Skip to content

පටුනට යන්න

‘යෙහෝවා දෙවිගේ දූතයා ඔවුන් වටා කඳවුරු බඳියි’

‘යෙහෝවා දෙවිගේ දූතයා ඔවුන් වටා කඳවුරු බඳියි’

‘යෙහෝවා දෙවිගේ දූතයා ඔවුන් වටා කඳවුරු බඳියි’

ක්‍රිස්ටබෙල් කොනල්

ක්‍රිස්ටෆර් අහපු බයිබල් ප්‍රශ්නවලට උත්තර දෙන්න අපි කොයි තරම් උනන්දු වුණාද කිව්වොත් රෑ වෙන කල් දන්නේ නැහැ. ඒ වගේම ක්‍රිස්ටෆර් ජනේලයෙන් එළියේ සිද්ධ වෙන දෙයක් ගැන සෝදිසියෙන් සිටියා කියලාවත් අපිට දැනුණේ නැහැ. අන්තිමට ඔහු අපිට මෙහෙම කිව්වා, “දැන් ඔයාලට කරදරයක් නැතුව ගෙදර යන්න පුළුවන්.” ඊට පස්සේ එයා අපිව බයිසිකල් දෙක ගාවට ඇරලවලා සුබ රාත්‍රියක් කියලා කිව්වා. අපේ සාකච්ඡාව වෙලාවේ ක්‍රිස්ටෆර් සැරින් සැරේ ජනේලයෙන් එළිය බැලුවේ ඇයි කියලා ඔයාලා දන්නවාද?

මම ඉපදුණේ 1927 එංගලන්තයේ ෂෙෆීල්ඩ්වලයි. දෙවන ලෝක යුද්ධය නිසා අපේ ගේ විනාශ වුණා. ඒ නිසා මගේ පාසැල් අධ්‍යාපනය අවසන් වන තෙක් මාව අච්චිලාගේ ගෙදර යැව්වා. මම ඉගෙනගත්තේ ඒ පැත්තේ තිබුණු කන්‍යාරාමයකයි. ලෝකයේ මෙතරම් දුෂ්ටකම් හා අපරාධ තියෙන්නේ ඇයි කියලා මම එහි සිටි කන්‍යා සොහොයුරියන්ගෙන් ඇහැව්වා. නමුත් ඔවුන්ගෙන්වත් වෙන කෙනෙකුගෙන්වත් මට ඒකට පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ.

දෙවන ලෝක මහා යුද්ධය අවසන් වුණාට පස්සේ මම හෙදියක් වෙන්න පුහුණුව ලැබුවා. ඊට පස්සේ මම ලන්ඩන්වල පැඩිංටන් රෝහලේ සේවය කරන්න පටන්ගත්තා. මගේ අයියා කොරියානු යුද්ධයට සහභාගි වුණෙත් මේ කාලයේමයි. මෙහෙ හැම තැනකම ගොඩාක් අපරාධ සිද්ධ වෙනවා මම දැක්කා. දවසක් ඉස්පිරිතාලෙන් එළියේ කට්ටියක් එක්කෙනෙකුට වට කරගෙන ගැහැව්වා. එයාව බේරගන්න කව්රුවත් හිටියේ නැහැ. ඒ අය ගහපු පහරකින් එයාගේ ඇස් දෙකට ගොඩාක් හානි වුණා. මේ කාලේම වගේ තමයි මගේ අම්මා මාව මන්තර ගුරුකම් කරන තැනකට එක්කගෙන ගියේ. හැබැයි මට මේ කිසිම තැනකින්වත් මෙච්චර අපරාධ හා දුෂ්ටකම් තියෙන්නේ ඇයි කියන මගේ ප්‍රශ්නයට උත්තර ලැබුණේ නැහැ.

බයිබලය පාඩම් කරන්න මට ලැබුණු දිරිගැන්වීම

මගේ වැඩිමල්ම අයියා ජෝන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. එයා අපිව බලන්න ආපු දවසක මගෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇහැව්වා. “ඔයා දන්නවාද ලෝකයේ මේ තරම් නරක දේවල් සිද්ධ වෙන්නේ ඇයි කියලා.” මම කිව්වා “නැහැ” කියලා. එතකොට එයා එයාගේ බයිබලයේ එළිදරව් 12:7-12 පෙරළලා කියෙව්වා. ඊට පස්සේ තමයි මට තේරුණේ මේ තරම් නපුරු දේවල්වලට වගකියන්න ඕන ප්‍රධානම තැනැත්තා සාතන් කියන එක. පස්සේ මම බයිබල් පාඩමක් කරන්න පටන්ගත්තා. ඒ වුණත් මිනිසුන්ට තියෙන බය නිසා බව්තීස්ම වෙන එක කල් දැම්මා.—හිතෝ. 29:25.

