Skip to content

පටුනට යන්න

දෙවිගේ ප්‍රඥාව දැකගත හැකි නිර්මාණ

දෙවිගේ ප්‍රඥාව දැකගත හැකි නිර්මාණ

දෙවිගේ ප්‍රඥාව දැකගත හැකි නිර්මාණ

‘ඔහුගේ අදෘශ්‍යමාන ගුණාංග සාදා තිබෙන දේවල්වලින් වටහාගත හැකියි.’—රෝම 1:20.

1. මේ ලෝකයේ බුද්ධිමතුන්යයි සලකන අයගේ මඟ පෙන්වීම්වල ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද?

කවුරුන් හෝ යම් දෙයක් පිළිබඳව වැඩි දැනුමක් ලබා තිබෙනවා නම් බොහෝදෙනා ඔහුව හඳුන්වන්නේ දැන උගත්, ඥානවන්ත කෙනෙක් ලෙසයි. කෙසේනමුත් බුද්ධිමත්යයි කියා සලකන අයගේ මඟ පෙන්වීම් ලබන අයට ජීවිතයේ සැබෑ අරමුණ සොයාගැනීමට හැකි වී නැහැ. ඒ වෙනුවට ඔවුන් “සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින්ද ඔබ මොබ විසි වෙන, රළ පහරින් ගසාගෙන” ගොස් තිබෙනවා.—එෆී. 4:14.

2, 3. (අ) යෙහෝවා දෙවි පමණක් ප්‍රඥාවන්ත තැනැත්තා වීමට හේතු මොනවාද? (ආ) දෙවිගේ ප්‍රඥාව මේ ලෝකයේ ප්‍රඥාවට වඩා වෙනස් වන්නේ කෙසේද?

2 නමුත් “එකම ප්‍රඥාවන්ත දෙවි වන” යෙහෝවාගෙන් ප්‍රඥාව ලබන අය ඉහත සඳහන් අයට වඩා වෙනස්. (රෝම 16:27) යෙහෝවා දෙවිට විශ්වයේ ඇති සෑම දෙයක් ගැනම පූර්ණ අවබෝධයක් තිබෙනවා. ඒ විතරක් නොවෙයි ඒවා නිර්මාණය කර ඇති ආකාරයත් ඒවායේ පටන්ගැන්මේ සිට සියලුම තොරතුරුද ඔහු දන්නවා. මිනිසුන් යම් පර්යේෂණ පවත්වන්නේද දෙවි පිහිටුවා ඇති ස්වාභාවික නීති පදනම් කරගෙනයි. ඒ නිසා මිනිසුන්ගේ අලුත් සොයාගැනීම් දෙවිට නම් අලුත් දෙයක් නොවෙයි. එමෙන්ම මිනිසුන් උසස්යයි සලකන බුද්ධිමතුන්ගේ චින්තනයන් ගැන දෙවි පුදුම වන්නේ නැහැ. ඊට හේතුව ‘මේ ලෝකයේ ප්‍රඥාව දෙවි ඉදිරියෙහි මෝඩකමක්’ වන නිසයි.—1 කොරි. 3:19.

3 යෙහෝවා දෙවි තම සේවකයන්ට ‘ප්‍රඥාව දෙන බව’ බයිබලයේ පවසනවා. (හිතෝ. 2:6, නව ලොව පරිවර්තනය, NW) මනුෂ්‍ය ප්‍රඥාවට වෙනස්ව දෙවි ලබා දෙන ප්‍රඥාව පදනම් වී ඇත්තේ නිවැරදි දැනුම හා අවබෝධය මතයි. ඒ නිසා දෙවිගේ සේවකයන්ට නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබෙනවා. (යාකොබ් 3:17 කියවන්න.) දෙවිගේ අති මහත් ප්‍රඥාව ගැන පුදුම වෙමින් පාවුල් මෙසේ පැවසුවා. ‘දෙවිගේ ප්‍රඥාවත් දැනුමත් කොතරම් ගැඹුරුද! ඔහුගේ විනිශ්චයන් සොයා දැනගැනීමත්, ඔහුගේ මාර්ග තේරුම්ගැනීමත් කොතරම් අමාරුද!’ (රෝම 11:33) යෙහෝවා දෙවි ප්‍රඥාවෙන් පූර්ණ නිසා ඔහුගේ නීති අපගේම යහපත සඳහා බව අපට හොඳටම විශ්වාසයි. එමෙන්ම අපව සතුටින් තැබීම සඳහා අපට අවශ්‍ය කුමක්ද කියා හොඳින්ම දන්නේත් ඔහු පමණයි.—හිතෝ. 3:5, 6.

