Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි අපගේ ප්‍රශංසාව ලැබීමට වටිනවා

යෙහෝවා දෙවි අපගේ ප්‍රශංසාව ලැබීමට වටිනවා

යෙහෝවා දෙවි අපගේ ප්‍රශංසාව ලැබීමට වටිනවා

“ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න!”—ගීතා. 111:1, නව ලොව පරිවර්තනය, NW.

1, 2. “හලෙලූයා” යන්නෙහි අර්ථය කුමක්ද? ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධලියවිල්ලේ එය භාවිත කර තිබෙන්නේ කුමන අවස්ථාවේදීද?

“හලෙලූයා” යන වචනය සමහරවිට ඔබ අසා ඇති. පල්ලිවල නම් එය නිතර ඇසෙන වචනයක්. ඒ වගේම සමහර රටවල ජනයාද සාමාන්‍ය කතාබහේදි එය භාවිත කරනවා. නමුත් එහි අර්ථය බොහෝදෙනෙක් දන්නේ නැහැ. එමෙන්ම එය භාවිත කරන බොහෝදෙනෙක් ජීවත් වන්නේද දෙවිට අගෞරව ගෙන දෙන ආකාරයටයි. (තීත. 1:16) එක් පොතක “හලෙලූයා” යන වචනය ගැන සඳහන් වන්නේ මෙසේයි. ‘එය විවිධ ගීතිකාකරුවන් භාවිත කර තිබෙන්නේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට සියලුදෙනාටම ආරාධනා කිරීමටයි.’

2 එම අදහසට එකඟව ගීතාවලිය 111:1හි සඳහන් වචන නව ලොව පරිවර්තනයෙහි තිබෙන්නේ මෙසේයි. “ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.” එමෙන්ම සමහර බයිබල් පරිවර්තනවල එළිදරව් 19:1-6හි “හලෙලූයා” යන වචනය හතර වතාවක් දැකගත හැකියි. එය භාවිත කර තිබෙන්නේ අසත්‍ය උගන්වන ආගම්වල විනාශයෙන් පසු ඇති වන ප්‍රීතිය ප්‍රකාශ කිරීමටයි. එම අනාවැකිය ඉදිරියේදී ඉටු වන විට “හලෙලූයා” කියා ප්‍රීතියෙන් පැවසීමට දෙවිගේ සේවකයන්ට එය විශේෂ හේතුවක් වෙයි.

දෙවිගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා

3. අප නොකඩවා එක් රැස් වන ප්‍රධානතම හේතුව කුමක්ද?

3 යෙහෝවා දෙවි අපගේ ප්‍රශංසාව ලැබීමට වටින හේතු බොහොමයක් ගීතා. 111වන ගීතිකාවේ වාර්තා කර තිබෙනවා. එහි පළමු වගන්තියෙහි සඳහන් වන්නේ මෙයයි. “මාගේ මුළු හදවතින්ම මම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි. අවංක අය සමඟ එක්ව මම ඔහුට ප්‍රශංසා ගෙනෙන්නෙමි.” (ගීතා. 111:1NW) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපටත් හැඟෙන්නේ එලෙසමයි. අප නොකඩවා සභා රැස්වීම්වලට හා සමුළුවලට එක් රැස් වන ප්‍රධාන හේතුව වන්නේ දෙවිට ප්‍රශංසා කිරීමයි.

4. මිනිසුන්ට දෙවිගේ නිර්මාණයන් ගැන අවබෝධයක් ලබාගත හැක්කේ කෙසේද?

4 ඊළඟට ගීතිකාකරු මෙසේ පවසනවා. “යෙහෝවා දෙවිගේ ක්‍රියා ශ්‍රේෂ්ඨය. ඒ ක්‍රියා ගැන සතුටු වන සියල්ලෝ ඒවා ගැන ගැඹුරින් කල්පනා කරති.” (ගීතා. 111:2NW) ගීතිකාකරු උනන්දු කළ ලෙස දෙවිගේ නිර්මාණ ගැන අධ්‍යනය කිරීමෙන් ඒවා සොයා දැනගත හැකියි. ඒ සෑම නිර්මාණයකටම ශ්‍රේෂ්ඨ අරමුණක් තිබෙනවා. උදාහරණයකට අපගේ පෘථිවිය, ඉර, සඳ ගැන සිතා බලන්න. ඔහු ඒවා නියමිත ස්ථානයේ තැබූ අතර ඒවායේ ක්‍රියාකාරීත්වය එකිනෙකට බැඳී පවතිනවා. ඒ නිසා අපගේ පෘථිවියට අවශ්‍ය උණුසුම හා ආලෝකය ලැබෙනවා. එමෙන්ම රාත්‍රිය සහ දහවල මෙන්ම වඩදිය බාදිය හා ඍතු ඇති වන්නේත් ඒ නිසයි.

