Skip to content

පටුනට යන්න

යළි අවබෝධ කරගත් පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව

යළි අවබෝධ කරගත් පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව

යළි අවබෝධ කරගත් පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව

‘දානියෙල්, ඔබට හෙළි කළ මේ වචන ලියවිල්ලක සටහන් කර අවසාන කාලය දක්වා තබන්න. බොහෝදෙනෙක් සත්‍යය සෙවීමට මහත් වෙහෙසක් දරන්නෝය. ඒ නිසා නිවැරදි දැනුම ඔවුන්ට නොඅඩුව ලැබෙන්නේය.’—දානි. 12:4, නව ලොව පරිවර්තනය, NW.

1, 2. මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ කුමන ප්‍රශ්න ගැනද?

දෙවි මිනිසාව නිර්මාණය කළේ කෙටි කාලයක් ජීවත් වී මිය යෑමට නොව සදාකල් ජීවත් වීමටයි. ඒ බව දෙවි පැහැදිලිව පැවසුවා. (උත්. 1:26-28) අද සිටින මිලියන ගණන්දෙනාද පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන බයිබලයෙන් ඉගෙනගෙන තිබෙනවා.—එළි. 7:9, 17.

2 ඒදන් උයනේදී ආදම් අහිමි කරගත් පරිපූර්ණ ජීවිතය නැවත ලැබෙන කාලයක් ගැන ඊශ්‍රායෙල්වරුන්ද බලාපොරොත්තුවෙන් සිටියා. එම බලාපොරොත්තුව දෙවි ඉටු කරන ආකාරය ගැන පැහැදිලි විස්තරයක් ග්‍රීක ශුද්ධ ලියවිල්ල සපයනවා. නමුත් කාලයක් පුරා එම බලාපොරොත්තුව ගැන මිනිසුන් දැන සිටියේ නැහැ. ඒ ඇයි? එමෙන්ම පසු කාලයකදී මිලියන ගණනකට නැවතත් එය දැනගන්න ලැබුණේ කෙසේද? එම වැදගත් ප්‍රශ්න දෙක ගැන අපි සලකා බලමු.

යටපත් කළ බලාපොරොත්තුව

3. පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව යටපත් වීම ගැන අප පුදුම නොවිය යුත්තේ ඇයි?

3 බොරු අනාගතවක්තෘවරු තම ඉගැන්වීම්වලින් බොහෝදෙනෙකුව නොමඟ යවන බව යේසුස් කලින්ම පැවසුවා. (මතෙ. 24:11) පේතෘස්ද අනතුරු ඇඟෙව්වේ “ඔබ අතරටත් බොරු ගුරුවරුන් පහළ වනු ඇත” කියායි. ( 2 පේතෘ. 2:1) එමෙන්ම පාවුල්ද ඒ හා සමාන දෙයක් පැවසුවා. “ඔවුන් සුවදායී ඉගැන්වීම පිළි නොගන්නා කාල පරිච්ඡේදයක් පැමිණෙන්නේය. ඔවුහු ඔවුන්ගේම ආශාවලට අනුව, තමුන් කැමති දේවල් අසාගන්නා පිණිස තමන්ටම ගුරුවරුන් රැස් කරගන්නෝය.” (2 තිමෝති 4:3, 4) ඉහත සඳහන් වචන මොන තරම් සත්‍යයද! පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව පිළිබඳ සත්‍යය යටපත් කිරීමට සාතන් බොහෝ වෙර දරා තිබෙන අතර ඒ සඳහා ඔහු පල්ලිවල නායකයන් ඇතුළු විවිධ බොරු ගුරුවරුන්ව යොදාගෙන තිබෙනවා.—2 කොරින්ති 4:3, 4 කියවන්න.

4. බොරු ගුරුවරුන් හෙළා දැක තිබෙන්නේ කුමක්ද?

