Skip to content

පටුනට යන්න

යේසුස්ගේ ඉගැන්වීම් ඔබට බලපාන අයුරු

යේසුස්ගේ ඉගැන්වීම් ඔබට බලපාන අයුරු

යේසුස්ගේ ඉගැන්වීම් ඔබට බලපාන අයුරු

“දෙවි විසින් එවන ලද තැනැත්තා දෙවිගේ කියමන් පවසයි.”—යොහ. 3:34.

1, 2. කන්ද උඩ දේශනයේදී යේසුස් පැවසූ දේවල් “දෙවිගේ කියමන්” බව අප දන්නේ කෙසේද?

දැනට ලෝකයේ ඇති වටිනාම මැණිකට වඩා වටිනා යමක් අප සතුයි. එය නම් යේසුස් කන්ද උඩ දේශනයේදී කළ ඉගැන්වීම්! එම ඉගැන්වීම් එතරම්ම අනර්ඝ බවින් යුතු වන්නේ ඒවා යෙහෝවා දෙවිගේම අදහස් වූ නිසයි. යේසුස් ගැන සඳහන් කරමින් බයිබලයේ පවසන්නේ “දෙවි විසින් එවන ලද තැනැත්තා” හැටියට ඔහු පැවසුවේ “දෙවිගේ කියමන්” බවයි.—යොහ. 3:34-36.

2 කන්ද උඩ දේශනය සඳහා යේසුස්ට ගත වන්න ඇත්තේ පැය භාගයකටත් වඩා අඩු කාලයක්. ඒ වුණත් ඔහු ඊට හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ පොත් අටකින් උපුටා දැක්වීම් 21ක් ඇතුළත් කළා. එමගින්ද පැහැදිලි වන්නේ ඒවා “දෙවිගේ කියමන්” බවයි. දැන් අපි එම වටිනා කියමන් ගැන සලකා බලා ඒවා අපට අදාළ කරගත හැකි ආකාරයත් සෝදිසි කර බලමු.

“පළමුවෙන් ඔබේ සහෝදරයා හා සමාදාන වන්න”

3. අමනාපය සිතේ තබාගැනීම ගැන අනතුරු ඇඟවීමෙන් පසු යේසුස් දුන් උපදෙස කුමක්ද?

3 දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රීතිය හා සමාදානය අප තුළ වර්ධනය වී තිබෙනවා. (ගලා. 5:22, 23) තම අනුගාමිකයන් දිගටම එසේ සිටිනවා දැකීම යේසුස්ගේ ආශාව වූ නිසා ඔහු ඔවුන්ට යම් දෙයක් ගැන අනතුරු ඇඟෙව්වා. එය නම් අමනාපය දිගටම සිතේ තබා ගෙන සිටීම ගැනයි. ඊට හේතුව නම් ඉන් විනාශකාරී ප්‍රතිඵල අත් වන නිසයි. (මතෙව් 5:21, 22 කියවන්න.) ඊළඟට ඔහු මෙසේ පැවසුවා. “එබැවින්, ඔබේ පඬුර පූජාසනය වෙත ගෙන එන කල, ඔබට විරුද්ධව ඔබේ සහෝදරයාට යම් කාරණාවක් ඇති බව එහිදී ඔබට සිහි වේ නම්, පඬුර පූජාසනය ඉදිරිපිට තබා ගොස් පළමුවෙන් ඔබේ සහෝදරයා හා සමාදාන වන්න. ඉන්පසු ඔබ ඇවිත් පඬුර ඔප්පු කරන්න.”මතෙ. 5:23, 24.

4, 5. (අ) යේසුස් සඳහන් කළ ‘පඬුරට’ අයත් වන්නේ මොනවාද? (ආ) අප සමඟ අමනාප වී ඇති සහෝදරයා සමඟ සමඟි වීම එතරම් වැදගත් වන්නේ ඇයි?

4 එදා ඊශ්‍රායෙල්වරුන් පූජා කිරීම සඳහා දේවමාලිගාවට ගෙනා ඕනෑම දෙයක් ‘පඬුරක්’ ලෙස හැඳින්විය හැකියි. ඊට සතුන්ව පූජා කිරීමද අයත් වුණා. නමුත් එවන් පූජාවක් ඔප්පු කිරීමට වඩා වැදගත් දෙයක් ගැන යේසුස් සඳහන් කළා. එය නම් දෙවිට පූජාව ඔප්පු කිරීමට පෙර අමනාප වී සිටින තම සහෝදරයා සමඟ සමාදාන වීමයි.

