Skip to content

පටුනට යන්න

ශ්‍රේෂ්ඨ මෝසෙස් ලෙස යේසුස් කළ කාර්යය

ශ්‍රේෂ්ඨ මෝසෙස් ලෙස යේසුස් කළ කාර්යය

ශ්‍රේෂ්ඨ මෝසෙස් ලෙස යේසුස් කළ කාර්යය

“යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරෙන් මා වැනි අනාගතවක්තෘවරයෙකුව ඔබ උදෙසා නැඟිටුවන්නේය. ඔහු ඔබට පවසන සියල්ලට ඔබ සවන් දිය යුතුය.”—ක්‍රියා 3:22.

1. යේසුස් කළ කී දේවල් මිනිසුන්ට බලපා ඇත්තේ කෙසේද?

මීට අවුරුදු දෙදාහකට පමණ පෙර සිදු වූ පිරිමි දරුවෙකුගේ උපත ගැන දේවදූතයන් සියදහස් ගණනක් දෙවිට ප්‍රශංසා කළ අතර එය සමහර එඬේරුන්ටත් ඇසුණා. (ලූක් 2:8-14) මේ දරුවා අවුරුදු 30ක වැඩිහිටියෙකු වූ පසු විශේෂ සේවයක් ආරම්භ කළා. ඔහු එහි නිරත වුණේ අවුරුදු තුනහමාරක් වුණත් එය මුළු මිනිස් වර්ගයාටම විශාල බලපෑමක් ඇති කළා. එය තේරුම්ගත් 19වන සියවසේ සිටි ඉතිහාසඥයෙක් වන ෆිලිප් ෂාෆ් ඔහු ගැන මෙසේ පැවසුවා. “ඔහු තමා ගැන කිසිවක් ලිව්වේ නැහැ. ඒ වුණත් ඔහු කළ කී දේවල් සඳහන් පොත් මෙන්ම ප්‍රශංසා ගීතිකා බොහෝමයක් රචනා කර තිබෙනවා. එමෙන්ම බොහෝ සම්මන්ත්‍රණ මෙන්ම දේශනවල ප්‍රධාන තේමාව වී තිබෙන්නේත් ඔහු කළ කී දේවලුයි. ඔහු පිළිබඳ බොහෝ කලා නිර්මාණද බිහි වී තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ ඔහු මෙතෙක් සිටි ප්‍රසිද්ධ යයි සැලකෙන අයට වඩා ඉතා ප්‍රබල ලෙසින් මිනිසුන්ට බලපෑමක් ඇති කර තිබෙන බවයි.” ඒ අසහාය පුද්ගලයා වෙන කවරෙකුවත් නොව, යේසුස් ක්‍රිස්තුස්.

2. යේසුස් කළ කී දේවල් ගැන යොහන් පැවසුවේ කුමක්ද?

2 යේසුස් කළ දේවල් ගැන බයිබල් ලේඛක යොහන්ද වාර්තා කළා. ඔහු අවසානයේදී මෙසේ පැවසුවා. “ඇත්තෙන්ම, යේසුස් කළ තවත් බොහෝ දේ ඇත. ඒවා කවදා හෝ සවිස්තරව ලියනු ලැබුවේ නම්, ඒ ලියවිලි දරාගන්න මුළු ලෝකයත් මදියයි මම සිතමි.” (යොහ. 21:25) යේසුස් වසර තුනහමාරකදී කළ කී දේවල්වලින් තමාට වාර්තා කළ හැක්කේ තොරතුරු බිඳක් පමණක් බව යොහන් දැන සිටියා. ඒ වුණත් යේසුස් ගැන ඔහු වාර්තා කළ ඒ තොරතුරු ස්වල්පය පවා ඉමහත් වටිනාකමින් යුක්තයි.

3. දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී යේසුස්ට හිමි කාර්යය අවබෝධ කරගැනීමට අපට හැක්කේ කෙසේද?