5. විශ්වය ගැන මිනිසා සතු දැනුම වැඩි වෙද්දී ඉන් හෙළි වන්නේ කුමක්ද?

5 අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය පිහිටා තිබෙන ස්ථානය හා පෘථිවියට අයත් චන්ද්‍රයාගේ ප්‍රමාණය ගැන විද්‍යාඥයන් බොහෝ තොරතුරු සොයාගෙන තිබෙනවා. ලෝකයේ සමහර ප්‍රදේශවල ඍතු ඇති වන්නේ මෙම ග්‍රහයන් දෙකෙහි ක්‍රියාකාරිත්වයේ බලපෑම නිසයි. එමෙන්ම විශ්වයේ ඇති ස්වාභාවික බලයන් තිතටම සකස් වී ඇති ආකාරය ගැනද විද්‍යාඥයන් බොහෝ තොරතුරු සොයාගෙන තිබෙනවා. පෘථිවිය නිර්මාණය කර තිබෙන පුදුමාකාර ක්‍රමය ගැන මහාචාර්යවරයෙක් මෙසේ අදහස් දැක්වූවා. ‘අපගේ පෘථිවියේ ආරම්භය ගැන පසුගිය වසර 30 පුරා බොහෝ විද්‍යාඥයන් දැරූ මතයන් වෙනස් කරගෙන තිබෙන්නේ ඇයි කියන එක තේරුම්ගැනීම අපට එතරම් අමාරු දෙයක් නොවෙයි. දැන් ඔවුන් පවසන්නේ පෘථිවිය අහම්බෙන් පැමිණි දෙයක් කියා සිතීම දුෂ්කර බවයි. එහි ඇති සැලසුම්සහගත බව හා සැකැස්ම ගැන අප සතු දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න පෘථිවියට බුද්ධිමත් නිර්මාණකරුවෙක් සිටින බව අපට පිළිගන්න සිදු වෙනවා.’

6. දෙවි මිනිසාව නිර්මාණය කර තිබෙන ආකාරය ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

6 දෙවි අපව නිර්මාණය කර තිබෙන ආකාරය තුළින්ද ඔහු සතු ශ්‍රේෂ්ඨ නිර්මාණ හැකියාව පිළිබිඹු වෙනවා. (ගීතා. 139:14) ඔහු අපගේ ශරීරයේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය සියලුම අවයව සහ විවිධ දේවල් කිරීම සඳහා හැකියාව මෙන්ම බුද්ධියද ලබා දුන්නා. උදාහරණයකට කතා කිරීමට හා ඇහුම්කන් දීමට, ලිවීමට හා කියවීමට දෙවි දී ඇති හැකියාව මොන තරම් පුදුමාකාරද! එමෙන්ම කෙළින් සිට ගැනීම සඳහා අපගේ ශරීරයේ සැකිල්ල නිර්මාණය කර ඇති ආකාරයත් ඉතාමත් පුදුමාකාරයි. මිනිස් ශරීරයේ සැකැස්ම, සමබරතාව, ක්‍රියාකාරිත්වය හා ඒ තුළ සිදු වන රසායනික ක්‍රියාවලියද පුදුමාකාරයි. තවදුරටත් අපගේ ස්නායු පද්ධතිය නිසා අපට හැඟීම් දැනීම් ඇති වන ආකාරය පුදුමාකාරයි. මිනිසුන්ද බොහෝ උසස් නිර්මාණ කර තිබෙන බව ඇත්තයි. නමුත් ඔවුන්ට ඒවා කිරීමට හැකි වී තිබෙන්නේ දෙවි ඔවුන්ව උසස් බුද්ධියක් ඇතුව නිර්මාණය කළ නිසයි. ඉතාම දක්ෂ ඉංජිනේරුවෙකුටවත් අපගේ අතේ ඇඟිලි දහය ක්‍රියාකරන ආකාරයට සමාන නිර්මාණයක් කිරීමට මෙතෙක් හැකි වී නැහැ. එමනිසා මෙසේ සිතන්න. ‘දෙවි ලබා දුන් මෙම පුදුමාකාර ඇඟිලි දහය නොතිබෙන්න මිනිසුන්ට අලංකාර චිත්‍ර හා වෙනත් උසස් නිර්මාණයන් බිහි කිරීමට හැකියාවක් ලැබෙයිද?’

දෙවිගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා හා ගුණාංග

7. දෙවිගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් අතරට බයිබලය අයත් වන්නේ ඇයි?

7 දෙවිගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා අතරට බයිබලයද අයත්. ඔහු, මිනිස් වර්ගයා වෙනුවෙන් කර තිබෙන පුදුමාකාර දේවල් එහි සඳහන්ව තිබෙනවා. එය දෙවිගේ බලයේ මඟ පෙන්වීම්වලට අනුව ලියා ඇති නිසා අන් සෑම පොතකටම වඩා ‘ඉගැන්වීම සඳහා ප්‍රයෝජනවත්’ පොතක්. (2 තිමෝ. 3:16) දෙවි, නෝවාගේ කාලයේ සිටි දුෂ්ට මිනිසුන්ව විනාශ කර මේ පොළොව පිරිසිදු කළ ආකාරය උත්පත්ති පොතෙහි වාර්තා කර තිබෙනවා. එහි දෙවන පොත වන නික්මයාම වාර්තාවෙහි සඳහන් වන්නේ දෙවි තම සෙනඟව ඊජිප්තු වහල්භාවයෙන් මුදවා ගැනීමෙන් තමා පමණක් සැබෑ දෙවි බව තහවුරු කළ ආකාරයයි. සමහරවිට මෙම වචන පැවසූ ගීතිකාකරුගේ මතකයේ එම සිදුවීම් තිබෙන්න ඇති.“ඔහුගේ ක්‍රියා තේජාන්විතය. ශ්‍රේෂ්ඨය. ඔහුගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින්නේය. සදා මතකයේ රැඳෙන අයුරින් ඔහු පුදුමාකාර දේවල් කළේය. යෙහෝවා දෙවි කරුණාවන්තය. දයාන්විතය.” (ගීතා. 111:3, 4NW) දෙවි අතීතයේදී මෙන්ම ඔබගේ ජීවිත කාලය තුළදී කර ඇති පුදුමාකාර දේවල් නිසා ඔහුගේ ‘තේජාන්විතභාවය හා ශ්‍රේෂ්ඨත්වය’ ඔබගේ මතකයේ රැඳෙන්නේ නැද්ද?

8, 9. (අ) මිනිසුන්ට වෙනස්ව දෙවි කටයුතු කර තිබෙන්නේ කෙසේද? (ආ) ඔබ අගය කරන්නේ දෙවිගේ කුමන ගුණාංගද?

8 ගීතිකාකරු එහි යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨකම, කරුණාවන්තකම හා දයාව වැනි අනර්ඝ ගුණාංග ගැනද සඳහන් කර තිබෙනවා. නමුත් පව්කාර මිනිසුන් නම් ධර්මිෂ්ඨ ක්‍රියා කරන්නේ කලාතුරකිනුයි. ඒ වෙනුවට ඔවුන් තුළින් දක්නට ලැබෙන්නේ කෑදරකම, ඊර්ෂ්‍යාව හා උඩඟුකම වැනි ගුණාංගයි. මුදල් ඉපයීම සඳහා තිබෙන කෑදරකම නිසා ඔවුන් භයානක යුද්ධායුධ නිපදවා තිබෙනවා. එමගින් ඔවුන් යුද්ධයට තව තවත් උල්පන්දම් දෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන ගණනක් අහිංසක ජනයා අන්ත අසරණ තත්වයකට ඇද වැටී තිබෙනවා. තවත් බොහෝ මිනිසුන්ගේ අකටයුතුකම් මගින් දිලිඳු අයව දැඩිසේ පීඩාවට පත් කර තිබෙනවා. එමෙන්ම සමහරුන්ගෙන් ඉතා කෲර ලෙස වැඩ ගෙන තිබෙනවා. පිරමිඩ ඊට එක් උදාහරණයක්. ඒවා ගොඩනැඟීමට දහස් ගණනක් මිනිසුන්ව වහලුන් මෙන් යොදාගෙන තිබෙන අතර ඒවා තැනීමට ප්‍රධාන හේතුව වුයේ උඩඟු පාරාවෝවරුන්ගේ මෘත දේහයන් තැන්පත් කිරීමටයි. එපමණක් නොව අද දිනත් මිනිසුන් කරන බොහෝ දේවල් නිසා තවත් අය පීඩා විඳිනවා. එමෙන්ම ඔවුන් ‘පොළොවද විනාශ කරමින්’ සිටිනවා.එළිදරව් 11:18 කියවන්න.

