Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යොෂුවා 10:13 සහ ගණන් කථාව 21:14හි සඳහන් “යාෂාර්ගේ පොත” සහ “යෙහෝවාගේ යුද්ධ පොත” යන පොත් බයිබලයට ඇතුළත් වී නැහැ. ඊට හේතුව මෙම පොත් සොයාගැනීමට නොහැකි වීමද?

බයිබලයේ පොත් ලියූ ලේඛකයන් ඒවායෙහි වෙනත් ලියවිලි ගැනද සඳහන් කර තිබෙනවා. ඔවුන් එසේ සඳහන් කර ඇත්තේ අප දැන් භාවිත කරන බයිබලයේ ඇති පොත් ගැන විය හැකි වුවත් ඔවුන් ඒ සඳහා භාවිත කර ඇති නම් සහ අපි භාවිත කරන බයිබලයේ සඳහන් නම් අතර වෙනසක් තිබිය හැකියි. ඊට එක් උදාහරණයක් වන්නේ 1 ලේකම් 29:29 නව ලොව පරිවර්තනයෙහි සඳහන් ‘සාමුවෙල් නම් අනාගතවක්තෘගේ වාර්තාව,’ ‘නාතන් නම් අනාගතවක්තෘගේ වාර්තාව’ සහ ‘ගාද් නම් අනාගතවක්තෘගේ වාර්තාවයි.’ සමහරවිට මේ නම්වලින් සඳහන් කර ඇත්තේ බයිබලයේ ඇති 1 සහ 2 සාමුවෙල් හෝ විනිශ්චයකරුවෝ යන පොත් ගැන විය හැකියි.

අනෙක් අතට බයිබලය ලියූ සමහර ලේඛකයන් බයිබලයේ සඳහන් පොත්වල නම්වලට සමාන නම් ඇති පොත් ගැන සඳහන් කරනවා. නමුත් ඒවා බයිබලයේ ඇති පොත්වලට ඇතුළත්ව නැහැ. උදාහරණයට ‘යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති පොත,’ ‘යූදා සහ ඊශ්‍රායෙල් රජවරුන්ගේ තොරතුරු අඩංගු පොත,’ ‘ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති පොත’ හා ‘ඊශ්‍රායෙල්හි හා යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති පොත’ සඳහන් කළ හැකියි. මෙම පොත් බයිබලයේ ඇති රාජාවලිය යන නමට සමාන විය හැකියි. ඒ වුණත් ඒවා දෙවිගේ බලයේ මඟ පෙන්වීමට අනුව ලියූ ඒවා නොවෙයි. (1 රාජා. 14:29; 2 ලේක. 16:11; 20:34; 27:7NW) ඒවා යෙරෙමියා හා එස්රා යන අනාගතවක්තෘවරුන් තම පොත් ලියූ කාලයේ තිබූ ඉතිහාස සිදුවීම් ඇතුළත් පොත් විය හැකියි.

ඔව්, සමහර බයිබල් ලේඛකයන් තම පොත් ලියද්දී එවකට තිබූ එහෙත් දෙවිගේ බලයේ උපකාරයෙන් නොලියූ ඉතිහාස පොත් ගැන සඳහන් කළා. ඔවුන් එසේ කළේ එම තොරතුරු තමන් සොයාගත්තේ කොහෙන්ද කියා පැවසීමටයි. උදාහරණයකට, එස්තර් 10:2හි [NW] ‘මේදියාවේ සහ පර්සියාවේ රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති පොත’ ගැන සඳහන් කරනවා. එමෙන්ම ලූක් තම සුවිශේෂය ලියන්න පෙර “සියල්ල මුල පටන් නිවැරදිව සොයා” බැලූ බව සඳහන් කරනවා. ඔහු ඉන් අදහස් කරන්න ඇත්තේ යේසුස්ගේ පෙළපත ගැන ලියන්න පෙර ඒ ගැන සඳහන්ව තිබූ වෙනත් ලියවිලි සෝදිසි කළ බවයි. (ලූක් 1:3; 3:23-38) ලූක් සෝදිසි කළ ලියවිලි දෙවිගේ බලයේ උපකාරයෙන් ලියැවුණු ඒවා නොවුණත් ඔහු ලියූ සුවිශේෂය දෙවිගේ බලයේ උපකාරයෙන් ලියූ එකක්. ඒ වගේම එය දැන් අපට කියවන්නත් හැකියාව තිබෙනවා.

මෙම ලිපියේ මුල් ප්‍රශ්නයේ සඳහන් පොත් වන “යාෂාර්ගේ පොත” සහ “යෙහෝවාගේ යුද්ධ පොත” දෙවිගේ බලයේ උපකාරයෙන් ලියූ ඒවා නොවෙයි. එමනිසා යෙහෝවා දෙවි එම පොත් ආරක්ෂා කරන්න පියවර ගත්තේ නැහැ. විශාරදයන් පවසන්නේ එම පොත් දෙක තුළ ඊශ්‍රායෙල්වරුන් වෙනත් ජාතීන් සමඟ කළ යුද්ධ ගැන ලියැවුණු කවි හා ගීතිකා අඩංගු බවයි. (2 සාමු. 1:17-27) එක් බයිබල් විශ්වකෝෂයක එම පොත් දෙක තුළ තිබෙන්න ඇති දේ ගැන පවසන්නේ මෙසේයි. ‘ඉපැරණි ඊශ්‍රායෙල් කාලයේ සිටි දක්ෂ ගායකයන් විසින් සමහර සිද්ධීන් ගැන ගායනා කරන ලද ගීත එහි අඩංගුව තිබෙන්න ඇති.’ දෙවි, අනාගතවක්තෘන් හැටියට තෝරාගත් සමහර සේවකයන් විවිධ වාර්තා ලියා තබා ගත්තා. නමුත් දෙවි ඒවා ශුද්ධ ලියවිල්ලට ඇතුළත් කර අපට ‘ඉගැන්වීමටවත්, අවවාද කිරීමටවත්, කාරණා හරිගැස්වීමටවත්,’ යොදා ගත්තේ නැහැ.—2 තිමෝ. 3:16; 2 ලේක. 9:29; 12:15; 13:22.

සමහර පොත් හෝ ලියවිලි ගැන බයිබලයේ සඳහන් කර තිබීම නිසා හෝ ඒවා බයිබලය ලියූ ලේඛකයන් ප්‍රයෝජනයට ගත් නිසා හෝ අප එම පොත් හෝ වාර්තා දෙවිගේ බලයෙන් ලියූ ඒවා කියා නොසිතිය යුතුයි. කෙසේවෙතත් දෙවි තම බලය මාර්ගයෙන් ලියූ ඔහුගේ ‘වචනය සදහටම පවතින’ ලෙස ආරක්ෂා කර තිබෙනවා. (යෙසා. 40:8) ඔව්, අපට “පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව” සිටින්න හැකියාව ලැබෙන්නේ දෙවි බයිබලයට ඇතුළත් කිරීමට තෝරාගත් පොත් 66 තුළින් පමණයි.—2 තිමෝ. 3:16, 17.