Skip to content

පටුනට යන්න

ක්‍රිස්තුස්ව අනුකරණය කරන පවුල් සාමාජිකයන්

ක්‍රිස්තුස්ව අනුකරණය කරන පවුල් සාමාජිකයන්

ක්‍රිස්තුස්ව අනුකරණය කරන පවුල් සාමාජිකයන්

‘ක්‍රිස්තුස්ගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔහු ඔබට ආදර්ශයක් දුන්නේය.’—1 පේතෘ. 2:21.

1. (අ) සියලු දේ නිර්මාණය කිරීමේදී දෙවිගේ පුත්‍රයාට තිබූ කාර්යය කුමක්ද? (ආ) යේසුස්ට මිනිසුන් ගැන හැඟුණේ කෙසේද?

යෙහෝවා දෙවි අහසත් පොළොවත් නිර්මාණය කරන විට ඔහුගේ එකම පුත්‍රයා “ප්‍රධාන සේවකයා ලෙස” ඔහු සමඟ වැඩ කළා. එමෙන්ම දෙවි බොහෝ වර්ගයන්ට අයත් සතුන්ව නිර්මාණය කරන විටද ඔහු ඊට හවුල් වුණා. එපමණක් නොව මුල් මිනිස් යුවළට පරාදීස උයන නිර්මාණය කිරීමේදීද ඔහුගේ පුත්‍රයා සහය වුණා. පසුව යේසුස් ලෙස හැඳින්වූ ඔහු මිනිසුන් කෙරෙහි ඉමහත් ප්‍රේමයක් දැක්වූවා. ඔහු “බොහෝ සෙයින් ප්‍රිය කළේ මනුෂ්‍ය පුත්‍රයන්ටයි” කියා සඳහන් වීමෙන් ඒ බව පැහැදිලියි.—හිතෝ. 8:27-31, නව ලොව පරිවර්තනය, NW; උත්. 1:26, 27.

2. (අ) දෙවි පව්කාර මිනිස් වර්ගයාට දී ඇති සැපයුම් මොනවාද? (ආ) බයිබලයේ මඟ පෙන්වීම් සපයා ඇති එක් පැත්තක් කුමක්ද?

2 මුල් යුවළ පව් කිරීමත් සමඟම ඔවුන් සිටි තත්වයෙන් ඔවුන්ව ගලවාගැනීම දෙවිගේ අරමුණෙහි වැදගත් අංගයක් බවට පත් වුණා. ඒ සඳහා යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව ලබා දුන්නා. (රෝම 5:8) එමෙන්ම ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම ඇතුළත් ඔහුගේ වචනය වන බයිබලයද ලබා දුන්නා. (ගීතා 119:105) සන්තෝෂවත් මෙන්ම සාර්ථක පවුලක් සඳහා අවශ්‍ය මඟ පෙන්වීම්ද එහි අඩංගුයි. උත්පත්ති වාර්තාවෙහි විවාහය ගැන සඳහන් වන්නේ පුරුෂයෙක් “තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය” කියායි.—උත්. 2:24NW.

3. (අ) පවුල් ජීවිතය හා සම්බන්ධ යේසුස් දුන් මඟපෙන්වීම් මොනවාද? (ආ) මෙම ලිපියෙන් අප සලකා බලන්නේ කුමක් ගැනද?

3 යේසුස්ද අවධාරණය කළේ විවාහය සදාකාලික බැඳීමක් බවයි. එමෙන්ම පවුලක් තුළ ඇති සන්තෝෂය අහිමි කරන ක්‍රියා සහ ආකල්පවලින් වැළකී සිටීම සඳහා උපකාරවත් වන මඟ පෙන්වීම්ද ඔහු ඉගැන්වුවා. (මතෙ. 5:27-37; 7:12) මෙම ලිපියෙහි අප සාකච්ඡා කරන්නේ ඔහුගේ ආදර්ශයෙන් ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට, දෙමාපියන්ට හා දරුවන්ට ඉගෙනගත හැකි පාඩම් ගැනයි. ඒවා අදාළ කරගැනීමෙන් සන්තෝෂවත් මෙන්ම තෘප්තිමත් පවුල් ජීවිත ගත කිරීමට අප සියලුදෙනාටම හැකියි.