4 දේවරාජ්‍යය මගින් සියලුම මනුෂ්‍යය ආණ්ඩු සම්පූර්ණයෙන්ම විනාශ කරන බව බයිබලයේ පවසනවා. (දානි. 2:44) ඉන්පසුව යේසුස්ගේ දහස් අවුරුදු පාලනය තුළදී සාතන්ව අගාධයට දැමීමටද නියමිතයි. ඒ කාලයේදී මළවුන්ව නැවත නැඟිටුවන අතර මිනිස් වර්ගයාව ක්‍රමානුකූලව පරිපූර්ණත්වයට ගෙන එන බවද බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා. (එළි. 20:1-3, 6, 12; 21:1-4) නමුත් තමන් ක්‍රිස්තියානීන් යයි පවසන බොරු ගුරුවරුන් උගන්වා තිබෙන්නේ ඊට පටහැනි අදහසක්. උදාහරණයකට තුන්වන සියවසේ සිටි පල්ලි නායකයෙක් වූ ඔරිගන්, යේසුස්ගේ දහස් අවුරුදු පාලනයේදී පොළොව මත ජීවත් වන අයට ආශීර්වාද ලැබෙන බව විශ්වාස කළ අයව හෙළා දැක්කා. එමෙන්ම ‘දහස් අවුරුදු පාලනයක් ඉදිරියේදී සිදු නොවන බව’ හිපෝහි ඔගස්ටින්ගේ (ක්‍රි.ව. 354-430) අදහස වූ බව එක් පොතක සඳහන් වුණා. *The Catholic Encyclopedia.

5, 6. ඔරිගන් සහ ඔගස්ටින් දහස් අවුරුදු පාලනය පිළි නොගත්තේ ඇයි?

5 දහස් අවුරුදු පාලනය ඉදිරියේදී සිදු වීමට නියමිතයි යන ඉගැන්වීමට ඔරිගන් හා ඔගස්ටින් විරුද්ධ වුණේ ඇයි කියා දැන් අපි බලමු. ඔරිගන්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්ගේ ශිෂ්‍යයෙක්. ක්ලෙමන්ට්, ග්‍රීක දර්ශනවාදයේ ඇතුළත් මිනිසාගේ මරණයෙන් පසු නොනැසී පවතින යමක් ඔහුගේ ශරීරයෙන් පිට වන බවට වූ ඉගැන්වීම එනම්, අමරණීය ආත්මයක් පිළිබඳ ඉගැන්වීම තරයේ විශ්වාස කළ කෙනෙක්. ඔරිගන්ද අමරණීය ආත්මයක් ගැන ප්ලේටෝගේ අදහස් දැරුවා. ඒ ගැන එක් විශාරදයෙක් පැවසුවේ, ‘ඔරිගන් විසින් ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට ඇතුළත් කළ අමරණීය ආත්මය පිළිබඳ ඉගැන්වීම ඔහු ලබාගත්තේ ප්ලේටෝගෙන්’ බවයි. ඒ අනුව කල් යද්දී ඔරිගන් පැවසුවේ දහස් අවුරුදු පාලනයේ ආශීර්වාද ලැබෙන්නේ පොළොවේ නොව ස්වර්ගයේ බවයි.

6 ඔගස්ටින් තුන්වන සියවසේ සිටි ප්ලොටිනස්ගේ අදහස් පිළිගත් කෙනෙක්. ප්ලොටිනස්, ප්ලේටෝගේ දර්ශනය ඉදිරියට ගෙන ගිය කෙනෙක්. වයස අවුරුදු 33දී ඔගස්ටින් ක්‍රිස්තියානි ආගම වැලඳගන්නත් කලින් ඔහුට තිබූ ප්ලොටිනස්ගේ දර්ශනවාදී අදහස් ඔහු තුළ එලෙසම පැවතුණා. ඒ ගැන එක් පොතක සඳහන් වන්නේ ‘ඔගස්ටින් නව ගිවිසුමේ සඳහන් ඉගැන්වීම් සහ ප්ලේටෝගේ දර්ශනවාදී අදහස් එකට සම්බන්ධ කළ’ බවයි. (The New Encyclopædia Britannica) ඒ අනුව එළිදරව් 20වන පරිච්ඡේදයේ සඳහන් දහස් අවුරුදු පාලනය ගැන ඔහු පැවසුවේ ‘එය නිකම්ම සංකේතයක්’ බවයි. ‘ඔහුට පසුව සිටි බටහිර ආගමික විශාරදයන්ද එම අදහසම දැරුවා. එහි ප්‍රතිඵලයක් ලෙස දහස් අවුරුදු පාලනය පිළිබඳ සත්‍යය යටපත් වෙන්න පටන්ගත්තා’ කියා පොතක සඳහන් වුණා.—The Catholic Encyclopedia.