3 යේසුස් ගැන සඳහන් සුවිශේෂ හතරට අමතරව අපගේ ඇදහිල්ල ශක්තිමත් කරවන තවත් තොරතුරු දේවවචනයෙන් සොයාගත හැකියි. උදාහරණයකට යේසුස්ට පෙර ජීවත් වූ සමහර ඇදහිලිවන්තයන් ගැන අධ්‍යයනය කිරීමෙන් දෙවිගේ අරමුණ ඉටු කිරීමේදී යේසුස්ට හිමි කාර්යය වඩා හොඳින් අවබෝධ කරගැනීමට අපට හැකියි. දැන් අපි ඔවුන්ගෙන් කිහිපදෙනෙක් ගැන සලකා බලමු.

යේසුස්ට සමාන කාර්යයක් කළ ඇදහිලිවන්තයන්

4, 5. යේසුස්ට සමාන ඇදහිලිවන්තයන් කවුද? එමෙන්ම ඔවුන් යේසුස්ට සමාන වන්නේ කුමනාකාරයෙන්ද?

4 යෙහෝවා දෙවිගේ අභිෂේක කළ තැනැත්තා මෙන්ම අනාගත රජු වන්නේ යේසුස්. ඔහුව මෝසෙස්, දාවිත් හා සලමොන් මගින් නියෝජනය වන බව යොහන්ගේ හා අනෙකුත් සුවිශේෂ තුන මගින් පෙන්වා දෙනවා. ඔවුන් යේසුස්ට සමාන වන්නේ කුමනාකාරයෙන්ද, එමෙන්ම ඉන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද කියා දැන් අපි සලකා බලමු.

5 මෝසෙස් අනාගතවක්තෘවරයෙක්, මැදිහත්කරුවෙක් හා ගැලවුම්කරුවෙක් ලෙස සේවය කළා. යේසුස්ගේ කාර්යයද ඊට සමානයි. දාවිත් එඬේරෙක් මෙන්ම ජයග්‍රාහී රජ කෙනෙක්. යේසුස්ද එඬේරෙකුට සමාන සේවයක් කළ අතර ඔහුද ජයග්‍රාහී රජ කෙනෙක්. (එස. 37:24, 25) සලමොන්ට සමාන කාර්යයක් යේසුස්ද කළා. සලමොන් දෙවිට ඇදහිලිවන්තව සිටියදී ප්‍රඥාවන්ත පාලකයෙක් වූ අතර ඔහුගේ පාලන සමයේදී ඊශ්‍රායෙල්වරුන් මහත් සාමයක් භුක්ති වින්දා. (1 රාජා. 4:25, 29) යේසුස්ද ප්‍රඥාවෙන් පරිපූර්ණ පාලකයෙක් වන අතර “සමාදානයේ කුමාරයා” ලෙසද ඔහුව හඳුන්වනවා. (යෙසා. 9:6NW) යේසුස්ගේ කාර්යය ඉහත කී ඇදහිලිවන්තයන්ට යම් ආකාරවලින් සමානයි. ඒ වුණත් දෙවිගේ අරමුණු ඉටු කිරීමේදී ඔහු කළ කාර්යය නම් ඉතා අද්විතීයයි. මුලින්ම අපි මෝසෙස් ගැන සලකා බලමු. එමගින් යෙහෝවා දෙවිගේ අරමුණු ඉටු කිරීමේදී යේසුස් කළ කාර්යය වඩා හොඳින් තේරුම්ගැනීමට අපට හැකියි.

මෝසෙස් හා යේසුස්

6. යේසුස්ට සවන් දීමේ වැදගත්කම ගැන පේතෘස් පැහැදිලි කළේ කෙසේද?

