Skip to content

පටුනට යන්න

මම මගේ ‘නිර්මාණකරුව සිහි කරන්න’ පටන්ගත්තේ මීට වසර අනූවකට පෙරයි

මම මගේ ‘නිර්මාණකරුව සිහි කරන්න’ පටන්ගත්තේ මීට වසර අනූවකට පෙරයි

මම මගේ ‘නිර්මාණකරුව සිහි කරන්න’ පටන්ගත්තේ මීට වසර අනූවකට පෙරයි

එඩ්වින් රිජ්වෙල්

පළමු ලෝක මහා යුද්ධයේ අවසන් වීම සමරන්න රැස්වෙන්න කියලා 1918 නොවැම්බර් 11වන දා හදිසියේම අපේ පාසැලේ හැම දෙනාටම කිව්වා. එතකොට මට වයස අවුරුදු පහයි. ඒ කියපු දේ මට හරියටම තේරුණේ නැහැ. නමුත් ඒ වේලාවේ මම දෙවිට යාච්ඤා කළා. එතකොට මට ඇඬුණා. මගේ දෙමාපියන් මට දෙවි ගැන උගන්නා තිබූ දේවල් නිසා මම ඒ උත්සවයට සහභාගි වුණේ නැහැ. මම මගේ ‘නිර්මාණකරුව සිහි කරන්න’ පටන්ගත්ත මුල්ම අවස්ථාව ඒකයි.—දේශ. 12:1.

මේ සිද්ධියට මාස කිහිපයකට කලින් අපි ස්කොට්ලන්තයේ ග්ලැස්ගෝ නගරයට පදිංචියට ආවා. ඒ කාලෙම තමයි මගේ තාත්තා “දැන් ජීවත් වන මිලියන ගණන්දෙනා කවදාවත් මිය යන්නේ නැහැ” කියන ප්‍රසිද්ධ කථාවට ඇහුම්කන් දුන්නේ. ඒ කතාව තාත්තාගේ ජීවිතය වෙනස් කළා. ඊට පස්සේ තාත්තයි අම්මයි බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා. ඒ වගේම ඔවුන් දෙවිගේ රාජ්‍යය ගැනත් ඒකෙන් ලැබෙන ආශීර්වාද ගැනත් අනෙක් අයත් එක්ක කතා කළා. මගේ දෙමාපියන්, දෙවිට ප්‍රේම කරන්නත් ඔහුව විශ්වාස කරන්නත් මට ඉගැන්නුව එක ගැන මම ඒ අයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.—හිතෝ. 22:6.

පූර්ණකාලීන සේවය

මට අවුරුදු 15ක් වෙද්දී උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබුණා. ඒ වුණත් මගේ ආශාව තිබුණේ පූර්ණකාලීන සේවය කරන්නයි. තාත්තා හිතුවෙත් මම තාම ඒ සේවය සඳහා පොඩි වැඩියි කියලයි. ඒ නිසා මම කාර්යාලයක වැඩ කරන්න පටන්ගත්තා. නමුත් පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න මට තිබුණු ආශාව ඊට වැඩි නිසා මම සහෝදර රදෆඩ්ට ලියුමක් ලියුවා. ඔහු තමයි ඒ කාලේ දේශනා සේවයේ වැඩ කටයුතු බලාගත්තේ. මම ඒ ලියුමෙන් ඔහුගෙන් ඇහුවා මගේ ඉලක්කය ගැන එයාගේ අදහස් මොනවාද කියලා. ඔහු මට ඒකට උත්තරයක් එව්වා. ඒකේ මෙහෙම ලියලා තිබුණා. “රස්සාවක් කරන්න ඔයා ඉන්නේ සුදුසු වයසක නම් ස්වාමින්ගේ සේවය කරන්නත් ඔයාගේ වයස සුදුසුයි. ස්වාමින්ගේ සේවයට ඔයා මුල් තැන දුන්නොත් ඔහු ඔයාට ආශීර්වාද කරන එක ස්ථිරයි.” 1928 මාර්තු 10වෙනිදා එවපු මේ ලියුම අපේ පවුලේ හැමදෙනාටම දිරිගැන්වීමක් වුණා. ඉතින් මගේ අම්මයි, තාත්තයි, අක්කයි මමයි අපි හැමදෙනාම පුර්ණකාලීන සේවය පටන්ගත්තා.