5 මතෙව් 5:23, 24හි යේසුස් දුන් උපදෙසින් අප ඉගෙනගන්නේ කුමක්ද? අන් අය සමඟ අප කටයුතු කරන ආකාරය දෙවිට ඉතා වැදගත් බවයි. අපගේ නමස්කාරය ඔහු විසින් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට එය හේතු වෙනවා. (1 යොහ. 4:20) ඔව්, එදා කවුරුන් හෝ සෙසු නමස්කාරකයෙකු සමඟ අමනාපයක් සිතේ තබාගෙන දෙවිට පූජාවක් ඔප්පු කළා නම් දෙවි එය පිළිගත්තේ නැහැ.—මීකා 6:6-8 කියවන්න.

යටහත්පහත්කම නැතුවම බැහැ

6, 7. සමාදාන වීමේදී අපට යටහත්පහත්කම අත්‍යවශ්‍ය ඇයි?

6 සෙසු ඇදහිලිවන්තයෙකු සමඟ සමාදාන වීමට පියවර ගැනීමේදී අප කොතරම් යටහත්පහත් අයද කියා හෙළි වෙනවා. යටහත්පහත් කෙනෙක් වාද විවාද කරමින් තමන් නිවැරදියි කියා ඔප්පු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඉන් සිදු වන්නේ තත්වය තවත් දුර දිග යෑමයි. එවන් තත්වයක් එදා කොරින්ති සභාවේ ක්‍රිස්තියානීන් අතරද පැවතුණා. ඒ සම්බන්ධයෙන් පාවුල් එම ක්‍රිස්තියානීන්ට ගැඹුරින් සිතා බලන්න මෙවන් උපදෙසක් දුන්නා. “එකිනෙකාට විරුද්ධව නඩු තිබීම ඔබට අත් වූ මහත් පරාජයකි. ඒ වෙනුවට ඔබ අයුක්තිය නොවිඳින්නේ මන්ද? ඒ වෙනුවට ඔබටම වංචනික පාඩුවක් සිදුවීමට ඉඩ නොදෙන්නේ මන්ද?”—1 කොරි. 6:7.

7 යේසුස් පැවසූ ලෙස අප අමනාපයෙන් සිටින සහෝදරයාව හමු වීමට යා යුත්තේ අපි නිවැරදි බවත් ඔහු වැරදි බවත් ඔප්පු කිරීමට නොවෙයි. ඒ වෙනුවට අපගේ එකම අරමුණ විය යුත්තේ ඔහු හා සමාදාන වීමයි. ගැටලුව ගැන අපට හැඟෙන ආකාරය විවෘතව ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම ඇති වූ ගැටලුව නිසා ඔහු සිත් වේදනාවට පත් වී ඇති බවත් අප තේරුම්ගත යුතුයි. වරද අපේ අතේ නම් යටහත්පහත් වී ඔහුගෙන් ඒ ගැන සමාව ඉල්ලීමද ඔහු සමඟ සමාදාන වීමට මඟ විවෘත කරයි.

‘ඔබගේ දකුණු ඇස ඔබට බාධාවක්ද?’

8. මතෙව් 5:29, 30හි යේසුස්ගේ වදන් කෙටියෙන් විස්තර කරන්න.

8 අපගේ ජීවිතයට ප්‍රයෝජනදායක මඟ පෙන්වීම්ද යේසුස් කන්ද උඩ දේශනයේදී ලබා දුන්නා. අපටම බරපතළ හානි සිදු කරගත හැකි ක්‍රියාවලින් වැළකී සිටින ආකාරයද ඔහු පෙන්වා දුන්නා. ඔහු ඒ ගැන පැවසූ දේ බලන්න. “එබැවින් ඔබේ දකුණු ඇස ඔබව බාධාවට පත් කරන්නේ නම්, එය උගුලා අහකට විසි කරන්න. මන්ද ඔබේ මුළු ශරීරය ගෙහෙන්නාවට හෙළනු ලබනවාට වඩා ඔබේ එක අවයවයක් අහිමි වීම ඔබට වඩා යහපත. තවද, ඔබේ දකුණත ඔබව බාධාවට පත් කරන්නේ නම්, එය කපා අහකට විසි කරන්න. මන්ද ඔබේ මුළු ශරීරය ගෙහෙන්නාවට දමනු ලැබීමට වඩා ඔබේ එක අවයවයක් අහිමි වීම ඔබට වඩා යහපත.”මතෙ. 5:29, 30.