‘ප්‍රධාන සේවක’ වන යේසුස්

4. අපට දෙවිගේ ප්‍රඥාව අවබෝධ කරගත හැකි එක් ආකාරයක් කුමක්ද?

4 යෙහෝවා දෙවිගේ ප්‍රඥාව හා ඔහුගේ අනර්ඝ ගුණාංග ඔහු නිර්මාණය කර ඇති දේවල්වලින් දැකගත හැකියි. (රෝම 1:20 කියවන්න.) ඉතා දැවැන්ත නිර්මාණවල සිට කුඩා නිර්මාණ දක්වා ඇති සෑම දෙයකින්ම ඔහු මොන වගේ දෙවි කෙනෙක්ද යන්න හෙළි වෙනවා. අපි කොහේ බැලුවත් සෑම දෙයකින්ම දැකගන්න ලැබෙන්නේ යෙහෝවා දෙවි ඉතාමත් ප්‍රඥාවන්ත මෙන්ම ප්‍රේමණීය නිර්මාණකරුවෙකු බව ඔප්පු කරන සාක්ෂියි. ඒවා හොඳින් අධ්‍යයනය කිරීමෙන් දෙවි ගැන තව බොහෝ දේ අපට ඉගෙනගත හැකියි.—ගීතා. 19:1; යෙසා. 40:26.

5, 6. (අ) අප අවට ඇති දේවල් නිර්මාණය කිරීමට දෙවි සමඟ හවුල් වුණේ කවුද? (ආ) දැන් අප සලකා බලන්නේ කුමක්ද? එමෙන්ම ඒ ඇයි?

5 යෙහෝවා දෙවි “අහසත් පොළොවත් නිර්මාණය කළේ” තනිවම නොවෙයි. (උත්. 1:1) සෑම දෙයක්ම නිර්මාණය කිරීමට බොහෝ කාලයකට පෙර දෙවි ස්වර්ගයේ එක් පුද්ගලයෙකුව නිර්මාණය කළා. ඉන්පසු දෙවි අන් “සියල්ල” නිර්මාණය කළේ ඔහු මාර්ගයෙනුයි. ඔහුව හඳුන්වා තිබෙන්නේ “මුළු මැවිල්ලේම කුලුඳුලා” ලෙසයි. ඒ දෙවිගේ එකම පුත්‍රයා වන යේසුස්. (කොලො. 1:15-17) යෙහෝවා දෙවි මෙන් අති මහත් ප්‍රඥාවක් යේසුස් සතුයි. හිතෝපදේශ අටවන පරිච්ඡේදයෙහි යේසුස්ව විස්තර කර තිබෙන්නේ ප්‍රඥාව ලෙසයි. එම පරිච්ඡේදයේම ඔහුව “ප්‍රධාන සේවකයා” ලෙසද හඳුන්වා තිබෙනවා.—හිතෝ. 8:12, 22-31NW.

6 අප අවට ඇති නිර්මාණවලින් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි. දැන් අපි හිතෝපදේශ 30: 24-28 දක්වා සඳහන් කර තිබෙන “සහජයෙන්ම ප්‍රඥාවන්ත” නිර්මාණ කිහිපයක් ගැන සලකා බලමු. * ඒ තුළින් අපට යෙහෝවා දෙවිගේ මෙන්ම යේසුස්ගේ ප්‍රඥාවද දැකගත හැකියි.

කඩිසරකම ගැන පාඩමක්

7, 8. කුහුඹුවන් ගැන ඔබගේ සිත් ගත්තේ කුමක්ද?

7 යෙහෝවා දෙවි ‘පොළවේ කුඩාම සතුන්ව’ නිර්මාණය කර ඇති ආකාරය හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් දෙස බලන විට ඉන් අපට බොහෝ දේ ඉගෙනගත හැකියි. උදාහරණයකට සහජ ප්‍රඥාවෙන් ක්‍රියාකරන කුහුඹුවා ගැන සලකා බලන්න.—හිතෝපදේශ 30:24, 25 කියවන්න.

