Skip to content

පටුනට යන්න

එහි ප්‍රීතිය ඔබත් අද්දකින්න

එහි ප්‍රීතිය ඔබත් අද්දකින්න

එහි ප්‍රීතිය ඔබත් අද්දකින්න

“ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න.”—මතෙ. 28:19.

1-3. (අ) බයිබල් පාඩම් පැවැත්වීම ගැන සමහරුන්ට හැඟෙන්නේ කෙසේද? (ආ) දැන් අපි සලකා බලන්නේ කුමන ප්‍රශ්නද?

“මම මේ වෙද්දී පකිස්තානයෙන් ආපු පවුලක් එක්ක බයිබල් පාඩමක් කරනවා. දැන් ඒක පටන්අරන් සති 11ක් විතර වෙනවා.” එසේ පැවසුවේ ඇමරිකාවේ හින්දි භාෂාව කතා කරන කණ්ඩායමක සේවය කරන සහෝදරියක්. ඇය තවදුරටත් මෙහෙම කියනවා. “ඇත්තටම කියනවා නම් ඒ අය මාත් එක්ක ගොඩාක් කිට්ටු වුණා. ඒ වුණත් ඒ ගොල්ලෝ ආයෙත් පකිස්තානයට යනවා කියලා මතක් වෙද්දී මට හරිම දුකයි. එයාලා වෙන්වෙලා යන එක ගැන වගේම යෙහෝවා දෙවි ගැන ඒ අයට උගන්වද්දී මම ලබපු ප්‍රීතිය ගැන මතක් වෙද්දීත් මගේ ඇස්වලට කඳුළු එනවා.”

2 ඔබත් බයිබල් පාඩමක් පැවැත්වීමේ ප්‍රීතිය අද්දැක තිබෙනවාද? මුල් ගෝලයන්ද යේසුස්ගේ අනුගාමිකයන් වීමට අන් අයට උපකාර කිරීමෙන් ප්‍රීතිය ලැබුවා. එම සේවය සඳහා යේසුස් විසින් පුහුණු කර යැවූ 70දෙනා නැවත ඇවිත් තමන් ලැබූ ප්‍රතිඵල ගැන ප්‍රීතියෙන් පවසද්දී දෙවිගේ බලය යේසුස් තුළ ප්‍රබල ලෙස ක්‍රියාත්මක වූ නිසා ඔහුද “අතිශයින් ප්‍රීතිමත්” වුණා. (ලූක් 10:17-21) ඒ හා සමාන ප්‍රීතියක් අද දිනත් බොහෝදෙනෙක් අද්දකිමින් සිටිනවා. උදාහරණයකට 2007 වසරේදී පමණක් උද්‍යෝගිමත් ප්‍රචාරකයන් ප්‍රීතියෙන් කළ සේවය නිසා සෑම මසකම බයිබල් පාඩම් 65,00,000ක් පමණ පවත්වා තිබෙනවා.

3 සමහර ප්‍රචාරකයන්ට තවමත් බයිබල් පාඩමක් පැවැත්වීමේ ප්‍රීතිය අද්දකින්න ලැබී නැහැ. ඒ වගේම තවත් අයට මෑත කාලයේදී ඒ සඳහා අවස්ථාවක් ලැබී නැතුව ඇති. බයිබල් පාඩමක් ආරම්භ කිරීමේදී මුහුණ දෙන අභියෝග මොනවාද? ඒවා ජයගත හැක්කේ කෙසේද? එමෙන්ම “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” යන යේසුස්ගේ ආඥාවට කීකරු වීම සඳහා අපට හැකි සියල්ල කිරීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද? (මතෙ. 28:19) මෙම ප්‍රශ්නවලට පිළිතුරු දැන් අපි සලකා බලමු.

අපගේ ප්‍රීතිය සොරාගන්නා දේවල්

4, 5. (අ) ලෝකයේ සමහර ප්‍රදේශවල ජනයා ශුභාරංචියට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (ආ) සමහර ප්‍රදේශවල සිටින ප්‍රචාරකයන් මුහුණ දෙන අභියෝග මොනවාද?