6 ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයෙන් පසු දවසක සිදු වූ දෙයක් සලකා බලන්න. එදා පේතෘස් හා යොහන්, උපතින්ම කොර වූ මිනිසෙකුව සුව කළා. ඒ ගැන ‘අතිශයින් පුදුමයට’ පත් වූ සෙනඟ ඒ පුද්ගලයාව දැකගන්න ඔහු ළඟට රැස් වුණා. එවිට පේතෘස් තමන් එම පුදුම ක්‍රියාව කළේ දෙවි, යේසුස් මගින් ලබා දුන් බලයෙන් බව පැවසුවා. ඉන්පසු ඔහු මෝසෙස් පැවසූ අනාවැකියක් යේසුස් සම්බන්ධයෙන් ඉටු වූ ආකාරය පැහැදිලි කරමින් මෙසේද පැවසුවා. “යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරෙන් මා වැනි අනාගතවක්තෘවරයෙකුව ඔබ උදෙසා නැඟිටුවන්නේය. ඔහු ඔබට පවසන සියල්ලට ඔබ සවන් දිය යුතුය.”—ක්‍රියා 3:11, 22, 23; ද්විතීය කතාව 18:15, 18, 19 කියවන්න.

7. මෝසෙස්ට වඩා උතුම් අනාගතවක්තෘවරයෙක් ගැන පේතෘස් පැවසූ දේ යුදෙව්වන්ට තේරුම්ගත හැකි වුයේ ඇයි?

7 යුදෙව්වන් මෝසෙස්ට ගැඹුරු ගෞරවයක් දැක්වූවා. එමෙන්ම ඔහුට වඩා උතුම් අනාගතවක්තෘවරයෙකුගේ පැමිණීම ඔවුන් ඉතා ඕනෑකමින් බලා සිටියා. ඒ නිසා පේතෘස් පැවසූ වචන එතැන සිටි යුදෙව්වන්ට හොඳින්ම තේරුම්ගත හැකිවුණා. (ද්වි. 34:10) එම අනාගතවක්තෘවරයා මෝසෙස්ට වඩා ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයෙක් විය යුතුයි. ඔහු නම් දෙවිගේ “තෝරාගත් තැනැත්තා වූ, දෙවිගේ ක්‍රිස්තුස්.”—ලූක් 23:35; හෙබ්‍රෙ. 11:26.

යේසුස් හා මෝසෙස් අතර ඇති සමානකම්

8. මොසෙස් හා යේසුස් අතර ඇති සමානකම් මොනවාද?

8 යේසුස් හා මෝසෙස්ගේ ජීවිතයේ ඇති සමානකම් බලන්න. උදාහරණයකට මේ දෙදෙනාම බිලිඳුන්ව සිටියදී කෲර පාලකයෙකුගේ අතින් ගැලවුණා. (නික්. 1:22–2:10; මතෙ. 2:7-14) එමෙන්ම මේ දෙදෙනාවම ‘ඊජිප්තුවෙන් කැඳවාගත්තා.’ ඒ ගැන හොෂෙයා අනාවැකියකින් මෙසේ පැවසුවා. “ඊශ්‍රායෙල් දරුවෙකුව සිටි කාලයේ පටන් මම ඔහුට ප්‍රේම කළෙමි. ඊජිප්තුවෙන් මාගේ පුත්‍රයාව මම කැඳවාගතිමි.” (හොෂෙ. 11:1NW) ඔහුගේ එම වචන මුලින්ම අදාළ වුණේ මෝසෙස්ගේ මඟ පෙන්වීම යටතේ ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිට වී ආ අවස්ථාවටයි. (නික්. 4:22, 23; 12:29-37) නමුත් හොෂෙයාගේ වචන තවත් ආකාරයකින් ඉටු වුණේ හෙරොද් රජගේ මරණින් පසු යොසෙප් සහ මරියා යේසුස්වත් රැගෙන ඊජිප්තුවෙන් පිටව ආ විටයි.—මතෙ. 2:15, 19-23.

9. (අ) යේසුස් හා මෝසෙස් සිදු කළ ආශ්චර්යයන් මොනවාද? (ආ) මේ දෙදෙනා අතර ඇති තවත් සමානකම් මොනවාද? (“යේසුස්, මෝසෙස්ට සමාන වන තවත් ආකාර” යන 26වන පිටුවේ සඳහන් කොටුව බලන්න.)

