Skip to content

පටුනට යන්න

එළිදරව් පොතෙන් විශේෂාංග—II

එළිදරව් පොතෙන් විශේෂාංග—II

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

එළිදරව් පොතෙන් විශේෂාංග—II

යෙහෝවා දෙවිට නමස්කාර කරන හා එසේ නොකරන අයට අනාගතයේදී සිදු වන්නේ කුමක්ද? සාතන්ට හා ඔහුගේ භූතයන්ට මුහුණ දෙන්න සිදු වන තත්වය කුමක්ද? යේසුස්ගේ දහස් අවුරුදු පාලනය යටතේ කීකරු මිනිස් වර්ගයාට ලැබෙන ආශීර්වාද මොනවාද? එම වැදගත් ප්‍රශ්නවලට හා තවත් එවැනි ප්‍රශ්නවලට පිළිතුරු එළිදරව් 13:1–22:21හි * සඳහන්ව තිබෙනවා. එමෙන්ම පළමු සියවස අගභාගයේදී යොහන් දුටු දර්ශන 16න් අවසන් දර්ශන නවයද එම පරිච්ඡේදවල සඳහන්.

“මේ අනාවැකියේ වචන ශබ්ද නඟා කියවන්නාද එහි ලියා තිබෙන දේවල් පවත්වන අයද සන්තෝෂවත්ය” කියා යොහන් පැවසුවා. (එළි. 1:3; 22:7) ඇත්තෙන්ම එළිදරව් පොතේ සඳහන් තොරතුරු අප කියවා අදාළ කරගන්නවා නම්, යෙහෝවා දෙවි හා යේසුස් කෙරෙහි අපට තිබෙන ඇදහිල්ල තවත් ශක්තිමත් වෙන අතර අපගේ අනාගත බලාපොරොත්තුවද වඩාත් දීප්තිමත් වෙයි. එමෙන්ම දෙවිට අප කරන සේවයේ උද්‍යෝගයෙන් හවුල් වීමටද එමගින් අප තුළ පෙලඹීමක් ඇති වෙයි. *හෙබ්‍රෙ. 4:12.

දෙවිගේ කෝපය නමැති බඳුන් පොළොවට වත් කිරීම

(එළි. 13:1–16:21)

එළිදරව් 11:18හි මෙසේ පවසනවා. ‘ජාතීහු උදහස් වූහ. ඔබේ උදහසද පැමිණියේය.පොළොව විනාශ කරන අයව විනාශ කර දැමීමටත් නියමිත කාලය පැමිණියේය.’ දෙවිගේ උදහස එසේ පැමිණෙන්නේ “අං දසයක්ද හිස් සතක්ද ඇති වන මෘගයෙකු” කටයුතු කළ ආකාරය නිසා බව එහි හෙළි කර තිබෙනවා.—එළි. 13:1.

‘බැටළු පැටවා හා මිනිසුන් අතරින් මිල දී ගන්නා ලද එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙකු සියොන් කන්ද මත සිටගෙන සිටිනවා’ යොහන් නවවන දර්ශනයෙන් දකිනවා. (එළි. 14:1, 4) ඉන්පසුව දේවදූතයන්ගේ ප්‍රකාශයන් අසන්නට ලැබෙනවා. යොහන් තම ඊළඟ දර්ශනයෙන් දකින්නේ කුමක්ද? “දේවදූතයෝ සත්දෙනෙක් පීඩා සතක් ඇතිව” සිටින ආකාරය ඔහු දකිනවා. එවිට “දෙවිගේ කෝපයෙන් පිරුණු බඳුන් සත” සාතන්ගේ ලෝකයේ විවිධ අංගයන් මත වත් කරන්න කියා යෙහෝවා දෙවිගෙන්ම වූ ආඥාවක් ඔවුන්ට ලැබෙනවා. (එළි. 15:1; 16:1) හත්වන හොරණෑව පිඹීම සහ තුන්වන දුක මගින් ඇති කරන දේවල් ගැන විස්තරයක් මෙම දර්ශන දෙක තුළින් දැකගත හැකියි. එයට දේවරජ්‍යය මගින් සිදු කරන විනිශ්චය ගැන විස්තරයක්ද ඇතුළත්.—එළි. 11:14, 15.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

13:8—‘බැටළු පැටවාගේ ජීවන ලියවිල්ල’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙය සංකේතමය ලියවිල්ලක්. එහි ලියා ඇත්තේ යේසුස් සමඟ ස්වර්ගයෙහි පාලනය කිරීමට නියමිත අභිෂේක ලත් අයගේ නම් පමණයි. ඊට පොළොව මත සිටින අභිෂේක ලත් අයගේ නම්ද ඇතුළත්.

13:11-13—අං දෙකක් ඇති මෙම වන මෘගයා මකරෙකුමෙන් ක්‍රියා කරමින් අහසින් ගිනි බස්සවන්නේ කෙසේද? මෙම අං දෙක ඇති වන මෘගයා වන්නේ එංගලන්ත-ඇමරිකානු ලෝක බලයයි. එය මකරෙකු ලෙස ක්‍රියා කරනවා කීමෙන් අදහස් කරන්නේ මිනිස්සුන්ට බලපෑම් කරමින්, පීඩා කරමින් හා තර්ජන කරමින් තමන්ගේ පාලනය පිළිගැනීමට බල කිරීමයි. විසිවන සියවසේ පැවති යුද්ධ දෙක සහ කොමියුනිස්ට්වාදයට විරුද්ධව තමන් ජය ගත් නිසා තමන්ට සියලු දුෂ්ටකම් ජයගත හැකි බවට ඔවුන් අනාවැකි පළ කරනවා.

16:17—සත්වන බඳුන වත් කරන “අවකාශය” කුමක්ද? මෙම “අවකාශය” වන්නේ සාතන් විසින් පතුරුවන ආකාල්පවලටයි. එනම් ‘අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියා කරන ස්වභාවයයි.’ සාතන්ගේ ලෝකයට අයත් සියලුදෙනාම මෙම විෂ සහිත වාතය ආඝ්‍රාණය කරනවා.—එෆී. 2:2.

අපට ගත හැකි පාඩම්:

13:1-4, 18. මෙම ‘වන මෘගයා’ හෙවත් මනුෂ්‍ය ආණ්ඩු මතු වෙන්නේ “මුහුදෙන්” එනම් මේ දුෂ්ට මනුෂ්‍ය සමාජයෙනුයි. (යෙසා. 17:12, 13; දානි. 7:2-8, 17) සාතන් විසින් තම බලය ලබා දුන් මෙම වන මෘගයාට 666 යන අංකය ලැබී තිබෙනවා. එමගින් ප්‍රබල අසම්පූර්ණකමක් අඟවනවා. අප වන මෘගයා කව්ද කියා දැන සිටින නිසා ඌට කිසිම ආකාරයකින් ගෞරවය දෙන්නේ හා නමස්කාර කරන්නේ නැහැ.—යොහ. 12:31; 15:19.

13:16, 17. අපි ජීවිතයේ එදිනෙදා කටයුතුවල යෙදෙන විට හෝ භාණ්ඩ ‘මිල දී ගැනීම් හා විකිණීම්’ වැනි කටයුතුවල යෙදෙන විට කුමනාකාර දුෂ්කරතාවකට මුහුණ දුන්නත් කිසිම විටෙක වන මෘගයාගේ පාලනය යටතේ පවතින ලෝකයේ බලපෑමට හසු නොවීමට වග බලා ගත යුතුයි. වන මෘගයාගේ ලකුණ අපගේ ‘අතේ හා නළලේ’ තබාගන්නවා කියන්නේ අපගේ ක්‍රියා හා ආකල්ප ඔහුට පාලනය කරන්න ඉඩ දෙනවා කියන එකයි.

14:6, 7. දේවදූතයා ප්‍රකාශ කරන මෙම පණිවිඩයෙන් අපට සිහි ගන්වන්නේ පිහිටුවා ඇති දේවරාජ්‍යය ගැන ශුභාරංචිය අපි හදිසිතාවයේ හැඟීමකින් ප්‍රකාශ කළ යුතු බවයි. ඒ වගේම අප සමඟ බයිබලය පාඩම් කරන අයට යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති කරගෙන ඔහුට ගෞරවය කිරීමට ආශාවක් ඇති කළ යුතුයි.

14:14-20. මුලින්ම “පොළොවේ අස්වැන්න” එනම් දෙවි ගෙනෙන විනාශයෙන් ගැලවීම ලබන අයව තෝරාගන්නවා. එය අවසන් වූ පසු ‘දෙවිගේ කෝපය නමැති මහත් වයින් යන්ත්‍රයට පොළොවේ මිදිවැල’ හෙළීමට නියමිතයි. එනම් සාතන්ගේ දූෂිත ලෝකයේ ඇති සියලුම ආණ්ඩු හා එහි “මිදි පොකුරු” හෙවත් දූෂිත මිනිසුන්ව විනාශ කර දමනවා. අපි කිසි විටෙක මෙම පොළොවේ මිදිවැලට කිසිදු ආකාරයකින්වත් සම්බන්ධ නොවෙමු.

16:13-16. “ආනුභාව ලත් අපවිත්‍ර ප්‍රකාශයන්” මගින් අදහස් වන්නේ දෙවිගේ උදහසේ බඳුන් හත වත් කළත් පාලකයන්, යෙහෝවා දෙවිගේ සෙනඟට පීඩා කිරීම නතර කරන්නේ නැති බවයි. ඒ වෙනුවට ඔවුන් දෙවිගේ සෙනඟට විරුද්ධව වැරදි ප්‍රචාරයන් බහුලව සිදු කරනවා.—මතෙ. 24:42, 44.

16:21. සාතන්ගේ පාලනය යටතේ පවතින සමාජයේ අවසානය ළඟා වෙනවාත් සමඟම ප්‍රකාශ කරමින් තිබෙන දෙවිගේ විනිශ්චයේ පණිවිඩයට ඉතා බරපතළ කාරණා ඇතුළත් වෙනවා. ඒවා හිම කැට වර්ෂාවකට සමාන කර තිබෙන්නේ ඒ නිසයි. ඒවා කොතරම් බරපතළ වුණත් බොහෝ මිනිසුන් දෙවිට අපහාස කරන එක නතර කරන්නේ නැහැ.

ජයග්‍රාහි රජ පාලනය කරයි

(එළි. 17:1–22:21)

සාතන්ගේ දුෂ්ට ලෝකයේ ඇති ඉතා පිළිකුල්සහගත දෙයක් වන්නේ අසත්‍ය උගන්වන ආගම් හෙවත් මහා බැබිලෝනියයි. යොහන් දුටු 11වන දර්ශනයේ ඇයව ‘තද රතු පාට වන මෘගයෙකු පිට ඉඳගෙන සිටින වේශ්‍යා ස්ත්‍රියකට’ සමාන කර තිබෙනවා. ඇයව සම්පූර්ණයෙන් විනාශ කරන්නේද ඇය ඉඳගෙන සිටින මෙම “අං දසය” ඇති වන මෘගයා විසින්මයි. (එළි. 17:1, 3, 5, 16) ඊළඟ දර්ශනයේදී එම වේශ්‍යා ස්ත්‍රියව ‘මහත් නුවරකට’ සමාන කර තිබෙනවා. එමෙන්ම ඇය විනාශ වීමට නියමිත බවත් දෙවිගේ සෙනඟ වහාම ‘ඇගෙන් ඉවත්ව යා යුතු’ බවත් එම දර්ශනයෙන් නිවේදනය කරනවා. මහත් නුවරේ විනාශය ගැන බොහෝදෙනෙක් හඬා වැලපෙනවා. එය එසේවුණත් ස්වර්ගයේ සිටින අයට නම් ප්‍රීති ඝෝෂා කිරීමට හේතු තිබෙනවා. ඒ “බැටළු පැටවාගේ විවාහ මංගල්‍යය” නිසයි. (එළි. 18:4, 9, 10, 15-19; 19:7) ඊළඟට 13වන දර්ශනයෙන් යොහන් දකින්නේ “සුදු අශ්වයෙක්” පිට නැඟ ජාතීන්ට විරුද්ධව යුද්ධයට යන තැනැත්තෙකුවයි. ඔහු විසින් සාතන්ගේ දුෂ්ට සමාජය මුළුමනින්ම විනාශ කිරීමට නියමිතයි.—එළි. 19:11-16.

නමුත් ‘යක්ෂයාද, සාතන්ද වන මුල් සර්පයාට’ සිදු වන්නේ කුමක්ද? ඔහුව “ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විලට” හෙළන්නේ කවදාද? ඒ පිළිබඳ තොරතුරු 14වන දර්ශනයේ ඇතුළත් වී තිබෙනවා. (එළි. 20:2, 10) දහස් අවුරුදු පාලනයේදී ධර්මිෂ්ඨ මිනිසුන් භුක්ති විඳීමට නියමිත ප්‍රීතිමත් කාලය කුමනාකාර එකක්ද කියා තේරුම්ගන්න අවසන් දර්ශන දෙක අපට උපකාර කරනවා. “එළිදරව්ව” අවසාන ඉටුවීමට පැමිණෙද්දී ‘ජීවන වතුර ඇති ගංගාවක් නුවරේ ප්‍රධාන වීදිය මැදින් ගලා’ යන දර්ශනයක් යොහන් දකිනවා. එමෙන්ම ‘පිපාසය ඇති සෑම කෙනෙකුටම’ ඉන් රැගෙන බීමට ආරාධනා කරන ආකාරයද යොහන් දකිනවා.—එළි. 1:1; 22:1, 2, 17.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

17:16; 18:9,10—“පොළොවේ රජවරු” විසින් විනාශ කර දැමූ මහා බැබිලෝනිය ගැන ඔවුන්ම වැලපෙන්නේ ඇයි? ඇත්තෙන්ම ඔවුන් එසේ වැලපෙන්නේ ඔවුන්ට සිදු වී ඇති පාඩුව ගැන ඔවුන් සිතන නිසයි. පොළොවේ රජවරු විසින් අසත්‍ය උගන්වන ආගම් වන මහා බැබිලෝනිය නිසා ඔවුන්ට කොතරම් වාසි ප්‍රයෝජන ලැබුණාද කියා ඔවුන් තේරුම්ගන්නේ ඇයව විනාශ කළ පසුයි. මෙම ආගමික නායකයන්, පාලකයන් කළ වැරදි ක්‍රියා අනුමත කළා. යෞවනයන්ව යුද්ධයට හවුල් කරගන්න පාලකයන්ට උපකාර කළා. ඒ වගේම ජනයාව තමන් යටතේ තබාගෙන පාලනය කරන්න ඔවුන් ආණ්ඩුවලට උපකාර කළා.

19:12—යේසුස් මත ලියා ඇති නාමය ඔහු හැර වෙන කිසිවෙකු නොදන්නවා කියා පැවසිය හැක්කේ ඇයි? යෙසායා 9:6හි සඳහන්ව ඇති ආකාරයට එම නාමයෙන් අදහස් කරන්නේ යේසුස්ට ලැබෙන තත්වය හා වරප්‍රසාදයනුයි. ඒවා ලැබෙන්නේ ඔහුට පමණයි. එයින් අදහස් කරන දේ තේරුම්ගන්න හැකියාව ඇත්තේද ඔහුට පමණයි. එය මොන තරම් උසස් වරප්‍රසාදයක්ද! කෙසේවෙතත් යේසුස් තමන්ට පමණක් හිමි එම වරප්‍රසාද තමාගේ මනාලිය වන අභිෂේක ලත් අය සමඟ බෙදාගන්නවා. ඒ නිසා ඔහු ‘තමාගේ අලුත් නාමය ඔවුන් පිට ලියන’ බව පවසන්න පුළුවන්.—එළි. 3:12.

19:14—හර්මගෙදොන් යුද්ධයේදී යේසුස් සමඟ යුද්ධයට හවුල් වන සේනාව කවුද? එයට ‘ස්වර්ගයේ සිටින සේනාව’ වන දේවදූතයන් සහ ස්වර්ගයට ගොස් සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ද අයත් වෙනවා.—මතෙ. 25:31, 32; එළි. 2:26, 27.

20:11-15—‘ජීවන ලියවිල්ලෙහි’ [පොතෙහි] ලියා ඇත්තේ කාගේ නාමයන්ද? එහි ලියා ඇත්තේ සදාකාල ජීවනය ලබන අයගේ නාමයන්. එයට අභිෂේක ලත් අය සහ මහත් සමූහයට අයත් සාමාජිකයන්ගේ නම්ද ඇතුළත් වෙනවා. ඒ වගේම ‘නැවත නැඟිටින ධර්මිෂ්ඨ’ අයගේ නම්ද එහි සඳහන්. (ක්‍රියා 24:15; එළි. 2:10; 7:9) ‘නැවත නැඟිටින අධර්මිෂ්ඨ’ අයගේ නම් එම ‘ජීවන ලියවිල්ලේ’ ලියන්නේ දහස් අවුරුදු පාලන කාලයේදී දිගහරිනු ලබන අලුත් ‘ලියවිලිවල ලියා තිබෙන දේවල්වලට අනුව’ ඔවුන් ජීවත් වුණොත් පමණයි. නමුත් එම නාමයන් ලියන්නේ මකා දමන්න බැරි විදිහට නොවෙයි. පොළොවේ සිටින අභිෂේක ලත් අයගේ නාමයන් සදහටම පවතින්නේ ඔවුන් මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටියොත් පමණයි. (එළි. 3:5) එලෙසම පොළොව මත ජීවිතයක් බලාපොරොත්තු වන අයගේ නාමයන් ස්ථිර වන්නේද ඔවුන්, දහස් අවුරුදු පාලනය අවසානයේ තිබෙන පරීක්ෂණය ජය ගතහොත් පමණයි.—එළි. 20:7, 8.

අපට ගත හැකි පාඩම්:

17:3, 5, 7, 16. මෙහි සඳහන් ‘ස්ත්‍රිය ගැනත්, වන මෘගයා ගැනත් වූ අභිරහස’ තේරුම්ගැනීමට “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” අපට උපකාර කරනවා. (යාකො. 3:17) මෙම වන මෘගයා වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. අප මෙම අභිරහස තේරුම්ගෙන සිටින නිසා දේවරාජ්‍ය ගැන ශුභාරංචිය මෙන්ම දෙවිගේ විනිශ්චයේ පණිවිඩය ප්‍රකාශ කිරීමට අපි උද්‍යෝගයෙන් හවුල් වෙන්න අවශ්‍යයි.

21:1-6. දේවරාජ්‍ය මේ පොළොව පාලනය කරද්දී ලැබෙන ආශීර්වාද ගැන අපට ස්ථිරයි. ඒ ඇයි? ඊට හේතුව නම් එම ආශීර්වාද බයිබලයේ සඳහන් කර තිබෙන්නේ දැනටමත් ‘ඉටු වී තිබෙන’ ඒවා හැටියටයි.

22:1, 17. “ජීවන වතුර ඇති ගංගාව” කියන්නේ කීකරු මිනිසුන්ට පාපයෙන් හා මරණයෙන් නිදහස් වීමට යෙහෝවා දෙවි ලබා දෙන සැපයුම්වලටයි. එම ජීවන වතුර යම් ප්‍රමාණයක් දැන් අපට ලබාගත හැකියි. ඒ නිසා අපි “ජීවන වතුර නොමිලේ ගනීවා” යන ආරාධනාව පිළිගෙන අන් අයටද එම ආරාධනය ඉදිරිපත් කරමු.

[පාදසටහන]

^ 3 ඡේ. එළිදරව් 1:1–12:17හි සඳහන් තොරතුරු පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා වර්ෂ 2009 ජනවාරි 15 මුරටැඹ කලාපයේ පළ වූ එළිදරව් පොතෙන් විශේෂාංග—I බලන්න.

^ 4 ඡේ. බයිබලයේ එළිදරව් පොතේ ඡේදයෙන් ඡේදය සාකච්ඡා කර ඇති ආකාරය දැනගැනීම සඳහා එළිදරව්වේ අවසන් ඉටුවීම අත ළඟයි! යන පොත බලන්න.

[5වන පිටුවේ පින්තූරය]

දේවරාජ්‍යය යටතේ කීකරු මිනිසුන්ට ලැබෙන ආශීර්වාද මොන තරම් පුදුමාකාරද!