7. පොළොව මත සදාකාල ජීවිතය ගැන බලාපොරොත්තුව යටපත් කර ඇත්තේ කුමන බොරු ඉගැන්වීම මගින්ද? ඒ කෙසේද?

7 අමරණීය ආත්මයක් පිළිබඳ ඉගැන්වීම මුලින්ම ආරම්භ වුණේ පුරාණ බැබිලෝනිය අධිරාජ්‍යයෙනුයි. ඔවුන් විශ්වාස කළේ පුද්ගලයෙක් තුළ අමරණීය ආත්මයක්ද ඇති බවයි. එය ග්‍රීකවරුන්ද විශ්වාස කළා. එහි බලපෑමට යුදෙව්වන්ද හසු වූ අතර එම ඉගැන්වීම ඔවුන්ද වැලඳගත්තා. ඒ අනුව පොළොව මත සදාකාල ජීවිතය පිළිබඳ ඔවුන්ට තිබූ විශ්වාසය යටපත් වුණා. පසුව පල්ලි නායකයන් අමරණීය ආත්මයක් පිළිබඳ ඉගැන්වීම ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට ඈඳා ගත්තේ ඒ ආකාරයටයි. ඔවුන් ඉගැන්නුවේ යහපත් මිනිසුන් සියලුදෙනාම ස්වර්ගයට යන බවයි. එම අදහසට අනුව මිනිසුන් පොළොවේ කෙටි කාලයක් ජීවත් වන්නේ ඔවුන් ස්වර්ගයේ ජීවිතය සඳහා සුදුසුද නැද්ද යන්න තීරණය කිරීමටයි. එවන් ඉගැන්වීම් දෙවි පැවසූ දෙයට වඩා මොන තරම් වෙනස්ද! මිනිසා තුළ අමරණීය ආත්මයක් තිබෙන බව දෙවි පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ “ඔබ දූවිලිය” කියායි. (උත්. 3:19NW) ඉන් පැහැදිලි වන්නේ මිනිසාගේ සදාකාල වාසස්ථානය වන්නේ ස්වර්ගය නොව මේ පොළොව බවයි.—ගීතාවලිය 104:5; 115:16 කියවන්න.

සත්‍යය අවබෝධ වීමට පටන්ගනියි

8. මනුෂ්‍ය වර්ගයාගේ බලාපොරොත්තුව ගැන 1600 ගණන්වල සිටි විශාරදයන් පැවසුවේ කුමක්ද?

8 පොළොව මත සදාකාල ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව යටපත් කිරීමට සාතන් පල්ලිවල නායකයන්ව යොදාගත්තත් ඔහුට සම්පූර්ණයෙන්ම සාර්ථක වීමට හැකි වී නැහැ. ඊට හේතුව මිනිස් වර්ගයා සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ පිළිබඳව බයිබලය අධ්‍යයනය කිරීමෙන් තේරුම්ගත් කිහිපදෙනෙක් සිටීමයි. (ගීතා. 97:11; මතෙ. 7:13, 14; 13:37-39) එමෙන්ම වර්ෂ 1600 ගණන්වල බයිබලය විවිධ භාෂාවලට පරිවර්තනය කර, මුද්‍රණය කර, පුළුල්ව බෙදාහැරීමත් ඊට හේතු වුණා. වර්ෂ 1651දී එක් විශාරදයෙක් පැවසුවේ ‘ආදම් නිසා මිනිසාට අහිමි වූ පාරාදීස පොළොවේ සදාකාල ජීවනය නැවත ලැබෙන්නේ ක්‍රිස්තුස් තුළින් පමණක්’ බවයි. (1 කොරින්ති 15:21, 22 කියවන්න.) ජනප්‍රිය කවියෙකු වූ ජෝන් මිල්ටන්ද (1608-1674) පාරාදීසය අහිමි වීම හා එය නැවත පිහිටුවීම ගැන කෘති දෙකක් රචනා කළා. දෙවිට කීකරු මනුෂ්‍යයන්ට පාරාදීස පොළොවේ සදාකාල ජීවිතය නමැති ත්‍යාගය හිමි වන බව එම කෘතිවල ඔහු සඳහන් කළා. ඔහු තම ජීවිතයෙන් වැඩි කාලයක් කැප කළේ බයිබලයේ සඳහන් සත්‍යය තේරුම්ගැනීමටයි. ඒ වුණත් තමාට එය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න නොහැකි වූ බව ඔහු පැවසුවා. ඒ සඳහා යේසුස් පැමිණ සිටින කාලය වන තෙක් සිටිය යුතු බව ඔහු තේරුම්ගත්තා.

