Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ අනුමැතිය ඇති සේවකයා

යෙහෝවා දෙවිගේ අනුමැතිය ඇති සේවකයා

යෙහෝවා දෙවිගේ අනුමැතිය ඇති සේවකයා

‘මෙන්න, මාගේ අනුමැතිය ඇති සේවකයා!’—යෙසා. 42:1, නව ලොව පරිවර්තනය, NW.

1. යේසුස්ගේ මරණය සිහි කිරීම ළඟා වෙත්ම අපව දිරිගන්වා ඇත්තේ කුමක් කිරීමටද? ඒ ඇයි?

යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම ළඟා වෙත්ම පාවුල්ගේ මෙම උපදෙසට අපි වැඩි අවධානයක් දීම උචිතයි. ‘අපේ ඇදහිල්ලේ ප්‍රධාන නියෝජිතයාද, එය පරිපූර්ණ කරන්නාද වන යේසුස් දෙස මහත් ඕනෑකමින් බලා සිටිමු. ඔබ වෙහෙසට පත්ව සිතින් ක්ලාන්ත නොවන පිණිස, තමන්ටම හානි පමුණුවාගත් පව්කාරයන් විසින් ඔහුට විරුද්ධව පැවසූ දේ විඳදරාගත් තැනැත්තා ගැන හොඳින් කල්පනා කර බලන්න.’ (හෙබ්‍රෙ. 12:2, 3) යේසුස් මේ පොළොවේදී මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව කළ සේවය ගැන වැඩි අවධානයක් යොමු කිරීම ඉතා ප්‍රයෝජනවත්. එමගින් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටත් ඔවුන්ගේ සහයකයන් වන වෙනත් බැටළුවන්ටත් ‘සිතින් ක්ලාන්ත නොවී’ දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීමට හැකි වෙනවා.—ගලාති 6:9 බලන්න.

2. යේසුස් ගැන යෙසායා පවසා ඇති අනාවැකිවලින් අප ඉගෙනගන්නේ කුමක්ද?

2 යෙහෝවා දෙවි තම පුත්‍රයා සම්බන්ධයෙන් අනාවැකි පෙළක් යෙසායා මාර්ගයෙන් පැවසුවා. ඒවා ‘අපේ ඇදහිල්ලේ ප්‍රධාන නියෝජිතයාද, එය පරිපූර්ණ කරන්නාද වන යේසුස් දෙස මහත් ඕනෑකමින් බලා සිටින්න’ අපට උපකාර කරනවා. * ඒවා හොඳින් අධ්‍යයනය කිරීම මගින් යේසුස්ගේ පෞද්ගලිකත්වය, ඔහු විඳි දුක් වේදනා මෙන්ම රජ සහ ගැලවුම්කරු ලෙස දෙවි ඔහුව උසස් කළ ආකාරය ගැනත් අපට පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකියි. එමෙන්ම යේසුස්ගේ මරණය සිහි කිරීමට හේතුව ගැන අපට ඇති අවබෝධය තවත් වැඩි කරගැනීමටද එය උපකාරවත් වෙනවා. මේ වසරේ එය පැවැත්වෙන්නේ අප්‍රියෙල් මස 9වන බ්‍රහස්පතින්දා, හිරු බැස යාමෙන් පසුවයි.

සේවකයාව හඳුනාගනිමු

3, 4. (අ) යෙසායා පොතේ සඳහන් “සේවකයා” යන වචනයෙන් සමහර අවස්ථාවලදී අමතා ඇත්තේ කාවද? (ආ) යෙසායා 42, 49, 50, 52 සහ 53 යන පරිච්ඡේදවල සඳහන් සේවකයා කවුරුන්ද යන්න ගැන ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ පැහැදිලි කර තිබෙන්නේ කෙසේද?

