Skip to content

පටුනට යන්න

මගේ අයිතියද? අන් අයගේ යහපතද?

මගේ අයිතියද? අන් අයගේ යහපතද?

මගේ අයිතියද? අන් අයගේ යහපතද?

කුඩා දරුවන් දෙදෙනෙක් සෙල්ලම් කරනවා. තමාගේ සෙල්ලම් බඩුවක් අනෙක් කෙනා ළඟ තියෙනවා දැකලා, ඒක ඇදලා අරගෙන හයියෙන් මෙහෙම කියනවා. “මේක මගේ!” එයින් පැහැදිලි වෙන්නේ කුඩා කල පටන්ම අපට අප ගැන පමණක් සිතීමේ නැඹුරුවාවක් තිබෙන බවයි. (උත්. 8:21; රෝම 3:23) පොදුවේ ගත් කළ මේ ලෝකය දිරි දෙන්නේද එවන් ස්වභාවයක් වර්ධනය කරගැනීමටයි. කෙසේනමුත් ක්‍රිස්තියානීන් වන අපි එවන් ස්වභාවයකට විරුද්ධව සිටින්න දැඩි උත්සාහයක් දැරිය යුතුයි. එසේ නොකළොත් අප නිසා අන් අයගේ ඇදහිල්ල දුර්වල විය හැකි අතර යෙහෝවා දෙවි සමඟ අපට ඇති මිත්‍රත්වයද දුර්වල විය හැකියි.—රෝම 7:21-23.

අපගේ ක්‍රියා අන් අයට බලපානන්නේ කෙසේද යන්න ගැන සැලකිලිමත් වෙන්න කියා උනන්දු කරමින් පාවුල් මෙසේ පැවසුවා. “සෑම දෙයකටම අවසර තිබෙන නමුත් සියල්ල ප්‍රයෝජනදායක නොවේ. සෑම දෙයකටම අවසර තිබෙන නමුත් සියල්ල ගොඩනංවනසුලු නොවේ.” ඔහු තවදුරටත් මෙසේද පැවසුවා. “බාධාවට හේතුවක් වීමෙන් වළකින්න.” (1 කොරි. 10:23, 32) අපගේ කැමැත්තට අනුව යම් දෙයක් කිරීමට තීරණය කිරීමේදී මෙසේ සිතා බැලීම ඉතා ඥානවන්තයි. ‘මේ දෙය කිරීමට මට අයිතියක් තිබුණත් ඉන් සභාවේ සාමයට බාධාවක් වෙනවා නම් එය නොකර සිටීමට මම කැමතිද? ඉහත බයිබල් ප්‍රතිපත්තිය අදාළ කරගැනීම දුෂ්කරයි කියා හැඟෙන අවස්ථාවලදී පවා එය අදාළ කරගැනීමට මම සූදානම්ද?’

රැකියාවක් තෝරාගැනීමේදී

බොහෝදෙනා සිතන්නේ තමන් තෝරාගන්නා රැකියාව පෞද්ගලික තීරණයක් බවත් අන් අයට ඉන් කිසිම බලපෑමක් නැහැ කියායි. නමුත් ඉන් යම් බලපෑමක් සිදු විය හැකි බව දකුණු ඇමරිකාවේ ජීවත් වන ව්‍යාපාරිකයෙකුගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. ඔහු සූදුවට හා මත් පැන් පානයට ඇබ්බැහි වු කෙනෙක්. පසුව ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගෙන ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු කළා. (2 කොරි. 7:1) ඒ වගේම ගෙයින් ගෙට දේවසේවයේ හවුල් වීමටත් කැමැත්ත පළ කළා. නමුත් ඔහුගේ රැකියාව, ගෙයින් ගෙට දේවසේවයට බලපාන්නේ කෙසේද කියා සිතා බැලීමට එක් වැඩිමහල්ලෙක් ඉතා ඥානවන්තව ඔහුට දිරිගැන්නුවා. ඒ වන විට ඔහු නගරයේ ප්‍රධාන මද්‍යසාර බෙදාහරින්නා ලෙස කටයුතු කරමින් සිටියා. එම මද්‍යසාර ඉන්ධන සඳහා මෙන්ම වෙනත් අරමුණු සඳහාද භාවිතයට ගන්නවා. නමුත් ඒ ප්‍රදේශයේ බොහෝදෙනා එය පැණි බීම සමඟ මිශ්‍ර කොට පානය කළේ වෙරි වීම සඳහායි.