9, 10. (අ) මනුෂ්‍ය වර්ගයාගේ බලාපොරොත්තුව ගැන අයිසැක් නිව්ටන් ලිව්වේ කුමක්ද? (ආ) යේසුස් පැමිණ සිටින කාලය ඉදිරියේ සිදු වන දෙයක් බව ඔහු පැවසුවේ ඇයි?

9 ප්‍රසිද්ධ ගණිතඥයෙක් වූ ශ්‍රීමත් අයිසැක් නිව්ටන්ද (1642-1727) බයිබලය අධ්‍යයනය කිරීමට උනන්දු වූ කෙනෙක්. ශුද්ධවන්තයන් ස්වර්ගයේ ජීවිතයකට නැවත නැඟිටීම ලබා යේසුස් සමඟ රජකම් කරන බව ඔහු තම අධ්‍යයනයෙන් තේරුම්ගත්තා. (එළි. 5:9, 10) එම රාජ්‍යයේ යටත් වැසියන් වන අය ගැනද ඔහු මෙවැනි දෙයක් ලිව්වා. “විනිශ්චයේ දවසෙන් පසුවත් මුළු පොළොවම මිනිසුන්ගෙන් පිරී යෑමට නියමිතයි. ඔවුන් ජීවත් වෙන්නේ අවුරුදු දහසකට පමණක් නොව සදාකාලයටමයි.”

10 ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය සඳහා තව සියවස් කිහිපයක් තිබෙන බවද ඔහු පැවසුවා. ‘නිව්ටන් එවැනි අදහසක් පළ කිරීමට එක් හේතුවක් වුණේ ඔහුගේ කාලයේ සිටි මිනිස්සු ත්‍රිත්වය නමැති බොරු ඉගැන්වීම ඉතා ප්‍රබල ලෙස විශ්වාස කිරීමයි’ කියා එක් ඉතිහාසඥයෙක් පැවසුවා. ඔවුන්ට ශුභාරංචිය ප්‍රකාශ කර ඔවුන්ව නිවැරදි කරන්න ඒ කාලයේදී කිසිම ආගමික කණ්ඩායමක් නොසිටීමද ඊට තවත් හේතුවක්. ඒ ගැන නිව්ටන් මෙසේ ලිව්වා. “දානියෙල්ගේ හා එළිදරව් පොතේ ඇති අනාවැකි තේරුම්ගත හැක්කේ අවසාන කාලයේදී පමණයි. ඒ ගැන දානියෙල්ද පැවසුවේ, ‘බොහෝදෙනෙක් සත්‍යය සෙවීමට මහත් වෙහෙසක් දරන්නෝය. ඒ නිසා නිවැරදි දැනුම ඔවුන්ට නොඅඩුව ලැබෙන්නේය’ කියායි. එමෙන්ම ලෝක විනාශයට හා මහත් පීඩාවට පෙර ශුභාරංචිය සියලු ජාතීන්ට දේශනා කළ යුතුයි. එසේ කළේ නැත්නම් සියලු ජාතීන්ගෙන් සමන්විත විශාල සමූහයකට මහත් පීඩාවෙන් බේරී ජීවත් වීමට හැකි වන්නේ නැහැ.”—දානි. 12:4; මතෙ. 24:14; එළි. 7:9, 10.

11. නිව්ටන් හා මිල්ටන්ගේ දවස්වලදී මනුෂ්‍ය වර්ගයාගේ බලාපොරොත්තුව බොහෝදෙනෙකුගෙන් සැඟවී තිබුණේ ඇයි?

11 මිල්ටන් සහ නිව්ටන් ජීවත් වූ කාලයේදී පල්ලියේ ඉගැන්වීම්වලට විරුද්ධ අදහස් පළ කිරීම ජීවිතය අනතුරේ හෙළන දෙයක් වුණා. එමනිසා ඔවුන් බයිබලය අධ්‍යයනය කිරීමෙන් තේරුම්ගත් දේවල් ප්‍රකාශයට පත් වුණේ ඔවුන්ගේ මරණින් පසුවයි. දහසයවන සියවසේදී ආගමික ප්‍රතිසංස්කරණයක් සිදු වුණත් අමරණීය ආත්මයක් පිළිබඳ බොරු ඉගැන්වීම නිවැරදි වුණේ නැහැ. ඉන්පසු ඇති වූ රෙපරමාදු පල්ලිවලද ඉගැන්නුවේ දහස් අවුරුදු පාලනය අතීතයේදී සිදු වූ දෙයක් මිස අනාගතයේ සිදු වීමට නියමිත දෙයක් නොවන බවයි. ඉන් පැහැදිලි වන්නේ ඔවුන් දිගටම ඉගැන්නුවේ ඔගස්ටින්ගේ අදහස බවයි. මෙවැනි තත්වයක් යටතේ දානියෙල් පැවසූ ලෙස අවසාන කාලයේදී නිවැරදි දැනුම නොඅඩුව ලබාගත හැකි වෙයිද?

“නිවැරදි දැනුම ඔවුන්ට නොඅඩුව ලැබෙන්නේය”

12. නිවැරදි දැනුම නොඅඩුව ලැබීමට නියමිතව තිබුණේ කුමන කාලයේදීද?

12 “අවසාන කාලය” තුළදී සිදු වන විශේෂ දෙයක් ගැන දානියෙල් සඳහන් කළා. (දානියෙල් 12:3, 4, 9, 10 කියවන්න.) එමෙන්ම ඒ කාලයේදී “ධර්මිෂ්ඨයෝ තම පියාණන්ගේ රාජ්‍යයෙහිදී, සූර්යයා මෙන් බැබළෙන්නෝය” කියා යේසුස්ද පැවසුවා. (මතෙ. 13:43) එම වචනවලට අනුව අවසාන කාලයේදී නිවැරදි දැනුම නොඅඩුව ලැබී තිබෙනවාද? ඊට පිළිතුරු සඳහා 1914ට පෙර එනම්, අවසාන කාලය ආරම්භ වීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.

13. මිනිසුන්ට තිබෙන බලාපොරොත්තුව ගැන චාල්ස් ටේස් රසල් ලිව්වේ කුමක්ද?

13 බයිබලයේ සඳහන් “සුවදායී වචන” තේරුම්ගන්න උත්සාහ කළ කිහිපදෙනෙක් 1800 ගණන්වල සිටියා. (2 තිමෝ. 1:13) චාල්ස් ටේස් රසල් ඉන් එක් කෙනෙක්. වර්ෂ 1870දී ඔහු සහ තවත් කිහිපදෙනෙක් බයිබලය අධ්‍යයනය කිරීම සඳහා පන්තියක් ආරම්භ කළා. මිනිසුන්ට අහිමි වූ පරිපූර්ණ ජීවිතය නැවත ලැබෙන ආකාරය ගැන ඔවුන් 1872දී අධ්‍යයනය කළා. ඒ ගැන ඔහු මෙසේ ලිව්වා. ‘දෙවිට විශ්වාසවන්ත මිනිසුන්ට තිබෙන බලාපොරොත්තුව හා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ඇති බලාපොරොත්තුව අතර ඇති වෙනස අප මේ වන තෙක් පැහැදිලිව තේරුම්ගෙන තිබුණේ නැහැ.’ එමෙන්ම “පළමු මිනිසා වූ ආදම් අහිමි කරගත් පරිපූර්ණ ජීවිතය” විශ්වාසවන්ත මිනිසුන්ට ලැබෙන බවත් ඔහු ලිව්වා.

14. (අ) හෙන්රි ඩන් ක්‍රියා 3:21 තේරුම්ගත්තේ කෙසේද? (ආ) ඔහු තේරුම්ගත් පරිදි පොළොව මත සදහටම ජීවත් වන්නේ කවුරුන්ද?

