Skip to content

පටුනට යන්න

‘මාර්ගය මෙයයි, මෙහි ගමන් කරන්න’

‘මාර්ගය මෙයයි, මෙහි ගමන් කරන්න’

‘මාර්ගය මෙයයි, මෙහි ගමන් කරන්න’

අමීලියා පීඩර්සන්ගේ ජීවිත කතාව

රූත් පාපස් පැවසූ පරිදි

මගේ අම්මා අමීලියා පීඩර්සන් ඉපදුණේ 1878දීයි. ඇය පාසැල් ගුරුවරියක්. අපේ නිවස තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසොටාහි ජෙස්පර් කියන කුඩා නගරයේයි. දෙවිට ළං වීමට තවත් අයට උපකාර කරන්න ඇයට ලොකු ආශාවක් තිබුණා. ඒකට අපේ ගෙදර තියෙන ලොකු යකඩ පෙට්ටිය සාක්ෂියක්. ඇය ඒක ගෙනැවිත් තිබුණේ මිෂනාරිවරියක් හැටියට සේවය කරන්න චීනයට යද්දී ඇය සතු දේවල් රැගෙන යන්නයි. නමුත් හදිසියේම ඇගේ මව මිය ගිය නිසා ඒ සැලසුම් සියල්ල වෙනස් වුණ අතර ඇයට ඇගේ බාල සහෝදර සහෝදරියන් බලා ගන්න ගෙදර නවතින්න සිදු වුණා. පසුව ඇය 1907දී තියඩෝ හොලීන් සමඟ විවාහ වුණා. දරුවන් හත්දෙනෙකු සිටින අපේ පවුලේ බාලයා මමයි. මම ඉපදුණේ 1925 දෙසැම්බර් 2වෙනිදායි.

මගේ අම්මාට බයිබල් ඉගැන්වීම් ගැන ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒ නිසා එයා ඒවාට පිළිතුරු හෙව්වේ හරිම උනන්දුවෙන්. දුෂ්ටකම් කරන අයව නිරයක දමා වධ වේදනා දෙනවා කියන එක ඒ ප්‍රශ්නවලින් එකක්. දිනක් ඇය ලූතරන් පල්ලියේ සාමාජිකයෙකුගෙන් ඇහැව්වා ඒ වගේ ඉගැන්වීමක් බයිබලයේ කොහේද තියෙන්නේ කියලා. එතකොට ඔහු කිව්වේ බයිබලයේ ඒ ගැන මොනවා කිව්වත් ඒ ඉගැන්වීම අපි දිගටම කරන්න ඕන කියලයි.

ඇයට පිළිතුරු ලැබුණා

වර්ෂ 1900ට ටික කාලයකට පස්සේ මගේ අම්මාගේ නංගි එමා සංගීතය ඉගෙනගන්න නොර්ත්ෆීල්ඩ් මිනසොටා කියන ප්‍රදේශයට ගියා. ඇය නතර වුණේ මිලියස් ක්‍රිස්ජන්සන් කියන ඇගේ සංගීත ගුරුවරයාගේ ගෙදරයි. ඔහුගේ භාර්යාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. එමා ඇයට කිව්වා ඇගේ අක්කා අමිලියාත් බයිබලය ඉගෙනගන්න හරිම ආසයි කියලා. ඒ නිසා ඇය, මගේ අම්මාට තිබුණ බයිබල් ප්‍රශ්නවලට උත්තර ලියලා ලියුමක් එව්වා.

දිනක් සවුත් ඩකෝටා, සියෝක්ස් ෆෝල්ස්වල ඉඳලා ලෝරා ඕතවුට් කියන බයිබල් ශිෂ්‍යයාව ජැස්පර්වලට ශුභාරංචිය දේශනා කරන්න දුම්රියෙන් පැමිණ තිබුණා. මගේ අම්මා ඇයගෙන් බයිබල් පොත්පත් ලබාගෙන ඒවා හොඳින් කියෙව්වා. වර්ෂ 1915 පමණ වෙද්දී ඇයත් ලෝරා දුන්න පොත්පත් බෙදා හරිමින් දේශනා සේවයේ හවුල් වුණා.

සහෝදර චාල්ස් ටේස් රසල් 1916දී අයෝවාහි සියොක් සිටිවලට සමුළුවකට සහභාගී වීමට පැමිණෙන බව මගේ අම්මා දැනගත්තා. ඊට සහභාගි වෙන්න ඇයටත් උවමනා වුණා. ඒ වෙනකොට පවුලේ බාලයා වූ මර්වින් එක්ක ඇයට තවත් දරුවන් පස්දෙනෙක් හිටියා. එතකොට මර්වින්ට මාස පහයි. ඒ වුණත් ඇය කොහොමහරි ළමයින්වත් ලැහැස්ති කරගෙන දුම්රියෙන් කිලෝමීටර් 160ක දුරක් ගෙවා ගෙන ඒ සමුළුවට සහාභාගි වුණා. එහිදී සහෝදර රසල්ගේ කතාවලට ඇහුම්කන් දීමටත් මැවීම පිළිබඳ ඡායරූප දර්ශන ඇතුළත් නාට්‍යය නැරඹීමටත් හැකි වූ අතර ඇය බව්තීස්ම වුණේත් ඒ සමුළුවේමයි. නැවතත් ගෙදර එන අතරතුරේදී එම සමුළුව ගැන ඇය ලිපියක් ලියූ අතර එය ජැස්පර් ජර්නල් කියන පුවත් පතේ පළ වුණා.

වර්ෂ 1922දී ඔහායෝ සීඩා පොයින්ට්හි පැවති සමුළුවටත් ඇය සහාභාගි වුණා. ඒ සමුළුවට 18,000ක් පැමිණ සිටියා. එදා ඉඳලා ඇය කවදාකවත් ශුභාරංචිය ප්‍රකාශ කිරීම නතර කළේ නැහැ. ඒ වගේම ‘යා යුතු හරි මාර්ගයේ ගමන් කරන්න’ කියා ඇය අපටත් උනන්දු කළා.—යෙසා. 30:21, වන ලොව පරිවර්තනය, NW.

දේවසේවයෙන් ලැබූ කදිම ප්‍රතිඵල

මගේ දෙමාපියන් 1920 ගණන්වල මුල් භාගයේදී ජැස්පර් නගරයෙන් පිට, පදිංචියට ගියා. මගේ තාත්තා හොඳ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ලොකු පවුලක් නඩත්තු කරන්නත් ඔහුට සිදු වුණා. මගේ අම්මා තරම් උනන්දුවෙන් ඔහු බයිබලය පාඩම් නොකළත් ඇය කළ දේශනා සේවයට ඔහුගේ සම්පූර්ණ සහයෝගය දුන්නා. ඒ වගේම සංචාරක අවේක්ෂකයන් වැනි දේවසේවකයන්ට ඔහු කොයි වෙලාවෙත් අපේ ගෙයි දොර ඇරලායි තිබුණේ. සංචාරක අවේක්ෂකයන් නිතරම වගේ අපේ නිවසේ කතාවක් ඉදිරිපත් කිරීමට පුරුදුව සිටියා. ඒ වගේ අවස්ථාවල සියයකට අධික සංඛ්‍යාවක් සහාභාගි වූ නිසා අපේ ගේ ඇතුළේ කාමරවලයි සාලෙයි ඇඟිල්ලක්වත් ගහන්න බැරි තරම් සෙනඟ පිරිලා හිටියා.

මට අවුරුදු හතක් විතර වෙද්දී මගේ නැන්දා ලෙටී අපිට දුරකථන ඇමතුමක් දීලා කිව්වා බයිබලය ගැන ඉගෙනගන්න ඇගේ අසල්වාසී යුවළක් වන එඩ් ලාසන් හා ඔහුගේ බිරිඳ කැමතියි කියලා. ඉතින් ඒ අයත් බයිබලය පාඩම් කරලා දෙවිට සේවය කරන්න පටන්ගත්තා. එතැනින් නතර නොවුණු ඔවුන් ඔවුන්ගේ අසල්වාසියෙක් වූ දරුවන් අටදෙනෙකුගේ මවක් වන මාර්තා වැන් ඩාලන්ටත් බයිබලය පාඩම් කරන්න ආරාධනා කළා. * පසුව මාර්තාගේ මුළු පවුලම දෙවිට සේවය කරන්න පටන්ගත්තා.

අපේ ගෙවල්වල ඉඳලා ටිකක් ඈතට වෙන්න පදිංචි වෙලා හිටිය ගෝඩන් කමේරුඩ් කියන තරුණයාත් අපේ තාත්තා ළඟ වැඩ කරන්න පටන්ගත්තෙත් මේ කාලේමයි. “ලොක්කගේ දුවලා අදහන්නේ හරි අමුතු ආගමක්. ඒ නිසා ඒ දුවලාගෙන් ටිකක් පරිස්සම් වෙලා ඉන්න බලන්න” කියලා සමහරු ඔහුව බයගන්වලා තිබුණා. ඒ කොහොම වුණත් ගෝඩනුත් වැඩි කල් යන්න ඉස්සර වෙලා සත්‍යය ඉගෙනගෙන ඊට මාස තුනකට පස්සේ ඔහුත් බව්තීස්ම වුණා. ඒ විතරක් නෙවෙයි, ගෝඩන්ගේ අම්මා තාත්තාත් බව්තීස්ම වුණා. පස්සේ අපේ පවුලයි කමේරුඩ් සහ වැන් ඩාලන් පවුලයි හොඳ යාළුවෝ වුණා.

සමුළුවලින් ලැබූ දිරිගැන්වීම්

මගේ අම්මා සීඩා පොයින්ට්හි පැවති සමුළුවෙන් ලැබූ දිරිගැන්වීම් නිසා ඉන් පසු පැවැත් වූ එක සමුළුවක්වත් ඇය අත පසු කරන්න කැමති වුණේ නැහැ. අපි සමුළුවලට සහාභාගි වෙන්න ගිය දුර ගමන් ගැන මට තාම මතකයි. ඔහායෝ කොලම්බස්වල 1931දී පැවැත් වූ සමුළුව අපිට හරිම වැදගත් එකක් වුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යන නමින් අපිව හඳුන්වන්න පටන්ගත්තේ ඒ සමුළුවෙන් පස්සෙයි. (යෙසා. 43:10-12) ඒ වගේම 1935දී වොෂින්ටන් ඩීසීවල පවත්වපු ඒ ඓතිහාසික සමුළුවද මට තාම මතකයි. එළිදරව් පොතේ සඳහන් “මහත් සමූහයක්” පිළිබඳව නිවේදනය කළේ ඒ සමුළුවේ දුන් කතාවකයි. ඒ සමුළුවේ 800කට වඩා පිරිසක් බව්තීස්ම වුණා. මගේ අක්කා ලිලියන් සහ එවුනිස්ද ඒ අය අතර හිටියා.

වර්ෂ 1937දී ඔහායෝ කොලොම්බස්වල, 1938දී වොෂින්ටන් සේටල්වල හා 1939දී නිව්යෝක් නගරවල සමුළු පැවැත් වුණා. ඒ හැම එකකටම අපි ගියේ පවුල් කිහිපයක් එකට එකතු වෙලයි. අපිත් එක්ක වැන් ඩාලන් හා කමේරුඩ්ලාගේ පවුලේ අය වගේම තවත් කිහිප දෙනෙකුත් ඒ ගමන්වලට සහභාගි වුණා. අපි නවාතැන් ගත්තේ කූඩාරම්වලයි. ඊට ටික කලකට පස්සේ 1940දී එවුනිස්, වැන් ඩාලන් පවුලේ කෙනෙක් වන ලියෝ සමඟ විවාහ වුණා. ඊට පසුව ඔවුන් දෙදෙනාම පුරෝගාමී සේවය පටන්ගත්තා. ඒ අවුරුද්දේම මගේ අක්කා ලිලියන්, ගෝඩන් කමේරුඩ් එක්ක විවාහ වෙලා ඔවුන්ද පුරෝගාමී සේවය පටන්ගත්තා.

වර්ෂ 1941දී සාන්ත ලොයිස් මිසොරිහි පැවැත් වූ සමුළුව කුඩා දරුවන්ට විශේෂ එකක් වුණා. ඒ සමුළුවේදී තමයි දරුවන් (සිංහලෙන් නොමැත) යන පොත මුදා හැරියේ. ඒක මගේ ජීවිතයට ලොකු බලපෑමක් කරපු සමුළුවක්. එතකොට මට අවුරුදු 15යි. ඒ අවුරුද්දේම සැප්තැම්බර් 1වෙනිදා මමයි මගේ අයියා මර්විනුයි එයාගේ බිරිඳවන ජොයිසුයි පුරෝගාමී සේවය පටන්ගත්තා.

අපි ගොවිතැන් කරපු නිසා මගේ සහෝදරයෝ හැමදෙනාටම සමුළුවට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. සමුළු පැවැත් වුණේ අස්වැන්න නෙළන කාලයේමයි. ඒ නිසා සමුළුවෙන් අපි ඉගෙනගත්ත තොරතුරු ගෙදර ඇවිල්ලා අයියලත් එක්ක සාකච්ඡා කළා. ඒ අපේ ගේ පිටිපස්සේ තිබුණු වත්තේ මඩුවක ඉඳගෙනයි. අපි කරපු ඒ සාකච්ඡාවලින් ලොකු සතුටක් ලැබුවා.

මිෂනාරිවරුන් ලෙස

පුරෝගාමීන්ව මිෂනාරිවරුන් හැටියට පුහුණු කිරීමේ ගිලියද් පාසැල පිහිටෙව්වේ 1943 පෙබරවාරි මාසයේයි. එහි පළමුවන පංතියට වැන් ඩාලන් පවුලෙන් හයදෙනෙක් සහභාගි වුණා. ඒ එමිල්, ආතර්, හොමර්, ලියෝ සහ එයාගේ බිරිඳ එවුනිස්, ඒ කියන්නේ මගේ අක්කා සහ ලියෝගේ ඥාති සහෝදරයෙක් වන ඩෝනල්ඩ්. එම පාසැලෙන් ඔවුන් හයදෙනාටම පෝටෝ රිකෝවලට ගොස් සේවය කරන්න පැවරුම් ලැබුණා. ඔවුන් ඒ සඳහා පිටත් වීමට පෙර තිබූ සාදයේ දුක හා සතුට දෙකම මුසු වෙලා තිබුණා. ඒකට හේතුව ඔවුන්ව අයේ කවදා දකින්න ලැබෙයිද කියා අපි දැන සිටියේ නැති නිසයි. ඒ කාලයේ පෝටෝ රිකෝවල සිටියේ ක්‍රියාශීලී සාක්ෂිකරුවන් හයදෙනෙක් පමණයි.

ඊට අවුරුද්දකට පසුව ලිලියන් හා ගෝඩන්, මර්වින් හා ජොයිස්ද තුන්වන ගිලියද් පාසැලට සහභාගි වුණා. ඔවුන්ටත් පැවරුම් ලැබුණේ පෝටෝ රිකෝවලටයි. පසුව 1944 සැප්තැම්බර්වලදී හතරවන ගිලියද් පාසැලට සහභාගි වෙන්න මටත් අවස්ථාව ලැබුණා. එතකොට මට අවුරුදු 18යි. ඊළඟ අවුරුද්දෙ පෙබරවාරි මාසයේදී මාවත් පෝටෝ රිකෝවලට යැව්වා. එහිදී මගේ අයියලා අක්කලා එක්ක සේවය කරන්න අවස්ථාව ලැබුණා. ඒක මට පුදුමාකාර අද්දැකීමක් වුණා. ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගැනීම ලොකු අභියෝගයක් වුණත් වැඩි කල් යන්න ඉස්සරවෙලා අපේ සමහර අයට, එක්කෙනෙකුට බයිබල් පාඩම් 20 ගානේ පවත්වන්න හැකි වුණා. අපේ සේවයට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබුණු නිසා අද වන විට පෝටෝ රිකෝවල සාක්ෂිකරුවන් 25,000ක් පමණ සිටිනවා.

අපේ පවුලේ දුක් මුසු සිදුවීම්

ලියෝ සහ එවුනිස්ට 1950දී ඔවුන්ගේ පුතා මාක් ලැබුණු නිසා ඔවුන් එහෙම නතර වුණා. කොහොම වුණත් 1952දී පොඩි නිවාඩුවකට ගෙදර ඇවිත් නෑදෑයන්ව බලලා යන්න ඔවුන් සැලසුම් කෙරුවා. නමුත් කවුරුත් නොසිතූ ලෙස ඔවුන් ගමන් කළ ගුවන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසුව එය මුහුදට කඩාගෙන වැටුණා. ලියෝ සහ එවුනිස් ඒ අනතුරින් මිය ගියා. නමුත් අවුරුදු දෙකක් වයසැති මාක් වතුරේ පාවෙමින් සිටිනවා දැක්ක කෙනෙක් ඔහුව බේරගෙන තිබුණා. *

ඊට අවුරුදු පහකට පස්සේ 1957 මාර්තු 7වෙනි දින තවත් කනගාටුදායක දෙයක් සිදු වුණා. මගේ අම්මයි තාත්තයි වාහනයෙන් රාජ්‍යය ශාලාවට යද්දී ටයර් එකේ හුළං ගියා. තාත්තා පාර අයිනේ වාහනය නවත්තලා ටයර් එක මාරු කර කර ඉන්න කොට ඒ ළඟින් ගිය වාහනයක් ඔහුගේ ඇඟේ හැප්පිලා ඔහු එතනම මිය ගියා. ඔහුගේ අවමංගල්‍යයට 600ක් විතර පිරිසක් ඇවිල්ලා හිටියා. ඒ ප්‍රදේශයේ අය තාත්තාට මොන තරම් ගෞරවයක් දැක්වූවාද කියලා ඒකෙන් තේරුණා. ඒ වගේම එදා ඉදිරිපත් කළ කතාවෙන් ඒ අයට කදිම සාක්ෂියක් දරන්නත් අවස්ථාව ලැබුණා.

අලුත් පැවරුම්

තාත්තාගේ මරණයට ටික දවසකට කලින් මට ආජන්ටිනාවට පැවරුමක් ලැබුණා. මම 1957 අගෝස්තු මාසයේදී මෙන්ඩෝසා කියන නගරයට ආවා. ඒක ඇන්ඩීස් කඳුකරයට අයත් ප්‍රදේශයක්. වර්ෂ 1958දී 30වෙනි ගිලියද් පාසැලෙන් පැවරුම් ලැබූ ජෝර්ජ් පාපස් කියන සහෝදරයාව ආජන්ටිනාවට එව්වා. අපි දෙන්නා හොඳ යාළුවෝ වුණා. පසුව අපි 1960 අප්‍රියෙල් මාසයේදී විවාහ වුණා. ඊළඟ අවුරුද්දේදී මගේ අම්මා මිය ගියා. එතකොට ඇයට වයස අවුරුදු 83යි. ඇය ඒ වන තෙක්ම දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් සිටියා. ඒ වගේම දෙවිට විශ්වාසවන්තව සිටීමට ඇය කොයි තරම් දෙනෙකුට නම් උපකාර කළාද!

ජෝර්ජ් හා මම අවුරුදු දහයක් පුරා විවිධ මිෂනාරිවරුන් සමඟ සේවය කළා. ඊට පස්සේ අපි අවුරුදු හතක් සංචාරක සේවයේ හවුල් වුණා. නැවතත් අපි 1975දී ඇමරිකාවට ගියේ අසනීපයෙන් සිටි අපේ පවුලේ අයට උපකාර කරන්නයි. ඊට අවුරුදු පහකට පස්සේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවල සංචාරක සේවයේ හවුල් වෙන්න ජෝර්ජ්ට ආරාධනාවක් ලැබුණා. ඒ කාලයේදී ඇමරිකාවේ එවැනි සභා 600ක් විතර තිබුණා. අවුරුදු 26ක කාලයක් පුරා අපි ඒ සභාවන්ගෙන් වැඩි ප්‍රමාණයකට ගියා වගේම ඒවා වර්ධනය වන ආකාරයත් දැක තිබෙනවා. දැන් එහි එවැනි සභා 3,000ක් විතර තිබෙනවා.

ඔවුන් “එම මාර්ගයේ” ගමන් කර තිබෙනවා

මගේ අම්මා මිය යන්න පෙර, අපේ පවුලේ ඊළඟ පරම්පරාවත් දෙවිට පූර්ණ කාලීනව සේවය කරනවා දැක්කා. එස්තර් කියන මගේ ලොකු අක්කාගේ දුව කැරල්, 1953දී පුරෝගාමී සේවය පටන්ගත්තා. පසුව ඇය ඩෙනිස් ට්‍රම්බෝර් එක්ක විවාහ වුණ අතර එදා සිට තවමත් පූර්ණකාලීන සේවයේ යෙදෙනවා. එස්තර්ගේ අනෙක් දුව ලොයිස්, වෙන්ඩල් ජෙන්සන් සමඟ විවාහ වුණා. පසුව දෙදෙනාම 41වන ගිලියද් පාසැලට සහභාගි වුණා. ඔවුන් දෙදෙනාම නයිජීරියාවේ අවුරුදු 15ක් සේවය කළා. ගුවන් අනතුරකින් තම දෙමාපියන් අහිමි වුණ මාක්ව හදාගත්තේ ලියෝගේ සහෝදරිය වූ රූත් ලාලොන්ඩ් හා ඇගේ ස්වාමිපුරෂයා වූ කර්ටිස් විසිනුයි. පසුව මාක්, ලවොන් සමඟ විවාහ වී වසර ගණනාවක් පුරෝගාමී සේවය කළා. ඔවුන්ට දරුවන් හතරදෙනෙක් සිටින අතර ඔවුන් සියලුදෙනාත් ‘සත්‍යය මාර්ගය’ තුළ ගමන් කරමින් සිටිනවා.—යෙසා. 30:21NW.

දැනට ජීවතුන් අතර ඉන්නේ මගේ අයියා වන ඕලන් විතරයි. එයාට දැන් අවුරුදු 90කටත් වැඩියි. නමුත් එයා තවමත් දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් ඉන්නවා. ඒ වගේම ජෝර්ජ් සහ මමත් සන්තෝෂයෙන් පූර්ණකාලීන සේවය කරමින් ඉන්නවා.

මගේ අම්මා දායාද කළ දේවල්

අම්මා ජීවතුන් අතර ඉන්නකොට ඇය ආදරයෙන් රැක බලාගත් දේවලින් එකක් මා ළඟ තියෙනවා. ඒ අපේ තාත්තා, අම්මට විවාහ මංගල්‍ය තෑග්ගක් හැටියට දුන්න මේසයක්. ඒ මේසේ තියෙන ලාච්චුවලින් එකක පොතක් තිබුණා. ඒ පොතේ, ඇය පුවත්පත්වලට සාක්ෂි දරමින් ලියූ, ඒවායේ පළ වූ විවිධ ලිපි හා තවත් ලියකියවිලි එහි තිබුණා. සමහර ඒවා 1900 ගණන්වල ලියූ ඒවායි. ඒ වගේම මිෂනාරි සේවයේ හවුල් වූ ඇගේ දරුවන් එවූ ලිපිද තවත් ලාච්චුවක තියෙනවා. ඒවා නැවත නැවත කියවීමෙන් මම ලොකු දිරිගැන්වීමක් ලබනවා. ඒ වගේම ඇය අපට ලියු ලිපිත් හරිම දිරිගන්වන අදහස්වලින් පිරුණු ඒවායි. මිෂනාරි සේවයේ හවුල් වෙන්න මගේ අම්මට තිබූ ආශාව ඉෂ්ට කරගන්න ඇයට බැරිව ගිය බව ඇත්ත. ඒ වුණත් ඒ සඳහා ඇයට තිබූ උනන්දුව නිසා බොහෝදෙනෙකුට එම සේවයේ හවුල් වෙන්න හැකි වුණා. මම හරිම ආශාවෙන් බලාගෙන ඉන්නේ පාරාදීස පොළොවේදී මගේ අම්මවයි තාත්තාවයි අපේ පවුලේ අනිත් සියලුම දෙනාවමයි නැවත දකින්න. ඒ දවස එන තුරු මම මඟ බලාගෙන ඉන්නවා!—එළි. 21:3, 4.

[පාදසටහන්වල]

^ 13 ඡේ. සහෝදර එමිල් ඒච්. වැන් ඩාලන්ගේ ජීවිත කතාව සඳහා 1983 ජුනි 15 මුරටැඹ කලාපයේ 27-30 පිටු බලන්න. (සිංහලෙන් නැත)

^ 24 ඡේ. වර්ෂ 1952 ජුනි 22 පිබිදෙව් කලාපයේ 3-4 පිටු බලන්න. (සිංහලෙන් නැත)

[17වන පිටුවේ පින්තූරය]

අමීලියා පීඩර්සන්

[18වන පිටුවේ පින්තූරය]

අම්මා, තාත්තා (මර්වින්ව වඩාගෙන); පහළ, වමේ සිට දකුණට ඕලන්, එස්තර්, ලිලියන්, මිල්ඩ්රඩ් 1916දී

[19වන පිටුවේ පින්තූරය]

මිය යන්න ටික කලකට පෙර ලියෝ හා එවුනිස්

[20වන පිටුවේ පින්තූරය]

වමේ සිට දකුණ ඉහළ: එස්තර්, මිල්ඩ්රඩ්, ලිලියන්, එවුනිස්, රූත්; පහළ: ඕලන්, අම්මා, තාත්තා හා මර්වින් 1950දී

[20වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2001දී ජෝර්ජ් හා රූත් පාපස් සංචාරක සේවයේ යෙදෙමින්