Skip to content

පටුනට යන්න

ඔබ වෙනුවෙන් දෙවි කර ඇති දේ ඔබ අගය කරනවාද?

ඔබ වෙනුවෙන් දෙවි කර ඇති දේ ඔබ අගය කරනවාද?

ඔබ වෙනුවෙන් දෙවි කර ඇති දේ ඔබ අගය කරනවාද?

“ඊශ්‍රායෙලයෙහි දෙවි වූ යෙහෝවාට ආශීර්වාද වේවා! මන්ද, ඔහු තම ජනයාට අවධානය දී ඔවුන්ට මිදීම සලසා දී ඇත.”—ලූක් 1:68.

1, 2. අප සිටින තත්වය කොතරම් භයානකද කියා නිදර්ශනයකින් පැහැදිලි කරන්න. අපි දැන් සලකා බලන ප්‍රශ්න මොනවාද?

ඔබ අසනීපව රෝහල් ගත වී සිටිනවා කියා සිතන්න. ඔබට වැළදී ඇත්තේ තවමත් කිසි ප්‍රතිකාරයක් සොයාගෙන නැති මාරාන්තික වසංගත රෝගයක්. ඔබ සිටින වාට්ටුවේ සියලුම රෝගීන්ට එම රෝගයම වැළදී තිබෙනවා. කෙසේවෙතත් එක් වෛද්‍යවරයෙක් ඊට ප්‍රතිකාරයක් සොයාගන්න මූලික වී ක්‍රියා කරන බව ඔබ දැනගන්නවා. එය ඔබට ලොකු සහනයක්. ඔහු ප්‍රතිකාරයක් සොයන තුරු ඔබ නොඉවසිල්ලෙන් බලා සිටිනවා. අන්තිමේදී ඔහු ප්‍රතිකාරයක් සොයාගත් බව ඔබට ආරංචි වෙනවා. ඒ සඳහා ඔහු විශාල කැප කිරීමක් කර ඇති බවද ඔබ දන්නවා. දැන් ඔබට ඒ ගැන හැඟෙන්නේ කෙසේද? එම රෝගය නිසා මිය යන්න සිටි ඔබව සහ තවත් බොහෝදෙනෙකුව ඉන් ගලවාගන්න කටයුතු කළ ඒ පුද්ගලයා කෙරෙහි ඔබට ලොකු ගෞරවයක් හා අගයක් ඇති වන බවට කිසිම සැකයක් නැහැ.

2 අප සිටින්නේ ඊටත් වඩා භයානක තත්වයකයි. එම තත්වයෙන් අපව ගලවාගැනීමට කෙනෙකු අවශ්‍යයි. (රෝම 7:24 කියවන්න.) ඒ සඳහා යෙහෝවා දෙවි හා ඔහුගේ පුත්‍රයා බොහෝදේ කර තිබෙනවා. ඊට අදාළ ප්‍රශ්න හතරක් දැන් අපි සලකා බලමු. අපට ගැලවීම අවශ්‍ය ඇයි? අපට ගැලවීම ලබා දීමට යේසුස්ට පරිත්‍යාග කිරීමට සිදු වුණේ කුමක්ද? යෙහෝවා දෙවිට ඒ සඳහා පරිත්‍යාග කිරීමට සිදු වුණේ කුමක්ද? දෙවි ලබා දෙන ගැලවීම අප බොහෝ සේ අගය කරන බව පෙන්වන්න අපට පුළුවන් කොහොමද?

අපට ගැලවීම අවශ්‍ය ඇයි?

3. පාපය වසංගතයකට සමාන වන්නේ කෙසේද?

3 ඉතිහාසයේ සිට මේ දක්වා වැලඳී ඇති දරුණුතම වසංගතවලින් එකක් වන්නේ 1918දී පැතිරී ගිය ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාවයි. ඉන් මිනිසුන් මිලියන ගණනක් මිය ගියා. ඊට වඩා භයානක වසංගතද තිබෙනවා. ඒවා බෝ වන්නේ සුළු පිරිසකට වුණත් ඉන් වැඩි පිරිසක් මිය යනවා. * පාපය එවැනි වසංගතයකට සමානයි. ඒ ගැන පාවුල් මෙසේ විස්තර කරනවා. “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.” (රෝම 5:12) පාපය නමැති වසංගතය අප සියලුදෙනාටම බෝ වී තිබෙනවා. (රෝම 3:23 කියවන්න.) ඒ නිසා අප “සියලුදෙනාම” මිය යනවා.

4. දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ කොතරම් කාලයක් ජීවත් වීමටද? නමුත් ඊට වෙනස්ව මිනිසුන් සිතන්නේ කුමක්ද?

4 බොහෝදෙනා පාපය හා මරණය එතරම් බරපතළ දෙයක් ලෙස සලකන්නේ නැහැ. විවිධ හේතුන් නිසා අකාලේ සිදු වන මරණ වළක්වාගන්න ඔවුන් උත්සාහ දැරුවත් වයසට ගොස් මිය යෑම ඔවුන් සලකන්නේ “සමාන්‍ය” දෙයක් ලෙසයි. දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ සදාකාලයටම ජීවත් වීමට බවද ඔවුන් තේරුම්ගන්නේ නැහැ. ඇත්තයි, මිනිසුන් ජීවත් වෙන්නේ යෙහෝවා දෙවි අරමුණු කළාට වඩා ඉතා කෙටි කාලයයි. දෙවිට අනුව නම් කිසි මිනිසෙක් ‘එක දවසක්වත්’ ජීවත් වී නැහැ. (2 පේතෘ. 3:8) බයිබලය අපේ ජීවිත තණකොළවලට හෝ ගසාගෙන යන සුළං පොදකට සමාන කරන්නේ ඒ නිසයි. (ගීතා. 39:5; 1 පේතෘ. 1:24) අපි එය හොඳින් මතක තබාගත යුතුයි. ඊට හේතුව අපට වැලඳී තිබෙන “වසංගතය” හෙවත් පාපයේ බරපතළකම අපි තේරුම්ගන්නා විට එය “සුව” කිරීමට නැත්නම් ඉන් අපව ගලවාගැනීමට කර ඇති දේ අගය කරන්න අපි පෙලඹීමයි.

5. පාපය නිසා අපිට අහිමි වූ දේවල් මොනවාද?

5 පාපය කොයි තරම් බරපතළද කියා තේරුම්ගන්න නම් ඒ නිසා අපට අහිමි වී ඇති දේවල් මොනවාද කියා අපි වටහාගත යුතුයි. අපේ මුල් දෙමාපියන් භුක්ති වින්ද බොහෝ දේවල් භුක්ති විඳිමට අපට අවස්ථාවක් ලැබී නැහැ. ඔවුන් පරිපූර්ණ ජීවිතයක් භුක්ති වින්ද අතර ඔවුන්ට පරිපූර්ණ මනසක් හා ශරීරයක් තිබුණා. ඔවුන්ට තම සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාවන් නිවැරදිව පාලනය කිරීමට මෙන්ම අනර්ඝ ගුණාංග පූර්ණ ලෙස විදහා පෙන්වීමට හැකියාවද තිබුණා. නමුත් ඔවුන් මේ අනර්ඝ ත්‍යාගයන් ප්‍රතික්ෂේප කර දෙවිට අකීකරු වීමෙන් පව් කළා. ඒ නිසා යෙහෝවා දෙවි මිනිසුන් සඳහා අරමුණු කළ ජීවිතය ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවතෙන අයටත් අහිමි වුණා. (උත්. 3:16-19) ඒ වගේම ඔවුන් අපටද පාපය නමැති “වසංගතය” බෝ කළා. යෙහෝවා දෙවි ඔවුන්ව ප්‍රතික්ෂේප කළත් ඔවුන්ගෙන් පැවතෙන අයට එම තත්වයෙන් ගැලවීමට බලාපොරොත්තුවක් ලබා දුන්නා.—ගීතා. 103:10.

අපේ ගැලවීම සඳහා යේසුස් පරිත්‍යාග කළ දේ

6, 7. (අ) අපව පාපයෙන් ගලවාගැනීම සඳහා විශාල පරිත්‍යාගයක් කළ යුතුව තිබූ බව යෙහෝවා දෙවි මුලින්ම පෙන්නුවේ කෙසේද? (ආ) ආබෙල් ඇතුළු පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් ඔප්පු කළ පූජාවලින් අප ඉගෙනගන්නේ කුමක්ද?