8 සමහර පර්යේෂකයන් පවසන්නේ වර්තමාන ජනගහනය සමඟ සසඳන විට එක් මිනිසෙකුට කුහුඹුවන්ගේ අනුපාතය 2,00,000ක් පමණ වන බවයි. මොවුන් ඉතාමත් කඩිසරව පොළොව මතුපිට හා පොළොව යට වැඩ කරමින් සිටිනවා. ඔවුන් ජීවත් වන්නේ ජනපද හෝ කොලනි හැටියටයි. එම ජනපදවල කණ්ඩායම් තුනකට අයත් කුහුඹුවන් සිටිනවා. ඔවුන්ව රැජින, පිරිමි හා සේවක කුහුඹුවන් ලෙස හැඳින්විය හැකියි. මේ එක් එක් කණ්ඩායමට අයත් කුහුඹුවන් තමන්ගේ පැවරුම ඉටු කරමින් තම ජනපදයේ අවශ්‍යතාවන් සඳහා දායක වෙනවා. දකුණු ඇමරිකාවේ කොළ කපන කුහුඹුවන් ලෙස හඳුන්වන කුහුඹු විශේෂයක් සිටිනවා. ඔවුන් දක්ෂ ගොවියන් ලෙස හැඳින්විය හැකියි. ඔවුන් දිලීර වගා කරන අතර වැඩි අස්වැන්නක් සඳහා ඒවාට පොහොර දමනවා මෙන්ම ඒවා කප්පාදු කරනවා. එමෙන්ම තම ජනපදයේ ආහාර අවශ්‍යතාවට අනුව වගාව පාලනය කරනවා. *

9, 10. කුහුඹුවන්ගේ කඩිසරකම අපට අනුකරණය කළ හැක්කේ කෙසේද?

9 අපට කුහුඹුවන්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? අප කරන වැඩවලින් හොඳ ප්‍රතිඵල ලබන්න නම් අප කඩිසරව වැඩ කළ යුතුයි. බයිබලයේද අපට මෙසේ උනන්දු කර තිබෙනවා. “අලසය, කුහුඹුවා ළඟට ගොස් ඌ වැඩ කරන ආකාරය දෙස බලා ප්‍රඥාවන්ත වන්න. ඌට අණ දෙන්නෙකුවත් වැඩ බලන්නෙකුවත් පාලකයෙකුවත් නැත. එහෙත් ගිම්හාන කාලයේදී ඌ කෑම එකතු කරගනියි. අස්වැන්න නෙළන කාලයේදී ආහාර රැස් කරගනියි.” (හිතෝ. 6:6-8NW) යෙහෝවා දෙවි හා ඔහුගේ ප්‍රධාන සේවක වන යේසුස්ද නොකඩවා වැඩ කරමින් සිටිනවා. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවා. “මාගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටින්නේය. මමත් වැඩ කරමින් සිටිමි.”—යොහ. 5:17.

10 යෙහෝවා දෙවි හා යේසුස්ව අනුකරණය කරන්නන් ලෙස අපත් කඩිසරව වැඩ කළ යුතුයි. අපට යෙහෝවා දෙවිගේ සංවිධානය තුළ පැවරී ඇති කාර්යය කුමක් වුවත් අප “ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී” සිටිය යුතුයි. (1 කොරි. 15:58) එමනිසා පාවුල් එදා රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට දුන් මෙම උපදෙස අපි අනුගමනය කරමු. “ඔබේ කාර්යයෙහි කම්මැළි නොවන්න. ශුද්ධාත්මයෙන් [දෙවිගේ බලයෙන්] පිරී ඉතිරී යන්න. යෙහෝවාට වෙහෙස මහන්සි වී සේවය කරන්න.” (රෝම 12:11) අප එසේ උද්‍යෝගයෙන් දෙවිගේ කැමැත්ත කරන විට බයිබලය අපට මෙවැනි සහතිකයක් දෙනවා. “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත. මන්ද ඔබ ශුද්ධ තැනැත්තන්ට උපස්ථාන කළහුය. එසේම කරමින්ද සිටින්නහුය.”—හෙබ්‍රෙ. 6:10.

දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වය රැකගනිමු

11. බෙන් හාවා ගැන විස්තර කරන්න.