ලන්ඩන් නුවර 1931දී තිබුණ සමුළුකදී සහෝදර රදෆඩ් වෙනත් රටකට ගිහිල්ලා සේවය කරන්න කැමති අයට ආරධනයක් කෙරුවා. මම කැමැත්තෙන්ම ඒ ආරාධනාව පිළිගත්තා. ඊට පස්සේ මාවයි ඇන්ඩෲ ජැක් කියන සහෝදරයාවයි ලිතුවේනියාවට යැව්වා. එතකොට මට වයස අවුරුදු 18යි.

විදෙස් රටක සේවය කිරීම

මම ලිතුවේනියාවට යන කාලයේදී ඒක හරි දුප්පත් රටක්. ගම්බද ප්‍රදේශවල සේවය කරන එක අපිට ලෙහෙසි වුණේ නැහැ. නවතින්න තැනැක් හොයාගන්න එක අපිට ගොඩක් අමාරු වුණා. අපි නැවතුන තැන්වල තිබුණ තත්වය මට තාම මතකයි. දවසක් මමයි ඇන්ඩෲයි රෑ දෙගොඩහරියේ එක පාරටම ඇහැරුණා. අපි නැගිටලා ලාම්පුව පත්තු කරලා බලද්දී මුළු ඇඳ පුරාම මකුණෝ වැහි වැහැලා. අපේ යටිපතුලේ ඉඳලා ඔළුව වෙනකම් මකුණන් කාලා තිබුණා. මම සතියක් යන තුරු හැමදාම උදේට ළඟ තිබුණ ගඟක බැහැලා හිටියා. මම එහෙම කළේ මකුණන් නිසා දැනුණ වේදනාව නැති කරගන්නයි. ඒ කොහොමවුණත් අපි දිගටම සේවය කළා. අපි සාක්ෂි දරපු යුවළක් බයිබලය පාඩම් කරන්න පටන් අරන් එයාලාගේ ගෙදර අපිට නවතින්න කිව්වාට පස්සේ අපේ නවාතැන් ප්‍රශ්නේ විසඳුණා. ඒක පොඩි ගෙයක් වුණත් නිදා ගන්න තිබුණේ බිම වුණත් මකුණන් කකා ඇඳක නිදාගන්නාවාට වඩා බිම නිදාගන්න අපි සතුටු වුණා.

අපි එහේ ඉන්න කාලේ ලිතුවේනියාව පුරාම හිටියේ රෝමානු කතෝලික හා රුසියානු රෙපරමාදු පල්ලි යන අයයි. පොහොසත් අයට විතරයි බයිබලයක් තිබුණේ. අපි කරපු ප්‍රධානම දේ වුණේ හැකි තරම් දෙනකුට සාක්ෂි දරලා උනන්දුවක් දක්වන අයට අපේ පොත් පත් ලබා දෙන එකයි. ඒකට අපි මුලින්ම නගරයේ නවාතැනක් හොයාගන්නවා. ඊට පස්සේ නගරයෙන් ඈත ප්‍රදේශවල සේවය කරනවා. පූජකයන්ගෙන් ප්‍රශ්න ඇති වෙන්න කලින් ඉක්මනින්ම නගරයේ අයටත් සාක්ෂි දරනවා. එතකොට අපිට මුළු පාළාතේම සාක්ෂි දරන්න අවස්ථාව ලැබෙනවා.