6 අදම් සහ ඒව නැති කරගත් ජීවිතය ඔවුන්ගෙන් පැවතෙන්නන්ට නැවත ලබා දීම සඳහා විශාල පරිත්‍යාගයක් කළ යුතු බව යෙහෝවා දෙවි දැන සිටියා. උත්පත්ති 3:15හි [නව ලොව පරිවර්තනය, NW] ඇති අනාවැකියෙන් ඒ පරිත්‍යාගය පිළිබඳ යම් තොරතුරු අපට ඉගෙනගත හැකියි. එහි පවසන ආකාරයට යෙහෝවා දෙවි “පැවත එන තැනැත්තා” හෙවත් ගැලවුම්කරු මාර්ගයෙන් සාතන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. කෙසේවෙතත් එම ගැලවුම්කරුගේ විලුඹ පොඩි කිරීම එනම්, ඔහුට ඉමහත් වේදනාවක් විඳීමට සිදු වීම ගැනද එහි සඳහන් වෙනවා.

7 පාපයෙන් මිනිසුන්ව ගලවාගැනීමටත් නැවත ඔවුන්ව දෙවි සමඟ සමඟි කිරීමටත් ගැලවුම්කරු යම් දෙයක් කළ යුතු වුණා. ඒ කුමක්ද? පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් කළ දෙයකින් ඊට පිළිතුර සොයාගත හැකියි. දෙවිට විශ්වාසවන්තව සිටි මුල්ම තැනැත්තා වන ආබෙල් සතුන් කිහිපදෙනෙකුව පූජා කරමින් දෙවිගේ අනුමැතිය ලබාගත්තා. නෝවා, ආබ්‍රහම්, යාකොබ් සහ යෝබ් වැනි අයද සත්ව පූජා ඔප්පු කරමින් දෙවිගේ අනුමැතිය ලබාගත්තා. (උත්. 4:4; 8:20, 21; 22:13; 31:54; යෝබ් 1:5) ඉන්පසු දෙවි මෝසෙස්ට ලබා දුන් නීතිය තුළින් පූජාවල අවශ්‍යතාව තහවුරු කළා. ඉන් පැහැදිලි වන්නේ මිනිසාව පාපයෙන් ගලවාගැනීමට පූජාවක් අවශ්‍ය වූ බවයි.

8. සමඟි කිරීමේ දවසේදී උත්තම පූජකයා කළේ කුමක්ද?

8 වසරකට වරක් සමඟි කිරීමේ දවසේදී ඔප්පු කළ පූජා, දෙවි මෝසෙස්ට දුන් නීතියේ සඳහන් පූජා අතර ඉතා වැදගත් තැනක් ගත්තා. පව්වලට සමාව ලබාගැනීම සඳහා පළමුව පූජක පන්තිය වෙනුවෙන්ද පසුව පූජකයන් නොවන ගෝත්‍ර වෙනුවෙන්ද එදින උත්තම පූජකයා යෙහෝවා දෙවිට පූජා ඔප්පු කළා. එහිදී ඔහු අති ශුද්ධස්ථානයට ඇතුල් වුණා. ඊට අවසර තිබුණේ ඔහුට පමණයි. එහිදී ඔහු පූජා කරන ලද සතුන්ගේ ලේ ගිවිසුම් පෙට්ටිය ඉදිරිපිට ඉසිනු ලැබුවා. එවැනි අවස්ථාවලදී ගිවිසුම් පෙට්ටියට ඉහළින් දීප්තිමත් වලාකුළක් දැකගන්න ලැබුණා. ඉන් සංකේතවත් වුණේ යෙහෝවා දෙවිගේ පැමිණීමයි. ඒ සියලු දේවල් ඉදිරියේදී සිදු වීමට නියමිතව තිබූ යම් සිදුවීම් සංකේතවත් කළා.—නික්. 25:22; ලෙවී. 16:1-30.

9. (අ) උත්තම පූජකයාගෙන් නියෝජනය කළේ කාවද? පූජාවලින් නියෝජනය වුණේ කුමක්ද? (ආ) උත්තම පූජකයා අති ශුද්ධස්ථානයට ඇතුල් වීමෙන් නියෝජනය වුණේ කුමක්ද?

