Skip to content

පටුනට යන්න

“මහජන සේවය සඳහා වූ” දේවදූතයන්

“මහජන සේවය සඳහා වූ” දේවදූතයන්

“මහජන සේවය සඳහා වූ” දේවදූතයන්

“ඔවුන් සියල්ලන්ම, ගැලවීම උරුම වීමට යන අය උදෙසා සේවය කිරීම පිණිස එවන ලද, මහජන සේවය සඳහා වූ ආත්ම ජීවීන් [දේවදූතයන්] නොවේද?”—හෙබ්‍රෙ. 1:14.

1. මතෙව් 18:10 සහ හෙබ්‍රෙව් 1:14න් අපට ලබාගත හැකි සහනය කුමක්ද?

තම අනුගාමිකයන්ගේ ඇදහිල්ල දුර්වල කරන ඕනෑම කෙනෙකුට යේසුස් මෙසේ අනතුරු ඇඟවීමක් දුන්නා. “මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් හෙළා නොදැකීමට වගබලා ගන්න. මන්ද, මම ඔබට කියමි, ස්වර්ගයෙහි වසන ඔවුන්ගේ දේවදූතයෝ, ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ගේ මුහුණ නිතරම දකිති.” (මතෙ. 18:10) එමෙන්ම පාවුල්ද ධර්මිෂ්ඨ දේවදූතයන්ව හැඳින්වූයේ “ඔවුන් සියල්ලන්ම, ගැලවීම උරුම වීමට යන අය උදෙසා සේවය කිරීම පිණිස එවන ලද, මහජන සේවය සඳහා වූ” අය හැටියටයි. (හෙබ්‍රෙ. 1:14) යෙහෝවා දෙවි මනුෂ්‍යන්ට උපකාර කිරීමට දේවදූතයන්ව යොදාගන්නවා කියා දැන සිටීම අපට මහත් සහනයක්. බයිබලයේ දේවදූතයන් ගැන සඳහන් වන්නේ මොනවාද? ඔවුන් අපට උපකාර කරන්නේ කෙසේද? ඔවුන්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දැන් අපි සලකා බලමු.

2, 3. දේවදූතයන්ගේ විවිධ කාර්යයන් මොනවාද?

2 ස්වර්ගයෙහි මිලියන ගණන් දේවදූතයන් සිටිනවා. ඔවුන් දෙවි “පවසන දේට සවන් දී එය ඉටු කරන බලසම්පන්න” අයයි. (ගීතා. 103:20 නව ලොව පරිවර්තනය, NW ; එළිදරව් 5:11 කියවන්න.) ඔවුන් විවිධ පෞද්ගලිකත්වයන්ගෙන් යුත්, දෙවිගේ ගුණාංග විදහා පෙන්වීමේ හැකියාව හා තීරණ ගැනීමේ නිදහස ඇති අයයි. එමෙන්ම ඔවුන් ඉතා විශිෂ්ට ලෙස සංවිධානය වී ඇති අතර දෙවිගේ අරමුණ ඉටු කිරීම තුළ උසස් තනතුරු හොබවනවා. ඔවුන්ගෙන් අග්‍රදේවදූතයා වන්නේ මිකායෙල් (ස්වර්ගයේ යේසුස්ට දී ඇති නාමය). (දානි. 10:13; යූද් 9) “මුළු මැවිල්ලේම කුලුඳුලා” වන ඔහුව දෙවිගේ “වචනය” හෙවත් දෙවි වෙනුවෙන් කතා කරන්නා ලෙස හඳුන්වා තිබෙනවා. එමෙන්ම සියලු දේ නිර්මාණය කිරීමට දෙවි යොදාගත්තේද ඔහුවයි.—කොලො. 1:15-17; යොහ. 1:1-3.

3 අග්‍රදේවදූතයා යටතේ සිටින සෙරාෆ්වරුන් දෙවිගේ ශුද්ධකම ප්‍රකාශ කරන අතර දෙවිගේ සේවකයන්ට ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමට උපකාර කරනවා. කෙරුබ්වරුන් ලෙස හඳුන්වන තවත් දේවදූතයන් පිරිසක් දෙවිගේ පාලනයට සහය දක්වනවා. (උත්. 3:24; යෙසා. 6:1-3, 6, 7) අනෙක් දේවදූතයන් පණිවිඩකරුවන් ලෙස සේවය කරන අතර දෙවිගේ කැමැත්ත ඉටු කිරීමෙහි විවිධාකාරයෙන් හවුල් වෙනවා.—හෙබ්‍රෙ. 12:22, 23.

4. පොළොව නිර්මාණය කළ විට දේවදූතයන් ඊට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? එමෙන්ම මුල් යුවළ තීරණ ගැනීමේ නිදහස නිසි ලෙස භාවිත කළා නම් ඔවුන්ගේ අනාගතය කුමනාකාර එකක් වීමට තිබුණාද?

4 “පොළොවේ අත්තිවාරම් දැමූ විට” සියලුම දේවදූතයන් ප්‍රීති ඝෝෂා නැගූ අතර මේ පොළොව මිනිස් වාසය සඳහා අලංකාර ස්ථානයක් බවට පත් කිරීමේ කාර්යයට හවුල් වීම ගැන ඔවුන් සතුටු වුණා. (යොබ්යෝබ් 38:4, 7) දෙවි, මනුෂ්‍යාව නිර්මාණය කළේ “දේවදූතයන්ට වඩා මදක් පහත්” ලෙසයි. ඒ වුණත් දෙවි ඔවුන්ට තම “ගතිලක්ෂණ” ඇතුළත් කළා. ඒ නිසා ඔවුන්ට දෙවිගේ උසස් ගුණාංග විදහා පෙන්වීමේ හැකියාව ලැබුණා. (හෙබ්‍රෙ. 2:7; උත්. 1:26NW) මුල් යුවළ තමන්ට ලැබුණු වටිනා ත්‍යාගය වන තීරණ ගැනීමේ නිදහස නිසියාකාරයෙන් භාවිත කළා නම් පාරාදීස පොළොවක් තුළ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් දෙවිගේ විශ්වනීය පවුලේ කොටසක් වීමේ ප්‍රස්තාව ඔවුන්ට තිබුණා.

5, 6. ස්වර්ගයේ ඇති වූ කැරැල්ල කුමක්ද? එමෙන්ම දෙවි ඊට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?

5 දෙවිට ප්‍රශංසා කරනවා වෙනුවට තමන්ට නමස්කාරය ලබාගැනීමේ ආශාවක් එක් දේවදූතයෙකුට ඇති වුණා. ඒ සඳහා ඔහු, සියලු දේ පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය අභියෝගයට ලක් කරමින් දෙවිගේ පාලනයට විරුද්ධව කටයුතු කරන්න පටන්ගත්තා. එයින් ඔහු තමාවම සාතන් (එනම් “විරුද්ධකාරයා”) බවට පත් කරගත්තා. එපමණක් නොව සාතන් ඉතිහාසයේ මුල්ම බොරුව පවසමින් මුල් යුවළවද තම ප්‍රේමණීය දෙවිට විරුද්ධව කැරලිගැසීමට පෙලඹෙව්වා. (උත්. 3:4, 5; යොහ. 8:44) මෙම කැරැල්ල ධර්මිෂ්ඨ දේවදූතයන්ට විශාල කම්පනයක් වූවා විය යුතුයි.