තමා මද්‍යසාර ව්‍යාපරිකයෙකු වන නිසා ගෙයින් ගෙට දේවසේවයේ හවුල් වීමෙන් සභාවට නරක නාමයක් ඇති විය හැකි බව ඔහු තේරුම්ගත්තා. ඔහුට විශාල පවුලක් රැකබලා ගැනීමට සිදු වුණත් ඔහු එම ව්‍යාපාරය නතර කර කඩදාසි ආශ්‍රිතව කරන වෙළඳාමක් පටන්ගත්තා. දැන් ඔහුත් භාර්යාවත් දරුවන් පස්දෙනාගෙන් දෙදෙනෙකුත් බව්තීස්ම වී දෙවිට උද්‍යෝගයෙන් සේවය කරනවා. ඒ වගේම ගෙයින් ගෙට දේවසේවයේ හවුල් වීමට ඔහුගේ රැකියාව දැන් ඔහුට බාධාවක් නොවෙයි.

ඇසුරු කරන අයව තෝරාගැනීමේදී

ක්‍රිස්තියානි නොවන කෙනෙකුව අපගේ කිට්ටු මිතුරෙකු ලෙස සැලකීම අපගේ කැමැත්ත පරිදි ගත යුතු තීරණයක්ද, නැත්නම් බයිබලයේ දී ඇති මඟ පෙන්වීම්වලට අනුව ගත යුතු තීරණයක්ද? ඊට පිළිතුර මෙම අද්දැකීමෙන් අපට වැටහේවි. එක් සහෝදරියක් ක්‍රිස්තියානි නොවන තරුණයෙකු සමඟ උත්සවයකට සහභාගි වීමට තීරණය කළා. එහි ඇති අනතුර ගැන ඇයට උපදෙස් ලැබී තිබුණා. ඒ වුණත් ඒ සඳහා තමාට නිදහසක් හා අයිතියක් තිබෙන බව සිතමින් ඒ උපදෙස් නොසලකා හැරිය ඇය ඊට සහභාගි වුණා. එහි ගොස් ටික වේලාවකට පසු, නිදිමත ඇති කරවන ද්‍රව්‍යක් මිශ්‍ර කළ බීමක් ඇයට දුන්නා. ඉන් පැය කිහිපයකට පසු අවදි වූ ඇය තේරුම්ගත්තේ කුමක්ද? තමාගේ මිත්‍රයා කියා සැලකූ තරුණයා විසින්ම තමාට අතවර කර ඇති බවයි.—උත්පත්ති 34:2 බලන්න.

ක්‍රිස්තියානි නොවන කෙනෙකුව ඇසුරු කරන සෑම අවස්ථාවකදීම ඉහත සඳහන් දෙය සිදු නොවිය හැකියි. නමුත් මෙම බයිබල් උපදෙස මතක තබාගැනීම අපට ආරක්ෂාවක්. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නේය. එහෙත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (හිතෝ. 13:20, නව ලොව පරිවර්තනයNW) ඔව්, අඥාන අයව ඇසුරු කිරීමෙන් සිදු වන්නේ අපටම හානි පමුණුවා ගැනීමයි. නමුත් “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. එහෙත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති” කියා හිතෝපදේශ 22:3හි [NW] පවසනවා. ඇත්තෙන්ම අප ඇසුරු කිරීමට තෝරාගන්නා අය නිසා අපට මෙන්ම දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වයටද හානි සිදු විය හැකියි.—1 කොරි. 15:33; යාකො. 4:4.