මගේ අක්කා දොර්ති ඒ වෙනකොටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. එයයි එයා විවාහ වෙන්න හිටිය බිල් රොබට් කියන සහෝදරයයි නිව් යෝක් නගරයේ ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වෙලා එමින් ගමන් අපේ ගෙදර ආවා. මමත් බයිබලය පාඩම් කරනවා කියලා ඒගොල්ලන්ට කිව්වා. එතකොට බිල් මගෙන් මෙහෙම ඇහැව්වා. “ඔයා ඒ බයිබල් පද සේරම බැලුවාද? ඔයා පාඩම් කරන පොතේ උත්තරවලට ඉරි ගැහුවාද?” මම නැහැයි කියලා කිව්වාම එයා මෙහෙම කිව්වා. “එහෙනම් ඔයා හරියට පාඩම කරලා නැහැ! ඒ සහෝදරියට ආයේ එන්න කියලා පාඩම පටන්ගන්න.” මේ කාලේදීම තමයි මට භූත බලපෑම් ඇති වෙන්න පටන්ගත්තේ. ඒ වගේ අවස්ථාවල මම යෙහෝවා දෙවිගේ උපකාරය ඉල්ලලා යාච්ඤා කරපු විදිහ මට තාම මතකයි.

ස්කොට්ලන්තයේ හා අයර්ලන්තයේ පුරෝගාමි සේවය

මම 1954 ජනවාරි 16වෙනිදා බව්තීස්ම වුණා. ඊට පස්සේ මැයි මාසයේ මගේ හෙද සේවය අවසන් කර ඊළඟ මාසයේ පුරෝගාමි සේවය පටන්ගත්තා. ඊට මාස අටකට පස්සේ මට ස්කොට්ලන්තයේ ග්‍රැන්ගිමවුත්වලට විශේෂ පුරෝගාමියෙක් ලෙස පැවරුමක් ලැබුණා. එහි මම තනියම කළ සේවයේදී දේවදූතයන්ගේ ආරක්ෂාව තියෙන බව මට දැනුණා.—ගීතා. 34:7.

වර්ෂ 1956දී මටත් තවත් සහෝදරියන් දෙදෙනෙකුටත් අයර්ලන්තයේ ගැල්වේ කියන නගරයේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. මම එහේ ගිය පළමු දවසේම දේශනා කළේ කතෝලික පූජකයෙකුටයි. ඊට ටික වෙලාවකට පස්සේ පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා මාවයි, අනෙක් සහෝදරියවයි පොලිසියට අරන් ගියා. ඔහු අපේ නම් ගම් ලියා ගත්තාට පස්සේ ඉක්මනින්ම දුරකථන ඇමතුමක් අරගෙන මෙහෙම කියනවා අපිට ඇහුණා. “හරි ෆාදර්, මම දන්නවා එයාලා ඉන්න තැන.” ඔහුව එවලා තිබුණේ අපි දේශනා කරපු පූජකයයි. ඊට පස්සේ අපිව ගෙදරින් යවන්න කියලා ගෙදර අයිතිකරුට ගොඩාක් බලපෑම් එල්ල වුණා. මේනිසා ඒ ප්‍රදේශයෙන් පිට වෙලා යන්න කියලා අපිට ශාඛා කාර්යාලයෙනුත් කිව්වා. ඉතින් අපි බඩුත් අරගෙන දුම්රියපොළට එද්දී විනාඩි දහයක්ම පරක්කු වෙලා. ඒ වෙනකොටත් කෝච්චිය පිටත් වෙලා තිබුණේ නැහැ. අපි ගියාද කියලා බලන්න එක මනුස්සයෙක් එතනට ඇවිල්ලා හිටියා. කොහොමවුණත් අපිට ගැල්වේවල සේවය කරන්න ලැබුණේ සති තුනක් විතරයි.

අපිට ඊළඟ පැවරුම ලැබුණේ ලිම්එරික්වලටයි. එහි හිටපු හැමෝම වගේ වැඩ කෙරුවේ පල්ලියේ පූජකයා කියන විදිහටයි. ඒ නිසා ගොඩාක් මිනිස්සු අපිට බැණලා එලෙව්වා. මීට අවුරුද්දකට කලින් ක්ලූන්ලාරා නගරයේ සේවය කරපු සහෝදරයෙකුට හොඳටම ගහලත් තිබුණා. ඒ නිසා ගොඩාක් මිනිස්සු අපිට ඇහුම්කන් දෙන්න බය වුණා. ඒ වුණත් කලින් සඳහන් කරපු ක්‍රිස්ටෆර්ව හමු වුණු එක ගැන අපි සතුටු වුණා. අපි නැවත ඔහුව හමු වෙන්න ගිය දවසේ පල්ලියේ පූජකයා ඇවිල්ලා අපිට යන්න කියන්න කියලා ක්‍රිස්ටෆර්ට කිව්වා. එතකොට ක්‍රිස්ටෆර් ඒ පූජකයට මෙහෙම කිව්වා. “මේ දෙන්නට එන්න කිව්වේ මමයි. අනික ඒ ගොල්ලො ඇතුළට එද්දී දොරට තට්ටු කරලයි ආවේ. හැබැයි මම ඔයාට එන්න කිව්වේත් නැහැ. අනික ඔයා ආවේ තට්ටු කරලත් නෙවෙයිනේ.” එතකොට පූජකයා කේන්තියෙන් යන්න ගියා.

එදා ඔහු ක්‍රිස්ටෆර්ගේ ගේ කිට්ටුව විශාල පිරිසක් එක්ක අපි එනකන් රැකගෙන ඉඳලා තියෙනවා. අපි ඒක දැනගෙන හිටියේ නැහැ. මම ඔයාලට මුලින්ම කියපු විදිහට ක්‍රිස්ටෆර් අපිව රෑ වෙනකම් ගෙදර තියාගත්තේ ඒ නිසයි. පසුව ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් ඒ ප්‍රදේශයෙන් පිට වෙන්න කියලා බල කරපු නිසා ඔවුන් එංගලන්තයට ගියා කියලා අපිට ආරංචි වුණා.

ගිලියද් පාසැල සඳහා ලැබුණු ආරධනාව

වර්ෂ 1958 නිව් යෝර්ක් නගරයේ පවත්වපු දිව්‍ය කැමැත්ත ජාත්‍යන්තර සමුළුවට සහභාගි වෙන්න සැලසුම් කරමින් ඉන්න අතරතුරේදී මට 33වන ගිලියද් පාසැලට සහභාගි වෙන්න ආරාධනාවක් ලැබුණා. ඒ සමුළුවට සහභාගි වුණාට පස්සේ 1959දී ගිලියද් පාසැල පටන්ගන්න කල් මම කැනඩාවේ ඔන්ටාරියෝහි කොලින්වුඩ්වල සේවය කළා. මට එරික් කොනල් කියන සහෝදරයාව හමු වුණේ ඒ සමුළුවේදීයි. ඔහු සත්‍යය ඉගෙනගෙන තිබුණේ 1957දීයි. ඒ වගේම ඊළඟ අවුරුද්දේ ඔහු පුරෝගාමී සේවය පටන් අරගෙන තිබුණා. මම කැනඩාවේ මෙන්ම ගිලියද් පාසැලට සහභාගි වෙමින් සිටි කාලය පුරාත් එරික් මට දවසගානෙම ලියුම් එව්වා. ඒ වුණත් ගිලියද් පාසැලෙන් පසුව අපි දෙන්නා මොනවද කරන්නේ කියලා මම කල්පනා කෙරුවා.

ඇත්තටම ගිලියද් පාසැල මගේ ජීවිතයේ අමතක නොවන අවස්ථාවක්. මමත් මගේ අක්කා දොර්තිත් එයාගේ මහත්තයත් සහභාගි වුණේ එකම ගිලියද් පාසැලටයි. ඒ දෙන්නාට පැවරුම් ලැබුණේ පෘතුගාලයටයි. නමුත් මාව පුදුමයට පත් කරවමින් මට නැවතත් පැවරුම ලැබුණේ අයර්ලන්තයටයි. මගේ අක්කත් එක්ක එකට සේවය කරන්න බැරි වෙන එක ගැන එදා මට ගොඩක් දුක හිතුණා. ඇයි මාව ආයෙත් අයර්ලන්තයටම යවන්නේ, මගේ අතින් මොකක්හරි වැරැද්දක් වුණාද කියලා මම ගිලියද් උපදේශකයෙකුගෙන් ඇහුවා. එතකොට ඒ සහෝදරයා මෙහෙම කිව්වා. “නැහැ, ඔයයි ඔයාගේ සහයක සහෝදරී අයිලීන් මාහෝනියි ලෝකයේ ඕනෑම තැනකට යන්න කැමති වුණානේ.” ඇත්ත තමයි, ඒකට ඉතින් අයර්ලන්තයත් අයිතියිනේ.

නැවත අයර්ලන්තයට

මම නැවතත් 1959 අගෝස්තු මාසයේදී අයර්ලන්තයට ආවාට පස්සේ සේවය කරන්න ලැබුණේ ඩුන්ලාඕඝායිරෙ සභාව සමඟයි. මේ අතර එරික් නැවතත් එංගලන්තයට ආවා. එයා හිටියේ මට වැඩි ඈතකින් නොවුණු නිසා ඒ ගැන එයා සතුටු වුණා. මිෂනාරිවරයෙක් වෙන්න එයාටත් ආශාවක් තිබුණා. ඒ කාලේ අයර්ලන්තයට මිෂනාරිවරුන්ව යවන නිසා ඔහුත් එහේ ඇවිල්ලා සේවය කරන්න කැමති වුණා. ඊට පස්සේ 1961දී අපි විවාහ වුණා.

නමුත් ඊට මාස හයකට පසු එරික් යතුරු පැදියේ යද්දී බරපතළ අනතුරකට ගොදුරු වුණා. එයින් ඔහුගේ හිස් කබල පිපිරී ඇති බව වෛද්‍යවරු පැවසුවා විතරක් නෙමෙයි, එයාගේ ජීවිතය පවා විශ්වාස නැති බව පැවසුවා. සති තුනක් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහුව ගෙදර එක්කගෙන ඇවිත් ඔහුට සුව වෙන තෙක් මාස පහක් පුරා සාත්තු කළා. ඒ කාලයේදීත් මගේ උපරිමයෙන්ම මම දේව සේවයේ හවුල් වුණා.

වර්ෂ 1965දී අපිට ප්‍රචාරකයන් අටදෙනෙක් ඉන්න ස්ලිගෝ සභාවට පැවරුමක් ලැබුණා. එය තිබුණේ වයඹදිග වෙරළ තීරයේ වරායක් අසලයි. ඊට අවුරුදු තුනකට පසු අපි ලන්ඩන්ඩෙරී කියන කුඩා සභාව සමඟ සේවය කළා. දවසක් අපි සේවයේ ගිහිල්ලා එද්දී අපේ ගේ කිට්ටුව පාර හරස් කරලා කම්බි වැටක් ගහලා තිබුණා. උතුරු අයර්ලන්තයේ කලබල පටන්ගත්තේ ඒ කාලේ තමයි. තරුණ කල්ලි කෝලහල කරමින් වාහනවලට ගිනි තිබ්බා. ඒ වෙද්දී නගරය ප්‍රෝතෙස්තන්ත හා කතෝලික කියලා කොටස් දෙකකට බෙදිලා තිබුණා. ඒ නිසා පාරේ යන එක හරිම භයානක දෙයක් වුණා.

දුෂ්කර කාලයක් තුළ දේශනා කිරීම

දේශනා කරන්න අපිට බොහෝ තැන්වලට යන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවලදී අපි දේවදූතයන්ගේ රැකවරණය අද්දැක්කා. අපි දේශනා කරන ප්‍රදේශවල කලබල පටන්ගත්ත ගමන් අපි එතනින් ඉවත් වුණා. තත්වය නැවතත් යහපත් වුණාම අපි ආයෙත් එහෙ සේවය කළා. දවසක් අපේ ගෙවල් ළඟම ඒ වගේ කෝලහලයක් පටන්ගත්තා. ඒ නිසා ළඟ තිබුණු තීන්ත ගබඩාවක් ගිනි අරගෙන එහි සමහර කෑලි අපේ ජනේලයටත් වැදුණා. අපි හිටපු ගේත් ගිනි ඇවිළෙයි කියලා බය හිතුණ නිසා අපිට රෑ නින්ද ගියෙත් නැහැ. ඉන් ටික කාලයකට පස්සේ අපි 1970දී බෙල්ෆාස්ට්වලට ගියා. එතකොට අපිට දැනගන්න ලැබුණා අර තීන්ත ගබඩාවට තියපු ප්‍රෙට්‍රෝල් බෝම්බයක් නිසා අපි හිටපු ගේත් විනාශ වුණා කියලා.

තවත් දවසක මමයි සහෝදරියෙකුයි සේවයේ යද්දී නිවසක ජනේලයක් ළඟ ටිකක් අමුතු පයිප්පයක් තියෙනවා දැක්කා. අපි එතැනින් ගිහිල්ලා විනාඩි කිහිපයකින් ඒක පිපිරුණා. ඒ පැත්තේ අය හිතුවේ බෝම්බෙ තිබ්බේ අපි කියලයි. ඒ වුණත් අපේ සහෝදරියකගේ ගෙයක් ඒ ළඟ පාත තිබුණු නිසා ඇය අපිට එන්න කියලා ගෙට ගත්තා. ඒ නිසා බෝම්බෙ තිබ්බේ අපි නෙවෙයි කියලා ඒ මිනිස්සු තේරුම්ගත්තා.

අපි 1971දී සහෝදරියක්ව බලන්න ආයෙත් ලන්ඩන්ඩේරීවලට ගියා. අපි ආපු පාරේ තිබුණ මාර්ග බාධක ගැන එයාට කිව්වාහම එයා මෙහෙම ඇහැව්වා. “ඒවල කවුරුවත් හිටියේ නැද්ද?” එතකොට අපි කිව්වා “කට්ටිය හිටියා. අපෙන් නම් මුකුත් ඇහැව්වේ නැහැ” කියලා. ඒ ගැන ඇය පුදුම වුණා. ඒ මීට දවස් කිහිපයකට උඩදී දොස්තර කෙනෙකුගෙයි පොලිස් නිලධාරියෙකුගෙයි කාර් බලහත්කාරයෙන් අරගෙන ඒවාට ගිනි තියෙලා තිබුණු නිසයි.

නැවතත් 1972දී අපි කෝක්වලට ගියා. ඊට පස්සේ නාස්වලත් ආක්ලෝවලත් අපි සේවය කළා. අන්තිමට 1987දී අපි දැන් ඉන්න කැස්ල්බාවලට පැවරුමක් ලැබුණා. මෙහෙ රාජ්‍ය ශාලාවක් ගොඩනඟන්න උපකාර කිරීමට ලැබීම ගැන අපිට ගොඩක් සතුටුයි. එරික් 1999දී අයෙත් බරපතළ ලෙස අසනීප වුණා. ඒ වුණත් යෙහෝවා දෙවිගේ සහ ප්‍රේමණීය සහෝදරයන්ගේ උපකාරය ඇතුව ඔහුගේ තත්වය යහපත් අතට ගැනීමට මට හැකි වුණා.

එරික්ටයි මටයි පුරෝගාමි පාසැලට දෙපාරක් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. එරික් තවමත් වැඩිමහල්ලෙක් හැටියට සේවය කරනවා. මගේ සෞඛ්‍යයත් දැන් ගොඩක් දුර්වලයි. මම ආතරයිටීස් රෝගයෙන් බරපතළ ලෙස පීඩා විඳිනවා. ඒ නිසා මගේ උකුල් ඇට දෙකයි දණ හිස් දෙකයි බද්ධ කරන්න සිදු වුණා. මම සේවය කරපු කාලය පුරා ආගමික විරුද්ධවාදීන්ගේ දැඩි පීඩාවලට මුහුණ දුන්නත් දේශපාලනික කැලඹිලි සහිත කාලවල ජීවත් වුණත් මම මුහුණ පෑ බරපතළම අභියෝගය වුණේ වාහන පැදවීම නතර කිරීමට සිදු වීමයි. කොහේ යන්න වුණත් කාගේ හරි උපකාරය ඉල්ලන්න වෙන එක මට ලොකු අභියෝගයක්. ඒ වුණත් සභාවේ සහෝදරයන් මට ගොඩාක් උදව් කළා. දැන් මම එහාට මෙහාට යන්නේ හැරමිටියකිනුයි. ඒ වගේම ටිකක් දුර බැහැර යන්න බැටරිවලින් ක්‍රියාකරන, රෝද තුනේ පොඩි වාහනයක් මට දැන් තියෙනවා.

අපි දෙන්නම එකතු වෙලා අවුරුදු 100කට වැඩි කාලයක් විශේෂ පුරෝගාමී සේවය කරලා තියෙනවා. ඒකෙන් අවුරුදු 98ක්ම ගත වුණේ අයර්ලන්තයේයි. අපි කරපු සේවය දැන් ඇති කියලා අපිට කොහොමටවත් හිතෙන්නේ නැහැ. දෙවි අපි වෙනුවෙන් ආශ්චර්යයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණත් යෙහෝවා දෙවි තම දූතයන් මගින් ඔහු කෙරෙහි ගරුබිය දක්වන, ඔහුට විශ්වාසවන්තව සේවය කරන අය වටා “කඳවුරු බැඳ” ඔවුන්ව ආරක්ෂා කරන බව අපිට හොඳටම විශ්වාසයි.