Skip to content

පටුනට යන්න

ඔබ යාච්ඤා කරන්නේ යේසුස් ඉගැන්වූ ආකාරයටද?

ඔබ යාච්ඤා කරන්නේ යේසුස් ඉගැන්වූ ආකාරයටද?

ඔබ යාච්ඤා කරන්නේ යේසුස් ඉගැන්වූ ආකාරයටද?

“යේසුස් මේ වචන කියා නිම කළ පසු, සමූහයෝ ඔහු උගන්වන ආකාරය ගැන මවිත වූහ.”—මතෙ. 7:28.

1, 2. යේසුස් ඉගැන්වූ ආකාරය නිසා ජනයා මවිත වූයේ ඇයි?

දෙවිගේ පුත්‍රයා ඉගැන්වූ දේවල් පිළිගෙන ඒවා අදාළ කරගැනීමට අපට බොහෝ හේතු තිබෙනවා. ඔහු මෙන් කිසි මිනිසෙක් මෙතෙක් දෙවි ගැන උගන්වා නැහැ. එදා කන්ද උඩ දේශනය ඇසූ ජනයා ඒ ගැන මවිත වීමට හේතුව අපට පැහැදිලියි.—මතෙව් 7:28, 29 කියවන්න.

2 එදා සිටි ගුරුවරුන්, ජනයාට ඉගැන්වූයේ තේරුම්ගැනීමට අමාරු සංකීර්ණ වචන යොදාගෙනයි. එමෙන්ම ඒවා පදනම් වී තිබුණේ දෙවිගේ ඉගැන්වීම් මත නොවෙයි. නමුත් ඔවුන්ට වෙනස්ව යේසුස් “බලය ලත් කෙනෙකු මෙන්” ජනයාට ඉගැන්වූවා. එසේ කිරීමට ඔහුට හැකි වුණේ දෙවි විසින් ඒ දේවල් ඔහුට උගන්වා තිබූ නිසයි. (යොහ. 12:50) කන්ද උඩ දේශනයේදී ඔහු කළ ඉගැන්වීම්වලට, යාච්ඤා කළ යුතු ආකාරය පිළිබඳ තොරතුරුද ඇතුළත් වුණා. ඊට එකඟව අප යාච්ඤා කළ යුත්තේ කෙසේද කියා මෙම ලිපියෙන් සලකා බලමු.

කුහකයන් මෙන් යාච්ඤා කරන්න එපා!

3. මතෙව් 6:5හි සඳහන් යේසුස්ගේ වදන්වල සාරය කුමක්ද?

3 යාච්ඤාව දෙවිට කරන නමස්කාරයේ වැදගත් අංගයක් නිසා අපි නොකඩවා යාච්ඤා කිරීම අවශ්‍යයි. නමුත් එසේ කිරීමේදී යේසුස් දුන් මෙම උපදෙස මතක තබාගත යුතුයි. “ඔබ යාච්ඤා කරන විට, කුහකයන් කරන්නාක් මෙන් නොකරන්න. මන්ද මිනිසුන්ට පෙනෙන පිණිස, සිනගෝගවලදීත් ප්‍රධාන මං සන්ධිවලදීත් සිටගෙන යාච්ඤා කිරීමට ඔවුහු ප්‍රිය වෙති. සැබවින්ම මම ඔබට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට සම්පූර්ණයෙන්ම ලැබී තිබේ.”මතෙ. 6:5.

4-6. (අ) “සිනගෝගවලදීත් ප්‍රධාන මං සන්ධිවලදීත්” යාච්ඤා කිරීමට පරිසිවරුන් කැමැත්තක් දැක්වූයේ ඇයි? (ආ) “ඔවුන්ගේ විපාකය ඔවුන්ට සම්පූර්ණයෙන්ම” ලැබුණේ කොහොමද?

4 එදා සිටි “කුහක” පරිසිවරුන් යාච්ඤා කළේ බොරු භක්තියක් විදහා පෙන්වමිනුයි. නමුත් තම අනුගාමිකයන් එසේ නොකළ යුතු බව යේසුස් පැහැදිලි කළා. (මතෙ. 23:13-32) කුහක පරිසිවරුන් “සිනගෝගවලදීත් ප්‍රධාන මං සන්ධිවලදීත් සිටගෙන” යාච්ඤා කිරීමට මහත් ආශාවක් දැක්වුවා. ඔවුන් එසේ කළේ ‘මිනිසුන්ට පෙනෙන්නයි.’ පළමු සියවසේ සිටි යුදෙව්වන් දේවමාලිගාවේ දවන පූජා ඉදිරිපත් කරන වේලාවේදී (උදෑසන නවයට හා සවස තුනට පමණ) එකට රැස් වී යාච්ඤා කිරීම චාරිත්‍රයක්ව පැවතුණා. යෙරුසලෙමේ පදිංචිව සිටි බොහෝදෙනෙක් එම අවස්ථාවේදී යාච්ඤා කිරීම සඳහා දේවමාලිගා භූමියට රැස් වුණා. නමුත් නගරයෙන් පිට සිටි යුදෙව්වන් ‘සිනගෝගවල සිට’ දවසට දෙවරක් දවන පූජා ඉදිරිපත් කරන වේලාවේදී යාච්ඤා කළා.—ලූක් 18:11, 13 බලන්න.

5 නමුත් බොහෝදෙනෙක් යාච්ඤා කරන එම අවස්ථා දෙකෙහි දේවමාලිගාවේ හෝ සිනගෝගයක නොසිටියා නම් තමන් සිටින තැනටම වී යාච්ඤා කළා. එසේ යාච්ඤා කරන අවස්ථාවලදී බොහෝදෙනා වැඩි කැමැත්තක් දැක්වූයේ “ප්‍රධාන මං සන්ධිවල” සිටගෙන යාච්ඤා කිරීමටයි. ඒ නිසා ඔවුන් යාච්ඤා කිරීමට වේලාව පැමිණෙන විට කෙසේ හෝ මං සන්ධියක සිටීමට වගබලා ගත්තා. ඉන් ඔවුන්ට අවශ්‍ය වුණේ ‘මිනිසුන්ට පෙනෙන’ ලෙස එය කිරීමටයි. එමෙන්ම බොරු භක්තියක් විදහා පෙන්වූ ඔවුන් “දීර්ඝ යාච්ඤා” ඉදිරිපත් කළේත් අන් අයගේ ප්‍රශංසාව ලබාගැනීමටයි. (ලූක් 20:47) අපි එසේ යාච්ඤා කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි.

6 බොරු භක්තියක් පෙන්වමින් යාච්ඤා කළ අයගේ “විපාකය ඔවුන්ට සම්පූර්ණයෙන්ම ලැබී තිබේ” කියා යේසුස් පැවසුවා. ඒ කොහොමද? ඔවුන් බලාපොරොත්තු වූ ලෙස මිනිසුන්ගේ ගෞරවය හා ප්‍රශංසාව ඔවුන්ට ලැබුණා. නමුත් ඔවුන්ගේ කුහක යාච්ඤාවලට යෙහෝවා දෙවිගෙන් නම් කිසි පිළිතුරක් ලැබුණේ නැහැ. එසේවුණත් යේසුස්ගේ අනුගාමිකයන්ගේ අවංක යාච්ඤාවලට නම් දෙවි පිළිතුරු දෙන බව ස්ථිරයි. යේසුස් ඊළඟට පැවසූ දෙයින් ඒ බව අපට පැහැදිලියි.

7. “පෞද්ගලික කාමරයට” ගොස් යාච්ඤා කරන්න කීමෙන් යේසුස් අවධාරණය කළේ කුමක්ද?

