Skip to content

පටුනට යන්න

යේසුස් “තුළ සුරක්ෂිතව සඟවා” ඇති වස්තු

යේසුස් “තුළ සුරක්ෂිතව සඟවා” ඇති වස්තු

යේසුස් “තුළ සුරක්ෂිතව සඟවා” ඇති වස්තු

“ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු ඔහු තුළ සුරක්ෂිතව සඟවා තිබේ.”—කොලො. 2:3.

1, 2. (අ) වර්ෂ 1922දී සොයාගත්තේ කුමක්ද? එමෙන්ම දැන් ඒවා තිබෙන්නේ කොහේද? (ආ) යෙහෝවා දෙවි අපට කරන ආරාධනය කුමක්ද?

නිධන් වස්තු සොයාගැනීම පිළිබඳ ප්‍රවෘත්ති අප කොතෙකුත් අසා ඇති. පාරාවෝ ටූටන් කාමන්ගේ සොහොන් ගෙය ඊට එක් උදාහරණයක්. දශක ගණනාවක් පුරා ඉතා කටුක තත්වයන් මැද කරන ලද කැනීම්වලින් පසු 1922දී බ්‍රිතාන්‍ය ජාතික හාවර්ඩ් කාටර් විසින් එය සොයාගත්තා. එම සොහොන් ගෙය තුළ තවත් නිධන් වස්තු 5000කට ආසන්න ප්‍රමාණයක් තිබුණා.

2 ඔහු සොයාගත් දේවල් මොන තරම් වටිනාකමකින් යුක්ත වුණත් දැන් එම භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ විවිධ කෞතුකාගාරවල හෝ පැරණි බඩු භාණ්ඩ එකතු කරන ස්ථානවලයි. ඒවායෙහි යම් ඓතිහාසික වටිනාකමක් තිබුණත් අපගේ ජීවිතයට නම් ඉන් ප්‍රයෝජනයක් නැති තරම්. නමුත් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් අපගේ ජීවිතයේ සෑම පැත්තකටම ඉතා ප්‍රයෝජනවත් නිධානයක් තිබෙනවා. එය සෙවීමට යෙහෝවා දෙවි අප සැමටම ආරාධනා කරනවා. ඉන් ලැබෙන ප්‍රයෝජන කිසිවකට සම කළ නොහැකියි.හිතෝපදේශ 2:1-6 කියවන්න.

3. දෙවි අපට සෙවීමට ආරාධනා කරන නිධානයෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

3 යෙහෝවා දෙවි, අපට සෙවීමට උනන්දු කරන නිධානයේ වටිනාකම මොන තරම්ද! එහි ඇති වස්තුවලින් එකක් නම් ‘දේව ගරුබියයි.’ (ගීතා 19:9, නව ලොව පරිවර්තනය, NW) දේව ගරුබිය අපට මෙම භයානක කාලයේදී විශාල ආරක්ෂාවක් සපයනවා. තවත් වස්තුවක් නම් ‘දෙවිව දැන හඳුනා ගැනීමට’ හැකි වීමයි. ඒ තුළින් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැකියි. එය මිනිසෙකුට ලැබිය හැකි වටිනාම වරප්‍රසාදයයි. එමෙන්ම දෙවි ලබා දෙන ප්‍රඥාව, දැනුම හා වටහාගැනීමේ හැකියාවද එම වස්තුවලට ඇතුළත්. ඒ තුළින් ජීවිතයේ ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දීමටත් අපට හැකියි. (හිතෝ. 9:10, 11) එම වටිනා වස්තූන් සොයාගත හැකි ආකාරය අපි බලමු.

එය සොයාගත හැක්කේ කෙසේද?

4. එම වස්තු තිබෙන තැන අපට සොයාගත හැක්කේ කොහෙන්ද?