14 රසල් එය අවබෝධ කරගත්තේ තනිවම නොවෙයි. ඔහුට තවත් අය උපකාර කළා. හෙන්රි ඩන් ඉන් එක් කෙනෙක්. ක්‍රියා 3:21හි සඳහන් ‘දෙවි තම ශුද්ධ අනාගතවක්තෘවරුන් මගින් නැවත පිහිටුවන බවට පැවසූ සියල්ල ඉටු කිරීම’ ගැන ඔහු ලිව්වා. ‘නැවත පිහිටුවීම’ කියන්නේ දහස් අවුරුදු පාලන කාලය තුළ මිනිස් වර්ගයාව නැවතත් පරිපූර්ණත්වයට ගෙන ඒම බව ඔහු තේරුම්ගත්තා. එමෙන්ම පොළොව මත සදහටම ජීවත් වන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය ගැනද ඔහු අධ්‍යයනය කළා. ඔහු ඒ ගැන පැවසුවේ මිලියන ගණනක්ව නැවත නැඟිටුවන අතර ඔවුන්ට සත්‍යය උගන්වන බවයි. එමෙන්ම ඒ තුළින් ඔවුන්ට යේසුස් කෙරෙහි විශ්වාසය තැබීමට අවස්ථාවක් දෙන බවද ඔහු පැවසුවා.

15. නැවත නැඟිටීම ගැන ජෝර්ජ් ස්ටෝර්ස් තේරුම්ගත්තේ කුමක්ද?

15 වර්ෂ 1870දී ජෝර්ජ් ස්ටෝර්ස්ද බයිබලය අධ්‍යයනය කළා. ඔහු එයින් තේරුම්ගත්තේ අධර්මිෂ්ඨයන්වද සදාකාල ජීවිතයක් ලැබීමේ අපෙක්ෂාවෙන් නැවත නැඟිටුවන බවයි. නමුත් නැවත නැඟිටීමෙන් පසු සදාකාලයටම ජීවත් වීමට ලැබෙන ඒ මහඟු අවස්ථාව ප්‍රතික්ෂේප කරන අය ‘අවුරුදු සියයක් ජීවත් වුණත් මිය යන’ බවද ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමෙන් ඔහු තේරුම්ගත්තා. (යෙසායා 65:20) එමෙන්ම බයිබල් එග්සැමිනර් යන සඟරාවද ඔහු ප්‍රකාශයට පත් කළා.

16. බයිබල් ශිෂ්‍යයන් අනිකුත් අයට වඩා වෙනස් වුණේ කෙසේද?

16 ශුභාරංචිය සියලුදෙනාටම ප්‍රකාශ කළ යුතු බවද රසල් තේරුම්ගත්තා. ඒ නිසා ඔහු 1879දී සයන්ස් වොච් ටවර් ඇන්ඩ් හෙරල්ඩ් ඔෆ් ක්‍රයිස්ට්ස් ප්‍රසන්ස් යන සඟරාව ප්‍රකාශයට පත් කළා. දැන් එය මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි ලෙස හඳුන්වනවා. මනුෂ්‍ය වර්ගයාට ඇති බලාපොරොත්තුව ගැන මුල් කාලයේදී දැනගන්න ලැබුණේ ඉතා සුළු පිරිසකට පමණයි. නමුත් 1800 ගණන් වන විට බොහෝ රටවල සිටි බයිබල් ශිෂ්‍යයන්ට මුරටැඹ සඟරාව තුළින් ඒ ගැන තේරුම්ගන්න හැකියාව ලැබුණා. ස්වර්ගයට යන්නේ සුළු පිරිසක් බවත් මිලියන ගණනක් පොළොව මත ජීවත් වීමට නියමිත බවත් ඔවුන් විශ්වාස කළා. ඒ නිසා තමන් ක්‍රිස්තියානීන් යයි පවසන අයට වඩා ඔවුන් වෙනස් වුණා.

17. නිවැරදි දැනුම නොඅඩුව ලැබෙන්න පටන්ගත්තේ කෙසේද?