9 මේ දෙදෙනා අතර ඇති තවත් සමානකමක් වන්නේ ඔවුන් ආශ්චර්යයන් සිදු කිරීමයි. දෙවිගේ බලය ඔවුන්ට තිබුණු බවට එය සාක්ෂියක්. ආශ්චර්යයන් සිදු කළ මුල්ම මිනිසා වුයේ මෝසෙස්. (නික්. 4:1-9) ඔවුන් දෙදෙනාම කළ ආශ්චර්යයන්වලට ජලය සම්බන්ධයි. උදාහරණයකට මෝසෙස් නයිල් ගඟේ සහ ඇළ දොළ, ගංගාවල ජලය ලේ බවට පත් කළා, රතු මුහුදේ ජලය දෙබෑ කළා. එමෙන්ම කාන්තාරයේ පර්වතයකින් ජලය ගලා ඒමට සැලැස්සුවා. (නික්. 7:19-21; 14:21; 17:5-7) ඒ හා සමානව යේසුස්ද තම පළමු ආශ්චර්යය සිදු කරමින් ජලය වයින් බවට හැරෙව්වා. (යොහ. 2:1-11) පසු අවස්ථාවකදී ඔහු කැලඹුණු ගලීල මුහුද නිශ්චල කළා. එමෙන්ම ඔහු ජලය මත ඇවිද්දා. (මතෙ. 8:23-27; 14:23-25) යේසුස් සහ මෝසෙස් අතර ඇති තවත් සමානකම් දැනගැනීමට  26වන පිටුවේ සඳහන් කොටුව බලන්න.

අනාගතවක්තෘවරයෙක් ලෙස යේසුස්ගේ කාර්යය අගය කරන්න

10. අනාගතවක්තෘවරයෙකුගේ කාර්යය කුමක්ද? එමෙන්ම මෝසෙස් එය කළේ කෙසේද?

10 බොහෝදෙනා සිතන්නේ අනාගතවක්තෘවරයෙකුගේ වගකීම වන්නේ ඉදිරියේ සිදු වන දේවල් ගැන පැවසීම පමණක් කියායි. නමුත් එය ඔහුගේ වගකීම්වල කොටසක් පමණයි. ඊට තවත් දේවල්ද ඇතුළත්. යෙහෝවා දෙවි වෙනුවෙන් කතා කිරීමත් “දෙවිගේ මහිමාන්විත දේවල්” ප්‍රකාශ කිරීමත් ඊට අයත්. (ක්‍රියා 2:11, 16, 17) එමෙන්ම දෙවිගේ අරමුණු හෙළි කිරීම හෝ දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කිරීමද ඔහුගේ වගකීමට අයත් වෙනවා. මෝසෙස් එවැනි කෙනෙක්. ඊජිප්තු දේශයට විරුද්ධව දෙවි පීඩා දහයක් ගෙනෙන බව ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම සීනයි කන්දේදී දෙවි ලබා දුන් නීතිය ඊශ්‍රායෙල්වරුන්ට ලබා දුන්නේත් ඔහුයි. දෙවිගේ කැමැත්ත කුමක්ද කියාත් ඔහු ජනයාව දැනුවත් කළා. ඒ වුණත් ඔහුට වඩා ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයෙක් පැමිණීමට නියමිතව තිබුණා.

11. යේසුස් වඩා ශ්‍රේෂ්ඨ මෝසෙස් ලෙස ක්‍රියා කළේ කෙසේද?

11 පළමුවන සියවසේදී අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කළ සෙකරියා තම පුත්‍රයා වන යොහන් සම්බන්ධයෙන් දෙවි අරමුණු කර තිබෙන දේ හෙළි කළා. (ලූක් 1:76) පසුව ඔහුව හැඳින්වූයේ යොහන් බව්තීස්ත ලෙසයි. ජනයා බොහෝ කාලයක් පුරා බලා සිටි මෝසෙස්ට වඩා ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයා වූ යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණීම ගැන ඔහු හෙළි කළා. (යොහ. 1:23-36) පසුව යේසුස්ද අනාගතවක්තෘවරයෙකු ලෙස බොහෝ අනාවැකි පැවසුවා. උදාහරණයකට ඔහු තම මරණය ගැන, එය සිදුවන ආකාරය ගැන හා එය සිදු කරන අය ගැන කලින්ම පැවසුවා. (මතෙ. 20:17-19) එමෙන්ම අසා සිටි අයව පුදුම කරවමින් යෙරුසලම හා එහි දේවමාලිගාවේ විනාශය ගැනත් ඔහු අනාවැකියක් පැවසුවා. (මාක් 13:1, 2) ඔහු පැවසූ අනාවැකි අපගේ කාලය දක්වාද ඉටු වෙමින් පවතිනවා.—මතෙ. 24:3-41.

12. (අ) ලොව පුරා සිදු කරන දේශනා කිරීමේ කාර්යය සඳහා යේසුස් මුල් ආරම්භයක් දුන්නේ කෙසේද? (ආ) අප යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීම අවශ්‍යය ඇයි?

12 අනාගතවක්තෘවරයෙකුට අමතරව යේසුස් දේශනා කරන්නෙකු හා ගුරුවරයෙකු ලෙසද කටයුතු කළා. ඔහු දේවරජ්‍යය පණිවිඩය ප්‍රකාශ කළේ අන් සෑම කෙනෙකුටම වඩා නිර්භීතකමකින් යුතුවයි. (ලූක් 4:16-21, 43) ඔහු තරම් ශ්‍රෙෂ්ඨ ගුරුවරයෙක් තවත් සිටියේ නැහැ. ඔහුගේ ඉගැන්වීම් ඇසූ සමහර අය මෙසේ පැවසුවා. “කිසි කලක කිසිම මිනිසෙකු මේ වගේ නම් කතා කළේ නැත.” (යොහ. 7:46) එමෙන්ම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔහුට දැඩි උද්‍යෝගයක් තිබූ අතර ඔහු තම අනුගාමිකයන්වද ඒ සඳහා දිරිගැන්වුවා. ඒ තුළින් ඔහු ලොව පුරාම මේ දක්වා සිදු කරනු ලබන දැවැන්ත දේශනා කිරීමේ කාර්යය ආරම්භ කළා. (මතෙ. 28:18-20; ක්‍රියා 5:42) පසුගිය අවුරුද්දෙහි රාජ්‍ය ප්‍රචාරකයන් මිලියන හතක් පමණ පැය 1,50,00,00,000ක් ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා බයිබල් පාඩම් පැවැත්වීම සඳහා වැය කළා. ඔබත් එම සේවයෙහි හැකි උපරිමයෙන් හවුල් වෙනවාද?

13. ‘අවදිව සිටීමට’ අපට උපකාරවත් වන්නේ කුමක්ද?

13 මෝසෙස්ට වඩා උතුම් අනාගතවක්තෘවරයෙකුව නැඟිටුවනු බවට දෙවි පැවසූ අනාවැකිය ඔහු ඒ විදිහටම ඉටු කළා. දෙවි පවසා ඇති අනාවැකි එලෙසම ඉටු කරන බව දැන සිටීම අපට බලපෑ යුත්තේ කෙසේද? අපගේ කාලයේදී ඉටු වන බවට පවසා ඇති අනාවැකිද එලෙසම ඉටු වන බවට එමගින් අපගේ විශ්වාසය වැඩි විය යුතුයි. වඩා ශ්‍රේෂ්ඨ මෝසෙස් වන යේසුස්ගේ ආදර්ශය ගැන අපි හොඳින් කල්පනා කරමු. එවිට ඉතා ඉක්මනින් දෙවි ඉටු කිරීමට නියමිත දේවල් ගැන නිතරම “අවදිව, සිහිකල්පනාව ඇතිව” සිටීමට අපිට හැකියි.—1 තෙස. 5:2, 6.

මැදිහත්කරු ලෙස කළ සේවය අගය කරන්න

14. මෝසෙස්, ඊශ්‍රායෙල්වරුන් හා දෙවි අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළේ කෙසේද?