4 පුරාවිද්‍යාඥයන් මෙන් මෙම වටිනා නිධානය සොයාගැනීමට සෑම ස්ථානයකම ගවේෂණය කරන්න අපට අවශ්‍ය නැහැ. එය තිබෙන ස්ථානය අපි හරියටම දන්නවා. බයිබලය නමැති සිතියම එම නිධානය තිබෙන තැන අපට පැහැදිලිව පවසනවා. එම වස්තු සොයාගත හැක්කේ යේසුස් තුළින් බව පාවුල් පැවසුවා. “ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු ඔහු [යේසුස්] තුළ සුරක්ෂිතව සඟවා තිබේ.” (කොලො. 2:3) ඒ සම්බන්ධයෙන් අපට මෙසේ සිතෙන්න පුළුවන්. ‘අපි එම වස්තු සෙවිය යුත්තේ ඇයි? ඒවා යේසුස් තුළ ‘සුරක්ෂිතව සඟවා’ තිබෙන්නේ කෙසේද? ඒවා සොයාගැනීමට අප කළ යුත්තේ කුමක්ද?’ පාවුල් ඉහත වචන පැවසීමට හේතු වූ කරුණු තේරුම්ගැනීමෙන් ඊට පිළිතුරු සොයාගත හැකියි.

5. පාවුල්, කොලොස්සිවරුන් ගැන මහත් සටනක යෙදුණු බව පැවසුවේ ඇයි?

5 පාවුල් කොලොස්සිවරුන්ට එම වදන් පවසද්දී ඔහු ඔවුන් ගැන මහත් සටනක යෙදුණ බව පැහැදිලි කළා. ඔහු එසේ කළේ “ඔවුන්ගේ සිත් සනසවන පිණිසත්, ඔවුන් ප්‍රේමයෙන් එකට බැඳී සිටින පිණිසත්” කියා ඔහු පැවසුවා. (කොලොස්සි 2:1-3 කියවන්න.) පාවුල් ඔවුන් ගැන එතරම්ම සැලකිල්ලක් දැක්වූයේ ඇයි? සමහරවිට ඔහු එසේ කළේ එදා පැවති ග්‍රීක දර්ශනවාදී අදහස්වලට හෝ මෝසේස්ගේ නීතිය පැවැත්වීමට තිබූ පෙලඹීමට ඔවුන් හසු වෙයි කියා ඔහු සිතූ නිසා විය හැකියි. පාවුල් ඔවුන්ට මෙසේ අනතුරු ඇඟෙව්වේ ඒ නිසයි. “ක්‍රිස්තුස්ට එකඟ නොවූ, මිනිස් සම්ප්‍රදායන්ටද ලෝකයේ මූලධර්මවලටද එකඟ වූ දර්ශනවාදයන් සහ හිස් වූ රැවටිලිකාරකම් මාර්ගයෙන් කිසිවෙකු ඔබව කොල්ලයක් කර නොගන්නා හැටියට පරෙස්සම් වන්න.”—කොලො. 2:8.

6. පාවුල් දුන් උපදෙස ගැන අප සැලකිලිමත් විය යුත්තේ ඇයි?

6 අද දින අපත් මේ දුෂ්ට සමාජයෙන් එල්ල වන ඒ හා සමාන බලපෑම්වලට මුහුණ දෙනවා. පරිණාමවාදය ඇතුළු තවත් බොහෝ දර්ශනවාදී අදහස් හා සිතුවිලි මගින් බොහෝදෙනා සිතන ආකාරයට, ඔවුන්ගේ යහපත් හැසිරීමට සහ ඔවුන්ගේ අරමුණු ඇතුළු ජීවිතයේ සෑම පැත්තකටම බලපෑම් කර තිබෙනවා. එපමණක් නොව අද තිබෙන බොහෝමයක් නිවාඩු දින උත්සවවලද දක්නට ලැබෙන්නේ අසත්‍ය උගන්වන ආගම්වල බලපෑම ඊට තිබෙන බවයි. එමෙන්ම විනෝදය සඳහා ඇති විවිධාකාර දේවල් මගින් වැරදි ආශාවන් ඉටු කරගැනීමට දිරි දෙනවා. අන්තර්ජාලයේ ඇති බොහොමයක් දේවල් නිසා යෞවන සහ වැඩිහිටි යන දෙපිරිසම විශාල අනතුරකට මුහුණ පානවා. අප නිතර නිතර එවැනි තත්වයන්ට නිරාවරණය වුණොත් දෙවි සපයන මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරන තත්වයට අප පත් විය හැකියි. එවිට අපගේ සිතුවිලි හා ආකල්ප දූෂ්‍ය වී සැබෑ ජීවිතය පිළිබඳ දෙවි දී ඇති බලාපොරොත්තුවද බොඳ වී යා හැකියි. (1 තිමෝති 6:17-19 කියවන්න.) අපි, සාතන්ගේ කූට උපායන්ට හසු නොවීමට නම් පාවුල් දුන් උපදෙස තේරුම්ගෙන එය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.

7. කොලොස්සිවරුන්ට ප්‍රයෝජනවත් වන බවට පාවුල් පැවසූ කරුණු දෙක කුමක්ද?

7 දැන් අපි නැවතත් පාවුල් කොලොස්සිවරුන්ට පැවසූ දේ ගැන බලමු. ඔවුන්ව සනසන්නත් ප්‍රේමයෙන් එකමුතු කරවන්නත් අවශ්‍ය වන කරුණු දෙකක් ඔහු සඳහන් කළා. පළමුව ඔවුන්, ‘තේරුම්ගැනීමෙන් ඇති වන සම්පූර්ණ නිසැකකම’ ලබාගත යුතුයි. ඉන් අදහස් කරන්නේ ඔවුන් ශුද්ධ ලියවිල්ලෙන් ඉගෙනගන්නා දේ පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් ලබාගෙන එය ඔවුන්ටම තහවුරු කරගැනීම අවශ්‍ය බවයි. එවිට දෙවි කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසයට හොඳ පදනමක් ලැබෙනවා. (හෙබ්‍රෙ. 11:1) දෙවනුව, ඔහු සඳහන් කරන්නේ ඔවුන් “දෙවිගේ පරිශුද්ධ රහස පිළිබඳ නිවැරදි දැනුම” ලබාගත යුතු බවයි. ඉන් අදහස් කරන්නේ ඔවුන්ගේ දැනුම ශුද්ධ ලියවිල්ලේ අඩංගු මූලික සත්‍යයන්වලට පමණක් සීමා නොවිය යුතු බවයි. ඒ වෙනුවට දෙවිගේ ගැඹුරු කාරණා පිළිබඳ නිවැරදි හා පැහැදිලි අවබෝධයක් ඔවුන් ලැබිය යුතුයි. (හෙබ්‍රෙ. 5:13, 14) එම උපදෙස කොලොස්සිවරුන්ට මෙන් අපටත් කොතරම් වැදගත්ද! එවන් නිසැකකමක් හා නිවැරදි දැනුමක් අපට ලබාගත හැක්කේ කෙසේද? ඒ සඳහා ඇති එකම මාර්ගය ක්‍රිස්තුස් බව පාවුල් පැවසුවේ මෙසේයි. “ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු ඔහු තුළ සුරක්ෂිතව සඟවා තිබේ.”

ක්‍රිස්තුස් තුළ සඟවාඇති වස්තු

8. සියලු වස්තු ක්‍රිස්තුස් තුළ “සඟවා” ඇති බව පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

8 ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු ක්‍රිස්තුස් තුළ සුරක්ෂිතව “සඟවා” ඇති බව පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එය සොයාගැනීමට දැඩි වෑයමක් අවශ්‍ය බව හා එය ලබාගැනීම සඳහා ක්‍රිස්තුස් ගැන පූර්ණ අවබෝධයක් ලබාගත යුතු බවයි. එය යේසුස් තමා ගැනම පැවසූ මේ වචනවලටද එකඟයි. “මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත.” (යොහ. 14:6) ඔව්, දෙවි පිළිබඳ දැනුම ලබාගැනීමට යේසුස් සපයන උපදෙස් සහ මඟ පෙන්වීම් අපට අත්‍යවශ්‍යයි.

9. යේසුස් ඉටු කරන සුවිශේෂී කාර්යයන් මොනවාද?

9 යේසුස් “මාර්ගය” වන්නේ අපට දෙවි ඉදිරියෙහි පිළිගත හැකි තත්වයක සිටීම සඳහා ප්‍රස්තාව උදා කර දීම නිසයි. ඔහු “සත්‍යයද ජීවනයද” වන්නේ අපට බයිබල් සත්‍යයන් අවබෝධ කරගැනීම සඳහා මෙන්ම සදාකාල ජීවනය ලබාගැනීම සඳහා සුවිශේෂී කාර්යයක් ඉටු කරන නිසයි. ඇත්තෙන්ම යේසුස් තුළ සඟවා ඇති අගනා වස්තූන් බඳු මෙම සත්‍යයන්වල වටිනාකම කිසිවකට සම කළ නොහැකියි. බයිබලය ඉතා ඕනෑකමින් අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට ඒවා සොයාගත හැකියි. අපගේ අනාගත බලාපොරොත්තුවට හා දෙවි සමඟ ඇති අපේ මිත්‍රත්වයට අත්‍යවශ්‍ය එවන් අගනා වස්තු කිහිපයක් ගැන දැන් අපි සලකා බලමු.

10. කොලොස්සි 1:19 සහ 2:9න් අපට යේසුස් ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද?

10 “දේවත්වයේ මුළු පූර්ණකම ශරීරාකාරව වාසය කරන්නේ ඔහු තුළය.” (කොලො. 1:19; 2:9) ඉන් අදහස් කරන්නේ දෙවිගේ ගතිලක්ෂණ සියල්ලක්ම පූර්ණ ලෙස යේසුස් තුළින් දැක ගත හැකි බවයි. ඔහු අසංඛ්‍යාත අවුරුදු ගණනාවක් තම පියා සමඟ ජීවත් වුණා. ඒ නිසා දෙවි ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියාත් ඔහුගේ කැමැත්ත කුමක්ද කියාත් යේසුස් තරම් දන්නා කෙනෙක් තවත් නැහැ. ඔහු පොළොව මත සේවය කළ කාලය මුළුල්ලේම ජනයාට ඉගැන්වූයේ ඔහුගේ පියා ඔහුට ඉගැන්වූ දේවලුයි. ඔහු විදහා පෙන්වූයේ ඔහුගේ පියාගේ ගතිලක්ෂණයි. “මාව දැක ඇති තැනැත්තා පියාණන්වද දැක තිබේ” කියා පැවසීමට ඔහුට හැකි වුණේ ඒ නිසයි. (යොහ. 14:9) ඒ අනුව දෙවිගේ ප්‍රඥාව හා දැනුම සඟවා ඇත්තේ යේසුස් තුළ බව පැවසිය හැකියි. එසේනම් යෙහෝවා දෙවි පිළිබඳව ඉගෙනගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ යේසුස් පිළිබඳව අපට ඉගෙනගත හැකි සියල්ල ඉතා හොඳින් ඉගෙනගැනීමයි.

11. බයිබල් අනාවැකි හා යේසුස් අතර ඇති සම්බන්ධය කුමක්ද?

11 “අනාවැකි දෙනු ලබන්නේ යේසුස් පිළිබඳව සාක්ෂි දැරීම සඳහාය.” (එළි. 19:10) ඉන් පැහැදිලි වන්නේ බයිබලයේ සඳහන් බොහෝ අනාවැකි ඉටු වුණේ යේසුස් තුළ බවයි. උත්පත්ති 3:15හි දෙවි ප්‍රකාශ කළ පළමු අනාවැකියේ සිට එළිදරව් පොතේ සඳහන් තේජවත් දර්ශන දක්වා ඇති සියල්ල අපට නිවැරදිව තේරුම්ගත හැක්කේ දේවරාජ්‍යය හා සම්බන්ධ යේසුස්ගේ කාර්යය අපි නිවැරැදිව අවබෝධ කරගතහොත් පමණයි. බොහෝදෙනෙක් ගැලවුම්කරු ලෙස යේසුස්ව පිළි නොගන්නා නිසා හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල සඳහන් අනාවැකි තේරුම්ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා. එමෙන්ම ඔවුන් යේසුස්ව දකින්නේ නිකම්ම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ලෙස පමණයි. නමුත් දෙවිගේ සෙනඟට යේසුස් පිළිබඳ නිවැරදි දැනුමක් තිබෙන නිසා ඉටු වීමට තිබෙන අනාවැකි තේරුම්ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.—2 කොරි. 1:20.

12, 13. (අ) යේසුස් “ලෝකයේ ආලෝකය” වන්නේ කෙසේද? (ආ) අසත්‍ය ඉගැන්වීම්වලින් මිදී ඇති ක්‍රිස්තියානීන්ට ඇති වගකීම කුමක්ද?

12 “ලෝකයේ ආලෝකය මමය.” (යොහන් 8:12; 9:5 කියවන්න.) යේසුස් ඉපදීමට බොහෝ කලකට පෙර යෙසායා මෙවැනි අනාවැකියක් පැවසුවා. “අඳුරේ සිටි ජනයා මහත් ආලෝකයක් දුටුවෝය. ඝනාන්ධකාරයෙන් වැසී ගිය දේශයේ වැසියන්ට ආලෝකය උදා විය.” (යෙසා. 9:2NW) යේසුස් තම දේවසේවය ආරම්භ කර “ජනයෙනි, පසුතැවිලි වන්න. මන්ද, ස්වර්ග රාජ්‍යය ළං වී ඇත” කියා දේශනා කළ විට යෙසායාගේ අනාවැකිය ඉටු වුණා. (මතෙ. 4:16, 17) යේසුස් තම දේවසේවය මගින් ජනයාට දෙවි පිළිබඳව නිවැරදි අවබෝධය ලබා දුන් අතර අසත්‍ය ඉගැන්වීම් නමැති වහල්භාවයෙන් ඔවුන්ව නිදහස් කළා. “මා ලෝකයට ආලෝකයක් සේ පැමිණියේ මා කෙරෙහි ඇදහිල්ල තබන සියල්ලන් අන්ධකාරයෙහි නොපවතින පිණිසය” කියා පැවසීමට ඔහුට හැකි වුණේ ඒ නිසයි.—යොහ. 1:3-5; 12:46.

13 ඉන් වසර ගණනාවකට පසු පාවුල්, සෙසු ක්‍රිස්තියානීන්ට මෙවැනි දෙයක් පැවසුවා. “කලක් ඔබ අන්ධකාරය ලෙස සිටි නමුත්, දැන් ඔබ ස්වාමීන්ට අයත් හෙයින් ආලෝකය ලෙස සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් දිගටම එසේ ගමන් කරමින් සිටින්න.” (එෆී. 5:8) අද සිටින ක්‍රිස්තියානීන්ද අසත්‍ය උගන්වන ආගම් නමැති අන්ධකාර ගුහාවෙන් නිදහස් වී සිටින නිසා ආලෝකයේ දරුවන් මෙන් ගමන් කිරීම ඔවුන්ගේ වගකීමයි. එසේ කිරීම යේසුස්ගේ මෙම වචනවලටද එකඟයි. “ඔබේ ආලෝකය මිනිසුන් ඉදිරියෙහි බබළවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ව මහිමයට පත් කරනවා ඇත.” (මතෙ. 5:16) යේසුස් තුළින් ඔබ සොයාගත් වස්තු ඔබට මහත් සේ වටිනවා කියා ඔබගේ වචනයෙන් හා ක්‍රියාවෙන් ඔබ අන් අයටත් පවසනවාද?

14, 15. (අ) එදා දෙවිට කළ නමස්කාරයේදී බැටළුවන් හා වෙනත් සතුන්ව යොදාගත්තේ කුමක් සඳහාද? (ආ) “දෙවිගේ බැටළු පැටවා” ලෙස යේසුස් කළ කාර්යය වෙන කිසිවකට සම කළ නොහැක්කේ ඇයි?