ගෞරවය පෙන්වන ස්වාමිපුරුෂයෙක්

4. යේසුස්ගේ හා ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන්ගේ කාර්යය අතර ඇති සමානකම කුමක්ද?

4 යේසුස්, ක්‍රිස්තියානි සභාවේ හිස වන්නා සේ ස්වාමිපුරුෂයාද පවුලේ හිස නොහොත් මූලිකයායි. ඒ ගැන පාවුල් වාර්තා කළේ මෙසේයි. ‘ක්‍රිස්තුස් සභාව වන ශරීරයේ ගැලවුම්කාරයාද හිසද වන්නාක් මෙන් ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ හිස වන්නේය. ස්වාමිපුරුෂයෙනි, ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන්නාක් මෙන්, ඔබත් ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න.’ (එෆී. 5:23, 25) යෙහෝවා දෙවි ලබා දුන් අධිකාරිය ක්‍රියාත්මක කරමින් යේසුස් තම අනුගාමිකයන්ට සැලකූ ආකාරය ආදර්ශයට ගන්න ස්වාමිපුරුෂයන්ට හැකියි. එමගින් තම භාර්යාවන්ට ගෞරවයෙන් සැලකීමට ඉගෙනගන්න ඔවුන්ට හැකියි. ඒ ගැන දැන් අපි සලකා බලමු.

5. යේසුස් තම අනුගාමිකයන් කෙරෙහි අධිකාරිය ක්‍රියාත්මක කළේ කෙසේද?

5 යේසුස් “මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු” වුණා. (මතෙ. 11:29) ඔහු කෙළින් තීරණ ගත් පුද්ගලයෙක් මෙන්ම තම වගකීම් නොපිරිහෙළා ඉටු කළ කෙනෙක්. (මාක් 6:34; යොහ. 2:14-17) එමෙන්ම ඔහු තම අනුගාමිකයන්ට ඉතා කාරුණික ලෙස උපදෙස් දුන් අතර අවශ්‍ය අවස්ථාවලදී නැවත නැවතත් එසේ කළා. (මතෙ. 20:21-28; මාක් 9:33-37; ලූක් 22:24-27) ඒ වුණත් ඔහු ඔවුන්ට බැණ වැදුණේවත් නිග්‍රහ කළේවත් නැහැ. තමන් පැවරූ කාර්යය කිරීමට තරම් ඔවුන් දක්ෂ නැහැ කියා යේසුස් ඔවුන්ට හැඟෙන්න සැලැස්සුවේද නැහැ. යේසුස් තමන්ට ප්‍රේම කරන්නේ නැති බවක් ඔවුන්ට කවදාවත් දැනුණේ නැහැ. (ලූක් 10:17-21) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ගේ ගෞරවය දිනා ගත්තේ ඔහු ඔවුන්ට දැක්වූ ප්‍රේමණීය හා කාරුණික සැලකිල්ල නිසා බව අපට පැහැදිලියි.

6. (අ) යේසුස් තම අනුගාමිකයන්ට සැලකූ ආකාරයෙන් ස්වාමිපුරුෂයන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) පේතෘස් ස්වාමිපුරුෂයන්ට උනන්දු කරන්නේ කුමක් කිරීමටද?