3 යෙසායා පොතේ “සේවකයා” යන වචනය බොහෝ ස්ථානවල දැකගත හැකියි. සමහර අවස්ථාවලදී එම වචනයෙන් අමතා තිබෙන්නේ යෙසායාවයි. (යෙසා. 20:3; 44:26) තවත් විටෙක යාකොබ්ව හෝ මුළු ඊශ්‍රායෙල් ජාතියව ඇමතීමටත් එම වචනය යොදා තිබෙනවා. (යෙසා. 41:8, 9; 44:1, 2, 21) නමුත් යෙසායා 42, 49, 50, 52 සහ 53 යන පරිච්ඡේදවල සේවකයා ලෙස හඳුන්වා තිබෙන්නේ කවුරුන්වද? එය තේරුම්ගැනීමට ග්‍රීක ශුද්ධලියවිල්ලේ සඳහන් සිද්ධීන් කිහිපයක් සලකා බලමු. ඉතියෝපියානු නිලධාරියෙකු ගමනක් යන අතරතුර යෙසායා පොතේ අනාවැකියක් කියවමින් සිටි බව ක්‍රියා පොතේ වාර්තා වෙනවා. එවිට දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ෆිලිප් ඔහු වෙතට ළඟා වුණා. එම නිලධාරියා කියවමින් සිටියේ යෙසායා 53:7, 8 යන වගන්තිවල සඳහන් අනාවැකියයි. ඔහු ෆිලිප්ට මෙසේ පැවසුවා. “අනාගතවක්තෘ මෙසේ පවසන්නේ කා ගැනද? තමා ගැනද නැත්නම් වෙන කෙනෙකු ගැනද කියා කියන ලෙස ඔබෙන් අයැද සිටිමි.” ඊට ඉක්මනින් පිළිතුරු දෙමින් ෆිලිප් පැවසුවේ එහි සඳහන් වන්නේ ජනයා බලා සිටි ගැලවුම්කරු වන යේසුස් ගැන බවයි.—ක්‍රියා 8:26-35.

4 යෙසායා 42:6 සහ 49:6හි සඳහන් අනාවැකිය අදාළ වන්නේ යේසුස්ට බව දෙවිගේ මඟ පෙන්වීම යටතේ ධර්මිෂ්ඨ මිනිසෙකු වූ සිමියොන් පැවසූ වචනවලින් පැහැදිලි වෙනවා. යේසුස් බිලිඳු දරුවෙකුව සිටියදී සිමියොන් ඔහුව අතට ගෙන පැවසුවේ මෙම “කුඩා දරුවා” “ජාතීන් කෙරෙන් වැස්ම ඉවත් කිරීම සඳහා වූ ආලෝකයක්” වන බවයි. (ලූක් 2:25-32) එමෙන්ම යේසුස් දැඩි පරීක්ෂාවන්ට නින්දා අපහාසවලට මුහුණ දුන් රාත්‍රිය ගැන යෙසායා 50:6-9හි වාර්තා කර තිබෙනවා. (මතෙ. 26:67; ලූක් 22:63) යෙසායා පොතේ ඉහත පරිච්ඡේදවල සඳහන් යෙහෝවා දෙවිගේ “සේවකයා” යේසුස් බව ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයෙන් පසු පේතෘස්ද පැහැදිලිව හඳුන්වා දුන්නා. (යෙසා. 52:13; 53:11; ක්‍රියා 3:13, 26 කියවන්න.) එම “සේවකයා” පිළිබඳ අනාවැකිවලින් අපට කුමක් ඉගෙනගත හැකිද?

දෙවි තම සේවකයාව පුහුණු කරයි

5. යේසුස් පුහුණුව ලැබුවේ කාගෙන්ද?

5 දෙවිගේ පළමු නිර්මාණය වන යේසුස් ස්වර්ගයේ සිටි කාලයේදී තම පියා සමඟ ඉතා කිට්ටු බැඳීමක් තිබුණා. එය තේරුම්ගැනීමට, සේවකයා පිළිබඳ යෙසායා පවසා ඇති අනාවැකිය අපට උපකාර කරනවා. (යෙසායා 50:4-9 කියවන්න.) පොළොවට පැමිණීමට පෙර යේසුස් තම පියාට ඇහුම්කන් දෙමින් ඔහුගෙන් ඉගෙනගත් බව එම අනාවැකියේ පවසා තිබෙන්නේ මෙසේයි. “ඔහු උදයක් උදයක් පාසා මාව අවදි කර මට උපදෙස් දෙන්නේය.” (යෙසා. 50:4NW) එම පුහුණුව නිසා යේසුස් දෙවිට ඉතා කීකරු සේවකයෙක් බවට පත් වුණා. මුළු විශ්වයේ නිර්මාණකරුගෙන්ම ඉගෙනගන්න ලැබීම යේසුස්ට මොන තරම් වරප්‍රසාදයක් වුණාද!

