Skip to content

පටුනට යන්න

ඔවුන් ‘නොකඩවා බැටළු පැටවා පසුපස යයි’

ඔවුන් ‘නොකඩවා බැටළු පැටවා පසුපස යයි’

ඔවුන් ‘නොකඩවා බැටළු පැටවා පසුපස යයි’

“බැටළු පැටවා කොතැනකට ගියත් නොකඩවා ඔහු පසුපස යන්නෝ මොවුහුය.”—එළි. 14:4.

1. බොහෝදෙනා යේසුස්ව අත්හැර ගිය විට ඔහුගේ ගෝලයන් 12දෙනා දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?

යේසුස් තම දේවසේවය ආරම්භ කර අවුරුදු දෙකහමාරකට පසු “කපර්ණවුමෙහි පොදු රැස්වීම් ශාලාවේ උගන්වමින්” සිටියා. එදා ඔහු ඉගැන්වූ දේවල් වැරදි ලෙස වටහාගත් “ඔහුගේ ගෝලයන්ගෙන් බොහෝදෙනෙකු තමුන් අත්හැර ආ දේවල් බලා ආපසු ගිය අතර, තවදුරටත් ඔහු අනුව ගියේ” නැහැ. එවිට, තමාව අත්හැර යෑමට අවශ්‍යද කියා යේසුස් එතැන සිටි තම ගෝලයන් 12දෙනාගෙන් ඇසුවා. එවිට පේතෘස් මෙසේ පිළිතුරු දුන්නා. “ස්වාමිනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබ ළඟය. තවද ඔබ දෙවිගේ ශුද්ධ තැනැත්තා බව අපි දැනගෙන සිටිමු. එමෙන්ම අපි විශ්වාස කරගෙන සිටිමු.” (යොහ. 6:48, 59, 60, 66-69) ඔහුගේ සැබෑ අනුගාමිකයන් ඔහුව ඇත්හැර යෑමට කැමති වුණේ නැහැ. එමනිසා පසුව දෙවිගේ බලයෙන් අභිෂේක ලැබූ ඔවුන්, යේසුස්ගේ මඟ පෙන්වීම්වලට අනුව දිගටම කටයුතු කරන්න පටන්ගත්තා.—ක්‍රියා 16:7-10.

2. (අ) “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සමන්විත වන්නේ කාගෙන්ද? (ආ) ඔවුන් කදිම ආදර්ශයක් තබා තිබෙන්නේ කෙසේද?

2 එම අභිෂේක ලත් සාමාජිකයන්ට අයත් අය අපගේ කාලයේත් සිටින බව යේසුස් පැවසුවා. ඒ තම “පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ” කුමක්ද කියා පැවසූ අවස්ථාවේදීයි. එහිදී ඔහු පොළොව මත සිටින මෙම අභිෂේක ලත් අයව හැඳින්වූයේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” නැතහොත් “විශ්වාසවන්ත සේවකයා” ලෙසයි. (මතෙ. 24:3, 45; ලූක් 12:42) මෙම විශ්වාසවන්ත දාසයා “බැටළු පැටවා කොතැනකට ගියත් නොකඩවා ඔහු පසුපස” යෑම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තබා තිබෙනවා. (එළිදරව් 14:4, 5 කියවන්න.) ඔවුන් “මහ බැබිලෝනිය” කියා හඳුන්වන අසත්‍ය ආගමික ඉගැන්වීම්වලින් තමන්ව දූෂ්‍ය කරගෙන නැහැ. (එළි. 17:5) “ඔවුන්ගේ මුඛයෙහි කිසි බොරුවක් සම්බ වුණේද නැත” කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. එමෙන්ම ඔවුන් සාතන්ගේ ලෝකයේ දූෂිත දේවලින් තමන්ට ‘කැළැලක්’ ඇති කරගෙන නැහැ. (යොහ. 15:19) අනාගතයේදී ඔවුන් යේසුස් සමඟ ස්වර්ගයේ සිටීමටද නියමිතයි.—යොහ. 13:36.

3. අපි විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම වැදගත් ඇයි?