6 ඒ අවස්ථාවේදීම දෙවි, සාතන්ට විරුද්ධව ගෙනෙන විනිශ්චය මෙසේ ප්‍රකාශ කළා. “ඔබ සහ ස්ත්‍රිය අතරද ඔබෙන් පැවත එන්නන් සහ ඇගෙන් පැවත එන තැනැත්තා අතරද මම සතුරුකම් තබන්නෙමි. ඔහු ඔබේ හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්. 3:15NW) සාතන් හා දෙවිගේ “ස්ත්‍රිය” අතර බොහෝ කාලයක් පුරා එම සතුරුකම පැවතීමට නියමිතයි. ස්ත්‍රියගෙන් නියෝජනය වන්නේ විශ්වාසවන්ත දේවදූතයන් ඇතුළත් ඔහුගේ ස්වර්ගික සංවිධානයයි. දෙවි එය සලකන්නේ තමාගේ ප්‍රිය භාර්යාව ලෙසයි. ඉහත සඳහන් අනාවැකිය ඉටු වන ආකාරය පිළිබඳ තොරතුරු, කාලයක් පුරා ‘පරිශුද්ධ රහසක්ව’ පැවතුණු අතර එය හෙළි වීමට තිබුණේ ක්‍රමානුකූලවයි. දෙවි තම ස්වර්ගික සංවිධානයේ සිටින එක් අයෙකු මගින් තමාට විරුද්ධ වන සියලුදෙනාවම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට අරමුණු කළා. එමෙන්ම “ස්වර්ගයේ තිබෙන දේවල් හා පොළොවේ තිබෙන දේවල්” ඔහු මගින් ඒකරාශී කිරීමත් ඔහුගේ අරමුණ වුණා.—එෆී. 1:8-10.

7. නෝවාගේ කාලයේදී සමහර දේවදූතයන් කළේ කුමක්ද? ඉන් ඔවුන්ට අත් වූ ප්‍රතිඵලය කුමක්ද?

7 ස්වර්ගයේ ඇති වූ කැරැල්ලෙන් පසු නෝවාගේ දවස්වලදී දේවදූතයන් පිරිසක් තම “නියම වාසස්ථානය” අත්හැර මනුෂ්‍ය ශරීර නිර්මාණය කරගෙන ඔවුන්ට යුතු නැති දේවල් කිරීමට මේ පොළොවට පැමිණියා. (යූද් 6; උත්. 6:1-4) යෙහෝවා දෙවි ඔවුන්ව සදාකාල ඝන අන්ධකාරයේ තැබූ අතර දැන් ඔවුන් සාතන් සමඟ එක් වී “දුෂ්ට ආත්ම සමූහයන්” බවට පත් වී දෙවිගේ සේවකයන්ගේ ප්‍රබල සතුරන් ලෙස කටයුතු කරනවා.—එෆී. 6:11-13; 2 පේතෘ. 2:4.

දේවදූතයන් අපට උපකාර කරන අයුරු

8, 9. දෙවිගේ සේවකයන්ව ගලවාගැනීමට දෙවි දේවදූතයන්ව යොදාගෙන තිබෙන්නේකෙසේද?

8 ආබ්‍රහම්, යාකොබ්, මෝසෙස්, යොෂුවා, යෙසායා, දානියෙල්, යේසුස්, පේතෘස්, යොහන් සහ පාවුල් වැනි අයට දේවදූතයන් උපකාර කළා. එමෙන්ම දෙවිගේ විනිශ්චයන් ඉටු කිරීම, අනාවැකි ලබා දීම හා මඟ පෙන්වීම් ලබා දීම මෙන්ම මෝසෙස්ගේ ව්‍යවස්ථාව ලබා දීම වැනි දේ සඳහාද දෙවි යොදාගත්තේ දේවදූතයන්වයි. (2 රාජා. 19:35; දානි. 10:5, 11, 14; ක්‍රියා 7:53; එළි. 1:1) සම්පූර්ණ බයිබලයම දැන් අපට තිබෙන නිසා අපට පණිවිඩ ලබා දීමට දේවදූතයන්ව යොදාගැනීමේ අවශ්‍යතාවක් දෙවිට නැහැ. (2 තිමෝ. 3:16, 17) කෙසේවෙතත් මිනිසුන්ට නොපෙනුණත් දෙවිගේ කැමැත්ත කිරීමෙහි හා ඔහුගේ සේවකයන්ට උපකාර කිරීමෙහි දේවදූතයන් කාර්යබහුලව සිටිනවා.