14 දෙවි, තම නීතිය ඊශ්‍රායෙල්වරුන්ට ලබා දුන්නේ මෝසෙස් මාර්ගයෙනුයි. ඒ අනුව ඔහු දෙවි සහ ඊශ්‍රායෙල්වරුන් අතර මැදිහත්කරු ලෙස කටයුතු කළා. දෙවි ලබා දුන් එම නීතිය ක්‍රිස්තු පූර්ව 1513 සිට ක්‍රිස්තු වර්ෂ පළමු සියවස දක්වා බලපැවැත්වුණා. ඊශ්‍රායෙල්වරුන් දෙවිගේ නීතිවලට කීකරු වුණා නම් දෙවිගේ විශේෂ ජාතිය හැටියට දිගටම ඔහුට සේවය කිරීමටත් හැකියාව තිබුණා.—නික්. 19:3-8.

15. යේසුස් ශ්‍රේෂ්ඨ මැදහත්කරුවෙකු වන්නේ කෙසේද?

15 යෙහෝවා දෙවි පසුව ක්‍රි.ව. 33දී වඩා හොඳ ගිවිසුමක් “දෙවිගේ ඊශ්‍රායෙල්” සමඟ පිහිටෙව්වා. පසුව ඔවුන් දෙවිගේ සභාව බවට පත් වුණා. එය සමන්විත වන්නේ ලොව පුරා සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙනුයි. (ගලා. 6:16) එදා මෝසෙස්ගේ මැදිහත් වීමෙන් ලබා දුන් නීතික ගිවිසුම ලියා තිබුණේ ගල් ලෑලි මතයි. නමුත් යේසුස් මැදිහත්කරු ලෙස කටයුතු කළ මෙම ගිවිසුම ඊට වඩා ශ්‍රේෂ්ඨ එකක්. එහි නීති දෙවි ලියන්නේ මිනිසුන්ගේ හදවත්වලයි. (1 තිමෝති 2:5; හෙබ්‍රෙව් 8:10 කියවන්න.) ඒ අනුව “දෙවිගේ ඊශ්‍රායෙල්” ඔහුගේ “පල උපදවන ජාතිය” බවට පත් වුණා. (මතෙ. 21:43) මෙම අලුත් ගිවිසුමට අයත් වන්නේ දෙවිගේ ඊශ්‍රායෙල්ට අයත් සාමාජිකයන් වුණත් එම ගිවිසුමෙන් ප්‍රයෝජන ලබන තවත් පිරිසක් ඉන්නවා. ඔවුන් ගණන් කළ නොහැකි මහත් සමූහයක් වන අතර දැනට මිය ගොස් සිටින බොහෝ පිරිසක්ද ඊට අයත්. මේ සියලුදෙනාම එම ශ්‍රේෂ්ඨ ගිවිසුම නිසා සදාකාල අශීර්වාද ලැබීමට නියමිතයි.

ගැලවුම්කරු ලෙස ඔහුගේ සේවය අගය කරන්න

16. (අ) දෙවි, ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගැනීමට මෝසෙස්ව යොදා ගත්තේ කෙසේද? (ආ) නික්මයාම 14:13ට අනුව ඔවුන්ට ගැලවීම ලබා දුන්නේ කවුද?

16 මෝසෙස් දෙවිගේ සෙනඟට ගැලවුම්කරුවෙක් වුණා. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිට වීමට පෙර දින රාත්‍රියේදී දෙවිගේ දූතයා ඊජිප්තු දේශයේ සියලු කුලුඳුලන්ට පහර දීමට නියමිතව තිබුණා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ කුලුඳුලන්ද සිටියේ භයානක තත්වයකයි. ඉන් ගැලවීමට බැටළු පැටවෙකු මරා උගේ ලේ ඔවුන්ගේ නිවෙස්වල උළුවහු කණුවල තවරන්න කියා දෙවි, මෝසේස් තුළින් සෙනඟට අණ කළා. (නික්. 12:1-13, 21-23) ඔවුන් එසේ කළ නිසා ඔවුන්ගේ ජීවිත ගැලවුණා. පසුව ඊජිප්තුවෙන් පිට වී යද්දී මුළු ජාතියම භයානක තත්වයකට මුහුණ දුන්නා. ඉදිරියෙන් රතු මුහුද ඔවුන්ට හරස් වූ අතර පිටුපසින් පාරාවෝගේ හමුදාව එලවාගෙන පැමිණියා. ඒ අවස්ථාවේදීත් යෙහෝවා දෙවි මෝසෙස් තුළින් ආශ්චර්යවත් ලෙස රතු මුහුද දෙකට බෙදා ඊශ්‍රායෙල්වරුන්ට ගැලවීම ලබා දුන්නා.—නික්. 14:13, 21.

17, 18. යේසුස්, මෝසෙස්ට වඩා ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුවෙක් වන්නේ කෙසේද?

17 දෙවි, මෝසෙස් මාර්ගයෙන් තම සෙනඟව ගලවාගැනීම සඳහා කළ දේවල් ශ්‍රේෂ්ඨයි. එමෙන්ම ඔහු, යේසුස් මගින් ලබා දුන් ගැලවීම ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි. කීකරු මිනිසුන්ව පාපයේ වහල්කමින් ගලවාගැනීමේ මාර්ගය වූයේ යේසුස්. (රෝම 5:12, 18) මිනිසුන් ලැබූ එම ගැලවීම ‘සදාකාල මිදීමක්.’ (හෙබ්‍රෙ. 9:11, 12) යේසුස් යන නමේ අර්ථය වන්නේද “ගැලවීම දෙන්නේ යෙහෝවා දෙවියි” යන්නයි. යේසුස් අප කළ පාපවලින් අපව ගලවාගන්නවා පමණක් නොව වඩා යහපත් අනාගතයක් භුක්ති විඳිමටත් අවස්ථාව සලසා දෙනවා. එසේ යේසුස් අපව පාපයේ වහල්භාවයෙන් ගලවාගැනීම නිසා දෙවිගේ උදහසින් බේරීමටත්, ඔහු සමඟ ප්‍රේමණීය බැඳීමක් ඇති කරගැනීමටත් අපට අවස්ථාව උදා වෙනවා.—මතෙ. 1:21.

18 යේසුස් අපව පාපයෙන් ගලවාගත් නිසා ඉදිරියේදී අසනීප හා මරණයෙන් තොර ජීවිතයක් භුක්ති විඳීමටත් අපට හැකියි. එය මොන වගේ ප්‍රීතිමත් අවස්ථාවක් වෙයිද කියා මනසින් දැකීමට මේ සිද්ධිය සලකා බලන්න. යායිරස් නම් එක්තරා මිනිසෙකුගේ 12 හැවිරිදි දියණිය මියගොස් සිටියා. යේසුස් ඒ නිවසට ගිය අතර යායිරස්ට මෙසේ පැවසුවා. “භය නොවන්න. ඇදහිල්ල පමණක් පෙන්වන්න. එවිට ඇය ගැලවීම ලබන්නේය.” (ලූක් 8:41, 42, 49, 50) ඔහු පැවසූ ලෙසම ඇය නැවත නැඟිට්ටා. එවිට ඇයගේ දෙමාපියන්ට ඇති වූ සතුට ඔබට සිතා ගත හැකිද? අනාගතයේදී ‘සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ [යේසුස්ගේ] හඬ ඇසී පිටතට එන’ විට ඇති වන ප්‍රීතිය මොන තරම්ද! (යොහ. 5:28, 29) ඇත්තෙන්ම යේසුස් අපගේ ගැලවුම්කරු බව ඉන් පැහැදිලියි.—ක්‍රියා 5:31 කියවන්න; තීත. 1:4; එළි. 7:10.

19, 20. (අ) ශ්‍රේෂ්ඨ මෝසෙස් වන යේසුස් කළ කාර්යය ගැන ගැඹුරින් සිතා බැලීම අපව පොලඹවන්නේ කුමක් කිරීමටද? (ආ) අපි ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ කුමක්ද?

