Skip to content

පටුනට යන්න

විඳදරාගනිමින් ශුභාරංචිය ප්‍රකාශ කළ හැකි අයුරු

විඳදරාගනිමින් ශුභාරංචිය ප්‍රකාශ කළ හැකි අයුරු

විඳදරාගනිමින් ශුභාරංචිය ප්‍රකාශ කළ හැකි අයුරු

ඔබට තවදුරටත් ශුභාරංචිය ප්‍රකාශ කරන්න බැහැයි කියා කවදා හෝ හැඟී තිබෙනවාද? අප මුහුණ දෙන දැඩි විරුද්ධවාදිකම්, කනස්සලුවීම්, දුර්වල සෞඛ්‍යය, අන් අයගෙන් එල්ලවන පීඩන නිසා හෝ අලස ප්‍රතිචාරයන් නිසා අපටත් එසේ හැඟෙන්න ඉඩ තිබෙනවා. නමුත් යේසුස් ගැන සිතන්න. ඔහු දැඩි පරීක්ෂාවන්ට මුහුණ දුන්නත් “ඔහු ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා” ඒවා විඳදරාගත්තා. (හෙබ්‍රෙ. 12:2) එමෙන්ම සාතන්, දෙවිට කළ චෝදනාව බොරු බව ඔප්පු කිරීමෙන් දෙවි සතුටට පත් කළ හැකි බවද යේසුස් දැන සිටියා.—හිතෝ. 27:11.

විඳදරාගනිමින් ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් දෙවිගේ සිත සතුටු කරන්න අපටත් හැකියි. නමුත් යම් බාධක නිසා එසේ කිරීමට ඔබ අසමත් වෙනවා නම් තත්වය කුමක්ද? ක්‍රිස්ටීනා නමැති සහෝදරියටත් අසනීප හා මහලු විය සමඟ පොරබදින්න සිදු වී තිබෙනවා. ඒ ගැන ඇය පවසන දේ බලන්න. “මගේ වයස නිසා මම නිතරම අසනීප වෙනවා. ඒ වගේම ගෙදර වැඩ පළ කරගන්නේ කොහොමද කියලාත් මම කල්පනා කරනවා. මේ නිසා දෙවිට සේවය කරන්න මට තියෙන උනන්දුව ටිකක් අඩු වෙනවා. ඒත් ඉතින් මම ඉන්න තත්වය නිසා මට එහෙම දැනෙන එක සාමාන්‍ය දෙයක්.” ඔබත් එවැනි තත්වයකට මුහුණ දෙන කෙනෙක් නම් විඳදරාගනිමින් ශුභාරංචිය ප්‍රකාශ කරන්න පුළුවන් කොහොමද කියා දැන් අපි බලමු.

අනාගතවක්තෘවරුන්ව ආදර්ශයට ගන්න

අනාගතවක්තෘවරුන්ට තිබුණා හා සමාන ආකල්පයක් වර්ධනය කරගැනීම, විඳදරාගනිමින් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපට උපකාරයක්. උදාහරණයකට යෙරෙමියා ගැන සිතන්න. දෙවි ඔහුව අනාගතවක්තෘවරයෙක් ලෙස තෝරාගත් අවස්ථාවේදී ඔහු ඊට අදිමදි කළා. ඒ වුණත් ඔහු, දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා කටයුතු කරන්න ඉගෙනගත්තා. ඒ නිසා අවුරුදු 40කට වැඩි කාලයක් පුරා දෙවිට සේවයේ කරන්න ඔහුට හැකි වුණා.—යෙරෙ. 1:6; 20:7-11.