9 නමුත් ඊට වෙනස්ව යෙහෝවා දෙවි සෑම විටම ක්‍රියා කරන්නේ අන් අයගේ යහපත සැලකිල්ලට ගෙනයි. මිනිස්වර්ගයාව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීම සඳහා ලබා දුන් ප්‍රේමණීය සැපයුමත් ඔහුගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. එයින් දෙවි පෙන්නුවේ ‘තමන් ධර්මිෂ්ඨ බවයි.’ (රෝම 3:25, 26) ඔව්, ‘ඔහුගේ ධර්මිෂ්ඨකම සදහටම පවතිනවා!’ ඔහු මිනිස්වර්ගයා සමඟ ඉවසීමෙන් කටයුතු කර තිබෙන ආකාරයෙන් පැහැදිලි වන්නේ ඔහු මොන තරම් කරුණාවන්ත දෙවි කෙනෙක්ද කියායි. ඊශ්‍රායෙල්වරු බොහෝ අවස්ථාවලදී දෙවිට අකීකරු වුණා. එවන් සමහර අවස්ථාවලදී නැවත හැරී එන්න කියා දෙවි ඔවුන්ට ආයාචනාත්මක ස්වරූපයකින් පවා ආරධනා කර තිබෙනවා.එසකියෙල් 18:25 කියවන්න.

ඔහු තම පොරොන්දු කඩ නොකරයි

10. දෙවි ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමට විශ්වාසවන්තව සිටි බව ඔප්පු වන්නේ කුමකින්ද?

10 “ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයව ඔහු කෙදිනකවත් කුසගින්නෙන් නොතබන්නේය. ඔහු ඇති කරගත් ගිවිසුම ඔහු කිසිදිනක අමතක නොකරන්නේය.” (ගීතා. 111:5NW) මෙහි ගීතිකාකරු සඳහන් කරන්නේ දෙවි ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම විය හැකියි. දෙවි අබ්‍රහම්ට පොරොන්දු වුණේ ඔහුගෙන් පැවත එන තැනැත්තා විසින් ඔවුන්ගේ සතුරන්ගේ දොරටු හිමි කරගන්නා බවයි. (උත්. 22:17, 18; ගීතා. 105:8, 9) එම පොරොන්දුව ඉටුවීමට මඟ පෑදුවේ ආබ්‍රහම්ගෙන් පැවත එන අයගෙන් ඊශ්‍රයෙල් ජාතිය බිහි වූ විටයි. නමුත් එම ජාතිය බොහෝ කාලයක් පුරා ඊජීප්තුවේ වහල්භාවයේ සිටියා. එවිට ‘දෙවි ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම සිහි කර’ ඔවුන්ව ඉන් ගලවා ගත්තා. (නික්. 2:24NW) ඉන්පසු දෙවි ඔවුන්ගේ කුසට ආහාරත් ඔහුගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට අවශ්‍ය උපකාරත් ලබා දුන්නා. එයින් පැහැදිලි වන්නේ දෙවි මොන තරම් ත්‍යාගශීලී කෙනෙක්ද කියායි. (ද්වි. 6:1-3; 8:4; නෙහෙ. 9:21) නමුත් ඊට සියවස් ගණනාවකට පසු ඔවුන් විටින් විට දෙවිට විරුද්ධව ක්‍රියා කළ අතර ඔවුන්ව නිවැරදි මාර්ගයට ගැනීමට දෙවි අනාගතවක්තෘවරුන්ව යැව්වා. එමෙන්ම පසු කාලයකදී එනම් දෙවි ඔවුන්ව ඊජීප්තුවෙන් ගලවාගෙන අවුරුදු 1500කට පමණ පසු තම එකම පුත්‍රයාව ඔවුන් වෙතට එව්වා. නමුත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඔහුව ප්‍රතික්ෂේප කර ඔහුව මරණයට පත් කළා. දෙවි අලුත් ජාතියක් හෙවත් “දෙවිගේ ඊශ්‍රායෙල්” යන ජාතිය බිහි කළේ ඉන්පසුවයි. මෙසේ දෙවි ආබ්‍රහම්ට පොරොන්දු කළ ලෙස මනුෂ්‍ය වර්ගයාට ආශීර්වාද ගෙන දීමට ඔහු යොදාගන්නේ ක්‍රිස්තුස් ඇතුළු මෙම අලුත් ජාතියයි.—ගලා. 3:16, 29; 6:16.