4 ලෝකයේ බොහෝ ප්‍රදේශවල ජනයා අපගේ පොත්පත් කියවීමටත් බයිබලය අධ්‍යයනය කිරීමටත් විශාල උනන්දුවක් දක්වනවා. ඕස්ට්‍රේලියාවෙන් පැමිණ සැම්බියාවේ සේවය කරන යුවළක් තම අද්දැකීම මෙසේ විස්තර කළා. “සැම්බියාව ගැන කියන කතාව නම් ඇත්තම තමයි. ඒක දේශනා කරන්න කියාපු තැන! වීදි සේවයේ හවුල් වෙද්දී අපිට පුදුම හිතුණා. සමහර අය සඟරා ඉල්ලගෙන අපි ළඟට එනවා. ඒ විතරක් නෙවෙයි, අවශ්‍ය මොන මාසේ සඟරාවද කියලත් ඒ අය අපිට කියනවා.” පසුගිය වසරකදී එහි සිටින සාක්ෂිකරුවන් බයිබල් පාඩම් 2,00,000කට වඩා පවත්වා තිබෙනවා. එම සංඛ්‍යාව එහි සිටින ප්‍රචාරකයන්ගේ ගණනටත් වඩා වැඩියි.

5 නමුත් සමහර ප්‍රදේශවල අපගේ පොත්පත් බෙදා හැරීම හා බයිබල් පාඩම් ආරම්භ කිරීම අභියෝගයක් වී තිබෙනවා. ඒ ඇයි? ප්‍රචාරකයන් සේවයේ යෙදෙන විට ජනයා ඔවුන්ගේ නිවෙස්වල නොසිටීම හෝ ආගම ගැන එතරම් උනන්දුවක් නොදැක්වීමයි. සමහර අය හැදී වැඩී තිබෙන්නේ ආගමක් ගැන විශ්වාසයක් නැති නිවෙස්වලයි. තවත් අයට ආගම් තික්ත වී තිබෙනවා. ඊට හේතුව, එහි සිටින්නන්ගේ කුහකකම් හෝ ආගම් මගින් ඔවුන්ට දරුණු හිරිහැරවලට මුහුණ දීමට සිදු වීම විය හැකියි. (මතෙ. 9:36) එවැනි අය ආගම නමැති විෂය ගැන කතා කිරීමට පවා අකමැති හේතුව අපට පැහැදිලියි.

6. සමහර ප්‍රචාරකයන් මුහුණ දෙන අභියෝග මොනවාද?

6 සමහර ප්‍රචාරකයන්ගේ ප්‍රීතිය අහිමි වීමට හේතු වන්නේ මොනවාද? ඔවුන් මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වීමට උපකාර කිරීමෙහි උද්‍යෝගයෙන් හවුල් වී තිබුණත් දුර්වල සෞඛ්‍යය හෝ මහලු වයස නිසා දැන් එසේ කිරීම ඔවුන්ට අභියෝගයක් වී තිබෙනවා. තවත් අයට අභියෝගයක් වී තිබෙන්නේ ඔවුන්ට තිබෙන සමහර ආකල්පයි. උදාහරණයකට ‘මම බයිබල් පාඩමක් පවත්වන්න තරම් දක්ෂ කෙනෙක් නොවෙයි’ කියා ඔවුන්ට සිතෙනවා විය හැකියි. දෙවි දුන් පැවරුම ගැන මෝසෙස්ටත් හැඟුණේ එලෙසමයි. ඔහු පැවසුවේ “අනේ යෙහෝවා දෙවියනි, මම කවදාවත් දක්ෂ කථිකයෙක් වෙලා හිටියේ නැහැ” කියායි. (නික්. 4:10, නව ලොව පරිවර්තනය, NW) කෙනෙකු තමන් අදක්ෂයි කියා සිතන්නේ වරදියි කියන බිය නිසයි. ‘යේසුස්ගේ ගෝලයෙක් වෙන්න තව කෙනෙකුට උදව් කරන්න මට පුළුවන් කියලා මම නම් හිතන්නෙ නැහැ’ කියා කෙනෙක් කනස්සලු වෙන්න පුළුවන්. අපි ඒ උගුලට හසු වුණොත් කෙදිනකවත් බයිබල් පාඩමක් පවත්වන්න අපිට හැකි වන්නේ නැහැ. එසේනම් එවැනි අභියෝග ජය ගන්න අපට හැක්කේ කෙසේද?