විලාසිතා තේරීමේදී

විලාසිතා කලින් කලට වෙනස් වෙනවා. නමුත් අප ඇඳ පැළඳ සිටිය යුතු ආකාරය සම්බන්ධයෙන් දී ඇති බයිබල් ප්‍රතිපත්ති නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. “විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතුව, මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී” සිටින්න කියා එහි අපට උනන්දු කරනවා. (1 තිමෝ. 2:9) මෙහිදී සියලුම ක්‍රිස්තියානීන් ඇඳ පැළඳිය යුත්තේ ඉතාමත් සරල ආකාරයෙන් පමණක් කියා ඉන් අදහස් කරන්නේ නැහැ. එමෙන්ම සියලුම ක්‍රිස්තියානීන්ගේ රුචි අරුචිකම් එක හා සමාන විය යුතුයි කියාද ඉන් අදහස් කරන්නේ නැහැ. කෙසේනමුත් විනීත කෙනෙක් අන් අය ඉදිරියෙහි කැපී පෙනෙන්න හෝ අනවශ්‍ය අවධානයක් ගන්නා විලාසිතා අනුකරණය නොකිරීමට නිතරම වගබලා ගන්නවා.

විලාසිතා තෝරාගැනීමට අපිට අයිතියක් හා නිදහසක් තිබෙනවා. නමුත් ‘මම තෝරාගන්නා විලාසිතාවලින් මම විනීත කෙනෙක් කියා ඇත්තටම මට දැනෙනවාද? අන් අය මාව දකින්නේ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වන කෙනෙක් ලෙසද?’ අපි නිතරම අන් අයට ‘බාධා වීමට කිසිම හේතුවක් නොදෙමු.’ අපට එසේ කළ හැක්කේ අපි අපේම “කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක්” දක්වනවා නම් පමණයි.—2 කොරි. 6:3; ෆිලි. 2:4.

ගනුදෙනු කිරීමේදී

ක්‍රිස්තියානියෙකුට සභාවේ තවත් කෙනෙකු අතින් යම් පාඩුවක් හෝ වංචාසහගත ක්‍රියාවක් සිදු වී ඇති විට ඔහු කළ යුතු දේ ගැන පාවුල් මෙසේ පැවසුවා. “ඔබ අයුක්තිය නොවිඳින්නේ මන්ද? ඒ වෙනුවට ඔබටම වංචනික පාඩුවක් සිදුවීමට ඉඩ නොදෙන්නේ මන්ද?” ඔහු ඉන් අවධාරණය කළේ එවන් ක්‍රියාවක් නිසා තම සහෝදරයාට විරුද්ධව නඩු කියනවාට වඩා එම පාඩුව විඳගන්න අප කැමති විය යුතු බවයි. (1 කොරි. 6:1-7) එම උපදෙස සිතටගත් ඇමරිකා එක්සත් ජනපදයේ සහෝදරයෙක් කළ දේ බලන්න. ඔහු රැකියාව කළේ තවත් සහෝදරයෙක් යටතේයි. මේ දෙදෙනා අතර වැටුප් පිළිබඳ ගැටලුවක් මතු වුණා. බයිබලයේ දී ඇති මඟ පෙන්වීම්වලට අනුව එය විසඳාගැනීමට මේ දෙදෙනා කිහිප වරක් මුණ ගැසී කතා කළත් එය විසඳාගන්න නොහැකි වුණා. අවසානයේදී ඔවුන් එය “සභාවට” එනම් වැඩිමහල්ලන්ට දැනුම් දුන්නා.—මතෙ. 18:15-17.

ඒ මාර්ගයෙන්ද ගැටලුව විසඳාගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණක්. අවසානයේදී මේ සහෝදරයා ඉතා ඕනෑකමින් යාච්ඤා කළා. ඉන්පසු තමාට ඒ සහෝදරයාගෙන් ලැබිය යුතු මුළු මුදලින් වැඩි කොටසක් අමතක කර දැමීමට ඔහු තීරණය කළා. ඊට හේතුව කුමක්ද? ඔහු ඒ ගැන පවසන්නේ මෙසේයි. “මේ ප්‍රශ්නය ඇදි ඇදී යන නිසා දෙවිගේ සේවය සඳහා යොදවන්න තිබෙන වටිනා කාලය නාස්ති වෙන බවත් මගේ ප්‍රීතියත් ටිකෙන් ටික අඩු වන බවත් මට තේරුණා.” ඔහු ගත් ඒ තීරණය නිසා නැවතත් ඔහුට ප්‍රීතියෙන් සිටීමට හැකි වුණා. එමෙන්ම ඔහුගේ සේවයට දෙවිගේ ආශීර්වාද ලැබෙන බවත් වැටහෙන්න පටන්ගත්තා.