11. දෙවි ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම අමතක කර නැති බවට තිබෙන සාක්ෂි මොනවාද?

11 යෙහෝවා දෙවි, අබ්‍රහම් සමඟ කළ ‘ගිවිසුමෙන්’ ලබා දෙන බවට පොරොන්දු වූ ආශීර්වාද ‘ඔහු අමතක’ කර නැහැ. අද දින භාෂා 400කට වැඩි ප්‍රමාණයකින් ඔහු ලබා දෙන අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන තොරතුරු ඊට සාක්ෂියක්. එමෙන්ම “අපට දිනපතා අවශ්‍ය භෝජනය එදින අපට දෙන්න” කියා අප කරන ඉල්ලීමත් ඔහු ඉටු කරන බව අප අද්දකිනවා.—ලූක් 11:3; ගීතා. 72:16, 17; යෙසා. 25:6-8.

ඔහුගේ පුදුමාකාර බලය

12. ඊශ්‍රායෙල්වරුන්ට දෙවි “ජාතීන්ගේ උරුමය” ලබා දුන්නේ කෙසේද?

12 “ඔහු තමා සතු මහත් බලය තම සෙනඟට දැකගැනීමට සැලැස්සුවේය. ජාතීන්ගේ උරුමය ඔවුන්ට ලබා දීමෙන් ඔහු එසේ කළේය.” (ගීතා. 111:6NW) මෙම වචන ලියන විට දෙවි එදා ඊශ්‍රායෙල්වරුන්ව ඊජීප්තුවෙන් ගලවාගත් ආකාරය ගීතිකාකරුගේ මතකයේ තිබෙන්න ඇති. ඉන්පසු යෙහෝවා දෙවි ඔවුන්ව පොරොන්දු දේශය වෙතට මඟ පෙන්නුවා. ඒ වගේම ඊට අයත් ප්‍රදේශයක් වූ යොර්දාන් ගඟට නැඟෙනහිරින් හා බටහිරින් සිටි සතුරන්ව පරාජය කිරීමටද ඔවුන්ට හැකියාව ලබා දුන්නා. (නෙහෙමියා 9:22-25 කියවන්න.) මෙසේ යෙහෝවා දෙවි ඔවුන්ට “ජාතීන්ගේ උරුමය” ලබා දුන්නා. එය දෙවිට ඇති පුදුමාකාර බලයට මහඟු සාක්ෂියක්.

13, 14. (අ) ගීතිකාකරුගේ මනසේ තිබෙන්න ඇත්තේ දෙවි තම බලය විදහා පෙන්වූ කුමන අවස්ථාව ගැනද? (ආ) දෙවි ඉටු කර දී තිබෙන වඩාත් ශ්‍රේෂ්ඨ ගැලවීම කුමක්ද?

13 යෙහෝවා දෙවි ඔවුන් වෙනුවෙන් මෙතරම් දේවල් කර තිබියදීත් ඔවුන් යෙහෝවා දෙවිට කිසිම ගෞරවයක් පෙන්වූයේ නැහැ. එමෙන්ම ඔවුන්ගේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් වැනි අයටත් ඉන් ඔවුන් අගෞරව කළා. දෙවි ඔවුන්ව බැබිලෝනියේ වහල්භාවයට පත් කරන තෙක් ඔවුන් දිගටම දෙවිට විරුද්ධව කැරලිගැසුවා. (2 ලේක. 36:15-17; නෙහෙ. 9:28-30) සමහර බයිබල් විශාරදයන් පවසන්නේ ගීතා. 111වන ගීතිකාව රචනා කළ තැනැත්තා බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වී පැමිණි කෙනෙකු විය හැකි බවයි. ඇත්තටම ඔහු එවැනි කෙනෙක් නම් යෙහෝවා දෙවිගේ විශ්වාසවන්තකම සහ බලය ගැන දෙවිට ප්‍රශංසා කරන්න ඔහුට ඕනෑ තරම් හේතු තිබුණා. බැබිලෝනිවරුන් තමන් වහල්භාවයට ගත් කිසිවෙකුව නිදහස් නොකරන ජාතියක් හැටියට ප්‍රසිද්ධියක් ඉසිලුවත් දෙවි තම බලයෙන් ඔවුන්ව මුදවාගත්තා.—යෙසා. 14:4, 17.