9 ඒ ගැන බයිබලය අපට දෙන සහතිකය මෙයයි. “යෙහෝවා දෙවිගේ දූතයා දෙවි කෙරෙහි ගරුබිය ඇති අය වටා කඳවුරු බැඳ, ඔවුන්ව ගලවාගනියි.” (ගීතා. 34:7, NW; 91:11) දෙවිගේ සේවකයන් ඔහුට දක්වන විශ්වාසවන්තකම ගැන සාතන් අභියෝග කළ නිසා විවිධාකාර පීඩාවලින් අපව පරීක්ෂා කිරීමට දෙවි සාතන්ට ඉඩ දී තිබෙනවා. (ලූක් 21:16-19) අප පීඩාවකට මුහුණ දෙන විට ඔහුට විශ්වාසවන්ත බව ඔප්පු කිරීම සඳහා අප කොතෙක් දුරට එය විඳදරාගත යුතුද කියා දෙවි දන්නවා. (1 කොරින්ති 10:13 කියවන්න.) දෙවිගේ කැමැත්තට අනුව දෙවිගේ සේවකයන් වෙනුවෙන් මැදිහත් වෙන්න දේවදූතයන් නිතරම සූදානමින් සිටිනවා. ඔවුන් ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ, දානියෙල්ව හා පේතෘස්ව ගලවාගැනීමට මැදිහත් වුණත් ස්තේපන් හා යාකොබ්ගේ ජීවිත ආරක්ෂා කිරීමට මැදිහත් වුණේ නැහැ. (දානි. 3:17, 18, 28; 6:22; ක්‍රියා 7:59, 60; 12:1-3, 7, 11) ඔවුන් ඊට මුහුණ දුන් හේතුව හා ඔවුන් සිටි තත්වය ගැන සියලුම තොරතුරු අප දන්නේ නැහැ . මෑත ඉතිහාසයේ නාට්සි ගාල් කඳවුරුවල සිටි දෙවිගේ සමහර සේවකයන්ගේ ජීවිත ඔවුන්ට අහිමි වූ නමුත් බොහෝදෙනෙකුගේ ජීවිත බේරාගන්න දෙවි උපකාර කළා.

10. දේවදූතයන්ගෙන් ලැබෙන උපකාරවලට අමතරව අපට උපකාර ලැබෙන වෙනත් ආකාර මොනවාද?

10 සෑම පුද්ගලයෙකුටම රැකවල් දේවදූතයෙක් සිටිනවා යන ඉගැන්වීම බයිබලයේ සඳහන් වන්නේ නැහැ. ඒ වුණත් අපට අවශ්‍ය උපකාර හා ආරක්ෂාව ඉල්ලා විශ්වාසයෙන් යුතුව දෙවිට යාච්ඤා කරන්න අපට පුළුවන්. දෙවිගේ “කැමැත්තට අනුව අප ඉල්ලන ඕනෑම දෙයකට ඔහු සවන් දෙන බව” අප දන්නවා. (1 යොහ 5:14) දේවදූතයන් මාර්ගයෙන් එම උපකාර අපට ලබා දීමට දෙවිට හැකි වුණත් වෙනත් ආකාරවලින්ද අපට උපකාර කරන්න ඔහුට හැකියි. උදාහරණයකට අපට අවශ්‍ය උපකාරය හා සහනය ලබා දීමට සෙසු ක්‍රිස්තියානියෙකුව පොලඹවන්න දෙවිට හැකියි. ඒ වගේම ‘සාතන්ගේ දූතයෙකුගෙන්’ ලැබූ පහරක් වැනි “මාංසයේ කටුවක්” අපට තිබෙනවා නම් ඊට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ප්‍රඥාව ලබා දීමටද දෙවිට හැකියි.—2 කොරි. 12:7-10; 1 තෙස. 5:14.

යේසුස්ව අනුකරණය කරන්න

11. දේවදූතයන් යේසුස්ට උපකාර කළේ කෙසේද? එමෙන්ම ඉන් ඔහු ඔප්පු කළේ කුමක්ද?