3 එම විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට යේසුස් විශාල වගකීමක් පැවරුවා. එය නම් “තම ගෙයි වැසියන්” වන සෙසු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට “නියම වේලාවට ආහාර” ලබා දීමයි. එමෙන්ම යේසුස් ඔවුන්ව “තමන් සන්තක සියල්ල” කෙරෙහිද පත් කළා. (මතෙ. 24:45-47) ඔහු “සන්තක” දේවල්වලට වැඩි වෙමින් පවතින ‘මහත් සමූහයද’ අයත්. (එළි. 7:9; යොහ. 10:16) ඒ නිසා අභිෂේක ලත් සෑම සාමාජිකයෙක් මෙන්ම ‘වෙනත් බැටළුවන්ද’ තමන් කෙරෙහි පත් කර තිබෙන විශ්වාසවන්ත දාසයා කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. එම දාසයා කෙරෙහි විශ්වාසය තැබීමට අපට බොහෝ හේතු තිබෙනවා. ඉන් ප්‍රධාන හේතු දෙකක් වන්නේ (1) යෙහෝවා දෙවි ඔවුන් කෙරෙහි විශ්වාසය තබා තිබීම හා (2) යේසුස් ඔවුන් කෙරෙහි විශ්වාසය තබා තිබීමයි. ඔවුන් එසේ දාස පන්තිය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද කියා දැන් අපි බලමු.

දෙවි ඔවුන් කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා

4. විශ්වාසවන්ත දාසයා ලබා දෙන මඟ පෙන්වීම් කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබන්න අපට හැක්කේ ඇයි?

4 දෙවි මෙම විශ්වාසවන්ත දාසයා කෙරෙහි විශ්වාසය තබන නිසා ඔවුන්ට මෙවැනි පොරොන්දුවක් දී තිබෙනවා. “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි. මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.” (ගීතා. 32:8, නව ලොව පරිවර්තනය, NW) ඇදහිල්ල ශක්තිමත් කරවන තොරතුරු නියමිත වේලාවට සැපයීමට එම දාසයාට හැකි වී තිබෙන්නේ දෙවි ඔවුන්ට මඟ පෙන්වා තිබෙන නිසයි. එමනිසා ඔවුන් ශුද්ධ ලියවිලි ගැන අපට ලබා දෙන අවබෝධය හා මඟ පෙන්වීම් කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබන්න අපට හැකියි.

5. විශ්වාසවන්ත දාසයා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන බවට ඇති සාක්ෂි මොනවාද?

5 යෙහෝවා දෙවි විශ්වාසවන්ත දාසයාට තම බලය ලබා දීම තුළින්ද ඔවුන්ට ආශීර්වාද කර තිබෙනවා. එම බලය අපට දැකගත නොහැකි බව ඇත්තයි. ඒ වුණත් ඔහු එම බලය ලබා දී ඇති අයගේ ක්‍රියා තුළින් එය පැහැදිලිව දැකගත හැකියි. විශ්වාසවන්ත දාසයා තුළ එම බලය ක්‍රියාත්මක වන නිසා ඔවුන් යෙහෝවා දෙවි ගැන, යේසුස් ගැන හා දේවරාජ්‍යය ගැන රටවල් 230කට වඩා වැඩි ප්‍රමාණයක උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටිනවා. දෙවි, විශ්වාසවන්ත දාසයාට තම බලය ලබා දී තිබෙන බවට එය මොන තරම් ප්‍රබල සාක්ෂියක්ද! (ක්‍රියා 1:8 කියවන්න.) දෙවිගේ සියලුම සේවකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට අවශ්‍ය දේවල් ලබා දීම සඳහා බොහෝ තීරණ ගැනීමට මෙම දාසයාට සිදු වෙනවා. එවන් තීරණ ගැනීමේදී හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වන නිසා ප්‍රේමය, මෘදුකම වැනි කදිම ගුණාංග ඔවුන් විදහා පෙන්වනවා.—ගලා. 5:22, 23.

