Skip to content

පටුනට යන්න

ඔහු දුක් පීඩා වින්දේ අප නිසයි

ඔහු දුක් පීඩා වින්දේ අප නිසයි

ඔහු දුක් පීඩා වින්දේ අප නිසයි

‘ඔහුට හෙල්ලයෙන් තුවාල කරනු ලැබුවේ අපගේ පාප නිසයි. අප කළ වැරදි නිසා ඔහු දරුණු ලෙස දුක් පීඩා වින්දේය. ඔහු ලැබූ තුවාල නිසා අපි සුවය ලබන්නෙමු.’—යෙසා. 53:5, නව ලොව පරිවර්තනය, NW.

1. අප සෑම වසරකම යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි? එය තේරුම්ගැනීමට අපට උපකාර කරන අනාවැකිය කුමක්ද?

අප සෑම වසරකම යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි? ඒ ඔහුගේ මරණයෙන් හා නැවත නැගිටීමෙන් ඉටු වූ දේවල් ගැන ගැඹුරින් සිතා බැලීමටයි. යේසුස් තම ජීවිතය පූජා කිරීම නිසා සියලු දේ පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය ඔහු තහවුරු කළා. දෙවිගේ නාමයට ඇති වී තිබූ කැළැල ඉන් ඉවත් කළා. එමෙන්ම මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම ඇතුළු දෙවිගේ අනෙකුත් අරමුණු ඉටු වීමට එය දායක වුණා. යේසුස්ගේ ජීවිත පූජාව හා ඒ තුළින් ඉටු වූ දේවල් ගැන යෙසායා 53:3-12හි මනාව විස්තර කරනවා. ඒ හා සමාන අනාවැකියක් බයිබලයේ වෙනත් ස්ථානයක සොයාගත නොහැකි තරම්. සේවකයා හෙවත් යේසුස් විඳීමට නියමිත දුක් පීඩා මෙන්ම ඔහුගේ මරණය පිළිබඳ නිශ්චිත තොරතුරුද එම අනාවැකියේ ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම ඔහුගේ මරණයෙන් අභිෂේක ලත් අය හා “වෙනත් බැටළුවන්” ලබන්න නියමිත ආශීර්වාද ගැනද විස්තර කර තිබෙනවා.—යොහ. 10:16.

2. යෙසායාගේ අනාවැකියෙන් දෙවි පැහැදිලිව පෙන්වූයේ කුමක්ද? එය අධ්‍යයනය කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?

2 යේසුස් ඉපදීමට අවුරුදු 700කට පමණ පෙර දෙවි, යෙසායා මගින් ඔහු ගැන අනාවැකියක් පැවසුවා. එහි සඳහන් වන්නේ දෙවිගේ තෝරාගත් සේවකයා මොන තරම් පීඩා පරීක්ෂාවලට මුහුණ දුන්නත් ඔහු ඒ සෑම එකකදීම දෙවිට විශ්වාසවන්තව සිටින බවයි. යෙහෝවා දෙවිට තම පුත්‍රයාගේ පක්ෂපාතකම ගැන දැඩි විශ්වාසයක් තිබෙන බවත් එහි සඳහන් වුණා. මෙම අනාවැකිය අධ්‍යයන කිරීමෙන් දෙවි කෙරෙහි ඇති අපගේ අගයත් ඇදහිල්ලත් තව තවත් ශක්තිමත් වන බව ස්ථිරයි. *

“කිසිදු තැකීමක්” නොකොට ඔහුව “සුළු කොට එපා කරනු” ලැබුවා

3. යේසුස්ව පිළිගන්න යුදෙව්වන්ට යුතුව තිබුණේ ඇයි?