11 අපට වැදගත් පාඩමක් ඉගෙනගත හැකි තවත් කුඩා සතෙක් වන්නේ බෙන් හාවායි. (හිතෝපදේශ 30:26 කියවන්න.) මේ සතා පෙනුමෙන් හාවෙකුට සමාන වුවත් උගේ කන් වක්‍රාකාරයි. ඒ වගේම උගේ අත් පා කොටයි. උන් වාසය කරන්නේ කඳුකර ප්‍රදේශවලයි. එමෙන්ම උගේ ඇස් පෙනීම ඉතා තියුණුයි. ඒ නිසා අනතුරක් දුර තියාම දැකගැනීමට උන්ට හැකියි. ඒ වගේම මේ සතුන් ජීවත් වන්නේ කඳු බෑවුම්වල ඇති කුහර හා විවර තුළ නිසා වෙනත් සතුන්ට උන්ව පහසුවෙන් ගොදුරු කරගන්න බැහැ. එමෙන්ම උන් රංචු හැටියට නිතරම එකිනෙකාට කිට්ටුවෙන් සිටින නිසා එය ඔවුන්ට ආරක්ෂාවක් වගේම ශීත කාලයේදී අවශ්‍ය උණුසුමද ලබා දෙනවා. *

12, 13. අපට බෙන් හාවාගෙන් ඉගෙනගත හැකි පාඩම් මොනවාද?

12 බෙන් හාවාගෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? ඌ කිසිම විටක අනතුරකට ගොදුරු වන ස්ථානයක සිටින්නේ නැහැ. එමෙන්ම ඌ තම තියුණු දෘෂ්ටිය භාවිත කොට අනතුර දුර තියාම හඳුනාගන්නවා. උන් නිතරම සිටින්නේ උන්ට ආරක්ෂාව සපයන පර්වතයේ කුහර අසලයි. ඒ හා සමානව අපත් මේ දුෂ්ට සමාජයෙන් පැමිණෙන අනතුරු දුර තියාම හඳුනාගැනීම සඳහා නිතරම හොඳ සෝදිසියකින් සිටිය යුතුයි. එවිට අපටත් ඒවායින් ආරක්ෂා විය හැකියි. පාවුල්ද ඒ ගැන මෙසේ උනන්දු කළා. “සිහිකල්පනාව ඇතිව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ ගිල දමන්න සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.” (1 පේතෘ. 5:8) යේසුස්ද මේ පොළොව මත සිටියදී තම විශ්වාසවන්තකම බිඳ හෙළීමට සාතන් ගෙනා සියලුම උත්සාහයන් ගැන හොඳ අවදියෙන් සිටියා. (මතෙ. 4:1-11) ඔහු අපට කදිම ආදර්ශයක්!

13 අපට සෝදිසියෙන් සිටිය හැකි එක් ආකාරයක් වන්නේ අපගේ ආරක්ෂාව සඳහා දෙවි සපයා ඇති දේවල්වලින් ප්‍රයෝජන ගැනීමයි. ඒ සඳහා අපි බයිබලය අධ්‍යයනය කිරීම හා රැස්වීම්වලට සහභාගි වීම කිසිදා අතපසුනොකළ යුතුයි. (ලූක් 4:4; හෙබ්‍රෙ. 10:24, 25) බෙන් හාවුන් එකිනෙකාට කිට්ටුවෙන් සිටින නිසා එය ඔවුන්ට ආරක්ෂාවක් බව අප දැනගත්තා. එලෙසම අපත් “අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්” භුක්තිවිඳිම සඳහා සෙසු ක්‍රිස්තියානීන්ව කිට්ටුවෙන් ඇසුරු කරමු. (රෝම 1:12) එසේ අප දෙවිගේ ආරක්ෂාව ලැබීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා නම් දාවිත් මෙන් අපටත් මෙසේ පැවසිය හැකියි. “යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය. මාගේ දෙවි මාගේ පර්වතයය. මම ඔහුගේ ආරක්ෂාව පතමි.”—ගීතා. 18:2NW.

විරුද්ධවාදීකම් මැද පවා

14. තනි පළඟැටියෙක් භයානක නොවුණත් රංචුවක් ගැන කියන්න පුළුවන් කුමක්ද?

