Skip to content

පටුනට යන්න

වගකීම් භාර දෙන්න

වගකීම් භාර දෙන්න

වගකීම් භාර දෙන්න

වගකීම් භාර දීම, එය ආරම්භ වුණේ අපගේ පෘථිවිය නිර්මාණය කිරීමටත් පෙර සිටයි. ඉන් අදහස් කරන්නේ තව කෙනෙකුට වගකීම් භාර දීම අලුත් දෙයක් නොවන බවයි. යෙහෝවා දෙවි මුලින්ම තම එකම පුත්‍රයාව නිර්මාණය කිරීමෙන් පසුව “ප්‍රධාන සේවකයා” ලෙස ඔහුව යොදාගෙන මේ ලෝකයේ ඇති සියලු දේ නිර්මාණය කළා. (හිතෝ. 8:22, 23, 30, නව ලොව පරිවර්තනය, NW; යොහ. 1:3) එමෙන්ම යෙහෝවා දෙවි මුල් යුවළ නිර්මාණය කර ඔවුන්ටද යම් වගකීම් භාර දුන්නා. එය නම් “පොළොව පුරා පැතිර යමින් එය රැකබලා” ගැනීමයි. (උත්. 1:28NW) එය ඉටු කිරීම තුළින් පොළොව පාරාදීසයක් කිරීමට ඔවුන්ට හැකි වෙනවා. ඔව්, යෙහෝවා දෙවි හා ඔහුට සේවය කරන අය අතීතයේ සිටම අන් අයට වගකීම් භාර දී තිබෙනවා.

වගකීම් භාර දීම කියන්නේ කුමක්ද? ක්‍රිස්තියානි වැඩිමහල්ලන් අන් අයට වගකීම් භාර දීමට ඉගෙනගත යුත්තේ ඇයි? එමෙන්ම එය කළ හැක්කේ කෙසේද?

වගකීම් භාර දීම කියන්නේ කුමක්ද?

වගකීමක් භාර දීම යන්නෙන් අදහස් කරන්නේ තව කෙනෙකුට විශ්වාසයෙන් යුතුව යමක් භාර දීම, නියෝජිතයෙකු ලෙස තව කෙනෙකුව පත් කිරීම, තව කෙනෙකුට අධිකාරිය භාර දීම බව එක් ශබ්ද කෝෂයක සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ යම් අරමුණක් ඉටු කරගැනීමට අන් අයව සහභාගි කරවාගැනීමයි. එසේ කිරීමෙන් සිදු වන්නේ කෙනෙකු සතු වගකීම් අන් අය සමඟ බෙදාගැනීමයි.

සභාවේ එවන් වගකීම් ලැබී ඇති අය, ඒවා හොඳින් ඉටු කළ යුතුයි. ඒ සඳහා ඔහු තම කාර්යයේ ප්‍රගතිය ගැන එය භාර දුන් සහෝදරයාව දැනුවත් කිරීම හා ඔහුගෙන් යම් මඟ පෙන්වීම් ලබාගැනීමත් ඊට අයත්. නමුත් මෙහිදී මූලික වගකීම පැවරෙන්නේ ඉහත කී සහෝදරයාට ඒ වගකීම භාර දුන් සහෝදරයා මතයි. ඒ නිසා වගකීම ලැබූ සහෝදරයාගේ කාර්යය අධීක්ෂණය කිරීමත් අවශ්‍ය උපදෙස් ලබා දීමත් ඔහු කළ යුතුයි. නමුත් කෙනෙක් මෙසේ ඇසිය හැකියි. ‘ඒ වගකීම මටම කරන්න පුළුවන්කම තිබියදීත් එය තවකෙනෙකුට භාර දෙන්නේ ඇයි?’