17 බයිබලයේ සඳහන් “අවසාන කාලය” 1914දී ආරම්භ වුණා. දානියෙල් පැවසූ ලෙස ඒ කාලයේදී නිවැරදි දැනුම නොඅඩුව ලැබෙන්න පටන්ගත්තාද? (දානි. 12:4NW) ඔව්, පහත සඳහන් සිද්ධීන්වලින් එය පැහැදිලියි. වර්ෂ 1913දී සී. ටී. රසල් දුන් කතාව 1,50,00,000ක් පමණ දෙනෙක් කියවන පුවත්පත් 2000ක පළ වුණා. එමෙන්ම 1914 අග භාගය වන විට ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය විස්තර කරන දර්ශන ඇතුළත් “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” මහාද්වීප තුනක 90,00,000ක් පමණ පිරිසකට පෙන්නුවා. එමෙන්ම “දැන් ජීවත් වන මිලියන ගණනක්දෙනා කිසිදා මිය නොයනු ඇත” යන තේමාවෙන් යුත් කතාව 1918 සිට 1925 දක්වා භාෂා 30කින් ලොව පුරා ඉදිරිපත් කළා. ඉන් විස්තර කළේ පොළොව මත සදාකාල ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි. එවැනි බලාපොරොත්තුවක් තිබෙන අය බව්තීස්ම විය යුතු බව 1934දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තේරුම්ගත්තා. ඔවුන් එම බලාපොරොත්තුව අවබෝධ කරගත් නිසා පෙරටත් වඩා උද්‍යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කරන්න පටන්ගත්තා. පොළොව මත තමන්ට ලැබෙන සදාකාල ජීවිතය ගැන බලාපොරොත්තුවෙන් සිටින මිලියන ගණන්දෙනා අද දින ඒ ගැන යෙහෝවා දෙවිට බොහෝ සේ ස්තුතිවන්ත වෙනවා.

“තේජවත් නිදහස” අත ළඟයි

18, 19. යෙසායා 65:21-25හි වාර්තා කර තිබෙන්නේ කුමනාකාරයේ ජීවිතයක් ගැනද?

18 කීකරු මිනිසුන් පොළොව මත භුක්ති විඳීමට නියමිත ජීවිතය කුමනාකාර එකක්ද කියා වාර්තා කිරීමට දෙවි යෙසායාව පෙලඹෙව්වා. (යෙසායා 65:21-25 කියවන්න.) යෙසායා එම වචන පැවසුවේ මීට වසර 2,700කට පෙරයි. ඒ කාලයේදී තිබූ සමහර ගස් පෙනෙන විදිහට තවමත් තිබෙනවා. ඔබත් එතරම් කාලයක් මනා ශරීර සෞඛ්‍යයකින් යුතුව ජීවත් වන ආකාරය ගැන ඔබට සිතාගත හැකිද!

19 තොටිල්ලේ සිට මරණය දක්වා මිනිසා ගත කරන කෙටි කාලය වෙනුවට අනාගතයේදී මිනිසුන්ට බොහෝ දේවල් කිරීමට ඕනෑ තරම් කාලය තිබෙනවා. ගොඩනැඟීමට, වගා කිරීමට හා ඉගෙනගැනීමට නිමක් නැහැ. එමෙන්ම මොන තරම් මිතුරන් ඔබට ඇති කරගත හැකිද කියා සිතා බලන්න. ඔබට ඒ මිත්‍රත්වයන් සදාකාලයටම පවත්වාගත හැකියි. ඇත්තෙන්ම ඒ කාලයේදී “දෙවිගේ දරුවන්” මොන තරම් ‘තේජවත් නිදහසක්’ භුක්ති විඳිනු ඇද්ද!—රෝම 8:21.

[පාදසටහන]

^ 4 ඡේ. ඔගස්ටින් පැවසුවේ දහස් අවුරුදු පාලනය දැනටමත් ආරම්භ වී ඇති බවයි. එය සිදු වුණේ පල්ලියේ ආරම්භයත් සමඟ බව ඔහුගේ අදහසයි.

ඔබට මතකද?

• පොළොව මත සදාකාල ජීවිතය නමැති බලාපොරොත්තුව යටපත් වුණේ කෙසේද?

• වර්ෂ 1600 ගණන්වලදී සමහරුන් අවබෝධ කරගත්තේ කුමක්ද?

• වර්ෂ 1914 ආසන්නයේදී මිනිසාට ඇති බලාපොරොත්තුව වඩා පැහැදිලි වෙන්න පටන්ගත්තේ කෙසේද?

• පොළොව මත සදාකාල ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව ගැන නිවැරදි දැනුම නොඅඩුව ලැබුණේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූර]

කවියෙකු වූ ජෝන් මිල්ටන් (වම) සහ ගණිතඥ අයිසැක් නිව්ටන් (දකුණ) පොළොව මත සදාකාල ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව ගැන දැන සිටියා

[15වන පිටුවේ පින්තූර]

මිනිසාට ඇති බලාපොරොත්තුව ගැන ලොව පුරා ප්‍රකාශ කළ යුතු බව බයිබල් ශිෂ්‍යයන් ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමෙන් තේරුම්ගත්තා