හදවත සූදානම් කරගන්න

7. දේවසේවය සඳහා යේසුස්ව පෙලඹවූයේ කුමක්ද?

7 “මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි” කියා යේසුස් පැවසුවා. (ලූක් 6:45) දේවසේවය සඳහා යේසුස්ව පෙලඹවූයේ ජනයා කෙරෙහි ඔහු දැක්වූ අවංක සැලකිල්ලයි. උදාහරණයකට සෙසු යුදෙව් ජනයා දෙවිගෙන් කොතරම් ඈත් වී සිටිනවාද කියා ඔහු දුටුවා. ඒ නිසා ඔහු “ඔවුන්ට අනුකම්පා” කළා. එමෙන්ම ඔහු තම ගෝලයන්ටත් පැවසුවේ ‘අස්වැන්න නම් බොහෝය, තම අස්වැන්න නෙළීමට වැඩ කරන්නන් එවන ලෙස අස්වැන්නේ ස්වාමියාගෙන් අයැදින්න’ කියායි.—මතෙ. 9:36-38.

8. (අ) අපි සිතා බැලිය යුත්තේ කුමක් ගැනද? (ආ) එක් කාන්තාවක් ප්‍රකාශ කළ දෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

8 අපත් යේසුස්ගේ අනුගාමිකයන් වුණේ කෙනෙක් අප සමඟත් බයිබලය පාඩම් කළ නිසයි. ඒ තුළින් අපි බොහෝ ප්‍රයෝජන ලබා තිබෙනවා. එලෙසම අපට හමු වන අය සමඟ බයිබල් පාඩමක් ආරම්භ කළොත් ඒ තුළින් ඔවුනුත් මොන තරම් ප්‍රයෝජන ලබයිද කියා සිතා බලන්න. එසේ උපකාරය ලැබූ කාන්තාවක් ඇගේ රටේ ශාඛා කාර්යාලයට මෙසේ ලිව්වා. “බයිබලය ඉගෙනගන්න මට උපකාර කරපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මම හුඟක් අගය කරනවා. මම ඒ අයත් එක්ක සාකච්ඡා කරද්දී ගොඩාක් ප්‍රශ්න ඇහුවා. ඒ නිසා පාඩමට වැඩි වෙලාවක් ගත කරන්නත් ඔවුන්ට සිදු වුණා. ඇත්තටම ඒ ගැන ඔවුන් යම් අපහසුතාවකට පත් වෙන්නත් ඇති. ඒ වුණත් ඔවුන් හරිම ඉවසීමෙන් හා උනන්දුවෙන් මගේ ප්‍රශ්නවලට උත්තර දුන්නා. මට ඔවුන්ව හමු වුණු එක ගැන මම යෙහෝවා දෙවිටත් යේසුස්ටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.”

9. යේසුස් තම සේවයෙන් ප්‍රීතියක් ලැබුවේ කෙසේද? එමෙන්ම ඔහුව අනුකරණය කරන්න අපට හැක්කේ කෙසේද?