14 ඊට අවුරුදු 500කට පමණ පසු යෙහෝවා දෙවි තම බලය යොදාගෙන පසුතැවිලි වූ සියලු මිනිසුන්ව මරණය සහ පාපය නමැති වහල්භාවයෙන් මුදවාගත්තා. (රෝම 5:12) එහි එක් ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ගෙන් 1,44,000දෙනෙකුට ක්‍රිස්තුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන් වීමේ ප්‍රස්තාව උදා වුණා. වර්ෂ 1919දී යෙහෝවා දෙවි ඔවුන්ගෙන් පොළොව මත ඉතිරිව සිටින කුඩා පිරිසක්ව අසත්‍ය ඉගැන්වීම් නමැති වහල්භාවයෙන් මුදවාගත්තා. එදා සිට මේ දක්වා විශාල කාර්යයක් කිරීමට ඔවුන්ට හැකි වී තිබෙන්නේ දෙවිගේ බලයේ උපකාරය නිසයි. ඔවුන් මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටියහොත් යේසුස් සමඟ මේ පොළොව පාලනය කිරීමටත් මනුෂ්‍ය වර්ගයාට ආශීර්වාද ලබා දීමටත් ඔවුන්ට අවස්ථාව උදා වෙනවා. (එළි. 2:26, 27; 5:9, 10) ඒ අනුව එදා ඊශ්‍රායෙල්වරු උරුම කරගත් දේශයට වඩා අනර්ඝ උරුමයක් ඔවුන්ට ලැබෙනවා.—මතෙ. 5:5.

සදාකල් පවතින විශ්වාසවන්ත ප්‍රතිපත්ති

15, 16. (අ) දෙවිගේ ක්‍රියාවන් අතරට අයත් වන්නේ කුමක්ද? (ආ) දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් සමහරක් ආඥා මොනවාද?

15 “ඔහුගේ ක්‍රියාවන් විශ්වාසවන්තය. යුක්තිසහගතය. ඔහුගේ සියලු අණ පනත් විශ්වසනීයය. ඒවා සදහටම පවතින ලෙස ස්ථිරව පිහිටුවා තිබේ. ඒවා පිහිටුවා තිබෙන්නේ සැබෑකමින් හා අවංකකමින්ය.” (ගීතා. 111:7, 8NW) “ඔහුගේ [යෙහෝවා දෙවිගේ] ක්‍රියාවන්” අතරට ඔහු ඊශ්‍රායෙල්වරුන්ට ගල් ලෑලි දෙක මත ලියා දුන් පනත් දහයද ඇතුළත්. (නික්. 31:18) එමෙන්ම තවත් අණ පනත්ද දෙවි ඔවුන්ට ලබා දුන් අතර ඒ සියල්ලක්ම මෝසෙස්ට දුන් නීතියට ඇතුළත්. ඒ සෑම නීතියක්ම පදනම් වුණේ යෙහෝවා දෙවිගේ සදාකල් පවතින විශ්වාසවන්ත ප්‍රතිපත්ති මතයි.

16 දස පනතෙහි මෙවන් නීතියක් අඩංගු වුණා. “යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම අන් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.” එහි මෙසේද සඳහන් වුණා. “නමුත් මට ප්‍රේම කරන, මගේ ආඥා පවත්වන අයගේ පරම්පරා දහස් ගණනකට මම මහත් ප්‍රේමයක් පෙන්වන්නෙමි.” “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” සහ “සොරකම් නොකරන්න” යන නීතිත් එහි අඩංගු වුණා. එමෙන්ම අන් සතු දෙයකට ආශාවීමට එරෙහිවද දෙවි නීතියක් පනවා තිබුණා.—නික්. 20:5, 6, 12, 15, 17NW.

ශුද්ධ මෙන්ම ගරුබිය දනවන ගැලවුම්කරු

17. දෙවිගේ ශුද්ධ නාමය ගෞරවයෙන් සලකන්න ඊශ්‍රායෙල්වරුන්ට තිබූ හේතු මොනවාද?

17 “ඔහු තම සෙනඟව ගලවාගත්තේය. තමන් ඇති කරගත් ගිවිසුම ඔහු සදහටම ස්ථිර කළේය. ඔහුගේ නාමය ශුද්ධය. ගරුබිය දනවනසුලුය.” (ගීතා. 111:9NW) එම වචන පවසද්දී දෙවි, ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමට දක්වන විශ්වාසවන්තකම ගැන ගීතිකාකරුගේ මනසේ තිබුණා විය හැකියි. එම විශ්වාසවන්තකම නිසා දෙවි තම සෙනඟට ඊජීප්තුවේවත් බැබිලෝනියේවත් වහලුන් ලෙස දිගටම සිටීමට ඉඩ හැරියේ නැහැ. ඔහු ඔවුන්ව ගලවාගත්තා. දෙවිගේ ශුද්ධ නාමය ගෞරවයෙන් සලකන්න ඔවුන්ට උවමනාවක් තිබුණා නම් ඒ සිදු වීම් දෙක පමණක් ප්‍රමාණවත්.—නික්මයාම 20:7; රෝම 2:23, 24 කියවන්න.

18. දෙවිගේ නාමය ගෞරවයට පත් කිරීම වරප්‍රසාදයක් ලෙස ඔබ සලකන්නේ ඇයි?

18 අද සිටින ක්‍රිස්තියානීන්ටත් දෙවිගේ ශුද්ධ නාමය ගෞරවයට පත් කිරීමට ඕනෑ තරම් හේතු තිබෙනවා. දෙවි අපව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීමම ඒ සඳහා විශාල හේතුවක්. එමනිසා “ඔබගේ නාමය විශුද්ධ වේවා” කියා අපි කරන ඉල්ලීමට එකඟව ක්‍රියා කරන්න හැකි සෑම වෑයමක්ම දැරිය යුතුයි. (මතෙ. 6:9) ඔව්, අපි දෙවිගේ අතිශ්‍රේෂ්ඨවත් නාමය ගැන කල්පනා කරද්දී අප තුළ ඔහු ගැන ගරුබියක් ඇති විය යුතුයි. “ප්‍රඥාව ලබාගැනීමේ මුල්ම පියවර නම් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමය. ඔහුගේ අණ පනත් පිළිපදින සියල්ලන්ට කාරණා හොඳින් වටහාගැනීමට හැකි වන්නේය” කියා පැවසූ ගීතිකාකරුටද දෙවි කෙරෙහි එවන් ගරුබියක් තිබුණා.—ගීතා. 111:10NW.

19. ඊළඟ ලිපියෙන් අපි සලකා බලන්නේ කුමක්ද?

19 අපට දෙවි කෙරෙහි ගරුබියක් තිබෙනවා නම් නපුරට ද්වේෂ කරන්න එය අපට උපකාරවත් වෙනවා. එමෙන්ම අප ඊළඟ ලිපියේ සාකච්ඡා කිරීමට නියමිත ගීතා. 112වන ගීතිකාවේ සඳහන් දෙවිගේ අනර්ඝ ගුණාංග වර්ධනය කරගැනීමටත් එය අපට උපකාරවත් වෙනවා. එම ගීතිකාව තුළ අප සාකච්ඡා කරන්නේ සදාකාලයටම දෙවිව ප්‍රශංසා කිරීමට නම් අප කළ යුත්තේ කුමක්ද යන්න ගැනයි. ඇත්තෙන්ම ගීතිකාකරු පැවසූ ලෙස අපගේ දෙවි යෙහෝවා ‘සදහටම ප්‍රශංසා ලැබීමට වටිනවා!’ගීතා. 111:10NW.

ඔබට මතකද?

• යෙහෝවා දෙවි අප සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබීමට වටින්නේ ඇයි?

• යෙහෝවා දෙවිගේ ක්‍රිය තුළින් පිළිබිඹු වන ගුණාංග මොනවාද?

• දෙවිගේ නාමය ගෞරවයට පත් කිරීමේ වරප්‍රසාදය ඔබ සලකන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ පින්තූරය]

අප එක් රැස් වන ප්‍රධාන අරමුණ වන්නේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමයි

[23වන පිටුවේ පින්තූරය]

දෙවිගේ සෑම නීතියක්ම පදනම් වන්නේ සදාකල් පවතින ඔහුගේ විශ්වාසවන්ත ප්‍රතිපත්ති මතයි