9 උත්තම පූජකයා කළ දේවලින් සංකේතවත් කළේ කුමක්ද කියා පාවුල් පැහැදිලි කළා. ඔහු සඳහන් කළ පරිදි උත්තම පූජකයාගෙන් නියෝජනය වුණේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්වයි. පූජාවලින් නියෝජනය වුණේ ඔහුගේ ජීවිත පූජාවයි. (හෙබ්‍රෙ. 9:11-14) එම පූජාවෙන් කණ්ඩායම් දෙකකට දෙවි සමඟ සමඟි වීමට අවස්ථාව ලැබෙනවා. එක් කණ්ඩායමක් පූජකයන් ලෙස සේවය කිරීමට නියමිත අභිෂේක ලත් ක්‍රිස්තියානීන් 1,44,000දෙනා වන අතර අනික් කණ්ඩායම ‘වෙනත් බැටළුවනුයි.’ (යොහ. 10:16) උත්තම පූජකයා අති ශුද්ධස්ථානයට ඇතුල් වීමෙන් නියෝජනය වුණේ යේසුස් ස්වර්ගයේ යෙහෝවා දෙවි ඉදිරියේ පෙනී සිටීමයි. ඒ අවස්ථාවේදී ඔහු තම ජීවිත පූජාවේ වටිනාකම දෙවිට ඔප්පු කළා.—හෙබ්‍රෙ. 9:24, 25.

10. ගැලවුම්කරුට මුහුණ දීමට සිදු වන දේවල් ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

10 මිනිසුන්ව පව්කාර තත්වයෙන් ගලවාගැනීම සඳහා ගැලවුම්කරුට මුහුණ දීමට සිදු වන දේවල් ගැන අනාගතවතෘවරුන් ඉතා පැහැදිලිව විස්තර කළා. උදාහරණයක් ලෙස මිනිසුන්ගේ “වැරදිවලට සමාව ලබා දීම” සඳහා “නායකයා වන මෙසියස්” හෙවත් ගැලවුම්කරුව ‘මරා දමන’ බව දානියෙල් පැවසුවා. (දානි. 9:24-26NW) ඒ ගැන යෙසායා පැවසුවේ මිනිසුන්ව පාපයෙන් ගලවාගැනීමට පැමිණි ගැලවුම්කරුව ඔවුන් විසින්ම ප්‍රතික්ෂේප කර, පීඩා කර, මරා දමන බවයි. ඇත්තෙන්ම අපව පාපයෙන් ගලවාගැනීමට යේසුස්ට මොන තරම් පරිත්‍යාගයක් කිරීමට සිදු වුණාද!—යෙසා. 53:4, 5, 7.

11. අපට ගැලවීම ලබා දීම සඳහා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කිරීමට දෙවිගේ පුත්‍රයා කැමැත්තෙන් සිටි බව අප දන්නේ කෙසේද?

11 පොළොවට පැමිණීමට පෙර සිටම තමන්ට බොහෝ දුක් පීඩා විඳින්න සිදු වන බවත් තමන්ව මරණයට පත් කරන බවත් දෙවිගේ එකම පුත්‍රයා දැන සිටියා. යෙහෝවා දෙවි ඔහුට ඒ දේවල් ගැන උගන්වන විට ඔහු ඊට විරුද්ධ වුණාද? නැහැ. ඒ වෙනුවට ඔහු තම පියාට කැමැත්තෙන්ම කීකරු වුණා. (යෙසා. 50:4-6) ඔහු පොළොවට පැමිණි පසුත් දෙවිගේ කැමැත්තට කීකරු වෙමින් එය ඉටු කළා. ඔහු එසේ කළේ ඇයි? ‘මම පියාණන්ට ප්‍රේම කරමි’ කියා පවසමින් ඔහු ඊට එක් හෙතුවක් සඳහන් කළා. එමෙන්ම “යමෙකු තම මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දෙනවාට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත” කියා පවසමින් ඊට තවත් හේතුවක් ඔහු සඳහන් කළා. (යොහ. 14:31; 15:13) පාපයෙන් අපව ගලවාගැනීම සඳහා දෙවිගේ පුත්‍රයා තම පරිපූර්ණ ජීවිතය කැමැත්තෙන්ම පූජා කළා. ඔහු එසේ කළේ අපට බොහෝ සෙයින් ප්‍රේමය කළ නිසයි.

අපේ ගැලවීම සඳහා යෙහෝවා දෙවි පරිත්‍යාග කළ දේ

12. යේසුස් තම ජීවිතය පූජා කළේ කාගේ කැමැත්ත නිසාද? ඔහු එය අපට ලබා දුන්නේ ඇයි?

12 අපට ගැලවීම ලබා දීම සඳහා මූලික පියවර ගත්තේ යෙහෝවා දෙවියි. ඉන් අදහස් කරන්නේ යේසුස් ඔහුගේ ජීවිතය පුජා කළ යුතු බවත් එය කළ යුතු ආකාරය ගැනත් තීරණය කළේ යේසුස් නොව යෙහෝවා දෙවි බවයි. එය දේවමාලිගාවේ පූජාසනයෙන් නියෝජනය කළ දෙවිගේ කැමැත්තේ මූලික අංගයක් වුණා. (හෙබ්‍රෙ. 10:10) එමනිසා ඒ ජීවිත පූජාව තුළින් අපට ලැබෙන ගැලවීම ගැන අප මුලින්ම ස්තුතිවන්ත විය යුත්තේ යෙහෝවා දෙවිටයි. (ලූක් 1:68) ඔහුට මිනිසුන් කෙරෙහි ඇති ප්‍රේමය මොන තරම්ද!—යොහන් 3:16 කියවන්න.

13, 14. යෙහෝවා දෙවි අප වෙනුවෙන් කළ දේ තේරුම්ගැනීමට ආබ්‍රහම් ලැබූ අද්දැකීම අපට උපකාර කරන්නේ කෙසේද?

13 අප වෙනුවෙන් යෙහෝවා දෙවි කළ පරිත්‍යාගය ගැන අපට සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැහැ. ඒ වුණත් ඔහු ආබ්‍රහම්ට කරන්න කියා පැවසූ දෙයකින් එය යම් ප්‍රමාණයකට තේරුම්ගැනීමට අපට හැකියි. දෙවි ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටියේ ඉතා දුෂ්කර දෙයක් කිරීමටයි. එනම් ඔහුගේ පුත්‍රයාව පූජා කිරීමටයි. නමුත් ආබ්‍රහම්, ඊසාක්ට බොහෝ සේ ප්‍රේම කළ බව දෙවි හොඳින්ම දැන සිටියා. ‘ඔබ බොහෝ සෙයින් ආදරේ කරන ඔබේ එකම පුත්‍රයා’ කියා යෙහෝවා දෙවි ඊසාක් ගැන ආබ්‍රහම්ට පැවසුවේ ඒ නිසයි. (උත්. 22:2NW) ඒ වුණත් තම පුත්‍රයාට දක්වන ප්‍රේමයට වඩා දෙවිගේ කැමැත්ත කිරීම වැදගත් බව ආබ්‍රහම් දැන සිටි නිසා ඔහු දෙවිට කීකරු වුණා. කෙසේනමුත් යෙහෝවා දෙවි තමන් අනාගතයේදී කරන්න යන දේ කිරීමට ආබ්‍රහම්ට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ඔහු දේවදූතයෙකු මාර්ගයෙන් ආබ්‍රහම්ව වැළැක්වුවා. ඒ කොහොමනමුත් දෙවිට තම පුත්‍රයාව නැවත නැඟිටුවන්න හැකියාවක් ඇති බව ආබ්‍රහම් දැන සිටියා. දුෂ්කර තත්වයකදී වුණත් දෙවිට කීකරු වීමට ආබ්‍රහම්ට එය උපකාරවත් වුණා. ආබ්‍රහම්ට ඊසාක්ව පූජා කිරීමට දෙවි ඉඩ නොදුන්නත් ‘සංකේතාත්මක ආකාරයේ’ නැවත නැඟිටීමක් තුළින් ආබ්‍රහම් ඊසාක්ව නැවත ලබාගත්තා කියා පාවුල් පැවසුවා.—හෙබ්‍රෙ. 11:19.

