Skip to content

පටුනට යන්න

ශුභාරංචිය දුර ඈත ප්‍රදේශවලටත්

ශුභාරංචිය දුර ඈත ප්‍රදේශවලටත්

ශුභාරංචිය දුර ඈත ප්‍රදේශවලටත්

රුසියාවට අයත් ප්‍රදේශයක් වන ටයිවා පිහිටා තිබෙන්නේ සයිබීරියාවට දකුණින් හා මොංගෝලියවට වයඹ දෙසිනුයි. ටයිවාවල වැසියන් බොහෝදෙනෙක් ජීවත් වන්නේ ශුභාරංචිය රැගෙන යාමට ඉතා අසීරු ඈත ප්‍රදේශවලයි. දිනක් සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා එම ප්‍රදේශවලින් පිරිසක් එහි අගනුවර වන කිසල් වෙත පැමිණියා. කිසල්වල ජීවත් වන පුරෝගාමී සහෝදරියක් වන මරියාට ඒ ගැන ආරංචි වුණා. ඔවුන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මෙය කදිම අවස්ථාවක් බව ඇය තේරුම්ගත්තා.

සිදු වූ දෙය ගැන ඇය මෙසේ පවසනවා. “මම උගන්වන ඉස්කෝලෙ මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතයේ ඇති අන්තරාය ගැන සම්මන්ත්‍රණයක් සංවිධානය කළා. ටයිවාවලින් 50දෙනෙක් විතර මෙයට සහභාගි වීමට නියමිතව තිබුණා. මේ අයට මනෝ වෛද්‍යවරුන්, ළමා සුභසාධනය ගැන කටයුතු කරන අය, ගුරුවරු හා තවත් අය ඇතුළත් වුණා.” ශුභාරංචිය දේශනා කරන්න මෙය මරියාට හොඳ අවස්ථාවක් වුණත් එය ලෙහෙසි දෙයක් වුණේ නැහැ. ඒ ගැන ඇය පැවසුවේ මෙසේයි. “මම සාමාන්‍යයෙන් හරි ලැජ්ජා කෙනෙක්. ඒ වගේම අවිධිමත්ව සාක්ෂි දරන එකත් මට හරි අමාරුයි. ඒ කොහොමවුණත් මගේ භය නැති කරගන්නත් සාක්ෂි දරන්න ලැබුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නත් මට උපකාර කරන්න කියා මම යෙහෝවා දෙවිට යාච්ඤා කළා.” ඇගේ උත්සාහය සාර්ථක වුණාද?

ඒ ගැන ඇය තවදුරටත් මෙසේ පවසනවා. “අසාමාන්‍ය බිය ගැන සාකච්ඡා කර තිබූ පිබිදෙව්! සඟරාවක් මම හොයාගත්තා. ඒ සඟරාව කියවන්න මනෝ වෛද්‍යවරයෙක් කැමති වෙයි කියලා මම හිතුවා. ඒ නිසා මම ඒ සඟරාව ඉස්කෝලෙට අරගෙන ගියා. මම ඒක ගෙනිච්ච දවසේම ඒ සම්මන්ත්‍රණයට සහභාගි වූ ගුරුවරියක් මගේ කාර්යාලයට ආවා. මම ඇයට ඒ සඟරාව දුන්නා. ඇය ඒක සතුටින් අරගෙන මෙහෙම කිව්වා. ‘මටත් මේ ලෙඩේම තිබුණා.’ ඊළඟ දවසේ මම යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොත ඇයට දුන්නා. ඇය ඒ පොතත් සතුටින් අරගත්තා. ඇය දැක්වූ යහපත් ප්‍රතිචාරය නිසා අනික් ගුරුවරුනුත් මේ පොත කියවන්න උනන්දුවෙයි කියලා මම හිතුවා. ඒ නිසා මම ඒ පොත් වගේම වෙන පොත් පුරවපු පෙට්ටියක්ම ඉස්කෝලෙට අරගෙන ගියා.” වැඩි දවසක් යන්න කලින් ඒ පෙට්ටියේ තිබුණු සියලුම පොත් මරියා බෙදා හැරියා. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මගෙන් මුලින්ම යෞවනයන් අසති පොත අරන් ගිය ගුරුවරියගේ මිතුරියන් කිහිපදෙනෙක් ඇවිල්ලා ‘අර පොත් ගන්න පුළුවන් කොහෙන්ද?’ කියලා මගෙන් ඇහුවා.” ඇත්තෙන්ම ඒ අය ඇවිල්ලා තිබුණේ හරි තැනටයි.

සම්මන්ත්‍රණයේ අවසාන දවස සෙනසුරාදා දවසක්. එදින මරියාගේ නිවාඩු දිනයයි. ඒ නිසා මරියා ඇගේ කාර්යයාලයේ මේසය මත විවිධ පොත්පත් ප්‍රදර්ශනයට තැබුවා. ඇය ඒ අසල තිබූ දැන්වීම් පුවරුවේ මෙසේ ලිව්වා. “ප්‍රිය ගුරුවරුනි, ඔබට සහ ඔබගේ මිතුරන්ට අවශ්‍ය ප්‍රකාශන මෙතනින් ලබාගන්න පුළුවන්. මේ ප්‍රකාශන ඔබ කරන වැඩ සාර්ථකව කරන්න ඔබට උදව් කරාවි. ඒ වගේම ඔබගේ පවුල් ජීවිතය සාර්ථක කරගන්නත් ඒවා ඔබට උපකාරවත් වේවි.” මේ සඳහා ඇයට ලැබුණු ප්‍රතිචාරය කුමක්ද? “මම කාර්යාලයට යද්දී පොත් පත්වලින් බොහෝමයක් අඩු වෙලා තියෙනවා මම දැක්කා. ඉතින් මම ඉක්මනට ගිහිල්ලා තව පොත් සහ සඟරා අරගෙන ආවා” කියා මරියා පවසනවා. සම්මන්ත්‍රණය අවසානයේදී මරියා සඟරා 380ක්ද පොත් 173ක්ද විවරණිකා 34ක්ද බෙදා හැර තිබුණා. මේ දුර ප්‍රදේශවලින් පැමිණි අය නැවත තමන්ගේ ගම්බිම් බලා ගිය විට ඔවුන් ලබාගත් ප්‍රකාශනද රැගෙන ගියා. අවසානයේදී මරියා ඒ ගැන මෙසේ පවසනවා. “ටයිවාවල ඈත ප්‍රදේශවලටත් ශුභාරංචිය ලැබෙන්න සලස්වන්න හැකි වුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.”—දේශ. 11:6.

[32වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

රුසියාව

ටයිවා ජනරජය