6, 7. යෙහෝවා දෙවි එම දාසයා කෙරෙහි තබා තිබෙන පූර්ණ විශ්වාසය පැහැදිලි වන්නේ කුමකින්ද?

6 යෙහෝවා දෙවි එම දාසයා කෙරෙහි තබා ඇති විශ්වාසය නිසා ඔවුන්ට දී ඇති පොරොන්දුවක් ගැන පාවුල් මෙසේ පැවසුවා. “හොරණෑවෙන් හඬ නිකුත් වන විට මිය ගිය අයව නොදිරනසුලුභාවයෙන් යුක්තව නැඟිටුවනු ලබන්නේය. එකල අපි වෙනස් කරනු ලබන්නෙමු. මන්ද, දිරනසුලු වූ මෙය, නොදිරනසුලුභාවය පැළඳගත යුතුය. මැරෙනසුලු වූ මෙය, අමරණීයභාවය පැළඳගත යුතුය.” (1 කොරි. 15:52, 53) දිරාපත් වන ශරීරයක් ඇතුව සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් දෙවිට විශ්වාසවන්තව සිට මිය ගොස් නැවත නැඟිටින විට ඔවුන්ට ලැබෙන්නේ දේවදූතයන් භුක්ති විඳින ජීවිතයට වඩා උසස් තත්වයක්. එනම් ඔවුන්ට අමරණීය විනාශ කළ නොහැකි ජීවිතයක් හිමි වෙනවා. ඒ වගේම ඔවුන් කිසිදා දිරා නොයනසුලු, ක්ෂය වී නොයන අය බවට පත් වෙනවා. පෙනෙන විදිහට එයින් අදහස් වෙන්නේ ඔවුන්ට තනිව තම පැවැත්ම ගෙන යා හැකි බවයි. එමෙන්ම එළිදරව් 4:4හි පවසන ලෙස ඔවුන් ස්වර්ගයට ගිය පසු රන් ඔටුනු පැළඳ සිංහාසනවල හිඳගැනීමට නියමිතයි. ඔවුන්ට හිමි වන තේජස මොන තරම්ද! දෙවි මෙම දාසයා කෙරෙහි විශ්වාසය තබා ඇති බවට තවත් සාක්ෂි තිබෙනවා.

7 ඒවා එළිදරව් 19:7, 8හි සඳහන් මෙම වචනවලින් සොයාගත හැකියි. “බැටළු පැටවාගේ විවාහ මංගල්‍යය පැමිණ තිබේ. ඔහුගේ භාර්යාවද සූදානම්ව සිටින්නීය. එසේය, අනර්ඝ හණ රෙද්දෙන් ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා නියෝජනය වන හෙයින්, දීප්තිමත් වූද පිරිසිදු වූද අනර්ඝ හණ වස්ත්‍ර පැළඳ සිටීමට ඇයට අවසර දෙන ලදි.” යෙහෝවා දෙවි මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව සංකේතවත් මනාලියක් ලෙස ‘බැටළු පැටවාට විවාහ’ කර දීමට තෝරාගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන්ට අමරණීයභාවය හා රාජකීයත්වය ලබා දී තිබෙනවා. දෙවි ඔවුන්ට වෙන් කර තිබෙන මෙම අනර්ඝ ත්‍යාගයන්ගෙන්ද පැහැදිලි වන්නේ ඔවුන් කෙරෙහි දෙවිට ඇති පූර්ණ විශ්වාසයයි.

යේසුස් ඔවුන් කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා

8. යේසුස් එම දාසයා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති බව ඔප්පු වන්නේ කුමකින්ද?

