Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිව කිසිදා අමතක කරන්න එපා!

යෙහෝවා දෙවිව කිසිදා අමතක කරන්න එපා!

යෙහෝවා දෙවිව කිසිදා අමතක කරන්න එපා!

යොර්දාන් ගඟ ළඟ සිටින ඊශ්‍රායෙල්වරුන්ගෙන් සමහරුන්, මේ අද්දැකීමට කලින්ද මුහුණ දී තිබෙනවා. බොහෝදෙනෙකුට නම් එය අලුත්ම අද්දැකීමක්! තම පාද තෙමෙන්නේ නැතුව ගං පතුල හරහා ඔවුන්ගේ ගමන් කරන පළමු අවස්ථාව මෙයයි. එය සිදු වූයේ මෙසේයි. යෙහෝවා දෙවි යොර්දාන් ගඟේ වතුර ගලා බැසීම එකවර නතර කළා. ඒ නිසා මිලියන ගණනක්දෙනා ගං පතුල දිගේ එහා ඉවුරට ගමන් කළා. මෙම සිදුවීමට වසර 40කට පෙර ඔවුන් රතු මුහුද හරහා ගමන් කරද්දී සිතුණාක් මෙන් මේ අවස්ථාවේදීත් ඔවුන්ට මෙසේ සිතෙන්න ඇති. ‘යෙහෝවා දෙවි කළ මේ දේ නම් මම කවදාවත් අමතක කරන්නේ නැහැ.’—යොෂු. 3:13-17.

නමුත් ‘වැඩි කල් නොගොස් ඔහු කළ සෑම දෙයක්ම ඔවුන් අමතක කරන’ බව දෙවි දැන සිටියා. (ගීතා. 106:13, නව ලොව පරිවර්තනය, NW) ඒ නිසා දෙවි යොෂුවාට පැවසුවේ ගං පතුලෙන් ගල් 12ක් රැගෙන ඔවුන් මුලින්ම කූඩාරම් ගසන ස්ථානයේ එය සිහිවීම පිණිස තබන්න කියායි. එසේ කිරීමෙන් පසු යොෂුවා මෙසේ පැවසුවා. ‘මේ ගල් මෙතැන ගොඩගසා තිබෙන්නේ ඊශ්‍රායෙල්වරුන්ට මේ සිද්ධිය සදහටම මතක් වීම සඳහායි.’ (යොෂු. 4:1-8NW) දෙවිගේ බලවත් ක්‍රියා මෙන්ම ඔවුන් ඔහුට විශ්වාසවන්තව සේවය කළ යුතු වීමට හේතුව එම ගල් මගින් ඊශ්‍රායෙල්වරුන්ට මතක් කර දුන්නා.

එම සිද්ධියෙන් අපට ඉගෙනගත හැකි වැදගත් පාඩම කුමක්ද? අපත් දෙවිගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා අමතක නොකර ඔහුට විශ්වාසවන්තව සේවය කළ යුතු බවයි. එමෙන්ම දෙවි ඔවුන්ට දුන් අනතුරු ඇඟවීම්වලින්ද අපට ඉගෙනගන්න දේවල් තිබෙනවා. උදාහරණයකට මෝසෙස්ගේ මේ වචන සලකා බලන්න. “ඔබට ඒ දේවල් ලැබුණු පසු ඔබ යෙහෝවා දෙවිව අමතක කර මම ඔබට කියා දෙන දෙවිගේ අණ පනත් කඩ කරන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ නිතරම කල්පනාකාරී විය යුතුයි.” (ද්වි. 8:11NW) ඔව්, ඉන් පැහැදිලි වන්නේ දෙවිව අමතක කිරීම ඔහුට අකීකරු වීමට මඟ පාදන බවයි. එය අපටත් සිදු විය හැකියි. ඒ ගැන පාවුල් පැවසුවේ ඊශ්‍රායෙල්වරුන් කළාක්මෙන් “ඒ අකීකරුකමේ ආදර්ශයට අනුව” නොයන්න කියායි.—හෙබ්‍රෙ. 4:8-11.