11 යේසුස් වෙනුවෙන් දෙවි, තම දූතයන්ව යොදාගත්තේ කෙසේද කියා දැන් අපි බලමු. යේසුස්ගේ උපත මෙන්ම නැවත නැඟිටීම දැනුම් දුන්නේ ඔවුනුයි. එමෙන්ම යේසුස්ට උපස්ථාන කිරීමට පැමිණියේත් දේවදූතයෙකුයි. යේසුස්ව අත්අඩංගුවට ගැනීමෙන් හා කෲර මරණයක් අත් වීම වළක්වන්න දේවදූතයන්ට හැකියාව තිබුණා. නමුත් එසේ කරනවා වෙනුවට දේවදූතයෙක් කළේ ඒ අවස්ථාවේදී ඔහුව ශක්තිමත් කිරීමයි. (මතෙ. 28:5, 6; ලූක් 2:8-11; 22:43) එය දෙවිගේ අරමුණ වූ අතර එමගින් යේසුස් ඔප්පු කළේ දැඩි පරික්ෂා හමුවේ වුණත් පරිපූර්ණ මිනිසෙකුට දෙවිට විශ්වාසවන්තව සිටීමට හැකි බවයි. ඒ නිසා යෙහෝවා දෙවි ඔහුව නැවත නැඟිටුවා ස්වර්ගයේ අමරණීය ජීවිතයක් ලබා දී දේවදූතයන්වද ඔහුට යටත් කර දුන්නා. එපමණක් නොව ‘සියලු බලයද’ ඔහුට ලබා දුන්නා. (මතෙ. 28:18; ක්‍රියා 2:32; 1පේතෘ. 3:22) ඒ අනුව ‘ස්ත්‍රියගෙන්’ ‘පැවත එන ප්‍රධාන තැනැත්තා’ තමා බව යේසුස් තහවුරු කළා.—උත්. 3: 15NW; ගලා. 3:16.

12. යේසුස් හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කළ ආකාරය අපට අනුකරණය කළ හැක්කේ කෙසේද?

12 තමන් අවදානම් සහිත කටයුත්තක යෙදී තම පියාගෙන් දේවදූත ආරක්ෂාව බලාපොරොත්තු වීම වැරදි බව යේසුස් දැන සිටියා. (මතෙව් 4:5-7 කියවන්න.) අපත් යේසුස් මෙන් අපගේ ජීවිතය අනතුරේ හෙළන අවදානම් කටයුතුවල හවුල් නොවී හොඳ සිහිකල්පනාවෙන්” ජීවත් වෙමු. ඒ අතරම පීඩාවන්ට විශ්වාසයෙන් යුතුව මුහුණ දෙමු.—තීත. 2:12.

දේවදූතයන්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

13. දෙවන පේතෘස් 2:9-11හි සඳහන් ලෙස ධර්මිෂ්ඨ දේවදූතයන්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

13 එදා සිටි දෙවිගේ අභිෂේක ලත් සේවකයන් ගැන ‘නිග්‍රහාත්මක ලෙස කතා කළ’ අයව හික්මවද්දී පේතෘස් දේවදූතයන්ගේ කදිම ආදර්ශය ගෙන හැර දක්වනවා. දේවදූතයන්ට ඉමහත් බලයක් තිබුණත් “යෙහෝවා දෙවිට ඇති ගෞරවය නිසා” යම් විනිශ්චයන් කිරීමෙන් ඔවුන් වැළකී සිටිනවා. ඉන් ඔවුන්ගේ යටහත්පහත්කම අපට පැහැදිලියි. (2 පේතෘස් 2:9-11 කියවන්න.) අපත් දෙවි පත් කර ඇති වගකීම් දරන අයව විනිශ්චය නොකර ඔවුන්ට නිසි ගෞරවය දක්වමු. සියලු දේ විනිශ්චය කිරීමට අයිතිය ඇති ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු වන දෙවිට සියල්ල භාර දෙමු.—රෝම 12:18, 19; හෙබ්‍රෙ. 13:17.

14. යටහත්පහත්කම ගැන දේවදූතයන්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

14 දෙවිට යටහත්පහත්ව සේවය කිරීම සම්බන්ධයෙන්ද දේවදූතයන් තබන්නේ කදිම ආදර්ශයක්. සමහර දේවදූතයන් මිනිසුන්ට තමන්ගේ නම් හෙළිදරව් කිරීමෙන් පවා වැළකී සිටියා. (උත්. 32:29; විනි. 13:17, 18) ස්වර්ගයේ මිලියන ගණනක් දේවදූතයන් සිටියත් බයිබලයේ සඳහන් වී තිබෙන්නේ මිකායෙල් හා ගාබ්‍රියෙල් යන දෙදෙනාගේ නම් පමණයි. එමගින් දේවදූතයන්ට අනවශ්‍ය ගෞරවයක් දීමෙන් අපව වළක්වනවා. (ලූක් 1:26; එළි. 12:7) එක් අවස්ථාවකදී යොහන් දේවදූතයෙකු ඉදිරියේ වැඳ වැටී ඔහුට නමස්කාර කරන්න සූදානම් වූ විට ඒ දේවදූතයා ඔහුට මෙසේ තරවටු කළා. ‘පරෙස්සම් වන්න! එසේ නොකරන්න! මා ඔබේද ඔබේ සහෝදරයන්ගේද දාසයෙකු පමණයි.’ (එළි. 22:8, 9) ඉන් පැහැදිලි වන්නේ අපගේ යාච්ඤා ඇතුළු අපගේ නමස්කාරය යා යුත්තේ දෙවිට පමණක් බවයි.—මතෙව් 4:8-10 කියවන්න.

15. ඉවසිලිවන්තකම සම්බන්ධයෙන් දේවදූතයන් ආදර්ශයක් තබන්නේ කෙසේද?

15 ඉවසීම සම්බන්ධයෙන්ද දේවදූතයන් ඉතාමත් ආදර්ශවත්. දෙවිගේ පරිශුද්ධ රහස් දැනගැනීමට ඔවුන්ට කොතරම් උනන්දුවක් තිබුණත් ඔවුන්ට ඒවා කලින් දැනුම් දී නැහැ. බයිබලයේ පවසන්නේ “දේවදූතයෝද ඒ දේවල්ම සොයා බැලීමට ආශාවෙන්” සිටිනවා කියායි. (1 පේතෘ. 1:12) යෙහෝවා දෙවි ඔහුගේ නියමිත කාලයේදී තම ‘විවිධාකාර වූ ප්‍රඥාව සභාව මාර්ගයෙන්’ හෙළිදරව් කරන තෙක් ඔවුන් ඉවසිලිවන්තව බලා සිටිනවා.—එෆී. 3:10, 11.

16. අප කටයුතු කරන ආකාරය ගැන දේවදූතයන්ට හැඟෙන්නේ කෙසේද?

16 පීඩාවන් විඳදරාගනිමින් සිටින ක්‍රිස්තියානීන් ‘රංග භූමියක සිටින අය මෙන් දේවදූතයන්ට ප්‍රදර්ශනයක්.’ (1 කොරි. 4:9) අප දෙවිට පක්ෂපාතව සිටින ආකාරය දකින ඔවුන් ඉන් විශාල තෘප්තියක් ලබනවා. එමෙන්ම පව් කළ කෙනෙක් පසුතැවිලි වී දෙවි වෙත හැරෙන විට එය ඔවුන්ට විශාල ප්‍රීතියක්. (ලූක් 15:10) ක්‍රිස්තියානි ස්ත්‍රීන් දෙවිගේ ප්‍රමිතිවලට අනුව කටයුතු කරද්දී දේවදූතයන්ද එය දකිනවා. “දේවදූතයන් නිසා ස්ත්‍රිය තම හිස මත, අධිකාරියට යටත් වීමේ ලකුණක් ඇතිව සිටිය යුතුය” කියා බයිබලය පවසන්නේ ඒ නිසයි. (1 කොරි. 11:3, 10) ඔව්, ක්‍රිස්තියානි ස්ත්‍රීන් ඇතුළු සියලුදෙනාම දෙවිගේ සැලැස්මට හා මූලිකත්වය පිළිබඳ ඔහුගේ විධිවිධානයට අනුකූල වෙද්දී ඒ ගැන දේවදූතයන් ඉතා ප්‍රසන්නයි. එමෙන්ම එය දෙවිගේ පුත්‍රයන් වන ඔවුන්ටද කදිම ආදර්ශයක්.