8 යේසුස් මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබෙනවා. ඒ බව ඔහු ඔවුන් සමඟ කළ මෙම ගිවිසුමෙන් පැහැදිලියි. “එහෙත් මාගේ පරීක්ෂාවලදී මා සමඟ දිගටම සිටියේ ඔබය. මාගේ පියාණන් මා සමඟ ගිවිසුමක් කර තිබෙන්නාක් මෙන්, මම ඔබ සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරමි. එසේ කරන්නේ ඔබ මාගේ රාජ්‍යයෙහි මාගේ මේසයෙහිදී කන බොන පිණිසත්, සිංහාසන පිට ඉඳ ඊශ්‍රායෙල්හි ගෝත්‍ර දොළොස විනිශ්චය කරන පිණිසත්ය.” (ලූක් 22:28-30) එදා යේසුස් තම ගෝලයන් එකොළොස්දෙනා සමඟ කළ එම ගිවිසුම, අභිෂේක ලත් ක්‍රිස්තියානීන් 1,44,000දෙනාටම එක සේ අදාළයි. (ලූක් 12:32; එළි. 5:9, 10; 14:1) යේසුස්ට ඔවුන් කෙරෙහි දැඩි විශ්වාසයක් නොතිබුණා නම් ඔහු ඔවුන් සමඟ එවන් ගිවිසුමක් කරයිද?

9. ක්‍රිස්තුස් ‘සන්තක සියල්ලට’ අයත් වන්නේ මොනවාද?

9 ඊට අමතරව විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව පොළොවෙහි තිබෙන “තමන් සන්තක සියල්ල කෙරෙහි” පත් කිරීමෙන්ද යේසුස් පෙන්වා තිබෙන්නේ තමන් ඔවුන් කෙරෙහි පූර්ණ විශ්වාසය තබන බවයි. (මතෙ. 24:47) ඔහු සන්තක සියල්ලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය, ශාඛා කාර්යාල, රාජ්‍ය ශාලා හා එක්රැස්වීම් ශාලාද ඇතුළත් වෙනවා. එමෙන්ම ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා යේසුස්ගේ අනුගාමිකයන් වීමට මිනිසුන්ට උපකාර කිරීමේ කාර්යද ඊට අයත් වෙනවා. යේසුස්ට එම දාසයා කෙරෙහි විශ්වාසයක් නොතිබුණා නම් තමා සන්තක එවන් වටිනා දේවල් ඔවුන්ට විශ්වාසයෙන් භාර දෙයිද?

10. පොරොන්දු වූ ලෙස යේසුස් තම අනුගාමිකයන් සමඟ සිටින බව ඔප්පු කරන සාක්ෂි මොනවාද?

10 එම දාස පන්තිය කෙරෙහි යේසුස්ට ඇති විශ්වාසය ගැන තවත් සාක්ෂි බලන්න. යේසුස් නැවත නැඟිට, ස්වර්ගයට යෑමට ටික දවසකට පෙර තම අනුගාමිකයන්ට මෙවැනි පොරොන්දුවක් දුන්නා. “බලන්න! සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.” (මතෙ. 28:20) එය සැබෑ වී තිබෙනවාද? ඔව්. උදාහරණයකට පසුගිය අවුරුදු 15 ඇතුළත 70,000ක්ව තිබූ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභා ගණන 1,00,000ක් දක්වා වැඩි වී තිබෙනවා. එය සියයට 40කට වඩා වැඩි වර්ධනයක්. එම කාලය තුළ ප්‍රචාරකයන්ගේ ගණන 45,00,000කින් වැඩි වී තිබෙනවා. ඉන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් දිනකට 800දෙනෙක් පමණ බව්තීස්ම වී ඇති බවයි. එම පුදුමාකාර වර්ධනයෙන් පැහැදිලි වන්නේ කුමක්ද? යේසුස් තම අභිෂේක ලත් අනුගාමිකයන් සමඟ සිටිමින් ඔවුන්ට මඟ පෙන්වන බවයි.

ඔවුන් විශ්වාසවන්ත මෙන්ම නුවණ ඇති අයයි

11, 12. තමන් විශ්වාසවන්ත මෙන්ම නුවණ ඇති අය බව මෙම දාසයා පෙන්වා තිබෙන්නේ කෙසේද?