6. මෙම සේවකයා තම පියාට සම්පූර්ණ යටත්කම දැක්වූයේ කෙසේද?

6 එම අනාවැකියේ සඳහන් සේවකයා තම පියාව හඳුන්වන්නේ “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි” ලෙසයි. ඉන් පැහැදිලි වන්නේ මෙම සේවකයා ඉතා වැදගත් සත්‍යයක් ඉගෙනගෙන ඇති බවයි. එය නම් සියල්ල පාලනය කිරීමට අයිතිය තිබෙන්නේ යෙහෝවා දෙවිට යන කාරණයයි. ඔහුද තම පියාගේ පාලනයට සම්පූර්ණයෙන් යටත් වන ආකාරයත් එම අනාවැකියේ මෙසේ සඳහන් කරනවා. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ කන් විවෘත කළේය. මමද ඔහු දෙන උපදෙස් සිතට ගතිමි. මම මුරණ්ඩු ලෙස ඔහුගේ උපදෙස්වලට පිටු නොපෑවෙමි.” (යෙසා. 50:5NW.) මිනිසා ඇතුළු මුළු මහත් විශ්වයම නිර්මාණය කිරීමේදී යෙහෝවා දෙවිගේ “ප්‍රධාන සේවකයා ලෙස කටයුතු” කළේ ඔහුයි. මෙම ‘ප්‍රධාන සේවකයා නිතරම දෙවි ඉදිරියේ සතුටින්’ සිටියා. එමෙන්ම ඔහු දෙවි ‘මැවූ සරුසාර පොළොව දැක සතුටු වූ අතර මනුෂ්‍යය පුත්‍රයන්ට බොහෝ සේ ප්‍රිය කළා.’—හිතෝ. 8:22-31NW.

7. මෙම සේවකයා මුහුණ දුන් පරීක්ෂාවලදී තම පියාගේ උපකාරය ලැබෙන බවට ඔහුට තිබූ විශ්වාසය තහවුරු කරන්නේ කුමන අනාවැකියෙන්ද?

7 දෙවිගෙන් ලද පුහුණුව හා මිනිස්වර්ගයා කෙරෙහි ඔහුට තිබූ මහත් ඇල්ම නිසා ඔහුට පැමිණි දැඩි පීඩාවලට සාර්ථකව මුහුණ දෙන්න ඔහුට හැකි වුණා. එමෙන්ම දැඩි අසීරුතා යටතේ වුණත් තම පියාගේ කැමැත්ත කිරීමටද ඔහු ආශා කළා. (ගීතා. 40:8; මතෙ. 26:42; යොහ. 6:38) තමන්ට පැමිණි පීඩා කොපමණ වුණත් තම පියාගේ අනුමැතිය සහ උපකාරය තමන්ට ලැබෙන බවට ඔහුට දැඩි විශ්වාසයක් තිබුණා. එම විශ්වාසය අනාවැකියේ පවසා තිබෙන්නේ මෙසේයි. ‘මා ධර්මිෂ්ඨ යයි ප්‍රකාශ කරන තැනැත්තා මා ළඟම සිටියි. මා සමඟ වාද කළ හැකි කෙනෙකු සිටීද? විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ උපකාරයට සිටියි.’ (යෙසා. 50:8, 9NW) යේසුස් පොළොව මත සේවය කළ කාලය මුළුල්ලේම යෙහෝවා දෙවි ඔහුට උපකාර කරන බවට යෙසායා පොතේ තවත් අනාවැකියක පවසා තිබුණා.

සේවකයා පොළොවේදී කළ සේවය

8. යෙසායා 42:1හි සඳහන් දෙවි “තෝරාගත් තැනැත්තා” වූයේ යේසුස් බව තහවුරු වුණේ කුමකින්ද?

8 ක්‍රිස්තු වර්ෂ 29දී යේසුස් බව්තීස්ම වූ විට සිදු වූ දේ ගැන බයිබලයේ මෙසේ වාර්තා කර තිබෙනවා. “ශුද්ධාත්මය [දෙවිගේ බලය] ඔහු කෙරෙහි බැස ආවේය. ‘මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබය. මම ඔබව අනුමත කළෙමි’ කියා පවසන හඬක්ද ස්වර්ගයෙන් නික්මුණේය.” (ලූක් 3:21, 22) යෙසායාගේ අනාවැකියේ සඳහන් ලෙස තමන් “තෝරාගත් සේවකයා” යේසුස් බව ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි පැවසුවා. (යෙසායා 42:1-7 කියවන්න.) ඒ වගේම යේසුස් පොළොවේදී කළ සේවය මගින්ද ඔප්පු වුණේ යෙසායා ඔහු ගැන පවසා තිබූ අනාවැකිය ඉතා කදිමට ඉටු වූ බවයි. යෙසායා 42:1-4හි සඳහන් අනාවැකිය මතෙව්, යේසුස්ට අදාළ කරමින් එය තම සුවිශේෂයෙහි සඳහන් කළා.—මතෙ. 12:15-21.

