Skip to content

පටුනට යන්න

ඉත්තයිගේ විශ්වාසවන්තකම අනුකරණය කරන්න

ඉත්තයිගේ විශ්වාසවන්තකම අනුකරණය කරන්න

ඉත්තයිගේ විශ්වාසවන්තකම අනුකරණය කරන්න

“සර්වපරාක්‍රම තැනැත්තා වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා මහත්ය, විස්මයජනකය. සදාකාල රජුනි, ඔබේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. යෙහෝවා, ඔබ පමණක් පක්ෂපාතී [විශ්වාසවන්තකමින් පිරිපුන්] තැනැත්තා වන හෙයින් සැබවින්ම ඔබ කෙරෙහි භය ඇතිව නොසිටින්නෙත්, ඔබේ නාමය මහිමයට පත් නොකරන්නෙත් කවුද?” එසේ ස්වර්ගයේ සිට දෙවිට ප්‍රශංසා කරන්නේ ‘වන මෘගයාගෙන්ද උගේ රූපයෙන්ද ජය ලැබූ අයයි.’ (එළි. 15:2-4) මෙහිදී ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වන්නේ යෙහෝවා දෙවිගේ විශ්වාසවන්තකම ගැනයි. විශ්වාසවන්තකමින් පිරිපුන් යෙහෝවා දෙවි කැමති වන්නේ තම සේවකයන්ද විශ්වාසවන්ත අය වෙනවාටයි.—එෆී. 4:24.

නමුත් දෙවිගේ සේවකයන්ට ඔහුගේ අනුමැතිය ලැබීම වළක්වන්න සාතන් ඔහුට හැකි සෑම දෙයක්ම කරනවා. ඒ වුණත් දැඩි පීඩා යටතේ පවා බොහෝදෙනෙක් දෙවිට විශ්වාසවන්තව සිට තිබෙනවා. දෙවි එවැනි අයව ඉතා අනර්ඝ කොට සලකන බව දැන සිටීම අපට මොන තරම් දිරිගැන්වීමක්ද! ඒ ගැන බයිබලයේ මෙසේ සහතික කරනවා. “යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි. තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.” (ගීතා. 37:28, නව ලොව පරිවර්තනය, NW) දෙවිට විශ්වාසවන්තව සිටි අය ගැන බයිබලයේ වාර්තා කර තිබෙන අතර ඔවුන්ව ආදර්ශයට ගනිමින් දෙවිට විශ්වාසවන්තව සිටීමට අපටත් හැකියි. ඉන් එක්කෙනෙක් වන්නේ ඉත්තයි නමැති තැනැත්තායි.

‘දේශය අත්හැර පැමිණි’ ඔහු

ඔහු ජීවත් වුණේ ප්‍රසිද්ධ පිලිස්තීය නගරයක් වූ ගාත්වල විය හැකියි. ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රබල තර්ජනයක් වූ බොහෝදෙනෙක් මෙන්ම ගොලියත්ද ජීවත් වුණේ ගාත් නගරයේයි. යුධ සෙන්පතියෙකු වන ඉත්තයි ගැන බයිබලයේ මුලින්ම සඳහන් වන්නේ දාවිත් රජට විරුද්ධව අබ්සලොම් කැරලිගසන්න පටන්ගත් අවස්ථාවේදීයි. ඉත්තයි ගාත්හි වැසියෙකු වුණත් ඔහු තවත් පිලිස්තීය මනුෂ්‍යයන් 600ක් සමඟ තම රටින් පිට වී යෙරුසලමට කිට්ටු ප්‍රදේශයක ජීවත් වුණා.

දාවිත් හා තවත් ඊශ්‍රායෙල්වරුන් 600ක් මේ හා සමාන දෙයක් අද්දැක තිබුණා. එය නම් ඔවුන්ද ඊශ්‍රායෙල් නුවරින් පලාගොස් පිලිස්තීය ප්‍රදේශයක් වූ ගාත්හි ආකීෂ් රජුගේ පාලන ප්‍රදේශයට ගොස් ජීවත් වූ කාලයයි. ඉත්තයි හා ඔහු සමඟ සිටින අය මුහුණ දී ඇති තත්වය දැනගත් විට දාවිත්ට තම අද්දැකීම මතක් වෙන්න ඇති. (1 සාමු. 27:2, 3) අබ්සලොම් දාවිත්ට විරුද්ධව කැරලිගසන විට ඉත්තයි හා ඔහුගේ පිරිස කුමක් කරයිද? ඔවුන් අබ්සලොබ්ගේ පැත්ත ගනීවිද? දාවිත්ගේ පැත්ත ගනීවිද? නැත්නම් කිසිම පැත්තක් නොගෙන සිටීවිද?

