Skip to content

පටුනට යන්න

ඔබ පෙන්වන්නේ සැබෑ ප්‍රේමයද?

ඔබ පෙන්වන්නේ සැබෑ ප්‍රේමයද?

ඔබ පෙන්වන්නේ සැබෑ ප්‍රේමයද?

ප්‍රේමය ගැන කල්පනා කරන විට අපගේ මතකයට මුලින්ම නැගෙන්නේ යෙහෝවා දෙවිවයි. ඔහු “ප්‍රේමයේ” උල්පතයි. (1 යොහ. 4:8) අන් අය කෙරෙහි පරිපූර්ණ ප්‍රේමයක් පෙන්විය හැකි එකම තැනැත්තා වන්නේද ඔහුයි. දෙවිව හොඳින් දැන හඳුනා ගැනීමට මිනිස් වර්ගයාට හැකි වී තිබෙන්නේ “පළමුකොට ඔහු අපට ප්‍රේම කළ” නිසයි. (1 යොහ. 4:19) දෙවි අපට ප්‍රේම කළ ආකාරය ගැන වැඩි වැඩියෙන් අප ඉගෙනගන්නා තරමටම ඔහු සමඟ ඉතා කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට අප තුළ පෙලඹීමක් ඇති වෙයි. එමෙන්ම දෙවි අපව නිර්මාණය කර ඇත්තේ ඔහුගේ ගති ලක්ෂණ ඇතුව නිසා ඔහු මෙන් අන් අයට ප්‍රේම කිරීමටද අපට හැකියි.—උත්. 1:27.

සැබෑ ප්‍රේමය

පාවුල් ප්‍රේමය හැඳින්වූයේ “උතුම් මාර්ගය” කියායි. (1 කොරි. 12:31) ඉන් ඔහු අදහස් කළේ කුමක්ද කියා දැන් අපි බලමු.

පාවුල් සඳහන් කළ ප්‍රේමයට ඉතා ගැඹුරු මෙන්ම පුළුල් අර්ථයක් තිබෙනවා. *කෙනෙක් එවන් ප්‍රේමයක් පෙන්වන්නේ ක්ෂණිකව හටගන්නා හැඟීම් මත නොව යහපත් ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙනයි. ඒ අනුව ඔහු අන් අයට ප්‍රේම කරන්නේ ඉතා අවංකවයි. එමෙන්ම ඔහු අනෙක් තැනැත්තා කෙරෙහි සැබෑ සැලකිල්ලක්ද දක්වනවා. අන් අයට ප්‍රේම කිරීමේදී අපි ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති බොහෝමයක් බයිබලය තුළින් අපට සොයාගත හැකියි. එහි සඳහන් ප්‍රතිපත්ති හොඳින් තේරුම්ගෙන ඒවා ජීවිතයට අදාළ කරගන්නා විට අපට අපගේ ජීවිතයේ සෑම පැත්තකදීම සැබෑ ප්‍රේමය පෙන්වීමට හැකියාව ලැබෙනවා. එවැනි පැති කිහිපයක් දැන් අපි සලකා බලමු.

පවුලේ සාමාජිකයන් අතර

අපිට අපේ පවුලේ සමාජිකයන් කෙරෙහි ප්‍රේමය ඇති වන්නේ උපතින්මයි. නමුත් අන්තිම දවස්වලදී බොහෝදෙනා තුළ “ජන්ම ස්නේහය නැති” වන බව එනම්, තමන්ගේම අය කෙරෙහි ඇති ප්‍රේමයද හීන වන බව පාවුල් පැවසුවා. එමනිසා ක්‍රිස්තියානීන් වන අපි එවන් තත්වයකට නොවැටීමට වගබලා ගත යුතුයි.—2 තිමෝ. 3:1, 3.

ඇත්තෙන්ම ජන්ම ස්නේහයේ ඌනතාවක් අද බහුලව ව්‍යාප්තව තිබීම කනගාටුවට කරුණක්. බොහෝ මව්වරු තම බිලිඳාව කුසේදීම මරා දැමීම, තම මහලු දෙමාපියන්ව නොසලකා හැරීම හෝ ඔවුන්ට අඩත්තේට්ටම් කිරීම ඒ අතර වෙයි. දිනෙන් දින වේගයෙන් ඉහළ යන දික්කසාදවලින්ද එය තව තවත් තහවුරු වෙයි.

ඉන් පැහැදිලි වන්නේ අද බොහෝදෙනා සිතන්න පෙලඹී ඇත්තේ තමන් ගැන පමණක් බවයි. බොහෝදෙනා අන් අයට ප්‍රේම කළත් එසේ කරන්නේ යහපත් ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන නොව, ක්ෂණිකව හටගන්නා හැඟීම් මතයි. අපත් පාපය උරුම කරගෙන ඇති නිසා නිතරම අප ගැන පමණක් සිතන්න පෙලඹිය හැකියි. ‘සියල්ලටම වඩා සිත රැවටිලිකාර’ බව බයිබලය පවසන්නේ ඒ නිසයි. (යෙරෙ. 17:9, නව ලොව පරිවර්තනය, NW) මේ නිසා අප පවුල් සැලැස්මේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති නොසලකා හැරීමට ඉඩ තිබෙනවා. අප ඒ සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය සිතා බැලීම සුදුසුයි. ‘මම මගේ පවුලේ අයට ප්‍රේම කරන්නේ යෙහෝවා දෙවි සපයා ඇති ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙනද?’

අපි ඒ ආකාරයෙන් අපේ පවුලේ සාමාජිකයන්ට ප්‍රේමය පෙන්වනවා නම් අපි අපේ මහලු දෙමාපියන් ගැනද සැලකිල්ලක් දක්වනවා. එමෙන්ම අපගේ දරුවන්ට අවශ්‍යය අවස්ථාවලදී හික්මවීම් හා මඟ පෙන්වීම්ද ලබා දෙනවා.—එෆී. 6:1-4.

විවාහ ජිවිතයේදී

විවාහය නමැති සැලැස්ම තුළ ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකිනෙකාට දක්වන ප්‍රේමය දෙවිගෙන් ලැබුණු ත්‍යාගයක්. (හිතෝ. 5:15-17) ඔවුන් දෙදෙනා එකිනෙකාට ප්‍රේමය පෙන්විය යුත්තේ දෙවි දී ඇති ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙනයි. කෙසේනමුත් සාතන් එම ප්‍රේමය විකෘති කර තිබෙනවා. ඒ නිසා සමහරුන් තම සහකරුට හෝ සහකාරියට ප්‍රේම කරන්නේ තම කාම ආශාව ඉටු කරගැනීමේ අරමුණෙනුයි. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ ඔවුන්ගේ පවුල් ජීවිත අසන්තෝෂයෙන් පිරුණු අසාර්ථක ඒවා වීමයි. ඒ නිසා ක්‍රිස්තියානීන් වන අප මේ ප්‍රශ්නය ගැනත් හොඳින් සිතා බැලීම වැදගත්. ‘මම මගේ සහකරුට හෝ සහකාරියට ප්‍රේමය පෙන්වන්නේ සාතන් පතුරුවා ඇති ආකල්පවලට අනුවද? නැත්නම් දෙවි දී ඇති ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙනද?

ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් දෙවි දී ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් වන තවත් අවස්ථාවක් බලන්න. යෞවන කාලයේදී කෙනෙකු තුළ ඇති වන ලිංගික හැඟීම් ඉතා ප්‍රබලයි. එමනිසා යෞවන ක්‍රිස්තියානීන් ලිංගික කාරණා සම්බන්ධයෙන් දෙවි දී ඇති ප්‍රතිපත්ති උල්ලංගනය නොකිරීමට වගබලා ගැනීම අවශ්‍යයි. (1 කොරි. 7:36; කොලො. 3:5) විවාහය තුළද එය එසේමයි. විවාහය පරිශුද්ධ දෙයක් මෙන්ම දෙවිගෙන් ලද තෑග්ගක්. ඒ බව යේසුස් දැන සිටි නිසා ඔහු ඒ ගැන මෙසේ පැවසුවා. “දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා.” (මතෙ. 19:6) විවාහය කියන්නේ තම සහකරු කෙරෙහි තිබූ ලිංගික ආකර්ෂණය අඩු වන විට අවසන් වන දෙයක් නොවෙයි. එය සදාකාලික බැඳීමක්. විවාහයේ යම් ගැටලු මතු වුණත් ක්‍රිස්තියානීන් අන් අය මෙන් ඉන් මිදීමට වෙනත් ක්‍රම සොයන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් විවාහය ආරක්ෂා කරගැනීම සඳහා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට අවංක උත්සාහයක් දරනවා. එමෙන්ම යහපත් ගුණාංග වර්ධනය කරගනිමින් පවුල් ජීවිතය සාර්ථක කරගැනීමට ඔවුන් තම උපරිමය කරනවා. එහි ප්‍රතිඵලය සන්තෝෂයයි.—එෆී. 5:33; හෙබ්‍රෙ. 13:4.

මිතුරන් සමඟ

අපි කාටත් මිත්‍රයන් අවශ්‍යයි. මිතුරන් නැත්නම් අප බොහෝවිට සිටින්නේ අසතුටිනුයි. ඒ බව බයිබලයේද මෙසේ තහවුරු කරනවා. “සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක්ද සිටියි.” (හිතෝ. 18:24, NW) අපට හොඳ මිතුරන් සිටිනවාට යෙහෝවා දෙවිත් සතුටුයි. හොඳ මිතුරන්ව සිටි අය ගැන බයිබලයේද සඳහන් වෙනවා. දාවිත් හා යොනතාන් මෙන්ම යේසුස් හා යොහන් ඊට කදිම උදාහරණයි. (1 සාමු. 18:1; යොහ. 20:2) අපිට සභාව තුළ කිට්ටු මිතුරන් සිටීමේ වරදක් නැති බව ඉන් පැහැදිලියි. කෙසේනමුත් 2 පේතෘස් 1:7හි අපට උනන්දු කරන්නේ එම මිත්‍රත්වයන් ශක්තිමත් කරගැනීම සඳහා දෙවි දී ඇති යහපත් මෙන්ම ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සැලකිල්ලට ගන්න කියායි. එවිට අපගේ මිත්‍රත්වයන් කල්පවතින මෙන්ම ප්‍රයෝජනදායක ඒවා බවට පත් වෙනවා නිසැකයි.