3 යෙසායා 53:3 කියවන්න. * තම පියා ළඟින්ම සිට ඔහුට ප්‍රීතියෙන් සේවය කළ යේසුස්ට ඒ සියල්ල අතහැර පොළොවට පැමිණ, මිනිසුන් වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කිරීම ගැන කෙසේ හැඟෙන්න ඇද්ද! (ෆිලි. 2:5-8) මිනිසාගේ පාපවලට සමාව ලැබෙන්නේ තමාගේ ජීවිත පූජාවෙන් පමණක් බව යේසුස් දැන සිටියා. එදා මෝසෙස්ගේ නීතිය යටතේ සිදු කළ සත්ව පූජා මගින් නියෝජනය කළේ යේසුස්ගේ ජීවිත පූජාවයි. (හෙබ්‍රෙ. 10:1-4) එවන් උතුම් කාර්යයක් ඉටු කිරීමට පැමිණි ඔහුව අඩුම තරමින් යුදෙව්වන්වත් පිළිගත යුතුව තිබුණා නොවේද? (යොහ. 6:14) එහෙත් යෙසායා පැවසූ පරිදි ඔවුන් යේසුස්ව “කිසිදු තැකීමක්” නොකොට ඔහුව “සුළු කොට එපා කරනු” ලැබුවා. යොහන්ද ඒ ගැන පැවසූවේ “ඔහු තමාගේම දේශයට ආ නමුත් තමාගේම ජනතාව ඔහුව පිළිගත්තේ නැත” කියායි. (යොහ. 1:11) පේතෘස්ද, යුදෙව්වන්ට එය මෙසේ මතක් කළා. ‘අපේ මුතුන්මිත්තන්ගේ දෙවි ඔහුගේ සේවකයා වන යේසුස්ව මහිමයට පත් කළේය. එහෙත් ඔබ, පිලාත් ඔහුව නිදහස් කරන්න තීරණය කරගෙන සිටි විට, ඔහුව පාවා දී පිලාත් ඉදිරියෙහි ඔහුව ප්‍රතික්ෂේප කළහුය. එසේය, ඔබ ඒ ශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ තැනැත්තාව ප්‍රතික්ෂේප කළේය.’—ක්‍රියා 3:13, 14.

4. ‘ලෙඩ රෝග කියන්නේ කුමක්ද කියා ඔහු හොඳින් දැන සිටියා’ කීමෙන් අදහස් කළේ කුමක්ද?

4 යෙසායා 53:3හි [NW] මෙවැනි අනාවැකියක්ද සඳහන් වෙනවා. “ලෙඩ රෝග කියන්නේ කුමක්ද කියා ඔහු හොඳින් දැන සිටියේය.” ඉන් අදහස් කළේ ඔහු අසනීප වූ බවද? නැහැ. ඔහු පොළොවේ සිටි කාලයේදී වෙහෙසට පත් වූ අවස්ථා තිබුණත් ඔහු අසනීප වූ බවට නම් සඳහනක් නැහැ. (යොහ. 4:6) කෙසේනමුත් තමන් ශුභාරංචිය දේශනා කළ අයට තිබූ අසනීප ගැන නම් ඔහු හොඳින් දැන සිටි අතර ඒවා සුව කළා. (මාක් 1:32-34) ඒ තුළින් ඔහු මෙම අනාවැකියේ සඳහන් වචන ඉටු කළා. “ඔහු තම කර පිට උසුලාගෙන ගියේ අපේ ලෙඩ රෝග හා දුක් වේදනාය.”—යෙසා. 53:4අNW; මතෙ. 8:16, 17.

“දෙවි අතින් දඬුවම් විඳි” කෙනෙකු මෙන්

5. සමහර යුදෙව්වන් යේසුස්ගේ මරණයට හේතුව හැටියට සැලකුවේ කුමක්ද? යේසුස් විඳි වේදනාව තවත් වැඩි කිරීමට හේතු වූයේ කුමක්ද?

5 යෙසායා 53:4ආ කියවන්න. * යේසුස් පීඩා විඳීමට හා මිය යෑමට හේතුව එදා සිටි බොහෝදෙනෙක් වටහාගත්තේ නැහැ. සමහරුන් විශ්වාස කළේ ඔහු දෙවිගෙන් දඬුවම් ලබනවා කියායි. (මතෙ. 27:38-44) ඔහු දෙවිට අපහාස කරනවා කියාද යුදෙව්වන් චෝදනා කළා. (මාක් 14:61-64; යොහ. 10:33) ඔහු පව්කාරයෙක්වත් දෙවිට අපහාස කරන්නෙක්වත් නොවෙයි. නමුත් වද කණුවක් මත තමන්ට මිය යෑමට සිදු වන්නේ දේවඅපහාස කරන්නා යන බොරු චෝදනා නිසා බව දැන සිටීමද ඔහුගේ වේදනාව තවත් වැඩි කළා. ඒ කුමක් වුවත් යෙහෝවා දෙවිගේ කැමැත්තට යටත්ව කටයුතු කරන්න ඔහු කැමැත්තෙන් සිටියා.—මතෙ. 26:39.