6 මූලිකත්වය ක්‍රියාත්මක කිරීම කියන්නේ කෙනෙකුව කර්කශ ලෙස පාලනය කිරීම නොව ගෞරවයෙන් සහ ප්‍රේමයෙන් සැලකීමයි. ඒ බව ස්වාමිපුරුෂයන්ට, යේසුස්ගේ ආදර්ශයෙන් ඉගෙනගත හැකියි. පේතෘස් ස්වාමිපුරුෂයන්ට උනන්දු කරන්නේ තම භාර්යාවන්ට ප්‍රේමයෙන් සලකමින් ඔවුන්ට ‘ගෞරවය දීම’ අවශ්‍ය බවයි. (1 පේතෘස් 3:7 කියවන්න.) එසේනම් තම භාර්යාවට නිසි ගෞරවය ලබා දෙමින් තම මූලිකත්වය ක්‍රියාත්මක කිරීමට ස්වාමිපුරුෂයෙකුට හැක්කේ කෙසේද?

7. ස්වාමිපුරුෂයෙකුට තම භාර්යාවට ගෞරවය පෙන්විය හැකි ආකාරයක් කුමක්ද? උදාහරණයක් දෙන්න.

7 තම භාර්යාවට ගෞරවය පෙන්විය හැකි එක් ආකාරයක් වන්නේ, පවුල තුළ යම් තීරණ ගැනීමේදී භාර්යාවගේ අදහස් හා හැඟීම් සැලකිල්ලට ගැනීමයි. උදාහරණයකට රැකියාව වෙනස් කිරීම, පදිංචිය මාරු කිරීම, විනෝද ගමන් යෑම, පවුලේ වියහියදම් පාලනය කිරීම වැනි එදිනෙදා ගන්නා තීරණවලදී ඇගේ අදහස්ද සැලකිල්ලට ගත හැකියි. එවන් තීරණ ගැනීමේදී භාර්යාවගේ අදහස් විමසීම මගින් නිවැරදි මෙන්ම සමබර තීරණ ගැනීමට ඔහුට හැකි වෙයි. එසේ කිරීමෙන් ඔහු ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමේදී ඊට සහය වීමට ඇයට වඩාත් පහසු වෙයි. (හිතෝ. 15:22) එලෙස කටයුතු කරන ස්වාමිපුරුෂයෙකුට තම භාර්යාවගේ ප්‍රේමය හා ගෞරවය පමණක් නොව යෙහෝවා දෙවිගේ අනුග්‍රහයද හිමි වෙනවා.—එෆී. 5:28, 29.

ගැඹුරු ගෞරවය දක්වන භාර්යාවක්

8. භාර්යාවන් ඒවව ආදර්ශයට නොගත යුත්තේ ඇයි?

8 මූලිකත්වයට යටත් වීම සම්බන්ධයෙන් යේසුස්, භාර්යාවන්ට කදිම ආදර්ශයක්. යේසුස්ට හා මුල්ම භාර්යාව වූ ඒවට මූලිකත්වය පිළිබඳව තිබුණේ මොන තරම් වෙනස් ආකල්පයන්ද! ඒවට මූලිකයෙක් සිටියා. දෙවි තම උපදෙස් ලබා දුන්නේ ඔහු තුළිනුයි. නමුත් ඇය, ආදම් ලබා දුන් මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කළා. එයින් පැහැදිලි වුණේ ඇය මූලිකත්වය පිළිබඳ සැලැස්මට ගෞරව කළේ නැති බවයි. ඒ නිසා ඇය භාර්යාවන්ට හොඳ ආදර්ශයක් නොවෙයි. (උත්. 2:16, 17; 3:3; 1 කොරි. 11:3) සර්පයා පැවසූ දෙයට ඒව රැවටුණු බව ඇත්තයි. නමුත් ඊට කීකරු වීමට පෙර ඇය ඒ ගැන ඇගේ ස්වාමිපුරුෂයාගෙන් විමසිය යුතුව තිබුණා. නමුත් ඇය කළේ ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයයි.—උත්. 3:5, 6; 1 තිමෝ. 2:14.

9. මූලිකත්වට ගරු කිරීම සම්බන්ධයෙන් යේසුස් ආදර්ශයක් වන්නේ කෙසේද?