14 තම පුත්‍රයාව පූජා කිරීමට සූදානම් වන විට ආබ්‍රහම්ට ඇති වූ වේදනාව ඔබට සිතා ගත හැකිද? ඒ අවස්ථාවේදී ආබ්‍රහම්ට හැඟුණු ආකාරයෙන් යෙහෝවා දෙවිට තමාගේ “ප්‍රේමණීය පුත්‍රයා” පූජා කරන විට හැඟුණු ආකාරය අපට තේරුම්ගත හැකියි. (මතෙ. 3:17) නමුත් ආබ්‍රහම්ට දැනුණාට වඩා වේදනාවක් යෙහෝවා දෙවිට දැනෙන්න ඇති. යෙහෝවා දෙවි, යේසුස් සමඟ අවුරුදු මිලියන ගණනක කිට්ටු මිත්‍රත්වයක් භුක්ති වින්දා. එමෙන්ම යේසුස්, දෙවිගේ “ප්‍රධාන සේවකයා” ලෙසත් “වචනය” හෙවත් ඔහුගේ පණිවිඩය ප්‍රකාශ කරන ප්‍රධානතම තැනැත්තා ලෙසත් ක්‍රියා කළා. (හිතෝ. 8:22, 30, 31, NW; යොහ. 1:1) නින්දා, අපහාස හා හිරිහැර විඳිමින් අපරාධකරුවෙකු ලෙස තම පුත්‍රයාව මරණයට පත් කරද්දී යෙහෝවා දෙවිට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද! දෙවි ඒ සියල්ල විඳදරාගත්තේ අපව පාපයෙන් ගලවාගැනීම සඳහායි. අප එය අගය කරන බව පෙන්වන්නේ කෙසේද?

ගැලවීම අගය කරන බව පෙන්වන්න

15. යේසුස් මිනිස් වර්ගයාගේ පව්වලට සමාව ලබාගැනීමට මඟ විවෘත කළේ කොහොමද? එමගින් ලැබෙන ආශීර්වාද මොනවාද?

15 යේසුස් නැවත නැඟිට ස්වර්ගයට ගොස් දෙවි ඉදිරියේ පෙනී සිටි විට ඔහු පොළොවට පැමිණි හේතුව සම්පූර්ණ වුණා. එමගින් මිනිස් වර්ගයාට තම පව්වලට සමාව ලබාගැනීමට මඟ විවෘත වීම මොන තරම් ආශීර්වාදයක්ද! මුලින්ම ඉන් යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ද පසුව ‘මුළු ලෝකයේ’ සිටින අනිකුත් සියලුදෙනාද ප්‍රයෝජන ලබනවා. එමෙන්ම යේසුස්ගේ ජීවිත පූජාව නිසා තම පව් ගැන පසුතැවිලි වී යේසුස්ගේ අනුගාමිකයන් වෙන අයට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳිය හැකියි. (1 යොහ. 2:2) එයින් ඔබ ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

16. යෙහෝවා දෙවි අපට ලබා දී තිබෙන ගැලවීම අපි අගය කළ යුතු බව පෙන්වන ආකාරය උදාහරණයකින් විස්තර කරන්න.

16 අපි දැන් මුලින් සඳහන් කළ උදාහරණය නැවත සලකා බලමු. එම වෛද්‍යවරයා ඔබ සිටින වාට්ටුවට පැමිණ, ලබා දී ඇති උපදෙස්වලට අනුව ප්‍රතිකාර ලබාගන්නා අයට අනිවාර්යයෙන් සුවයක් ලැබෙනවා කියා සියලුම රෝගීන්ට පවසනවා. නමුත් රෝගීන් වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න අමාරු බව පවසමින් ප්‍රතිකාරය ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් තත්වය කුමක්ද? එම ප්‍රතිකාරය මගින් අනිවාර්යයෙන්ම සුවයක් ලැබෙන බව දැන සිටින ඔබත් ඔවුන් සමඟ එකඟ වෙමින් එය ප්‍රතික්ෂේප කරනවාද? ඇත්තෙන්ම නැහැ. ඔබ එම වෛද්‍යවරයාට ස්තුතිවන්ත වෙමින් ඔහුගේ උපදෙස් ඉතා පරෙස්සමින් පිළිපදින බව ස්ථිරයි. ඒ වගේම ඔබ ඒ ගැන අන් අයටත් පවසන්න පෙලඹෙනවා නිසැකයි. යේසුස්ගේ ජීවිතය ලබා දීම තුළින් යෙහොවා දෙවි අප වෙනුවෙන් කර ඇති දේ ගැන අපි ඔහුට ඊට වඩා කොතරම් වැඩියෙන් ස්තුතිවන්ත විය යුතුද!රෝම 6:17,18, කියවන්න.