14 අපට පළඟැටියාගෙන්ද බොහෝ දේ ඉගෙනගත හැකියි. සාමාන්‍යයෙන් පළඟැටියෙකුගේ දිග අඟල් දෙකක් පමණ වන අතර එක පළඟැටියෙක් එතරම් භයානක නැහැ. නමුත් උන් රංචු පිටින් එන විට නම් ඉතා භයානකයි. (හිතෝපදේශ 30:27 කියවන්න.) උන් නොසන්සිඳෙන කුසගින්නක් තිබෙන සතුන් හැටියට ප්‍රසිද්ධයි. එමෙන්ම නෙළාගැනීමට ආසන්නව තිබෙන වගාවක් සම්පූර්ණයෙන්ම කා දැමීමට පළඟැටි රංචුවකට ගත වන්නේ ඉතා සුළු වේලාවක් පමණයි. පළඟැටියන් ඇතුළු කෘමීන් විශාල රංචුවකගේ පැමිණීමේ ශබ්දය බයිබලයේ සමාන කර තිබෙන්නේ යුධ රථවල හා පිදුරු දැවෙන විට නැඟෙන හඬටයි. (යෝවෙ. 2:3, 5) පළඟැටියන් පැමිණීම වැළැක්වීම සඳහා සමහරුන් ගිනි ගොඩවල් ගසා තිබෙනවා. නමුත් ඉන් උන්ව වළක්වන්න හැකි වී නැහැ. ඒ ඇයි? ගින්නට හසුවන පළඟැටියන් ගින්න මතට වැටීම නිසා එය නිවී යනවා. පසුව ඉතිරි එවුන්ට බධාවකින් තොරව ඉදිරියට ගමන් කරන්න හැකි වෙනවා. මොවුන්ට රජෙක් හෝ නායකයෙක් නොමැති වුවත් සියලුම බාධක ජය ගෙන ඉදිරියට ඇදෙන්නේ හොඳින් සංවිධානය වූ යුධ හමුදාවක් වගෙයි. *යෝවෙ. 2:25.

15, 16. වර්තමානයේ සිටින දෙවිගේ සේවකයන් පළඟැටියන් මෙන් ක්‍රියා කර තිබෙන්නේ කෙසේද?

15 යෙහෝවා දෙවිගේ සේවකයන් ක්‍රියා කරන ආකාරය යෝවෙල් පොතේ සමාන කර තිබෙන්නේ පළඟැටියන් ක්‍රියා කරන ආකාරයටයි. ඔහු ඒ ගැන මෙසේ වාර්තා කළා. “ශක්තිමත් මිනිසුන් දුවන්නාක් මෙන් ඔවුහු දිව යන්නෝය. සෙබළුන් මෙන් පවුරු උඩට නැඟ යන්නෝය. එකිනෙකා තම තමාට නියම කළ මාර්ගයේ මිස අන් මඟක නොයයි. කිසි විටෙකත් ඔවුන් තම මාර්ගයෙන් ඉවතට නොයයි. ඔවුන් ගමන් කරද්දී එකිනෙකාව තල්ලු කරන්නේ නැත. ඔවුහු එඩිතර මිනිසෙකු මෙන් නොනැවතීම ඉදිරියට ගමන් කරන්නෝය. ඔවුන්ගෙන් සමහරෙකුට ඊතල වැදී මැරී වැටුණත් අනිත් අය ඔවුන්ගේ ගමන නොනවත්වා ඉදිරියට යයි.”—යෝවෙ. 2:7, 8NW.

16 එය වර්තමානයේ දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය ප්‍රකාශ කරන දෙවිගේ සේවකයන් ගැන මොන තරම් කදිම විස්තරයක්ද! කිසිම ‘පවුරකට’ හෙවත් විරුද්ධවාදීකමකට ඔවුන්ව නැවැත්වීමට හැකි වී නැහැ. ඔවුන් අනුකරණය කරන්නේ යේසුස්වයි. බොහෝදෙනෙක් ඔහුව ප්‍රතික්ෂේප කළත් ඒ සියලු විරුද්ධවාදීකම් මැද පවා ඔහු දෙවිගේ කැමැත්ත කළා. (යෙසා. 53:3) ක්‍රිස්තියානීන්ගෙන් සමහරදෙනෙක් සංකේතාත්මක ලෙස “ඊතල වැදී මැරී” වැටී තිබෙනවා. එනම් ඔවුන් දෙවිට දක්වන විශ්වාසවන්තකම නිසා ඔවුන්ව මරණයට පත් කර තිබෙනවා. ඒ වුණත් දේවරාජ්‍ය පණිවිඩය අද දක්වා නොනවත්වා ප්‍රකාශ කරන අතර එම කාර්යයේ හවුල් වන අයගේ ගණනද විශාල ලෙස වැඩි වී තිබෙනවා. සමහර අවස්ථාවලදී විරුද්ධවාදීකම් නිසා දේවරාජ්‍යයේ පණිවිඩය අසා නැති අයට පවා එය දැන ගැනීමට හැකි වී තිබෙනවා. (ක්‍රියා 8:1, 4) පළඟැටියන් මෙන් ඔබත් විරුද්ධවාදීකම් මැද පවා දිගටම දේවසේවයේ හවුල් වී තිබෙනවාද?—හෙබ්‍රෙ. 10:39.

“යහපත් දේට ඇලුම් වන්න”

17. හූණාට යටිකුරුව ගමන් කළ හැක්කේ කුමක් නිසාද?

17 අපි ඊළඟට හූණා ගැන සලකා බලමු. හූණාට ගුරුත්වාකර්ෂණය බල නොපාන බව පෙනෙන්න තිබෙනවා. (හිතෝපදේශ 30:28 කියවන්න.) ඌ බිත්ති දිගේ ගමන් කරන ආකාරය හා සුමට පෘෂ්ඨයක් සහිත සිවිලිමක යටිකුරුව එල්ලී සිටින ආකාරය ගැන විද්‍යාඥයන් පුදුමවෙනවා. හූණා එසේ කරන්නේ කෙසේද? ඒ උගේ පාදවල ඇති යම් මැලියමක් නිසා නොවෙයි. උගේ පාදවල යටි පැත්තේ හරස් අතට දාර පිහිටා තිබෙනවා. ඒ සෑම දාරයකම කෙඳි දහස් ගණනක් තිබෙනවා. ඒ සෑම කෙන්දකම තවත් සියුම් කෙඳි සිය ගණනක් තිබෙනවා. මේ සෑම කෙන්දකම අග කුඩා නැම්මක් දැකගත හැකියි. එම කෙඳිවල තිබෙන අණුක ආකර්ෂණය නිසා හූණාගේ බරට වඩා වැඩි බරක් වුවත් රදවා තබාගැනීමට ඊට හැකියි. ඒ නිසා වීදුරුවක වුවත් ඉතා පහසුවෙන් යටිකුරුව ගමන් කිරීමට ඌට හැකියි. ඒ ගැන මවිත වන පර්යේෂකයන් පවසන්නේ හූණාගේ පාදවල ඇති මෙම ස්වාභාවයට සමාන කෘතිම යමක් නිපදවීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි. *

18. “යහපත් දේට ඇලුම් වන්න” අපට හැක්කේ කෙසේද?

18 හූණාගෙන් අපට ගත හැකි පාඩම කුමක්ද? අපත් ‘දුෂ්ට දේට ද්වේෂ කර, යහපත් දේට ඇලුම්’ විය යුතුයි. (රෝම 12:9) සාතන්ට අයත් දුෂ්ට සමාජයෙන් එල්ලවන නරක බලපෑම් නිසා අප දෙවිගේ ප්‍රතිපත්තිවලට දක්වන ඇලුම්කම දුර්වල විය හැකියි. දෙවිගේ නීති ප්‍රතිපත්තිවලට ඇලුම් නොකරන පාසැලේ හෝ රැකියා ස්ථානයේ අය සමඟ අප ඇලුම්ව කටයුතු කරනවා නම් හෝ නුසුදුසු විනෝදාස්වාදවල ඇලී ගැලී සිටිනවා නම් හරි දේ කිරීමට අප ගෙන ඇති අධිෂ්ඨානය දුර්වල විය හැකියි. එමනිසා කෙදිනකවත් අපට එවැන්නක් සිදු වීමට ඉඩ නොදෙමු. බයිබලයේ අපට උනන්දු කරන්නේ “ඔබ ප්‍රඥාවන්තයෙකුයයි නොසිතන්න” කියායි. (හිතෝ. 3:7NW) ඒ වෙනුවට එදා මෝසෙස් දෙවිගේ සෙනඟට දුන් මෙම ප්‍රඥාවන්ත උපදෙස් අපිත් සිතට ගනිමු. “ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දැක්විය යුතුයි. ඔබ නමස්කාර කළ යුත්තේ ඔහුට පමණයි. ඔහු මතම රඳා සිටින්න.” (ද්වි. 10:20NW) යේසුස්, යෙහෝවා දෙවිට ඇලුම්ව සිටි නිසා බයිබලයේ ඔහු ගැන මෙවැනි දෙයක් පවසා තිබෙනවා. “ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රේම කර, නීති විරෝධීකමට වෛර කළෙහිය.” අපත් ඔහුව අනුකරණය කරමින් යෙහෝවා දෙවිට ඇලුම්ව සිටිමු.—හෙබ්‍රෙ. 1:9.