අපි දෙවිගේ ප්‍රතිපත්ති සැලකිල්ලට ගනිමින් කටයුතු කරනවා නම් අප සියල්ලන්ටම සලකන්නේ එක සමානවයි. අපගේ මිතුරන්ට හොඳ ආකාරයෙනුත් එසේ නොවන අයට රළු ආකාරයෙනුත් අප සලකන්නේ නැහැ. එමෙන්ම අන් අයව අපගේ මිත්‍රයන් කරගැනීම සඳහා බොරුවට ඔවුන්ව වර්ණනා කරන්නේද නැහැ. මිතුරන් ඇති කරගැනීමේදී “නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය” යන බයිබල් ප්‍රතිපත්තිය අපි නිතරම මතකයේ තබාගන්නවා.—1 කොරි. 15:33.

උතුම්ම ප්‍රේමය

අද සිටින බොහෝදෙනාට වෙනස්ව ක්‍රිස්තියානීන් පෙන්වන ප්‍රේමය විශේෂයි. ඒ ගැන පාවුල් පැවසුවේ “ඔබේ ප්‍රේමය කුහකකමින් තොරව තිබිය” යුතුයි කියායි. ඔව්, අප නිතරම ප්‍රේමය පෙන්වන්නේ යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන මිස ක්ෂණිකව ඇති වන හැඟීම් මත නොවෙයි. පාවුල්ද උපදෙස් දුන්නේ “සහෝදර ප්‍රේමයෙන් යුතුව එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න” කියායි. (රෝම 12:9, 10) අප එසේ දෙවිගේ ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන ප්‍රේමය පෙන්වද්දී දෙවිගේ නමස්කාරකයන් සමඟ අපට තිබෙන මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගත හැකියි. එවිට අපි ඔවුන් කෙරෙහි කරුණාවෙන් හා අනුකම්පාවෙන් පෙලඹී අවශ්‍ය උපකාර ලබා දෙනවා. (1 තෙස. 4:9, 10) මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ එකිනෙකා ගැන අවංක උනන්දුවක් හා සැලකිල්ලක් දක්වන ප්‍රේමණීය පවුලක් බඳු බැඳීමක් ඇති වීමයි.

ක්‍රිස්තියානි සභාව, විනෝද වීම සඳහා එකිනෙකාව ඇසුරු කිරීමට තිබෙන ස්ථානයක් නොවෙයි. එය තිබෙන්නේ එකමුතු පවුලක් ලෙස යෙහෝවා දෙවිට නමස්කාර කිරීමටයි. අප සෙසුනමස්කාරකයන්ව, සහෝදර සහෝදරියන් ලෙස අමතන්නේ ඒ නිසයි. අප ඔවුන්ට අපගේ පවුලේ අයට මෙන් ප්‍රේම කරන අතර ඔවුන්ට සලකන්නෙ මිත්‍රයන් ලෙසයි. කෙසේනමුත් අපි එකිනෙකා සමඟ ඇති සෑම බැඳීමකදීම ප්‍රේමය පෙන්වන විට නිතරම බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට ගනිමු. දෙවිට කරන නමස්කාරය තුළ අප සියලුදෙනාවම එකට බැඳ තබන ප්‍රේමය නමැති බැම්ම ශක්තිමත් කිරීමට දායක වෙමු. එමගින් අපි සැබෑ ක්‍රිස්තියානීන් බව පැහැදිලිව හඳුනාගැනීමට අන් අයටද හැකි වෙයි.—යොහ. 13:35.

[පාදසටහන]

^ 5 ඡේ. ප්‍රේමය යන වචනය සඳහා ග්‍රීක භාෂාවෙන් වචන හතරක් යොදාගන්නවා. යහපත් ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන පෙන්වන ප්‍රේමය සඳහා අගාපේ යන වචනයද මිත්‍රයන් අතර ඇති ප්‍රේමය සඳහා ෆිලියා යන වචනයද යොදාගෙන තිබෙනවා. එමෙන්ම පවුලේ සාමාජිකයන් අතර ඇති ප්‍රේමය සඳහා ස්ටොජි යන වචනයත් ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර ඇති වන ප්‍රේමය සඳහා ඊරොස් යන වචනයත් යොදාගෙන තිබෙනවා.

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපව එක්සත් කරවන ප්‍රේමය නමැති බැම්ම ශක්තිමත් කිරීමට ඔබ දායක වන්නේ කෙසේද?