අපත් යෙහෝවා දෙවිව අමතක නොකළ යුතු හේතුව අවධාරණය කරන සිද්ධීන් කිහිපයක් සලකා බලමු. එමෙන්ම දෙවිට විශ්වාසවන්තව සේවය කළ ඊශ්‍රායෙල්වරුන් දෙදෙනෙකුගේ ආදර්ශයත් ඒ මගින් විඳදරාගැනීමෙන් හා දෙවි කෙරෙහි අගය කිරීමකින් යුතුව ඔහුට සේවය කළ හැකි ආකාරයත් අපි සලකා බලමු.

දෙවිව අමතක නොකළ යුතු හේතු

ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තු වහල්භාවයේ සිටි කාලය මුළුල්ලේම දෙවි නම් ඔවුන්ව අමතක කළේ නැහැ. ඔහු “ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් සමඟ කළ ගිවිසුම සිහි” කර ඔවුන්ව වහල්භාවයෙන් මුදවාගැනීමට කටයුතු කළා. (නික්. 2:23, 24NW) ඇත්තෙන්ම එය සදාකල් මතකයේ රැඳෙන සිදුවීමක්.

එදා යෙහෝවා දෙවි ඊජිප්තුවරුන්ට පීඩා නවයකින් පහර දුන්නා. ඒවා නවත්වන්න පාරාවෝගේ මන්තරකරුවන්ගේ බලය කොහෙත්ම ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ වුණත් පාරාවෝ දෙවිගේ සෙනඟට යන්න දුන්නේ නැහැ. (නික්. 7:14–10:29) කෙසේවෙතත් දහවෙනි පීඩාවට පසු දෙවිගේ හඬට කීකරු වෙන්න උඩඟු පාරාවෝට සිදු වුණා. (නික්. 11:1-10; 12:12) මෙසේ මෝසෙස්ගේ නායකත්වය යටතේ ඊශ්‍රායෙල්වරුන් හා වෙනත් ජාතීන්ගෙන් විශාල පිරිසක් ඊජිප්තුවෙන් පිට වුණා. සමහරවිට එම සංඛ්‍යාව 30,00,000ක් පමණ වූවා විය හැකියි. (නික්. 12:37, 38) ඔවුන් වැඩි දුරක් යන්න කලින් පාරාවෝ තම අදහස වෙනස් කරගෙන යුධ රථ සමඟින් තමා නිදහස් කළ සෙනඟව නැවත අල්ලාගෙන ඒමට පිටත් වුණා. එවිට සෙනඟවත් රැගෙන රතු මුහුද අසල තිබෙන පීහහිරොත් නමැති ස්ථානයට යන්න කියා දෙවි, මෝසෙස්ට අණ කළා. ඔවුන් එසේ කළත් ඉන් එහාට යන්න ඔවුන්ට තැනැක් තිබුණේ නැහැ. දැන් ඔවුන් කොටුවෙලයි ඉන්නේ.—නික්. 14:1-9.

එවිට ඔවුන්ව ලුහුබඳිමින් සිටි පාරාවෝ සිතුවේ ඔවුන් තමාගේ අතටම අසුවී ඇති බවයි. ඔහුගේ හමුදාව ඊශ්‍රායෙල්වරුන් කිට්ටුවටම පැමිණියා. එවිට යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරු හා ඊජිප්තුවරු අතර වලා ටැඹක් හා ගිනි ජාලාවක් තැබුවා. පසුව දෙවි රතු මුහුද දෙකට බෙදුවා. ඒ නිසා මුහුද මැද වියළි මාර්ගයක් ඇති වී ඒ මාර්ගය දෙපස ජලය මීටර් 15ක් පමණ උසට තාප්පයක් මෙන් පිහිටා තිබුණා. එවිට සෙනඟ ඒ මාර්ගය මැදින් එගොඩට ගමන් කළා. ඉක්මනින්ම එතැනට ළඟා වූ ඊජිප්තු හමුදාවට, එගොඩට ගමන් කරන සෙනඟව දැකගන්න ලැබුණා.—නික්. 13:21; 14:10-22.