අබ්සලොම් නිසා දාවිත් යෙරුසලමෙන් පලා ගොස් බෙත්මෙර්හාක් කියන ප්‍රදේශයේ නතර වුණා. බෙත්මෙර්හාක් කියන්නේ යෙරුසලමේ සිට ඔලීව කන්ද දෙසට වෙන්න තිබෙන කිද්‍රොන් නිම්නය හරහා යාමට පෙර ඇති අවසන් නැවතුමයි. (2 සාමු. 15:17) දාවිත් මේ ස්ථානයේ සිට ඔහුගේ සෙනඟ නිම්නයේ අනික් පැත්තට යනවා බලා සිටියා. එසේ ගියේ ඊශ්‍රායෙල්වරුන් පමණක් නොවෙයි. කෙරෙතිවරුන් හා පෙලෙතිවරුන්ද ඒ අය අතර සිටියා. ඒ වගේම ගාත් සිට පැමිණි ඉත්තයි හා ඔහුගේ මිනිසුන් 600 දෙනාද ඒ අතර වුණා.—2 සාමු. 15:18.

ඔවුන්ව දුටු දාවිත් ඔවුන් කෙරෙහි අනුකම්පා කර ඉත්තයිට මෙසේ පැවසුවා. “ඔබ ආපහු හැරිලා යන්න. අප සමඟ එන්න අවශ්‍ය නැහැ. ඔබ විදේශිකයෙක් නිසා ඔබට රජු සමඟ ජීවත් වෙන්න පුළුවන්. අනික ඔබ ඔබේ දේශය අත්හැරලයි මෙහෙට ඇවිත් ඉන්නේ. ඔබ මේ දේශයට ආවේ ළඟදී. ඒ නිසා මම යන යන තැනට ඔබව රැගෙන යන එක හොඳ නැහැ. ඔබේ සහෝදරයන් සමඟ ඔබ ආපහු යන්න. යෙහෝවා දෙවි ඔබට ප්‍රේමය පෙන්වා ඔබ සමඟ විශ්වාසවන්තව කටයුතු කරයි කියලා මට විශ්වාසයි.”—2 සාමු. 15:19, 20 NW.

එවිට ඉත්තයි තම නොසැලෙන විශ්වාසවන්තකම පෙන්වමින් මෙසේ පැවසුවා. “මගේ ස්වාමීනි, ඔබ යන ඕනෑම තැනකට මාත් ඔබ සමඟ එනවා කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියෙත් ඔබ ඉදිරියෙත් මම දිවුරලා පොරොන්දු වෙනවා. ඔබ සමඟ මැරෙන්න වුණත් මම ලෑස්තියි!” (2 සාමු. 15:21NW) තම සීයාගේ මව වන රූත් මේ හා සමාන වචන පැවසූ බව දාවිත්ට මතක් වෙන්න ඇති. (රූත් 1:16, 17) ඉත්තයි පැවසූ දේ දාවිත්ගේ හිතට තදින්ම කාවැදුණා. ඒ නිසා දාවිත් ඉත්තයිට මෙසේ පැවසුවා. “එහෙමනම් ඔබත් අපි සමඟ එන්න.” එවිට ‘ගාත් සිට පැමිණි ඉත්තයිද ඔහුගේ සෙනඟද ඔවුන්ගේ දරුදැරියෝද නිම්නයෙන් අනික් පැත්තට ගියා.’—2 සාමු. 15:22NW.

“අපේ ඉගෙනීම සඳහා”