යෙරෙමියාගේ ආදර්ශයෙන් ලැබූ දිරිගැන්වීම ගැන හෙන්රික් නමැති සහෝදරයා මෙසේ පවසනවා. “අවුරුදු 70ක කාලයක් පුරා කළ සේවයේදී මිනිසුන්ගේ සමහර ප්‍රතිචාර හා විරුද්ධාවාදීකම් නිසා සමහර අවස්ථාවලදී මම අධෛර්යයට පත් වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී මම කරන්නේ යෙරෙමියා ගැන හිතන එකයි. ඔහුගේ සේවය දිගටම කරගෙන යන්න ඔහුට උපකාර කළේ දෙවි කෙරෙහි තිබූ ප්‍රේමය හා ශක්තිමත් ඇදහිල්ලයි.” (යෙරෙ. 1:17) රාෆාඋ නමැති සහෝදරයාත් යෙරෙමියාව ආදර්ශයට ගෙන තියෙනවා. ඔහු ඒ ගැන පවසන්නේ මෙසේයි. “යෙරෙමියා තමන් සිටි තත්වය ගැනම හිත හිතා ඉන්නවා වෙනුවට ඉන් ගොඩ ඒම සඳහා දෙවිගේ උපකාරය පැතුවා. ඒ නිසා විරුද්ධවාදීකම් හමුවේ වුණත් ඔහුගේ පැවරුම හොඳින් ඉටු කරන්න ඔහුට හැකි වුණා. මමත් උත්සාහ කරන්නේ එහෙම කරන්නයි.”

විඳදරාගැනීමෙන් යුතුව දෙවිට සේවය කළ තවත් අනාගතවක්තෘවරයෙකු වන්නේ යෙසායායි. ජනයා ඔහුට ඇහුම්කන් දෙන්නේ නැහැ කියා දෙවි ඔහුට කලින්ම මෙසේ පවසා තිබුණා. “මේ ජනයා තමන්ගේ සිත් මුරණ්ඩු කරගනිති. ඔවුන්ගේ කන් වසාගෙන සිටිති.” ඔවුන් එසේ කටයුතු කරන නිසා යෙසායාගේ සේවයෙන් පලක් නැති වෙයිද? නැහැ, දෙවි නම් එසේ සිතුවේ නැහැ. එමෙන්ම ඒ බව දැන දැනම යෙසායාද “මම යන්න කැමතියි. මාව යවන්න” කියා පැවසුවා. (යෙසා. 6:8-10, නව ලොව පරිවර්තනය, NW) ඔහු තම පැවරුමෙහි උද්‍යෝගයෙන් නිරත වුණා. ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ලැබී තිබෙන පැවරුම ඔබ සලකන්නේත් එලෙසද?

බොහෝදෙනා ශුභාරංචියට යහපත් ප්‍රතිචාරයක් නොදක්වන විටදී පවා විඳදරාගනිමින් එහි හවුල් වීමට අපට කළ හැක්කේ කුමක්ද? අපට දක්වන එවන් ප්‍රතිචාරයන් ගැන පමණක්ම සිත සිතා සිටීමෙන් වැළකිය යුතුයි. රාෆාඋ එවැනි ප්‍රතිචාරයන්ට මුහුණ දුන් ආකාරය මෙසේ විස්තර කරනවා. “ශුභාරංචියට කැමති ආකාරයකින් ප්‍රතිචාරය දක්වන්න මිනිසුන්ට අයිතියක් තිබෙනවා. ඒ නිසා සමහරවිට ඒ වගේ අය කියන අකාරුණික කතා ගණන් නොගෙන ඉන්න මම උත්සාහ කරනවා.” ඇනා නමැති සහෝදරියත් ඒ ගැන මෙහෙම කියනවා. “මාව අධෛර්යයට පත් කරන ඕනෑම දෙයක් ගැන මම වැඩිය හිත හිතා ඉන්නේ නැහැ. දේවසේවයේ යන්න පෙර මම කරන යාච්ඤාවත් දින පදයත් ඒ සඳහා මට ලොකු උපකාරයක්.”

