Skip to content

පටුනට යන්න

“නිහඬව සිටීමට කාලයක්”

“නිහඬව සිටීමට කාලයක්”

“නිහඬව සිටීමට කාලයක්”

‘කතා කිරීම රිදී මෙන්ය, නිහඬව සිටීම රන් මෙන්ය’ කියා චීනය, ජපානය වැනි රටවල ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. ඒ වගේම හෙබ්‍රෙව් භාෂාවේද ඊට සමාන මෙවැනි කියමනක් තිබෙනවා. ‘වචනයක් කතා කිරීම ෂෙකෙලයක් වටිනවා නම් නිහඬව සිටීම ෂෙකෙල් දෙකක් වටිනවා.’ ප්‍රඥාවන්ත සලමොන් රජද මෙවැනි දෙයක් පැවසුවා. ‘අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත.’—දේශ. 3:1, 7, නවලොව පරිවර්තනය, NW.

“නිහඬ” යන වචනය සියයකට වැඩි වාර ගණනක් බයිබලයේ සඳහන් වී තිබෙනවා. නිහඬව සිටීමට සුදුසු අවස්ථා මොනවාද? අන් අයට ගෞරවය පෙන්වීමක් ලෙස නිහඬව සිටිය හැකියි. එය බුද්ධිමත්ව හා අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙකුගේ ලක්ෂණයක්. එමෙන්ම ගැඹුරින් කල්පනා කිරීම සඳහාද එය උපකාරයක්. දැන් අපි එම පැති තුන ගැන සලකා බලමු.

අන් අයට ගෞරවය පෙන්වීම සඳහා

නිහඬව සිටීම කෙනෙකුට කරන ගෞරවයක් වන අවස්ථාවක් ගැන අනාගතවක්තෘ හබක්කුක් මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි තම ශුද්ධ මාලිගාවේ සිටින්නේය. පොළොවේ සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ නිහඬ වන්න!” (හබ. 2:20NW) එමෙන්ම සැබෑ නමස්කාරකයන් “යෙහෝවා දෙවි ගැලවීම ලබා දෙන තෙක් නිහඬව” බලා සිටීම අවශ්‍යයි. (විලා. 3:26NW) ගීතිකාකරුද ඒ හා සමාන දෙයක් පැවසුවා. ‘යෙහෝවා දෙවි ක්‍රියා කරන තෙක් නිහඬව, ඉවසිලිවන්තව බලා සිටින්න. කෙනෙකු ජීවිතය සාර්ථක කරගත්තත් ඒ ගැන කෝප නොවන්න.’—ගීතා. 37:7NW.

නිහඬව දෙවිට ප්‍රශංසා කරන්න අපට පුළුවන්ද? ඔව්, එය තේරුම්ගැනීමට මේ ගැන කල්පනා කර බලන්න. අපි දෙවිගේ පුදුමාකාර මෙන්ම අලංකාර නිර්මාණයන් දැකීමෙන් මවිතයට පත් වී ඒ දෙස බලා සිටින්නේ නැද්ද? ඔව්, ඒ අවස්ථාවේදී අපි නිහඬව සිටියත් අපගේ හදවතින් අපගේ නිර්මාණකරුට ප්‍රශංසා කරනවා. දාවිත්ද එවන් මොහොතක ඇති වන හැඟීම් ගීතිකාවකින් පළ කළේ මෙසේයි. “දෙවියනි, සියොන්හිදී ඔබට ප්‍රශංසාව ලැබෙන්නේය. ඔබ ඉදිරියේ නිහඬතාවක්ද පවතින්නේය. අපි ඔබට දුන් පොරොන්දු ඉටු කරන්නෙමු.”—ගීතා. 65:1NW.