සුළු කාරණාවලදී පවා

යම් දෙයක් කිරීමට අපට අයිතියක් හෝ නිදහසක් තිබුණත් අන් අය කෙරෙහි අප දක්වන සැලකිල්ල නිසා ඒවා අත්හැරීමට කැමති විය යුතු බව අපි ඉගෙනගත්තා. ඉතා සුළු කාරණයකදී පවා අප එසේ කරනවා නම් ඉන් ආශීර්වාද ලබන්න අපටත් හැකියි. දිස්ත්‍රික් සමුළුවකදී සිදු වූ මේ දෙය ඊට කදිම උදාහරණයක්. පුරෝගාමි යුවළක් එම සමුළුවේ පළමු දිනට සහභාගි වීම සඳහා කල් වේලා ඇතුව පැමිණ තමන් කැමතිම ස්ථානයේ අසුන් දෙකක් වෙන් කළා. වැඩසටහන ආරම්භ වෙනවාත් සමඟම ළමයි කිහිපදෙනෙක් සිටින පවුලක් පැමිණියා. ඔවුන්, සෙනඟ පිරී සිටි ශාලාවේ තම පවුලටම එකට හිඳ ගත හැකි ස්ථානයක් සොයනවා මේ යුවළ දුටුවා. තමන්ගේ ආසන දෙක ඔවුන්ට ලැබුණොත් ඒ පවුලටම එකට හිඳගැනීමට හැකි බව ඔවුන් තේරුම්ගත්තා. ඒ නිසා තම පහසුව ගැන නොසිතූ ඔවුන් තම ආසන දෙක ඒ පවුලට ලබා දුන්නා. සමුළුවෙන් දින කිහිපයකට පසු ඒ පවුලේ අයගෙන් මේ යුවළට ස්තුති කර ලිපියක් ලැබුණා. තමන් එදා ප්‍රමාද වී පැමිණීම ගැන සිටියේ විශාල පීඩනයකින් බව එහි සඳහන්ව තිබුණා. නමුත් එම පුරෝගාමි යුවළගේ කරුණාවන්ත ක්‍රියාව නිසා ඔවුන්ට සන්තෝෂයෙන් ඒ සමුළුවට ඇහුම්කන් දෙන්න හැකි වූ බවද එහි සඳහන් කර තිබුණා.

අන් අය ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න අපටත් බොහෝ අවස්ථා උදා වෙනවා. එවිට අපත් අපගේ අයිතිය හෝ ආශාව මුලට තබන්නේ නැතුව අන් අයගේ යහපත සලකා කටයුතු කරමු. අප ‘අපගේම කාරණා පමණක් නොසොයන’ ප්‍රේමය විදහා පෙන්වන පුද්ගලයන් වන විට සභාව සමඟත් අසල්වාසීන් සමඟත් සමාදානයෙන් සිටීමට අපට හැකි වෙනවා. (1 කොරි. 13:5) ඒ සියල්ලටම වඩා අපගේ දෙවි යෙහෝවා සමඟ අපට ඇති මිත්‍රත්වය ආරක්ෂා කරගැනීමටද හැකි වෙනවා.

[20වන පිටුවේ පින්තූරය]

විලාසිතා තේරීමේදී අන් අය ගැන සැලකිලිමත් වෙමින් ඔබගේ කැමැත්ත අත්හරින්න ඔබ කැමතිද?

[20, 21වන පිටුවේ පින්තූරය]

ඔබගේ සහෝදරයා වෙනුවෙන් අසුන පරිත්‍යාග කරන්න ඔබ කැමතිද?