7 “එහෙත් ඔබ යාච්ඤා කරන විට, ඔබේ පෞද්ගලික කාමරයට ගොස් දොර වසාගෙන රහසිගතව සිටින ඔබේ පියාණන්ට යාච්ඤා කරන්න. එවිට රහසින් බලා සිටින ඔබේ පියාණන් ඔබට විපාක දෙන්නේය.” (මතෙ. 6:6) කාමරයට ගොස් දොර වසාගෙන යාච්ඤා කරන්න කියා පැවසීමෙන් සභාවක් නියෝජනය කරමින් ප්‍රසිද්ධියේ කරන යාච්ඤා වැරදි බව යේසුස් අදහස් කළේ නැහැ. එසේනම් යේසුස් එය පැවසුවේ කුමක් අවධාරණය කිරීමටද? යාච්ඤා කළ තැනැත්තා මිනිසුන්ගේ අවධානය තමා වෙත ඇදගන්නා ලෙසින් කරන යාච්ඤා වැරදි බව පෙන්වීමටයි. සභාව නියෝජනය කරමින් යාච්ඤා කිරීමේ වරප්‍රසාදය අපට ලැබී තිබෙනවා නම් අපත් එය මතක තබාගනිමු. යාච්ඤාව සම්බන්ධයෙන් යේසුස් දුන් තවත් උපදෙස් දැන් අපි සලකා බලමු.

8. මතෙව් 6:7ට අනුව යාච්ඤා කරන විට අප වැළකිය යුත්තේ කුමකින්ද?

8 අප යාච්ඤා කරන විට වැළකිය යුතු තවත් දෙයක් ගැන යේසුස් පැවසුවා. “නමුත් ඔබ යාච්ඤා කරන විට, අන්‍යජාතීන් මෙන් එකම දේ නැවත නැවතත් නොකියන්න. තමන් පවසන වචන රාශිය නිසා ඔවුන්ට සවන් දෙනු ඇතැයි ඔවුහු සිතති.” (මතෙ. 6:7) යාච්ඤා කරන විට එකම දේ කටපාඩමින් නැවත නැවත කියාගෙන යෑම වැරදි බව යේසුස් පැවසුවා. කෙසේ නමුත් අපට දෙවි කෙරෙහි ඇති වන ස්තුති පූර්වක හැඟීම් හා අපගේ ආයාචනා නැවත නැවත යාච්ඤාවෙන් පැවසීම වැරදියි කියා යේසුස් එහිදී අදහස් කළේ නැහැ. ඔහුද තම මරණයට පෙර දින රාත්‍රියේදී එකම ඉල්ලීම නැවත නැවතත් සඳහන් කරමින් යාච්ඤා කළා.—මාක් 14:32-39.

9, 10. අප එකම දේ නැවත නැවත කීම අවශ්‍යයි යන ආකාල්පයෙන් අප වැළකිය යුත්තේ ඇයි?

9 අපත් “අන්‍යජාතීන්” මෙන් එකම දේ කටපාඩමින් නොපැවසිය යුතුයි. බොහෝදෙනා යාච්ඤා කරන විට ‘නැවත නැවත’ පවසන බොහෝ වචනවල කිසිම තේරුමක් නැහැ. පුරාණයේ සිටි මිනිසුන් නමස්කාර කළ බාල් නමැති බොරු දෙවියාට “උදේ පටන් දහවල් වන තෙක්ම, අනේ බාල් අපිට පිළිතුරක් දෙන්න” කියා කෑගැසුවා. නමුත් ඔවුන්ට ඔහුගෙන් නම් කිසි පිළිතුරක් ලැබුණේ නැහැ. (1 රාජා. 18:26, නව ලොව පරිවර්තනය, NW) අද සිටින මිලියන ගණනක් දෙනාද සිතන්නේ එකම දේ කටපාඩමින් නැවත නැවත පැවසුවොත් ඒවාට පිළිතුරු ලැබෙන බවයි. නමුත් යේසුස් නම් පැවසුවේ ‘වචන රාශියක්’ යොදාගෙන කරන එවන් යාච්ඤාවලට දෙවි සවන් නොදෙන බවයි.