වගකීම් භාර දිය යුතු හේතු

යෙහෝවා දෙවි යේසුස්ව නිර්මාණය කිරීමෙන් පසුව කළ දේ ගැන සිතන්න. දෙවි අනිකුත් සියලු දේවල් නිර්මාණය කිරීමේ වගකීම යේසුස්ට භාර දුන්නා. ඔව්, ‘ස්වර්ගයෙහි හා පොළොවෙහි දෘශ්‍යමාන මෙන්ම අදෘශ්‍යමාන සියල්ල සෑදුවේ ඔහු මාර්ගයෙනුයි.’ (කොලො. 1:16) සියලුම දේවල් තනිවම නිර්මාණය කිරීමට දෙවිට හැකියාව තිබුණත් ඒවා නිර්මාණය කිරීමෙන් ලබන ප්‍රීතිය තම පුත්‍රයාටත් ලබා දීම සඳහා දෙවි ඔහුවත් ඊට හවුල් කරගත්තා. (හිතෝ. 8:31) ඒ තුළින් තම පියාව වඩා හොඳින් දැන හඳුනා ගැනීමට යේසුස්ට හැකි වුණා. යෙහෝවා දෙවි තම පුත්‍රයාව පුහුණු කරන්න එම අවස්ථාව යොදාගත්තා.

පොළොවට පැමිණි යේසුස්ද තම පියාව අනුකරණය කරමින් තම අනුගාමිකයන් සමඟ වගකීම් බෙදාගත්තා. ඒ තුළින් ඔහු ඔවුන්ව ක්‍රමානුකූලව පුහුණු කළා. මුලින්ම ඔහු තම අනුගාමිකයන් 12දෙනාවත් පසුව තවත් 70දෙනෙකුවත් ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි මූලිකත්වය ගෙන කටයුතු කිරීමට තමන්ට පෙරටුව පිටත් කර හැරියා. (ලූක් 9:1-6; 10:1-7) ඒ නිසා පසුව එම ප්‍රදේශවලට ගිය යේසුස්ට එහි ඉගැන්වීමේ කටයුතු කිරීම පහසු වුණා. යේසුස් ස්වර්ගයට යෑමට පෙර, ලෝක ව්‍යාප්තව ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය ඇතුළු වඩාත් බරපතළ වගකීම් තම අනුගාමිකයන්ට භාර දුන්නා.—මතෙ. 24:45-47; ක්‍රියා 1:8.

ඒ අනුව වගකීම් භාර දීම ක්‍රිස්තියානි සභාවේ ලක්ෂණයක් බවට පත් වුණා. පාවුල් තිමෝතිට පැවසූ මේ වදන් බලන්න. “මගෙන් දැනගන්න ලැබුණු දේවල් විශ්වාසවන්ත මිනිසුන්ට භාර දෙන්න. එවිට ඔවුහු, අන් අයට ඉගැන්වීම සඳහා ප්‍රමාණවත් ලෙස සුදුසුකම් ලද්දෝ වන්නෝය.” (2 තිමෝ. 2:2) ඔව්, අද්දැකීම් ලත් අය අන් අයව පුහුණු කරද්දී එම පුහුණුව ලබන අයටද තවත් අයව පුහුණු කළ හැකියි.

වැඩිමහල්ලෙක් තමාට පැවරී ඇති වගකීම් අන් අය සමඟ බෙදාගන්නා විට, ඉගැන්වීමට හා සහෝදරයන්ව හමු වී ඔවුන්ව දිරිගැන්වීමට වැඩි කාලයක් යෙදවිය හැකියි. එමෙන්ම ඉන් ප්‍රීතියක් ලැබීමටද ඔහුට හැකියි. තමන්ට කළ හැකි දේවල සීමාවක් තිබෙන බව වැඩිමහල්ලන් නිහතමානීව තේරුම්ගන්නවා. අන් අයට වගකීම් භාර දීමට එයද ඔවුන්ට හොඳ හේතුවක්. “නිහතමානී අය ප්‍රඥාවන්තය” කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (හිතෝ. 11:2NW) නමුත් සෑම දෙයක්ම ඔබම කරන්න උත්සාහ කළොත් ඉන් ඔබ වෙහෙසට පත් වන අතර පවුලේ සාමාජිකයන් සමඟ ගත කරන කාලයද ඉන් ඔබට අහිමි විය හැකියි. ඒ නිසා ඥානවන්තම දේ වන්නේ ඔබට ඇති සමහර වගකීම් අන් අය සමඟ බෙදාගැනීමයි. උදාහරණයකට, සභාවේ ගනු දෙනු වාර්තාව විගණනය කරන්න කියා සෙසු වැඩිමහල්ලන්ගෙන් ඉල්ලීමට වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක සහෝදරයාට හැකියි. එම වාර්තා පරීක්ෂා කිරීමෙන් සභාවේ ගනු දෙනු සිදු වන ආකාරය පිළිබඳ දැනුවත් වීමට සෙසු වැඩිමහල්ලන්ටද අවස්ථාවක් ලැබෙයි.

කෙනෙකුට යම් වගකීමක් ලැබෙන විට ඒ සඳහා අවශ්‍ය දක්ෂතා මෙන්ම අද්දැකීම් ලබාගැනීමටද ඔහුට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම එය භාරගත් සහෝදරයාගේ හැකියාවන් තේරුම්ගැනීමට එය භාර දුන් සහෝදරයාටද අවස්ථාවක් ලැබෙනවා. මෙසේ සහෝදරයන්ට සුදුසු වගකීම් භාර දීමෙන් ඉදිරියේදී ඔවුන් සභා සේවකයන් ලෙස සේවය කිරීමට “සුදුස්සන්දැයි” සෝදිසි කර බැලීමට වැඩිමහල්ලන්ට හැකියි.—1 තිමෝ. 3:10.

වගකීම් භාර දීම තුළින් තමන් අන් අය කෙරෙහි විශ්වාසය තබන බව පෙන්වීමටද වැඩිමහල්ලන්ට හැකියි. පාවුල්ද තිමෝති සමඟ එකට වැඩ කිරීමෙන් මිෂනාරි සේවය සඳහා ඔහුව පුහුණු කළා. ඒ තුළින් ඔවුන් දෙදෙනා අතර කිට්ටු බැඳීමක් ඇති වුණා. තිමෝතිව “ඇදහිල්ලෙහි සැබෑ දරුවෙකු” හැටියට පාවුල් හැඳින්වූයේ ඒ නිසයි. (1 තිමෝ. 1:2) පෘථිවියේ හා විශ්වයේ ඇති දේවල් නිර්මාණය කිරීමේදී යෙහෝවා දෙවි හා යේසුස් එකට වැඩ කිරීම නිසා ඔවුන් අතරත් ශක්තිමත් බැඳීමක් ඇති වුණා. එලෙසම වැඩිමහල්ලන් විශ්වාසයෙන් යුතුව අන් අයට වගකීම් භාර දෙන විට වැඩිමහල්ලන් හා ඔවුන් අතර කිට්ටු බැඳීමක් ඇති වෙනවා නිසැකයි.

සමහරුන් වගකීම් භාර දෙන්න අදිමදි කරන්නේ ඇයි?

වගකීම් භාර දීමේ ඇති ප්‍රයෝජන ගැන සමහර වැඩිමහල්ලන් දැන සිටියත් එසේ කිරීමෙන් තමන් සතු අධිකාරිය අඩු වෙයි කියා ඔවුන් සිතන නිසා එසේ කිරීමට අදිමදි කරනවා. එමෙන්ම ඔවුන් සිතන්නේ සෑම කාර්යයකදීම මූලිකත්වය ගෙන කටයුතු කළ යුත්තේ ඔවුන් බවයි. නමුත් මේ ගැන සිතන්න. ස්වර්ගයට යෑමට පෙර යේසුස් තම අනුගාමිකයන්ට ඉතා භාරදූර වගකීම් පැවරුවා. එමෙන්ම තමන් කළාට වඩා වැඩි ප්‍රමාණයකින් ඔවුන් එහි හවුල් වන බවද ඔහු දැන සිටියා.—මතෙ. 28:19, 20; යොහ. 14:12.

සමහර වැඩිමහල්ලන් අන් අයට වගකීම් භාර දී තිබෙන නමුත් එය භාරගත් අය ඒවා හොඳින් ඉටු නොකළා විය හැකියි. එවිට එම කාර්යය තමන් විසින්ම කළා නම් ඊට වඩා හොඳින් හා ඉක්මනින් කළ හැකියි කියා ඔවුන්ට සිතෙන්න පුළුවන්. ඒ නිසා වගකීම් භාර දීමට ඔවුන් අදිමදි කළ හැකියි. නමුත් ඒ සම්බන්ධයෙන් පාවුල්ගේ ආදර්ශය බලන්න. අන් අයට වගකීම් භාර දීමේ වටිනාකම පාවුල් දැන සිටියත් එම වගකීම භාරගත් සහෝදරයා තමන් අපේක්ෂා කරන ආකාරයටම එය ඉටු නොකළ හැකි බවත් ඔහු දැන සිටියා. තම පළමු මිෂනාරි ගමනේදී පාවුල්, යෞවනයෙකු වූ මාක්ව වගකීම් දැරීම සඳහා පුහුණු කළා. නමුත් ඔහු එය අත්හැර යෑම නිසා පාවුල් ඉමහත් සේ කලකිරුණා. (ක්‍රියා 13:13; 15:37, 38) එසේ වූවා කියා අන් අයව පුහුණු කිරීම ඔහු නතර කළේ නැහැ. ඉහත සඳහන් කළ ලෙස ඔහු යෞවන තිමෝතිව පුහුණු කළා. එසේ බැරෑරුම් වගකීම් දැරීම සඳහා තිමෝති සුදුසු තත්වයකට පැමිණියා. එවිට පාවුල්, ඔහුව එෆීස සභාවේ සේවය කිරීම සඳහා නතර කළ අතර වැඩිමහල්ලන්ව හා සභා සේවකයන්ව පත් කිරීමේ වගකීමද ඔහුට විශ්වාසයෙන් යුතුව භාර දුන්නා.—1 තිමෝ. 1:3; 3:1-10, 12, 13; 5:22.

අද සිටින වැඩිමහල්ලන්ට පාවුල් කදිම ආදර්ශයක්. එක් සහෝදරයෙක් තම වගකීම් නිසි ලෙස ඉටු නොකළ පමණින් වෙනත් අයව පුහුණු කිරීමෙන් වැඩිමහල්ලන් වැළකී නොසිටිය යුතුයි. අන් අය කෙරෙහි විශ්වාසය තැබීමත් ඔවුන්ව පුහුණු කිරීමත් ඉතා වැදගත් මෙන්ම ඥානවන්ත දෙයක්. නමුත් එසේ කිරීමේදී වැඩිමහල්ලන් මතක තබාගත යුතු කරුණු කිහිපයක් දැන් අපි සලකා බලමු.

වගකීම් භාර දෙන ආකාරය

මුලින්ම, ඔබ යම් වගකීමක් භාර දීමට බලාපොරොත්තු වන සහෝදරයන්ගේ සුදුසුකම් ගැන සලකා බලන්න. පළමු සියවසේදී යෙරුසලමේ සහෝදරයන්ට ආහාර බෙදා දීම සඳහා අවශ්‍යතාවක් පැනනැගුණා. එවිට එදා සිටි වගකීම් දැරූ සහෝදරයන් “ආත්මයෙන්ද [දෙවිගේ බලයෙන්ද] ප්‍රඥාවෙන්ද පූර්ණ, හොඳ නමක් දිනාගෙන ඇති පුරුෂයන් හත්දෙනෙකුව” ඒ සඳහා තෝරාගත්තා. (ක්‍රියා 6:3) නමුත් ඔබ වගකීමෙන් වැඩ නොකරන කෙනෙකුට යම් වගකීමක් භාර දුන්නොත් ඔහු එය නිසි ලෙස ඉටු නොකිරීමට ඉඩ තිබෙනවා. එමනිසා මුලින්ම ඔහුට සුළු වගකීම් භාර දෙන්න. ඔහු එය හොඳින් ඉටු කරන විට තව තවත් වගකීම් භාර දීමට ඔබට හැකියි.

වගකීම් භාර දීමේදී මෙයද මතක තබාගැනීම වැදගත්. සියලුදෙනාගේම හැකියාවන් හා පෞද්ගලිකත්වයන් එකිනෙකාට වෙනස්. ඔවුන් ලබා ඇති අද්දැකීම්ද විවිධයි. එමනිසා මිත්‍රශීලී, ප්‍රසන්න ස්වභාවයක් ඇති සහෝදරයෙක් සභාවේ පරිවාරකයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසු විය හැකියි. අනික් අතට දේවල් නිසි පිළිවෙළට හා ක්‍රමවත්ව කරන සහෝදරයෙක් සභාවේ ලේකම්ට සහය වීමට සුදුසු විය හැකියි. කලාත්මක හැකියාවන් ඇති සහෝදරියකට යේසුස්ගේ මරණය සිහි කිරිම සඳහා රාජ්‍ය ශාලාව අලංකාර කිරීමේ වගකීම භාර දිය හැකියි.

ඔබ කෙනෙකුට වගකීමක් භාර දෙන විට ඔහුගෙන් බලාපොරොත්තු වන දෙයද පැහැදිලිව පවසන්න. යොහන් බව්තීස්ත ඊට හොඳ ආදර්ශයක්. යේසුස්ගෙන් යමක් දැනගැනීම සඳහා ඔහු තම අනුගාමිකයන්ව යැව්වා. තමාට දැනගැනීමට අවශ්‍ය දේ සඳහා ඔවුන් යේසුස්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න මොනවාද කියා යොහන් පැහැදිලිව ඔවුන්ට පැවසුවා. (ලූක් 7:18-20) අනික් අතට යේසුස් තමා ආශ්චර්යයවත් ලෙස ලබා දුන් ආහාරවලින් ඉතුරු ඒවා එකතු කරගන්න කියා පැවසුවත් එය කරන ආකාරය තීරණය කිරීමට තම අනුගාමිකයන්ට අවස්ථාව ලබා දුන්නා. (යොහ. 6:12, 13) වගකීමක් භාර දෙන විට ඒ ගැන කොතරම් දුරකට විස්තර කළ යුතුද යන්න තීරණය වන්නේ භාර දෙන වගකීමේ ස්වභාවය හා එය භාරගන්නා සහෝදරයාගේ හැකියාවන් මතයි. එමෙන්ම යම් වගකීමක් භාර දීමෙන් පසු ඉන් බලාපොරොත්තු වන දේ පිළිබඳව, වගකීම භාර දෙන තැනැත්තා මෙන්ම එය භාරගන්නා තැනැත්තාද හොඳින් දැනුවත් විය යුතුයි. වගකීම භාරගත් තැනැත්තා එහි ප්‍රගතිය ගැන එය භාර දුන් තැනැත්තාට දැනුම් දිය යුතු ආකාරය ගැනත් අවබෝධයක් ලැබිය යුතුයි. එමෙන්ම භාර දුන් වගකීම නිශ්චිත දිනයකට අවසන් කළ යුතුව තිබේ නම් ඒ ගැනද දෙපාර්ශ්වයම සාකච්ඡා කර එකඟතාවකට එළඹීම සුදුසුයි.

යම් වගකීමක් භාර දෙන විට එය ඉටු කිරීම සඳහා අවශ්‍ය දේවල් මෙන්ම අවශ්‍ය උපකාරද ලබා දීම වැදගත්. එමෙන්ම ඒ හා සම්බන්ධ තවත් දෙයක් අපට යේසුස්ගෙන් ඉගෙනගත හැකියි. ඔහු පේතෘස්ට, “ස්වර්ග රාජ්‍යයේ යතුරු” භාර දුන් විට ඔහු එය කළේ සෙසු අනුගාමිකයන් ඉදිරිපිටදීයි. (මතෙ. 16:13-19) ඒ හා සමානව සභාවේ යම් වගකීමකට පත් කර ඇත්තේ කාවද කියා සභාවේ අන් අයට දැනුම් දීමද සුදුසු විය හැකියි.