9 මූලිකත්වයට ගරු කිරීම සම්බන්ධයෙන් යේසුස් පරිපූර්ණ ආදර්ශයක්. ‘දෙවිට සමාන වීම තමන් අත් කරගත යුතු දෙයක් කියා ඔහු සිතුවේ නැහැ.’ ඒ වෙනුවට ඔහු ‘සියල්ල අත්හැර, දාසයෙකුගේ ස්වරූපය’ ගත්තා. (ෆිලි. 2:5-7) ඔහුගේ ආකල්පවලින් හා ඔහු ජීවත් වූ ආකාරයෙන් ඒ බව පැහැදිලිව දිස් වුණා. දැන් ඔහු ස්වර්ගයේ රජයි. ඒ වුණත් මූලිකත්වය පිළිබඳ ඔහුට තිබූ ආකල්පය නම් වෙනස් වී නැහැ. ඔහු සියලු කාරණාවලදී තම පියාගේ මූලිකත්වයට යටත් වන අතර ඔහුගේ පාලනයටද කීකරු වෙනවා.—මතෙ. 20:23; යොහ. 5:30; 1 කොරි. 15:28.

10. ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට සහය වීමට භාර්යාවකට හැක්කේ කෙසේද?

10 ක්‍රිස්තියානි භාර්යාවක් තම ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට ගරු කරමින් යේසුස්ව අනුකරණය කිරීම සුදුසුයි. (1 පේතෘස් 2:21; 3:1, 2 කියවන්න.) ඇයට එය කළ හැකි එක් ආකාරයක් බලන්න. යම් දෙයක් සඳහා තම පුතා ඇගෙන් අවසර ඉල්ලනවා කියා සිතන්න. නමුත් ඔහුගේ ඉල්ලීමට සම්බන්ධ කාරණය මීට පෙර පවුල තුළ සාකච්ඡා කර නැහැ. ඒ නිසා සුදුසුම දෙය වන්නේ “ඔයා මේක තාත්තාගෙන් ඇහුවද?” කියා ඔහුගෙන් විමසීමයි. ඔහු එසේ කර නැත්නම් යමක් පැවසීමට පෙර ඇය තම ස්වාමිපුරුෂයා සමඟ ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. එමෙන්ම ඇය දරුවන් ඉදිරිපිට තම ස්වාමිපුරුෂයාගේ අදහස්වලට පටහැනි යමක් පවසන්නේ හෝ ඒවා අභියෝගයට ලක් වන ආකාරයෙන් කතා කරන්නේ නැහැ. තම ස්වාමිපුරුෂයාගේ අදහස්වලට එකඟ වීමට නොහැකි අවස්ථාවලදී ඇය ඒ ගැන ඔහු සමඟ පෞද්ගලිකව කතා කිරීම සුදුසුයි.—එෆී. 6:4.

යේසුස්ව අනුකරණය කරන දෙමාපියන්

11. යේසුස් දෙමාපියන්ට තබන ආදර්ශය කුමක්ද?

11 යේසුස් විවාහ වී දරුවන් ඇති දැඩි කළේ නැති වුණත් දෙමාපියන්ට ඔහුගෙන් කදිම පාඩම් ඉගෙනගත හැකියි. ඔහු තම අනුගාමිකයන්ට ඉගැන්වූයේ ප්‍රේමයෙන් සහ ඉවසීමෙනුයි. එමෙන්ම ඔහු ඔවුන්ට හොඳ ආදර්ශයක්ද තැබුවා. තමන් ලබා දුන් පැවරුම ඉටු කරන ආකාරය ගැනද ඔහු ඔවුන්ට මනා පුහුණුවක් ලබා දුන්නා. (ලූක් 8:1) ඒ නිසා යේසුස් තමන් සමඟ කටයුතු කළ ආකාරය දුටු අනුගාමිකයන්, අන් අයට සැලකිය යුතු ආකාරයද ඉගෙනගත්තා.යොහන් 13:14-17 කියවන්න.

12, 13. දරුවන් තුළ දේවගරුබිය ඇති කිරීම සඳහා දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?

12 දෙමාපියන්ගේ ආදර්ශය හොඳ වුණත් නරක වුණත් එය අනුකරණය කිරීමට දරුවන් පෙලඹෙනවා. එමනිසා දෙමාපියෙනි, ඔබගෙන්ම මෙසේ අසාගන්න. ‘රූපවාහිනිය නැරඹීමට හා විනෝද වීමට ගත කරන කාලය සම්බන්ධයෙන් අපි දරුවන්ට තබන ආදර්ශය මොන වගේද? අනෙක් අතට බයිබලය අධ්‍යයනය කිරීම හා ශුභාරංචිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අපි තබන ආදර්ශය මොන වගේද? අපි පවුලක් හැටියට මුල් තැන දෙන්නේ කුමන දේවල්වලටද? අප ගත කරන ජීවිතයෙන් හා ගන්නා තීරණවලින් අප දෙවිගේ නමස්කාරයට මුල් තැන දෙන බව පෙන්වනවාද?’ දරුවන් තුළ දේවගරුබිය ඇති කිරීමට නම් මුලින්ම දෙමාපියන් දෙවිගේ නීති පිළිපැදීම අනිවාර්යයි.—ද්වි. 6:6.

13 ජීවිතයේ සෑම සුළු කාරණයකදීම දෙමාපියන් බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට දරුවන් එය හොඳින් දකිනවා. දෙමාපියන් දරුවන්ට යහපත් දේවල් ඉගැන්වීම වැදගත් වුණත් ඔවුන් ඒවා ක්‍රියාත්මක කරන බව දරුවන් නොදකිනවා නම් තත්වය කුමක්ද? බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම එතරම් වැදගත් නැහැ කියා දරුවන් නිගමනය කළ හැකියි. එවිට මෙම දුෂ්ට සමාජයෙන් පැමිණෙන අභියෝගවලට ඔවුන් සාර්ථකව මුහුණ දෙයි කියා සිතීම අපහසුයි.

14, 15. දෙමාපියන් දරුවන්ව පෙලඹවිය යුත්තේ කුමක් කිරීමටද? එමෙන්ම එය කළ හැකි එක් ආකාරයක් කුමක්ද?

14 දරුවන් ඇති දැඩි කිරීමේදී ඔවුන්ට කෑම බීම සැපයීමට වඩා වැඩි යමක් අවශ්‍ය බව ක්‍රිස්තියානි දෙමාපියන් හොඳින්ම දන්නවා. එමනිසා දරුවන්ව ධන සම්පත් සෙවීම සඳහා පමණක් යොමු කිරීම අනුවණ දෙයක්. (දේශ. 7:12) යේසුස් ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. ඔහු තම අනුගාමිකයන්ව පෙලඹවූයේ දේවරාජ්‍යයේ කටයුතුවලට ජීවිතයේ මුල් තැන දීමටයි. (මතෙ. 6:33) යේසුස්ව ආදර්ශයට ගන්නා ක්‍රිස්තියානි දෙමාපියන්ද තම දරුවන් දෙවිට කරන සේවය වැඩි කිරීම සඳහා ඔවුන් තුළ ආශාවක් වර්ධනය කළ යුතුයි.

15 ඒ සඳහා කදිම ක්‍රමයක් වන්නේ පූර්ණකාලීන සේවකයන්ව ඇසුරු කිරීමට දරුවන්ට අවස්ථාව සලසා දීමයි. ඔවුන්ට පුරෝගාමීන්ව හෝ සංචාරක අවේක්ෂක හා ඔහුගේ බිරිඳ සමඟ ඇසුරු කරන්න ඉඩ සැලසීමෙන් ඔවුන් මොන තරම් දිරිගැන්වීමක් ලබයිද! එමෙන්ම මිෂනාරිවරුන්, බෙතෙල් සේවකයන් හා ජාත්‍යන්තර ඉදි කිරීම් කටයුතුවල හවුල් වන ස්වෙච්ඡා සේවකයන්ව ඔබේ දරුවන්ට මුණගස්වන්න. එවිට ඔවුන් දෙවිට කරන සේවයෙන් ලබන ඉමහත් ප්‍රීතිය ගැන දැනගැනීමට ඔබේ දරුවන්ට අවස්ථාව ලැබෙයි. ඔවුන් කරන පරිත්‍යාගශීලී සේවය දකින ඔබේ දරුවාට ඥානවන්ත තීරණ ගැනීමටත් එය උපකාරයක් වෙයි. එමෙන්ම පූර්ණකාලීන සේවය කරමින් තමන්ගේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා යම් වෘත්තිය පුහුණුවක් ලබාගැනීමටද ඔවුන් පෙලඹිය හැකියි.