අප, යෙහෝවා දෙවිට මෙන්ම ඔහු පවසන දේවල්වලටද ගෞරව කිරීම අවශ්‍යයි. ඊට උදාහරණයක් බලන්න. මෝසෙස් මිය යෑමට පෙර ඔහු, පූජකයන් සමඟ එක් වී රැස්ව සිටි මුළු ජාතියට මෙසේ පැවසුවා. ‘ඔබේ දෙවි වන යෙහෝවාගේ හඬට හොඳින් සවන් දෙන්න.’ ඊශ්‍රායෙල්හි කුඩා දරුවන් පවා දෙවිගේ නීතිය කියවන විට ඊට හොඳින් ඇහුම්කන් දීම දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණා. ඒ සඳහා ‘සියලුම පුරුෂයන්, ස්ත්‍රීන් හා කුඩා දරුවන් රැස් විය යුතුයි’ කියා මෝසෙස් පැවසුවේ ඒ නිසයි. එසේ කළේ ‘ඔවුන් සියලුදෙනාටම හොඳින් ඉගෙනගන්න හැකි වන’ ලෙසයි.—ද්වි. 27:9, 10; 31:11, 12NW.

එලෙසම අපද සභා රැස්වීම් සහ සමුළු තුළින් අපට ලැබෙන උපදෙස් හා මඟ පෙන්වීම්වලට හොඳින් ඇහුම්කන් දීමෙන් දෙවි පවසන දේවල්වලට අපගේ ගෞරවය පෙන්විය හැකියි. නමුත් වේදිකාවෙන් අපට වටිනා තොරතුරු ඉදිරිපත් කරන අතරතුර එකිනෙකා සමඟ අනවශ්‍යය ලෙස කතාබහ කිරීම දෙවිට කරන අගෞරවයක් නොවේද? රැස්වීම් අතරතුර නිශ්ශබ්දව ඊට හොඳින් ඇහුම්කන් දීම ඉතා වැදගත්.

සාමාන්‍යයෙන් දෙදෙනෙක් අතර ඇති වන කතාබහකදී පවා නිහඬව සිටීම මගින් එනම් අනෙක් තැනැත්තාට හොඳින් ඇහුම්කන් දීමෙන් ඔහුට ගෞරවය පෙන්විය හැකියි. යෝබ් ඊට කදිම ආදර්ශයක්. ඔහුට චෝදනා කළ අයට ඔහු මෙවැනි දෙයක් පැවසුවා. “මට උගන්වන්න. මම නිහඬව ඔබට සවන් දෙන්නෙමි.” ඔවුන් කතා කරද්දී යෝබ් ඉතා ඕනෑකමින් ඔවුන්ට නිහඬව සවන් දුන් බව ඉන් පැහැදිලියි. නමුත් කතා කිරීම සඳහා යෝබ්ගේ වාරය පැමිණි විට ඔහු කාරුණිකව මෙසේ ඉල්ලා සිටියා. “නිහඬව සිට මට යමක් පවසන්න ඉඩ දෙන්න.”—යෝබ් 6:24; 13:13NW.

බුද්ධිමත්ව හා අවබෝධයෙන් ක්‍රියා කිරීමේ ලක්ෂණයක්

“බුද්ධිමත් තැනැත්තා තම වචන කල්පනාකාරීව හසුරුවයි,” “කාරණා හොඳින් අවබෝධ කරගත හැකි තැනැත්තා නිහඬව සිටියි” කියා බයිබලය පවසනවා. (හිතෝ. 10:19; 11:12NW) සුදුසු අවස්ථාවලදී නිහඬව සිටීමෙන් යේසුස් එම වචනවල සත්‍යතාව කදිමට විදහා පෙන්වූ ආකාරය සලකා බලන්න. කෝපයෙන් වියරු වැටුණු තම සතුරන් ඉදිරියෙහි කතා කිරීමෙන් කිසි පලක් නැති බව අවබෝධ කරගත් “යේසුස් නිහඬව” සිටියා. (මතෙ. 26:63) පසුව පිලාත් ඉදිරියෙහි ප්‍රශ්න කරන අවස්ථාවේදීත් යේසුස් ‘කිසි පිළිතුරක් දුන්නේ නැහැ.’ බුද්ධිමත් ලෙස කටයුතු කළ ඔහු ඒ අවස්ථාවේදී කතා කරනවා වෙනුවට තමා කර තිබූ ක්‍රියාවලින් ඊට පිළිතුර තේරුම්ගැනීමට ඔහුට ඉඩ හැරියා.—මතෙ. 27:11-14.

අප කෝපයට පත් වී සිටින අවස්ථාවලදීද නිහඬව සිටීම ඥානවන්ත දෙයක්. එය සනාථ කරමින් හිතෝපදේශයක් පවසන්නේ මෙසේයි. “ඉක්මනින් කෝප නොවන්නා හොඳ වටහාගැනීමේ හැකියාවක් ඇති කෙනෙකි. එහෙත් ඉවසීම නැති තැනැත්තා තම මෝඩකම ප්‍රදර්ශනය කරයි.” (හිතෝ. 14:29NW) අප යම් පීඩනයක් යටතේ සිටින අවස්ථාවකදී ඉක්මන් වී පවසන වචන, පසුව කනගාටුවට හේතුවක් විය හැකියි. එමෙන්ම ඒ තුළින් අපගේ මනසේ සාමයද අහිමි විය හැකියි.

දෙවිගේ සේවකයන් වන අපට විරුද්ධවාදීකම් පාන අය ඉදිරියෙහි අප යම් දේවල් පවසන විට බුද්ධිමත් වීම වැදගත්. අප දේවසේවයේ හවුල් වන විට මිනිසුන් අපට සමච්චල් කරන අවස්ථාවලදී ඊට ප්‍රතිචාරය දැක්විය හැකි හොඳම ක්‍රමය විය හැක්කේ නිහඬව සිටීමයි. එමෙන්ම පාසැලේ මිතුරන් හෝ රැකියා ස්ථානයේ සේවකයන් අසභ්‍ය විහිළු කරන විට හෝ පහත් භාෂාවක් යොදාගන්නා විට අප සිනාසුණොත් හෝ යමක් පැවසුවොත් අප එය අනුමත කරන බවට යම් ඇඟවීමක් ඔවුන් තුළ ඇති විය හැකියි. ඒ නිසා ඥානවන්තම දේ වන්නේ එවන් අවස්ථාවලදීත් නිහඬව සිටීමයි. (එෆී. 5:3) ගීතිකාකරුද ඒ ගැන පවසන්නේ මෙසේයි. “දුෂ්ටයෙකු මා ඉදිරියේ සිටින තාක් කල් මාගේ කට නොඅරින පිණිස මම කටකලියාවක් දමාගන්නෙමි.”—ගීතා 39:1NW.

“කාරණා හොඳින් අවබෝධ කරගත හැකි” කෙනෙක් කෙදිනකවත් ඔවුන් කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ කරන්නේ නැහැ. (හිතෝ. 11:12NW) එමෙන්ම නොසැලකිලිමත් ලෙස කතා කරමින් රහසිගත කාරණා හෙළි නොකිරීමට ඔවුන් වගබලා ගන්නවා. සභාවේ සාමාජිකයන් ගැන පෞද්ගලික තොරතුරු දන්නා ක්‍රිස්තියානි වැඩිමහල්ලන් විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි.

මිතුරන් දෙදෙනෙක් අතර කෙරෙන කතාබහකදී එක්කෙනෙක් පමණක් කතා කරනවා වෙනුවට දෙදෙනාටම ඒ සඳහා අවස්ථාව ලැබිය යුතුයි. හොඳින් අදහස් හුවමාරු කරන්නෙක් නිතරම හොඳ සවන්දෙන්නෙක්ද විය යුතුයි.

“කතාබහ වැඩි වූ විට වරදකට හසු වීමේ ඉඩකඩද වැඩිය” කියා අනතුරු ඇඟවූ සලමොන් රජ තවදුරටත් පැවසුවේ “එහෙත් බුද්ධිමත් තැනැත්තා තම වචන කල්පනාකාරීව හසුරුවයි” කියායි. (හිතෝ. 10:19NW) ඔව්, හැකි තරම් අඩුවෙන් කතා කරන තරමටම අනුවණ දේවල් පැවසීමෙන් වැළකී සිටීමට හැකියි. “නිශ්ශබ්දව සිටින විට මෝඩයෙකු පවා ප්‍රඥාවන්තයෙකු මෙන් පෙනේ. ඔහු කිසිවක් කතා නොකරන විට දැනුම් තේරුම් ඇති පුද්ගලයෙකු මෙන් පෙනේ” කියාද බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝ. 17:28NW) එමනිසා අපේ “මුඛයට රැකවලෙකු පත් කරන්න” කියා අපි යෙහෝවා දෙවිට යාච්ඤා කරමු.—ගීතා 141:3NW.