19 ශ්‍රේෂ්ඨ මෝසෙස් වන යේසුස් කළ කාර්යය ගැන ගැඹුරින් සිතා බැලීම අපව පොලඹවන්නේ කුමක් කිරීමටද? ශුභාරංචිය හා දෙවි ගැන අන් අයට ඉගැන්වීමටයි. ඒ තුළින් යේසුස් ලබා දෙන ගැලවීමෙන් ප්‍රයෝජන ගැනීමට අන් අයට උපකාර කරන්න අපට හැකියි. (යෙසා. 61:1-3) එමෙන්ම ඉදිරියේදී දුෂ්ටයන් මත පැමිණෙන විනාශයෙන් අපව ගලවාගැනීමට යේසුස්ට හැකි බවට වූ අපගේ විශ්වාසය ඉන් තවත් ශක්තිමත් වෙනවා.—මතෙ. 25:31-34, 41, 46; එළි. 7:9, 14.

20 ශ්‍රේෂ්ඨ මෝසෙස් හැටියට යේසුස්, මෝසෙස්ට කිසිදා කළ නොහැකි පුදුම දේවල් කළා. අනාගතවක්තෘවරයෙක් හා මැදහත්කරුවෙක් ලෙස ඔහු කළ සේවය මුළු මිනිස් වර්ගයාටම බොහෝ ප්‍රයෝජන ගෙන දී තිබෙනවා. එමෙන්ම ගැලවුම්කරුවෙකු ලෙස ඔහු මුළු මිනිස් වර්ගයාටම පාපයෙන් හා මරණයෙන් සදහටම නිදහස් වීමේ ප්‍රස්තාව විවතෘ කළා. යේසුස් ගැන තව බොහෝ දේවල් පුරාණ ඇදහිලිවන්තයන්ගෙන් අපට ඉගෙනගැනීමට තිබෙනවා. යේසුස්, දාවිත්ට හා සලමොන්ට සමාන වන්නේ කුමනාකාරවලින්ද කියා අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

ඔබට මතකද?

මෝසෙස්ට වඩා යේසුස්

• අනාගතවක්තෘවරයෙක් ලෙස

• මැදිහත්කරුවෙකු ලෙස

• ගැලවුම්කරුවෙකු ලෙස ශ්‍රේෂ්ඨ වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ කොටුව/පින්තූරය]

 යේසුස්, මෝසෙස්ට සමාන වන තවත් ආකාර

□ මේ දෙදෙනාම යෙහෝවා දෙවිට හා ඔහුගේ සෙනඟට සේවය කිරීම සඳහා තමන්ට තිබූ උසස් තත්වය අත්හැරියා.—2 කොරි. 8:9; ෆිලි. 2:5-8; හෙබ්‍රෙ. 11:24-26.

□ මේ දෙදෙනාම දෙවිගෙන් අභිෂේක ලැබුවා.—මාක් 14:61, 62; යොහ. 4:25, 26; හෙබ්‍රෙ. 11:26.

□ මේ දෙදෙනාම පැමිණියේ යෙහෝවා දෙවිගේ නාමය නියෝජනය කරමිනුයි.—නික්. 3:13-16; යොහ. 5:43; 17:4, 6, 26.

□ මේ දෙදෙනාම මෘදු ගුණැති අයයි.—ගණන්. 12:3; මතෙ. 11:28-30.

□ මේ දෙදෙනාම බොහෝ පිරිසකට කන්න දුන්නා.—නික්. 16:12; යොහ. 6:48-51.

□ මේ දෙදෙනාම විනිශ්චයකරුවන් වූ අතර දෙවිගේ නීති ජනයාට ලබා දුන්නා.—නික්. 18:13; මලා. 4:4; යොහ. 5:22, 23; 15:10.

□ මේ දෙදෙනාටම දෙවිගේ ගෘහයේ මූලිකත්වය විශ්වාසයෙන් භාර දී තිබුණා.—ගණන්. 12:7; හෙබ්‍රෙ. 3:2-6.

□ මේ දෙදෙනාම දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ව සිටියා.—හෙබ්‍රෙ. 11:24-29; 12:1; එළි. 1:5.

□ මේ දෙදෙනාම මිය ගිය පසු ඔවුන්ගේ මෘත දේහයන් සොයාගන්න ලැබුණේ නැහැ.—ද්වි. 34:5, 6; ලූක් 24:1-3; ක්‍රියා 2:31; 1 කොරි. 15:50; යූද් 9.