10 ඉන්පසු යේසුස් මෙසේ පැවසුවා. “එබැවින් ඔබ, ඔවුන්ට සමාන නොවන්න. මන්ද ඔබේ පියාණන් වන දෙවිගෙන් ඔබ ඉල්ලන්නත් කලින්, ඔබට කුමන දේවල් අවශ්‍යදැයි ඔහු දන්නේය.” (මතෙ. 6:8) බොහෝ යුදෙව් ආගමික නායකයන් යාච්ඤා කරන විට අන්‍යජාතීන් මෙන් බොහෝ වචන කියාගෙන කියාගෙන ගියා. නමුත් යෙහෝවා දෙවි ඒවා පිළිගත්තේ නැහැ. එමනිසා අපි ඔවුන් මෙන් නොවී අපගේ ස්තුති ප්‍රශංසා මෙන්ම ඉල්ලීම් දෙවිට ප්‍රකාශ කළ යුත්තේ අපගේ හදවතින්ම නැගෙන වචනවලිනුයි. එසේ යාච්ඤා කිරීම අපගේ නමස්කාරයේ වැදගත් අංගයක්. (ෆිලි. 4:6) ‘දෙවිගෙන් අප ඉල්ලන්නත් කලින් ඔහු ඒ ගැන දන්නා’ බව අපි මතක තබාගනිමු. ඒ නිසා දෙවි, අපගේ යාච්ඤාවලට ඇහුම්කන් දීමට නම් අපි එකම දේ කට පාඩමින් නැවත නැවත පැවසිය යුතුයි යන ආකල්පයෙන් අප වැළකී සිටිය යුතුයි.

11. කණ්ඩායමක් නියෝජනය කරමින් යාච්ඤා කරද්දී අප මතක තබාගත යුත්තේ කුමක්ද?

11 අප යාච්ඤා කළ යුතු ආකාරය ගැන යේසුස් පැවසු දෙයින් පැහැදිලි වන්නේ ඉතා ගැඹුරු වචන හා සංකීර්ණ භාෂා ශෛලියක් යොදාගෙන කරන යාච්ඤාවලින් දෙවිගෙන් විශේෂ අවධානයක් ලබාගත නොහැකි බවයි. ඒ වගේම කණ්ඩායමක් නියෝජනය කරමින් අප කරන යාච්ඤාවලදී අන් අයගේ අවධානය අප වෙත ඇදගන්නා ආකාරයෙන් එය නොකළ යුතුයි. එමෙන්ම ඒ අවස්ථාවේ රැස්ව සිටින පිරිස, “ආමෙන්” කියන්න නොඉවසිල්ලෙන් බලා සිටින තරමටම එම යාච්ඤාව දීර්ඝ එකක් නොවීමද වැදගත්. අප, සභාවේ නිවේදන තුළින් ඉදිරිපත් කළ යුතු තොරතුරු යාච්ඤාවට ඇතුළත් කරනවා නම් හෝ එමගින් සබයේ අයට උපදෙස් දීමට එය අවස්ථාවක් කරගන්නවා නම් එවැනි යාච්ඤා යේසුස් කන්ද උඩ දේශනයේ දුන් මඟ පෙන්වීම්වලට එකඟ නැහැ.

යාච්ඤා කරන ආකාරය ඔහු ඉගැන්වූවා

12. “ඔබගේ නාමය විශුද්ධ වේවා” කියා පවසද්දී අප දෙවිගෙන් ඉල්ලන්නේ කුමක් කිරීමට පියවර ගන්න කියාද?

