලන්න.) ඒ ගමන සඳහා ඔවුන්ට බොහෝ දේ සැලසුම් කරන්න සිදු වුණා. ඒ අතරට තම රැකියාවෙන් කෙටි නිවාඩුවක් ගන්න හෝ තම ව්‍යාපාර කටයුතු ටික දවසකට නතර කරන්න සමහරුන්ට සිදු වූවා විය හැකියි. ඔව්, ඔවුන් හා සමානව අද සිටින බොහෝ ක්‍රිස්තියානීන්ද තමන්ට කොතරම් වැඩ තිබුණත් දිස්ත්‍රික් සමුළුවේ එක් සැසිවාරයක්වත් අත පසු නොවන ලෙස තම වැඩ කටයුතු සැලසුම් කරගන්නවා.

4. පාවුල් එෆීසයේ ගත කළ කාලයේදී ඔහු කරමින් සිටියේ කුමක්ද?

4 එම වැඩිමහල්ලන් එන තෙක් දින තුනක් හෝ හතරක් පාවුල්ට බලා සිටින්න සිදු වුණා. ඒ කාලය තුළ ඔහු මිලේටසයේ කුමක් කරන්න ඇද්ද? ඔබට එසේ බලා සිටීමට සිදු වූවා නම් ඔබ කරන්නේ කුමක්ද? (ක්‍රියා 17:16, 17 බලන්න.) තමා ඒ කාලය තුළ හැකි උපරිමයෙන් සාක්ෂි දැරූ බව පාවුල් වැඩිමහල්ලන්ට පැවසුවා. ඔහු මීට කලින් වතාවේදී එෆීසයේ සිටි කාලය ඇතුළු පසු ගිය අවුරුදු ගණනාව පුරාම ඔහු සාක්ෂි දැරීමට පුරුදුව සිටියා. (ක්‍රියා 20:18-21 කියවන්න.) එමෙන්ම නොබියව ඔවුන්ට මෙවැනි දෙයක් පවසන්නත් ඔහුට හැකි වුණා. ‘මා ආසියා ප්‍රදේශයට පා තැබූ පළමු දින පටන් සම්පූර්ණයෙන් සාක්ෂි දැරුවෙමි.’ යේසුස්ගෙන් ලැබූ පැවරුම සම්පූර්ණයෙන් ඉටු කිරීමට ඔහු දැඩි අධිෂ්ඨානයක් ගෙන තිබුණා. ඔහු එෆීසයේදී එය කළ එක් ක්‍රමයක් වුණේ යුදෙව්වන් වැඩි පිරිසක් ගැවසෙන තැන්වලට ගොස් සාක්ෂි දැරීමයි. ලූක් පවසන්නේ ක්‍රි.ව. 52-55 දක්වා කාලයේදී පාවුල් එෆීසයේ සිටින විට ‘සිනගෝගයට ඇතුල් වී කතා ඉදිරිපත් කරමින් හා ඒත්තුගන්වනසුලු තර්ක යොදාගනිමින්’ ඉගැන්වූ බවයි. නමුත් යුදෙව්වන්ගෙන් ‘සමහරුන් මුරණ්ඩු වී විශ්වාස නොකළ’ විට පාවුල් ඔවුන්ගෙන් වෙන් වී එම විශාල නගරයේ සිටි අනෙකුත් යුදෙව්වන් හා ග්‍රීකයන්ට සාක්ෂි දරන්න පටන්ගත්තා.—ක්‍රියා 19:1, 8, 9.

5, 6. පාවුල් ගෙයින් ගෙට ගොස් ඉගැන්නුවේ ඇදහිලිවන්තයන් නොවන අයට බව අප දන්නේ කෙසේද?