පීඩාවක් නිසා ප්‍රසිද්ධ වීම

කවුනස්වල තිබුණ ශාඛා කාර්යාලයේ සේවය කරන්න කියලා 1934දී ඇන්ඩෲට පැවරුමක් ලැබුණු නිසා ඔහු එහේ ගියා. එතකොට මං එක්ක සේවයේ හවුල් වුණේ ජෝන් සිම්පි කියන සහෝදරයා. අපිට හොඳ අද්දැකීම් ලැබුණා. එක දවසක් මම නීතිඥයෙකුට සාක්ෂි දැරුවා. ඒ වේලාවේ එයාට හොඳටම කෙන්ති ගියා. පස්සේ එයා ලාච්චුවෙන් පිස්තෝලයක් ඇඳලා අරගෙන මට යන්න කියලා කෑ ගැහුවා. මම ඒ වෙලාවේ යාච්ඤා කෙරුවා. “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි” කියන බයිබල් පදය මට මතක් වුණා. (හිතෝ. 15:1, නව ලොව පරිවර්තනය, NW.) ඉතින් මම ඔහුට මෙහෙම කිව්වා. “මම ආවේ ඔයාට හොඳ ආරංචියක් දෙන්නයි. ඔයාගේ ඉවසීමට මම ඔයාට ස්තූතිවන්ත වෙනවා.” මම එහෙම කිව්වාම එයා හෙමින් සැරේ පිස්තෝලේ පහළට කෙරුවා. එතකොම මම ඉක්මනට එතනින් එළියට ආවා.

එදාම ජෝන්ටත් සේවයේදී ගැටලුවකට මුහුණ දෙන්න සිදුවෙලා තිබුණා. එයා සාක්ෂි දරපු කාන්තාවකගේ වටිනා ලියකියවිලි වගයක් හොරකම් කළා කියාලා එයාව පොලිසියට ගෙනිහිල්ලා තියෙනවා. පොලිසියේදී එයාගේ ඇඳුම් සේරම ගලවලා එයාව සෝදිසි කරලා තියෙනවා. නමුත් ඒ ලියකියවිලි ඔහු ළඟ තිබිලා නැහැ. ඒවා හොරකම් කරලා තිබුණේ වෙන පුද්ගලයෙක්. ඊට පස්සේ පොලිසිය හොරාව අල්ලගත්තා.

ඒ නගරයේ හැමෝම මේ සිද්ධිය ගැන කතා කළා. නමුත් ඒකෙන් වුණේ අපි කරන දේ ගැන ලොකු ප්‍රසිද්ධියක් ලැබුණු එකයි.

අවධානම් වැඩක්

අපේ පොත් පත් ලැට්වියාවට අරගෙන යන එක අපිට පැවරුණ අවධානම් වැඩක්. මොකද ලැට්වියාවේ අපේ වැඩකටයුතු තහනම් කරලයි තිබුණේ. අපි මාසයකට එක් වතාවක් කෝච්චියෙන් ලැට්වියාවට ගියා. සමහර දවස්වල අපි ගෙනියන පොත් පත් ලැට්වියාවේ සහෝදරයන්ට බාර දීලා එස්තෝනියාවට යනවා. එහෙන් තවත් පොත් පත් අරගෙන ආයෙත් එන අතර මඟ ඒ පොතුත් ලැට්වියාවේ සහෝදරයන්ට දෙනවා.