අනාගතවක්තෘ එසකියෙල් ගැනද සලකා බලන්න. ඔහුට අනාවැකි පැවසීමට සිදු වුණේ බැබිලෝනියේ වහල්භාවයේ සිටි මුරණ්ඩු යුදෙව්වන්ටයි. (එස. 2:6) ඔහු, දෙවිගේ පණිවිඩය එම ජනයාට ප්‍රකාශ නොකිරීම නිසා ඔවුන් මිය ගියා නම් ඊට ඔහු දෙවිට ගණන් දිය යුතුව තිබුණා. දෙවි පැවසූ මේ වචනවලින් ඒ බව පැහැදිලියි. “ඔබ ඔහුගේ ජීවිතය වෙනුවෙන් මට වන්දි ගෙවිය යුතුයි.”—එස. 3:17, 18NW.

සහෝදර හෙන්රික්, එසකියෙල්ට තිබූ ආකල්පය වර්ධනය කරගන්න උත්සාහ කරනවා. ඔහු ඒ ගැන පවසන්නේ, “වටිනා ජීවිත රාශියක් අනතුරේ තිබෙන නිසා මටත් ඕනේ දෙවි ඉදිරියෙහි ලේ වරදින් නිදහස් කෙනෙක් වෙන්නයි.” (ක්‍රියා 20:26, 27) ස්බිංනයිව් නමැති සහෝදරයාද ඒ හා සමාන දෙයක් පවසනවා. “අනිත් අය මොනවා සිතුවත් එසකියෙල්ට එයාගේ කාර්යය කරන්නම සිදු වුණා. ඒ හා සමානව අපි කරන සේවය ගැන දෙවි සිතන ආකාරය තේරුම්ගන්න මම උත්සාහ කරනවා.”

ඔබ තනි වී නැහැ

‘අපි දෙවි සමඟ හවුලේ වැඩ කරන’ අයයි. (1 කොරි. 3:9) ඒ නිසා අප ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ තනියම නොවෙයි. තමන් සමහර අවස්ථාවලදී අධෛර්යයට පත් වන බව සහෝදරී ක්‍රිස්ටීනා පිළිගන්නවා. ඒ ගැන ඇය පවසන්නේ මෙසේයි. “යෙහෝවා දෙවි මාව කවදාවත් අත්හරින්නේ නැහැ කියලා මම දන්නවා. මාව ශක්තිමත් කරන්න කියා මම දෙවිගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඒ නිසයි.” ඔව්, දේවසේවයේදී අපට දෙවිගේ බලයේ උපකාර අත්‍යවශ්‍යයි.—සෙක. 4:6.

අප ශුභාරංචිය ප්‍රකාශ කරන විට දෙවි තම බලය අපට ලබා දෙනවා. එවිට කදිම ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගැනීමට අපට හැකි වෙනවා. (ගලා. 5:22, 23) දේවසේවයේදී අප කුමන තත්වයකට මුහුණ පෑවත් ඒවා විඳදරාගන්න එම ගුණාංග අපට උපකාරවත් වෙනවා. සහෝදර හෙන්රික් ඒ ගැන පවසන්නේ මෙසේයි. “මගේ ගුණාංග සකස් කරගන්න දේවසේවයේ හවුල් වීම මට ලොකු උපකාරයක්. ඉවසීමෙන් සහ අන් අය ගැන සැලකිලිමත්ව කටයුතු කරන්නේ කොහොමද කියලා වගේම අත් නෑර සේවය කරන්නත් මම ඉගෙනගෙන තියෙනවා.” ඒ ආකාරයෙන් දේවසේවයේදී විඳදරාගෙන කටයුතු කිරීම මගින් කදිම ක්‍රිස්තියානි ගුණාංග වැඩි වැඩියෙන් වර්ධනය කරගැනීමට අප සැමට හැකියි.

“දසදහස් වර දසදහසක්ද, දහස් වර දහසක්” දේවදූතයන් ස්වර්ගයේ සිටින බව බයිබලයේ පවසනවා. (එළි. 5:11) ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට අපට උපකාර කිරීම සඳහා දෙවි මේ අයව යොදාගන්නවා. (එළි. 14:6) අප දේවසේවයේ යෙදෙන විට ඒ ගැන මතකයේ තබාගනිමු.