5 මිලේටසයේදී පාවුල් සාක්ෂි දැරූ සමහරුන් ඇදහිලිවන්තයන් වී වැඩිමහල්ලන් ලෙසද සේවය කරන්න පටන්ගත්තා. මේ අවස්ථාවේදී එම වැඩිමහල්ලන්ට පාවුල් මෙසේ පැවසුවා. “ඔබට ප්‍රයෝජනවත් වන සියල්ල පැවසීමෙන්වත් ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස් ඔබට ඉගැන්වීමෙන්වත් මම වැළකී නොසිටියෙමි.” එම වචනවලට අනුව අද සිටින සමහරුන් පවසන්නේ පාවුල් ගෙයින් ගෙට ගියේ, ඒ වන විටත් ක්‍රිස්තියානීන් වී සිටි අයව දිරිගැන්වීම සඳහා බවයි. නමුත් එය එසේ නොවෙයි. ‘ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස්’ යන ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඔහු ගෙයින් ගෙට ගියේ නොඇදහිලිකරුවන්ට ඉගැන්වීමට හා ශුභාරංචිය ප්‍රකාශ කිරීමට බවයි. “දෙවි ඉදිරියෙහි පසුතැවිලි වීම ගැනත් අපේ ස්වාමීන් වන යේසුස් කෙරෙහි වූ ඇදහිල්ල ගැනත් යුදෙව්වරුන් සහ ග්‍රීකවරුන් යන දෙපිරිසටම” ඔහු සාක්ෂි දැරුවා. ඉන් පැහැදිලි වන්නේද ඔහු ශුභාරංචිය ප්‍රකාශ කළේ හා ඉගැන්නුවේ ඇදහිලිවන්තයන් නොවූ අයට බවයි.—ක්‍රියා 20:20, 21.

6 ග්‍රීක ශුද්ධ ලියවිලි හොඳින් අධ්‍යයන කළ බයිබල් විශාරදයෙක් ක්‍රියා 20:20වන පදය සම්බන්ධව තම අදහස් පළ කළේ මෙසේයි. “පාවුල් එෆීසයේ නතර වී සිටි අවුරුදු තුන ඇතුළත එහි සෑම නිවසකටම ශුභාරංචිය ගෙන ගියා. නැත්නම් අඩුම තරමින් එහි සිටි සෑම කෙනෙකුටම සාක්ෂි දරා තිබුණා. (26වන පදය) මෙසේ ඔහු ගෙයින් ගෙට හා ප්‍රසිද්ධියේ සාක්ෂි දැරූ බවට බයිබලයේ සාක්ෂි සපයනවා.” ක්‍රියා 20:20හි පාවුල් පැවසූ දෙයින් ඔහුට අවශ්‍ය වුණේ එෆීසයේ වැඩිමහල්ලන් විසින් තමා සාක්ෂි දැරූ ආකාරය ගැනත් ඉන් ලැබූ ප්‍රතිඵල ගැනත් හොඳින් සිතා බලනවාටයි. පාවුල් කළ සේවය ගැන ලූක් මෙසේ වාර්තා කළා. “ආසියා ප්‍රදේශයේ විසූ සියල්ලෝ, එනම් යුදෙව්වරු සහ ග්‍රීකවරු ස්වාමීන්ගේ වචනය ඇසුවෝය.” (ක්‍රියා 19:10) ආසියාවේ සිටි “සියල්ලෝ” ශුභාරංචියට ඇහුම්කන් දුන්නේ කෙසේද? ඉන් අද අප කරන සේවය ගැන කියා පාන්නේ කුමක්ද?

7. පාවුල් විසින්ම දේශනා කළ අයට අමතරව එය තවත් අයට අසන්න ලැබුණේ කෙසේද?