එක දවසක් රේගු නිලධාරියෙක් අපි කරන දේ ගැන දැනගත්තා. ඊට පස්සේ ඔහු අපිට කිව්වා මේ පෙට්ටිවල තියෙන ඒවා ඔහුගේ ප්‍රධානියාට පෙන්නලා වහාම කෝච්චියෙන් බැහැල යන්න කියලා. ඒ වෙලාවේ ජෝනුයි මමයි යාච්ඤා කෙරුවා. ඒ වුණත් ඒ පෙට්ටිවල මොනවද තියෙන්නේ කියලා ඔහු ඔහුගේ උසස් නිලධාරියාට කිව්වේ නැහැ. ඒ ගැන අපිට පුදුම හිතුණා. ඒ වෙනුවට ඔහු කිව්වේ මෙච්චරයි. “මේ මිනිස්සුන්ට කියන්න දෙයක් තියෙනවාලු.” ඊට පස්සේ අපි ඒ උසස් නිලධාරියා ළඟට ගිහිල්ලා කිව්වා, මේ පොත් පත් ලෝකයේ සිදු වන කරදරකාරී දේවල්වලට හේතුව තේරුම්ගන්න පාසැල් ශිෂ්‍යයන්ට ගොඩක් වැදගත් කියලා. ඊට පස්සේ ඒ නිලධාරියා අපිට අපේ ප්‍රකාශන අරගෙන යන්න ඉඩ දුන්නා.

ලිතුවේනියාවේ, ලැට්වියාවේ හා එස්තෝනියාවේ තිබුණු දේශපාලන ගැටලු තවත් උග්‍ර වුණ නිසා අපේ වැඩකටයුතුවලට ගොඩක් කරදර ආවා. පසුව ලිතුවේනියාවෙත් අපේ සේවය තහනම් කළා. ඇන්ඩෲවයි ජෝන්වයි රටින් පිටුවහල් කළා. දෙවන ලෝක යුද්ධය දරුණු වේගෙන එන නිසා සියලුම බ්‍රිතාන්‍ය ජාතිකයන්ට රටින් පිට වෙන්න කියා පැවසුවා. මටත් යන්න වුණ එක ගැන මට ගොඩාක් දුක හිතුණා.

උතුරු අයර්ලත්තයේ සේවය කිරීම හා ලැබුණු ආශීර්වාද

මේ සියල්ල සිදු වෙන අතරතුර මගේ දෙමාපියන් උතුරු අයර්ලන්තයට පදිංචියට ගොස් තිබුණා. මම 1937දී ඔවුන් සමඟ පදිංචි වෙන්න එහෙට ගියා. යුද්ධය නිසා අපේ ප්‍රකාශන උතුරු අයර්ලන්තයෙත් තහනම් කරලයි තිබුණේ. නමුත් අපි යුද්ධය අතරතුරත් දේශනා සේවය කළා. යුද්ධය අවසන් වුණාට පස්සේ අපි කිසිම තහනමක් නැතුව අපේ වැඩකටයුතු කරගෙන ගියා. බොහෝ කාලයක් තිස්සේ පුරෝගාමියෙක් හැටියට සේවය කරන සහෝදර හැරල්ඩ් කිං විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා ප්‍රසිද්ධ කථා දෙන වැඩසටහනක් සංවිධානය කළා. එක දවසක් ඔහු මට මෙහෙම කිව්වා. “මම මේ ඉරිදා කතාව දෙන්නම් ඔයා ඊළඟ ඉරිදා කතාව දෙන්න.” එයා එහෙම කිව්වාම මට හරියට භය හිතුණා.

මගේ ඒ මුල්ම කතාව මට හොඳට මතකයි. සියගණනක් සෙනඟ ඇවිල්ලා හිටියා. කිසිම ශබ්ද විකාශන යන්ත්‍රයක් නැතුව පෙට්ටියක් උඩ හිටගෙන මම ඒ කතාව දුන්නා. මම කතාව දීලා ඉවර වුණාම බිල් ස්මිත් කියලා කෙනෙක් ඇවිත් මට අතට අත දීලා මාත් එක්ක කතා කළා. ඔහු කිව්වේ මෙතන සෙනඟ පිරිලා ඉන්නේ මොකද කියාලා බලන්න ආවා කියලා. මගේ පියා ඔහුත් එක්ක බයිබලය ගැන සාකච්ඡා කරලා තියෙනවා කියලා මට ඔහුගේ කතාවෙන් තේරුණා. නමුත් මගේ පියා පදංචිය වෙනස් කරපු නිසා ඒ සාකච්ඡාව නතර වෙලා තිබුණා. පසුව මම ඔහුත් එක්ක නැවත බයිබල් සාකච්ඡාවක් පටන්ගත්තා. බිල්ගේ පවුලේ නවදෙනෙක් බයිබලය පාඩම් කරලා දෙවිට කැප වුණා.