17. ඔබව පාපයෙන් ගලවාගැනීමට යෙහෝවා දෙවි කර ඇති දේ අගය කරන බව ඔබ පෙන්වන්නේ කොහොමද?

17 අපව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීම සඳහා යෙහෝවා දෙවි හා ඔහුගේ පුත්‍රයා කර ඇති දේවල් අපි අගය කරනවා නම් අපි ඒ බව ක්‍රියාවලින් පෙන්වනවා. (1 යොහ. 5:3) එය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ වැරදි කිරීමට අප තුළ ඇති නැඹුරුවාවට විරුද්ධව ක්‍රියා කිරීමයි. ඉන් අදහස් කරන්නේ අපි දැන දැන වැරදි කරමින් දෙයාකාර ජීවිතයක් ගත කරන්නේ නැති බවයි. ඒ වෙනුවට අපි උත්සාහ කරන්නේ යෙහෝවා දෙවි පිළිගන්නා ආකාරයේ ජීවිතයක් ගත කිරීමටයි. (2 පේතෘ. 3:14) ඒ සඳහා අගය පෙන්විය හැකි තව ක්‍රමයක් වන්නේ අපව පාපයෙන් ගලවාගැනීම සඳහා දෙවි කර ඇති දේ ගැන අන් අයටත් පැවසීමයි. එමගින් ඔවුන්ටද දෙවි පිළිගන්නා ආකාරයේ ජීවිතයක් ගත කිරීමටත් සදාකාල ජීවිතය ගැන බලාපොරොත්තුවක් ඇතුව සිටීමටත් හැකියි. (1 තිමෝ. 4:16) යෙහොවා දෙවිට හා යේසුස්ට ප්‍රශංසා කිරීම සඳහා අපගේ කාලය හා ශක්තිය උපරිමයෙන් වැය කිරීම කොතරම් වටිනවාද! (මාක් 12:28-30) පාපයෙන් සම්පූර්ණයෙන් මිදී, දෙවි මුලින් අරමුණු කළ ආකාරයේ පරිපූර්ණ ජීවිතයක් ගත කරමින් අප සියලුදෙනාටම සදාකාලයටම ජීවත් වීමට ලැබීම මොන තරම් දෙයක්ද! එවැනි ජීවිතයක් අපට ලැබෙන්නේ යෙහෝවා දෙවි අපගේ ගැලවීම වෙනුවෙන් කර ඇති දේවල් නිසයි.—රෝම 8:21.

[පාදසටහන]

^ 3 ඡේ. වර්ෂ 1918 සිට 1919 අතර කාලයේ ලොව ජනගහනයෙන් සියයට 20 සිට 50 දක්වා පිරිසකට ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී තිබෙනවා. ඉන් සියයට 1 සිට 10 දක්වා පිරිසක් මිය ගියා. කෙසේවෙතත් කලාතුරකින් වැලඳෙන ඉබෝලා වෛරසය නිසා සමහරවිට සියයට 90ක් පමණ රෝගීන් මිය ගොස් තිබෙනවා.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• ඔබට ගැලවීම අත්‍යවශ්‍ය ඇයි?

• යේසුස් කළ පරිත්‍යාගය ඔබට බලපාන්නේ කොහොමද?

• යෙහෝවා දෙවි ලබා දුන් ජීවිත පූජාව නමැති ත්‍යාගය ගැන ඔබට හැඟෙන්නේ කොහොමද?

• ඔබේ ගැලවීම වෙනුවෙන් යෙහෝවා දෙවි කර ඇති දේ අගය කරන බව පෙන්වන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[27වන පිටුවේ පින්තූරය]

සමඟි කිරීමේ දවසේදී උත්තම පූජකයාගෙන් නියෝජනය වුණේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්වයි

[28වන පිටුවේ පින්තූරය]

තම පුත්‍රයාව පූජා කිරීමට ආබ්‍රහම් කැමැත්තෙන් ඉදිරිපත් වීමෙන් යෙහෝවා දෙවි කළ උතුම් පරිත්‍යාගය ගැන අපට බොහෝ දේ උගන්වනවා