9. අපගේ ‘ඇස’ හෝ ‘අත’ නිසා අප බාධාවට පත් විය හැක්කේ කෙසේද?

9 මෙහි “ඇස” යන්නෙන් අදහස් කරන්නේ අප දකින හෝ බලන දේවලුයි. එමෙන්ම ‘අත’ යන්නෙන් අදහස් කරන්නේ අප කරන ක්‍රියාවනුයි. අපගේ ශරීරයේ එවන් අවයව නිසි ලෙස පාලනය කර නොගතහොත් “දෙවි සමඟ ගමන්” කිරීමට එය අපට ‘බාධාවක්’ විය හැකියි. (උත්. 5:22; 6:9) ඒ නිසා දෙවිට අකීකරු වීමට අප තුළ පෙලඹීමක් ඇති වෙද්දී ඊට විරුද්ධව සිටීම සඳහා අපි දැඩි පියවරක් ගත යුතුයි. එය හරියට අපගේ ඇසක් උගුලා දැමීමට හෝ අතක් කපා දැමීමට පියවර ගන්නවා හා සමානයි.

10, 11. අනාචාර ක්‍රියාවලින් වැලකී සිටීමට අපට උපකාරවත් වන්නේ කුමක් ගැන ගැඹුරින් සිතා බැලීමද?

10 අනාචාර ක්‍රියාවලට තුඩු දෙන දේවල්වලට අවධානය යොමු කිරීමෙන් අපගේ ඇස් වළක්වාගත හැක්කේ කෙසේද? ඇදහිලිවන්ත යෝබ් ඒ සඳහා කළ දේ බලන්න. ඔහු කියන්නේ “මාගේ දෑස් සමඟ මම ගිවිසුමක් ඇති කළෙමි. එසේනම්, මා වැරදි චේතනාවකින් තරුණියකු දෙස බලන්නේ කෙසේද?” (යෝබ් 31:1, නව ලොව පරිවර්තනය, NW) විවාහක පුරුෂයෙක් වූ යෝබ්, දෙවිගේ නීති ප්‍රතිපත්ති උල්ලංඝනය නොකිරීමට දැඩි අධිෂ්ඨානයක් ගෙන තිබුණා. අප විවාහකයන් වුණත් නැතත් අපට තිබිය යුත්තේ එම අධිෂ්ඨානයමයි. දෙවිට ප්‍රේම කරන අයට ඔහු තම බලය ලබා දෙනවා. ඒ නිසා අපට අපවම පාලනය කරගනිමින් අනාචාර ක්‍රියාවලින් වැළකී සිටින්න හැකියාව ලැබෙනවා.—ගලා. 5:22-25.

11 අනාචාර ක්‍රියාවලින් වැළකීම සඳහා අප මෙම ප්‍රශ්නය ගැන ගැඹුරින් සිතා බැලීම අවශ්‍යයි. ‘අනාචාර ක්‍රියාවලට මා තුළ ආශාවක් ඇති කරවන තොරතුරු ඇතුළත් පොත් පත්, රූපවාහිනී වැඩසටහන් හෝ අන්තර්ජාලය වැනි දේවල් නැරඹීමට මම මගේ ‘ඇස්වලට’ ඉඩහරිනවාද?’ එහි ඇති භයානකකම ගැන යාකොබ් පැවසූ මේ දෙයද අපි මතකයේ තබාගනිමු. “එකිනෙකා තම තමාගේ ආශාවෙන් අදිනු ලැබ නොමඟට පොලඹවනු ලබන කල පරීක්ෂා කරනු ලබන්නේය. එවිට ආශාව පිළිසිඳගත් කල, පාපය බිහි කරයි. ඉන්පසු පාපය සම්පූර්ණ වූ කල, මරණය උපදවයි.” (යාකො. 1:14, 15) එමනිසා දෙවිට කැප වූ ඕනෑම කෙනෙක් වෙනත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දෙස වැරදි චේතනාවකින් යුතුව “දිගින් දිගටම බලමින්” සිටිනවා නම් එය වෙනස් කරගැනීමට ඔහු දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. එය හරියට තමාගේ ඇස උගුලා දමනවා හා සමානයි.—මතෙව් 5:27, 28 කියවන්න.