9 තමාගේ අනුගාමිකයෙකු වීමට යේසුස් බොහෝදෙනෙකුට උපකාර කරන්න කැමති වුණත් වැඩි දෙනෙක් ඊට කැමති වුණේ නැහැ. (මතෙ. 23:37) තවත් අය යම් කලකට ඔහු අනුව ගියත් ඔහුගේ ඉගැන්වීම්වලට එකඟ නොවූ නිසා “තවදුරටත් ඔහු අනුව ගියේ” නැහැ. (යොහ. 6:66) නමුත් ඒ අයගේ ප්‍රතිචාරය නිසා තමා ප්‍රකාශ කළ පණිවිඩයෙන් පලක් නැහැ කියා ඔහු සිතුවේ නැහැ. තමන් කරන්නේ වටිනා සේවයක් බව ඔහු නිතරම මතකයේ තබාගත්තා. තමා කළ සේවය නිසා ඉදිරියේදී බොහෝදෙනෙක් තමන්ගේ අනුගාමිකයන් වන බව ඔහු දැන සිටියා. ඒ නිසා එය ඔහුගේ ප්‍රීතියට හේතුවක් වුණා. (යොහන් 4:35, 36 කියවන්න.) අපත් අපට ඇහුම්කන් නොදෙන අය ගැන පමණක් සිතමින් කනස්සලු නොවෙමු. ඒ වෙනුවට අපගේ සේවයෙන් ලැබිය හැකි ප්‍රතිඵල ගැන කල්පනා කරමු. එවිට යේසුස් මෙන් ප්‍රීතියක් ලබන්න අපටත් හැකියි. එවැනි ආකල්පයක් ඇතිව සේවය කළ හැකි ආකාරය ගැන දැන් අපි සලකා බලමු.

පාඩමක් පටන්ගැනීමේ අරමුණින්

10, 11. දේවසේවයේදී ඔබගේ ප්‍රීතිය පවත්වාගත හැක්කේ කෙසේද?

10 ගොවියෙක් බීජ වපුරන්නේ අස්වැන්න නෙළාගැනීමේ අරමුණ ඇතුවයි. එලෙසම අප දේශනා සේවයේ හවුල් විය යුත්තේද බයිබල් පාඩමක් ආරම්භ කිරීමේ අරමුණ ඇතුවයි. ඔබ නොකඩවා සේවයේ හවුල් වුණත් බොහෝවිට ජනයාව ඔවුන්ගේ නිවෙස්වලදී හමුවන්න නොලැබෙනවා විය හැකියි. නැත්නම් උනන්දුව දැක්වූ කෙනෙකුව නැවත හමුවීමට යන විට ඔහු නිවසේ නොසිටිනවාද විය හැකියි. ඔබ ඒ ගැන අධෛර්යට පත් වී ගෙයින් ගෙට සේවයේ හවුල් වීම නතර කළ යුතුද? ඇත්තෙන්ම නැහැ. ගෙයින් ගෙට සේවයේ යෙදීමෙන් අපට තවමත් බොහෝ දෙනෙකුව හමුවන්න අවස්ථාව තිබෙනවා.

11 ඔබගේ සේවයේ ප්‍රීතිය පවත්වාගෙන යාම සඳහා ජනයාව හමුවීමට වෙනස් ක්‍රම භාවිත කරන්න ඔබට පුළුවන්. උදාහරණයකට වීදි සේවයේ හෝ ව්‍යාපාරික ස්ථානවලදී ජනයාව හමුවීමට ඔබ උත්සාහ දරා තිබෙනවාද? නැත්නම් ඔබට දුරකථනයෙන් සාක්ෂි දරන්න හැකිද? ඔබ දැනටමත් සාක්ෂිදරා තිබෙන කෙනෙකු සමඟ දුරකථනයෙන් නැවත බැලීමක් කළ හැකිද? මෙසේ නොකඩවා වෑයම් කිරීමෙන් හා ජනයාගේ තත්වයට අනුව සකස් වීමෙන් අපගේ පණිවිඩයට හොඳ ප්‍රතිචාර දක්වන පුද්ගලයන්ව සොයාගැනීමටත් ඉන් ප්‍රීතියක් ලබන්නත් අපට හැකියි.

උදාසීන ප්‍රතිචාර දක්වන විට

12. අප සේවය කරන ප්‍රදේශයේ බොහෝ දෙනෙක් උදාසීන ප්‍රතිචාරයක් දක්වයි නම් කුමක් කළ හැකිද?

12 ඔබ සේවය කරන ප්‍රදේශයේ ජනයාගෙන් බහුතරයක් ආගම ගැන උදාසීන ප්‍රතිචාරයක් දක්වනවා නම් කුමක් කළ හැකිද? ඔවුන් උනන්දුව දක්වන විෂයක් ඔස්සේ කතා කරන්න ඔබට පුළුවන්ද? පාවුල්ද එසේ කළා. ඒ ගැන ඔහු කොරින්තිවරුන්ට පැවසූ මේ දෙයින් ඒ බව පැහැදිලියි. ‘මම යුදෙව්වරුන්ට යුදෙව්වෙකු මෙන් වුණෙමි. මම නීතියට යටත්ව නොසිටියත්, නීතිය යටතේ සිටින අයව දිනාගන්නා පිණිස, නීතිය යටතේ සිටින අයට නීතිය යටතේ සිටින්නෙකු මෙන් වුණෙමි.’ (1 කොරි. 9:20-22) පාවුල් මෙන් පොදු විෂයක් ගැන කතා කරමින් අපගේ සාකච්ඡාව ආරම්භ කරන්න අපට හැකියි. බොහෝදෙනා ආගම කෙරෙහි උනන්දුවක් නොදැක්වුවත් ඔවුන්ගේ පවුල් ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය ගැන උනන්දු වෙනවා. එමෙන්ම තවත් අය ජීවිතයේ අරමුණ කුමක්ද කියා කල්පනා කරනවා. එසේනම් එවැනි අයට ගැළපෙන ආකාරයෙන් අපි රාජ්‍යයේ ශුභාරංචිය ඉදිරිපත් කරමු.

13, 14. යේසුස්ගේ අනුගාමිකයන් වීමට මිනිසුන්ට උපකාර කිරීමෙන් ලැබෙන ප්‍රීතිය වැඩි කරගන්න අපට හැක්කේ කෙසේද?

13 ජනයා උදාසීන ප්‍රතිචාරයක් දැක්වුවත් මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කිරීමේ ප්‍රීතිය තවත් ඉහළ නැංවිය හැකි ක්‍රම ප්‍රචාරකයන් සොයාගෙන තිබෙනවා. ඒ මොනවාද? වෙනත් භාෂාවක් ඉගෙනගැනීම ඉන් එක් ක්‍රමයක්. මේ යුවළගේ අද්දැකීම සලකා බලන්න. තම සභා බල ප්‍රදේශයේ චීන ජාතිකයන් දහස් ගණනක් ජීවත් වන බව 60 ගණන්වල පසුවන මෙම යුවළ තේරුම්ගත්තා. ඔවුන් ඒ සම්බන්ධයෙන් කළ දේ ගැන මෙසේ පවසනවා. “මේ අයව දැක්කහම චීන භාෂාව ඉගෙනගන්න අපිට ලොකු පෙලඹීමක් ඇති වුණා. ඒක කරන්න හැමදාම යම් වෙලාවක් වෙන් කරන්න සිදු වුණත් ඒකෙන් ගොඩාක් ප්‍රතිඵල ලැබුණා. ඒ නිසා චීන භාෂාවෙන් ගොඩාක් බයිබල් පාඩම් පවත්වන්නත් අපිට පුළුවන් වුණා.”

14 වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට ඔබට නොහැකි වුණත් සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි යන පොත් පිංචය හොඳින් භාවිත කිරීමෙන්ද ඔබගේ සේවයෙන් ප්‍රීතිය ලබන්න පුළුවන්. ඊට අමතරව ඔබට හමු වන ජනයාගේ භාෂාවලින් පළ වී තිබෙන පොත් පත් රැගෙන යන්නත් ඔබට හැකියි. වෙනත් භාෂාවකට හෝ සංස්කෘතියකට අයත් කෙනෙකු සමඟ අදහස් හුවමාරු කිරීම සඳහා අමතර වෑයමක් දැරීමට සිදු වන බව ඇත්තයි. ඒ කෙසේ වුණත් විවිධ ආකාරවලින් සාක්ෂි දරන්න ඔබ දරන සියලු වෑයම් සම්බන්ධයෙන් මෙම ප්‍රතිපත්තිය කිසිදා අමතක නොකරන්න. “නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය.”—2 කොරි. 9:6.

සාමුහික වෑයමක්

15, 16. (අ) යේසුස්ගේ අනුගාමිකයන් වීමට මිනිසුන්ට උපකාර කිරීම මුළු සභාවේම වගකීමක් වන්නේ ඇයි? (ආ) ඒ සඳහා මහලු ක්‍රිස්තියානීන් දායක වන්නේ කෙසේද?

15 කෙසේවෙතත් යේසුස්ගේ අනුගාමිකයෙකු වීමට කෙනෙකුට උපකාර කිරීම එක්කෙනෙකුට පැවරෙන වගකීමක් නොව එය මුළු සභාවේම වගකීමයි. අප එසේ පවසන්නේ ඇයි? නවකයෙක් අපගේ රැස්වීම්වලට පැමිණෙන විට ඔවුන් අප එකිනෙකා අතර ඇති ප්‍රේමය දැක පුදුමයට පත් වෙනවා. යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට එයත් ඔහුට විශාල බලපෑමක්. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත” යන යේසුස්ගේ වචන ඉටු කිරීමට එමගින් අපට හැකියි. (යොහ. 13:35) ඒ සම්බන්ධයෙන් එක් නවකයෙක් පැවසූ දේ බලන්න. “රැස්වීම්වලට යන එකෙන් මම ලොකු සතුටක් ලබනවා. මොකද, ඒ අය මට හරිම ආදරෙයි කියලා මට දැනෙනවා.” බයිබලය අධ්‍යයනය කරන නිසා සමහර නවකයන්ගේ පවුල්වල සාමාජිකයන් ඔවුන්ට විරෝධය පාන බව යේසුස් පැවසුවා. (මතෙව් 10:35-37 කියවන්න.) ඒ වුණත් ක්‍රිස්තියානි සභාව තුළ ඔවුන්ට ‘සහෝදරයන්, සහෝදරියන්, මව්වරුන් හා දරුවන්’ වැනි අය හමු වන බවට යේසුස් පොරොන්දු වුණා.—මාක් 10:30.

16 නවකයන්ගේ දියුණුවට සභාවේ සිටින අද්දැකීම් ලත් මහලු සහෝදර සහෝදරියන්ද ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. ඔවුන් සිටින තත්වය අනුව බයිබල් පාඩමක් පැවැත්වීමට ඔවුන්ට නොහැකි වුණත් රැස්වීම්වලදී ඔවුන් දෙන පිළිතුරු නවකයන් ඇතුළු අප සියල්ලන්ටම ඉමහත් දිරිගැන්වීමක්. ඇත්තෙන්ම ‘ධර්මිෂ්ඨයන් ලෙස’ ඔවුන්ට තිබෙන අද්දැකීම් මුළු සභාවටම මහත් අලංකාරයක් වගේම නවකයන්ටද දෙවිගේ සංවිධානයට ඇතුල් වීමට එය මහත් පෙලඹීමක්.—හිතෝ. 16:31NW.

බියෙන් ගොඩ ඒම

17. අප අදක්ෂයි යන හැඟීමෙන් ගොඩ ඒමට අපට කුමක් කළ හැකිද?

17 බයිබල් පාඩමක් කිරීමට තරම් ඔබ දක්ෂ නැහැ කියා සිතෙනවා නම් කුමක් කළ හැකිද? මෝසෙස්ටද එලෙස හැඟුණත් දෙවි තම බලය හා සහයකයෙකු ලෙස ආරොන්ව ලබා දීමෙන් ඔහුට උපකාර කළා. (නික්. 4:10-17) එලෙසම අපටත් දෙවිගේ බලයේ උපකාරය ලබා දෙන බවට යේසුස් පොරොන්දු වුණා. (ක්‍රියා 1:8) එමෙන්ම දේවසේවය සඳහා යේසුස් තම ගෝලයන්ව පිටත් කළේ තනි තනිවම නොව, උපකාරය සඳහා තවත් කෙනෙකු සමඟයි. (ලූක් 10:1) බයිබල් පාඩමක් පැවැත්වීම විශාල අභියෝගයක් කියා ඔබටත් සිතෙනවා නම් දෙවිගේ බලයේ උපකාර පතා යාච්ඤා කරන්න. එමෙන්ම අද්දැකීම් ලත් කෙනෙකු සමඟ සේවයේ හවුල් වන්න සැලසුම් කරන්න. ඒ වගේම දෙවි තම බලවත් කාර්යයන් ඉටු කිරීමට තෝරාගත්තේ “මේ ලෝකයේ දුර්වල දේවල්” හෙවත් සාමාන්‍යය මිනිසුන්ව යන කාරණය මතක තබාගැනීමෙන්ද අපගේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරගත හැකියි.—1 කොරි. 1:26-29.

18. බයිබල් පාඩමක් පටන්ගැනීමට තිබෙන බියෙන් ගොඩ ඒමට අප තේරුම්ගත යුත්තේ කුමක්ද?

18 බයිබල් පාඩමක් පටන්ගැනීමට ඇති බියෙන් ගොඩ එන්නේ කෙසේද? මෙහෙම සිතන්න. යම් කෑමක් රසවත් එකක් වීම හෝ එසේ නොවීමට වගකිව යුත්තේ එක් පුද්ගලයෙකු පමණයි. ඒ කෝකියායි. නමුත් යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට තව කෙනෙකුට උපකාර කිරීම ඊට වඩා වෙනස්. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ බයිබල් පාඩම පවත්වන පුද්ගලයා මත පමණක් නොවන බව අප තේරුම්ගත යුතුයි. ඒ සඳහා අඩුම තරමින් පාර්ශව තුනක් හවුල් වෙනවා. එම පුද්ගලයාව තමා වෙතට ඇදගැනීමෙන් යෙහෝවා දෙවි එහි ප්‍රධාන කොටසට දායක වෙනවා. (යොහ. 6:44) පාඩම පවත්වන තැනැත්තා හා සභාවේ සෙසු අයද එක්වී ඉගැන්වීමේ කලාව භාවිත කරමින් ඔහුට දියුණු වීමට උපකාර කරනවා. (2 තිමෝති 2:15 කියවන්න.) ඒ වගේම තමන් ඉගෙනගන්නා දේවලට අනුව ක්‍රියා කරමින් දියුණු වීමට ශිෂ්‍යයාටද විශාල වගකීමක් තිබෙනවා. (මතෙ. 7:24-27) නමුත් සමහරවිට බයිබලය අධ්‍යයනය කිරීම නතර කරන්න ඔහු තීරණය කළොත් එය අපගේ කනගාටුවට කරුණක්. නමුත් අපි බලාපොරොත්තුව වන්නේ ඔහු නිවැරදි තීරණයක් ගෙන හොඳ ප්‍රගතියක් ලබයි කියායි. කෙසේවෙතත් සෑම කෙනෙකුම තමන් ගන්නා තීරණ ගැන “දෙවිට ගණන්” දිය යුතු බව මතක තබාගන්න.—රෝම 14:12.

ප්‍රතිඵල මොනවාද?