සහෝදරි ඇනා ඒ ගැන මෙසේ පවසනවා. “දේවදූතයන්ගේ උපකාර අපට තිබෙන බව මතක් වෙද්දී ඒක මට ලොකු ශක්තියක්. යෙහෝවා දෙවි සහ යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ ඔවුන් ලබා දෙන උපකාර මම ගොඩාක් අගය කරනවා.” ඇත්තෙන්ම දෙවිට පක්ෂපාත දූතයන් සමඟ සේවය කරන්න ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද!

ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා අපගේ උපකාරයට දෙවි ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්වද ලබා දී තිබෙනවා. “යකඩින් යකඩ මුවහත් වෙයි. එසේම, මිනිසෙකුට දියුණු වීමට තවත් මිනිසෙකුට උපකාර කළ හැක” යන බයිබල් වගන්තියේ සත්‍යතාව ඔබ අද්දැක ඇති.—හිතෝ. 27:17NW.

ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අපගේ සහෝදර සහෝදරියන් බලපෑමෙන් යුත් විවිධ ක්‍රම යොදාගන්නවා. ඔවුන් සමඟ එක්ව සේවය කිරීමෙන් එවන් ක්‍රම ඉගෙනගැනීමට අපට අවස්ථාව ලැබෙනවා. ඒ ගැන සහෝදරී එල්ස්බීටා මෙසේ පවසනවා. “විවිධ ප්‍රචාරකයන් සමඟ දේවසේවයේ හවුල් වන විට ඔවුන්ට ප්‍රේමය පෙන්වීමටත් ජනයාට ප්‍රේමය පෙන්වීමටත් එය හොඳ අවස්ථාවක්.” එමනිසා විවිධ ප්‍රචාරකයන් සමඟ දේවසේවයේ හවුල් වීමට උත්සාහ කරන්න. එවිට උනන්දුවෙන් එහි හවුල් වීමට ඔබට හැකියි.

ඔබ ගැනත් හොඳ සැලකිල්ලක් දක්වන්න

දේවසේවය සඳහා අපගේ උනන්දුව දිගටම පවත්වාගැනීමට නම් ඒ සඳහා අප හොඳ සැලැස්මකට අනුව පෞද්ගලික අධ්‍යයනයේ යෙදීම සහ ප්‍රමාණවත් විවේකයක් ලබාගැනීම අවශ්‍යයි. එනම් අපගේ ශරීර සෞඛ්‍යය ගැනත් දෙවි සමඟ තිබෙන අපගේ මිත්‍රත්වය ගැනත් අපි හොඳ සැලකිල්ලක් දැක්විය යුතුයි.

“උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි” කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (හිතෝ. 21:5NW) දැන් 88වන වියේ පසුවන සහෝදර සිග්මුන්ට් ඒ ගැන පවසන දේ බලන්න. “හොඳ සැලැස්මකට අනුව දේවසේවයේ හවුල් වීම නිසා ඉන් ප්‍රතිඵල අත් කරගන්නට මට හැකි වෙලා තියෙනවා. මට තියෙන කාලය හොඳින් සැලසුම් කරන නිසා දේවසේවයට ප්‍රමාණවත් කාලයක් සොයාගන්න මට පුළුවන්.”

ශුද්ධ ලියවිලි ගැන මනා අවබෝධයක් ඇතුව සිටීම මගින් දේවසේවයේ හවුල් වීමට අපට ශක්තිය ලැබෙනවා. එමෙන්ම එය අපව සේවය සඳහා සන්නද්ධ කරනවා. අපට ශක්තිමත්ව සිටීම සඳහා ආහාර අවශ්‍ය වෙනවා හා සමානව දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වීමටත් අපගේ ඇදහිල්ල ශක්තිමත් කරවන ආහාර ගැනීමද අත්‍යවශ්‍යයි. එමනිසා අප දිනපතා බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා ‘නියම වේලාවට ලැබෙන ආහාරවලින්’ පෝෂණය වෙමු.—මතෙ. 24:45-47.