දේශනා සේවයට ඔවුන්ගෙන් ලැබෙන සහය

17, 18. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට දේවදූතයන් හවුල් වන බව අප දන්නේ කෙසේද?

17 ‘ස්වාමීන්ගේ දවසේ’ සිදු වන වැදගත් සිදු වීම්වලට දේවදූතයන්ද සම්බන්ධයි. වර්ෂ 1914දී දේවරාජ්‍යය පිහිටු වීමට ඔවුන් හවුල් වුණා. එමෙන්ම සාතන්ව හා භූතයන්ව පොළොවට හෙළීමට ‘මිකායෙල් සමඟ ඔහුගේ දූතයන්’ හවුල් වුණා. (එළි. 1:10; 11:15; 12:5-9) ‘පොළොවේ වාසය කරන අයට ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් ඇති දේවදූතයෙක් අහස මැද පියාසර කරමින් සිටිනවා’ යොහන් දුටුවා. එම දේවදූතයා මෙසේ ප්‍රකාශ කළා. “දෙවිට භය ඇතිව සිටින්න. ඔහුව මහිමයට පත් කරන්න. මන්ද, ඔහුගේ විනිශ්චයේ පැය පැමිණ තිබේ. එබැවින්, අහසද පොළොවද මුහුදද දිය උල්පත්ද සෑදූ තැනැත්තාට නමස්කාර කරන්න.” (එළි. 14:6, 7) සාතන්ගේ දරුණු පීඩා හමුවේ පවා දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කරන දෙවිගේ සේවකයන්ට දේවදූතයන්ගේ සහය නොමදව ලැබෙන බව ස්ථිරයි.—එළි. 12:13, 17.

18 එදා ඉතියෝපියානු නිලධාරියාව හමු වන්න කියා දේවදූතයෙක් ෆිලිප්ට පැවසුවා හා සමානව, අවංක හදවත් ඇති අය ගැන දේවදූතයන් අපට කෙළින්ම පවසන්නේ නැහැ. (ක්‍රියා 8:26-29) නමුත් “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” ඇති අයව සොයාගන්න දේවදූතයන් අපට මඟ පෙන්වන බව බොහෝ අද්දැකීම්වලින් ඔප්පු වී තිබෙනවා. * (ක්‍රියා 13:48) එමනිසා අපට හිමි කොටස කරමින් දේවසේවයේ නොකඩවා හවුල් වීම මොන තරම් වැදගත්ද! ඒ මගින් ‘පියාණන්ට ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද නමස්කාර කරන්න’ ආශා කරන අයව සොයාගන්න අපට හැකි වෙයි.—යොහ. 4:23, 24.

19, 20. “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේදී” සිදු වන දේවල්වලට දේවදූතයන් හවුල් වන්නේ කෙසේද?

19 අප ජීවත් වන කාලය ගැන සඳහන් කරමින් යේසුස් පැවසුවේ “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේදී” දේවදූතයන් විසින් “ධර්මිෂ්ඨයන් අතරින් දුෂ්ටයන්ව වෙන්” කරන බවයි. (මතෙ. 13:37-43, 49) එමෙන්ම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව එකතු කිරීමේ සහ අවසන් මුද්‍රාව තැබීමේ කාර්යයටද දේවදූතයන් හවුල් වෙනවා. (මතෙව් 24:31 කියවන්න; එළි. 7:1-3) “එළුවන්ගෙන් බැටළුවන් වෙන්” කරන කාර්යයටද යේසුස් සමඟ දේවදූතයන් හවුල් වෙනවා.—මතෙ. 25:31-33, 46.

20 “ස්වාමීන් වන යේසුස් තම බලවත් දූතයන් සමඟ ස්වර්ගයෙන් එළිදරව් වන” විට “දෙවිව නොදන්නා අයවත් අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන” අයවත් විනාශ කිරීමට නියමිතයි. (2 තෙස. 1:6-10) යොහන්ද ඒ හා සමාන තොරතුරු ඇතුළත් දර්ශනයක් දුටුවා. එය නම් යේසුස් සහ ඔහුගේ දේවදූත සේනාව සුදු අශ්වයන් පිට නැඟී ධර්මිෂ්ඨකමින් යුද්ධ කිරීමට පිටත්ව යෑමයි.—එළි. 19:11-14.

