Skip to content

පටුනට යන්න

යේසුස් මෙන් නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කරමු

යේසුස් මෙන් නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කරමු

යේසුස් මෙන් නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කරමු

‘අපි නිර්භීතව දෙවිගේ ශුභාරංචිය ඔබට පැවසුවෙමු.’—1 තෙස. 2:2.

1. දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රීතිමත් එකක් වන්නේ ඇයි?

සුබ ආරංචි අසන්න ලැබීම මොන තරම් ප්‍රීතියට හේතුවක්ද! අපට අසන්නට තිබෙන හොඳම ආරංචිය දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචියයි. දුක, වේදනාව, අසනීප හා මරණය නැති කාලයක් පැමිණෙන බව එම ශුභාරංචියට ඇතුළත්. එම පණිවිඩය පිළිගන්නා අයට සදාකාල ජීවනය ලබාගැනීමට, දෙවිගේ අරමුණු දැනගැනීමට හා දෙවි සමඟ ප්‍රේමණීය බැඳීමක් ඇති කරගැනීමටද හැකියි. එවැනි පණිවිඩයක් අසන්න සැමදෙනාම සතුටු වෙයි කියා අප සිතුවත් එය එසේ නොවීම කනගාටුවට හේතුවක්.

2. තමා පැමිණියේ ‘භේද කරවන පිණිසයි’ කියා යේසුස් පැවසුවේ ඇයි?

2 “මම මෙලොවට සාමය දෙන පිණිස ආවෙමියි නොසිතන්න. මා ආවේ කඩුවක් මිස සාමය දෙන පිණිස නොවේ. මන්ද, මිනිසෙකු තම පියා සමඟද, දුව ඇගේ මවු සමඟද, ලේලි ඇගේ නැන්දම්මා සමඟද භේද කරවන පිණිස ආවෙමි. සැබවින්ම මිනිසෙකුගේ සතුරෝ වන්නේ ඔහුගේම ගෙයි වැසියෝය.” (මතෙ. 10:34-36) යේසුස් පැවසූ ලෙස ශුභාරංචිය සතුටින් පිළිගන්නවා වෙනුවට බොහෝදෙනෙක් එය ප්‍රතික්ෂේප කරනවා. තවත් අය ශුභාරංචිය ප්‍රකාශ කරන අයට සතුරුකම් පානවා. එවැනි අය අතර පවුලේ සාමාජිකයන්ද සිටිනවා.

3. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේදී අපට අවශ්‍ය වන්නේ කුමක්ද?

3 අප ප්‍රකාශ කරන්නේද එදා යේසුස් ප්‍රකාශ කළ ශුභාරංචියමයි. මිනිසුන් බොහෝදෙනෙක් ඊට දක්වන ප්‍රතිචාරයද එදා හා සමානයි. මෙය අප බලාපොරොත්තු විය යුතු බව යේසුස් තම අනුගාමිකයන්ට පැවසූ දෙයින් පැහැදිලියි. ‘දාසයෙකු තම ස්වාමියාට වඩා උතුම් නොවේ. ඔවුන් මට පීඩා කළා නම්, ඔවුහු ඔබටත් පීඩා කරන්නෝය.’ (යොහ. 15:20) වර්තමානයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයට බොහෝ රටවලින් දැඩි විරුද්ධවාදීකම් එල්ල නොවන බව ඇත්තයි. ඒ වුණත් ඊට උනන්දුවෙන් ප්‍රතිචාර දක්වන්නේ සුළු පිරිසක් පමණයි. ඒ නිසා නිර්භීතව එහි නොකඩවා හවුල් වීම සඳහා අපට දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් හා ධෛර්යයක් අවශ්‍යයි.2 පේතෘස් 1:5-8 කියවන්න.

4. ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා පාවුල්ට “නිර්භීතකම” අවශ්‍ය වුණේ ඇයි?

4 සමහරවිට ඔබටත් එම කාර්යයෙහි හවුල් වීම අභියෝගයක් වී ඇති. එය ඔබ පමණක් අද්දැක තිබෙන දෙයක් නොවෙයි. සත්‍යය ගැන මනා අවබෝධයක් තිබූ, නිර්භීතකමින් ශුභාරංචිය ප්‍රකාශ කළ පාවුල්ටද එය අභියෝගයක් වුණා. ඒ බව ඔහුගේ මෙම වචනවලින් පැහැදිලියි. “(ඔබ දන්නා පරිදි,) අපි ෆිලිප්පියේදී වධ විඳ, නින්දාවට ලක් වුණෙමු. නමුත් ඉන්පසුව බොහෝ වෙහෙස දරමින් ඔබට දෙවිගේ ශුභාරංචිය කීමට අපි අපේ දෙවිගෙන් නිර්භීතකම ලැබුවෙමු.” (1 තෙස. 2:2) ෆිලිප්පියේදී බලධාරීන් විසින් පාවුල්ට හා සීලස්ට කෝටුවලින් තලා සිර ගෙදර ඔවුන්ව දඬුකඳේ ගැසුවා. (ක්‍රියා 16:16-24) ඒ වුණත් ඔවුන් දෙදෙනා ‘නිර්භීතව’ දිගටම ශුභාරංචිය ප්‍රකාශ කළා. අපටත් එසේ කළ හැකිද? ඔව්, ඒ සඳහා එදා සිටි දෙවිගේ සේවකයන් නිර්භීතකමින් යුතුව සාක්ෂි දැරූ ආකාරය මෙන්ම අපිට ඔවුන්ගේ ආදර්ශය අනුකරණය කළ හැකි ආකාරයත් සලකා බලමු.

සතුරුකමට මුහුණ දීම සඳහා නිර්භීතකම

5. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට නිතරම නිර්භීතකම අවශ්‍ය ඇයි?

5 ධෛර්යය හා නිර්භීතකම සම්බන්ධයෙන් විශිෂ්ටතම ආදර්ශය වන්නේ යේසුස්. නමුත් ඔහුට පෙර සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ටද නිර්භීතකම අවශ්‍ය වුණා. ඒ ඇයි? ඒදන් උයනේ හටගත් කැරැල්ලත් සමඟම දෙවිට හා සාතන්ට සේවය කරන අය අතර සතුරුකමක් පවතින බව යෙහෝවා දෙවි කලින්ම පවසා තිබීමයි. (උත්. 3:15) වැඩි කල් නොගොස් එම සතුරුකම පැහැදිලිව දිස් වුණා. ඒ ධර්මිෂ්ඨ මිනිසෙකු වූ ආබෙල්ව ඔහුගේ සහෝදරයා මරා දැමූ අවස්ථාවේදීයි. පසුව එම සතුරුකමට මුහුණ පෑවේ ජලගැල්මට පෙර ජීවත් වූ විශ්වාසවන්ත මිනිසෙක් වූ ඒනොක්. දෙවි, තමාට ගෞරවයක් නොදක්වන අයට විරුද්ධව තම දසදහස් ගණන් ශුද්ධ දූතයන් පිරිවරාගෙන පැමිණෙන බව ඒනොක් අනාවැකි පැවසුවා. (යූද් 14, 15) එම පණිවිඩයට එදා සිටි බොහෝදෙනාගේ සතුටු වුණේ නැහැ. එමනිසා ඔවුන් ඒනොක්ට කොතරම් වෛර කළාද කිවහොත් දෙවි ඔහුගේ ජීවිතය නොගත්තා නම් ඔවුන් ඔහුව මරා දැමීමට ඉඩ තිබුණා. ඒනොක් පෙන්වූයේ මොන තරම් නිර්භීතකමක්ද!—උත්. 5:21-24.

6. පාරාවෝ ඉදිරියට යෑමට මෝසෙස්ට නිර්භීතකම අවශ්‍ය වුයේ ඇයි?

6 පාරාවෝ ඉදිරිපිට සිටීමට සිදු වූ මෝසෙස් ගැන කල්පනා කර බලන්න. ඊජිප්තුවරුන් පාරාවෝව සැලකුවේ රා නමැති සුර්යය දෙවියාගේ පුත්‍රයා ලෙසයි. එපමණක් නොව පාරාවෝ තමාව සැලකුවේද දෙවි කෙනෙකු ලෙසයි. සමහරවිට ඔහු තමාගේම රූපයට නමස්කාර කරන්න ඇති. ඔහු තරම් බලවත් කෙනෙක් ඒ මුළු දේශයේම සිටියේ නැහැ. ඉතා උඩඟු මෙන්ම රළු පුද්ගලයෙක් වූ ඔහු නිතරම කළේ ඔහුට අවශ්‍ය දෙයයි. ඔහු වෙන කෙනෙකුගේ කීමට ඇහුම්කන් දුන් කෙනෙක් නොවෙයි. ඉතා මෘදු පුද්ගලයෙක් වූ මෝසෙස්ට යෑමට සිදු වුණේ එවැනි දරදඬු රජෙක් ඉදිරියටයි. එයත් කිසිම ආරාධනයකින් තොරවයි. පාරාවෝට පැවසීමට මෝසෙස්ට තිබූ පණිවිඩයත් ඉතා ප්‍රබලයි. ලක්ෂ ගණනක් වූ ඔහුගේ වහලුන්ව නිදහස් කරන්න කියාත් ඔහු ඉල්ලා සිටියා. මේ සියල්ල පැවසීමට ඔහුට මොන තරම් නිර්භීතකමක් අවශ්‍ය වන්න ඇද්ද!—ගණන්. 12:3; හෙබ්‍රෙ. 11:27.

7, 8. (අ) පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් මුහුණ දුන් පීඩා මොනවාද? (ආ) ඒවාට මුහුණ දීමට ඔවුන්ට නිර්භීතකම ලැබුණේ කෙසේද?

7 ඊට පසුව සිටි අනාගතවක්තෘවරුන් හා තවත් දෙවිගේ සේවකයන් සැබෑ නමස්කාරය වෙනුවෙන් නිර්භීතව කටයුතු කළා. සාතන්ගේ පැත්ත ගත් මිනිසුන් ඔවුන්ට සැලකුවේ ඉතා අකාරුණික ලෙසයි. ඒ බව පාවුල්ගේ මෙම වචන සනාථ කරනවා. “ඔවුහු ගල් පහර ලැබුවෝය; පරීක්ෂා කරනු ලැබුවෝය; කියතෙන් දෙකට ඉරනු ලැබුවෝය; කඩුවෙන් මැරුම් කෑවෝය. ඔවුහු අග හිඟකම්ද, පීඩා සහ වධ හිංසාද විඳිමින් බැටළු හම් හා එළු හම් ඇඳගෙන ඔබ මොබ ගියෝය.” (හෙබ්‍රෙ. 11:37) හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ මුලින් සඳහන් ආබෙල්, ආබ්‍රහම් හා සාරා ඇතුළු සේවකයන්ට, දෙවිට විශ්වාසවන්තව සිටීම සඳහා උපකාරවත් වූ දේ ගැන පාවුල් මෙසේ සඳහන් කළා. ‘ඔවුහු පොරොන්දුවල ඉටුවීම අත් නොදුටුවත්, ඒවා දුරින් දැක, සතුටින් පිළිගත්තා.’ (හෙබ්‍රෙ. 11:13) එමෙන්ම එලියා, යෙරමියා වැනි අයද නිර්භීතකමින් හා විඳදරාගනිමින් දෙවිට විශ්වාසවන්තව සේවය කළා. එසේ කිරීමට ඔවුන්ට හැකි වුණේ ඔවුන් දෙවිගේ පොරොන්දු කෙරෙහි පූර්ණ විශ්වාසයකින් බලා සිටි නිසයි.—තීත. 1:2.

8 ඉදිරියේදී එම පොරොන්දු ඉටු වන විට ඔවුන් නැවත නැඟිටීම ලබන අතර උත්තම පූජක වන යේසුස් හා ඔහු යටතේ සිටින සෙසු පූජකයන් ඔවුන්ව ක්‍රමානුකූලව පරිපූර්ණත්වයට ගෙන ඒමට නියමිතයි. එමෙන්ම එම විශ්වාසවන්ත සේවකයන්ව “දිරාපත් වීමේ වහල්කමින් නිදහස්” කිරීමටද නියමිතයි. (රෝම 8:21) දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට නිර්භීතව සිටීමට තවත් හේතුවක් වුණේ දෙවිම ඔවුන්ට දුන් මෙම සහතිකයයි. “ඔවුන් ඔබට විරුද්ධව සටන් කළත් ඔබව පරාජය කිරීමට ඔවුන්ට හැකි වන්නේ නැත. මන්ද ඔබව ගලවාගැනීමට මම ඔබ සමඟ සිටිමි. මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.” (යෙරෙ. 1:19, නව ලොව පරිවර්තනය) දෙවි අපටත් කදිම බලාපොරොත්තුවක් දී තිබෙනවා. එමෙන්ම ඔහු සමඟ ඇති අපේ මිත්‍රත්වය ආරක්ෂා කරන බවට දී ඇති පොරොන්දුව අපට ඉමහත් ශක්තියක්.—හිතෝ. 2:7; 2 කොරින්ති 4:17, 18 කියවන්න.