ඥානවන්ත පාලකයෙක් කිසිදා නොගන්නා ඉතා මෝඩ තීරණයක් පාරාවෝ ගත්තා. තම හැකියාව ගැන ඕනෑවට වඩා සිතූ ඔහු, ඊශ්‍රායෙල්වරුන්ව අල්ලාගන්න තම යුධ රථ සමඟින් මුහුද හරහා ඇති මාර්ගයේ වේගයෙන් ඉදිරියට ඇදුණා. ඒ වුණත් ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ට ළං වෙන්න කලින් ඔවුන් ආ එම මෝඩ ගමන අතර මඟ නතර වුණා. යෙහෝවා දෙවි එම රථවල රෝද ගැලවෙන්න සැලැස්වූ නිසා ඔවුන්ට තවත් ඉදිරියට යෑමට නොහැකි වුණා.—නික්. 14:23-25; 15:9.

ඊජිප්තුවරුන් විශාල අමාරුවක වැටී සිටියත් ඊශ්‍රායෙල්වරුන් සියලුදෙනාම ආරක්ෂිතව මුහුදේ අනික් පැත්තට ගමන් කළා. පසුව මෝසෙස් තම අත රතු මුහුද දෙසට දිගු කළා. ඒ සමඟම මෙතෙක් වෙලා තාප්ප දෙකක් සේ පිහිටි ඒ දැවැන්ත ජල කඳ යෙහෝවා දෙවි මුදා හැරියා. එවිට ඊජිප්තු සෙබළුන් සියලුදෙනාම ජලයේ ගිලී මිය ගියා. නමුත් ඊශ්‍රායෙල්වරුන් සම්පූර්ණ නිදහසක් ලැබුවා.—නික්. 14:26-28; ගීතා. 136:13-15.

එම සිද්ධිය අසල්වැසි ජාතීන්ට ආරංචි වූ අතර බොහෝ කාලයක් යන තුරුම එය ඔවුන්ව බියෙන් විමතියට පත් කළා. (නික්. 15:14-16) ඊට අවුරුදු 40කට පසුවත් යෙරිකෝවේ සිටි රාහබ්, ඊශ්‍රායෙල්වරුන් දෙදෙනාට කී මේ දෙයින් එය පැහැදිලියි. “දේශයේ කිසි වැසියෙකුට ඔබට විරුද්ධව නැඟී සිටින්න තරම් ධෛර්යයක් නැහැ. ඔබ ඊජිප්තු දේශයෙන් පිටත්ව එද්දී යෙහෝවා දෙවි ඔබ ඉදිරියේ රතු මුහුදේ ජලය වියළෙන්න සැලැස්වූ හැටි අපිට ආරංචි වුණා.” (යොෂු. 2:9, 10NW) දෙවි ඔහුගේ සෙනඟව ගලවාගත් ආකාරය අවට සිටි බොරු දෙවිවරුන්ට නමස්කාර කළ අයට හොඳට මතක තිබුණා. එසේ නම් ඊශ්‍රායෙල්වරුන් එය ඊටත් වඩා හොඳින් මතක තබාගත යුතුව තිබුණා නොවේද?

‘තම ඇසේ කලු ඉංගිරියාව මෙන් ඔවුන්ව ආරක්ෂා කරමින්’

රතු මුහුදෙන් එගොඩ වූ ඊශ්‍රායෙල්වරුන් ඊළඟට පැමිණියේ ‘ඉතා භයානක පාළුකරයක්’ වන සීනයි කාන්තාරයටයි. එය ‘බොන්න වතුරවත්’ කන්න කෑමවත් නැති ප්‍රදේශයක්. නමුත් ඔවුන්ට අවශ්‍ය දේවල් ලබා දීම දෙවිට ප්‍රශ්නයක් වුණේ නැහැ. දෙවි තමන්ව එහිදී රැකබලා ගත් ආකාරය ගැන පසු කාලයකදී මෝසෙස් මෙසේ මතක් කළා. “දෙවි නිරතුරුවම ඔවුන් ගැන සෝදිසියෙන් සිට තම ඇසේ කලු ඉංගිරියාව මෙන් ඔවුන්ව ආරක්ෂා කරගත්තේය. ඔවුන්ට රැකවරණය ලබා දුන්නේය.” (ද්වි. 8:15; 32:10NW) දෙවි එය කළේ කෙසේද?