දෙවිගේ නිර්මාණවලින් ඉගෙනගනිමු

19. (අ) දෙවි නිර්මාණය කර ඇති දේවල්වලින් ඔබට දැකගත හැකි ඔහුගේ ගුණාංග මොනවාද? (ආ) දෙවිගේ ප්‍රඥාව ලබාගැනීම අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

19 අපි සාකච්ඡා කළ ලෙස දෙවි නිර්මාණය කර ඇති දේවල්වලින් ඔහුගේ අනර්ඝ ගුණාංග මෙන්ම වැදගත් පාඩම්ද ඉගෙනගත හැකියි. අපි ඔහුගේ ක්‍රියා ගැන සොයා බලන තරමටම ඔහුගේ ප්‍රඥාව ගැන අප තව තවත් පුදුමයට පත් වෙනවා. අපි දෙවිගේ ප්‍රඥාව නොකඩවා ලබාගැනීමෙන් අපගේ ප්‍රීතිය තව තවත් වැඩි කරගත හැකි අතර අපගේ අනාගත බලාපොරොත්තුවද ආරක්ෂා කරගත හැකියි. (දේශ. 7:12) එමෙන්ම හිතෝපදේශ 3:13 සහ 18හි [NW] සඳහන් වචන මොන තරම් සත්‍යද කියා අපම අද්දකීවි. එහි පවසන්නේ මෙයයි. “ප්‍රඥාව සොයාගෙන වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න තැනැත්තා සන්තෝෂවත්ය. ප්‍රඥාව ජීවන වෘක්ෂයකි. එය අත් කරගෙන තදින් අල්ලාගෙන සිටියොත් එයින් ජීවනයද සන්තෝෂයද ලැබෙනු ඇත.”

[පාදසටහන්වල]

^ 6 ඡේ. මෙම මුරටැඹ ලිපිය සභාවේ සාකච්ඡා කරන විටදී මෙහි සඳහන් පාද සටහන්වල තිබෙන තොරතුරු ගවේෂණය කර, සභාවේ පිළිතුරු දෙන විට ඒවා ඇතුළත් කිරීමට විශේෂයෙන්ම යෞවනයන්ට හැකියි.

^ 8 ඡේ. කොළ කපන කුහුඹුවන් ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා පහත සඳහන් පිබිදෙව්! සඟරා බලන්න. වර්ෂ 1997 අප්‍රියෙල් 8, 30වන පිටුව සහ 2002 ජූනි 8, 16වන පිටුව.

^ 11 ඡේ. බෙන් හාවා ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 1990 සැප්තැම්බර් 8 පිබිදෙව්! සඟරාවේ 15-16 දක්වා පිටු බලන්න. (සිංහලෙන් නැත)

^ 14 ඡේ. පළඟැටියන් ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 1976 ඔක්තෝබර් 22 පිබිදෙව්! සඟරාවේ 11වන පිටුව බලන්න. (සිංහලෙන් නැත)

^ 17 ඡේ. හූණා ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2008 අප්‍රියෙල්, පිබිදෙව්! සඟරාවේ 26වන පිටුව බලන්න.

ඔබට මතකද?

අපට පහත සඳහන් සතුන්ගෙන් ඉගෙනගත හැකි වැදගත් පාඩම් මොනවාද?

• කුහුඹුවාගෙන්

• බෙන් හාවාගෙන්

• පළඟැටියාගෙන්

• හූණාගෙන්

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

ඔබත් කොළ කපන කුහුඹුවා මෙන් කඩිසරද?

[17වන පිටුවේ පින්තූර]

එකිනෙකාට කිට්ටුවෙන් සිටීම බෙන් හාවුන්ට ආරක්ෂාවක්. ඔබත් එසේ කරනවාද?

[18වන පිටුවේ පින්තූර]

පළඟැටියන් මෙන් ක්‍රිස්තියානීන්ද විරුද්ධවාදීකම් හමුවේ පවා ඉදිරියට යනවා

[18වන පිටුවේ පින්තූරය]

හූණා මෙන් ක්‍රිස්තියානීන්ද යහපතට ඇලුම් කරනවා

[හිමිකම් විස්තර]

Stockbyte/Getty Images