14 යේසුස් “දෙවිගේ බැටළු පැටවා.” (යොහ. 1:29, 36) අතීතයේදී දෙවිගේ නමස්කාරකයන් තම පව්වලට සමාව ලබාගැනීමටත් දෙවිගේ අනුමැතිය ලබාගැනීමටත් විශේෂයෙන්ම යොදාගත්තේ බැටළුවන්වයි. උදාහරණයකට තම එකම පුත්‍රයාව පූජාවක් ලෙස ඉදිරිපත් කිරීමට ආබ්‍රහම් සූදානම් වූ අවස්ථාවේදී දෙවි ඔහුව ඉන් වළක්වා ඔහුගේ පුත්‍රයා වෙනුවට පූජා කිරීම සඳහා බැටළුවෙකුව සපයා දුන්නා. (උත්. 22:12, 13) ඊශ්‍රයෙල්වරු ඊජීප්තුවෙන් ගැලවීම ලැබූ අවස්ථාවේදීත් බැටළු පැටවෙකුව යොදාගත්තා. ඒ ‘පාස්කුව’ සඳහායි. (නික්. 12:1-13) මෝසෙස්ට දුන් නීතියේද විවිධ සත්ව පූජා ඉදිරිපත් කිරීමට දෙවි අණ කළ අතර ඊට බැටළුවන් සහ එළුවන් අයත් වුණා.—නික්. 29:38-42; ලෙවී. 5:6, 7.

15 මිනිසුන් ඔප්පු කළ එවන් කිසිම පූජාවකින් ඔවුන්ගේ පාපය හා මරණය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හැකි වුණේ නැහැ. (හෙබ්‍රෙ. 10:1-4) නමුත් ඊට වෙනස්ව ‘දෙවිගේ බැටළු පැටවා වන’ යේසුස්ට ‘ලෝකයේ පාපය නැති කර දමන්න’ හැකියි. ඒ අනුව බලද්දී මෙතෙක් සොයාගෙන ඇති ඕනෑම නිධානයකට වඩා යේසුස් වටිනා වස්තුවක් හෝ නිධානයක් කියා පැවසිය හැකියි. ඒ නිසා අපි, යේසුස්ගේ ජීවිත පූජාව ගැන ගැඹුරින් කල්පනා කිරීම ඉතා වැදගත්. එමෙන්ම එම පුදුමාකාර සැපයුම ගැන අපගේ විශ්වාසය පෙන්වීමත් අත්‍යවශ්‍යයි. ‘කුඩා රැළට’ යේසුස් සමඟ ස්වර්ගයෙහි තේජවත් ජීවිතයකුත් ‘වෙනත් බැටළුවන්ට’ පාරාදීස පොළොවේ සදාකාල ජීවනයත් හිමි වීමට නියමිතයි. එය මොන තරම් ආශීර්වාදයක්ද!—ලූක් 12:32; යොහ. 6:40, 47; 10:16.

16, 17. ‘අපේ ඇදහිල්ලේ ප්‍රධාන නියෝජිතයා හා එය පරිපූර්ණ කරන්නා’ ලෙස යේසුස්ගේ කාර්යය අවබෝධ කරගැනීම වැදගත් ඇයි?

16 යේසුස් “අපේ ඇදහිල්ලේ ප්‍රධාන නියෝජිතයාද, එය පරිපූර්ණ කරන්නාද” වෙයි. (හෙබ්‍රෙව් 12:1, 2 කියවන්න.) ඉන් අදහස් කරන්නේ දෙවි කෙරෙහි ඇති අපගේ විශ්වාසයට ප්‍රධාන ලෙස දායක වන්නේත් එය පූර්ණ තත්වයට ගෙන එන්නේත් යේසුස් බවයි. පාවුල් ඉහත වචන සඳහන් කිරීමට පෙර හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ දෙවිට විශ්වාසවන්තව සිටීම යන්නෙන් අදහස් කරන දේ ගැනත් නෝවා, ආබ්‍රහම්, සාරා සහ රාහබ් වැනි විශ්වාසවන්ත සේවකයන් බොහෝදෙනෙක් ගැනත් සඳහන් කළා. ඉන්පසු ඔහු පැවසුවේ “අපේ ඇදහිල්ලේ ප්‍රධාන නියෝජිතයාද, එය පරිපූර්ණ කරන්නාද වන යේසුස් දෙස මහත් ඕනෑකමින් බලා” සිටින්න කියායි. ඊට හේතුව කුමක්ද?

17 පාවුල් ඉහත සඳහන් කළ විශ්වාසවන්ත ස්ත්‍රින් හා පුරුෂයන් දෙවිගේ පොරොන්දු කෙරෙහි දැඩි විශ්වාසයක් තැබුවා. නමුත් ගැලවුම්කරු හා දේවරාජ්‍යය මගින් දෙවි එම පොරොන්දු ඉටු කරන ආකාරය පිළිබඳ සියලු තොරතුරු ඔවුන් දැන සිටියේ නැහැ. ගැලවුම්කරු පිළිබඳව අනාවැකි බොහෝමයක් ලිවීමට දෙවි යොදාගත් අය පවා එවායෙහි සම්පූර්ණ අර්ථය වටහාගත්තේ නැහැ. (1 පේතෘ. 1:10-12) ඒ අනුව බලද්දී ඔවුන්ගේ විශ්වාසය සම්පූර්ණ නැහැ කියා පැවසිය හැකියි. අපගේ විශ්වාසය සම්පූර්ණ වන්නේ යේසුස් තුළිනුයි. එනම් ඔහු පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාගත් විටයි. ඉන් පැහැදිලි වන්නේ අප, “අපේ ඇදහිල්ලේ ප්‍රධාන නියෝජිතයාද, එය පරිපූර්ණ කරන්නාද” වන යේසුස්ගේ කාර්යභාරය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගැනීම මොන තරම් වැදගත්ද යන්නයි.

නොකඩවාම සොයන්න

18, 19. (අ) දෙවිගේ අරමුණ තුළ යේසුස් ඉටු කරන තවත් කාර්යයන් මොනවාද? (ආ) අපි නොකඩවාම යේසුස් තුළ සඟවා ඇති වස්තු සෙවිය යුත්තේ ඇයි?

18 අප මෙතෙක් සලකා බැලුවේ මිනිස් වර්ගයාගේ ගැලවීම සඳහා දෙවි අරමුණු කර ඇති දෙය තුළ යේසුස්ට හිමි වැදගත් කාර්යයන් කිහිපයක් පමණයි. නමුත් ඒ හා සමාන තවත් කාර්යයන් ඔහු ඉටු කරනවා. ඒවා ගැන සොයා බැලීම අපට ප්‍රීතියක්. එමෙන්ම ප්‍රයෝජනවත්. උදාහරණයකට පේතෘස් යේසුස්ව “ජීවනයේ ප්‍රධාන නියෝජිතයා” හා “පහන් තාරකාව” ලෙස හඳුන්වා තිබෙනවා. (ක්‍රියා 3:15; 5:31; 2 පේතෘ. 1:19) එමෙන්ම යේසුස්ව “ආමෙන් නමැති තැනැත්තා” ලෙසද හඳුන්වා තිබෙනවා. (එළි. 3:14) යේසුස් සතු එම කාර්යයන්හි වැදගත්කම ඔබ දන්නවාද? ඒ සඳහා අප කළ යුතු දේ යේසුස් මෙසේ පැවසුවා. “නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි.”—මතෙ. 7:7.

19 මිනිස් වර්ගයාගේ සදාකාලික යහපත වෙනුවෙන් යේසුස් තරම් සේවයක් කළ කෙනෙක් තවත් නැහැ. අවංක උත්සාහයක් දරන අයට යේසුස් තුළින් අනර්ඝ වස්තූන් බඳු සත්‍යයන් සොයාගත හැකියි. යේසුස් තුළ “සුරක්ෂිතව සඟවා” තිබෙන එවන් වස්තු සොයාගැනීමෙන් ඔබත් ප්‍රීතිය ලබන්න.

ඔබට මතකද?

• ක්‍රිස්තියානීන්ට උනන්දු කර තිබෙන්නේ කුමනාකාර වස්තු සෙවීමටද?

• පාවුල් කොලොස්සිවරුන්ට දුන් උපදෙස අද සිටින අපටත් වැදගත් වන්නේ ඇයි?

• ක්‍රිස්තුස් තුළ “සඟවා” ඇති වස්තු මොනවාද කියා පැහැදිලි කරන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[5වන පිටුවේ පින්තූර]

බයිබලය නමැති සිතියම යේසුස් තුළ “සුරක්ෂිතව සඟවා” ඇති වස්තු තිබෙන තැන අපට පවසනවා