12. අනාචාර ක්‍රියාවලට විරුද්ධ වීමට අපට උපකාර කරන්නේ පාවුල්ගේ කුමන උපදෙසද?

12 අපගේ ‘අත්’ හෙවත් ක්‍රියා මගින් දෙවිගේ නීති ප්‍රතිපත්ති දැඩි ලෙස උල්ලංගනය විය හැකියි. එමනිසා එවන් තත්වයටක පත් නොවීමට අපි දැඩි අධිෂ්ඨානයක් ගත යුතුයි. ඒ ගැන පාවුල්ද උනන්දු කළේ මෙසේයි. “වේශ්‍යාකම, අපවිත්‍රකම, ලිංගික තෘෂ්ණාව, අනතුරුදායක ආශා සහ රූප වන්දනාවක් වන තණ්හාව වැනි කාරණා හා බැඳි, පොළොවේ තිබෙන ඔබේ අවයව නසා දමන්න.” (කොලො. 3:5) එහි “නසා දමන්න” යන ප්‍රකාශයෙන් කාවද්දන්නේ අනාචාරය හා සම්බන්ධ ක්‍රියාවලට විරුද්ධව අපි දැඩි සටනක් කළ යුතු බවයි.

13, 14. අනාචාර ක්‍රියා හා සිතුවිලිවලින් වැළකී සිටීම වැදගත් ඇයි?

13 ශල්‍යකර්මයකින් කෙනෙකුගේ ශරීරයේ අවයවයක් ඉවත් කිරීමට සිදු වී තිබෙනවා කියා සිතන්න. එය ඔහුට මොන තරම් අමාරු දෙයක් වුණත් ඔහු තම ජීවිතය රැකගන්න තිබෙන ආශාව නිසා ඊට එකඟ වෙනවා. එලෙසම අපත් දෙවි සමඟ අපට ඇති මිත්‍රත්වය ආරක්ෂා කරගැනීමට ඇති ආශාව නිසා අපගේ ඇස හා අත “අහකට විසි කරන්න” කැමති විය යුතුයි. ඉන් අදහස් කරන්නේ අනාචාරයට තුඩු දිය හැකි සිතුවිලි හා ක්‍රියා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අප කැමති විය යුතු බවයි. එසේ අප අපගේ සිතුවිලි, ක්‍රියා හා ආකල්ප ඇතුළු ජීවිතයේ සෑම පැත්තකින්ම පිරිසිදුව සිටීමෙන් ගෙහෙන්නාවෙන් නියෝජනය වන සදාකාල විනාශයෙන් බේරීමට අපට හැකියි.

14 අප පාපය උරුම කරගෙන ඇති නිසා, අනාචාර ක්‍රියා සම්බන්ධයෙන් දෙවි දී ඇති නීති ප්‍රතිපත්තිවලට කීකරු වීමට දැඩි වෑයමක් දැරිය යුතුයි. ඒ බව පිළිගත් පාවුල් තමා දැරූ වෑයම ගැන මෙසේ පවසනවා. “මා අන් අයට දේශනා කළායින් පසු, මොනයම් හෝ හෙයකින් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිස, මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින්, වහලෙකුව ඇදගෙන යන්නාක් මෙන් එය ඇදගෙන යමි.” (1 කොරි. 9:27) එමනිසා අපත් අනාචාර ක්‍රියාවලට සම්බන්ධ කිසිම දෙයකට හවුල් නොවීමට අදිටන් කරගනිමු. ඒ තුළින් යේසුස්ගේ ජීවිත පූජාව අපි ඉතා අගය කරන බව පෙන්වමු.—මතෙ. 20:28; හෙබ්‍රෙ. 6:4-6.

“දීමට පුරුදු වන්න”

15, 16. (අ) දීම සම්බන්ධයෙන් යේසුස් ආදර්ශයක් තැබුවේ කෙසේද? (ආ) ලූක් 6:38හි සඳහන් යේසුස්ගේ වදන්වල අර්ථය කුමක්ද?

