Skip to content

පටුනට යන්න

ඔබ ‘දෙවිගේ මහත් කරුණාව’ අන් අයට පෙන්වන කෙනෙක්ද?

ඔබ ‘දෙවිගේ මහත් කරුණාව’ අන් අයට පෙන්වන කෙනෙක්ද?

ඔබ ‘දෙවිගේ මහත් කරුණාව’ අන් අයට පෙන්වන කෙනෙක්ද?

“සහෝදර ප්‍රේමයෙන් යුතුව එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න. එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න.”—රෝම 12:10.

1. බයිබලය අපට දෙන සහතිකය කුමක්ද?

අප වේදනාවට හෝ අධෛර්යට පත් වී සිටින විට දෙවි අපට උපකාර කරන බවට බයිබලයේ මෙවන් ස්ථිර සහතිකයක් දී තිබෙනවා. “වැටී සිටින සියල්ලන්ට නැඟී සිටින්නට යෙහෝවා දෙවි උපකාර කරන්නේය. හෙම්බත්ව නැමී සිටින සියල්ලන්ට කෙළින් සිටගැනීමට ඔහු උදව් කරන්නේය.” “බිඳුණු සිත් ඇත්තන්ට ඔහු සහනය දෙන්නේය. ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය.” (ගීතා. 145:14; 147:3, නව ලොව පරිවර්තනය, NW) අපගේ ප්‍රේමණීය දෙවිම මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’ කියා ඔබට පැවසුවේ මමය.”—යෙසා. 41:13NW.

2. දෙවි අපට උපකාර සපයන සමහර ක්‍රම මොනවාද?

2 යෙහෝවා දෙවි සිටින්නේ ස්වර්ගයේයි. එසේනම් ඔහු ‘අපගේ අතින් අල්ලාගෙන’ අපට උපකාර කරන්නේ කෙසේද? හදවතේ වේදනාව නිසා ‘නැමී හෙම්බත් වී සිටින’ අයව කෙළින් සිටුවන්නේ කෙසේද? ඒ සඳහා ඔහු විවිධාකාරයෙන් අපට උපකාර සපයනවා. දෙවි අපට ලබා දෙන “සාමාන්‍යය ඉක්මවූ බලය” ඉන් එකක්. (2 කොරි. 4:7; යොහ. 14:16, 17) එමෙන්ම ඔහුගේ වචනය වන බයිබලය මගින්ද දෙවි අපට උපකාර සපයනවා. (හෙබ්‍රෙ. 4:12) ඒවාට අමතරව දෙවි අපට උපකාර කරන තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ කුමක්ද කියා පළමුවන පේතෘස් පොතෙන් අපට සොයාගත හැකියි.

‘විවිධ ආකාරවලින් පෙන්වන ලද දෙවිගේ මහත් කරුණාව’

3. (අ) පීඩා ගැන පේතෘස් පැවසුවේ කුමක්ද? (ආ) පේතෘස්ගේ පළමුවන ලිපියේ අවසානයේ සඳහන් කර තිබෙන්නේ කුමක් ගැනද?

3 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව අමතමින් පේතෘස් පැවසුවේ ඔවුන් ඉදිරියෙහි ඇති බලාපොරොත්තුව, ඔවුන්ට ප්‍රීතියෙන් ඉපිළ යන්න හේතුවක් වන බවයි. නමුත් “දැන් ඔබ කෙටි කලකට විවිධාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්ව සිටින්නහුය” කියාද ඔහු ඊළඟට පැවසුවා. (1 පේතෘ. 1:1-6) එහි “විවිධාකාර” යන වචනයෙන් අදහස් කරන්නේ ඔවුන්ට විවිධාකාරවලින් පීඩා පැමිණෙන බවයි. නමුත් ඔහු සඳහන් කරන්නේ පැමිණෙන පීඩා ගැන පමණක් නොවෙයි. ඒ වෙනුවට එවන් පීඩා කුමනාකාරයෙන් පැමිණියත් ඊට සාර්ථකව මුහුණ දෙන්න යෙහෝවා දෙවි සපයා ඇති උපකාර ගැනද ඔහු ඔවුන්ට මතක් කර දෙනවා. ඒ ගැන ඔහු සඳහන් කරන්නේ ඔහුගේ පළමු ලිපියේ අවසානයට වෙන්නයි. “සියලු දේවල අවසානය ළං වී” ඇති බව ඔහු සඳහන් කරන්නේද එම කොටස තුළයි.—1 පේතෘ. 4:7.

4. පළමුවන පේතෘස් 4:10හි වදන් අපට සැනසීමක් වන්නේ කෙසේද?

4 “විවිධ ආකාරවලින් පෙන්වන ලද දෙවිගේ මහත් කරුණාවේ යහපත් භාරකරුවන් මෙන්, එකිනෙකාට ලැබී තිබෙන දීමනාවේ හැටියට එකිනෙකාට සේවය කරන්න” කියා පේතෘස් පැවසුවා. (1 පේතෘ. 4:10) ඔහු නැවතත් “විවිධ ආකාරවලින්” යන ප්‍රකාශය භවිත කරනවා. ඉහත සඳහන් ඔහුගේ වචන තවත් ආකාරයකින් පැවසුවොත් ඒ මෙසේයි. ‘අපට නොයෙක් ආකාරයේ පීඩා පැමිණෙනවා. නමුත් දෙවිගේ මහත් කරුණාවද ඒ ඒ අවස්ථාවලදී අපට නොයෙකුත් ආකාරවලින් ප්‍රකාශ වෙනවා.’ ඒ නිසා අප මුහුණ දෙන පීඩාව කුමන ආකාරයේ එකක් වුණත් දෙවි ඔහුගේ මහත් කරුණාව අපට පෙන්වා එය විඳදරාගන්න අවශ්‍ය උපකාර ලබා දෙනවා. එය අපට මහත් සැනසීමක් නොවෙයිද? ඔහු පැවසූ ලෙස දෙවි තම මහත් කරුණාව අපට දක්වන එක් ආකාරයක් ඔබ දුටුවාද? ඔව්. ඒ සෙසු ක්‍රිස්තියානීන් මගිනුයි.

“එකිනෙකාට සේවය කරන්න”

5. (අ) සෑම ක්‍රිස්තියානියෙකුටම තිබෙන වගකීම කුමක්ද? (ආ) දැන් අපි සලකා බලන්නේ කුමන ප්‍රශ්න ගැනද?

5 “සියල්ලට වඩා, එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතිව සිටින්න” කියා ක්‍රිස්තියානීන්ට උනන්දු කළ පේතෘස් තවදුරටත් පැවසුවේ මෙසේයි. “එකිනෙකාට ලැබී තිබෙන දීමනාවේ හැටියට එකිනෙකාට සේවය කරන්න.” (1 පේතෘ. 4:8, 10) ඒ අනුව සභාවේ සිටින සෑම කෙනෙකුටම, එකිනෙකාව ගොඩනැංවීමේ වගකීමක් තිබෙනවා. යෙහෝවා දෙවි, ඒ සඳහා අපට ඔහු සතු වටිනා යමක් විශ්වාසයෙන් භාර දී තිබෙනවා. පේතෘස් එය හැඳින්වූයේ ‘දීමනාවක්’ ලෙසයි. එම දීමනාව කුමක්ද? එමෙන්ම එය යොදාගෙන “එකිනෙකාට සේවය කරන්න” අපට හැක්කේ කෙසේද? දැන් අපි මෙම ප්‍රශ්න සලකා බලමු.

6. ක්‍රිස්තියානීන්ට දෙවි ලබා දී ඇති දීමනා මොනවාද?

6 බයිබලය පවසන්නේ “සෑම යහපත් දීමනාවක්ම හා සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම පැමිණෙන්නේ ඉහළින්” කියායි. (යාකො. 1:17) ඇත්තෙන්ම දෙවි තම සේවකයන්ට විශ්වාසයෙන් භාර දී ඇති සියලුම දීමනා ඔහුගේ මහත් කරුණාවේ ප්‍රකාශයක්. දෙවිගේ බලය ඔහු අපට දී ඇති වටිනා දීමනාවක්. එය අප තුළ ක්‍රියාත්මක වන විට ප්‍රේමය, යහපත්කම හා මෘදුකම වැනි කදිම ගුණාංග අප තුළ වර්ධනය වෙනවා. ඒ නිසා සෙසු ක්‍රිස්තියානීන් කෙරෙහි අවංක ප්‍රේමයක් හා සැලකිල්ලක් දක්වන්න ඒ මගින් අප පෙලඹෙනවා. දෙවිගේ බලය නිසා අපට ලැබෙන ප්‍රඥාව හා දැනුමත් ඔහුගෙන් ලද දීමනාවන්. (1 කොරි. 2:10-16; ගලා. 5:22, 23) එපමණක් නොව අපගේ ශක්තිය, හැකියාවන් හා දක්ෂතාවයන්ද අපගේ පියාණන් වන යෙහෝවා දෙවිගෙන් වූ දීමනාවන් ලෙස සලකා ඒ සියල්ලම ඔහුගේ ප්‍රශංසාව පිණිස භාවිත කරමු. දෙවි අපට දී ඇති දීමනාවන් යොදාගනිමින් අපගේ සහෝදරයන්ට සේවය කිරීම, දෙවිගෙන් අපට ලැබී ඇති වගකීමක්. අප එසේ කරන විට එයද දෙවිගේ මහත් කරුණාවේ ප්‍රකාශයක් බව සහෝදරයන් තේරුම්ගනීවි.

‘එකිනෙකාට සේවය කරන්නේ’ කොහොමද?

7. (අ) “දීමනාවේ හැටියට” යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) අප අසා ගත යුතු ප්‍රශ්න මොනවාද? ඒ ඇයි?

7 “එකිනෙකාට ලැබී තිබෙන දීමනාවේ හැටියට” එකිනෙකාට සේවය කරන්න කියා පැවසූ පේතෘස්ගේ වචන සැලකිල්ලට ගන්න. එහි සඳහන් “දීමනාවේ හැටියට” යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ ක්‍රිස්තියානීන් සතු ගුණාංග හා හැකියාවන් ඔවුන් විදහා පෙන්වන ආකාරය එකිනෙකාට වෙනස් බවයි. එකිනෙකාට ලැබී තිබෙන ‘දීමනාව’ කුමක් වුණත් එය භාවිත කරමින් “එකිනෙකාට සේවය කරන්න” කියා අපට උනන්දු කර තිබෙනවා. ‘යහපත් භාරකරුවන් මෙන් එකිනෙකාට සේවය කරන්න’ යන ප්‍රකාශය ආඥාවක්. එමනිසා අපි අපගෙන්ම මෙසේ අසාගත යුතුයි. ‘මට විශ්වාසයෙන් භාර දී තිබෙන දීමනා මම භාවිත කරන්නේ සෙසු සහෝදරයන් වෙනුවෙන් සේවය කිරීමට හෝ ඔවුන්ව ගොඩනැංවීම සඳහාද?’ (1 තිමෝති 5:9, 10 බලන්න.) ‘නැත්නම් දෙවිගෙන් ලද එම දීමනා හෙවත් හැකියාවන් මම භාවිත කරන්නේ සමාජයේ කැපී පෙනෙන කෙනෙකු වීම හෝ ධනවත් කෙනෙකු වීම සඳහාද?’ (1 කොරි. 4:7) දෙවි සතුටු වන්නේ අප සතු හැකියාවන් ‘එකිනෙකාට සේවය කිරීම’ සඳහා යොදාගන්නා විටයි.—හිතෝ. 19:17; හෙබ්‍රෙව් 13:16 කියවන්න.

8, 9. (අ) ලොව පුරා සිටින ක්‍රිස්තියානීන් එකිනෙකාට සේවය කරන සමහරක් ක්‍රම මොනවාද? (ආ) ඔබගේ සභාවේ අය එකිනෙකාට උපකාර කරන ක්‍රම මොනවාද?

8 මුල් ක්‍රිස්තියානීන් විවිධ ආකාරවලින් එකිනෙකාට සේවය කළා. (රෝම 15:25, 26; 2 තිමෝති 1:16-18 කියවන්න.) ඒ හා සමානව අද සිටින ක්‍රිස්තියානීන්ද තමන් සතු දීමනා අන් අය වෙනුවෙන් භාවිත කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. ඔවුන් එය කරන ක්‍රම කිහිපයක් දැන් අපි බලමු.

9 රැස්වීම්වලට සූදානම් වීම සඳහා සහෝදරයන් සෑම මසකම පැය ගණනාවක් වැය කරනවා. ඔවුන් අධ්‍යයනය කර සොයාගත් වටිනා තොරතුරු සබය සමඟ බෙදාගන්නවා. එමගින් සෙසු අයව යහපත් ක්‍රියාවලට පොලඹවන අතර එය ඔවුන්ට මහත් දිරිගැන්වීමක්. (1 තිමෝ. 5:17) අන් අයට කරුණාවන්තව සැලකීම සම්බන්ධයෙන් තවත් සහෝදර සහෝදරියන් නම් දරා තිබෙනවා. (රෝම 12:15) තවත් අය දැඩි මානසික පීඩනය යටතේ සිටින ක්‍රිස්තියානීන්ව විටින් විට ගොස් හමු වන අතර ඔවුන් සමඟ එක්ව යාච්ඤා කරනවා. (1 තෙස. 5:14) විවිධ පරීක්ෂාවලට මුහුණ දෙමින් සිටින ක්‍රිස්තියානීන්ව දිරිගන්වමින් සමහරුන් ලිපි ලියනවා. අසනීප වැනි හේතූන් යටතේ සිටින අයට රැස්වීම්වලට සහභාගී වීමට තවත් අය උපකාර කරනවා. ඒ වගේම ස්වාභාවික විපත්වලට ගොදුරු වූ ක්‍රිස්තියානීන්ට උපකාර කිරීමටත් ඔවුන්ගේ නිවාස නැවත ඉදිකර දීමටත් දහස් ගණන් ක්‍රිස්තියානීන් කැමැත්තෙන්ම ඉදිරිපත් වී තිබෙනවා. එසේ ඔවුන් එකිනෙකාට දක්වන ඉමහත් සෙනෙහස හා ලබා දෙන උපකාර මගින් ප්‍රකාශ වන්නේ ‘විවිධ ආකාරවලින් පෙන්වන ලද දෙවිගේ මහත් කරුණාවයි.’—1 පේතෘස් 4:11 කියවන්න.

වැදගත් කුමන එකද?

10. (අ) පාවුල් හොඳින් තේරුම්ගෙන කටයුතු කළේ දෙවිට කරන සේවයේ කුමන පැති දෙක ගැනද? (ආ) පාවුල්ව ආදර්ශයට ගන්න අපට හැක්කේ කෙසේද?

10 දෙවි අපට විශ්වාසයෙන් යුතුව වගකීම් දෙකක් භාර දී තිබෙනවා. ඉන් එකක් වන්නේ දෙවි දී ඇති විවිධ දීමනා භාවිත කරමින් සෙසු ක්‍රිස්තියානීන් වෙනුවෙන් සේවය කිරීමයි. අනෙක් එක වන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමයි. පාවුල් එම වගකීම් දෙකම හොඳින් තේරුම්ගෙන කටයුතු කළා. තමන්ට ලැබුණු “දෙවිගේ මහත් කරුණාවේ භාරකාරකම” ගැන පාවුල් එෆීසයේ ක්‍රිස්තියානීන්ට පැවසුවා. එය නම් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ වගකීමයි. (එෆී. 3:2) “ශුභාරංචිය භාර දීමට අප සුදුස්සන්යයි දෙවි තීරණය කළේය” කියාද තවත් අවස්ථාවකදී ඔහු පැවසුවා. (1 තෙස. 2:4) යෙහෝවා දෙවි පාවුල්ට මෙන් අපටත් දේවරාජ්‍යයේ පණිවිඩය ප්‍රකාශ කිරීමට පැවරුමක් විශ්වාසයෙන් භාර දී තිබෙන බව අපත් තේරුම්ගෙන තිබෙනවා. එමනිසා අපත් වෙහෙස නොබලා එහි හවුල් වෙනවා නම් පාවුල්ව අනුකරණය කරන්න අපටත් හැකියි. (ක්‍රියා 20:20, 21; 1 කොරි. 11:1) දෙවි දුන් එම පැවරුම ඉටු කිරීමෙන් අන් අයගේ ජීවිත ගැලවෙන බවද අපි දන්නවා. අප එම සේවයේ හවුල් වන අතරම අපගේ සහෝදර සහෝදරියන්ට දෙවි සමඟ ඇති මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමටද උපකාර කළ යුතුයි.—රෝම 1:11, 12; 10:13-15 කියවන්න.

11. අපට ඇති කාර්යයන් දෙක අප සැලකිය යුත්තේ කෙසේද?

11 සෙසු ක්‍රිස්තියානීන්ව ගොඩනැංවීම හා ශුභාරංචිය ප්‍රකාශ කිරීම යන කාර්යයන් දෙකෙන් වඩා වැදගත් එක කුමක්ද? එම ප්‍රශ්නය හරියට කුරුල්ලෙකුට උගේ තටු දෙකෙන් වැදගත් කොයි එකද කියා අසනවා හා සමානයි. ඊට පිළිතුර අපිට ඉතා පැහැදිලියි. පියාඹන්න නම් කුරුල්ලෙකුට තටු දෙකම අවශ්‍යයි. අපත් එම කාර්යයන් දෙකම එක සේ ඉටු කිරීම දෙවි අපගෙන් බලාපොරොත්තු වෙනවා. පාවුල් හා පේතෘස් මෙන් අපත් එය සැලකිය යුත්තේ එකිනෙකට බැඳී පවතින වගකීම් ලෙසයි.

12. දෙවි කැමති ආකාරයෙන් අපව හසුරු වන්න අප, ඔහුට ඉඩ දෙන බව පෙන්විය හැක්කේ කෙසේද?

12 ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් ලෙස අප නිතරම උත්සාහ කරන්නේ අපගේ ඉගැන්වීමේ හැකියාවන් භාවිත කර ජනයාට පිළිගත හැකි ආකාරයෙන් ශුභාරංචිය ඉදිරිපත් කිරීමටයි. අපි ඒ මගින් ජනයාට යේසුස්ගේ අනුගාමිකයන් බවට පත්වීමට උපකාර කරමු. ඒ අතරම අපට ලැබී ඇති දීමනා හෙවත් හැකියාවන් කුමක් වුණත් ඒවා භාවිත කරමින් අපගේ වචනයෙන් හා ක්‍රියාවෙන් එකිනෙකාව දිරිගන්වන්න හා ගොඩනංවන්න උත්සාහ කරමු. එයද සෙසු ක්‍රිස්තියානීන් කෙරෙහි දෙවි දක්වන මහත් කරුණාවේ ප්‍රකාශයක්. (හිතෝ. 3:27; 12:25) එසේ කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ, යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දිගටම රැඳී සිටීමට ඔවුන්ට උපකාර කිරීමයි. එම වැදගත් කාර්යයන් දෙකෙහිම හවුල් වීමෙන් අප පෙන්වන්නේ දෙවිට කැමති ආකාරයට අපව හසුරුවන්න අප ඔහුට ඉඩ දෙන බවයි. එය අපට මහත් වරප්‍රසාදයක්!—ගලා. 6:10.

“එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න”

13. ‘එකිනෙකාට සේවය කිරීමෙන්’ අප වැළකී සිටියොත් කුමක් සිදු විය හැකිද?

13 පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ව මෙසේ දිරිගැන්වූවා. “සහෝදර ප්‍රේමයෙන් යුතුව එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න. එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න.” (රෝම 12:10) ඇත්තෙන්ම අපගේ සහෝදරයන් කෙරෙහි මහත් ඇල්මක් අපට තිබෙනවා නම් දෙවිගේ මහත් කරුණාවේ භාරකරුවන් මෙන් සේවය කිරීමට එය අපව පොලඹවනවා. නමුත් ‘එකිනෙකාට සේවය කිරීමෙන්’ අපව වළක්වන්න සාතන් දරන උත්සාහයට අප ඉඩ දුන්නොත් අප එකිනෙකා අතර ඇති එක්සත්කම දුර්වල වෙනවා. (කොලො. 3:14) එසේ වුණොත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපට ඇති උද්‍යෝගයද අඩු වෙනවා. එය හරියට පියාඹන කුරුල්ලෙකුගේ එක තටුවකට හානියක් සිදු වුණොත් ඌ බිමට වැටෙනවා හා සමානයි. දෙවි අපට දී ඇති වැදගත් කාර්යයන් දෙකෙන් එකක් හෝ අප නොසලකා හැරියොත් අපවත් ඇදහිල්ලෙන් වට්ටවන්න හැකි බව සාතන් දන්නවා.

14. අප එකිනෙකාට කරන සේවයෙන් ප්‍රයෝජන අද්දකින්නේ කවුද? උදාහරණයක් දෙන්න.

14 අප ‘එකිනෙකාට සේවය කරද්දී’ අන් අය මෙන්ම අපත් ඉන් ප්‍රයෝජන ලබනවා. (හිතෝ. 11:25) එය තේරුම්ගැනීමට ඇමරිකාවේ ජීවත් වන රයන් හා රොනී නමැති තරුණ ක්‍රිස්තියානි යුවළගේ අද්දැකීම සලකා බලන්න. කැට්‍රිනා චන්ඩ මාරුතයෙන් සාක්ෂිකරුවන් සිය ගණනකගේ නිවෙස් විනාශ වී ඇති බව ඔවුන්ට දැනගන්න ලැබුණා. මේ යුවළට එම ක්‍රිස්තියානීන් කෙරෙහි තිබූ බලවත් සහෝදර ස්නේහය නිසා ඔවුන් තම රැකියාව, ගෙවල් දොරවල් අතහැර ඒ ප්‍රදේශයට ගොස් ඔවුන්ට උපකාර කරන්න තීරණය කළා. ඒ සඳහා ඔවුන් නිවසක් ලෙස භාවිත කළ හැකි තරමක් පරණ වාහනයක් මිල දී ගත්තා. පසුව ඔවුන් කිලෝමීටර් 1,400ක් තරම් ඈතින් තිබෙන ලුසියානාවලට ගියා. එහි අවුරුද්දකට වැඩි කාලයක් ගත කළ ඔවුන් තම කාලය, ශක්තිය හා මිල මුදල් වැය කරමින් ඒ සහෝදරයන්ට උපකාර කළා. ඒ ගැන 29 හැවිරිදි රයන් මෙහෙම කියනවා. ‘මෙහෙ ඉන්න සහෝදරයන්ට උපකාර කරන්න ආපු නිසා යෙහෝවා දෙවිට තව තවත් ළං වෙන්න මට හැකි වුණා. යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව මොන තරම් හොඳින් රැක බලා ගන්නවාද කියලා මම හොඳටම දැක්කා. ඒ වගේම අනෙක් සහෝදරයන්ට උදව් කරන්නේ කොහොමද කියන එක ගැන ගොඩාක් දේවල් වයසක සහෝදරයන්ගෙන් මම ඉගෙනගත්තා. තරුණ අය හැටියට දෙවිගේ සංවිධානය තුළ තව කොයිතරම් දේවල් කරන්න තියෙනවාද කියලාත් මම තේරුම්ගත්තා.’ ඔහුගේ බිරිඳ වන 25 හැවිරිදි රොනී මෙහෙම කියනවා. ‘අනිත් අයට උදව් කරන්න මට ලැබුණු එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඇත්තටම මම මේ සේවයෙන් ලොකු ප්‍රීතියක් අද්දැක්කා. ඒ වගේම මගේ ජීවිතයේ ඉතිරි කාලයටත් මේ අද්දැකීම ගොඩාක් ප්‍රයෝජනවත් වන බව මම දන්නවා.’

15. අපට ලැබී තිබෙන දීමනාවේ හැටියට එකිනෙකාට සේවය කිරීම සඳහා අපට තිබෙන හේතු මොනවාද?

15 ශුභාරංචිය ප්‍රකාශ කිරීමටත් එකිනෙකාව ගොඩනැංවීමටත් දෙවි දී ඇති ආඥාවට කීකරු වීමෙන් සියල්ලන්ටම ආශීර්වාද ලැබිය හැකියි. අප උපකාර කරන අය ඇදහිල්ලේ ශක්තිමත්ව සිටීම අපට මහත් ප්‍රීතියක්. එම ප්‍රීතිය ලැබිය හැක්කේ දීමෙන් පමණයි. (ක්‍රියා 20:35) සභාවේ සිටින සෑම සාමාජිකයෙක්ම එකිනෙකා කෙරෙහි ප්‍රේමණීය සැලකිල්ල දක්වද්දී ඔවුන් සියලුදෙනා අතර ඇති බැඳීම වඩාත් ශක්තිමත් වෙනවා. අප එකිනෙකා කෙරෙහි දක්වන ප්‍රේමය, අප යේසුස්ගේ ගෝලයන් බවට සාක්ෂියක්. යේසුස් පැවසුවේ “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත” කියායි. (යොහ. 13:35) අප සතු සෑම යහපත් දීමනාවක් සඳහාම ප්‍රශංසාව හිමි විය යුත්තේ අප කෙරෙහි ඉතා සැලකිලිමත් වන අපගේ ස්වර්ගීක පියාණන්ටයි. “දෙවිගේ මහත් කරුණාවේ යහපත් භාරකරුවන් මෙන්, එකිනෙකාට ලැබී තිබෙන දීමනාවේ හැටියට එකිනෙකාට සේවය” කිරීම සඳහා අපට මොන තරම් හොඳ හේතු තිබෙනවාද? ඔබගේ බලාපොරොත්තුවත් දිගටම එකිනෙකාට සේවය කිරීමද?—හෙබ්‍රෙව් 6:10 කියවන්න.

ඔබට මතකද?

• දෙවි තම සේවකයන්ව ශක්තිමත් කරන ක්‍රම මොනවාද?

• අපට විශ්වාසයෙන් භාර දී තිබෙන කාර්යයන් මොනවාද?

• සෙසු ඇදහිලිවන්තයන් වෙනුවෙන් අපට සේවය කළ හැකි ක්‍රම මොනවාද?

• අපට ලැබී ඇති දීමනා භාවිත කරමින් ‘එකිනෙකාට සේවය කිරීමට’ අපව පොලඹවන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූර]

ඔබට ලැබී ඇති ‘දීමනා’ ඔබ භාවිත කරන්නේ අන් අය වෙනුවෙන්ද නැත්නම් ඔබ වෙනුවෙන් පමණක්ද?

[15වන පිටුවේ පින්තූර]

අප ශුභාරංචිය ප්‍රකාශ කරන අතරම සෙසු ඇදහිලිවන්තයන්ව ගොඩනැංවීමේද හවුල් වෙනවා

[16වන පිටුවේ පින්තූරය]

විපතට පත් අයට උපකාර කිරීමෙහි පරිත්‍යාගශීලීව සේවය කරන ක්‍රිස්තියානීන් ප්‍රශංසාව ලබන්න වටිනවා