“කලින් ලියන ලද සියල්ල අපේ ඉගෙනීම සඳහා ලියා” ඇති නිසා අපට ඉත්තයිගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (රෝම 15:4.) දාවිත්ට විශ්වාසවන්තව සිටින්න ඉත්තයිව පෙලඹුවේ කුමක්ද කියා සිතා බලන්න. ඔහු විදේශිකයෙකු හා පිලිස්තියෙන් පිට වී ජීවත් වු පුද්ගලයෙකු වුණත් යෙහෝවා ජීවමාන දෙවි බවත් දාවිත්ව දෙවි විසින් අභිෂේක කර ඇති බවත් ඔහු තේරුම්ගෙන තිබුණා. පිලිස්තිවරුන් හා ඊශ්‍රායෙල්වරුන් අතර තිබු සතුරුකම ගැන ඉත්තයි සැලකුවේ නැහැ. ඔහුගේ රට වැසියන් බොහෝදෙනෙකුව හා ඔවුන්ගේ වීරයෙක් වන ගොලියත්ව දාවිත් ඝාතනය කළත් ඉත්තයි දාවිත්ව සැලකුවේ වෙනස් පුද්ගලයෙක් ලෙසයි. (1 සාමු. 18:6, 7) ඔහු දාවිත්ගේ හොඳ ගුණාංග අගය කළ අතර දාවිත් දෙවිට ප්‍රේම කරන කෙනෙකු බවද දැන සිටියා. දාවිත්ටද ඉත්තයි ගැන ගෞරවයක් තිබුණා. අබ්සලොම්ට විරුද්ධව යුද්ධ කිරීමට ඔහු තමන්ගේ හමුදාවේ ‘තුනෙන් එකක් ඉත්තයිට’ මෙහෙයවන්න භාර දුන්නේ ඒ නිසායි.—2 සාමු. 18:2NW.

අන් අයගේ ජාතිය හෝ සංස්කෘතිය කුමක් වුණත් ඔවුන්ගේ හොඳ ගුණාංග අප අගය කළ යුතුයි. අපි යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ඔහුට ප්‍රේම කරනවා නම් අන් අය ගැන වැරදි විදිහට සිතමින් ඔවුන්ව පහත් කොට සලකන්න අප පෙලඹෙන්නේ නැහැ. ඒ බව දාවිත් සහ ඉත්තයිගේ සිද්ධියෙන් අපට ඉගෙනගත හැකියි.

ඉත්තයි ගැන කල්පනා කරද්දී අපට මෙවැනි ප්‍රශ්නයක් අපෙන්ම අසාගන්න පුළුවන්. ‘මමත් වඩා ශ්‍රේෂ්ඨ දාවිත් වන යේසුස්ට විශ්වාසවන්තකම පෙන්වනවාද? දේවරාජ්‍යය පණිවිඩය ප්‍රකාශ කිරීමෙහි හා මිනිසුන්ට දෙවි ගැන ඉගැන්වීමෙහි උද්‍යෝගයෙන් හවුල් වීමෙන් එම විශ්වාසවන්තකම පෙන්වනවාද?’ (මතෙ. 24:14; 28:19, 20) එමෙන්ම ‘දෙවිට දක්වන මගේ විශ්වාසවන්තකම වෙනුවෙන් කොතරම් දුරකට විඳදරාගන්න මම කැමතිද?’

ඉත්තයි පෙන්වූ විශ්වාසවන්තකම පවුල් මූලිකයන්ටද හොඳ ආදර්ශයක්. ඔහු දාවිත්ට දැක්වූ මිත්‍රකම හා දෙවිගේ අභිෂේක ලත් රජ සමඟ යෑමට ගත් තීරණය ඉත්තයි සමඟ සිටි අනෙක් මිනිසුන්ට හොඳ බලපෑමක් ඇති කළා. එලෙසම සැබෑ නමස්කාරයේ වැඩි දියුණුව වෙනුවෙන් පවුල් මූලිකයන් තීරණ ගන්නා විට පවුලේ සාමාජිකයන්ට යම් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය හැකියි. ඒ වුණත් එවැනි අයට බයිබලයේ දී ඇති සහතිකය මෙයයි. “ඔබව [යෙහෝවා දෙවිව] අත් නොහරින කෙනෙකුව ඔබත් [යෙහෝවා දෙවිද] කිසිදාක අත් නොහරින්නෙහිය.”—ගීතා. 18:25NW.

දාවිත් හා අබ්සලොම් අතර පැවති සටනින් පසුව ඉත්තයි ගැන බයිබලයේ සඳහන් වන්නේ නැහැ. කෙසේනමුත් ඔහු ගැන සඳහන් වී ඇති තොරතුරු බිඳෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? දාවිත් දැඩි අමාරු තත්වයකට පත්ව සිටියදී ඉත්තයි කටයුතු කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ ඔහු හොඳ ගුණංග ඇති කෙනෙකු බවයි. දෙවිගේ බලයේ මඟපෙන්වීමෙන් ලියැවී ඇති බයිබලයේ ඔහු ගැන සඳහන් කර තිබීමෙන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි තමන්ට විශ්වාසවන්ත අය ගැන සතුටු වන බව හා ඔවුන්ට ආශීර්වාද කරන බවයි.—හෙබ්‍රෙ. 6:10.