15 යේසුස් දීමට ඉතාමත් ලැදි පුද්ගලයෙක්. ඔහු තම වචනයෙන් හා ක්‍රියාවෙන් ඒ බව ඔප්පු කළා. පව්කාර මිනිස් වර්ගයාව ගලවාගැනීමට පොළොවට පැමිණීම මගින් ඔහුගේ දීමේ ස්වභාවය ඔහු කදිමට පෙන්නුවා. (2 කොරින්ති 8:9 කියවන්න.) ඔහු ස්වර්ගයේ භුක්තිවිඳි තේජවත් ජීවිතය අතහැර මිනිසෙකු ලෙස පොළොවට පැමිණ පව්කාර මිනිසුන් වෙනුවෙන් තම ජීවිතය දුන්නා. ඒ නිසා මිනිස් වර්ගයාගෙන් සමහරෙකුට ඔහු සමඟ දේවරාජ්‍යයේ රජකම් කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා. (රෝම 8:16, 17) දීමට ලැදි කෙනෙක් වූ ඔහු අන් අයටත් ඒ සඳහා දිරිගැන්වූයේ මෙසේයි.

16 “දීමට පුරුදු වන්න. එවිට අන් අය ඔබටද දෙන්නෝය. ඔවුහු තද කර, සොලවා, ඉතිරී යන ලෙස මහත් ප්‍රමාණයක් ඔබේ ඔඩොක්කුවලට මැන දමන්නෝය. මන්ද ඔබ මනින මිම්මෙන්ම ඔබටත් නැවත මැන දෙනු ලැබේ.” (ලූක් 6:38) ‘ඔඩොක්කුවට මැන දැමීම’ කියද්දී එය එදා සිටි අයට ඉතා හුරු පුරුදු දෙයක්. ධාන්‍ය වැනි ආහාර මිලට ගැනීමේදී වෙළඳුන් ඒවා, මිල දී ගත් තැනැත්තාගේ පිටත සළුවේ තිබූ මල්ලක ආකාරයේ කොටස පිරී ඉතිරී යන ආකාරයෙන් එය හොඳින් පිරෙව්වා. යේසුස් දිරිගැන්වූ ලෙස අපත් දීමට පුරුදුව සිටිනවා නම් අපටත් සමහර දේවල් අවශ්‍ය විටදී අප නොසිතන ආකාරයකින් ලැබේවි.—දේශ. 11:2.

17. දීම සම්බන්ධයෙන් යෙහෝවා දෙවි උසස්ම ආදර්ශය තැබුවේ කෙසේද? අපට ප්‍රීතිය ලැබිය හැක්කේ කුමන දේවල් දීම මගින්ද?

17 සතුටු සිතින් දෙන අයට දෙවි ප්‍රේම කරන අතර ඔවුන්ට දෙවිගේ ආශීර්වාදද ලැබෙයි. දෙවි තම එකම පුත්‍රයාව අප වෙනුවෙන් ලබා දීමෙන් ත්‍යාගශීලීවන්තකමේ උසස්ම ආදර්ශය තැබුවා. දෙවි “එසේ කළේ ඔහු [යේසුස්] කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය” ලබාගැනීම සඳහායි. (යොහ. 3:16) දීමේ ස්වාභාවය ගැන පාවුල්ද මෙසේ පැවසුවා. “මසුරු ලෙස වපුරන්නා මසුරු ලෙස කපාගන්නේය. නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය. එක් එක් කෙනා, අකමැත්තෙන්වත් බල කිරීම නිසාවත් නොව, තම සිතින් තීරණය කරගත් ලෙස දිය යුතුය. මන්ද, සතුටින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය.” (2 කොරි. 9:6, 7) දෙවිගේ නමස්කාරයේ වැඩි දියුණුව සඳහා අපත් අපගේ කාලය, ශක්තිය හා ධන සම්පත් සතුටින් දුන්නොත් අපට ලැබෙන ප්‍රීතිය හා ආශීර්වාද කියා නිම කළ නොහැකියි.—හිතෝපදේශ 19:17; ලූක් 16:9 කියවන්න.

“ඔබට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න”

18. අපට දෙවිගෙන් කිසි විපාකයක් නොලැබෙන්නේ අපට කුමනාකාර චේතනාවක් තිබුණොත්ද?