21. යොහන් දුටු දේවදූතයා සාතන්ටත් ඔහුගේ භූතයන්ටත් කරන්නේ කුමක්ද?

21 ‘අගාධයේ යතුරද මහත් දම්වැලක්ද අතැතිව, ස්වර්ගයෙන් බැස එන දේවදූතයෙකුව’ යොහන් දුටුවා. ඒ වෙන කවුරුත් නොව අග්‍රදේවදූත මිකායෙල්. සාතන්ව හා ඔහුගේ භූතයන්ව බැඳ අගාධයට හෙළන්නේ ඔහු විසිනුයි. යේසුස්ගේ දහස් අවුරුදු පාලනයෙන් පසුව කෙටි කලකට ඔවුන්ව නිදහස් කරන අතර ඒ වන විට පරිපූර්ණත්වයට පැමිණ ඇති මිනිස් වර්ගයාට අවසන් පරීක්ෂණයට මුහුණ දීමට සිදු වෙනවා. ඉන්පසුව සාතන් හා ඔහු සමඟ කැරලිගසන සියලුදෙනාත් සම්පූර්ණ විනාශයක් අද්දකිනවා. (එළි. 20:1-3, 7-10; 1 යොහ. 3:8) එවිට දෙවිට විරුද්ධව කැරලිගසන කිසිවෙක් ඉතුරු වන්නේ නැහැ.

22. නුදුරු අනාගතයේදී සිදු වන දේවල්වලට දේවදූතයන් හවුල් වන්නේ කෙසේද? ඔවුන් කරන සේවය ගැන අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?

22 සාතන්ගේ පාලනය යටතේ පවතින සියල්ලෙන් නිදහස් වීමට අපට තව ඇත්තේ කෙටි කාලයයි. සියල්ල පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය තහවුරු කිරීමෙහි හා මිනිස් වර්ගයා මෙන්ම මේ පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ සම්පූර්ණයෙන්ම ඉටු කිරීමේදී දේවදූතයන්ට විශේෂ කාර්යයක් පැවරී තිබෙනවා. ඔව්, මෙම ධර්මිෂ්ඨ දේවදුතයන් “ගැලවීම උරුම වීමට යන අය උදෙසා සේවය කිරීම පිණිස එවන ලද, මහජන සේවය සඳහා” පත් කර ඇති අයයි. දෙවිගේ කැමැත්ත කිරීමට හා සදාකාල ජීවනය ලබාගැනීමට අපට උපකාර කිරීම සඳහා දෙවි තම දූතයන්ව යොදාගන්නා ආකරය ගැන අපි යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙමු.

[පාදසටහන]

^ 18 ඡේ. Jehovah’s Witnesses—Proclaimers of God’s Kingdom, යන පොතේ 549-551 දක්වා පිටු බලන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දේවදූතයන් සංවිධානය වී ඇත්තේ කෙසේද?

• නෝවාගේ කාලයේදී සමහර දේවදූතයන් කළේ කුමක්ද?

• අපට උපකාර කිරීමට දෙවි තම දූතයන්ව යොදාගන්නේ කෙසේද?

• අපගේ කාලයේදී ඔවුන්ට හිමි විශේෂ කාර්යය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

දෙවිගේ කැමැත්ත ඉටු කිරීමෙන් දේවදූතයන් ප්‍රීතිය ලබනවා

[23වන පිටුවේ පින්තූරය]

දානියෙල්ගේ සිද්ධියෙන් ඔප්පු වන්නේ දේවදූතයන්, දෙවිගේ කැමැත්තට එකඟව ඔහුගේ සේවකයන් වෙනුවෙන් මැදිහත් වීමට නිතරම සූදානම් බවයි

[24වන පිටුවේ පින්තූර]

අපගේ සේවයට දේවදූතයන්ගේ සහය ලැබෙන නිසා ධෛර්යයවත්ව එහි හවුල් වෙමු!

[හිමිකම් විස්තර]

Globe: NASA photo