9, 10. (අ) යේසුස් තම දේවසේවය අතරතුර යෙසායා 42:3 මුල් කොටසෙහි සඳහන් දේ ඉටු කළේ කෙසේද? (ආ) ඔහු “සැබෑ යුක්තිය ඉටු කර” දුන්නේ කෙසේද? එමෙන්ම “පොළොව පුරාම යුක්තිය ඉටු” කරන්නේ කවදාද?

9 යේසුස්,යෙසායා 42:3 ඉටු කළ ආකාරය දැන් අපි සලකා බලමු. එදා සිටි යුදෙව් ආගමික නායකයන් විසින් සාමාන්‍ය ජනයාව සැලකුවේ ඉතා පහත් අය ලෙසයි. (යොහ. 7:47-49) එම ආගමික නායකයන්ගේ දුෂ්ටකම් නිසා සාමාන්‍ය යුදෙව් ජනයා හරියට ‘තැළුණු බට ගසක්’ හෝ ‘නිවීගෙන යන පහන් තිරයක’ තත්වයට පත් වුණා. නමුත් යේසුස් එදා සිටි එවැනි පීඩිත අයට දයානුකම්පාව පෙන්නුවා. (මතෙ. 9:35, 36) එමෙන්ම ඔහු ඔවුන්ට මෙවැනි කාරුණික ආරාධනාවක්ද කළා. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි.” (මතෙ. 11:28) එම අනාවැකියේම සඳහන් ලෙස යේසුස් එදා ඔවුන්ට “සැබෑ යුක්තිය ඉටු කර” දුන්නේ කෙසේද? ඔහු එසේ කළේ හරි වැරැද්ද පිළිබඳ දෙවිගේ ප්‍රතිපත්ති ඔවුන්ට ඉගැන්වීමෙනුයි. (යෙසා. 42:3NW) එමෙන්ම දෙවිගේ නීති ප්‍රතිපත්ති අදාළ කරගන්න කියා අන් අයට පවසන විට සාධාරණ මෙන්ම කාරුණික විය යුතු බවද ඔහු පෙන්වා දුන්නා. (මතෙ. 23:23) තවදුරටත් ඔහු මිනිසුන්ගේ උස් පහත් භේද නොබලා ඔවුන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන්ද යුක්තිය ඉටු කළා.—මතෙ. 11:5; ලූක් 18:18-23.

10 යෙහෝවා දෙවිගේ “තෝරාගත් තැනැත්තා” වන යේසුස් “පොළොව පුරාම යුක්තිය ඉටු කිරීමට” නියමිත බවද යෙසායා අනාවැකියකින් පවසා තිබෙනවා. (යෙසා. 42:4NW) ඔහු එය ඉටු කරන්නේ දේවරාජ්‍යයේ රජු ලෙස තව කෙටි කලකින් සියලුම මනුෂ්‍ය ආණ්ඩු මේ පොළොවෙන් තුරන් කර “ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ” පාරාදීස පොළොවේ තම ධර්මිෂ්ඨ පාලනය අරඹන විටයි.—2 පේතෘ. 3:13; දානි. 2:44.

‘ආලෝකයක්’ සහ ‘සහතිකයක්’

11. යේසුස් පළමු සියවසේදී ‘ජාතීන්ට ආලෝකයක්’ වුණේ කෙසේද? එමෙන්ම ඔහු වර්තමානයේදී ජාතීන්ට ආලෝකයක් වන්නේ කෙසේද?

11 යෙසායා 42:6හි ඇති වචන ඉටු කරමින් යේසුස් “ජාතීන්ට ආලෝකයක්” වුණා. ඔහු පොළොවේ සිටි කාලයේදී ආලෝකයක් වුණේ යුදෙව්වන්ටයි. එසේ කළේ දෙවි පිළිබඳ නිවැරදි අවබෝධය ඔවුන්ට ලබා දීමෙනුයි. (මතෙ. 15:24; ක්‍රියා 3:26) නමුත් “ලෝකයේ ආලෝකය මමය” කියා යේසුස් පැවසුවා. (යොහ. 8:12) ඒ අනුව ඔහු යුදෙව්වන්ට පමණක් නොව එසේ නොවන අයටත් ආලෝකයක් වුණා. එසේ වුණේ ඔවුන්ට දෙවි පිළිබඳ නිවැරදි දැනුම ලබා දීමෙන් පමණක් නොව ඔහුගේ පරිපූර්ණ ජීවිතය පවා ඔවුන් වෙනුවෙන් පූජා කිරීම මගිනුයි. (මතෙ. 20:28) ඔහුගේ නැවත නැඟිටුවීමෙන් පසුව පවා ජාතීන්ට ආලෝකය සැපයීම සඳහා “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය” දක්වා ශුභාරංචිය ප්‍රකාශ කරන්න කියා ඔහු තම අනුගාමිකයන්ට පැවරුමක් දුන්නා. (ක්‍රියා 1:8) තමන් ප්‍රකාශ කරන එම ශුභාරංචිය සියලු ‘ජාතීන්ට ආලෝකයක්’ වන බව පාවුල් සහ බානබස්ද පැවසුවා. (ක්‍රියා 13:46-48; යෙසායා 49:6 බලන්න.) එදා යේසුස් දුන් පැවරුම මේ වන තෙක් ඔහුගේ අභිෂේක ලත් සහෝදරයන් හා ඔවුන්ගේ සහයකයන් වන වෙනත් බැටළුවන් විසින් ප්‍රකාශ කරමින් සිටිනවා. එමෙන්ම යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබීමටද ඔවුන්ට උපකාර කරමින් සිටිනවා. ඉන් පැහැදිලි වන්නේ යේසුස් වර්තමානයේදී ‘ජාතීන්ට ආලෝකයක්’ වී ඇති ආකාරයයි.

12. යෙහෝවා දෙවි ‘සියලු ජනයාට සහතිකයක්’ ලබා දුන්නේ කුමක් පිළිබඳවද?

12 ‘සියලු ජනයාට සහතිකයක් ලබා දීම සඳහා මම ඔබව ආරක්ෂා කරමි’ කියා යෙහෝවා දෙවි තම තෝරාගත් සේවකයාට එම අනාවැකියේම පොරොන්දු වී තිබුණා. (යෙසා. 42:6NW) යේසුස් පොළොවේ සිටි කාලයේදී සාතන් මුළු වැර යොදා උත්සාහ කළේ ඔහුව ඝාතනය කර ඔහු කළ සේවය අතර මඟ නතර කිරීමටයි. නමුත් යේසුස් තම ජීවිතය පූජා කිරීමට නියමිත කාලය පැමිණෙන තෙක් යෙහෝවා දෙවි ඔහුව ආරක්ෂා කළා. (මතෙ. 2:13; යොහ. 7:30) පසුව දෙවි, තම පුත්‍රයාව මරණයෙන් නැවත නැඟිටුවීම මගින් සියලු ජනයාට “සහතිකයක්” ලබා දුන්නා. ඒ කුමක් පිළිබඳවද? එනම් මෙම විශ්වාසවන්ත සේවකයා දිගටම ජාතීන්ට ආලෝකයක් වන බවටයි. ඉන් අදහස් කරන්නේ දෙවි ගැන නිවැරදි අවබෝධයක් නොමැතිව අඳුරේ සිටින අයව ඔහු ඉන් නිදහස් කරන බවයි.—යෙසායා 49:8, 9 කියවන්න. *

13. යෙසායා 42:7හි සඳහන් අනාවැකිය යේසුස් ඉටු කළේ කෙසේද? එමෙන්ම ඔහු එය තවමත් කරමින් සිටින්නේ කෙසේද?

13 දෙවි දුන් එම සහතිකයට අනුව ඔහුගේ තෝරාගත් සේවකයා “අන්ධ අයට පෙනීම ලබා දෙන්නත් සිරකරුවන්ව නිදහස් කරන්නත් අඳුරු සිරකුටිවල හිඳගෙන සිටින අයව එළියට කැඳවන්නත්” නියමිතයි. (යෙසා. 42:7NW) ඔහු පොළොව මත කළ සේවයේදී එසේ කළේ අසත්‍ය ඉගැන්වීම් ප්‍රසිද්ධියේ හෙළි කිරීමෙන් හා දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කිරීමෙනුයි. (මතෙ. 15:3; ලූක් 8:1) එමගින් ඔහු අසත්‍ය ඉගැන්වීම්වල සිර වී සිටි යුදෙව්වන්ව නිදහස් කළා. එසේ නිදහස් වූ අය ඔහුගේ අනුගාමිකයන් බවට පත් වුණා. (යොහ. 8:31, 32) එලෙසම ඔහු තවත් මිලියන ගණනකටද එසේ උපකාර කර තිබෙන අතර තවමත් එය කරමින් සිටිනවා. ඒ කෙසේද? “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” යන පැවරුම තම අනුගාමිකයන්ට දීම මගිනුයි. එමෙන්ම “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි” යන සහතිකයත් ඔවුන්ට දුන්නා. (මතෙ. 28:19, 20) මෙසේ දැන් ස්වර්ගයේ සිටින යේසුස් ලොව පුරාම සිදු කෙරෙන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය අධීක්ෂණය කරමින් සිටිනවා.

දෙවි තම ‘සේවකයාව’ උසස් කරයි

14, 15. දෙවි තම සේවකයා වන යේසුස්ව උසස් කළේ ඇයි? එමෙන්ම දෙවි ඔහුව උසස් කළේ කෙසේද?

14 තම සේවකයා සම්බන්ධයෙන් යෙහෝවා දෙවි මෙවැනි දෙයක්ද පැවසුවා. “බලන්න! මාගේ සේවකයා සිහි බුද්ධිය ඇතුව ක්‍රියා කරයි. ඔහුව උසස් කරනු ලබයි. ඔහුට මහත් බලයද ගෞරවයද හිමි වනු ඇත.” (යෙසා. 52:13NW) ඔව්, තම පුත්‍රයා තම පාලනයට දැක්වූ කීකරුකම නිසාත් දැඩි පරීක්ෂා හමුවේ දැක්වූ විශ්වාසවන්තකම නිසාත් දෙවි ඔහුව උසස් කළා.

15 පේතෘස්ද ඊට එකඟ වෙමින් යේසුස් ගැන මෙසේ පැවසුවා. “ඔහු ස්වර්ගයට ගොස් දෙවිගේ දකුණු පැත්තේ සිටින්නේය. දේවදූතයන්ද බලධාරීන්ද බලයන්ද ඔහුට යටත් කරන ලදි.” (1 පේතෘ. 3:22) පාවුල්ද ඒ හා සමාන දෙයක් පැවසුවා. “තවද ඔහු, තමා මිනිස් ස්වරූපයට පත් වූ පසු, මරණය දක්වා, එනම් වධකණුවක මරණය දක්වාම යටහත් වී කීකරු වූයේය. මේ නිසාම දෙවි ඔහුව වඩා උසස් තත්වයකට පත් කළ අතර, අන් සියලු නාමවලට වඩා උසස් නාමය ඔහුට කරුණාවන්තව දුන්නේය. ඔහු එසේ කළේ, ස්වර්ගයෙහිද, පොළොවෙහිද, පොළොව යටද සිටින සියල්ලන් යේසුස්ගේ නාමයෙන් දණ නමන පිණිසත්, පියාණන් වන දෙවිගේ තේජස සඳහා යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව සියලු දිව්වලින් ප්‍රසිද්ධියේ පිළිගන්නා පිණිසත්ය.”—ෆිලි. 2:8-11.

16. වර්ෂ 1914දී දෙවි යේසුස්ව “වඩා උසස් තත්වයකට” පත් කළේ කෙසේද? එමෙන්ම එදා සිට ඔහු කර තිබෙන්නේ කුමක්ද?

16 වර්ෂ 1914දී යෙහෝවා දෙවි විසින් යේසුස්ව “වඩා උසස් තත්වයකට” පත් කළා. එසේ කළේ ඔහුව දේවරාජ්‍යයේ රජු ලෙස පත් කිරීම මගිනුයි. (ගීතා. 2:6; දානි. 7:13, 14) එතැන් පටන් යේසුස් තම “සතුරන්ව යටත් කරගන්න” පියවර ගත්තා. (ගීතා. 110:2NW) ඔහු මුලින්ම කළේ සාතන්ව හා භූතයන්ව පොළොවට හෙළීමයි. (එළි. 12:7-12) ඊළඟට ඔහු ශ්‍රේෂ්ඨ සයිරස් ලෙස ක්‍රියා කරමින් පොළොවෙහි සිටින තම අභිෂේක ලත් සහෝදරන්ගේ ඉතිරි අයව “මහ බැබිලෝනිය” හෙවත් අසත්‍ය ඉගැන්වීම්වල ග්‍රහණයෙන් නිදහස් කළා. (එළි. 18:2; යෙසා. 44:28) එමෙන්ම ඔහු ලෝක ව්‍යාප්තව සිදු කෙරෙන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය මගින් තම සහෝදරයන්ගේ ‘ඉතිරි අයව’ මෙන්ම ‘වෙනත් බැටළුවන්ට’ අයත් මිලියන ගණනක්වද එකතු කරමින් සිටිනවා.—එළි. 12:17; යොහ. 10:16; ලූක් 12:32.

17. දෙවිගේ තෝරාගත් “සේවකයා” පිළිබඳ අනාවැකිවලින් අප ඉගෙනගත්තේ කුමක්ද?

17 යේසුස් සම්බන්ධයෙන් යෙසායා පොතේ ඇති අනාවැකි අධ්‍යයනය කිරීම නිසා අපගේ රජ හා ගැලවුම්කරු හැටියට ඔහු කෙරෙහි වූ අපගේ අගය තවත් වැඩි වුණා. ඔහු පොළොවේ සිටි කාලයේදී තම පියාට දැක්වූ ඉමහත් කීකරුකම තුළින් අප තේරුම්ගත්තේ ඔහු දෙවිගෙන් පුහුණුව ලබා තිබුණු බවයි. එමෙන්ම ඔහු පොළොවේ සිටියදී කළ සේවයෙන් හා අපගේ කාලය දක්වා සිදු කෙරෙන ශුභාරංචිය ප්‍රකාශ කිරීම තුළින් පැහැදිලිව ඔප්පු වන්නේ ඔහු ‘ජාතීන්ට ආලෝකයක්’ වී ඇති බවයි. අප ඊළඟට සලකා බැලීමට නියමිත අනාවැකියෙන් ඉගෙනගන්නේ දෙවිගේ සේවකයා වන යේසුස් විඳි පීඩා ගැන හා ඔහුගේ ජීවිතය පුජා කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන ගැනයි. යේසුස්ගේ මරණය සිහි කිරීම ළඟා වෙත්ම අප ඒ ගැන “හොඳින් කල්පනා කර” බැලීම ඉතා වැදගත්.—හෙබ්‍රෙ. 12:2, 3.

[පාදසටහන්වල]

^ 2 ඡේ. එම අනාවැකි සඳහන් වී තිබෙන්නේ යෙසායා 42:1-7; 49:1-12; 50:4-9 සහ 52:13–53:12 යන වගන්තිවලයි.

^ 12 ඡේ. යෙසායා 49:1-12හි ඇති අනාවැකිය සම්බන්ධයෙන් අමතර තොරතුරු දැනගැනීම සඳහා යෙසායාගේ අනාවැකිය, සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන (2වන වෙළුම) යන පොතේ 136-145 දක්වා පිටු බලන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යෙසායාගේ අනාවැකියේ සඳහන් “සේවකයා” කවුද? ඒ බව අප දන්නේ කෙසේද?

• ඔහු යෙහෝවා දෙවිගෙන් ලැබුවේ කුමනාකාර පුහුණුවක්ද?

• යේසුස් ජාතීන්ට අලෝකයක් වන්නේ කෙසේද?

• දෙවි ඔහුව උසස් කළේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

යෙසායාගේ අනාවැකියේ සඳහන් “සේවකයා” යන වචනය අදාළ වන්නේ ගැලවුම්කරු වන යේසුස්ට බව ෆිලිප් පැහැදිලිව තේරුම්ගත්තා

[23වන පිටුවේ පින්තූරය]

දෙවිගේ තෝරාගත් සේවකයා ලෙස යේසුස් පීඩිත ජනයාට දයානුකම්පාව පෙන්නුවා

[24වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි, යේසුස්ව ඉතා උසස් කළ අතර ඔහුව දේවරාජ්‍යයේ රජු බවටද පත් කළා