සහෝදරී එල්ස්බීටා තම දේවසේවය වඩාත් හොඳින් කිරීම සඳහා එදිනෙදා කටයුතුවල විශාල වෙනස්කමක් සිදු කළා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මම රූපවාහිනිය නරඹන්න ගතකළ කාලය ගොඩාක් අඩු කළා. ඒ නිසා දැන් මට දේවසේවය සඳහා සූදානම් වෙන්න වැඩි කාලයක් තියෙනවා. සෑම සන්ධ්‍යාවකම මම බයිබලය කියවද්දී දේවසේවයේදී හමු වුණ මිනිසුන් ගැන කල්පනා කරනවා. ඒ වගේම ඒ අයට උපකාරවත් විය හැකි බයිබල් පද සහ සඟරාවල ලිපි මම සොයා බලනවා.”

ප්‍රමාණවත් විවේකයක් ලබාගැනීම මගින්ද දේවසේවයෙහි උද්‍යෝගයෙන් හවුල් වීමට අපට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. නමුත් අනෙක් අතට අප විවේකය සඳහා ගත කරන කාලය, ප්‍රමාණය ඉක්මවා විනෝද වීම සඳහා යොදවනවා නම් එය අපගේ දේවසේවයට බාධාවක් විය හැකියි. උද්‍යෝගිමත් ප්‍රචාරකයෙකු වන ඇන්ඩ්‍රේස්ජ් මෙසේ පවසනවා. “ප්‍රමාණවත් විවේකයක් නොලැබුණොත් ඉන් අපි තෙහෙට්ටු වෙනවා. ඒත් එක්කම අපි අධෛර්යයට පත් වෙනවා. ඒ නිසා මම නිතරම උත්සාහ කරන්නේ ඒ තත්වයට නොවැටී ඉන්නයි.”—දේශ. 4:6.

ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අප අවංක උත්සාහයක් දැරුවත් ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ කිහිපදෙනෙක් පමණයි. ඒ වුණත් යෙහෝවා දෙවි නම් අපගේ සේවය කවදාවත් අමතක කරන්නේ නැහැ. (හෙබ්‍රෙ. 6:10) බොහෝදෙනෙක් එම පණිවිඩය ප්‍රතික්ෂේප කළත් අපගේ පැමිණීම ගැන ඔවුන් පසුව කතා කරනවා විය හැකියි. එය එසකියෙල් සම්බන්ධයෙන් පැවසූ මේ වචනවලට සමානයි. ‘සැබෑ අනාගතවක්තෘවරයෙකු ඔවුන් අතරෙහි සිටි බව ඔවුන් අනිවාර්යයෙන්ම තේරුම්ගන්නවා.’ (එස. 2:5NW) අප ගෙයින් ගෙට ගොස් කරන සේවය අභියෝගාත්මක එකක් බව ඇත්තයි. ඒ වුණත් ඉන් අපටත් එය අසන අයටත් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා.

එහි ඇති ප්‍රයෝජන ගැන සහෝදර සිග්මුන්ට් මෙසේ අදහස් දක්වනවා. “දේවසේවයේ හවුල් වීමෙන් අලුත් පෞද්ගලිකත්වය පැළඳගැනීමටත් දෙවි සහ අසල්වාසියා කෙරෙහි තිබෙන ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වීමටත් මට අවස්ථාව ලැබෙනවා.” සහෝදර ඇන්ඩ්‍රේස්ද පවසන්නේ “මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමේ කාර්යයේ හවුල් වෙන්න ලැබීම මට ලොකු වරප්‍රසාදයක්. ආයේ නම් මේ වගේ සේවයක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ” කියායි. ඔව්, අපි සියලුදෙනාත් විඳදරාගැනීමෙන් යුතුව ශුභාරංචිය ප්‍රකාශ කිරීම මගින් බොහෝ ආශීර්වාද ලබමු.—2 කොරි. 4:1, 2.

[31වන පිටුවේ පින්තූර]

විඳදරාගනිමින් දේවසේවයේ හවුල් වීමට නම් අපගේ ශරීර සෞඛ්‍යය ගැනත් දෙවි සමඟ තිබෙන අපගේ මිත්‍රත්වය ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි