Skip to content

පටුනට යන්න

එකමුතුකමින් වැඩ කර දියුණු වෙමු

එකමුතුකමින් වැඩ කර දියුණු වෙමු

එකමුතුකමින් වැඩ කර දියුණු වෙමු

යෙහෝවා දෙවි පළමු යුවළ නිර්මාණය කළ අවස්ථාවේදී ඔවුන් එකිනෙකාට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාව අවධාරණය කළා. ඒ නිසා ආදම්ගේ “සහකාරිය” ලෙස ඒව ඔහු සමඟ සහයෝගයෙන් වැඩ කළ යුතු වුණා. (උත්. 2:18) පවුලේ සෙසු සාමාජිකයන් දෙවි සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කරගන්නවා දකින්න කැමති අය ඒ සඳහා ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ සඳහා, භාර්යාව හා ස්වාමිපුරුෂයා එකිනෙකාට සහයෝගය දක්වමින් හොඳ සම්බන්ධතාවක් ගොඩනඟා ගත යුතුයි. (දේශ. 4:9-12) එමෙන්ම දෙමාපියන් හා දරුවන්ද හොඳ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.

පවුලක් ලෙස දෙවිට නමස්කාර කිරීම

එකිනෙකාට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් මේ උදාහරණය බලන්න. බැරී හා හෙයිඩීට දරුවන් පස් දෙනෙක් සිටිනවා. නිතිපතා පවුලේ බයිබල් පාඩම පැවැත්වීම සඳහා එකිනෙකාට සහයෝගය දැක්වීම නිසා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න මුළු පවුලටම හැකි වී තිබෙනවා. ඒ ගැන බැරී මෙසේ පවසනවා. “පවුලේ පාඩම සඳහා මම ඉඳලා හිටලා දරුවන්ට පොඩි පැවරුම් දෙනවා. සමහර වෙලාවට පිබිදෙව්! සඟරාවලින් සොයාගත් යම් තොරතුරු පවුලේ පාඩමේදී ඉදිරිපත් කරන්න කියලත් මම ඔවුන්ට කියනවා. ඒ වගේම දරුවන් දේවසේවයේ ගිහිල්ලා කතා කරන විදිහ ගැනත් අපි ගෙදරදී පෙරහුරු කරනවා.” හෙයිඩීද මෙසේ පවසනවා. “අපි හැමෝම අත් කරගන්න පුළුවන් විවිධ ඉලක්ක තියාගෙන ඉන්නවා. ඒවා කොයි තරම් දුරට අත් කරගත්තාද කියලා අපි පවුලේ පාඩමේදී කතා කරනවා.” එමෙන්ම ඔවුන් සතියේ සමහර දිනවල රූපවාහිනිය නොබලා සිටීමට තීරණය කර තිබෙනවා. ඒ වෙලාව ඔවුන් සියලුදෙනාම යොදාගන්නේ අපගේ ප්‍රකාශන කියවීමටයි.

පවුලක් ලෙස රැස්වීම්වලට සහභාගි වීම

මයික් හා ඩෙනිස් ඔවුන්ගේ දරුවන් හතර දෙනාත් සමඟ දෙවිට කරන නමස්කාරයේදී එකිනෙකාට සහයෝගය දක්වනවා. ඉන් ඔවුන් ලබා ඇති ප්‍රයෝජන මොනවාද? ඒ ගැන මයික් මෙසේ පවසනවා. “සමහර වෙලාවලට අපි දේවල් කොයි තරම් හොඳින් සැලසුම් කළත් රැස්වීම්වලට වෙලාවට යන්න බැරි වෙනවා. නමුත් ඒ වගේ අවස්ථාවලදී පවුලේ එක් එක්කෙනා සහයෝගයෙන් වැඩ කළොත් රැස්වීම්වලට වේලාසනින් යන්න පුළුවන් වෙන බව අපි අද්දැක්කා.” ඩෙනිස් ඊට මෙසේ එකතු කරනවා. “අපේ දරුවන් ලොකු මහත් වෙද්දී අපි ඒ අයට යම් යම් වැඩ පැවරුවා. අපේ දුව කිම්, කෑම මේසය සූදානම් කරන්න වගේම කෑම පිසීමටද උදව් කළා.” ඔවුන්ගේ පුතෙක් වන මයිකල් මෙසේ පවසනවා. “අඟහරුවාදා සවස අපේ ගෙදර සභා රැස්වීමක් තියෙනවා. ඉතින් අපි කාමරය හා බිම පිරිසිදු කළා. ඒ වගේම රැස්වීම සඳහා පුටු සකස් කළා.” ඔවුන්ගේ තවත් පුතෙක් වන මැතිව් මෙසේ පවසනවා. “තාත්තා රැස්වීම් තියෙන හැම දවසකම කලින් ගෙදර ආවා. ඒ අපි හැමෝවම රැස්වීමට සූදානම් කරන්නයි.” මේ සියල්ලෙන් ඔවුන් ලැබූ ප්‍රතිඵලය කුමක්ද?

හොඳ ප්‍රතිඵල

තමන් ලැබූ ප්‍රතිඵල ගැන මයික් මෙසේ පවසනවා. “ඩෙනිස් හා මම 1987දී පුරෝගාමි සේවය පටන්ගත්තා. ඒ වෙද්දී අපේ දරුවෝ තුන්දෙනෙක්ම අපිත් එක්කයි හිටියේ. අපේ දරුවන් හතර දෙනාගෙන් දෙන්නෙක් පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. අනික් දෙන්නා බෙතෙල් ඉදිකිරීම් ව්‍යාපෘතිවල සේවය කරලා තියෙනවා. ඒවගේම අපේ මුළු පවුලම 40 දෙනෙකුට විතර දෙවිට කැප වී සේවය කරන්න උපකාර කර තිබෙනවා. අපි ඒකෙන් ලොකු සතුටක් ලබනවා. ඒ වගේම අපිට පවුලක් හැටියට විවිධ රටවල ඉදිකිරීමේ ව්‍යාපෘතිවල වැඩ කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා.”

ඇත්තෙන්ම පවුලේ සියලුදෙනා සහයෝගයෙන් වැඩ කරන විට බොහෝ ප්‍රතිඵල ලබන්න හැකියි. ඔබේ පවුලේ අය සමඟ සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වෙනත් පැති ගැන ඔබට කල්පනා කර බලන්න පුළුවන්ද? ඔබ, ඔබේ පවුලේ සාමාජිකයන් සමඟ සහයෝගයෙන් වැඩ කරන විට සියලුදෙනාටම දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැකි බව සථිරයි.

[28වන පිටුවේ පින්තූරය]

දේවසේවය සඳහා කලින් සූදානම් වීමෙන් බොහෝ ප්‍රතිඵල ලබා ගත හැකියි