යේසුස්ව අනුකරණය කරන දරුවන්

16. යේසුස් පොළොව මත සිටියදී තම දෙමාපියන්ට හා ස්වර්ගික පියාට ගෞරව කළේ කෙසේද?

16 දරුවෙනි, යේසුස් ඔබටත් කදිම ආදර්ශයක්. ඔහු යෝසෙප් හා මරියා යටතේ හැදී වැඩුණු අතර ඔවුන්ට කීකරු වුණා. (ලූක් 2:51 කියවන්න.) ඔවුන් අතින් වැරදි සිදු වුණත් තමාව රැකබලා ගැනීමේ වගකීම දෙවි විශ්වාසයෙන් භාර දී ඇත්තේ ඔවුන්ට බව යේසුස් තේරුම්ගත්තා. ඒ නිසා ඔහු ඔවුන්ට ගෞරව කළා. (ද්වි. 5:16; මතෙ. 15:4) වැඩිහිටියෙක් ලෙසද යේසුස් නිතරම කළේ තම ස්වර්ගික පියාගේ කැමැත්තයි. ඔහු නිතරම වැරදි නැඹුරුවාවන්ට එරෙහිව සිටීමෙන් ඒ බව පෙන්නුවා. (මතෙ. 4:1-10) දරුවෙනි, දෙමාපියන්ට අකීකරු වීමට පෙලඹෙන අවස්ථාවන් ඔබටත් උදා විය හැකියි. යේසුස්ව ආදර්ශයට ගැනීමෙන් ඒවාට විරුද්ධව සිටින්න ඔබට හැකියි. ඒ සඳහා ඔබට කුමක් කළ හැකිද?

17, 18. (අ) යෞවනයන් පාසැලේදී මුහුණ දෙන අභියෝග මොනවාද? (ආ) ඒවාට මුහුණ දීමට ඔවුන්ට උපකාර කරන්නේ කුමක්ද?

17 ඔබගේ පාසැලේ මිතුරන් බොහෝදෙනෙකු බයිබල් ප්‍රතිපත්තිවලට ගෞරවයක් නොදක්වන බව ඔබ දැක ඇති. ඒ නිසා දෙවිව අසතුටු කරන යම් ක්‍රියාවල ඔබවත් හවුල් කරගැනීමට ඔවුන් උත්සාහ කළ හැකියි. ඔබ ඒවා ප්‍රතික්ෂේප කරන විට ඔවුන් ඔබට උසුළුවිසුළු කරනවා හෝ නම් හදනවා විය හැකියි. එවැනි තත්වයන්ට ඔබ මුහුණ දෙනවා නම් ඊට ප්‍රතිචාරය දැක්වීමට ඔබට හැක්කේ කෙසේද? ඔබ බියට පත් වී ඔවුන්ගේ ක්‍රියාවලට හවුල් වුණොත් ඔබ දෙමාපියන්ගේත් යෙහෝවා දෙවිගේත් සිත රිදවන බව මතක තබාගන්න. ඔබ ඔවුන්ව අනුකරණය කළොත් කුමක් සිදු විය හැකිද? පුරෝගාමී සේවය, සභා සේවකයෙක් වීම, අවශ්‍යතා වැඩි ප්‍රදේශයක සේවය කිරීම හෝ බෙතෙල් ගෘහයේ සේවය කිරීම වැනි ඔබගේ ඉලක්කයන්ට කුමක් සිදු වෙයිද? ඔබ ඔවුන්ව අනුකරණය කිරීමෙන් කෙදිනකවත් ඒවා අත් කරගත නොහැකි බව මතක තබාගන්න.

18 යෞවනයෙනි, දෙවි කෙරෙහි වූ ඔබගේ විශ්වාසය දුර්වල කළ හැකි දෙයකට ඔබ කවදා හෝ මුහුණ දී තිබෙනවාද? එදා ඔබ කටයුතු කළේ කෙසේද? ඔබේ ආදර්ශකයා වන යේසුස් ගැන සිතන්න. දැඩි පරීක්ෂාවන්ට මුහුණ දෙන විට ඔහු සැමවිටම කළේ දෙවි ඉදිරියෙහි නිවැරදි දෙයයි. එය මතක තබාගැනීමෙන්, පාසැලේ මිතුරන් ඔබට නුසුදුසු ආරාධනයක් කරන විට ඊට බැහැ හෝ එපා කියා පවසන්න අවශ්‍ය ශක්තිය ඔබට ලැබෙයි. ඔබ ඉදිරියෙහි ඇති සදාකාල ප්‍රීතිය හා යෙහෝවා දෙවිට කීකරු වීම ගැන යේසුස් මෙන් ඔබත් හොඳින් අවධානය යොමු කරන්න.—හෙබ්‍රෙ. 12:2.

සන්තෝෂවත් පවුලක් සඳහා

19. ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා අප කළ යුත්තේ කුමක්ද?

19 යෙහෝවා දෙවි සහ යේසුස්ගේ කැමැත්ත නම් මනුෂ්‍ය වර්ගයා ජීවිතයේ සතුට භුක්ති විඳීමයි. අපි පාපය උරුම කරගෙන සිටියත් යම් දුරකට සතුටින් සිටීමට අපට හැකියි. (යෙසා. 48:17, 18; මතෙ. 5:3) යේසුස්, දෙවි පිළිබඳ සත්‍යය ඉගැන්වූවා පමණක් නොව සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම්ද සැපයුවා. සමබර ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳ කදිම ආදර්ශයක්ද ඔහු සැපයුවා. පවුලේ සාමාජිකයෙක් ලෙස අපගේ කාර්යය කුමක් වුවත් යේසුස්ව ආදර්ශයට ගැනීමෙන් පවුලේ සන්තෝෂයට දායක වන්න අපට හැකියි. එමනිසා ස්වාමිපුරුෂයෙනි, භාර්යාවෙනි, දෙමාපියෙනි, දරුවෙනි, පවුල තුළ යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන්න. සන්තෝෂයෙන් පිරුණු ප්‍රීතිමත් පවුල් ජීවිතයකට එකම මඟ යේසුස්ගේ ඉගැන්වීම් හා ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමයි.

ඔබට මතකද?

• ස්වාමිපුරුෂයන්, දෙවි ලබා දී ඇති මූලිකත්වය ක්‍රියත්මක කළ යුත්තේ කෙසේද?

• යේසුස්ව ආදර්ශයට ගැනීමට භාර්යාවකට හැක්කේ කෙසේද?

• යේසුස් තම අනුගාමිකයන්ට සැලකූ ආකාරයෙන් දෙමාපියන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

• යේසුස්ගේ ආදර්ශයෙන් යෞවනයන්ට ඉගෙනගත හැක්කේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ පින්තූරය]

පවුලේ කාරණයක් පිළිබඳව තීරණයක් ගැනීමට පෙර ස්වාමිපුරුෂයෙක් කරන්නේ කුමක්ද?

[9වන පිටුවේ පින්තූරය]

තම ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට සහය දැක්වීමට භාර්යාවට හැක්කේ කෙසේද?

[10වන පිටුවේ පින්තූරය]

දරුවන් තම දෙමාපියන්ගේ යහපත් ආදර්ශය අනුගමනය කරනවා