Skip to content

පටුනට යන්න

ස්වාමිපුරුෂයෙනි, යේසුස් පෙන්වූ ප්‍රේමය අනුකරණය කරන්න!

ස්වාමිපුරුෂයෙනි, යේසුස් පෙන්වූ ප්‍රේමය අනුකරණය කරන්න!

ස්වාමිපුරුෂයෙනි, යේසුස් පෙන්වූ ප්‍රේමය අනුකරණය කරන්න!

පොළොව මත ගත කළ අවසන් රාත්‍රියේදී යේසුස් තම අනුගාමිකයන්ට මෙවන් දෙයක් පැවසුවා. “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහ. 13:34, 35) ඒ අනුව එකිනෙකාට ප්‍රේම කිරීමට ක්‍රිස්තියානීන් වන අපට වගකීමක් තිබෙනවා.

පාවුල්, යේසුස්ගේ අනුගාමිකයන් අතර සිටින ස්වාමිපුරුෂයන්ට ඒ හා සමාන උපදෙසක් දුන්නා. “ස්වාමිපුරුෂයෙනි, ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන්නාක් මෙන්, ඔබත් ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න.” (එෆී. 5:25) ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙකුට එම උපදෙස අදාළ කරගත හැක්කේ කෙසේද? විශේෂයෙන්ම ඇය දෙවිට කැප වී ඇති කෙනෙක් නම් ඔහු එය කරන්නේ කෙසේද?

යේසුස් සභාව ආදරයෙන් රැකබලා ගත්තා

“ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට තමුන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතුය. තම භාර්යාවට ප්‍රේම කරන්නා තමාටම ප්‍රේම කරන්නේය. මන්ද, කිසි මිනිසෙක් කිසිදාක තමාගේම මාංසයට වෛර කළේ නැත. ඒ වෙනුවට, ක්‍රිස්තුස් සභාවට සලකන්නාක් මෙන් ඔහු එය පෝෂණය කර ඉතා ආදරයෙන් රැකබලා ගනියි” කියා පාවුල් පැවසුවා. (එෆී. 5:28, 29) ඔව්, යේසුස්ට තම අනුගාමිකයන් කෙරෙහි ඉමහත් ආදරයක් දැනුණු අතර ඔහු ඔවුන්ට ළැදිව සිටියා. එමෙන්ම ඔවුන්ව ආදරයෙන් රැකබලා ගත්තා. ඔවුන්අතින් බොහෝවිට වැරදි සිදු වුණත් ඔහු ඔවුන්ට සැලකුවේ මෘදු හා කරුණාවන්ත ලෙසයි. එසේ කළේ ඔවුන්ව “උපරිම අලංකාරයෙන් තමන් ඉදිරියට ගෙන” ඒමටයි. ඒ සඳහා ඔහු නිතරම ඔවුන්ගේ හොඳ ගුණාංග කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා.—එෆී. 5:27.

ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කළාක් මෙන් ස්වාමිපුරුෂයන්ද වචනයෙන් හා ක්‍රියාවෙන් තම භාර්යාවට ප්‍රේම කළ යුතුයි. නිතරම තම ස්වාමිපුරුෂයාගෙන් ආදරය ලබන බිරිඳක් සතුටින් සිටින අතර ඔහු තමාව ආදරයෙන් රැකබලා ගන්නා බවත් ඇයට හැඟෙයි. නමුත් අනෙක් අතට මොන තරම් සැප සම්පත් තිබුණත් තම ස්වාමිපුරුෂයාගෙන් ආදරය නොලබන බිරිඳක් නිතරම පසු වන්නේ අසතුටිනුයි.