යෙහෝවා දෙවි ඔවුන්ට ආශ්චර්යවත් ලෙස මන්නා ‘අහසෙන් වැටෙන්න’ සැලැස්වූ අතර ඒවා “පාළුකරයේ භූමිය පුරා” වැටී තිබුණා. (නික්. 16:4, 14, 15, 35NW) එමෙන්ම ඔහු ඔවුන්ට “පර්වතවලින් වතුර” ලබා දුන්නා. දෙවිගේ පුදුමාකාර බලය නිසා පාළුකරයේ ඔවුන් ගමන් කළ ඒ අවුරුදු 40 පුරා ඔවුන්ගේ වස්ත්‍ර පරණ වුණේවත් ඔවුන්ගේ කකුල් ඉදිමුණේවත් නැහැ. (ද්වි. 8:4) මෙසේ ඔවුන්ව රැකබලා ගත් දෙවි, ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණේ මොනවාද? දෙවි ඒ ගැන මෝසෙස් මගින් පැවසුවේ මෙයයි. “කල්පනාකාරීව සිටින්න. ඔබ දුටු කිසි දෙයක් අමතක නොකර ඔබේ මුළු ජීවිත කාලය පුරාම ඒවා සිතේ තබාගැනීමට වගබලා ගන්න.” (ද්වි. 4:9NW) ඊශ්‍රායෙල්වරුන් දෙවි කළ ඒ බලවත් ක්‍රියා අගය කරමින් ඒවා මතකයේ තබාගත්තා නම් දිගටම දෙවිගේ නීතිවලට කීකරු වෙමින් ඔහුට සේවය කරන්න ඔවුන්ට තිබුණා. ඉතින් ඔවුන් එසේ කළාද?

ඔවුන් අමතක කළා

“ඔබට පියෙකු හා සමාන වූ ඒ පර්වතය ඔබ නොසලකාහැරියහුය” කියා මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. (ද්වි. 32:18NW) දෙවි රතු මුහුද අසල ක්‍රියා කළ ආකාරය, පාළුකරයේදී ඔවුන්ව පෝෂණය කළ ආකාරය ඇතුළු දෙවි ඔවුන් වෙනුවෙන් කළ තවත් බොහෝ යහපත් ක්‍රියා ඊශ්‍රායෙල්වරුන් ඉක්මනින්ම අමතක කළා. ඉන්පසු ඔවුන් කැරලිගසන්න පටන්ගත්තා.

එක් අවස්ථාවකදී වතුර නැහැයි කියා ඔවුන් මෝසෙස්ට බැණ වැදුණා. (ගණන්. 20:2-5) පාළුකරයේදී දෙවි ඔවුන්ට දුන් මන්නා ගැන ඔවුන් මෙසේ මැසිවිලි නැගුවා. “මේ කිසි කමකට නැති කෑම අපිට දැන් එපා වෙලා.” (ගණන්. 21:5NW) ඒ වගේම දෙවි පත් කළ මෝසෙස්ගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් ඔවුන් මෙසේද පැවසුවා. ‘අනේ, අපි ඊජිප්තු දේශයේදීම මැරිලා ගියා නම් මීට වඩා හොඳයි. එහෙම නැත්නම් අපි මේ පාළුකරයේදී මැරිලා ගියා නම් කොතරම් හොඳද! අපි නායකයෙක්ව පත් කරගෙන ඊජිප්තුවට හැරිලා යමු.’—ගණන්. 14:2-4NW.

ඒ ගැන දෙවිට හැඟුණු ආකාරය ගැන ගීතිකාකරු මෙසේ වාර්තා කළා. “ඔවුහු පාළුකරයේදී කොපමණ වාර ගණනක් ඔහුට විරුද්ධව කැරලිගැසුවහුද? කාන්තාරයේදී කොපමණ සැරයක් ඔහුගේ සිත රිදෙව්වහුද? ඔවුහු දිගින් දිගටම දෙවිගේ ඉවසීම පරීක්ෂාවට ලක් කළෝය. ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ සිතට වේදනා ඇති කළෝය. ඔහු ඔවුන්ව සතුරාගෙන් මුදවාගත් ආකාරය ඔවුන්ට සිහි නොවීය. ඔවුන් වෙනුවෙන් ඔහු තම බලය යොදාගෙන ක්‍රියා කළ හැටි ඔවුහු අමතක කළෝය. ඔහු ඊජිප්තු දේශයේ කළ බලවත් ක්‍රියාවන්, ඔවුන්ගේ මතකයෙන් මැකී ගියේය.” (ගීතා. 78:40-43NW) ඔව්, ඊශ්‍රායෙල්වරුන් දෙවිගේ බලවත් ක්‍රියා අමතක කිරීම දෙවිගේ සිතට දැඩි වේදනාවක් ගෙන දුන්නා.

මේ දෙදෙනා නම් අමතක කළේ නැහැ

සමහර ඊශ්‍රායෙල්වරුන් නම් යෙහෝවා දෙවිව අමතක කළේ නැහැ. යොෂුවා හා කාලෙබ් ඒ අයගෙන් දෙදෙනෙක්. පොරොන්දු දේශයේ තොරතුරු බලන්න ගිය 12දෙනාට ඔවුන්ද අයත්. ඉන් දහදෙනෙක් පොරොන්දු දේශය ගැන ගෙනාවේ හොඳ ආරංචි නොවෙයි. නමුත් යොෂුවා හා කාලෙබ් ඒ ගැන ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ “අපි බලන්න ගිය දේශය ඉතා සාරවත් දේශයක්. අපට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තිබෙනවා නම් ඔහු අනිවාර්යයෙන්ම අපිව ඒ දේශයට ගෙන යයි. ඔහු කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන ඒ දේශය අපට ලබා දෙයි. යෙහෝවා දෙවිට විරුද්ධව නම් කැරලිගසන්න එපා” කියායි. සෙනඟ ඒ වචන ඇසු සැණින් යොෂුවාට හා කාලෙබේට ගල් ගසන්න සූදානම් වුණා. නමුත් ඔවුන් දෙදෙනා දිගටම යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා ස්ථිරව සිටියා.—ගණන්. 14:6-10NW.

ඒ සිද්ධියෙන් වසර ගණනාවකට පසු කාලෙබ්, යොෂුවාට මෙසේ පැවසුවා. ‘යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස් දේශයේ තොරතුරු සොයා බලන්න කාදෙෂ්-බර්නේයේ ඉඳන් මාව යැව්වා. එහි තිබූ සැබෑ තත්වය ගැන මම ඇවිත් මෝසෙස්ට වාර්තා කළා. එහෙත් මා සමඟ ගිය අනික් අය කියූ දේවල් නිසා ඊශ්‍රායෙල් සෙනඟ හොඳටම භය වුණා. මම මුළු හදවතින්ම මගේ දෙවි වන යෙහෝවාව විශ්වාස කළා.’ (යොෂු. 14:6-8NW) යොෂුවා හා කාලෙබ් කොතරම් අසීරු අවස්ථාවන්ට මුහුණ දුන්නත් දෙවිට විශ්වාසවන්තව ඒ තත්වය විඳදරාගත්තා. ඔවුන්ට එසේ කිරීමට හැකි වුණේ ඔවුන් සෑම දවසකම දෙවිව මතක තබාගෙන සිටි නිසයි.

ඒ වගේම දෙවි පොරොන්දු වූ දේශය ලබා දීම නිසා යොෂුවා හා කාලෙබ් දෙවිට ස්තුති කළා. ඇත්තෙන්ම සෙසු ඊශ්‍රායෙල්වරුන්ද යෙහෝවා දෙවිට ස්තුතිවන්ත විය යුතු වුණා. ඊට හේතුව ගැන යොෂුවා පැවසුවේ මෙසේයි. ‘යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ලෙස ඊශ්‍රායෙල්වරුන්ට ඒ දේශය උරුමයක් ලෙස දුන්නා. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟට දුන් එක පොරොන්දුවක්වත් කඩ නොවී සියල්ල ඒ අයුරින්ම ඉටු වුණා.’ (යොෂු. 21:43, 45NW) ඔවුන් මෙන් යෙහෝවා දෙවිට ස්තුති කරන්න අපටත් හැක්කේ කෙසේද?

ස්තුතිවන්ත වන්න

දෙවිට ගරුබියක් ඇති මිනිසෙක් මෙසේ ඇසුවා. “යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ සියලු යහපත් දේවලට මම කෙසේ ඔහුට ස්තුති කරන්නද?” (ගීතා. 116:12NW) එදිනෙදා ජීවත් වීමට දෙවි අපට ලබා දී ඇති සැපයුම්, ඔහුගේ මඟ පෙන්වීම් සහ අනාගත ආශීර්වාද යන මේ සියල්ලටම, ඔහුට සාදාකාලයටම ස්තුති කළත් ඒ මදි. ඇත්තෙන්ම දෙවි අපි වෙනුවෙන් කර තිබෙන හා දී තිබෙන දෙවල්වලට සමාන දෙයක් නැවත ඔහුට දෙන්න අපිට බැහැ. නමුත් අපිට කළ හැකි දෙයක් තිබෙනවා. එය නම් අපි ඒවා අගය කරන බව පෙන්වීමයි.

එසේ කිරීමට උදාවන අවස්ථාවන් කිහිපයක් සලකා බලන්න. යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගැනීම නිසා ඔබට යම් ගැටලු මඟ හරින්න හැකි වුණාද? ඔබ අතින් සිදු වූ වරදකට දෙවි සමාව දුන් බව දැන සිටීම නිසා හොඳ හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න හැකි වුණාද? දෙවිගේ එවන් උපකාර අපට දිර්ඝ කාලීන ප්‍රයෝජන ලබා දෙන නිසා අපි ඔහුට නොකඩවා ස්තුතිවන්ත විය යුතුයි. අවුරුදු 14ක් වයසැති දැරියක් වන සැන්ඩ්‍රාගේ අද්දැකීම සලකා බලන්න. ඇය ඉතා බරපතළ ගැටලුවලට මුහුණ දුන්නත් දෙවිගේ උපකාරයෙන් ඒවා ජය ගත්තා. ඒ ගැන ඇය මෙහෙම කියනවා. “මම උපකාරය ඉල්ලා දෙවිට යාච්ඤා කෙරුවා. ඔහු එවාට පිළිතුරු දුන්න විදිහ මට හිතා ගන්නවත් බැහැ. දැන් මට තේරෙනවා ඇයි මගේ තාත්තා නිතර නිතර හිතෝපදේශ 3:5, 6හි තිබෙන දේ ගැන මාත් එක්ක කතා කළේ කියලා. එහි කියන්නේ ‘ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත’ කියායි. ඒ නිසා යෙහෝවා දෙවි මට මෙතෙක් උපකාර කළා වගේම ඉදිරියටත් උපකාර කරන බවට මට හොඳටම විශ්වාසයි.”

යෙහෝව දෙවිව අමතක නොකරන බව පෙන්වන්න

යෙහෝවා දෙවිව මතකයේ තබාගැනීමට උපකාරවත් වන තවත් දෙයක් තිබෙනවා. ඒ ගැන බයිබලය මෙසේ පවසනවා. “ඔබ කිසිවකින් අඩුව නොසිට, සම්පූර්ණව, සෑම ආකාරයකින්ම දෝෂ නැතිව සිටින පිණිස, විඳදරාගැනීමෙන් ඉටු වන කාර්යය සම්පූර්ණ වීමට ඉඩ දෙන්න.” (යාකො. 1:4) “කිසිවකින් අඩුව නොසිට, සම්පූර්ණව” සිටීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? දෙවි කෙරෙහි විශ්වාසය තබමින් පරීක්ෂාවන්ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ගුණාංග වර්ධනය කරගැනීම හා පරීක්ෂා ජයගැනීමට අදිටන් කරගෙන සිටීමයි. අප පරීක්ෂාවන්ට මුහුණ දී ඒවා ජයගත් විට අපට විශාල ප්‍රීතියක් දැනෙනවා. ඒ වගේම අපට කොපමණ පරීක්ෂා පැමිණියත් ඒ සෑම එකක්ම තාවකාලික බව අපි මතක තබාගත යුතුයි.—1 කොරි. 10:13.