යේසුස්ව පෙලඹවූයේ ප්‍රේමයයි

9, 10. යේසුස් (අ) ආගමික නායකයන් ඉදිරියෙහි, (ආ) සොල්දාදුවන් ඉදිරියෙහි, (ඇ) උත්තම පූජක ඉදිරියෙහි, (ඈ) පිලාත් ඉදිරියෙහි නිර්භීතව කටයුතු කළේ කෙසේද?

9 අපගේ ආදර්ශකයා වන යේසුස් බොහෝ පැතිවලින් නිර්භීතකම පෙන්නුවා. උදාහරණයකට එදා සිටි බල පුළුවන්කාර අයගේ බලපෑම නිසා සත්‍යය උගන්වන්න ඔහු බිය වුණේ නැහැ. එමෙන්ම ඔහු එදා සිටි, ආගමික නායකයන්ගේ කුහකකම් ඔවුන්ගේ මුහුණටම පැවසූ අතර අසත්‍ය ඉගැන්වීම් නිර්භීතව හෙළි කළා. එක් අවස්ථාවකදී ඔහු ඔවුන්ට පැවසූ දේ බලන්න. “ලියන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට දුක් වේ! මන්ද ඔබ හුණු ගා සුදු කළ සොහොන් ගෙවලට සමානය. ඒවා පිටතින් අලංකාරව පෙනුණත් එහි ඇතුළත මළවුන්ගේ ඇටකටුවලින්ද සියලු ආකාර අපවිත්‍රකම්වලින්ද පිරී තිබේ. එලෙසම ඔබත් පිටතින් මිනිසුන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නහුය. නමුත් ඔබ ඇතුළතින් කුහකකමින් හා නීති විරෝධී ක්‍රියාවලින් පිරී සිටින්නහුය.”—මතෙ. 23:27, 28.

10 තවත් අවස්ථාවකදී යේසුස් ගෙත්සෙමන උයනේ සිටි අතර ඔහුව අල්ලාගැනීමට සොල්දාදුවන් පිරිසක් පැමිණියා. එවිට ඔහු බියෙන් පලා නොගොස් නිර්භීත ලෙස ඉදිරිපත් වුණා. (යොහ. 18:3-8) පසුව ඔහුව සැන්හෙඩ්‍රිනයට ගෙන ගිය අතර උත්තම පූජකයා ඉදිරියෙහි ප්‍රශ්න කළා. තමාව මරණයට පත් කිරීමට ඔවුන් මඟක් සොයමින් සිටි බව දැන සිටියා. ඒ වුණත් පැමිණීමට නියමිත ගැලවුම්කරු තමා බවත් තමන් දෙවිගේ පුත්‍රයා බවත් ඔහු නිර්භීතව පැවසුවා. එමෙන්ම තමන් “බලවත් තැනැත්තාගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටිනවාත්, ආකාශයේ වලාකුළු සහිතව එනවාත්” ඔවුන් දකින බවද යේසුස් පැවසුවා. (මාක් 14:53, 57-65) ඊට ටික වේලාවකට පසුව ඔහුව නිදහස් කිරීමට බලය තිබූ පිලාත් ඉදිරියට ඔහුව ගෙන ගියා. එහිදී ඔහුට බොරු චෝදනා රාශියක් එල්ල කළත් ඔහු නිශ්ශබ්දව සිටියා. (මාක් 15:1-5) ඒ සඳහා යේසුස්ට මොන තරම් නිර්භීතකමක් අවශ්‍ය වන්න ඇද්ද!

11. දෙවිට සේවය කිරීමේදී නිර්භීතකම හා ප්‍රේමය අවශ්‍ය ඇයි?

11 යේසුස්, පිලාත්ට මෙසේ පැවසුවා. “මා ඉපදුණෙත් ලෝකයට පැමිණියේත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටය.” (යොහ. 18:37) යෙහෝවා දෙවි ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා යේසුස්ට පැවරුමක් භාර දුන් අතර යේසුස් එය ප්‍රීතියෙන් ඉටු කළා. එසේ කළේ ඔහු තම පියාට ප්‍රේම කළ නිසයි. (ලූක් 4:18, 19) යේසුස් සෙසු ජනයා ගත කළ දුෂ්කර ජීවිතය ගැන හොඳින් දැන සිටි අතර ඔහු ඔවුන්ටද ප්‍රේම කළා. අපත් නිර්භීතකමින් යුතුව සාක්ෂි දරන්නේ දෙවි කෙරෙහිත් අසල්වාසියා කෙරෙහිත් අපට ඇති ගැඹුරු ප්‍රේමය නිසයි.—මතෙ. 22:36-40.

අපට නිර්භීතකම ලබා දෙන දෙවිගේ බලය

12. යේසුස්ගේ අනුගාමිකයන්ගේ ප්‍රීතියට හේතුව කුමක්ද?

12 යේසුස්ගේ මරණයෙන් සති කිහිපයකට පසු බොහෝදෙනෙක් ශුභාරංචිය පිළිගෙන බව්තීස්ම වීම ඔහුගේ අනුගාමිකයන්ගේ ප්‍රීතියට හේතු වුණා. එක් දිනක දී පමණක් යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු 3000ක් බව්තීස්ම වුණා. මේ සිද්ධිය බොහෝ යුදෙව්වන්ගේ කතාබහට ලක් වූ බවට කිසිම සැකයක් නැහැ. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “එවිට සියලුදෙනා තුළ බියක් හටගන්නට විය. ප්‍රේරිතයන් මාර්ගයෙන් බොහෝ පෙර නිමිතිද ලකුණුද සිදු වන්න පටන්ගත්තේය.”—ක්‍රියා 2:41, 43.

13. යේසුස්ගේ අනුගාමිකයන් නිර්භීතකම ඉල්ලා යාච්ඤා කළේ ඇයි? එහි ප්‍රතිඵලය වුණේ කුමක්ද?

13 එය ආරංචි වී කෝපයෙන් වියරු වැටුණු ආගමික නායකයන් පේතෘස්ව සහ යොහාන්ව අත් අඩංගුවට ගත්තා. පසු දින ඔවුන්ව නිදහස් කරමින් යේසුස් ගැන කතා නොකරන ලෙස ඔවුන්ට අණ කළා. පසුව ඔවුන් තමන්ට සිදු වූ දෙය ගැන සෙසු සහෝදරයන්ට දැනුම් දුන් අතර ඔවුන් සියල්ලන්ම එකතු වී එම විරුද්ධවාදීකම් ගැන දෙවිට මෙසේ යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවියනි, සම්පූර්ණ නිර්භීතකමින් ඔබේ වචනය දිගටම කතා කරන්න ඔබේ දාසයන්ට අවසර දෙන්න.’ එහි ප්‍රතිඵලය ලෙස ‘දෙවිගේ බලය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වී ඔවුහු දෙවි පැවසූ දේවල් නිර්භීතව කතා කරන්න පටන්ගත්තා.’—ක්‍රියා 4:24-31.

14. ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවිගේ බලය අපට උපකාර කරන්නේ කෙසේද?

14 දෙවිගේ වචනය නිර්භීතව කතා කරන්න ඔවුන්ට හැකිකම ලබා දුන්නේ කුමක්ද කියා ඔබ දුටුවාද? එය නම් දෙවිගේ බලයයි. අපට විරුද්ධ වන අය ඇතුළු සියලුදෙනාටම ධෛර්යයෙන් යුතුව සාක්ෂි දැරීම අපගේම හැකියාවෙන් කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා යෙහෝවා දෙවිගේ උපකාර අවශ්‍යමයි. අපි එය ඔහුගෙන් ඉල්ලුවොත් එය ඔහු අපට ලබා දෙනවා. ඔව්, දෙවිගේ බලයේ උපකාර අපට තිබෙනවා නම් ඕනෑම විරුද්ධවාදීකමක් හමුවේ නිර්භීතව සාක්ෂි දරන්න අපට හැකියි.ගීතාවලිය 138:3 කියවන්න.

අද දින නිර්භීතකමින් සාක්ෂි දැරීම

15. ශුභාරංචිය මගින් ජනයාව බෙදීමකට ලක් කරන්නේ කෙසේද?

15 එදා මෙන් අදත් ශුභාරංචියට සමහරුන් ඇහුම්කන් දුන්නත් තවත් අය එය තේරුම්ගන්න උත්සාහ කරන්නේවත් අගය කරන්නේවත් නැහැ. සමහරුන් අපව විවේචනය කර අපහාස කර යේසුස්ට මෙන් අපටද වෛර කරනවා. ඒ අනුව ශුභාරංචිය මගින් ජනයාව බෙදීමකට ලක් කර තිබෙනවා.(මතෙ. 10:22) එමෙන්ම විටින් විට අප ගැන නොමඟ යවන හා ද්වේශසහගත ප්‍රවෘත්තිද පළ කරනවා. (ගීතා. 109:1-3) ඒ වුණත් ඒ සෑම තත්වයක් යටතේදීම දෙවිගේ සෙනඟ නිර්භීතකමින් යුතුව ලොව පුරාම ශුභාරංචිය ප්‍රකාශ කරනවා.

16. අපගේ නිර්භීතකම නිසා ජනයා ශුභාරංචියට දක්වන ප්‍රතිචාරය වෙනස් විය හැක්කේ කෙසේද? උදාහරණයක් දෙන්න.

16 අපගේ නිර්භීතකම, ජනයා ශුභාරංචියට දක්වන ප්‍රතිචාරය වෙනස් කිරීමට හේතු විය හැකියි. ඒ සම්බන්ධයෙන් කිර්ගිස්තානයේ සිටින සහෝදරියක් පවසන මේ අද්දැකීම බලන්න. “දිනක් මම සේවයේ යද්දී එක ගෙදරක සිටි පුද්ගලයෙක් මට මෙහෙම කිව්වා. ‘මමත් දෙවියන්ව අදහනවා. හැබැයි ඔයාලගේ දෙවියන්ව නෙවෙයි. ඒ නිසා මෙහේ නාවට කමක් නැහැ. ඔයා මේ ගේට්ටුව ඇරගෙන ආයෙත් ආවොත් මම මේ බල්ලව අරිනවා.’ ඔහුට පිටිපස්සෙන් ලොකු කළු බල්ලෙක් හිටියා මම දැක්කා. ඊට දවස් තුනකට පස්සේ ‘ආගමේ නාමයෙන් සිදු කරන දුෂ්ට දේවලට අවසානයක් තිබෙනවාද?’ කියන රාජ්‍ය ආරංචි අංක 37 පත්‍රිකාව බෙදනකොට ඒ නිවසේ වෙන කෙනෙකුට හරි මේ පත්‍රිකාවක් දෙන්න ඕනේ කියලා මම ඒ ගෙදරට ආයෙත් ගියා. හැබැයි එදා ආවෙත් ඒ පුද්ගලයාමයි. මම ඉක්මණට උපකාර ඉල්ලලා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඊට පස්සේ මම ඒ පුද්ගලයාට අචාර කරලා මෙහෙම කිව්වා. ‘එදා මට ඔයා කියපු දේ හොඳට මතකයි. ඒ වගේම ඔයාගේ බල්ලවත් මට මතකයි. නමුත් ඔයා වගේම මමත් විශ්වාස කරන්නේ එක දෙවි කෙනෙක් නිසා මේ පණිවිඩය නම් ඔයාට කියන්නම ඕනේ කියලා මට හිතුණා. දෙවිට අගෞරව ගෙන දෙන සියලුම ආගම් දෙවි විනාශ කරනවා. ඔයා මේ පත්‍රිකාව කියෙව්වොත් ඒ ගැන තවත් දැනගන්න පුළුවන්.’ ඔහු පත්‍රිකාව ගත්තහම මට පුදුම හිතුණා. ඊට පස්සේ මම වෙනත් නිවසකට ගියා. විනාඩි කිහිපයකට පස්සේ ඒ පුද්ගලයා පත්‍රිකාවත් අරගෙන දුවගෙන ඇවිත් ‘මම ඒක කියෙව්වා, මේ විනාශයෙන් ගැලවෙන්න මම මොනවද කරන්න ඕනේ’ කියලා ඔහු මගෙන් ඇහැව්වා.” ඉන්පසු ඔහු සමඟ බයිබල් පාඩමක් පටන්ගත් අතර ඔහු රැස්වීම්වලට පැමිණෙන්නද පටන්ගත්තා.

17. සහෝදරියකගේ නිර්භීතකම නිසා බයිබලය ඉගෙනගන්නා කෙනෙක් දිරිගැන්වුණේ කෙසේද?

17 අපගේ නිර්භීතකම දකින අන් අයද නිර්භීතව කටයුතු කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් රුසියාවේ සිටින සහෝදරියකගේ අද්දැකීම සලකා බලන්න. ඇය බස් රථයක ගමන් කරද්දී ළඟ සිටි ස්ත්‍රියකට සඟරාවක් ඉදිරිපත් කළා. එය දුටු එක් තැනැත්තෙක් ඔහු හිඳගෙන සිටි අසුනෙන් එකවර නැඟිට මේ සහෝදරියගේ අතින් එම සඟරාව ඇදලා අරගෙන ඒක පොඩි කරලා පොළේ ගැහුවා. ඉන්පසු සහෝදරියට තදින් බැණ වැදුණු ඔහු ඇයගේ ලිපිනය ලබා දෙන්න කියා බල කළ අතර ඒ ප්‍රදේශයේ සාක්ෂි දරන්න එපා කියාද තර්ජනය කළා. එවිට දෙවිගේ උපකාර පතා යාච්ඤා කළ ඇය යේසුස්ගේ මේ වදන් මතක් කරගත්තා. “ශරීරය නසන නමුත් ජීවය නසන්න නොහැකි අයට බිය නොවන්න.” (මතෙ. 10:28) පසුව ඇය සන්සුන්ව ඒ පුද්ගලයාට මෙහෙම කිව්වා. “මම ඔයාට මගේ ලිපිනය දෙන්නේ නැහැ. ඒ වගේම මම මේ ප්‍රදේශයේ කරන සේවය නතර කරන්නෙත් නැහැ.” ඉන්පසු ඇය බසයෙන් බැස ගියා. එම සහෝදරිය නොදැන සිටියත් ඇය සමඟ බයිබලය පාඩම් කරන ස්ත්‍රියක්ද එහි සිටියා. මිනිසුන්ට තිබෙන බිය නිසා ඇය මෙතෙක් කල් රැස්වීම්වලට සහභාගි වී තිබුණේ නැහැ. නමුත් මේ සහෝදරියගේ නිර්භීතකම දුටු ඇය රැස්වීම්වලට පැමිණෙන්න අධිෂ්ඨාන කරගත්තා.

18. යේසුස් මෙන් නිර්භීතව සාක්ෂි දරන්න ඔබට උපකාරවත් වන්නේ කුමක්ද?

18 දෙවිගෙන් ඈත් වූ මිනිසුන් සිටින මේ ලෝකයේ යේසුස් මෙන් සාක්ෂි දැරීමට නිර්භීතකම අත්‍යවශ්‍යයි. එය ඇති කරගැනීමට අපට උපකාර කරන්නේ කුමක්ද? අපගේ අනාගත බලාපොරොත්තුව ගැන කල්පනා කිරීම, දෙවි සහ අසල්වාසියා කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් පෙන්වීම හා ධෛර්යය ඉල්ලා යාච්ඤා කිරීම ඉන් සමහරක්. අප සමඟ නිතරම යේසුස් සිටින බව මතක තබාගැනීමද ඊට එක් උපකාරයක්. (මතෙ. 28:20) එමෙන්ම අපව ශක්තිමත් කිරීමට දෙවිගේ බලයද අපට ඉල්ලිය හැකියි. ඒ සියල්ලක් ඇතුළු දෙවිගේ ආශීර්වාද හා උපකාරයද අපට නිර්භීතකම ලබා දෙයි. එමනිසා අපි ධෛර්යයවත්ව මෙසේ පවසමු. “යෙහෝවා මාගේ උපකාරකයාය. මම භය නොවෙමි. මිනිසාට මට කළ හැක්කේ කුමක්ද?”—හෙබ්‍රෙ. 13:6.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවිගේ සේවකයන්ට නිර්භීතකම අවශ්‍ය ඇයි?

• නිර්භීතකම පෙන්වීම සම්බන්ධයෙන් අපට මේ අයගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?

පුරාණ ඇදහිලිවන්තයන්ගෙන්

යේසුස් ක්‍රිස්තුස්ගෙන්

මුල් සියවසේ ක්‍රිස්තියානීන්ගෙන්

අද සිටින ක්‍රිස්තියානීන්ගෙන්

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

යේසුස්, ආගමික නායකයන්ගේ කුහකකම් නිර්භීතව හෙළි කළා

[23වන පිටුවේ පින්තූරය]

නිර්භීතකමින් සාක්ෂි දැරීම සඳහා යෙහෝවා දෙවි අපට අවශ්‍ය ධෛර්යය ලබා දෙනවා