12 බොහෝදෙනා යාච්ඤා කරන වැරදි ක්‍රම ගැන යේසුස් පෙන්වා දුන්නා පමණක් නොව යාච්ඤා කළ යුතු නිවැරදි ක්‍රමයත් ඔහු තම ගෝලයන්ට ඉගැන්වූවා. (මතෙව් 6:9-13 කියවන්න.) එම ආදර්ශ යාච්ඤාව ඉගැන්වීමෙන් ඔහු බලාපොරොත්තු වුණේ එය කටපාඩම් කර නැවත නැවත කීම නොවේ. ඒ වෙනුවට ඔහුට අවශ්‍ය වුණේ යාච්ඤාවට ඇතුළත් කළ යුත්තේ කුමක්ද යන්න ගැන පැහැදිලි අදහසක් ලබා දීමටයි. දෙවිගේ නාමය ගැන සඳහන් කරමින් ඔහු එය ආරම්භ කළේ මෙසේයි. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ වේවා.” (මතෙ. 6:9) ‘ස්වර්ගයේ සිටින’ යෙහෝවා දෙවි අපගේ නිර්මාණකරු නිසා ඔහුව “අපගේ පියාණෙනි” කියා ඇමතීම උචිතයි. (ද්වි. 32:6; 2 ලේක. 6:21; ක්‍රියා 17:24, 28) “අපගේ” යන බහු වචනය යොදාගැනීමෙන් පෙන්වන්නේ අප ඇතුළු සෙසු ක්‍රිස්තියානීන්ට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබෙන බවයි. “ඔබගේ නාමය විශුද්ධ වේවා” යන්න අයැදීමක්. ඉන් අප දෙවිට ආයාචනා කරන්නේ ඔහුගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් කර, මේ දක්වා ඔහුට කර ඇති අපහාස ඉවත් කිරීමට පියවර ගන්න කියායි. අප කරන එම ආයාචනයට එකඟව යෙහෝවා දෙවි ඉතා ළඟදීම ඒ සඳහා පියවර ගනියි.—එස. 36:23.

13. (අ) “ඔබගේ රාජ්‍යය පැමිණේවා” යන ඉල්ලීම ඉටු වන්නේ කෙසේද? (ආ) දෙවිගේ කැමැත්ත පොළොවේ ඉටු වේවා කියා පැවසීමෙන් අප ඉල්ලන්නේ කුමක්ද?

13 “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” (මතෙ. 6:10) දෙවිගේ “රාජ්‍යය” කියන්නේ ඔහුගේ පාලනයයි. ඒ ගැන සඳහන් කරමින් යාච්ඤා කරන විට අපි පෙන්වන්නේ අප එය තේරුම්ගෙන ඇති බවයි. එමෙන්ම එම රාජ්‍යය පාලනය කරන්නේ රජු වන ක්‍රිස්තුස් හා “ශුද්ධ තැනැත්තන්” මගින් බවද අප තේරුම්ගෙන තිබෙනවා. (දානි. 7:13, 14, 18; යෙසා. 9:6, 7) තවදුරටත් එය “පැමිණේවා” කියා පැවසීමෙන් අප දෙවිගෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ පාලනයට විරුද්ධ සියල්ලන්ට එරෙහිව දේවරාජ්‍ය මගින් පියවර ගන්න කියායි. දෙවි එම ඉල්ලීම ඉතා ඉක්මනින් ඉටු කිරීමට නියමිත අතර පාරාදීස පොළොවක සාමයෙන් හා ප්‍රීතියෙන් ජීවත් වීමට එමගින් ප්‍රස්තාව උදා වෙනවා. (ගීතා. 72:1-15; දානි. 2:44; 2 පේතෘ. 3:13) ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා යන ආයාචනයෙන් අපි දෙවිගෙන් ඉල්ලන්නේ පුරාණයේදී මෙන් අද සිටින ඔහුගේ සතුරන්ව විනාශ කර අපගේ පොළොව සම්බන්ධයෙන් ඔහුගේ අරමුණ ඉටු කරන්න කියායි.—ගීතාවලිය 83:1, 2, 13-18 කියවන්න.

14. “අපේ දිනපතා භෝජනය අද අපට දෙන්න” කියා ඉල්ලීමෙන් අප පෙන්වන්නේ කුමක්ද?

14 “අපේ දිනපතා භෝජනය අද අපට දෙන්න.” (මතෙ. 6:11; ලූක් 11:3) ඉන් අප දෙවිගෙන් ඉල්ලන්නේ “අද” දිනට අවශ්‍ය ආහාර අපට ලබා දෙන්න කියායි. එම ඉල්ලීමෙන් අප පෙන්වන්නේ අපගේ දිනපතා අවශ්‍යතාවයන් ලබා දීමට දෙවිට තිබෙන හැකියාව ගැන අප විශ්වාස කරන බවයි. එසේ යාච්ඤා කරද්දී අපට මතක් වෙන්නේ දෙවි එදා ඊශ්‍රායෙල්වරුන්ට මන්නා සපයද්දී දුන් ආඥාවයි. ඔහු පැවසුවේ ඔවුන් “තම තමන්ට අවශ්‍ය කෑම ප්‍රමාණය දවසින් දවස” රැස් කරගත යුතු බවයි.—නික්. 16:4NW.

15. මතෙව් 6:12හි සඳහන් වචනවලින් පැහැදිලි වන්නේ කුමක්ද?

15 යේසුස් ඉගැන්වූ යාච්ඤාවෙන් අප කළ යුතු වැදගත් යමක් අපට මතක් කර දෙනවා. ඒ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන්නාක් මෙන් අපේ වැරදිවලටද අපට සමාව දෙන්න.” (මතෙ. 6:12) ඉන් පැහැදිලි වන්නේ අපට, යෙහෝවා දෙවිගෙන් සමාව බලාපොරොත්තු විය හැක්කේ අපට වැරදි කළ අයට අප ‘සමාව දී තිබෙනවා’ නම් පමණක් බවයි. (මතෙව් 6:14, 15 කියවන්න.) එමනිසා අපි අන් අයට නිතරම සමාව දිය යුතුයි.—එෆී. 4:32; කොලො. 3:13.

16. වරදට පෙලඹවීම්වලින් හා දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න යන ආයාචනයෙන් අප දෙවිගෙන් ඉල්ලන්නේ කුමක්ද?

16 “අපව වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.” (මතෙ. 6:13) අපව වරදට පොලඹවන්නේ යෙහෝවා දෙවි නොවන බව අප දන්නවා. (යාකොබ් 1:13 කියවන්න.) නමුත් එසේ කරන්නේ “වරදට පොලඹවන්නා” හා “දුෂ්ටයා” ලෙස හඳුන්වන සාතන් නමැති යක්ෂයායි. (මතෙ. 4:3) ‘අපව වරදට පෙලඹීමට ඉඩ නොදෙන්න’ යන ආයාචනයෙන් අප දෙවිගෙන් ඉල්ලන්නේ අප යම් පරීක්ෂාවන්ට මුහුණ දෙන විට දෙවිට අකීකරු වන තත්වයකට පත් වීමට අපට ඉඩ නොදෙන්න කියායි. එමෙන්ම “දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න” කියා අයැදීමෙන් අප ඉල්ලන්නේ පීඩා නිසා අපව පරාජය කිරීමට සාතන්නට ඉඩ නොදෙන්න කියායි. අප කුමන තත්වයකට මුහුණ දුන්නත් ‘අපට දරාගත හැකි තරමට වඩා අපව පරීක්ෂා කිරීමට දෙවි’ ඉඩ නොදෙන බව නම් අපට ස්ථිරයි.—1 කොරින්ති 10:13 කියවන්න.

‘නොකඩවා ඉල්ලන්න, සොයන්න, තට්ටු කරන්න’

17, 18. ‘නොකඩවා ඉල්ලමින්, සොයමින් හා තට්ටු කරමින් සිටින්න’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

17 යේසුස් යාච්ඤාව සම්බන්ධයෙන් තවත් උපදෙස් ලබා දුන්නා. “නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබේ. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වේ. නොකඩවාම තට්ටු කරන්න. එවිට ඔබට විවෘත කර දෙනු ලැබේ. මන්ද, ඉල්ලමින් සිටින සියල්ලන්ට ලැබේ. සොයමින් සිටින සියල්ලන්ට සම්බ වේ. තට්ටු කරමින් සිටින සියල්ලන්ට විවෘත කර දෙනු ලැබේ.” (මතෙ. 7:7, 8) “අත් නෑර නොකඩවා යාච්ඤා කරන්න” කියා පාවුල්ද ක්‍රිස්තියානීන්ට උනන්දු කළා. (රෝම 12:12) අප දෙවිගෙන් ඕනෑම දෙයක් ‘නොකඩවා ඉල්ලිය’ යුත්තේ ඔහුගේ කැමැත්තට එකඟවයි. එවැනි යාච්ඤා දෙවි සලකන ආකාරය යොහන් මෙසේ විස්තර කරනවා. “ඔහු කෙරෙහි අපට තිබෙන විශ්වාසය නම් ඔහුගේ කැමැත්තට අනුව අප ඉල්ලන ඕනෑම දෙයකට ඔහු සවන් දෙන බවය.”—1 යොහ. 5:14.

18 ‘නොකඩවාම ඉල්ලන්න හා සොයන්න’ කියා යේසුස් දුන් උපදෙසින් අදහස් කරන්නේ අපගේ යාච්ඤාවලට ඉක්මනින් පිළිතුරක් නොලැබුණත් අපි අත් නෑර ඉතා ඕනෑකමින් යාච්ඤා කළ යුතු බවයි. ඒ වගේම දේවරාජ්‍යයේ යටත්වැසියෙකු වී එහි ආශීර්වාද භුක්ති විඳීමට නම් අපි ‘නොකඩවාම තට්ටු කරමින්’ සිටිය යුතුයි. අප එසේ නොකඩවා කරන යාච්ඤාවලට දෙවිගෙන් පිළිතුරු ලැබෙන බවට යේසුස් මෙවැනි සහතිකයක් දුන්නා. “ඉල්ලමින් සිටින සියල්ලන්ට ලැබේ. සොයමින් සිටින සියල්ලන්ට සම්බ වේ. තට්ටු කරමින් සිටින සියල්ලන්ට විවෘත කර දෙනු ලැබේ.” යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුගේ අද්දැකීම්වලින් ඔප්පු වන්නේ ඇත්තටම යෙහෝවා දෙවි “යාච්ඤා අසන” කෙනෙකු බවයි.—ගීතා. 65:2.

19, 20. මතෙව් 7:9-11හි සඳහන් ලෙස යෙහෝවා දෙවි ප්‍රේමණීය පියෙකුට සමාන වන්නේ කෙසේද?

19 ප්‍රේමණීය පියෙක් තම දරුවන්ට යහපත් දේවල් ලබා දෙනවා හා සමානව යෙහෝවා දෙවිද ප්‍රේමණීය පියෙකු මෙන් තමාගෙන් ඉල්ලන අයට ඉතා හොඳ දේවල් ලබා දෙන බවට යේසුස් මෙවන් සහතිකයක් දුන්නා. “ඔබ අතරේ සිටින කිසිම මිනිසෙක් තමාගේ පුත්‍රයා රොටි ඉල්ලුවොත් ඔහුට ගලක් දෙන්නේද? නැත්නම්, ඔහු මාළුවෙකු ඉල්ලුවොත් සර්පයෙකු දෙන්නේද? ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නහුය. එසේනම්, ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට හොඳ දේ ඊටත් වඩා කොපමණ වැඩියෙන් නොදෙන්නේද?”මතෙ. 7:9-11.