18 “මිනිසුන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහි ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකිරීමට වගබලා ගන්න. එසේ කළොත් ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගෙන් කිසි විපාකයක් ඔබට නොලැබේ.” (මතෙ. 6:1) යේසුස් පැවසූ ලෙස “ධර්මිෂ්ඨ ක්‍රියා” යන්නෙන් අදහස් කරන්නේ දෙවිගේ කැමැත්තට එකඟව කරන ක්‍රියායි. අප කරන සෑම ධර්මිෂ්ඨ ක්‍රියාවක්ම මිනිසුන්ට නොපෙනෙන්න කළ යුතු බවක් යේසුස් අදහස් කළේ නැහැ. “ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි බබළවන්න” කියා වරක් යේසුස් පැවසුවා. (මතෙ. 5:14-16) ඉන් පැහැදිලි වන්නේ අප කරන සමහර ධර්මිෂ්ඨ ක්‍රියා මිනිසුන්ගේ අවධානයට ලක් වන බවයි. නමුත් අප ඒවා කරන්නේ “මිනිසුන්ට පෙනෙන පිණිස” හෝ ඔවුන්ගේ අවධානය ඇදගැනීමේ චේතනාවෙන් නම් අපට යෙහෝවා දෙවිගෙන් “කිසි විපාකයක්” ලැබෙන්නේ නැහැ. එනම් අපට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක්වත් සදාකාල ජීවනයවත් භුක්ති විඳින්න හැකි වන්නේ නැහැ.

19, 20. (අ) “දයාන්විත ලෙස පරිත්‍යාග කරන විට” “හොරණෑවක් නොපිඹින්න” කීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද? (ආ) දකුණත කරන දේ වමතට දැනගන්න ඉඩ නොතබන්න කීමෙන් ඔහු අදහස් කළේ කුමක්ද?

19 “එබැවින් ඔබ දයාන්විත ලෙස පරිත්‍යාග කරන විට, ඔබට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. මිනිසුන්ගෙන් ගෞරවය ලබන පිණිස කුහකයෝ සිනගෝගවලදීත් වීථිවලදීත් එසේ කරති. සැබවින්ම මම ඔබට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට සම්පූර්ණයෙන්ම ලැබී තිබේ.” (මතෙ. 6:2) ඉහත සඳහන් ‘දයාන්විත ලෙස කරන පරිත්‍යාග’ වූයේ අවශ්‍යතා ඇති අය සඳහා ලබා දුන් පරිත්‍යාගයි. (යෙසායා 58:6, 7 කියවන්න.) යේසුස් හා ඔහුගේ ගෝලයන්ද අරමුදලක් වෙන් කර තැබුවේ ඉහත කී අරමුණ සඳහායි. (යොහ. 12:5-8; 13:29) දිලිඳුන්ට යම් පරිත්‍යාග කිරීමේදී එදා කවුරුවත් හොරණෑවක් පිම්බේ නැහැ. නමුත් “හොරණෑවක් නොපිඹින්න” කියා පැවසීමෙන් යේසුස් අවධාරණය කළේ පරිත්‍යාග කරන විට පරිසිවරුන් මෙන් ඊට විශාල ප්‍රසිද්ධියක් ලබා දීම වැරදි බවයි. පරිසිවරුන් “සිනගෝගවලදීත් වීථිවලදීත්” පරිත්‍යාග කළ විට හොරණෑවක් නොපිම්ඹ බව ඇත්තයි. නමුත් ඔවුන් ඊට ඒ හා සමාන ප්‍රසිද්ධියක් ලබා දුන්නා. යේසුස් ඔවුන්ව කුහකයන් කියා හැඳින්වූයේ ඒ නිසයි. ඒ වගේම එම කුහකයන්ගේ “විපාකය ඔවුන්ට සම්පූර්ණයෙන් ලැබී තිබේ” කියාද යේසුස් පැවසුවා. එය ඔවුන්ට ලැබුණේ කෙසේද? රැස්ව සිටි මිනිසුන්ගේ ගෞරවය හා ප්‍රශංසාව ඔවුන්ට ලැබුණා. එමෙන්ම සිනගෝගයේ තිබූ ඉදිරිපෙළ ආසනවල රබ්බිවරුන් සමඟ හිඳගැනීමේ අවස්ථාවද ඔවුන්ට ලැබුණා. නමුත් ඔවුන්ට යෙහෝවා දෙවිගෙන් නම් කිසිම දෙයක් ලැබුණේ නැහැ. (මතෙ. 23:6) ඔවුන්ට වෙනස්ව තම අනුගාමිකයන් කටයුතු කළ යුතු ආකාරය ගැන යේසුස් මෙසේ පැවසුවා.

20 “නමුත් ඔබ දයාන්විත ලෙස පරිත්‍යාග කරන විට, ඔබේ දකුණත කරන දේ වමතට දැනගන්න ඉඩ නොතබන්න. එසේ කරන්නේ, ඔබ දයාන්විත ලෙස කරන පරිත්‍යාග රහසිගතව කරන පිණිසය. එවිට රහසින් බලා සිටින ඔබේ පියාණන් ඔබට විපාක දෙන්නේය.” (මතෙ. 6:3, 4) දකුණත කරන දේ වමත දැනගැනීමට ඉඩ නොදෙන්න කීමෙන් අදහස් කරන්නේ අප කරන පරිත්‍යාග අප කිට්ටුවෙන් ඇසුරු කරන අයටවත් පැවසීමෙන් වැළකීම අවශ්‍ය බවයි.

21. දෙවි ලබා දෙන ආශීර්වාද සමහරක් මොනවාද?

21 අප කරන ‘දයාන්විත පරිත්‍යාග’ රහසිගතව කරන ඒවා වීමට නම් අපි ඒ ගැන පුරාජේරු දෙඩීමෙන් වැළකිය යුතුයි. එවිට “රහසින් බලා සිටින” එනම් මිනිසුන්ට නොපෙනෙන තැනක් වන ස්වර්ගයේ සිටින අපගේ යෙහෝවා දෙවි අපට ආශීර්වාද කරයි. (යොහ. 1:18) එම ආශීර්වාද අතර ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වය, අපගේ පව්වලට සමාව හා සදාකාල ජීවනය සඳහන් කළ හැකියි. (හිතෝ. 3:32; යොහ. 17:3; එෆී. 1:7) ඇත්තෙන්ම එය මිනිසුන්ගෙන් ලැබිය හැකි ගෞරවය හා ප්‍රශංසාවට වඩා කොතරම් උතුම්ද!

අගනා වදන්

22, 23. යේසුස්ගේ වදන් අපි සිතට ගත යුත්තේ ඇයි?

22 යේසුස් කන්ද උඩ දේශනයේදී පැවසූ දේවල් මැණික්වලටත් වඩා අනර්ඝයි. අප වර්තමානයේ ජීවත් වන්නේ දුෂ්ට සමාජයක වුණත් අපට සන්තෝෂය අත් කරගැනීම සඳහා උපකාර කිරීමට යේසුස්ගේ වටිනා වදන්වලට හැකි බව ස්ථිරයි. ඔව්, අපි යේසුස්ගේ වදන් සිතට ගෙන ඒ අනුව අපගේ ආකල්ප වෙනස් කරගන්නවා නම් අපට සන්තෝෂවත් විය හැකියි.

23 යේසුස් විසින් කන්ද උඩ දේශනාවේ සඳහන් කළ දේවල් අපි ‘අසා පිළිපඳිනවා’ නම් අපිට ආශීර්වාද ලැබෙනවා. (මතෙව් 7:24, 25 කියවන්න.) ඒ නිසා අපි සියලුදෙනාම යේසුස්ගේ උපදෙස් සිතට ගනිමු. යේසුස් කන්ද උඩ දේශනාවේදී කළ තවත් ඉගැන්වීම් ඊළඟ ලිපියේදී අපි තවදුරටත් සාකච්ඡා කරමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• අප සමඟ අමනාප වී සිටින සෙසු ඇදහිලිවන්තයෙකු සමඟ සමාදාන වීම කොතරම් වැදගත්ද?

• අපගේ ‘ඇස’ නිසා බාධාවට පත් නොවී සිටීමට අපට හැක්කේ කෙසේද?

• දීමේ ස්වාභාවය සම්බන්ධයෙන් අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[11වන පිටුවේ පින්තූරය]

අමනාප වී සිටින සෙසු ඇදහිලිවන්තයෙකු සමඟ ‘සමාදාන වීමට’ පියවර ගැනීම කොතරම් යහපත් දෙයක්ද!

[12, 13වන පිටුවේ පින්තූර]

සතුටු සිතින් දීමට පුරුදු වී සිටින අයට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා