Skip to content

පටුනට යන්න

එළිදරව් පොතෙන් විශේෂාංග—I

එළිදරව් පොතෙන් විශේෂාංග—I

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

එළිදරව් පොතෙන් විශේෂාංග—I

යොහන් පත්මොස් දූපතේ සිරගතව සිටි කාලයේදී දර්ශන 16ක් දුටුවා. එම දර්ශනවලට අයත් වන්නේ යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස් ඉදිරියේදී කිරීමට නියමිත දේවලුයි. එනම් වර්ෂ 1914, දේවරාජ්‍ය පිහිටෙවූ දා සිට දහස් අවුරුදු පාලන කාලය අවසන් වන තුරු සිදු වන සිදුවීම්. තමා දුටු එම දර්ශන ඔහු එළිදරව් පොතේ වාර්තා කළේ ක්‍රිස්තු වර්ෂ 96 පමණ කාලයේදීයි.

එළිදරව් 1:1–12:17හි සඳහන් වන යොහන්ට ලැබුණු පළමු දර්ශන හතේ ඇති විශේෂාංග අපි මුලින්ම සලකා බලමු. යොහන් එදා දර්ශනවලින් දුටු දේවල් ගැන අප සැලකිලිමත් වීම ඉතා වැදගත්. ඔහු දුටු දේවල් මගින් නියෝජනය කළේ අපගේ කාලයේ සිදු වීමට නියමිත දේවලුයි. එමෙන්ම යෙහෝවා දෙවි නුදුරු අනාගතයේ කිරීමට අරමුණු කර තිබෙන දේවල්ද යොහන් එම දර්ශනවලින් දුටුවා. ඒවා අධ්‍යයනය කිරීමෙන් අපටත් මහත් දිරිගැන්වීමක් හා සහනයක් ලබාගත හැකියි.—හෙබ්‍රෙ. 4:12.

මුද්‍රා සතෙන් හයක් “බැටළු පැටවා” විවෘත කරනවා

(එළි. 1:1–7:17)

යොහන් මුලින්ම දකින්නේ තේජසට පත් යේසුස්වයි. පළමු දර්ශනයේදී යේසුස්ගෙන් ඔහුට පණිවිඩ පෙළක් ලැබෙනවා. ඒවා ‘අකුළන ලියවිල්ලක ලියා සභා සතට යවන්න’ කියා යේසුස් ඔහුට පැවසුවා. (එළි. 1:10, 11) ඊළඟ දර්ශනයේදී සිංහාසනයක් යොහන් දකිනවා. එම සිංහාසනය මත හිදගෙන ඉන්න තැනැත්තාගේ දකුණු අතේ මුද්‍රා හතකින් මුද්‍රා කරන ලද අකුළන ලියවිල්ලක් තියෙනවා. මෙම ලියවිල්ලේ මුද්‍රා ‘කඩන්න සුදුසු තැනැත්තා’ වන්නේ “යූදා ගෝත්‍රයෙන් වූ සිංහයා” නැත්නම් ‘අං සතක්ද ඇස් සතක්ද ඇති බැටළු පැටවායි.’—එළි. 4:2; 5:1, 2, 5, 6.

යොහන් තුන්වන දර්ශනයෙන් දකින්නේ “බැටළු පැටවා” මුද්‍රා හය කඩන විට පිළිවෙළින් සිදු වන දේවලුයි. හයවන මුද්‍රාව කඩනවාත් සමඟම මහත් භූමිකම්පාවක් සිදු වී ඒ එක්කම දෙවිගේ උදහසේ මහත් දවස ආරම්භ වෙනවා. (එළි. 6:1, 12, 17) නමුත් ඊළඟ දර්ශනයෙන් යොහන් දකින්නේ අභිෂේක ලත් අයගේ ගණන සම්පූර්ණවන තුරු ‘දේවදූතයන් සතරදෙනෙකු පොළොවේ සතරදිග සුළං තදින් අල්ලාගෙන සිටින’ ආකාරයයි. ඒ වගේම “මහත් සමූහයක්” “සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටින” ආකාරයත් යොහන් දකිනවා.—එළි. 7:1, 9.

ශූද්ධ ලියවිලි ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:4; 3:1; 4:5; 5:6—“ආත්ම සත” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? හතේ ඉලක්කමෙන් කිසිම අඩුවක් නැතිකම අදහස් කරනවා. එමනිසා “සභා සත” වෙනුවෙන් දෙන ලද පණිවිඩ ලෝක ව්‍යාප්තව ඇති සභා 1,00,000ටම අදාළ වෙනවා. (එළි. 1:11, 20) එමෙන්ම තමන්ට අවශ්‍ය දේ ඉටු කරගන්න දෙවි තම බලය යොදා ගන්නවා. ඒ නිසා “ආත්ම සත” කියද්දී ඉන් අදහස් කරන්නේ මේ අනාවැකිවලට අවධානය දෙන අයට දෙවි පූර්ණ අවබෝධයත් පූර්ණ ආශීර්වාදයත් ලබා දෙන බවයි. එළිදරව් පොතේ සඳහන් දර්ශනවල හතේ ඉලක්කම නිතර සඳහන්ව තියෙනවා. එයින් පූර්ණ යන අදහස ලබා දෙන නිසා දෙවි තම “පරිශුද්ධ රහස ඉටු කරනු” ලබන ආකාරය නැත්නම් එය සම්පූර්ණ කරන ආකාරය එළිදරව් පොතෙන් අපට ඉගෙනගන්න පුළුවන්.—එළි. 10:7.

1:8, 17—“ඇල්ෆා සහ ඔමේගා” සහ “පළමුවැන්නා සහ අන්තිමයාය” යන පදවියෙන් අමතන්නේ කාවද? “ඇල්ෆා සහ ඔමේගා” යන පදවිය අදාළ වන්නේ යෙහෝවා දෙවිටයි. ඉන් සදාකාලයෙන් සදාකාලයට සියලු බලැති දෙවි ඔහු බව කාවද්දනවා. ඒ වගේම “පටන්ගැන්ම සහ අවසානය” හැටියටද ඔහුව හඳුන්වනවා. (එළි. 21:6; 22:13) එළිදරව් 22:13හි යෙහෝවා දෙවිව “පළමුවැන්නා සහ අන්තිමයා” ලෙස හැඳින්වීමෙන් අදහස් කරන්නේ ඔහු හා සමාන කිසිකෙනෙක් ඔහුට කලින් සිටියේවත් පසුව සිටින්නේවත් නැති බවයි. නමුත් එළිදරව් පළමුවන පරිච්ඡේදයේ අවට පාඨ සම්බන්ධයෙන් පැහැදිලි වන්නේ “පළමුවැන්නා සහ අන්තිමයා” කියන්නේ යේසුස් ක්‍රිස්තුස්ට බවයි. අප එසේ කීමට හේතු මොනවාද? ස්වර්ගයේ අමරණීය ජීවිතයක් සඳහා නැවත නැඟිටෙවු පළමුවෙනියා යේසුස්. දෙවි විසින්ම නැවත නැඟිටෙවූ අන්තිමයා වන්නේත් යේසුස්.—කොලො. 1:18.

2:7—‘දෙවිගේ පාරාදීසය’ කියන්නේ කුමකටද? මෙම පදයේ කතා කරන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැන නිසා ඔවුන් දෙවි ඉදිරියේ එනම් ස්වර්ගයේ සිටින තත්වය එමගින් විස්තර කරනවා. මෙම විශ්වාසවන්ත අභිෂේක ලත් අයට “ජීවන වෘක්ෂයෙන්” අනුභව කරන්න අවස්ථාව ලැබෙනවා කියන්නේ ඔවුන් අමරණීය ජීවිතයක් භුක්ති විඳින්න නියමිත බවයි.—1 කොරි. 15:53.

3:7—“දාවිත්ගේ යතුර” යේසුස්ට ලැබුණේ කවදාද? එමෙන්ම ඔහු එම යතුර භාවිත කරමින් සිටින්නේ කෙසේද? ක්‍රි.ව. 29දී යේසුස් බව්තීස්ම වීමත් සමඟ දාවිත්ගේ රජ පෙළපතින් පැමිණෙන අනාගත රජු බවට පත් වුණා. ඔහුට එම යතුර ලැබුණේ ක්‍රි.ව. 33දී ඔහු ස්වර්ගයට ගොස් දෙවිගේ දකුණු පැත්තේ ඉඳගත් අවස්ථාවේදීයි. එවිට දාවිත්ගේ රාජ්‍යයේ සියලු බලතල ඔහුට ලැබුණා. ඔහු තම රාජ්‍යයට තවත් අයට ඇතුල් වීම සඳහා විවිධ ප්‍රස්තාවන් විවෘත කළේ එදා සිටයි. එමෙන්ම 1919දී යේසුස් “දාවිත්ගේ නිවසෙහි යතුර” ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ විශ්වාසයෙන් යුතුව භාර දුන්නා. ඔහු එසේ කළේ “තමන් සන්තක සියල්ල” බලාගැනීමට ඔවුන්ව පත් කිරීම මගිනුයි.—යෙසා. 22:22, නව ලොව පරිවර්තනය, NW; මතෙ. 24:45, 47.

3:12—යේසුස්ගේ “අලුත් නාමය” කුමක්ද? එම නාමයෙන් අදහස් කරන්නේ දෙවි ඔහුට ලබා දී තිබෙන තනතුරු හා වරප්‍රසාදයි. (ෆිලි. 2:9-11) වෙන කිසිවෙකුට එම නාමය දැනගන්න ලැබෙන්නේ නැහැ. කෙසේනමුත් යේසුස් තම විශ්වාසවන්ත සහෝදරයන් මත තම නාමය ලියන විට ඔවුන් යේසුස් සමඟ ඉතා කිට්ටු මිත්‍රත්වයකට පැමිණෙනවා. (එළි. 19:12) එපමණක් නොව ස්වර්ගයේ යේසුස්ට තිබෙන වරප්‍රසාදවලටද ඔවුන් හවුල් වෙනවා.

අපට ගත හැකි පාඩම්:

1:3. “නියම කරන ලද කාලය [සාතන්ගේ ලෝකය මතට දෙවි අන්තිම විනිශ්චය ගෙනෙන කාලය] ළඟ” නිසා අප එළිදරව් පොතේ තිබෙන පණිවිඩය තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුයි.

3:17,18. දෙවි ඉදිරියෙහි පොහොසත් වීමට නම් අපි යේසුස්ගෙන් “ගින්නෙන් පවිත්‍ර කළ රන්” මිල දී ගත යුතුයි. ඉන් අදහස් කරන්නේ අපි යහපත් ක්‍රියාවලින් පොහොසත් විය යුතු බවයි. (1 තිමෝ. 6:17-19) ඒ වගේම අපි “සුදු පිටත වස්ත්‍ර” පැළඳ සිටීමද අවශ්‍යයි. එනම් අපි කටයුතු කරන ආකාරයෙන් අපි යේසුස්ගේ අනුගාමිකයන් බව අන් අයට පැහැදිලිව දැකගත හැකි විය යුතුයි. අප “නේත්‍රාලේප” ආලේප කළ යුතුයි යන්නෙන් අදහස් කරන්නේ දෙවි හා ඔහුගේ අරමුණු පිළිබඳ අපගේ අවබෝධය වැඩි කරගැනීම සඳහා මුරටැඹ සඟරාවේ පළ වන උපදෙස් අපි අදාළ කරගත යුතු බවයි.—එළි. 19:8.

7:13,14. වැඩිමහල්ලන් 24දෙනාගෙන් නියෝජනය කරන්නේ 1,44,000දෙනා ස්වර්ගයට ගිය පසු ලබන තේජවත් තත්වයයි. එදා තිබූ දේවමාලිගාවේ සේවය කිරීමට දාවිත් රජ ඊශ්‍රායෙල් පූජකයන්ව කොටස් 24කට සංවිධානය කර තිබුණා. එයින් නියෝජනය වූයේද මෙම වැඩිමහල්ලන් 24 දෙනාවයි. ඔවුන්ගෙන් කෙනෙක් යොහන්ට මහත් සමූහය ගැන හෙළි කරනවා. ඉන් පැහැදිලි වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව වර්ෂ 1935ට පෙර නැවත නැඟිටුවා ඇති බවයි. අප එසේ පවසන්නේ ඇයි? ඊට හේතුව නම් පොළොව මත සිටින අභිෂේක ලත් ඉතිරි අයට මහත් සමූහය ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණේ එම වසරේදී නිසයි.—ලූක් 22:28-30; එළි. 4:4; 7:9.

හත්වන මුද්‍රාව විවෘත කිරීම සහ හොරණෑ සත පිඹීම

(එළි. 8:1–12:17)

බැටළු පැටවා හත්වන මුද්‍රාව විවෘත කරනවා. එවිට දේවදූතයන් හත් දෙනෙකුට හොරණෑ හතක් ලැබෙන අතර ඔවුන්ගෙන් හය දෙනෙක් එම හොරණෑ පිඹිනවා. එවිට පොළොවෙන් “තුනෙන් කොටසක්” එනම් ක්‍රිස්තියානියයි කියා ගන්නා ආගම් මතට විනිශ්චයේ පණිවිඩය ප්‍රකාශ කරනවා. (එළි. 8:1, 2, 7-12; 9:15, 18) එම සිදුවීම් යොහන් දකින්නේ පස්වන දර්ශනයේදීයි. තමා දකින දර්ශනයට යොහන්ද සහභාගි වෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට ලැබෙන අකුලන ලියවිල්ල රැගෙන කෑම මගිනුයි. ඊට පසු ඔහු දේවමාලිගාව මනිනවා. හත්වන හොරණෑව පිඹීමත් සමඟම ස්වර්ගයේ මහත් හඬක් මෙසේ පවසනවා. “ලෝකයේ රාජ්‍යය අපේ ස්වාමීන්ටත් ඔහුගේ ක්‍රිස්තුස්ටත් අත් විය.”—එළි. 10:10; 11:1, 15.

එළිදරව් 11:15, 17හි සඳහන් දේ තේරුම්ගැනීමට හත්වන දර්ශනය අපට උපකාර කරනවා. ස්වර්ගයේ මහත් ලකුණක් දැක ගන්න ලැබෙනවා. ස්වර්ගීක ස්ත්‍රිය පුත්‍රයෙකු බිහි කරනවා. සාතන්ව ස්වර්ගයෙන් නෙරපා දමනවා. ස්වර්ගීක ස්ත්‍රිය සමඟ කෝපයෙන් සිටින සාතන් “ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධ කරන පිණිස” සැරසෙනවා.—එළි. 12:1, 5, 9, 17.

ශූද්ධ ලියවිලි ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

8:1-5—ස්වර්ගයේ නිශ්ශබ්දතාවයක් ඇති වුණේ ඇයි? ඉන් පොළොවට ඇති වූ බලපෑම කුමක්ද? පොළොවේ සිටින “ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤා” ඇසෙන පිණිස ස්වර්ගයේ නිශ්ශබ්දතාවයක් ඇති වෙනවා. පළමු ලෝක යුද්ධය අවසන් වුණේ මේ කාලයේදීයි. බොහෝදෙනා සිතූ පරිදි අන්‍යජාතීන්ගේ කාලය අවසන් වීමත් සමඟ පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ස්වර්ගයට ගියේ නැහැ. ඔවුන්ට යුද්ධය පැවති කාලයේ බොහෝ පීඩා විඳීමට සිදු වුණා. මේ කාලයේදී ඔවුන් මඟ පෙන්වීම් පතා දෙවිට උනන්දුවෙන් යාච්ඤා කළා. ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරක් හැටියට දේවදූතයා සංකේතමය ගින්නක් පොළොවට එවනවා. ඒ තුළින් අභිෂේක ලත් අයට ඉක්මනින් ක්‍රියාශීලී වෙන්න අවස්ථාවක් ලැබුණා. මේ හේතුව නිසා සංඛ්‍යාවෙන් කුඩා සෙනඟක් වූ අභිෂේක ලත් අයට ලෝක ව්‍යාප්ත දේශනා කිරීමේ කාර්යයක් ආරම්භ කරන්න හැකි වුණා. ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වලට එම පණිවිඩය ගින්නක් හා සමාන දෙයක් වුණා. බයිබලයේ සඳහන් අනතුරු ඇඟවීම් ඉතා ප්‍රබල ආකාරයකින් ප්‍රකාශ කෙරුණා. දෙවි පිළිබඳ සත්‍යයන්ද එළිදරව් වුණා. භූමිකම්පාවකින් ගොඩනැඟිලිවල අත්තිවාරම් සෙලවෙන්නාක් මෙන් අසත්‍ය උගන්වන ආගම්ද සෙලවෙන තත්වයකට පත් වුණා.

8:6-12; 9:1, 13; 11:15—දේවදූතයන් හත්දෙනා ඔවුන්ගේ හොරණෑ පිඹීමට සූදානම් වූයේ කවදාද? ඉන් නියෝජනය වන්නේ කුමක්ද සහ එය ඇසෙන්නේ කෙසේද? යොහන් පංතියට අයත් සාමාජිකයන්ට නැවත ක්‍රියාශීලී වෙන්න උපදෙස් ලැබුණු කාලය මෙම හොරණෑ පිඹීමට සූදානම් වූ කාලයට අයත් වෙනවා. ඒ වර්ෂ 1919 සිට 1922 දක්වායි. මේ කාලය තුළ දී අභිෂේක ලත් ක්‍රිස්තියානීන් නැවත ක්‍රියාශීලී වී ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය සංවිධානය කරන්න සහ ප්‍රකාශන මුද්‍රණය කිරීමේ පහසුකම් වැඩි දියුණු කරන්න පටන්ගත්තා. (එළි. 12:13, 14) යෙහෝවා දෙවිගේ සෙනඟ ඔහුගේ විනිශ්චයන් දේවදූතයන්ගේ උපකාරය ඇතිව සාතන්ගේ ලෝකයට විරුද්ධව නිර්භීතව ප්‍රකාශ කරනවා. හොරණෑ ශබ්දයෙන් නියෝජනය කරන්නේ එයයි. මෙම ශබ්දය වර්ෂ 1922දී සීඩා පොයින්ට් ඔහායෝහි පැවති සමුළුවෙන් ආරම්භ වූ අතර එය මහත් පීඩාව දක්වා පවතිනවා.

8:13; 9:12; 11:14—අවසන් හොරණෑ තුන මගින් ඇති කරන ශබ්දයෙන් පොළොවේ වාසය කරන අයට “දුක්” ඇති වන්නේ කෙසේද? පළමු හොරණෑ හතර පිඹීම තුළින් ක්‍රිස්තියානි ලෝකය දෙවිගෙන් කොතරම් ඈත් වී සිටිනවාද කියා දැනුම් දෙනවා. නමුත් අවසාන දුක් තුනෙන් නියෝජනය වන්නේ විවිධ අවස්ථා තුනකදී ඇති වන සිදුවීම්වලටයි. පස්වන හොරණෑව පිඹීමෙන් අනාවරණය කළේ 1919දී අක්‍රියාශීලීකම නමැති ‘අගාධයෙන්’ ගොඩ ආ දෙවිගේ සෙනඟ, උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම නිසා ක්‍රිස්තියානි ලෝකය විඳින පීඩායි. (එළි. 9:1) ඉතිහාසයේ සිදු වූ විශාල වෙනස්කමක් සමඟ වර්ෂ 1922දී ලෝක ව්‍යාප්තව ආරම්භ කළ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය මෙම හයවන හොරණෑව පිඹීමට සම්බන්ධයි. අවසන් හොරණෑව පිඹීම දේවරාජ්‍යයේ උපතට සම්බන්ධයි.

අපට ගත හැකි පාඩම්:

9:10, 19. බයිබලය මත පදනම්ව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දෙන ප්‍රකාශනවල ඇති පණිවිඩ හරියට සමහරුන්ට යමකින් අනිනවා හා සමානයි. (මතෙ. 24:45) එම පණිවිඩ ‘ගෝනුස්සන්ගේ විෂ දළවලින් කරන අනතුරුවලට හා සර්පයින් හා සමාන වලිග ඇති’ අශ්වයන් කරන අනතුරුවලට සමාන කර තිබෙනවා. ඊට හේතුව නම් මෙම ප්‍රකාශනවල යෙහෝවා “දෙවිගේ පළිගැනීමේ දවස” ගැන අනතුරු අඟවන නිසයි. (යෙසා. 61:2) අපි මෙම ප්‍රකාශන අන් අයට බෙදා හැරීමේ නිර්භීතව හා උද්‍යෝගයෙන් හවුල් වෙමු.

9:20, 21. ක්‍රිස්තියානි නොවන රටවල් බොහෝමයක සිටින මොළොක් ගුණැති අය අපගේ පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. නමුත් එවැනි රටවලින් අති විශාල සංඛ්‍යාවක් දෙවිගේ නමස්කාරකයන් බවට පත් වෙයි කියා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙසේනමුත් “ඉතිරි වූ මිනිස්සු” හැටියට හඳුන්වන ඔවුන් හා අන් සියලුදෙනාටම අපි අත් නෑර ශුභාරංචිය ප්‍රකාශ කරනවා.

12:15, 16. “පොළොව” හැටියට හඳුන්වන්නේ සාතන්ගේ අණසක යටතේ පවතින මිනිස් සමාජයයි. මෙම සමාජයට අයත් සමහර රටවල් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නමස්කාර කටයුතු කිරීමට නිදහස ලබා දී තිබෙනවා. වර්ෂ 1940 ගණන්වල සිට මෙම රටවල් “මකරා තමාගේ කටින් වැමෑරූ ගංගාව ගිල” දමා තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවිට අවශ්‍ය අවස්ථාවලදී දේශපාලන බලයන් ලවා තමාගේ කැමැත්ත ඉටු කිරීමට ඔහුට හැකි බවයි. එය තවදුරටත් තහවුරු කරමින් හිතෝපදේශ 21:1හි [NW] පවසන්නේ “රජෙකුගේ සිත යෙහෝවා දෙවිගේ අතේ තිබෙන දිය පහරක් මෙනි. ඔහු කැමති කැමති අතට එය හරවන්නේය” කියායි. ඒ බව දැන සිටීම අපගේ ඇදහිල්ල තවත් ශක්තිමත් කරයි.