මම බෙල්ෆාස්ට්වල සේවය කරන අතර මට ලැට්වියාවේදී රුසියානු කාන්තාවක් මුණගැසුණා. මම එයාට පොත් ටිකක් පෙන්නුවාම එයා එක පොතක් දිහාට ඇඟිල්ල දික් කරලා “ මට ඒ පොත තියෙනවා. මගේ මාමා ඒක මට දුන්නා” කියලා ඇය ළඟ තිබුණ ඒ පොත මට පෙන්නුවා. ඒකේ දෙපැත්තේ තිබුණ හිස් තීරුවල සටහන් ගොඩක් ලියලා තිබුණා. මම කවුනස්වල ඉන්න කොට ඒ පොත ඇගේ මාමාට දුන් බව දැන ගත්තාම ඇය හුඟක් පුදුම වුණා.—දේශ. 11:1.

මම උතුරු අයර්ලන්තයට යනවා කියාල ජෝන් සිම්පි දැනගෙන ඔහුගේ නංගි නෙලී බයිබලය ගැන දැනගන්න කැමති නිසා ඇයව ගිහින් මුණ ගැහෙන්න කියලා මට කිව්වා. ඉතින් මගේ නංගි කානීයි මායි එයත් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. ඊට පස්සේ ඇය ඉක්මනින්ම දියුණු වෙලා බව්තීස්ම වුණා. ටික කාලයක් ගියාට පස්සේ නෙලීයි මායි විවාහ වුණා.

නෙලීයි මායි අවුරුදු 56ක් එකට දෙවිට සේවය කරමින් සියදෙනෙකුට වඩා වැඩි ගණනකට බයිබලය ගැන ඉගෙනගන්න උදව් කළා. අපි හිතන් හිටියේ දිගටම ඒ කියන්නේ පරාදීස පොළොව ලැබෙන තෙක් එකට ජීවත් වෙන්නයි. ඒත් 1998දී නෙලී මිය ගිය නිසා ඒ අදහස ඉටු කරගන්න බැරි වුණා. ඒ සිදු වීම මට ලොකු වේදනාවක් වගේම මට මුහුණ දෙන්න සිදු වුණ දැඩි පීඩාවක්.

නැවත මුලින් සිටි තැනට

නෙලීගේ මරණයෙන් අවුරුද්දකට පස්සේ එස්තෝනියාවේ ශාඛා කාර්යාලය බලන්න එන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. ඒක මට ලැබුණු ලොකු ආශීර්වාදයක්. ඒ ආරාධනාවේ මෙහෙමත් ලියලා තිබුණා. “මේ රටට සේවය කරන්න 1920 ගණන්වල හා 30ගණන්වල ආපු සහෝදරයන්ගෙන් තවමත් ජීවත්වෙලා ඉන්නේ ඔයා විතරයි.” ඒ වගේම එස්තෝනියාවේ, ලැට්වියාවේ හා ලිතුවේනියාවේ දේශනා සේවයේ ඉතිහාසය ගැන ඔවුන් කරුණු එකතු කරන බවත් ඒ නිසා මටත් එන්න කියා ඔවුන් ඒ ලියුමේ ලියලා තිබුණා.