බරපතළ අසනීපයකින් පෙළුණු ක්‍රිස්තියානියෙකු එය විඳදරාගත් ආකාරය ගැන මෙසේ පවසනවා. “මම කරන්න කැමති දේවල්වලට වඩා යෙහෝවා දෙවි කරන්න කියලා තියෙන දේ ගැන මම හිතනවා. මේ වගේ අවස්ථාවක මගේ ආශාවන් ගැන හිත හිතා ඉන්නේ නැතුව දෙවිගේ පොරොන්දු කෙරෙහි බලා ඉන්න දෙවිට දක්වන විශ්වාසවන්තකම මට උපකාරවත් වුණා. මම ගැටලුවලට මුහුණ දෙනකොට ‘ඇයි මටම මේවා වෙන්නේ’ කියලා හිතන්නේ නැහැ. සමහරවිට නොසිතූ ලෙස ගැටලුවලට මුහුණ දෙන විට මම දෙවිට තවත් ළං වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔහුට සේවය කරන්න පුළුවන් විවිධ පැති ගැනත් කල්පනා කරනවා.”

අද දින දෙවිගේ සියලු සේවකයන් ඔහු ලබා දෙන මඟ පෙන්වීමට හා සැබෑ දැනුමට එකඟව ඔහුට නමස්කාර කරනවා. (යොහ. 4:23, 24) ඊශ්‍රායෙල්වරුන් මෙන් අද සිටින දෙවිගේ සෙනඟ ඔහුව කිසි දිනෙක අමතක කරන්නේ නැහැ. නමුත් පෞද්ගලිකව අප ගැන කුමක් කිව හැකිද? අප දෙවිව අමතක නොකරන බව පෙන්වීමට නම් යොෂුවා හා කාලෙබ් මෙන් දෙවිගේ ක්‍රියා අගය කරන බව පෙන්විය යුතුයි. ඒ වගේම දෙවිට කරන සේවයේදී අප විඳදරාගත යුතුයි. යෙහෝවා දෙවි මේ අසීරු කාලයේදී අපිට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දී අපිව රැක බලාගන්න නිසා ඔහුට විශ්වාසවන්තව සිටීමට අපට හොඳ හේතු තිබෙනවා.

යොර්දාන් ගඟෙන් එගොඩ වීමෙන් පසු යොෂුවා තැබූ ගල් 12 මගින්, දෙවි තම ජනයාව ගලවාගත් ආකාරය ඔවුන්ට සිහි කළා. ඒ වගේම එම සිද්ධීන් බයිබලයේ ලියා තැබීම මගින් ඔහු තම සෙනඟව අත්හරින්නේ නැති බවට දෙවි, අපිට සහතිකයක් දෙනවා. එමනිසා අපිත් ගීතිකාකරුගේ මෙම වදන් මතක තබාගනිමු. “මම යෙහෝවා දෙවිගේ ක්‍රියා සිහි කරමි. පුරාණයේ සිට ඔහු කළ පුදුමාකාර ක්‍රියා මම මතක් කරමි. දෙවියනි, ඔබේ සියලු ක්‍රියා ගැන මම ගැඹුරින් කල්පනා කරමි. ඔබ කළ දේවල් ගැන සිතා බලමි.”—ගීතා. 77:11, 12NW.

[7වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල්වරුන්ට ‘බොන්න වතුර නැති’ ප්‍රදේශයක් හරහා ගමන් කරන්න සිදු වුණා

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[8වන පිටුවේ පින්තූරය]

පොරොන්දු දේශය සෝදිසි කරන්න 12දෙනෙකුව යැව්වා

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[9වන පිටුවේ පින්තූරය]

වසර ගණනාවක් පාළුකරයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට පොරොන්දු දේශයට යන්න ලැබීම ගැන ඔවුන් දෙවිට ස්තුතිවන්ත විය යුතු වුණා

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[10වන පිටුවේ පින්තූරය]

දෙවිගේ පොරොන්දු ගැන විශ්වාසය තැබීම මගින් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපිට හැකියි