ගැඹුරින් කල්පනා කිරීම සඳහා

ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන මිනිසෙකු ගැන බයිබලයේ පවසන්නේ “යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය. ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය” කියායි. (ගීතා 1:2NW) දේවවචනයේ අඩංගු තොරතුරු ගැන ගැඹුරින් කල්පනා කිරීමට සුදුසු අවස්ථා මොනවාද?

“සවස් යාමේදී ඊසාක් එළිමහනේ ඇවිද කල්පනා කරමින් සිටි” බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්. 24:63NW) ඔහු ඒ සඳහා නිස්කලංක වේලාවක් සහ ස්ථානයක් තෝරාගත්තා. එමෙන්ම දාවිත් රජද දෙවිගේ ක්‍රියා ගැන ගැඹුරින් සිතා බැලීම සඳහා තෝරාගත්තේ නිස්කලංක රාත්‍රියකුයි. (ගීතා 63:6NW) පරිපූර්ණ මිනිසා වූ යේසුස්ද ඒ සඳහා තෝරාගත්තේ ජනයා නොගැවසෙන, හුදෙකලා කඳුකර ප්‍රදේශ හා කාන්තාර වැනි ස්ථානයි.—මතෙ. 14:23; ලූක් 4:42; 5:16.

ඇත්තෙන්ම නිහඬව සිටීමේ ප්‍රයෝජන අපමණයි. එවන් අවස්ථාවන් අපට අප ගැනම හොඳින් සිතා බැලීමට හැකියාව ලබා දෙනවා. ඒ තුළින් වඩා හොඳ පුද්ගලයන් වන්න අපට හැකියි. නිහඬව සිටීමෙන් මනසේ සාමය වැඩි කරගත හැකියි. එමෙන්ම නිස්කලංක අවස්ථාවලදී ගැඹුරින් කල්පනා කිරීමට අවස්ථාව ගැනීමෙන් විනීතකම හා යටහත්පහත්කම වර්ධනය කරගත හැකි අතර ජීවිතයේ වඩාත්ම වැදගත් දේවල් මොනවාද කියා හොඳින් අවබෝධ කරගැනීමටත් හැකි වේ.

අප මෙතෙක් සලකා බැලූ ලෙස නිහඬව සිටීම ප්‍රයෝජනවත් දෙයක් වන අතරම “කතා කිරීමට කාලයක්” තිබෙන බවද අමතක නොකළ යුතුයි. (දේශ. 3:7NW) යෙහෝවා දෙවිගේ නමස්කාරකයන් “මුළු ජනාවාස පොළොව පුරාම” දේවරාජ්‍යයේ පණිවිඩය ජනයාට කතා කරනවා. (මතෙ. 24:14) එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සමඟ තවත් අති විශාල පිරිසක් එකතු වෙමින් සිටින නිසා ඉමහත් ප්‍රීති ඝෝෂා නාදයක් ඇසෙමින් පවතිනවා. (මීකා 2:12) එමනිසා අප සියලුදෙනාත් එම ප්‍රීතිමත් රාජ්‍යය ප්‍රකාශකයන් සමඟ එක් වී දෙවිගේ පුදුමාකාර ක්‍රියා ගැන අපගේ මුඛය හැර කතා කරමු. අපි මෙම වැදගත් කාර්යයෙහි හවුල් වන අතරම නිහඬව සිටීම රන් හා සමාන වන බවද අප ජීවත් වන ආකාරයෙන් පෙන්වමු.

[3වන පිටුවේ පින්තූරය]

අපි රැස්වීම්වලට සහභාගි වන අතරතුරේ හොඳින් ඇහුම්කන්දී ඉගෙනගත යුතුයි

[4වන පිටුවේ පින්තූරය]

දේවසේවයේදී අප සමච්චල් කිරීම්වලට මුහුණ දෙන විට ඊට දැක්විය හැකි හොඳම ප්‍රතිචාරය විය හැක්කේ නිහඬව සිටීමයි

[5වන පිටුවේ පින්තූරය]

ගැඹුරින් කල්පනා කිරීම සඳහා නිහඬව සිටීම උපකාරයක්