මෙහිදී ඔබ පරෙස්සම් විය යුතු පැත්තක්ද තිබෙනවා. යම් වගකීමක් භාර පසු ඔබ ඊට නිතර නිතර අනවශ්‍ය ලෙස මැදිහත් වෙනවා නම් ඉන් ඔබ නොකියා කියන්නේ මෙයයි. ‘ඔයා මේ වැඩේ හරියට කරයිද කියලා මට සැකයි.’ ඔබ භාර දුන් වගකීම ඔබ බලාපොරොත්තු වූ ලෙසම ඔහු ඉටු නොකළ හැකි බව ඇත්තයි. නමුත් එම වගකීම ඉටු කිරීමට යම් නිදහසක් ලබා දීමෙන් ඔහු තුළ නිසැකකමක් ඇති වන අතර අද්දැකීම් ලබාගැනීමටද ඔහුට හැකි වෙයි. නමුත් ඔබ ඒ ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා සිටිය යුතු බවක් ඉන් අදහස් කරන්නේ නැහැ. යෙහෝවා දෙවිද දේවල් නිර්මාණය කිරීමේදී යේසුස්ට යම් වගකීම් භාර දුන්නත් ඔහු යේසුස් කළ දේවල් ගැන සැලකිලිමත් වුණා. ඒ බව දෙවි, යේසුස්ට කී මේ වචනවලින් පැහැදිලියි. “අප හා සමාන ගතිලක්ෂණ ඇතුව අපි මනුෂ්‍යයාව සාදමු.” (උත්. 1:26NW) එලෙසම ඔබ භාර දුන් වගකීම ඔහු ඉටු කරද්දී ඔබගේ වචනයෙන් හා ක්‍රියාවෙන් ඔහුට උපකාර කරන්න. එමෙන්ම ඒ ගැන ඔහුට ප්‍රශංසා කරන්න. මේ දක්වා ඔහු ලබා ඇති ප්‍රගතිය ගැන සලකා බැලීම ඔහුට දිරිගැන්වීමක් වෙයි. නමුත් එම වගකීම ඔහු නිසිලෙස ඉටු කර නැත්නම් අවශ්‍ය මඟ පෙන්වීම් හෝ උපකාර දීමෙන් වැළකී නොසිටින්න. ඔබ කෙනෙකුට යම් වගකීමක් භාර දී ඇතත් එහි මූලික වගකීම දැරිය යුත්තේ ඔබ බව මතක තබාගන්න.—ලූක් 12:48.

අන් අය ගැන අවංක උනන්දුවක් ඇති වැඩිමහල්ලන්, සුදුසුකම් ඇති අය සමඟ තම වගකීම් බෙදාගන්නවා. ඒවා නිසි ලෙස ඉටු කිරීමෙන් බොහෝදෙනෙක් ඉමහත් ප්‍රයෝජන ලබා තිබෙනවා. එමනිසා සියලු වැඩිමහල්ලන් යෙහෝවා දෙවිව අනුකරණය කරමින්, අන් අයට වගකීම් භාර දිය යුත්තේ ඇයි කියාත් එය කරන්නේ කෙසේද කියාත් ඉගෙනගැනීම අවශ්‍යයි.

[29වන පිටුවේ කොටුව]

වගකීම් භාර දීම යනු

• යම් කාර්යයක් ඉටු කිරීමෙන් ලැබෙන ප්‍රීතිය බෙදාගැනීමේ ක්‍රමයක්

• තව තවත් දේවල් ඉටු කරගැනීමට මඟක්

• නිහතමානිකමේ හා ප්‍රඥාවේ ලක්ෂණයක්

• අන් අයව පුහුණු කරන ආකාරයක්

• අන් අය කෙරෙහි ඇති විශ්වාසය පෙන්වන ආකාරයක්

[30වන පිටුවේ කොටුව]

වගකීම් භාර දෙන ආකාරය

• වගකීම් සඳහා සුදුසු අයව තෝරාගන්න

• වගකීම ගැන පැහැදිලිව විස්තර කරන්න/ ඔහු සමඟ අදහස් හුවමරු කරන්න

• ඔහුගෙන් ඔබ බලාපොරොත්තු වන දේ පැහැදිලිව පවසන්න

• එම වගකීම ඉටු කිරීම සඳහා අවශ්‍ය දේවල් සපයන්න

• ඔබ භාර දුන් වගකීම ගැන සැලකිලිමත් වන්න, ඔහු කෙරෙහි ඔබ විශ්වාසය තබන බව පෙන්වන්න

• අවසානයේදී ඊට මූලිකවම වග කිව යුත්තේ ඔබ බව තේරුම්ගන්න

[31වන පිටුවේ පින්තූර]

භාර දුන් කාර්යයේ ප්‍රගතිය ගැන සැලකිලිමත් වන්න