බිරිඳව ආදරයෙන් රැකබලා ගන්නා බව පෙන්විමට ස්වාමිපුරුෂයෙකුට බොහෝ දේ කළ හැකියි. උදාහරණයකට ඇයගෙන් ලැබෙන සහය ගැන ගෞරවනීය ලෙස ප්‍රසිද්ධියේ ඇයට ප්‍රශංසා කිරීමට ඔහුට පුළුවන්. ඇය පවුලේ සාර්ථකත්වයට දායක වී ඇති ආකාරය ගැන අන් අයට දැනගැනීමට සලස්වන්න ඔහු පසුබට වන්නේ නැහැ. එමෙන්ම පෞද්ගලිකවත් ඇයට තම සැලකිල්ල පෙන්වීමට ඇයගේ අත ඇල්ලීම, සිනහවක් පෑම, ආදරයෙන් වැලඳගැනීම හා ප්‍රශංසා කිරීම වැනි දේ කළ හැකියි. ඒවා කුඩා දේවල් වුණත් බිරිඳකට නම් ඒවා ලොකු දේවල්.

“ඔවුන්ව ‘සහෝදරයන්’ කියා හැඳින්වීමට ලජ්ජා” වුණේ නැහැ

යේසුස් “ඔවුන්ව [අභිෂේක ලත් අනුගාමිකයන්ව] ‘සහෝදරයන්’ කියා හැඳින්වීමට ලජ්ජා” වුණේ නැහැ. (හෙබ්‍රෙ. 2:11, 12, 17) ඔබේ භාර්යාව දෙවිට කැප වී සිටින නිසා එක් අතකින් ඇය ඔබේ ක්‍රිස්තියානි සහෝදරියක්. සහෝදරයෙක් රැස්වීමකදී සබයෙන් පිළිතුරු ගන්නා විට ඔබගේ බිරිඳව අමතන්නේ “සහෝදරී —” කියායි. ඔව්, ඇය ඔබගේත් සහෝදරියයි. සභාවේදී පමණක් නොව නිවසේදීත් එසේමයි. ඒ නිසා සභාවේදී මෙන් නිවසේදීත් ඇයට කාරුණිකව හා ගෞරවනීයව සැලකීම ඉතා වැදගත්.

ඔබ සභාවේ බොහෝ වගකීම් දරන සහෝදරයෙක් නම්, භාර්යාව සමඟ කාලය ගත කිරීම අභියෝගයක් විය හැකියි. නමුත් සෙසු වැඩිමහල්ලන් හා සභා සේවකයන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමෙන් හා අන් සමඟ වගකීම් බෙදාගැනීමෙන් ඔබට කාලය සොයාගත හැකියි. එවිට ඔබගේ කාලය හා අවධානය වැඩියෙන්ම අවශ්‍ය කරන්නාවූ සහෝදරිය වන, ඔබගේ භාර්යාව සමඟ කාලය ගත කළ හැකියි. මෙය මතක තබාගන්න, සභාවේ ඔබට ඇති වගකීම් ඉටු කිරීමට තවත් බොහෝ සහෝදරයන්ට හැකි වුණත් ඔබගේ භාර්යාවගේ වගකීම් ඉටු කිරීමට හැකි එකම තැනැත්තා ඔබයි.

එමෙන්ම ඔබේ භාර්යාවගේ හිස වන්නේද ඔබයි. බයිබලයේ ඒ ගැන පවසන්නේ ‘සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බව හා ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවයි.’ (1 කොරි. 11:3) ඔබ එම මූලිකත්වය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? ඉහත වචන නිතර නිතර පැවසීමෙන් හෝ තමාට ගෞරව කරන්න කියා ඇයට බල කිරීමෙන් එය කළ නොහැකියි. ඒ සඳහා හොඳම ක්‍රමය වන්නේ යේසුස් සභාවට ප්‍රේම කළ ලෙස ඔබගේ භාර්යාවට සැලකීමයි.—1 පේතෘ. 2:21.

‘ඔබට මිත්‍රයන්යයි කියමි’

යේසුස් තම අනුගාමිකයන්ව ඇමතුවේ මිත්‍රයන් කියායි. “මෙතැන් පටන් මම ඔබට දාසයන්යයි නොකියමි. මන්ද, දාසයෙක් තම ස්වාමියා කරන්නේ කුමක්දැයි දන්නේ නැත. නමුත් මම මාගේ පියාණන්ගෙන් ඇසූ සියල්ල ඔබට දන්වා තිබෙන හෙයින්, ඔබට මිත්‍රයන්යයි කියන්නෙමි” කියා යේසුස් ඔවුන්ට පැවසුවා. (යොහ. 15:14, 15) යේසුස් ඔහුගේ අනුගාමිකයන් සමඟ හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගත්තා. ඔවුන් බොහෝ දේවල් කළේ එකට එකතු වෙලයි. කානාහි පැවති විවාහ උත්සවයට යේසුස්ව පමණක් නොව ඔහුගේ ගෝලයන්වද ආරාධනා කළේ ඒ නිසයි. (යොහ. 2:2) එමෙන්ම ගෙත්සෙමන උයන වැනි ඔවුන් බොහෝවිට එකට ආගිය තැන්ද තිබුණා. “යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ මීට කලින් බොහෝ වර එහි රැස් වී” තිබුණු බව බයිබලයේ සඳහන් වෙනවා.—යොහ. 18:2.

තම ස්වාමිපුරුෂයාගේ කිට්ටුම මිත්‍රයා තමා බව භාර්යාවකට දැනෙන්න අවශ්‍යයි. ස්වාමිපුරුෂයෙනි, භාර්යවෙනි ඔබ දෙදෙනා එකට දේවල් කිරීමෙන් ජීවිතය භුක්ති විඳීම මොන තරම් වටිනවාද! එමනිසා එක්ව දෙවිට සේවය කරන්න. දෙදෙනා එක්ව බයිබලය අධ්‍යයනය කිරීමෙන් ප්‍රීතියක් ලබන්න. ඇවිදීම, කතා කිරීම හා ආහාර ගැනීම වැනි දේවල් කිරීමෙන් එකට කාලය ගත කරන්න. ඔබ දෙදෙනා විවාහක යුවළකට වඩා එකිනෙකාට ලෙන්ගතු මිත්‍රයන් වීමට උත්සාහ කරන්න.

ඔහු ‘ඔවුන්ට අවසානය දක්වාම ප්‍රේම කළා’

යේසුස් “තමාගේම අයට අවසානය දක්වාම ප්‍රේම” කළා. (යොහ. 13:1) නමුත් සමහර ස්වාමිපුරුෂයන් එසේ යේසුස්ව අනුකරණය කිරීමට අසමත් වී තිබෙනවා. ‘තරුණ කාලයේදී විවාහ කරගත් තම බිරිඳව’ සමහරුන් පසුව අත්හැර තිබෙනවා. සමහරුන් එසේ කර තිබෙන්නේ තම බිරිඳට වඩා තරුණ කෙනෙකුව විවාහ කරගැනීමටයි.—මලා. 2:14, 15.

නමුත් ඊට වෙනස්ව විලී වැනි ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන් යේසුස්ව කදිමට අනුකරණය කරනවා. ඔහුගේ භාර්යාව දුර්වල සෞඛ්‍යකින් පසු වන නිසා වසර ගණනාවක් පුරා ඇයට වැඩි අවධානයක් දීමට ඔහුට සිදු වී තිබෙනවා. ඒ ගැන ඔහු පවසන්නේ “මගේ බිරිඳව මම සලකන්නේ යෙහෝවා දෙවිගෙන් ලැබුණු වටිනා තෑග්ගක් හැටියටයි. මීට අවුරුදු 60කට ඉස්සර වෙලා මම ඇයව දුකේදීත් සැපේදීත් බලාගන්නවා කියලා පොරොන්දු වුණා. මට කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ” කියායි.

එමනිසා ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙනි, යේසුස් සභාවට ප්‍රේම කළාක් මෙන් ඔබත් ඔබේ බිරිඳට ප්‍රේම කරන්න. ඔබට ලැබී තිබෙන දේවගරුබියැති සහෝදරිය හා මිතුරිය වන ඔබේ ආදරණීය බිරිඳව ආදරයෙන් රැකබලා ගන්න.

[20වන පිටුවේ පින්තූරය]

ඔබේ කිට්ටුම මිතුරා ඔබගේ බිරිඳද?

[20වන පිටුවේ පින්තූරය]

‘ඔබේ භාර්යාවට දිගටම ප්‍රේම කරන්න’