එහෙදී මටයි මගේ දෙමාපියන්ටයි ලැබුණු අද්දැකීම් ගැන කියන්න ලැබුණු එක ගැන මට ගොඩක් සතුටුයි. මම ලැට්වියාවට ගියාට පස්සේ අපි මුලින්ම ශාඛා කාර්යාලය හැටියට පාවිච්චි කරපු කුඩා නිවස ඒ අයට පෙන්නුවා. ඒ විතරක් නෙවෙයි වහලේ තිබුණු විශේෂ කුඩා කොටසකුත් පෙන්නුවා. අපි සඟරා, පොත් හැංගුවේ එතන. කවදාවත් පොලිසියෙන් ඒවා හොයාගත්තේ නැහැ. ඊට පස්සේ සහෝදරයන් මාව ලිතුවේනියාවට අරගෙන ගියා. එහෙ මම පුරෝගාමී සේවය කරපු නගරයක රැස්වීමක් තිබ්බා. ඒ රැස්වීමෙන් පස්සේ සහෝදරයෙක් මා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “මීට කාලයකට කලින් මායි අම්මයි මෙහෙන් ගෙයක් ගත්තා. එකේ උඩ තට්ටුව අස් කර කර ඉන්න කොට අපිට පොතක් හම්බ වුණා. මම ඒ පොත කියෙව්වා. එතකොට මට තේරුණා මට දෙවි ගැන සත්‍යය දැනගන්න ලැබුණා කියලා. ඔයා වෙන්න ඇති ඒ පොත එතන තියලා ගියේ.”

මම පුරෝගාමි සේවය කරපු නගරයක චාරිකා එක් රැස්වීමකට සහභාගි වෙන්නත් ඒ ගමනේදී මට අවස්ථාව ලැබුණා. මම මීට අවුරුදු 65කට කලිනුත් මෙහේ එක් රැස්වීමකට සහභාගි වෙලා තිබුණා. එතකොට ඇවිල්ලා හිටියේ 35දෙනෙක් විතරයි. නමුත් එදා 1500 ඇවිත් ඉන්නවා දකිද්දී මට ඇති වුණ සතුට කියා ගන්න බැහැ. ඇත්තටම යෙහෝවා දෙවි අපේ වැඩට මොන තරම් ආශීර්වාද කරලා තියෙනවාද!

‘යෙහෝවා දෙවි මගෙන් ඈත් වුණේ නැහැ’

මෑතකදී මම බලාපොරොත්තු නොවූ ආශීර්වාදයක් මට ලැබුණා. සහෝදරියක් මාත් එක්ක විවාහ වෙන්න කැමති වුණා. ඉතින් අපි 2006දී විවාහ වුණා.

තමන්ගේ ජීවිතය ගත කරන්නේ කොහොමද කියාලා හිතන යෞවනයන්ට මට එක දෙයක් නම් හරියටම කියන්න පුළුවන්. ‘ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ නිර්මාණකරුව, ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න.’ කරන්න පුළුවන් ප්‍රඥාවන්තම දේ එකයි. ඇත්තටම මට ගීතිකාකරුගේ මේ වචන සතුටින් කියන්න පුළුවන්. “දෙවියනි, බාල වයසේ පටන් ඔබ මාගේ ගුරුවරයාය. ඔබ කර ඇති පුදුමාකාර දේවල් ගැන මම අද වන තුරුත් කතා කරමි. අනේ දෙවියනි, මාගේ හිසකෙස් පැසී මා මහලු වයසේ පසු වන විටදීද මාගෙන් ඈත්ව නොයන්න. එවිට ඔබ කර ඇති දේවල් මතු පරම්පරාවට පැවසීමට මට හැකි වනු ඇත. ඔබේ බලය ගැන සියලු පරම්පරාවන්ට කීමට මට හැකි වනු ඇත.”—ගීතා. 71:17, 18NW.

[25වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ලැට්වියාවට පොත් පත් අරගෙන යන එක හරිම අවධානම් කාර්යයක් වුණා

එස්තෝනියාව

ටාලින්

රීගා බොක්ක

ලැට්වියාව

රීගා

ලිතුවේනියාව

විල්නියස්

කවුනස්

[26වන පිටුවේ පින්තූරය]

මම ස්කොට්ලන්තයේ පුරෝගාමි සේවය පටන්ගද්දී මට වයස අවුරුදු 15යි

[26වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1942 නෙලී සමඟ විවාහ වූ දා