19-21. (අ) බයිබල් පාඩම් පැවැත්වීමෙන් අප ලබන ප්‍රයෝජන මොනවාද? (ආ) ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හවුල් වන සියල්ලන්ව යෙහෝවා දෙවි සලකන්නේ කෙසේද?

19 පළමුකොට දේවරාජ්‍යය සෙවීමට වැඩි අවධානයක් දීම සඳහා බයිබල් පාඩම් පැවැත්වීම අපට මහත් උපකාරයක්. ඒ තුළින් බයිබල් සත්‍යයන් අපගේ හදවතේ හා මනසේ ස්ථිරව තබාගැනීමටත් හැකියි. පුරෝගාමී සහෝදරයෙක් වන බැරැක් මෙහෙම පවසනවා. “බයිබල් පාඩම් පැවැත්වීමෙන් අපටත් උද්‍යෝගයෙන් බයිබලය අධ්‍යයනය කිරීමට පෙලඹීමක් ඇති වෙනවා. මම තව කෙනෙකුට උගන්වන්න කලින් ඒ දේ මම මටම තහවුරු කරගන්න ඕනේ.”

20 වර්තමානයේදී ඔබ බයිබල් පාඩමක් පවත්වන්නේ නැත්නම් ඉන් අදහස් කරන්නේ ඔබ කරන සේවය දෙවි අගය කරන්නේ නැහැ කියන එකද? කොහෙත්ම නැහැ. ඔහුව ප්‍රශංසාවට ලක් කරන්න ඔබ දරන සෑම වෑයමක්ම ඔහු ඉතා අගය කරනවා. ශුභාරංචිය ප්‍රකාශ කරන සියලුදෙනාවම දෙවි සලකන්නේ ‘තමා සමඟ හවුලේ වැඩ කරන’ අය ලෙසයි. එය අපට ප්‍රීතියක්. කොහොමනමුත් අපි කෙනෙකු සමඟ බයිබල් පාඩමක් පැවැත්වුවහොත් අපගේ ප්‍රීතිය තවත් වැඩි කරගන්න පුළුවන්. (1 කොරි. 3:6, 9) එමී නමැති පුරෝගාමී සහෝදරිය ඒ ගැන මෙසේ පවසනවා. “අපි පාඩම කරන ශිෂ්‍යයා දියුණු වෙනවා දකිද්දී අපිට දැනෙන ප්‍රීතිය කියා නිම කරන්න බැහැ. තව කෙනෙකුට සදාකාල ජීවිතය නමැති තෑග්ග ලබා දෙන්න යෙහෝවා දෙවි අපිව යොදාගැනීම ගැන සිතද්දී යෙහෝවා දෙවි කෙරෙහි මහත් අගයක් අපි තුළ ඇති වෙනවා.”

21 බයිබල් පාඩමක් දිගටම පවත්වාගෙන යෑමෙන් දෙවිට අප කරන සේවයේ උද්‍යෝගයෙන් හවුල් වීමටත් අපගේ අනාගත බලාපොරොත්තුව ශක්තිමත් කරගැනීමටත් එමගින් හැකි වෙනවා. ඒ වගේම යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරාගැනීමටත් ඉන් අපට අවස්ථාව උදා වෙනවා. (1 තිමෝති 4:16 කියවන්න.) එය අපට මොන තරම් ප්‍රීතියක්ද!

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• බයිබල් පාඩම් පැවැත්වීම සම්බන්ධයෙන් සමහර ප්‍රචාරකයන් මුහුණ දෙන අභියෝග මොනවාද?

• ජනයා උදාසීන ප්‍රතිචාරයක් දක්වන විට කුමක් කළ හැකිද?

• බයිබල් පාඩම් පැවැත්වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූර]

යේසුස්ගේ අනුගාමිකයන් වීමට සුදුසු අයව සෙවීමේදී ඔබ විවිධ ක්‍රම යොදාගන්නවාද?