20 මනුෂ්‍ය පියවරුන් ආදම්ගෙන් උරුම කරගත් පව්කාර ස්වභාවය නිසා ඔවුන් යම් ආකාරයකින් ‘දුෂ්ටයි’ කියා පැවසිය හැකියි. ඒ වුණත් ඔවුන්ට තම දරුවන් කෙරෙහි මහත් සෙනෙහසක් තිබෙනවා. ඒ නිසා තමාගේ දරුවන්ට නිතරම “හොඳ තෑගි” හෙවත් ඔවුන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න ඔවුන් වගබලා ගන්නවා. ඒ හා සමානව ප්‍රේමණීය පියෙකු බඳු යෙහෝවා දෙවිද අපිට ‘හොඳ දේවල්’ ලබා දෙනවා. ඒ අතරින් එකක් වන්නේ ඔහුගේ බලයයි. (ලූක් 11:13) එම බලය නිසා ‘සෑම යහපත් දීමනාවක් හා සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම’ අපට ලබා දෙන දෙවිට පිළිගත හැකි සේවයක් කිරීමට අපට ශක්තිය ලැබෙනවා.—යාකො. 1:17.

දිගටම ප්‍රයෝජන ලබන්න

21, 22. කන්ද උඩ දේශනය ඉතා වටිනාකමකින් යුක්ත වන්නේ ඇයි? එමෙන්ම ඒ ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

21 යේසුස්ගේ කන්ද උඩ දේශනය, පොළොව මත මෙතෙක් කර ඇති ප්‍රබලතම දේශනයයි. එය එතරම් වටිනාකමකින් යුත් එකක් වන්නේ දෙවි ගැන ඉතා පැහැදිලි අවබෝධයක් ලබා දෙන තොරතුරු එහි ගැබ් වී ඇති නිසයි. එමනිසා එහි සඳහන් තොරතුරු අධ්‍යයනය කර අපගේ ජීවිතයට අදාළ කරගන්නවා නම් දැනුත් බොහෝ ප්‍රයෝජන අත් කරගත හැකියි. එමෙන්ම ඒවා අපගේ අනාගත බලාපොරොත්තුව දීප්තිමත්ව තබාගැනීමටද උපකාර කරනවා.

22 අප මේ දක්වා සලකා බැලූ ලිපි තුනෙන් ඉගෙනගත්තේ කන්ද උඩ දේශනයේදී යේසුස් පැවසූ අනර්ඝ තොරතුරුවලින් කිහිපයක් පමණයි. එදා ඔහුගේ දේශනය අසා සිටි අය “ඔහු උගන්වන ආකාරය ගැන මවිත” වුණා. (මතෙ. 7:28) ඔව්, ශ්‍රේෂ්ඨතම ගුරුවරයා වන යේසුස් කන්ද උඩ දේශනයේදී මෙන්ම වෙනත් අවස්ථාවලදී ඉගැන්වූ දේවල් හොඳින් අධ්‍යයනය කර අපගේ ජීවිතයට අදාළ කරගනිමු. එවිට ඒවා මොන තරම් පුදුමාකාර ඉගැන්වීම්ද කියා අපටත් වැටහෙයි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• කුහකයන් කරන යාච්ඤා ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

• යාච්ඤා කරන විට එකම දේ නැවත නැවත කීමෙන් අප වැළකිය යුත්තේ ඇයි?

• යේසුස් ඉගැන්වූ ආදර්ශ යාච්ඤාවේ සඳහන් ඉල්ලීම් මොනවාද?

• ‘නොකඩවා ඉල්ලන්න, සොයන්න හා තට්ටු කරන්න’ අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

මිනිසුන්ට පෙනෙන ලෙස ප්‍රසිද්ධියේ යාච්ඤා කළ කුහකයන්ව යේසුස් හෙළා දැක්කා

[17වන පිටුවේ පින්තූරය]

අද දිනට අපට අවශ්‍ය ආහාර ඉල්ලා යාච්ඤා කිරීම උචිත ඇයි?