6, 7. දෙවි තම පුත්‍රයාට දුක් වේදනා විඳීමට ඉඩ හැරියේ ඇයි? එමෙන්ම ඒ ගැන යෙහෝවා දෙවිට හැඟුණේ කෙසේද?

6 යෙහෝවා දෙවි යේසුස් ගැන යෙසායා තුළින් මෙසේ පැවසුවා. “මෙන්න, මාගේ අනුමැතිය ඇති මාගේ ප්‍රේමණීය සේවකයා! මා තෝරාගත් සේවකයා මොහුය.” (යෙසා. 42:1NW) නමුත් යෙහෝවා දෙවි ‘ඔහුට දරුණු දුක් පීඩා විඳීමට ඉඩ හැරියේය’ කියාද යෙසායාගේ අනාවැකියේ තවත් තැනක සඳහන් වෙනවා. (යෙසා. 53:10NW) යෙහෝවා දෙවි තම අනුමැතිය ඇති යේසුස්ට එවන් තත්වයන්ට මුහුණ දීමට ඉඩ හැරියේ ඇයි?

7 එය තේරුම්ගැනීමට සාතන්, යෙහෝවා දෙවිට එල්ල කළ චෝදනා ගැන කල්පනා කිරීම උපකාරවත් වෙනවා. සියල්ල පාලනය කිරීමට යෙහෝවා දෙවිට ඇති අයිතිය ගැන ඔහු චෝදනා කළා. ඔහුගේ ඊළඟ චෝදනාව වුණේ ස්වර්ගයේ හා පොළොවේ සිටින දෙවිගේ සේවකයන් පීඩා යටතේ දෙවිට විශ්වාසවන්තව නොසිටින බවයි. (යෝබ් 1:9-11; 2:3-5) නමුත් යේසුස් දරුණු දුක් පීඩාවලට සාර්ථකව මුහුණ දෙමින් සාතන්ගේ චෝදනාව අමූලික බොරුවක් බව ඔප්පු කළා. යෙහෝවා දෙවි තම පුත්‍රයාට එවැනි තත්වයකට මුහුණ දීමට ඉඩ හැරියේ ඒ නිසයි. තම පුත්‍රයා දුක් වේදනා විඳ මිය යනවා දැකීම දෙවිගේ සිතට විශාල වේදනාවක් ගෙන දුන්නා. කෙසේනමුත් යේසුස්ගේ විශ්වාසවන්තකම යෙහෝවා දෙවිට විශාල ප්‍රීතියක් ගෙන දුන්නා. (හිතෝ. 27:11) ඒ වගේම තම පුත්‍රයාගේ ජීවිත පූජාව මගින් පසුතැවිලි වන මිනිස්වර්ගයාට ප්‍රයෝජන ලැබෙන බව දැන සිටීමද දෙවිගේ ප්‍රීතියට හේතුවක් වුණා.—ලූක් 15:7.

‘ඔහුට හෙල්ලයෙන් තුවාල කළේ අප කළ වැරදි නිසයි’

8, 9. (අ) ‘අප කළ වැරදි නිසා යේසුස්ට හෙල්ලයෙන් තුවාල කළා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) පේතෘස් එය අවධාරණය කරන්නේ කෙසේද?

8 යෙසායා 53:6 කියවන්න. * ආදම්ගේ පාපය නිසා උරුම වූ අසනීප හා මරණයෙන් නිදහස් වීමට මිනිස්වර්ගයා මඟක් සොයමින් සිටියා. ඔවුන් සිටියේ හරියට අතරමං වූ බැටළුවන් වගෙයි. (1 පේතෘ. 2:25) එහෙත් ආදම්ගෙන් පැවත එන කිසිවෙකුටවත් ඔහු අහිමි කරගත් ඒ පරිපූර්ණ ජීවිතය නැවත ලබාගන්න හැකියාවක් තිබුණේ නැහැ. (ගීතා. 49:7) ඒ නිසා කරුණාවන්ත දෙවි යෙහෝවා “අප සියල්ලන්ගේම වැරදි ඔහුගේ [යේසුස්ගේ] කර පිට” තැබුවා. එමෙන්ම “ඔහුට හෙල්ලයෙන් තුවාල” කළ බව යෙසායා පැවසුවා. ඉන් අදහස් කළේ ‘අප කළ වැරදි නිසා දරුණු ලෙස දුක් පීඩා විඳීමට’ හා අවසානයේදී වද කණුවක මිය යන්න ඔහුට සිදු වූ බවයි.

9 පේතෘස් යේසුස් සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා. “ඇත්තෙන්ම ඔබව කැඳවනු ලැබුවේ මේ මඟෙහි ගමන් කිරීමටය. මන්ද, ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ, ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය. තවදුරටත් අප පාපවල නොයෙදී ධර්මිෂ්ඨකම උදෙසා ජීවත් වන පිණිස, ඔහු කණුව මතදී, තමාගේ ශරීරය තුළ අපේ පව් දැරුවේය.” ඊළඟට ඔහු යෙසායාගේ අනාවැකියෙන් උපුටා දක්වමින් මෙසේද පැවසුවා. “ඔහුගේ තුවාලවලින් ඔබව සුව කරනු ලැබුවේය.” (1 පේතෘ. 2:21, 24; යෙසා. 53:5) යේසුස්ගේ එම ක්‍රියාව නිසා පව්කාර මිනිසාට දෙවි සමඟ සමඟි වීමට මාර්ගය විවෘත වුණා. ඒ සම්බන්ධයෙන් පේතෘස් තවදුරටත් පැවසුවේ මෙයයි. “ඔබව දෙවි වෙතට පමුණුවන පිණිස අධර්මිෂ්ඨ අය උදෙසා මිය ගිය ධර්මිෂ්ඨ තැනැත්තෙක් වූ ක්‍රිස්තුස් පවා පාප සම්බන්ධයෙන් සදහටම සරිලන සේ එක් වරක් මිය ගියේය.”—1 පේතෘ. 3:18.

“ඔහුව ගෙන ගියේ මරන්න ගෙන යන බැටළුවෙකු මෙනි”

10. (අ) යොහන් බව්තීස්ත යේසුස්ව හැඳින්වූයේ කෙසේද? (ආ) යොහන් පැවසූ දේ යේසුස්ට ගැළපෙන්නේ කෙසේද?

10 යෙසායා 53:7, 8 කියවන්න. * යේසුස් බව්තීස්ම වීමට පැමිණෙන විට යොහන් බව්තීස්ත ඔහු ගැන මෙසේ පැවසුවා. “මෙන්න, ලෝකයේ පාපය නැති කර දමන, දෙවිගේ බැටළු පැටවා!” (යොහ. 1:29) යේසුස්ව බැටළු පැටවෙකුට සමාන කරන විට යෙසායාගේ මෙම වදන් යොහන්ට මතක් වෙන්න ඇති. “මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය” (යෙසා. 53:7NW) “ඔහු තම දිවි පිදුවේය” කියාද යෙසායා පැවසුවා. (යෙසා. 53:12NW) එම අනාවැකියේ ඉටුවීමක් ලෙස යේසුස් තම මරණය සිහි කිරීම ස්ථාපිත කළ රාත්‍රියේදී ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන් 11දෙනාට වයින් සහිත කුසලානයක් දෙමින් මෙසේ පැවසුවා. “මෙය පව්වලට සමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන ‘ගිවිසුමේ මාගේ රුධිරය’ නියෝජනය කරන්නේය.”—මතෙ. 26:28.

11, 12. (අ) ඊසාක් කැමැත්තෙන්ම තම ජීවිතය පූජා කිරීමට ඉදිරිපත් වීමෙන් නිදර්ශනය කළේ කුමක්ද? (ආ) යේසුස්ගේ මරණය සිහි කිරීමේ අවස්ථාව අප සැමරිය යුත්තේ කාගේ ප්‍රශංසාව පිණිසද?

11 ඊසාක් තම පියාට කැමැත්තෙන්ම යටත් වුණාක් මෙන් යේසුස්ද, යෙහෝවා දෙවිගේ කැමැත්ත වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීමට ඉදිරිපත් වුණා. (උත්. 22:1, 2, 9-13; හෙබ්‍රෙ. 10:5-10) ඊසාක් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණත් එම පූජාව සඳහා මූලික පියවර ගත්තේ ආබ්‍රහම්. (හෙබ්‍රෙ. 11:17) ඒ හා සමානව තම ජීවිතය පූජා කරන්න යේසුස් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණත් මනුෂ්‍යවර්ගයාව ගලවාගැනීම සඳහා එම සැලැස්ම ඇති කළේ යෙහෝවා දෙවියි. මිනිසා කෙරෙහි යෙහෝවා දෙවිට මොන තරම් ප්‍රේමයක් තිබෙනවාද යන්න ගැන එය කදිම සාක්ෂියක්.

12 එක් අවස්ථාවකදී යේසුස්ම මෙසේ පැවසුවා. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහ. 3:16) එය තහවුරු කරමින් පාවුල්ද මෙසේ පැවසුවා. “දෙවි අපට තම ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම, ක්‍රිස්තුස් අප උදෙසා මිය යෑමෙනි.” (රෝම 5:8) එමනිසා යේසුස්ගේ මරණය සිහි කිරීම තුළින් ඔහුට අපගේ ගෞරවය පෙන්විය යුතුයි. නමුත් අප එම අවස්ථාව සිහි කරන්නේ එවන් ශ්‍රේෂ්ඨ සැලැස්මක් ඇති කළ තැනැත්තා වන යෙහෝවා දෙවිගේ ප්‍රශංසාව පිණිසයි.

බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලබයි

13, 14. යේසුස් “බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු” ලබන තත්වයකට පත් කළේ කෙසේද?

13 යෙසායා 53:11, 12 කියවන්න. * මෙම සේවකයා “බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨ” තත්වයකට ගෙන එනු ලබන බව යෙහෝවා දෙවි පැවසුවා. ඔහු එය කරන්නේ කෙසේද? ඊට පිළිතුරු සඳහා යම් ඉඟියක් 12වන පදයේ මුල් කොටසේ සපයනවා. එහි පවසන්නේ “ඔහු පව්කාරයන් වෙනුවෙන් මැදිහත්” වීමෙන් එසේ කළ බවයි. එසේ මැදිහත් වීමට ඔහුට සිදු වුණේ ආදම්ගෙන් පැවත එන සියල්ලන් “පව්කාරයන්” නිසා මෙන්ම “පාපය සඳහා ගෙවන කුලිය” ලෙස ඔවුන් මිය යන නිසයි. (රෝම 5:12; 6:23) ඒ නිසා යෙහෝවා දෙවි හා පව්කාර මිනිසුන් අතර සමඟිකමක් ඇති කිරීමේ අවශ්‍යතාවක් පැනනැඟුණා. යේසුස් එම සමඟිකම ඇති කිරීම සඳහා පව්කාර මිනිස් වර්ගයා වෙනුවෙන් මැදහත්කරුවෙකු ලෙස ක්‍රියා කළා. ඒ ගැන යෙසායා 53වන පරිච්ඡේදයේ විස්තර කරන්නේ මෙසේයි. “ඔහු දඬුවම් වින්දේ අපට සාමය උදා කර දීම සඳහාය. ඔහු ලැබූ තුවාල නිසා අපි සුවය ලබන්නෙමු.”—යෙසා. 53:5NW.

14 ඉන් අදහස් කරන්නේ ඔහු “බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු” ලබන තත්වයකට පත් කිරීම සඳහා අපේ පාප දරමින් අප වෙනුවෙන් මිය ගිය බවයි. එය තවදුරටත් පාවුල් විස්තර කළේ මෙසේයි. “ඔහු තුළ මුළු පූර්ණකම තිබීම සුදුසුයයි දෙවි තීරණය කළේය. එමෙන්ම, සියලු දේ එනම් පොළොවේ දේවල් වේවා, ස්වර්ගයෙහි දේවල් වේවා, ඔහු මාර්ගයෙන් තමන්ට සමඟි කරගැනීම සුදුසුයයි දෙවි තීරණය කළේය. එසේ සමඟි කළේ ඔහු වධකණුවේදී වැගිරෙවූ රුධිරය මාර්ගයෙන් සමාදානය ඇති කිරීමෙනි.”—කොලො. 1:19, 20.

15. (අ) පාවුල් සඳහන් කළ ‘ස්වර්ගයෙහි දේවල්වලට’ අයත් වන්නේ කවුද? (ආ) යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාවේ භාවිත කරන සංකේතවලට පංගුකාරයන් විය හැක්කේ කාට පමණක්ද, එමෙන්ම ඒ ඇයි?

15 ඉහත සඳහන් ලෙස දෙවි, යේසුස්ගේ රුධිරය මාර්ගයෙන් තමන්ට සමඟි කරගත් “ස්වර්ගයෙහි දේවල්” වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. ඔහු එසේ කළේ ඔවුන්ව ස්වර්ගයෙහි යේසුස් සමඟ රජකම් කිරීමට තෝරාගැනීමෙනුයි. ඒ නිසා “ස්වර්ගීය කැඳවීමට පංගුකාරයන්” වන මෙම ක්‍රිස්තියානීන්ව ‘ජීවනය සඳහා ධර්මිෂ්ඨ’ අය ලෙස ප්‍රකාශ කර තිබෙනවා. (හෙබ්‍රෙ. 3:1; රෝම 5:1, 18) මෙසේ දෙවි ඔවුන්ව තම පුත්‍රයන් ලෙස පිළිගන්නවා. ඔවුන්ව දේවරාජ්‍යයේ රජවරුන් හා පූජකයන් ලෙස ‘ක්‍රිස්තුස් හා සමඟ හවුල් උරුමක්කාරයන්’ වීම සඳහා තෝරාගෙන ඇති බව දෙවිගේ බලය මගින් ඔවුන්ට දැනගන්න සලස්වනවා. (රෝම 8:15-17; එළි. 5:9, 10) ඒ අනුව ඔවුන් ‘අලුත් ගිවිසුමට’ ඇතුළත් අය නිසා ඔවුන් “දෙවිගේ ඊශ්‍රායෙල්” බවට පත් වෙනවා. (යෙරෙ. 31:31-34; ගලා. 6:16) ඔවුන් එම අලුත් ගිවිසුමේ සාමාජිකයන් වන නිසා, යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාවේදී අතිනත යවන සංකේතවලට පංගුකාරයන් වීමට ඔවුන්ට හැකියි. ඒ අවස්ථාවේදී භාවිත කරන වයින්වලින් නියෝජනය කරන දේ ගැන යේසුස් මෙසේ පැවසුවා. “මේ කුසලානය, ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් ඇති වන අලුත් ගිවිසුම නියෝජනය කරන්නේය.”—ලූක් 22:20.

16. “පොළොවේ දේවල්” කියද්දී ඊට ඇතුළත් වන්නේ කුමක්ද? එමෙන්ම ඔවුන් දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ තත්වයකට පත් වන්නේ කෙසේද?

16 යෙහෝවා දෙවි තමාට සමඟි කරගත් “පොළොවේ දේවල්” වන්නේ පොළොව මත සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින වෙනත් බැටළුවනුයි. යේසුස් විසින් මේ අයවද යෙහෝවා දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ තත්වයකට ගෙනැවිත් තිබෙනවා. ඊට හේතුව ඔවුන් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබා ‘තමුන්ගේ සළු බැටළු පැටවාගේ රුධිරයෙන් සෝදා සුදු කරගෙන’ ඇති නිසයි. දෙවි ඔවුන්වද ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරන නමුත් දෙවි ඔවුන්ව සලකන්නේ ඔහුගේ පුත්‍රයන් ලෙස නොව මිත්‍රයන් ලෙසයි. ඒ වගේම “මහත් පීඩාවෙන්” බේරීමේ අවස්ථාවද දෙවි ඔවුන්ට ලබා දෙනවා. (එළි. 7:9, 10, 14; යාකො. 2:23) ඔවුන් අලුත් ගිවිසුමට ඇතුළත් නොවන නිසා ඔවුන්ගේ බලාපොරොත්තුව ස්වර්ගයෙහි ජීවත් වීම නොවෙයි. එමනිසා යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාවේදී භාවිත කරන සංකේතවලට ඔවුන් පංගුකාරයන් නොවුණත් නිරීක්ෂකයන් ලෙස ඉතා ගෞරවාන්විතව එම අවස්ථාවට සහභාගි වෙනවා.

සියලු ගෞරවයත් ස්තුතියත් දෙවිට හා ඔහුගේ පුත්‍රයාට හිමියි

17. යේසුස්ගේ මරණය සිහිකිරීම සඳහා අපගේ මනස් සූදානම් කරගැනීමට, අපට උපකාර කරන්නේ යේසුස් පිළිබඳ කුමන තොරතුරුද?

17 යේසුස්ගේ මරණය සිහි කිරීම සඳහා අපගේ මනස් සූදානම් කරගැනීමට, යේසුස් පිළිබඳ යෙසායා පැවසූ අනාවැකි අධ්‍යයනය කිරීම උපකාරවත් වෙනවා. “අපේ ඇදහිල්ලේ ප්‍රධාන නියෝජිතයාද, එය පරිපූර්ණ කරන්නාද දෙස මහත් ඕනෑකමින් බලා” සිටින්න එමගින් අපට හැකි වෙනවා. (හෙබ්‍රෙ. 12:2) දෙවිගේ පුත්‍රයා, කැරලිකාර සාතන් මෙන් නොව සියල්ල පාලනය කිරීමට අයිතිය ඇති තැනැත්තා වන දෙවිගෙන් ඉගෙනගැනීමට මහත් ආශාවක් දැක්වුවා. එමෙන්ම ඔහු පොළොවේදී කළ සේවය අතරතුර තමන් දේශනා කළ ජනයාට අනුකම්පා කොට ඔවුන්ගේ අසනීප සුව කළා. ඊට අමතරව දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමටද ඔහු ඔවුන්ට උපකාර කළා. ඔහු ඉන් පෙන්වූයේ තමන් දේවරාජ්‍යයේ රජු ලෙස පාලනය කරන විට “පොළොව පුරාම යුක්තිය ඉටු කිරීමට අදිටන් කරගෙන” සිටින බවයි. (යෙසා. 42:4) ඔහු ඉතා උද්‍යෝගයෙන් දේවරාජ්‍යයේ පණිවිඩය ප්‍රකාශ කිරීමෙන් “ජාතීන්ට ආලෝකයක් ලෙස” කටයුතු කළා. ඔහුගේ අනුගාමිකයන් වන අපට ඉන් මතක් කර දෙන්නේ අපත් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කළ යුතු බවයි.—යෙසා. 42:6.

18. යෙහෝවා දෙවි සහ යේසුස් කෙරෙහි ඇති අපගේ අගය වැඩි වන්නේ කුමන දේවල් නිසාද?

18 යෙහෝවා දෙවි තම පුත්‍රයාට මේ පොළොවට පැමිණ වේදනා විඳ මිය යන්න සැලැස්වීමෙන් අපට උදාකර දුන්නේ මොන තරම් වටිනා ප්‍රස්තාවක්ද! යෙසායා පොතේ සඳහන් ඒ හා සම්බන්ධ අනාවැකියෙන් යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපගේ අවබෝධය තවත් වැඩි කරනවා. තම පුත්‍රයා වධ විඳ මිය යනවා දැකීම දෙවිට ප්‍රීතියක් නොවුණත් ඔහු අවසානය දක්වාම තමාට විශ්වාසවන්තව සිටීම දෙවිට ප්‍රීතිය ගෙන දුන්නා. සියල්ල පාලනය කිරීමට තම පියාට තිබෙන අයිතිය තහවුරු කිරීම මගින් හා ඔහුගේ නාමය විශුද්ධ කිරීම මගින් සාතන්ගේ චෝදනාව අමූලික බොරුවක් බව යේසුස් ඔප්පු කළා. ඉන් යෙහෝවා දෙවි සතුටු වෙනවා වාගේම අපත් සතුටු විය යුතුයි. යේසුස් අපගේ පව් දරාගෙන මිය ගිය නිසා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටත් වෙනත් බැටළුවන්ටත් දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ තත්වයක සිටින්න හැකි වී තිබෙනවා. ඒ සියලුම හේතූන් නිසා මෙම වසරේ අප, යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වන විට අපගේ හදවත් දෙවි කෙරෙහිත් ඔහුගේ සේවකයා වන යේසුස් කෙරෙහිත් මහත් අගයකින් පිරී යනවා නිසැකයි.

[පාදසටහන්වල]

^ 2 ඡේ. යෙසායා 53වන පරිච්ඡේදයේ ඡේද කිහිපයක් නව ලොව පරිවර්තනයෙන් කියවීමට නියමිතයි. ඒ සඳහා අදාළ ඡේදයේ පාද සටහන බලන්න.

^ 3 ඡේ. “ඔහු මිනිසුන් විසින් සුළු කොට එපා කරනු ලැබුවේය. දුක, වේදනා හා ලෙඩ රෝග කියන්නේ කුමක්ද කියා ඔහු හොඳින් දැන සිටියේය. අප ඔහු ගැන කිසිදු තැකීමක් නොකර ඔහුව හෙළා දුටුවෙමු. අප ඔහුගේ මුහුණ බැලුවේවත් නැත.”

^ 5 ඡේ. “නමුත් අප ඔහුව සැලකුවේ දෙවි අතින් දඬුවම් විඳින, තුවාල ලැබූ, පීඩාවට පත් වූ කෙනෙකු ලෙසයි.”

^ 8 ඡේ. “අපි සියල්ලෝම බැටළුවන් මෙන් මං මුළා වී, ඒ මේ අත විසිර ගියෙමු. යෙහෝවා දෙවි අප සියල්ලන්ගේම වැරදි ඔහුගේ කර පිට තැබුවේය.”

^ 10 ඡේ. “ඔහුට මොන තරම් හිංසා පීඩා කළත් ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය. මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය. ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය. ඔහුට සාධාරණ විනිශ්චයක් නොලබුණු නිසා ඔහුව මරණයට ගෙන යනු ලැබීය. ඔහුගේ පෙළපතේ විස්තර ගැන සොයා බලන්නේ කවුද? ඔහුගේ ජීවිතය නැති කර දැමුවේය. ඔහු පහර ලැබුවේ මාගේ සෙනඟ කළ පාප නිසාය.”

^ 13 ඡේ. “ඔහු දුක් පීඩා විඳිමින් දැරූ උත්සාහයට හොඳ ප්‍රතිඵල ලැබෙයි. ඒ ප්‍රතිඵල දකින විට ඔහුගේ සිතට මහත් ප්‍රීතියක් දැනෙයි. මාගේ ධර්මිෂ්ඨ සේවකයා තම දැනුම වැඩි කරගන්නා නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලබයි. ඔහු ඔවුන්ගේ පාප දරන්නේය. ඔහු තම දිවි පිදුවේය. පව්කාරයෙකු මෙන් ගණන් ගනු ලැබූ ඔහු පව්කාරයන් වෙනුවෙන් මැදිහත් වී බොහෝදෙනෙකුගේ පාප දැරුවේය. ඒ නිසා බොහෝදෙනෙකුට ලබා දෙන්නාක් මෙන් මම ඔහුටත් කොටසක් ලබා දෙන්නෙමි. ඔහු බලවතුන් සමඟ තම වස්තුව බෙදාගන්නේය.”

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යෙහෝවා දෙවි යේසුස්ට දුක් වේදනා විඳීමට ඉඩ හැරියේ ඇයි?

• ‘අපගේ පාප නිසා ඔහුට හෙල්ලයෙන් තුවාල කරනු ලැබුවා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

• යේසුස් “බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු” ලබන තත්වයකට පත් කළේ කෙසේද?

• යේසුස් පිළිබඳ යෙසායාගේ අනාවැකිය, ඔහුගේ මරණය සිහි කිරීම සඳහා අපගේ මනස් සූදානම් කරන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

“අප ඔහු ගැන කිසිදු තැකීමක් නොකර ඔහුව හෙළා දුටුවෙමු”

[28වන පිටුවේ පින්තූරය]

“ඔහු තම දිවි පිදුවේය”

[29වන පිටුවේ පින්තූරය]

“වෙනත් බැටළුවන්” නිරීක්ෂකයන් ලෙස යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙනවා