Skip to content

පටුනට යන්න

“මාගේ අනුගාමිකයා වන්න”

“මාගේ අනුගාමිකයා වන්න”

“මාගේ අනුගාමිකයා වන්න”

“යමෙකුට මා අනුව එන්න ඕනෑ නම් ඔහු තමාවම නොසලකා දවස්පතා තම වධකණුව ගෙන, දිගටම මා අනුව ඒවා.”—ලූක් 9:23.

1, 2. (අ) යේසුස් කළ ආරාධනය කුමක්ද? (ආ) ඔබ ඊට ප්‍රතිචාරය දක්වා ඇත්තේ කෙසේද?

යේසුස්ගේ දේවසේවයේ අවසාන භාගයේදී ඔහු යුදයේ පෙරයාව ප්‍රදේශයේ දේශනා කරමින් සිටියා. එවිට යෞවනයෙක් පැමිණ තමන් සදාකාල ජීවනය ලබන්න කුමක් කළ යුතුද කියා ඔහුගෙන් ඇසුවා. එම යෞවනයා, මෝසෙස් තුළින් දෙවි දුන් නීතිය විශ්වාසවන්තව පවත්වන කෙනෙකු බව තේරුම්ගත් යේසුස් ඔහුට මෙවැනි විශේෂ ආරාධනාවක් කළා. “යන්න. ඔබට තිබෙන සියල්ල විකුණා දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු ඇති වන්නේය. ඉන්පසු ඇවිත් මාගේ අනුගාමිකයා වන්න.” (මාක් 10:21) ඔහුට එම ආරාධනාව කළේ මුළු විශ්වයටම අධිපති දෙවිගේ පුත්‍රයායි! එය මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද කියා සිතා බලන්න.

2 ඒ යෞවනයා එම ආරාධනාව ප්‍රතික්ෂේප කළත් වෙනත් බොහෝදෙනෙක් එයට ප්‍රතිචාරය දක්වා තිබෙනවා. ෆිලිප් එම ආරාධනය පිළිගත් අය අතරින් එක්කෙනෙක්. (යොහ. 1:43) පසුව ඔහු යේසුස්ගේ මුල් ගෝලයන්ගෙන් කෙනෙක් බවටද පත් වුණා. යේසුස්, මතෙව්ටද එම ආරාධනය කළ අතර ඔහුද එය පිළිගත්තා. (මතෙ. 9:9; 10:2-4) එපමණක් නොව ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන සියල්ලන්ට යේසුස් එසේ ආරාධනා කරන බව ඔහුගේ මෙම වචනවලින් පැහැදිලියි. “යමෙකුට මා අනුව එන්න ඕනෑ නම් ඔහු තමාවම නොසලකා දවස්පතා තම වධකණුව ගෙන, දිගටම මා අනුව ඒවා.” (ලූක් 9:23) යේසුස්ගේ අනුගාමිකයෙකු වීමට කැමති ඕනෑම කෙනෙකුට ඒ සඳහා අවස්ථාව තවමත් විවෘතයි. ඔබත් ඒ සඳහා කැමැත්තෙන් සිටිනවාද? අපගෙන් බොහෝදෙනෙක් දැනටමත් එම ආරාධනාවට ප්‍රතිචාරය දක්වා ඇති අතර අන් අයටත් ඒ සඳහා ආරාධනා කරනවා.

3. යේසුස්ගේ අනුගාමිකයෙකු ලෙස සේවය කිරීමෙන් ගසාගෙන නොයෑමට නම් අප ගැඹුරින් කල්පනා කර බැලිය යුත්තේ කුමක්ද?

3 සමහරුන් මුලදී යේසුස්ගේ ආරාධනාව පිළිගත්තත් පසුව ඔවුන්ගේ උනන්දුව හීන වී ඔවුන් “ගසාගෙන” ගොස් තිබෙනවා. එය කනගාටුවට කරුණක්. (හෙබ්‍රෙ. 2:1) නමුත් අප එසේ ගසාගෙන නොයෑමට නම් පහත සඳහන් ප්‍රශ්න දෙක ගැන ගැඹුරින් කල්පනා කර බැලීම වැදගත්. ‘යේසුස්ගේ අනුගාමිකයන් වීමට මම තීරණය කළේ කුමන හේතු නිසාද? යේසුස්ගේ අනුගාමිකයෙකු වීමට ඇතුළත් වන්නේ මොනවාද?’ එම ප්‍රශ්නවලට අපට ලැබෙන පිළිතුරු හොඳින් මතකයේ තබාගනිමු. ඒ තුළින් යේසුස්ගේ අනුගාමිකයෙක් ලෙස දිගටම සේවය කිරීමට වූ අපගේ අධිෂ්ඨානය ශක්තිමත් කරගැනීමටත් එසේ කිරීමට අන් අයට උපකාර කිරීමටත් අපට හැකියි.

අප ගත් තීරණයට හේතු?

4, 5. අපගේ නායකයා වීමට යේසුස් සුදුසු වන්නේ ඇයි?

4 අප යේසුස්ගේ ආරාධනාවට ප්‍රතිචාරය දැක්වූයේ ඇයි? අපගේ නායකයා වීමට සුදුසුම තැනැත්තා ඔහු බව අප තේරුම්ගත් නිසයි. ඉතිහාසයේ සිට මේ දක්වා බලද්දී පැහැදිලි වන්නේ මිනිසුන්ට සාර්ථකව පාලනය කිරීමට හැකියාවක් නොමැති බවයි. යෙරෙමියා පැවසූ මේ දෙයින්ද ඒ බව පැහැදිලියි. “යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කරන්න අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කරන්න ඔහුට හැකියාවක්ද නැත.” (යෙරෙ. 10:23, නව ලොව පරිවර්තනය, NW) අපගේ නායකයා ලෙස කටයුතු කිරීමට යේසුස්ට තිබෙන සුදුසුකම් කිහිපයක් ගැන දැන් අපි සලකා බලමු.

5 මුල්ම හේතුව යෙහෝවා දෙවි, යේසුස්ව නායකයා ලෙස තෝරාගෙන තිබීමයි. අපගේ නායකයා ලෙස පත් කළ යුත්තේ කවුරුන්වද කියා හොඳින්ම දන්නේ යෙහෝවා දෙවි මිස වෙන කවුද? දෙවන හේතුව නම් යේසුස් ඉතා කදිම ගුණාංග ඇති තැනැත්තෙකු වීමයි. (යෙසායා 11:2, 3 කියවන්න.) එමෙන්ම අපිට අනුකරණය කිරීම සඳහා ඔහු කදිම ආදර්ශයක් තැබූවා. (1 පේතෘ. 2:21) තුන්වන හේතුව නම් තමාගේ අනුගාමිකයන් ගැන ඔහු ගැඹුරු සැලකිල්ලක් දැක්වීමයි. ඔහු තම ජීවිතය පවා ඔවුන් වෙනුවෙන් පරිත්‍යාග කළෙත් ඒ නිසයි. (යොහන් 10:14, 15 කියවන්න.) එමෙන්ම ප්‍රේමණීය එඬේරෙකු මෙන් දැන් අපට ප්‍රීතියෙන් සිටීමටත් ඉදිරියේදී සදාකාල ජීවනය ලබාගැනීමටත් අවශ්‍ය මඟ පෙන්වීම් ඔහු සපයනවා. (යොහ. 10:10, 11; එළි. 7:16, 17) ඉහත සඳහන් හේතු මෙන්ම තවත් බොහෝ හේතු නිසා අපි යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට තීරණය කළා. එය ඉතා ඥානවන්ත තීරණයක්.

6. යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට කැමති ඕනෑම කෙනෙක් කළ යුත්තේ කුමක්ද?

6 අද සිටින බිලියන දෙකක පමණ සෙනඟක් පවසන්නේ තමන් යේසුස්ගේ අනුගාමිකයන් වන බවයි. නමුත් ඔවුන් “නීති විරෝධී ක්‍රියා” කරන්නන් බව ඔවුන්ගේ ක්‍රියාවලින් ඔප්පු වී තිබෙනවා. (මතෙව් 7:21-23 කියවන්න.) ඉන් පැහැදිලි වන්නේ යේසුස්ගේ අනුගාමිකයෙක් වීම වචනයට පමණක් සීමා වූ දෙයක් නොවන බවයි. ඔහුගේ අනුගාමිකයෙක් වීමට කැමති ඕනෑම කෙනෙකු ඔහු ඉගැන්වූ දේවල්වලට එකඟව ඔහුගේ ජීවිතය හැඩගස්වා ගත යුතුයි. ඒ වගේම ඊට තවත් දේවල් ඇතුළත් වෙන අතර ඒ මොනවාද කියා යේසුස්ගේම ආදර්ශයෙන් අපි සලකා බලමු.

යේසුස් මෙන් ප්‍රඥාවන්ත තීරණ ගන්න

7, 8. (අ) යේසුස්ට එතරම් ප්‍රඥාවක් ලැබුණේ කොහෙන්ද? (ආ) ඔහු ප්‍රඥාව විදහා පෙන්නුවේ කෙසේද? එමෙන්ම අපට ඔහුව අනුකරණය කළ හැක්කේ කෙසේද?

7 යේසුස් පොළොවේ සිටි කාලයේදී බොහෝ පැතිවලින් විශිෂ්ට ආදර්ශයක් තැබුවා. ඉන් පැති හතරක් ගැන දැන් අපි සලකා බලමු. ඒවා නම් ඔහුගේ ප්‍රඥාව, යටහත්පහත්කම, උද්‍යෝගය හා ප්‍රේමයයි. අපි මුලින්ම ඔහුගේ ප්‍රඥාව ගැන සලකා බලමු. දැනුම හා අවබෝධය භාවිත කරමින් නිවැරදි තීරණ ගැනීමට ඔහුට තිබුණේ පුදුමාකාර හැකියාවක්. ඒ ගැන පාවුල් පැවසූවේ “ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු ඔහු [යේසුස්] තුළ සුරක්ෂිතව සඟවා තිබේ” කියායි. (කොලො. 2:3) යේසුස්ට එතරම් ප්‍රඥාවක් කොහෙන්ද? ‘පියාණන් මට ඉගැන්වූ ලෙසම මා මේ දේවල් කියනවා’ කියා පැවසීමෙන් පැහැදිලි වන්නේ යේසුස්ට එම ප්‍රඥාව ලබා දුන්නේ යෙහෝවා දෙවි බවයි. (යොහ. 8:28) එසේනම් ඔහු නිතරම නිවැරදි තීරණය ගැනීමට හේතුව අපට පැහැදිලියි.

8 තමා ජීවත් විය යුතු ආකාරය තීරණය කිරීමේදී යේසුස් එම ප්‍රඥාව කදිමට විදහා පෙන්නුවා. තම කාලය හා ශක්තිය දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් යොදවමින් සරල ජීවිතයක් ගත කිරීමට ඔහු තීරණය කළා. ඔහු මෙන් අපිත් උත්සාහ කරන්නේ අපගේ කාලය හා ශක්තිය කා දමන දේවල් පසෙක දමා ‘ඇස සරලව’ තබාගැනීමටයි. (මතෙ. 6:22) බොහෝ ක්‍රිස්තියානීන් දේවසේවයට වැඩි කාලයක් යෙදවීමට හැකිවන ලෙස තම ජීවිත සරල කරගැනීමට පියවර ගෙන තිබෙනවා. ඒ තුළින් පුරෝගාමී සේවයේ හවුල් වීමටත් ඔවුන්ට හැකි වී තිබෙනවා. ඔබත් එවැනි කෙනෙක් නම් එය ඉතාමත් ප්‍රශංසනීයයි. ඔව් ‘පළමුකොට රාජ්‍යය නොකඩවාම සෙවීම’ ප්‍රීතිය හා තෘප්තිය ගෙන දෙයි.—මතෙ. 6:33.

යේසුස් මෙන් යටහත්පහත් වන්න

9, 10. යේසුස් යටහත්පහත්කම විදහා පෙන්වූයේ කෙසේද?

9 දැන් අපි යේසුස්ගේ යටහත්පහත්කම ගැන සලකා බලමු. මිනිසුන්ට යම් බලතල ලැබුණු විට ඔවුන්ගෙන් සමහරුන් කටයුතු කරන්නේ හිස උදුම්මාගෙනයි. නමුත් දෙවිගේ අරමුණු ඉටු කිරීමේදී යේසුස් සුවිශේෂී කාර්යභාරයක් දැරුවත් ඔහු කටයුතු කළේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි. ඔහු තුළ උඩඟුකම ගෑවිලාවත් තිබුණේ නැහැ. ඔහුව අනුකරණය කරන්න කියා පාවුල් අපව මෙසේ දිරිගන්වනවා. “ක්‍රිස්තුස් යේසුස් තුළ තිබුණාවූ මේ මානසික ආකල්පයම ඔබ තුළත් තබාගන්න. ඔහු දෙවිගේ ස්වරූපය දැරූ නමුත්, දෙවිට සමාන වීම තමන් අත් කරගත යුතු දෙයක්යයි සිතුවේ නැත. ඒ වෙනුවට ඔහු සියල්ල අත්හැර, දාසයෙකුගේ ස්වරූපය ගෙන මිනිසුන්ගේ සමානත්වයට පැමිණියේය.” (ෆිලි. 2:5-7) ඒ සඳහා ඔහු අත්හැරියේ කුමක්ද?

10 යේසුස් තම පියා සමඟ ස්වර්ගයේ තේජවත් ජීවිතයක් ගත කළා. නමුත් ඔහු සිය කැමැත්තෙන්ම ඒ ‘සියල්ල අත්හැරියා.’ දෙවි ඔහුගේ ජීවිතය යුදෙව් කන්‍යාවකගේ ගර්භාශයට මාරු කළ අතර එහි මාස නවයක් පුරා ක්‍රමානුකූලව වැඩෙන්න සැලැස්සුවා. ඔහු උපත ලැබූ පසු ජීවත් වීමට සිදු වුණේ තව කෙනෙකුගේ රැකවරණය යටතේයි. එමෙන්ම හැදී වැඩීමට සිදු වුණේ වඩු වැඩ කළ දිලිඳු පවුලකයි. මෙසේ ඔහු බිලිඳෙකුගේ සිට යෞවනයෙකු දක්වා යෝසෙප්ගේ නිවසේ හැදී වැඩුණා. ඔහු පරිපූර්ණ යෞවනයෙක් වුණත් පාපය උරුමකරගෙන සිටි තම දෙමාපියන්ට කීකරුව, යටත්ව ජීවත් වුණා. (ලූක් 2:51, 52) එය මොන තරම් යටහත්පහත්කමක්ද!

11. යේසුස් මෙන් යටහත්පහත් ලෙස කටයුතු කරන්න අපට හැක්කේ කෙසේද?

11 වැදගත්කමින් අඩුයි කියා අන් අය සලකන දේවල් කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වීමෙන්ද යේසුස්ව අනුකරණය කරන්න අපට හැකියි. උදාහරණයකට අප, ජනයාගේ නිවෙස්වලටම ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය සමහරුන් සලකන්නේ වැදගත්කමකින් අඩු දෙයක් ලෙසයි. මිනිසුන් අපගේ පණිවිඩයට උදාසීන ප්‍රතිචාර දක්වන විට හෝ සමච්චල් කර බැණ වදින විට එය තවත් අභියෝගාත්මක දෙයක් විය හැකියි. නමුත් අපි අත් නෑර ශුභාරංචිය ප්‍රකාශ කරනවා නම් යේසුස්ගේ අනුගාමිකයන් වීමට අන් අයට උපකාර කිරීමට අපට හැකියි. ඒ තුළින් ඔවුන්ගේ ජීවිත ගලවාගන්නත් හැකි වෙනවා. (2 තිමෝති 4:1-5 කියවන්න.) ඒ වගේම රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීමට අපගේ සහයෝගය දීමෙන්ද අප යටහත්පහත් අය බව පෙන්විය හැකියි. උදාහරණයකට වැසිකිළිය පිරිසිදු කිරීම, කැළි කසළ ඉවත් කිරීම, බිම පිස දැමීම වැනි දේ ඊට අයත්. ඉන් අප පෙන්වන්නේ දෙවිට නමස්කාර කරන ස්ථානය පිරිසිදු කිරීමත් අපගේ නමස්කාරයේ අංගයක් බවයි. ඒ ආකාරවලින්ද යේසුස්ව අනුකරණය කරන්න අපට හැකියි.

යේසුස් මෙන් උද්‍යෝගයෙන් සේවය කරන්න

12, 13. (අ) දේවසේවය කෙරෙහි තමාට තිබූ උද්‍යෝගය යේසුස් පෙන්වූයේ කෙසේද? එමෙන්ම ඒ සඳහා ඔහුව පෙලඹවූයේ කුමක්ද? (ආ) උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කරන්න අපව පොලඹවන්නේ කුමක්ද?

12 දේවසේවය වෙනුවෙන් යේසුස්ට තිබූ උද්‍යෝගය දැන් අපි සලකා බලමු. ඔහු පොළොවේ සිටියදී බොහෝ දේවල්වල නිරත වුණා. ඔහු යෞවනයෙකුව සිටියදී ඔහුව රැකබලා ගත් පියා සමඟ වඩු වැඩවලට හවුල් වුණා. දේවසේවය සඳහා ඔහුට තිබූ උද්‍යෝගය නිසා ඔහු බොහෝ සුව කිරීම් හා මළවුන්ව නැවත නැඟිටුවීම ඇතුළු තවත් බොහෝ ආශ්චර්යවත් ක්‍රියා සිදු කළා. නමුත් ඔහුගේ ප්‍රධාන කාර්යය වුණේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා ඉගැන්වීමයි. (මතෙ. 4:23) යේසුස්ගේ අනුගාමිකයන් ලෙස අපට තිබෙන කාර්යයත් එයයි. එම කාර්යයේදී යේසුස්ව අනුකරණය කිරීමට අපට හැක්කේ කෙසේද?

13 ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හා ඉගැන්වීමට යේසුස්ව පෙලඹවූයේ දෙවි කෙරෙහි ඔහුට තිබූ ප්‍රේමයයි. ඒ විතරක් නොව ඔහු ඉගැන්වූ සත්‍යයන් කෙරෙහිද ඔහුට මහත් ඇල්මක් තිබුණා. ඔහු ඒවා මිල කළ නොහැකි දේවල් ලෙස සැලකූ නිසා අන් අය සමඟ ඕනෑම වෙලාවක ඒවා බෙදාගන්න කැමැත්තෙන් සිටියා. ගුරුවරුන් හෝ “ප්‍රසිද්ධියේ උගන්වන්නන්” වන අපටත් සත්‍යය ඉගැන්වීම් ගැන මහත් ඇල්මක් තිබිය යුතුයි. එවැනි අනර්ඝ සත්‍යයන් ගැන මදක් සිතා බලන්න. සියල්ල පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය පිළිබඳ ප්‍රශ්නයත් එය විසඳන ආකාරයත් අප ඉගෙනගෙන තිබෙනවා. එමෙන්ම මරණයේදී සිදු වන්නේ කුමක්ද හා පාරාදීස පොළොවේදී ලැබෙන ආශීර්වාද ගැනත් අප දන්නවා. අප ඒවා ඉගෙනගත්තේ බොහෝ කලකට පෙර හෝ මෑතකදී විය හැකියි. ඒ කෙසේවුවත් එම සත්‍යයන්වල වටිනාකම කෙදිනකවත් අඩු වන්නේ නැහැ. ඒවා අනර්ඝ වස්තූන් වගෙයි. (මතෙව් 13:52 කියවන්න.) යෙහෝවා දෙවි උගන්වා තිබෙන ඒ දේවල් කෙරෙහි අපට මහත් ඇල්මක් තිබෙනවා නම් අන් අයට උද්‍යෝගයෙන් යුතුව ශුභාරංචිය ප්‍රකාශ කරන්න අප පෙලඹෙනවා.

14. යේසුස් ඉගැන්වූ ආකාරය අපට අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

14 යේසුස් ඉගැන්වූ ආකාරයද සැලකිල්ලට ගන්න. ඔහු නිතරම තම අසන්නන්ගේ අවධානය යොමු කළේ ශුද්ධ ලියවිල්ල වෙතටයි. එමෙන්ම ඔහු යම් වැදගත් කරුණක් අවධාරණය කරන විට එය ශුද්ධ ලියවිල්ලේ “ලියා තිබේ” කියා පැවසුවා. (මතෙ. 4:4; 21:13) යේසුස් උගන්වන විට හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ ඇති පොත්වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් උපුටා දැක්වීම් කළා. නැතිනම් එහි ඇති අදහස ගෙනහැර දැක්වුවා. අපත් දේවසේවයේ හවුල් වන විට හැකි සෑම අවස්ථාවකම මිනිසුන්ගේ අවධානය බයිබලය වෙතට යොමු කරමු. අප ප්‍රකාශ කරන්නේ දෙවිගේ අදහස් බව ඒ තුළින් මොළොක් ගුණැති මිනිසුන් තේරුම්ගනියි. අපි සේවයේ යද්දී බයිබල් පදයක් කියවා එහි අර්ථය පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබෙන විට එය කොතරම් සතුටක්ද! එමෙන්ම කෙනෙක් යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට කැමැත්ත පළ කරන විට අපගේ සතුට තවත් වැඩි වන්නේ නැද්ද?

යේසුස් මෙන් අන් අයට ප්‍රේම කරන්න

15. යේසුස් පෙන්වූ කැපී පෙනෙන ගුණාංගයක් කුමක්ද? ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීම මගින් අප පෙලඹෙන්නේ කුමක් කිරීමටද?

15 යේසුස් පොළොවේ සිටියදී මිනිසුන්ට දැක්වූ ප්‍රේමය ගැන දැන් අපි සලකා බලමු. “ක්‍රිස්තුස්ගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය” කියා පාවුල් පැවසුවා. (2 කොරි. 5:14) යේසුස් සියලුම මිනිසුන් කෙරෙහිත් පෞද්ගලිකව අප කෙරෙහිත් දක්වන ප්‍රේමය ගැන කල්පනා කරද්දී ඔහුව දිගටම අනුකරණය කරන්න අප පෙලඹෙනවා.

16, 17. යේසුස් තම ප්‍රේමය අන් අයට පෙන්වූයේ කුමන ආකාරයෙන්ද?

16 යේසුස් අන් අයට ප්‍රේමය පෙන්වූයේ කෙසේද? ඔහු සියලු මිනිසුන් වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. එය ඔහු මිනිසුන්ට ප්‍රේමය පෙන්වූ උතුම්ම ක්‍රමයයි. (යොහ. 15:13) ඊට අමතරව ඔහු දුක් වේදනා විඳි අයට ඔහු බොහෝසේ අනුකම්පා කිරීමෙන්ද ඔවුන්ට ප්‍රේම කළා. උදාහරණයකට, ලාසරුස්ගේ මරණය ගැන වැලපෙමින් සිටි මරියා හා වෙනත් අයව දැක යේසුස්ද මහත් සේ දුක් වුණා. ඔහු ලාසරුස්ව නැවත නැඟිටුවන්න තිබියදීත් ඔහු ගැන දුකට පත් වී ‘කඳුළු සැලුවා.’—යොහ. 11:32-35.

17 යේසුස්ගේ සේවයේ මුල් කාලයේදී ලාදුරු රෝගියෙක් ඔහු වෙත පැමිණ “ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන්” කියා ඔහුට පැවසුවා. එවිට ඔහු ‘අනුකම්පාවෙන් පෙලඹී තම අත දිගු කොට ඔහුව ස්පර්ශ කර, ‘මා කැමතියි. පවිත්‍ර වෙන්න’ කියා ඔහුට පැවසුවා. ඒ මොහොතේදීම ලාදුරු රෝගය ඔහු කෙරෙන් පහ වී, ඔහු පවිත්‍ර වුණා.’ මෝසෙස්ගේ නීතියට අනුව ලාදුරු රෝගියෙකුව සැලකුවේ අපවිත්‍ර කෙනෙකු ලෙසයි. ඒ නිසා අවුරුදු ගණනාවක් පුරා කිසි මිනිසෙක් ඔහුව ස්පර්ශ නොකරන්න ඇති. යේසුස්ටද අවශ්‍ය නම් ඔහුව ස්පර්ශ නොකර සුව කරන්න තිබුණා. නමුත් ඒ වෙනුවට යේසුස් ඔහුව කාරුණික ලෙස ස්පර්ශ කරමින් ඔහුව සුව කළා. එය මොන තරම් අනුකම්පාසහගත ක්‍රියාවක්ද!—මාක් 1:40-42.

18. ‘එකිනෙකා කෙරෙහි අනුකම්පාව දක්වන්න’ අපට හැක්කේ කෙසේද?

18 යේසුස්ගේ අනුගාමිකයන් ලෙස “එකිනෙකා කෙරෙහි අනුකම්පාව දක්වමින්” ප්‍රේමය පෙන්වන්න කියා අපට අණ කර තිබෙනවා. (1 පේතෘ. 3:8) සමහරවිට සෙසු ක්‍රිස්තියානියෙක් බරපතළ අසනීපයකින් පෙළෙන විට හෝ දැඩි මානසික පීඩනයක් යටතේ සිටින විට ඔහුගේ හැඟීම් තේරුම්ගැනීම පහසු දෙයක් නොවිය හැකියි. විශේෂයෙන්ම අප කෙදිනකවත් ඔවුන් සිටින තත්වයට පත් වී නැත්නම් එය වඩාත් දුෂ්කර විය හැකියි. නමුත් යේසුස් ගැන සිතා බලන්න. ඔහු කෙදිනකවත් අසනීප වුණේ නැහැ. ඒ වුණත් අසනීප වූ අය කෙරෙහි අනුකම්පාව පෙන්නුවා. අපත් එසේ කිරීමට නම් ඔවුන් තම හැඟීම් අපට ප්‍රකාශ කරන විට ඒවාට හොඳින් ඇහුම්කන් දීම වැදගත්. ඒ වගේම ‘එයා ඉන්න තත්වයේ මම හිටියා නම් මට කොහොම හැඟෙයිද’ කියා කල්පනා කිරීමත් සුදුසුයි. මෙසේ අපි අන් අයගේ හැඟීම් තේරුම්ගන්නා සංවේදී පුද්ගලයන් බවට පත් වෙන්න උත්සාහ කළොත් “අධෛර්යයට පත්ව සිටින අයට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා” කරන්න අපට හැකි වෙයි. (1 තෙස. 5:14) ඒ ආකාරයෙන්ද අපට, යේසුස්ව අනුකරණය කළ හැකියි.

19. යේසුස් ගැන ඉගෙනගැනීම අපව පොලඹවන්නේ කුමක් කිරීමටද?

19 අපි මෙතක් සලකා බැලූ ලෙස යේසුස් කළ කී දේවල් ගැන අධ්‍යයනය කිරීම කොතරම් වටිනවාද! ඔහු ගැන වැඩි වැඩියෙන් ඉගෙනගන්නා තරමටම ඔහුව අනුකරණය කිරීමට අපි පෙලඹෙනවා. එපමණක් නොව යේසුස්ව අණුකරනය කිරීමට අන් අයට උපකාර කිරීමටද එමගින් අපට හැකි වෙනවා. එමනිසා අපි දැනුත් සදහටමත් අපගේ රජු හා ආදර්ශකයා වන යේසුස්ව අනුකරණය කිරීමට අදිටන් කරගනිමු.

ඔබට මතකද?

• යේසුස් මෙන් ප්‍රඥාවන්තව කටයුතු කරන්න අපට හැක්කේ කෙසේද?

• යටහත්පහත්කම විදහා පෙන්වන්න අපට හැකි ආකාර මොනවාද?

• දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වීමට අපට හැක්කේ කෙසේද?

• අන් අයට ප්‍රේම කිරීමේදී යේසුස්ව අනුකරණය කරන්න අපට පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[5වන පිටුවේ කොටුව/පින්තූරය]

යේසුස්ව අනුකරණය කරන්න උපකාරවත් වන පොතක්

වර්ෂ 2007 දිස්ත්‍රික් සමුළුවේදී පිටු 192කින් යුත් ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ ප්‍රකාශනයක් මුදා හැරියා. එහි තේමාව වූයේ “මාගේ අනුගාමිකයා වන්න” යන්නයි. මෙම ප්‍රකාශනය විශේෂයෙන්ම සකස් කර තිබෙන්නේ යේසුස්ගේ ගුණාංග හා ක්‍රියා වෙතට අපගේ අවධානය යොමු කිරීමටයි. යේසුස්ව අනුකරණය කිරීම පිළිබඳ හැඳින්වීමක් මුල් පරිච්ඡේද දෙක තුළ සාකච්ඡා කරනවා. ඉන්පසු ඇති කොටසෙහි සඳහන් වන්නේ යේසුස් විදහා පෙන්වූ කදිම ගුණාංග වන යටහත්පහත්කම, ධෛර්යය, ප්‍රඥාව, කීකරුකම හා විඳදරාගැනීම ගැනයි.

එපමණක් නොව ගුරුවරයෙක් හා ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙකු හැටියට ඔහු කළ සේවය ගැනද එහි සාකච්ඡා කරනවා. එමෙන්ම ඔහු තම ඉමහත් ප්‍රේමය පෙන්වූ සමහරක් ක්‍රම ගැනද සඳහන් කරනවා. මෙම පොතේ තොරතුරු විස්තර කර තිබෙන්නේ ක්‍රිස්තියානීන් වන අපට යේසුස්ව අනුකරණය කරන්න උපකාරවත් වන ලෙසයි.

මෙය කියවන සියලුදෙනාම මෙම ප්‍රශ්න ගැන ගැඹුරින් සිතා බලයි කියා අපට විශ්වාසයි. ඒවා නම් ‘මම ඇත්තටම යේසුස්ව අනුකරණය කරනවාද? ඔහුව තවත් කිට්ටුවෙන් අනුකරණය කරන්න මට හැක්කේ කෙසේද?’ එමෙන්ම ‘සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක් තිබෙන සියලුදෙනාටම’ යේසුස්ගේ අනුගාමිකයන් වීමට මේ පොත උපකාරවත් වන බව ස්ථිරයි.—ක්‍රියා 13:48.

[4වන පිටුවේ පින්තූරය]

යේසුස් කුඩා බිලිඳෙකු ලෙස ඉපදී මේ පොළොවට පැමිණීමට කැමති වුණා. ඒ සඳහා ඔහුට අවශ්‍ය වූ ගුණාංගය කුමක්ද?

[6වන පිටුවේ පින්තූරය]

දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වීමට අපව පොලඹවන්නේ කුමක්ද?