11 යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස් විශ්වාසවන්ත දාසයා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබෙනවා නම් අපත් ඔවුන් කෙරෙහි පූර්ණ විශ්වාසය තැබිය යුතු නොවේද? එම දාස පන්තියද යේසුස් පැවරූ කාර්යය මේ දක්වාම විශ්වාසවන්තව ඉටු කර තිබෙනවා. උදාහරණයකට මීට අවුරුදු 130කට පෙර ඔවුන් විසින් ප්‍රකාශයට පත් කිරීමට පටන්ගත් මුරටැඹ සඟරාව මේ වන තෙක් නොකඩවාම දෙවිගේ සෙනඟගේ ඇදහිල්ල ශක්තිමත් කරමින් තිබෙනවා. ඊට අමතරව සභා රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු මගින්ද අපට අවශ්‍ය පෝෂණය ඔවුන් ලබා දෙනවා.

12 මෙම දාස පන්තිය නුවණ ඇති අය බව ඔප්පු කර තිබෙන ආකාරය බලන්න. අද දින අසත්‍ය උගන්වන ආගම්වල නායකයන්, මිනිසුන්ගේ දූෂිත ක්‍රියා ඉදිරියෙහි ඇහැ කන පියාගෙන සිටියත් මෙම දාසයා සාතන්ගේ ලෝකයේ සිදු වන එවන් ක්‍රියා ගැන නිතරම අනතුරු අඟවනවා. එවන් ප්‍රඥාවන්ත හා කාලෝචිත අනතුරු ඇඟවීම් ලබා දීමට හැකි වී තිබෙන්නේ යෙහෝවා දෙවි හා යේසුස් මෙම දාස පන්තියට ආශීර්වාද කරන නිසයි. ඔවුන් කිසිවිටෙක දෙවිගේ මඟ පෙන්වීම් නොසලකා හරිමින් හිතුමතේට කටයුතු කරන්නේ නැහැ. අපි මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් පැහැදිලි වන්නේ විශ්වාසවන්ත දාසයා කෙරෙහි අපගේ පූර්ණ විශ්වාසය තැබීමට අපට හොඳ පදනමක් තිබෙන බවයි. අපට ඔවුන් කෙරෙහි ඇති විශ්වාසය ක්‍රියාවෙන් පෙන්විය හැක්කේ කෙසේද කියා දැන් අපි සලකා බලමු.

අපිද ඔවුන් අනුව යමු

13. සෙකරියාගේ අනාවැකියට අනුව අප විශ්වාසවන්ත දාසයා කෙරෙහි විශ්වාසය තබන බව පෙන්විය හැක්කේ කෙසේද?

13 “මිනිසුන් දස දෙනෙක්” “යුදෙව් ජාතිකයෙකු” ළඟට පැමිණ, “ඔබ සමඟ යන්න අපිත් සතුටු වන්නෙමු” කියා පවසන අනාවැකියක් ගැන බයිබලයේ සෙකරියා පොතේ සඳහන් වෙනවා. (සෙකරියා 8:23 කියවන්න.) එහි සඳහන් ‘යුදෙව් ජාතිකයාගෙන්’ නියෝජනය කරන්නේ එක්කෙනෙකුව නොව යම් පිරිසක්වයි. ඒ අය නම් “දෙවිගේ ඊශ්‍රායෙල්” කියා හඳුන්වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට අයත් පොළොවේ ඉතිරි වී සිටින අයයි. (ගලා. 6:16) ‘සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිසුන් දසදෙනාගෙන්’ නියෝජනය කරන්නේ වෙනත් බැටළුවන්ට අයත් මහත් සමූහයයි. යේසුස් කොතැනකට ගියත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ඔහු පසු පස යනවා හා සමානව මහත් සමූහයද විශ්වාසවන්ත දාසයා ‘සමඟ යනවා.’ එනම් ඔවුන්ව අනුගමනය කරනවා. තමන්, “ස්වර්ගීය කැඳවීමට පංගුකාරයන් වන” අභිෂේක ලත් අයව අනුගමනය කරන බව පැවසීමට වෙනත් බැටළුවන් කිසි විටෙක ලැජ්ජා වන්නේ නැහැ. (හෙබ්‍රෙ. 3:1) යේසුස්ද මෙම අභිෂේක ලත් අයව තම “සහෝදරයන්” ලෙස හඳුන්වන්න ලැජ්ජා වන්නේ නැහැ.—හෙබ්‍රෙ. 2:11.

14. වෙනත් බැටළුවන් ක්‍රිස්තුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ට සහෝගය දක්වන්නේ කෙසේද?

14 යේසුස්ගේ සහෝදරයන්ට කරන උපකාර ඔහු සලකන්නේ තමන්ට කරන උපකාර ලෙසයි. (මතෙව් 25:40 කියවන්න.) යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ට උපකාර කිරීමට වෙනත් බැටළුවන්ට හැක්කේ කෙසේද? ප්‍රධාන ක්‍රමය වන්නේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරන්න ඔවුන්ට උපකාර කිරීමයි. (මතෙ. 24:14; යොහ. 14:12) වර්තමානයෙහි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ගණන ක්‍රමානුකූලව අඩු වෙමින් පවතින බවත් වෙනත් බැටළුවන්ගේ ගණන සීඝ්‍රයෙන් වැඩිවන බවත් පැහැදිලියි. ඒ නිසා ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි කාර්යයෙහි වඩ වඩා නිරත වෙමින් වෙනත් බැටළුවන් ඔවුන්ට සහයෝගය දක්වනවා. ඒ සඳහා සමහරුන් පූර්ණ කාලීනව හෝ තමන්ට හැකි උපරිමයෙන් එහි හවුල් වෙනවා. (මතෙ. 28:19, 20) ඒ වගේම ඔවුන් තමන් සතු ධන සම්පත් ඒ සඳහා වැය කිරීමෙන්ද ඊට සහයෝගය දක්වනවා.

15. දාස පන්තිය ලබාදෙන සැපයුම් කෙරෙහි හා ඔවුන් ගන්නා තීරණ ගැන අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?

15 විශ්වාසවන්ත නුවණ ඇති දාසයා අපට ලබා දෙන බයිබලය මත පදනම් ප්‍රකාශන, රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු අප පෞද්ගලිකව අගය කරන බව පෙන්විය හැක්කේ කෙසේද? ඒවාට සහභාගි වීමෙන් හා ඉගෙනගන්නා දේවල් අදාළ කරගැනීමෙන් ඒ බව පෙන්විය හැකියි. විශ්වාසවන්ත දාස පන්තිය ගන්නා තීරණවලට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? අප ඒවාට කැමැත්තෙන්ම කීකරුව යටත් වෙමු. ඉන් අපි පෙන්වන්නේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට අපි යටත් වෙන බවයි.—යාකො. 3:17.

16. සියලුම ක්‍රිස්තියානීන් විශ්වාසවන්ත දාසයාට ඇහුම්කන් දිය යුත්තේ ඇයි?

16 යේසුස් වරක් මෙසේ පැවසුවා. “මාගේ බැටළුවෝ මාගේ හඬට ඇහුම්කන් දෙති. මම ඔවුන්ව හඳුනමි. ඔවුහුද මා පසුපස එන්නෝය.” (යොහ. 10:27) යේසුස් කී ලෙස අභිෂේක ලත් ක්‍රිස්තියානීන් එය කරමින් සිටිනවා. ඒ වගේම වෙනත් බැටළුවන්ද එය කළ යුතුයි. එමෙන්ම ඔවුන් යේසුස් පත් කළ එම දාසයාටද ඇහුම්කන් දිය යුතුයි. ඊට හේතුව, දෙවිගේ ජනයාට මඟ පෙන්වා ඔවුන්ව රැකබලා ගැනීමේ ප්‍රධාන වගකීම විශ්වාසයෙන් යුතුව භාර දී තිබෙන්නේ ඔවුන්ට නිසයි. ඔවුන්ට ඇහුම්කන් දෙනවා කියද්දී ඊට අයත් වන්නේ කුමක්ද?

17. විශ්වාසවන්ත දාසයාට ඇහුම්කන් දීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

17 විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව නියෝජනය කරන්නේ පාලක මණ්ඩලයයි. ලොව පුරාම සිදු කෙරෙන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය අධීක්ෂණය කරන්නේ ඔවුන් විසිනුයි. පාලක මණ්ඩලයේ සියලු සාමාජිකයන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වන අතර ඔවුන් අද්දැකීම් ලත් වැඩිමහල්ලන්. මූලිකවම අප “අතරේ පෙරමුණ ගන්නාවූ අය” වන්නේ ඔවුනුයි. (හෙබ්‍රෙ. 13:7) ලොව පුරා සභා 1,00,000ක සිටින රාජ්‍ය ප්‍රචාරකයන් 70,00,000ක් පමණ රැකබලා ගැනීමේ කාර්යය ඔවුන්ට පැවරී තිබෙනවා. ඒ නිසා “ස්වාමීන්ගේ වැඩෙහි” බොහෝ දේ කිරීමට ඔවුන්ට තිබෙනවා. (1 කොරි. 15:58) විශ්වාසවන්ත දාසයාට ඇහුම්කන් දෙනවා යන්නෙන් අදහස් කරන්නේ ඔවුන්ව නියෝජනය කරන පාලක මණ්ඩලයට අපගේ පූර්ණ සහයෝගය ලබා දීමයි.

ඔවුන්ට ඇහුම්කන් දෙන අයට ලැබෙන ආශීර්වාද

18, 19. (අ) විශ්වාසවන්ත දාසයාට ඇහුම්කන් දෙන අයට ලැබෙන ආශීර්වාද මොනවාද? (ආ) අප සියලුදෙනාගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

18 විශ්වාසවන්ත නුවණ ඇති දාසයා තම පැවරුම ලැබූ දා සිට ‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව්’ කර තිබෙනවා. (දානි. 12:3) එසේ උදව් ලබා සිටින අය අතරට මේ දුෂ්ට සමාජයේ විනාශයෙන් බේරී ජීවත් වන අයද ඇතුළත්. ඇත්තෙන්ම දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ තත්වයකට පත් වෙන්න ලැබීම ඔවුන්ට මොන තරම් වරප්‍රසාදයක්ද!

19 ඉදිරියේදී ‘ශුද්ධ නුවර වන නව යෙරුසලම, [1,44,000දෙනා] තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ මනාලියක් මෙන් සූදානම්ව, දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස’ ඒමට නියමිතයි. එවිට විශ්වාසවන්ත දාස පන්තියට ඇහුම්කන් දුන් අයට ලැබෙන ආශීර්වාද මොනවාද? ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙයයි. “දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.” (එළි. 21:2-4) එමනිසා අපි සියලුදෙනාම අපගේ උපරිමයෙන් යේසුස් හා ඔහුගේ සහෝදරයන් අපට පවසන දේවල්වලට හොඳින් ඇහුම්කන් දීමටත් ඊට කීකරු වීමටත් අදිටන් කරගනිමු.

ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

• යෙහෝවා දෙවි, දාසයා කෙරෙහි විශ්වාසය තබා තිබෙන බවට ඇති සාක්ෂි මොනවාද?

• යේසුස්, දාසයා කෙරෙහි විශ්වාසය තබා තිබෙන බවට ඇති සාක්ෂි මොනවාද?

• විශ්වාසවන්ත දාසයා කෙරෙහි විශ්වාසය තැබීමට අපට ඇති හේතු මොනවාද?

• විශ්වාසවන්ත දාසයා කෙරෙහි විශ්වාසය තබන බව පෙන්වීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ සංකේතවත් අනාගත මනාලිය ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ කවුරුන්වද කියා ඔබ දන්නවාද?

[26වන පිටුවේ පින්තූර]

තමා “සන්තක” සියල්ල යේසුස් විශ්වාසයෙන් යුතුව භාර දී තිබෙන්නේ විශ්වාසවන්ත නුවණ ඇති දාසයාටයි

[27වන පිටුවේ පින්තූරය]

අපි ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හවුල් වීම මගින් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සහය වෙනවා