7 පාවුල් එෆීසයේ ප්‍රසිද්ධ ස්ථානවල හා ගෙයින් ගෙට ගොස් කළ සේවයේදී බොහෝදෙනෙක් ඔහුට සවන් දුන්නා. එම ජනයා ව්‍යාපාරික කටයුතු සඳහා හෝ කාර්යබහුල ජීවිතයෙන් විවේකයක් ගැනීම සඳහා හෝ තම ඥාතීන්ව හමුවීම සඳහා වෙනත් ප්‍රදේශවලට යන්න ඇති. එවිට ඔවුන් පාවුල්ගෙන් ඇසූ ශුභාරංචිය ඔවුන් ගිය ඒ ප්‍රදේශවල අය සමඟ කතා කළා කියා සිතන්න පුළුවන්. අනෙක් අතට එෆීසය වෙළඳ නගරයක් වූ නිසා බොහෝදෙනෙක් විනෝදය, ව්‍යාපාරික කටයුතු වැනි තවත් දේවල් සඳහා එහි පැමිණියා. පාවුල් ප්‍රකාශ කළ ශුභාරංචියට ඇහුම්කන් දීමට ඔවුන්ටද අවස්ථාව ලැබුණා. මෙසේ ඇදහිලිවන්තයන් වූ සමහරුන් නැවතත් තම ප්‍රදේශවලට ගිය අතර එහි ශුභාරංචිය ප්‍රකාශ කළා. තවත් අය ඇදහිලිවන්තයන් නොවුණත් තමන්ට ඇසුණු දේවල් තම ප්‍රදේශයේ අයට පවසන්න ඇති. මෙසේ ඔවුන්ගෙන් ශුභාරංචිය ඇසූ බොහෝ ඥාතීන්, අසල්වාසීන් හා ගනුදෙනුකරුවන් වැනි අයගෙන් සමහරුන් ඇදහිලිවන්තයන් වූ බව සිතිය හැකියි. (මාක් 5:14 බලන්න.) අප ජනයාට ශුභාරංචිය ප්‍රකාශ කළාට පසු ඉන් ඇති වන ප්‍රතිඵල ගැන එයින් අපට උගන්වන්නේ කුමක්ද?

8. ආසියා දිස්ත්‍රික්කය පුරා ශුභාරංචිය පැතිර යන්න ඇත්තේ කෙසේද?

8 තමන් එෆීසයේ කලින් කළ සංචාරය ගැන සඳහන් කරමින් පාවුල් පැවසුවේ ඔහුට ‘ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක් විවෘතව’ තිබූ බවයි. එය ඔහුට විවෘත වූ ආකාරය දැන් අපි බලමු. (1 කොරි. 16:8, 9) පාවුල් කොලොස්සිය, ලවොදිසීය හා හියරපොලිසිය යන ප්‍රදේශවලට ගොස් තිබුණේ නැතත් ඔහු එෆීසයේදී කළ සේවයේ ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රදේශවලටත් ශුභාරංචිය ව්‍යාප්ත වුණා. පාවුල් සඳහන් කරන ක්‍රිස්තියානියෙකු වූ එපෆ්‍රස්, එම ප්‍රදේශයන්ගෙන් පැමිණි කෙනෙක්. (කොලො. 2:1; 4:12, 13) නමුත් ඔහු ඇදහිලිවන්තයෙක් බවට පත් වුණේ පාවුල් දැරූ සාක්ෂියේ ප්‍රතිඵලයක් නිසාද නැද්ද කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. නමුත් ඔහු තමා පැමිණි ප්‍රදේශයේ පාවුල්ව නියෝජනය කරමින් ශුභාරංචිය ප්‍රකාශ කළා විය හැකියි. (කොලො. 1:7) එමෙන්ම පාවුල් එෆීසයේ සාක්ෂි දරමින් සිටි කාලයේදී ශුභාරංචිය ෆිලදෙල්ෆියාව, සර්දිස් හා තියතීරාව යන නගරවලටද ව්‍යාප්ත වූවා විය හැකියි.

9. (අ) පාවුල් ඉතා වටිනා දෙයක් ලෙස සැලකුවේ කුමක්ද? (ආ) වර්ෂ 2009ට නියමිත වාර්ෂික පදය කුමක්ද?

9 ඒ අනුව පාවුල්ගේ මෙම වචන පිළිගන්න එෆීසයේ වැඩිමහල්ලන්ට හොඳ හේතු තිබුණා. “මට මාගේ දිවීමද දෙවිගේ මහත් කරුණාවේ ශුභාරංචිය ගැන සම්පූර්ණයෙන් සාක්ෂි දැරීමට ස්වාමීන් වන යේසුස්ගෙන් මට ලැබුණු දේවසේවයද නිම කිරීම සඳහා මිස මාගේ ජීවිතය වෙන කිසිවක් සඳහා වටින්නේ නැතැයි සලකමි.” වර්ෂ 2009ට අදාළ වාර්ෂික පදය රැගෙන තිබෙන්නේ පාවුල් පැවසූ එම වචනවලිනුයි. එය නම් ‘ශුභාරංචිය ගැන හොඳ සාක්ෂියක් දෙන්න’ යන්නයි. ඒවා මොන තරම් දිරිගන්වන හා ක්‍රියාවට පොලඹවන වචනද!—ක්‍රියා 20:24

සම්පූර්ණ සාක්ෂියක් දරන්න

10. සම්පූර්ණ සාක්ෂියක් දරන්න යන ආඥාව සියලුම ක්‍රිස්තියානීන්ට අදාළ වන බව අප දන්නේ කෙසේද?

10 “ජනයාට දේශනා කරමින් සම්පූර්ණ සාක්ෂියක්” දරන්න යන ආඥාව යේසුස්ගේ මුල් ගෝලයන්ට අමතරව අනෙක් අයටද අදාළයි. යේසුස් නැවත නැඟිටීමෙන් පසු ගලීලයේ රැස්ව සිටි 500ක් පමණ තම අනුගාමිකයන්ට පැවසූ මේ දෙයින් ඒ බව පැහැදිලියි. “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.” යේසුස් ඊළඟට පැවසුවේ “බලන්න! සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි” කියායි. (මතෙ. 28:19, 20) ඉන් පැහැදිලි වන්නේ එදා සිට අවසානය පැමිණෙන තෙක් සිටින සියලුම ක්‍රිස්තියානීන්ට එම ආඥාව අදාළ බවයි.

11. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රසිද්ධ වී සිටින්නේ කුමන වැදගත් කාර්යයක් වෙනුවෙන්ද?

11 “දේශනා කරමින් සම්පූර්ණ සාක්ෂියක්” දරන්න යන ආඥාව අද සිටින ක්‍රිස්තියානීන්ද උද්‍යෝගයෙන් පිළිපදිනවා. ඒ සඳහා ඔවුන් යොදාගන්නා ප්‍රධාන ක්‍රමය වන්නේ ගෙයින් ගෙට ගොස් සාක්ෂි දැරීමයි. වර්ෂ 2007දී මිෂනාරිවරුන් පිළිබඳ ලියු පොතක කතෘවරයෙක් වූ ඩේවිඩ් ජී. ස්ටුවර්ට් මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තම සාමාජිකයන්ට ඔවුන්ගේ ඇදහිල්ල අන් අය සමඟ බෙදාගැනීමට උගන්වන ආකාරය ඉතා බලපෑමෙන් යුක්තයි. එය අනෙකුත් ආගම්වල සිටින පූජකයන් වේදිකා මත සිටිමින් තම සමාජිකයන්ට කරන දේශනවලට වඩා ප්‍රබලයි.” නැගෙනහිර යුරෝපයේ ඔහු සමීක්ෂණයක් කළ අතර ඒ සඳහා යොදාගත් පුද්ගලයන්ගෙන් සියයට 70ක්ම පැවසුවේ, තමන්ව පෞද්ගලිකව මුණ ගැසීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පැමිණ ඇති බවයි. ඒ අයගෙන් සමහරුන්ව කිහිප වතාවක්ම එසේ හමුවීමට පැමිණ තිබෙනවා. නමුත් වෙනත් ආගමික කණ්ඩායමක්ද තමන්ව හමුවීමට පැමිණි බව පැවසුවේ ඔවුන්ගෙන් සියයට හතරක් පමණයි.

12. (අ) අපගේ ප්‍රදේශයේ සිටින ජනයාව හමුවීමට අප “කිහිප වතාවක්” යෑමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? (ආ) කිහිප වතාවක් සාක්ෂි දරා තිබූ නමුත් ඊළඟ අවස්ථාවේදී සාර්ථක ප්‍රතිඵල ලබා ඇති උදාහරණයක් ගැන සඳහන් කරන්න.

12 ඔබ ජීවත් වන ප්‍රදේශයෙත් එය සත්‍යයක් වී ඇති. ඒ සඳහා ඔබද දායක වී ඇති බව නිසැකයි. ඔබ නිවෙස්වලට යද්දී පුරුෂයන්, ස්ත්‍රීන් හා යෞවනයන්ව ඔබට “පෞද්ගලිකව මුණ ගැසී” ඇති. සමහරවිට ඔබ “කිහිප වතාවක්” එසේ ඔවුන්ව මුණගැසී තිබුණත් ඔවුන් ඔබට ඇහුම්කන් නොදුන්නා විය හැකියි. ඔබ බයිබලයේ යම් අදහසක් පැහැදිලි කරන විට තවත් සමහරුන් ටික වේලාවකට හෝ ඔබට ඇහුම්කන් දෙන්න ඇති. ඒ වගේම තවත් අය හොඳින් ඇහුම්කන් දුන් නිසා ඔවුන්ට කදිම සාක්ෂියක් දරන්න ඔබට අවස්ථාව ලැබුණා විය හැකියි. ඔබ “දේශනා කරමින් සම්පූර්ණ සාක්ෂියක්” දරන විට මේවා ඔබ පොදුවේ මුහුණ දෙන තත්වයන්. “කිහිප වතාවක්” ශුභාරංචිය අසා ඇති නමුත් ඊට වැඩි උනන්දුවක් නොදැක්වූ කෙනෙකු ඊළඟ වතාවේදී වඩා උනන්දුවෙන් සවන් දී ඇති අවස්ථාවන් ගැන ඔබ දන්නවා ඇති. ඊට හේතු වෙන්න ඇත්තේ කුමක්ද? එම තැනැත්තා හෝ ඔහු ප්‍රේම කරන කෙනෙකු යම් කරදරයකට මුහුණ දී තිබීම විය හැකියි. මෙසේ ශුභාරංචිය පිළිගත් ඔවුන් සමහරවිට දැන් අපගේ සහෝදර සහෝදරියන් බවට පත් වී ඇති. එමනිසා ඔබ දේවසේවයේ යෙදෙන විට උනන්දුව දක්වන අයව හමු නොවුණා කියා අධෛර්ය වන්න එපා. සියලුමදෙනා දෙවිගේ නමස්කාරකයන් වෙයි කියා අපට අපේක්ෂා කළ නොහැකියි. නමුත් දෙවි බලාපොරොත්තු වන්නේ අප උද්‍යෝගයෙන් යුතුව ජනයාට සම්පූර්ණ සාක්ෂියක් ලබා දීමයි.

ලැබෙන ප්‍රතිඵල අප නොදන්නවා විය හැකියි

13. අපගේ සාක්ෂි දැරීම නිසා ලැබිය හැකි තවත් ප්‍රතිඵල මොනවාද?

13 පාවුල් සාක්ෂි දැරීම නිසා බොහෝදෙනෙක් ඇදහිලිවන්තයන් බවට පත් වුණා. එමෙන්ම ඒ අය විසින් හා පාවුල්ගේ දේශනාව ඇසූ තවත් අය විසින් එම පණිවිඩය අන් අය වෙත රැගෙන ගිය අතර එමගින් එය ඇසූ තවත් අයද ඇදහිලිවන්තයන් බවට පත් වුණා. පාවුල් කළ දේශනා සේවයේ ප්‍රතිඵලවලට මේ සියල්ල ඇතුළත්. අප කරන සේවය සම්බන්ධයෙනුත් එය සැබෑවක්. ඒ නිසා අපත් හැකිතාක් පිරිසකට ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට වීර්යය කරමු. අපට හමුවන සියල්ලන්ට එනම් අසල්වාසීන්ට, රැකියා ස්ථානයේ සේවකයන්ට, පාසැලේ ශිෂ්‍යයන්ට හා නෑදෑයන්ට අප සාක්ෂි දරනවා. නමුත් ඉන් ලැබෙන සියලුම ප්‍රතිඵල අප දන්නේ නැහැ. සමහරුන් ඉක්මනින්ම සත්‍යය ඉගෙනගන්න පුළුවන්. තවත් අය තුළ එම පණිවිඩය නමැති බීජය මුල් අදින්නේ කාලයකට පසුව විය හැකියි. එසේ නොවුණත් ඔවුන් අපගෙන් ඇසූ පණිවිඩය ගැන, අපගේ විශ්වාසයන් හා හැසිරීම ගැන තවත් අය සමඟ කතා කරන්න ඉඩ තිබෙනවා. ඒ මාර්ගයෙන් ඔවුන් නොදැනුවත්වම වෙනත් කෙනෙකුට සාක්ෂි දරන අතර ඒ අයද ඇදහිලිවන්තයන් බවට පත්වීමට ඉඩ තිබෙනවා.

14, 15. එක් සහෝදරයෙක් සාක්ෂි දැරීම නිසා අත් වූ ප්‍රතිඵලය කුමක්ද?

14 මේ අද්දැකීම සලකා බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන රයන් හා මැන්ඩි නමැති යුවළ ජීවත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේයි. රයන් තම රැකියා ස්ථානයේ සේවකයෙකුට සාක්ෂි දැරුවා. ඔහු හින්දු භක්තිකයෙක්. රයන් ඇඳ පැළඳ සිටි ආකාරය හා ඔහුගේ හැසිරීම මේ තැනැත්තාගේ සිත් ගත්තා. රයන් ඔහු සමඟ නැවත නැඟිටීම හා මළවුන්ගේ තත්වය ගැන සාකච්ඡා කර තිබුණා. ඒ නිසා දිනක් ඔහු තම භාර්යාව වන ජෝදිගෙන් ඇසුවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඇය දන්නේ මොනවාද කියා. ඇය දැන සිටියේ ඔවුන් “ගෙයින් ගෙට ගොස් දේශනා කරන” පිරිසක් කියා පමණයි. ඔවුන් ගැන තවදුරටත් සොයා බැලීම සඳහා ඇය අන්තර්ජාලයෙන් “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” ගැන සොයන්න පටන්ගත්තා. එවිට අපගේ සංවිධානයේ වෙබ් අඩවිය ඇයට හමු වූ අතර ඒ මාර්ගයෙන් ඇය මාස තුනක් පුරා බයිබලය හා අපගේ වෙනත් ප්‍රකාශන කියෙව්වා.

15 යම් කලකට පසු ජෝදිට, මැන්ඩිව මුණ ගැසුණා. මේ දෙදෙනාම සාත්තු සේවිකාවන්. ජෝදිට තිබූ ප්‍රශ්නවලට මැන්ඩි පිළිතුරු ලබා දුන්නා. ඔවුන් අතර සිදු වූ සාකච්ඡාව පසුව ජෝදි හැඳින්වූයේ “ආදම්ගේ සිට අර්මගෙදොන් දක්වා” කියායි. ජෝදි බයිබල් පාඩමක් කරන්නත් කැමති වූ අතර වැඩි කල් නොගොස් රැස්වීම්වලටත් සහභාගි වෙන්න පටන්ගත්තා. එමෙන්ම ඔක්තෝබර් මාසයේදී ඇය බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු බවට පත් වූ අතර ඊළඟ අවුරුද්දේ පෙබරවාරි මාසයේදී දෙවිට කැප වී බව්තීස්ම වුණා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “සත්‍යය මොකක්ද කියලා දැන් මම දන්නවා. ඒ නිසා මම ඉන්නේ හරිම සතුටින්.”

16. එක් සහෝදරයෙක් “සම්පූර්ණ සාක්ෂියක්” දැරීම නිසා ඇති වූ ප්‍රතිඵලයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

16 රයන් දේශනා කළේ එක්කෙනෙකුට, නමුත් දෙවිට කැප වී බව්තීස්ම වුණේ වෙනත් කෙනෙක්! එවැනි දෙයක් සිදු වෙයි කියා ඔහු සිතුවේ නැහැ. ඒ වුණත් “සම්පූර්ණ සාක්ෂියක්” දරන්න ඔහු ගත් වෑයමේ ප්‍රතිඵල මොන තරම්ද කියා ඔහු වටහාගත්තා. ඔහු මෙන් ඔබත් ගෙයින් ගෙට, රැකියා ස්ථානයේ, පාසැලේ හෝ වෙනත් ඕනෑම අවස්ථාවක සාක්ෂි දරන විට ඔබට සවන් දෙන්නන් මාර්ගයෙන් තවත් බොහෝදෙනෙකුට ශුභාරංචිය ලැබීම සඳහා අවස්ථාවන් උදා විය හැකියි. පාවුල් කළ සේවය නිසා “ආසියා ප්‍රදේශයේ” ඇති වූ සියලුම ප්‍රතිඵල පාවුල් දැන සිටියේ නැහැ. එලෙසම ඔබත් සම්පූර්ණ සාක්ෂියක් දරද්දී ඉන් ලැබෙන සියලුම ප්‍රතිඵල ඔබ නොදන්නවා විය හැකියි. (ක්‍රියා 23:11; 28:23 කියවන්න.) ඒ වුණත් දිගටම සාක්ෂි දැරීම මොන තරම් ප්‍රයෝජනදායකද!

17. ඔබගේ අධිෂ්ඨානය වන්නේ 2009 වර්ෂය තුළදී කුමක් කිරීමටද?

17 අපි ගෙයින් ගෙට හා අවිධිමත්ව ශුභාරංචිය ප්‍රකාශ කරමින් සම්පූර්ණ සාක්ෂියක් දරන්න කියා යේසුස් දුන් අණ ඉටු කරමු. ඒ සඳහා 2009 වසර තුළදී අපි අඛණ්ඩ උත්සාහයක් දරමු. එසේ කළොත් පාවුල් මෙන් අපටත් මෙසේ කිව හැකියි. “මට වැදගත් වන්නේ මගේ ජීවිතය නොවෙයි. මගේ එකම ආශාව නම් අවසානය දක්වා මා යා යුතු ගමනත් ස්වාමීන් වන යේසුස්ගෙන් මට ලැබුණු පැවරුමත් සාර්ථකව නිම කිරීමයි. ඒ පැවරුම නම් දෙවිගේ මහත් කරුණාව පිළිබඳ ශුභාරංචිය ගැන හොඳ සාක්ෂියක් දීමයි.”

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• පේතෘස්, පාවුල් හා අනෙකුත් අය සම්පූර්ණ සාක්ෂියක් දැරුවේ කෙසේද?

• අප සාක්ෂි දරන විටදී ඉන් ලැබෙන ප්‍රතිඵල අප බලාපොරොත්තු වෙනවාටත් වඩා වැඩි විය හැක්කේ කෙසේද?

• වර්ෂ 2009ට අදාළ වාර්ෂික පදය කුමක්ද? එය ඉතා යෝග්‍ය එකක් වීමට හේතුව කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වර්ෂ 2009 සඳහා වාර්ෂික පදය වන්නේ මෙයයි. ‘ශුභාරංචිය ගැන හොඳ සාක්ෂියක් දෙන්න.’—ක්‍රියා 20:24.

[17වන පිටුවේ පින්තූරය]

පාවුල් නොකඩවා ගෙයින් ගෙට යමින් සාක්ෂි දැරූ බව එෆීසයේ වැඩිමහල්ලන් හොඳින් දැන සිටියා

[18වන පිටුවේ පින්තූරය]

ඔබ සම්පූර්ණ සාක්ෂියක් දරද්දී ඉන් මොන තරම් ප්‍රතිඵල අත් විය හැකිද?