Skip to content

පටුනට යන්න

ක්‍රිස්තුස් තුළ තිබූ ආකල්පය ඔබත් ඇති කරගන්න

ක්‍රිස්තුස් තුළ තිබූ ආකල්පය ඔබත් ඇති කරගන්න

ක්‍රිස්තුස් තුළ තිබූ ආකල්පය ඔබත් ඇති කරගන්න

‘ක්‍රිස්තුස් යේසුස්ට තිබූ ආකල්පයම ඔබ තුළත් ඇති කරගන්න.’—රෝම 15:5.

1. අප යේසුස්ව අනුකරණය කළ යුත්තේ ඇයි?

‘මා වෙතට එන්න’ යන හද උණුසුම් කරවන ආරාධනය දුන් යේසුස් ඊළඟට පැවසුවේ ‘මා මෘදු ගුණැති නිහතමානී සිතක් ඇති කෙනෙකු බැවින් මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙන්නේය’ කියායි. (මතෙ. 11:28, 29) එම ප්‍රේමණීය ආරාධනයෙන් පැහැදිලි වන්නේ ඔහුට ජනයා කෙරෙහි තිබූ ආකල්පයයි. ඔහු සියලු බලැති දෙවිගේ එකම පුත්‍රයා වුණත් ඔහුට කොතරම් බලයක් හා අධිකාරියක් තිබුණත් මිනිසුන් සමඟ කටයුතු කළේ අනුකම්පාසහගත හා මෘදු ආකාරයටයි. එය විශේෂයෙන්ම අද්දැක්කේ අසරණ ජනයායි. අපට අනුකරණය කිරීමට මිනිසුන් අතර ඔහු තරම් පරිපූර්ණ ආදර්ශයක් තවත් නැහැ.

2. අපි මෙම ලිපි තුනෙන් සලකා බලන්නේ කුමක්ද?

2 අප මෙම ලිපියෙන් සහ ඊළඟ ලිපි දෙකෙන් සලකා බලන්නේ “ක්‍රිස්තුස්ගේ මනස” ඇතුව කටයුතු කරන්නේ කෙසේද යන්න ගැනයි. (1 කොරි. 2:16) යේසුස් විදහා පෙන්වූ මෘදුකම, නිහතමානීකම, කරුණාවන්තකම, කීකරුකම, ධෛර්යය හා ප්‍රේමය ගැන මෙම ලිපි තුනෙන් අපි සලකා බලනවා.

යේසුස් පෙන්වූ මෘදුකම හා නිහතමානීකම

3. (අ) නිහතමානීකම ගැන යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්වූ පාඩම කුමක්ද? (ආ) තම අනුගාමිකයන් අතින් අඩුපාඩුකම් සිදු වූ විට යේසුස් ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද?

3 දෙවිගේ පරිපූර්ණ පුත්‍රයා ලෙස යේසුස් පව්කාර මිනිසුන් අතරට පැමිණ සේවය කිරීමට ඉදිරිපත් වුණේ කැමැත්තෙන්මයි. ඔවුන්ගෙන් සමහරුන් තමාව මරණයට පත් කිරීමට නියමිත බවද ඔහු දැන සිටියා. ඒ වුණත් ඔහු තමාවම පාලනය කරගනිමින් ඔහුගේ ප්‍රීතිය දිගටම පවත්වාගත්තා. (1 පේතෘ. 2:21-23) අපත් යේසුස්ගේ ආදර්ශය දෙස ‘මහත් ඕනෑකමින් බලනවා’ නම් අන් අයගේ දුර්වලකම් ඉදිරියෙහි අපවම පාලනය කරගනිමින් අපගේ ප්‍රීතිය දිගටම පවත්වාගත හැකියි. (හෙබ්‍රෙ. 12:2) ‘තමාගේ වියගහ යටට’ ඇවිත් තමාගෙන් ඉගෙනගන්න කියාත් යේසුස් තම අනුගාමිකයන්ට ආරාධනා කළා. (මතෙ. 11:29) ඔවුන්ට ඔහුගෙන් ඉගෙනගත හැකි වුණේ කුමක්ද? එක් දෙයක් නම් ඔහුගේ මෘදුකමයි. ඔහු තම අනුගාමිකයන් අතින් වැරදි සිදු වන විට ඔවුන් සමඟ ඉවසීමෙන් කටයුතු කළේ ඒ නිසයි. එමෙන්ම යේසුස් මිය යෑමට පෙර දින රාත්‍රියේදී ඔහුගේ අනුගාමිකයන්ගේ පාද සේදීමෙන් “නිහතමානී සිතක්” ඇතුව සිටීම ගැන ඔවුන්ගේ මනසේ නොමැකෙන සටහනක් තැබුවා. (යොහන් 13:14-17 කියවන්න.) එමෙන්ම පසු අවස්ථාවකදී පේතෘස්, යාකෝබ් සහ යොහන් ‘සෝදිසියෙන් සිටීමට’ අසමත් වූ අවස්ථාවේදීද යේසුස් ඔවුන්ගේ දුර්වලකම් ගැන අනුකම්පාවෙන් පෙලඹී මෙසේ පැවසුවා. ‘සීමොන්, ඔබ නිදිද? වරදට නොපෙලඹෙන පිණිස සෝදිසියෙන් සිට යාච්ඤා කරන්න. සිත නම් කැමතිය, නමුත් මාංසය දුර්වලය.’—මාක් 14:32-38.

4, 5. අන් අයගේ දුර්වලකම් සමඟ කටයුතු කිරීමට යේසුස්ගේ ආදර්ශය අපට උපකාරවත් වන්නේ කොහොමද?

4 සෙසු ක්‍රිස්තියානියෙක් තරඟකාරී ස්වභාවයක් පෙන්වන හෝ ඉක්මනින්ම කෝප වන කෙනෙක් නම් වැඩිමහල්ලන්ගේ හෝ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දෙන මඟ පෙන්වීම් පිළිගැනීමට පසුබට වන කෙනෙක් නම් අප ඔවුන් සමඟ කටයුතු කරන්නේ කෙසේද? (මතෙ. 24:45-47) සමහරවිට ක්‍රිස්තියානි නොවන කෙනෙක් එවන් ස්වභාවයක් විදහා පෙන්වන විට එය ගණන් නොගෙන සිටීමට පහසු වුණත් අපගේ සහෝදරයෙක් එසේ කටයුතු කරන විට එය ගණන් නොගෙන සිටීම අපහසු විය හැකියි. එවැනි අවස්ථාවලදී අප තුළ ඉක්මනින්ම කෝප වීමේ ස්වභාවයක් ඇති වෙනවා නම් ‘මට “ක්‍රිස්තුස්ගේ මනස” මීට වඩා හොඳින් විදහා පෙන්වන්න පුළුවන් කොහොමද’ කියා කල්පනා කිරීම සුදුසුයි. තම අනුගාමිකයන් තුළ වැරදි ගුණාංග බොහෝමයක් යේසුස් දුටුවත් ඔහු ඔවුන් සමඟ අමනාප වී ක්‍රියා නොකළ බවද මතක තබාගනිමු.

5 එය තහවුරු කළ මේ අවස්ථාව සලකා බලන්න. ඔරුවෙන් බැස වතුර මත තමා වෙතට ඇවිදගෙන එන්න කියා යේසුස් පේතෘස්ට පැවසූ විට ඔහු යම් දුරක් ඇවිද ආවා. නමුත් කුණාටුව දෙස බැලූ ඔහු බිය වී ගිලෙන්න පටන්ගත්තා. “හොඳ වැඩේ! මං හිතුවා ඕක වෙයි කියලා” කියා යේසුස් පැවසුවාද? කොහෙත්ම නැහැ. ඒ වෙනුවට “යේසුස් අත දිගු කර ඔහුව අල්ලාගත්තේය. එවිට යේසුස් ඔහුට කතා කොට: “ඇදහිල්ල [විශ්වාසය] හීන තැනැත්ත, ඔබ තුළ සැකයක් ඇති වීමට ඉඩ දුන්නේ මන්ද” කියා ඔහුගෙන් ඇසුවා. (මතෙ. 14:28-31) යේසුස් පෙන්වූ මෘදුකමින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? අපත් සෙසු ක්‍රිස්තියානියෙකුගේ දුර්වලකමක් හෝ අඩුපාඩුවක් දකින විට ඔහුට එය නිවැරදි කරගෙන දෙවිට වඩාත් ළං වීමට උපකාර කිරීම අවශ්‍යයි.

6. උතුම්ම තැනැත්තා පිළිබඳව යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්නුවේ කුමක්ද?

6 යේසුස් නිහතමානීකම පෙන්වූ අවස්ථාවක් ගැන දැන් අපි බලමු. තමන් අතර උතුම්ම තැනැත්තා කවුද යන්න ගැන යේසුස්ගේ අනුගාමිකයන් අතර දිගින් දිගටම වාද ඇති වුණා. එමෙන්ම යේසුස්ගේ රාජ්‍යයේ ඔහුගේ දෙපසින් වාඩි වීමට යාකොබ්ට හා යොහන්ට අවශ්‍ය වුණා. පේතෘස් සහ අනිකුත් අනුගාමිකයන්ට එය ආරංචි වූ විට ඔවුන්ට හොඳටම කේන්ති ගියා. එවන් ආකල්ප ඔවුන්ගේ මනස්වලට ඇතුල් වුණේ ඔවුන් ජීවත් වූ සමාජයෙන් බව යේසුස් දැන සිටියා. ඒ නිසා ඔහු ඔවුන්ව තමා වෙතට කැඳවා මෙසේ පැවසුවා. “ජාතීන්ගේ පාලකයන් ඔවුන් කෙරෙහි අනිසි ලෙස බලය පවත්වන බවත් උත්තමයන් ඔවුන් කෙරෙහි ආධිපත්‍යය පතුරුවන බවත් ඔබ දන්නහුය. නමුත් ඔබ අතර එසේ නොවේ. ඔබ අතරෙහි උතුම් වන්න ඕනෑ කරන යමෙක් සිටී නම්, ඔහු ඔබේ සේවකයා විය යුතුය. ඔබ අතරෙහි ප්‍රථමයා වන්න ඕනෑ කරන යමෙක් සිටී නම්, ඔහු ඔබේ දාසයා විය යුතුය.” ඊළඟට තමා ගැනම සඳහන් කරමින් යේසුස් පැවසුවේ ‘මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොව, සේවය කිරීමටත් බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කිරීමටත්ය’ කියායි.—මතෙ. 20:20-28.

7. එක්සත්කමට දායක වෙන්න අපි එකිනෙකාට පුළුවන් කොහොමද?

7 යේසුස්ට තිබූ නිහතමානී ආකල්පය අනුකරණය කිරීම අපගේ සහෝදර සහෝදරියන් අතර ‘සුළු තැනැත්තෙකු මෙන්’ හැසිරීමට අපට උපකාරයක්. (ලූක් 9:46-48) එය අප අතර ඇති එක්සත්කමට දායක වෙනවා. එමෙන්ම අප සියල්ලන්ගේ පියා වන යෙහෝවා දෙවිද ආශා කරන්නේ තම දරුවන් “එකමුතුව ජීවත්” වෙනවා දැකීමටයි. (ගීතා 133:1, නව ලොව පරිවර්තනය, NW) යේසුස්ද තම පියාට යාච්ඤා කළේ ‘ඔබ මාව එවූ බවත් ඔබ මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ට ප්‍රේම කළ බවත් ලෝකය දැනගැනීම’ සඳහා සියලුම ක්‍රිස්තියානීන්ව එක්සත් කරන්න කියායි. (යොහ. 17:23) අප අතර ඇති එක්සත්කම අප ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන් බවට පැහැදිලි සාක්ෂියක්. එය දිගටම පවත්වාගැනීමට නම් ක්‍රිස්තුස් අන් අයගේ අඩුපාඩුකම් සමඟ ක්‍රියා කළ ආකාරයට අපත් ක්‍රියා කළ යුතුයි. යේසුස් අන් අයට සමාව දුන්නා. ඒ වගේ අපත් අන් අයට සමාව දෙනවා නම් පමණයි අපටත් සමාව ලැබෙන්නේ කියා යේසුස් පැවසුවා.—මතෙව් 6:14, 15 කියවන්න.

8. අවුරුදු ගණනාවක් පුරා යේසුස්ව අනුකරණය කර ඇති ක්‍රිස්තියානීන්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද?

8 අවුරුදු ගණනාවක් පුරා යේසුස්ව හොඳින් අනුකරණය කර ඇති අයගේ ආදර්ශවලින්ද අපට බොහෝ දේ ඉගෙනගත හැකියි. යේසුස් මෙන් ඔවුන්ද බොහෝවිට අන් අයගෙන් සිදු වන අඩුපාඩුකම් හොඳින් තේරුම්ගෙන කටයුතු කර තිබෙනවා. ක්‍රිස්තුස් මෙන් අන් අයට දයාව පෙන්වීම, ‘ශක්තිමත් නොවන අයගේ දුර්වලකම් ඉසිලීම’ සඳහා පමණක් නොව සභාවේ එක්සත්කමටද දායක වන බව ඔවුන් ඉගෙනගෙන තිබෙනවා. එය ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය විදහා පෙන්වීමට මුළු සභාවටම දිරිගැන්වීමක්. එම විශ්වාසවන්ත සහෝදරයන්ගේ ආශාව වන්නේ එදා පාවුල්ට තිබූ ආශාවමයි. ඒ බව ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලියි. “විඳදරාගැනීම සහ සැනසිල්ල දෙන දෙවි ඔබට ක්‍රිස්තුස් යේසුස්ට තිබුණාවූ මානසික ආකල්පයම ඇතුව සිටින්න ඉඩ දේවා! එසේ ඉල්ලන්නේ එමගින් ඔබ එක්සිත්ව එක හඬින් අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ පියා වූ ඔහුගේ දෙවිව මහිමයට [ගෞරවයට] පත් කරන පිණිසය.” (රෝම 15:1, 5, 6) ඇත්තෙන්ම අප එක්සත්ව දෙවිට නමස්කාර කරද්දී එය ඔහුට විශාල ප්‍රශංසාවක් ගෙන දෙනවා.

9. යේසුස්ව අනුකරණය කිරීමට අපට දෙවිගේ බලය අවශ්‍ය ඇයි?

9 යේසුස් පැවසූ ලෙස නිහතමානී කෙනෙක් තුළ මෘදුකම තිබෙනවා. යේසුස් මෙන් අපත් මෘදුකම විදහා පෙන්වීමට නම් ඔහු ගැන ඉගෙනගන්නවාට අමතරව දෙවිගේ බලයේ උපකාරයද අවශ්‍යයි. මන්ද එය දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමෙන් හටගන්නා ගුණාංගයක්. ඒ නිසා අප “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල [විශ්වාසය], මෘදුකම, ආත්ම දමනය [තමාවම පාලනය කරගැනීම]” යන ගුණාංග වර්ධනය කරගැනීමට දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කළ යුතු අතර ඒ සඳහා වෑයමක්ද දැරිය යුතුයි. (ගලා. 5:22, 23) මෙසේ අප යේසුස්ව අනුකරණය කරමින් නිහතමානී හා මෘදු පුද්ගලයන් වන විට අපගේ ස්වර්ගික පියාව සතුටු කරන්න අපට හැකියි.

යේසුස් මෙන් අන් අයට කරුණාව පෙන්වමු

10. යේසුස් කරුණාවන්ත කෙනෙක් වුණේ කොහොමද?

10 කරුණාවන්තකමද දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වන ගුණාංගයක් වන අතර යේසුස් එයද කදිමට විදහා පෙන්නුවා. ඔහුගෙන් ඉගෙනගැනීමට අවංක ආශාවක් තිබූ අයව ඔහු ඉතා ‘කාරුණිකව පිළිගත්තා.’ (ලූක් 9:11 කියවන්න.) ඔහු ජනයා “එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි” බව දැක, ඔවුන් ගැන මහත් අනුකම්පාවෙන් පෙලඹී ක්‍රියා කළා. (මතෙ. 9:35, 36) ඉන් අපට ඉගෙනගත හැක්කේ කරුණාවන්ත කෙනෙක් ඉතා මිත්‍රශීලී මෙන්ම අනුකම්පාසහගත බවයි.

11, 12. (අ) යේසුස් කාරුණාව පෙන්වූ අවස්ථාවක් ගැන උදාහරණයක් දෙන්න. (ආ) එම ආදර්ශයෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?

11 යේසුස් තම කරුණාවන්තකම වචනයට පමණක් සීමා නොකළ බව මෙම උදාහරණයෙන්ද පැහැදිලි වෙනවා. අවුරුදු 12ක් පුරා අසාමාන්‍ය ලෙස ලේ ගැලීමක් නිසා රෝගී වූ ස්ත්‍රියක් සිටියා. මෝසෙස්ට දුන් නීතියට අනුව ඇය හා ඇයව ස්පර්ශ කරන ඕනෑම කෙනෙක් අපවිත්‍ර වන බව ඇය හොඳින් දැන සිටියා. (ලෙවී. 15:25-27) ඒ වුණත් ඇය යේසුස් ගැන අසා තිබූ දේවල් නිසා තමාව සුව කිරීමට ඔහුට හැකි බවටත් ඔහු එසේ කරන බවටත් දැඩි විශ්වාසයක් ඇයට තිබුණා. ඒ නිසා “ඔහුගේ පිට වස්ත්‍ර විතරක්වත් ඇල්ලුවොත් මා සුව වෙන්නේය” කියා ඇය තම සිතින් කියාගත්තා. ඉන්පසු ධෛර්යය වඩවාගත් ඇය එසේ කළ අතර එමගින් ක්ෂණිකව සුවය ලැබුවා.

12 කවුරුන් හෝ තමාව ස්පර්ශ කළ බව දැනගත් යේසුස් වට පිට බැලුවා. නීතිය බරපතළ ලෙස උල්ලංගනය කිරීම නිසා එම ස්ත්‍රිය සිටියේ භයෙන් වෙවුලමිනුයි. ඒ නිසා ඇය යේසුස්ගේ දෙපා ළඟ වැටී සිදු වූ සියල්ල ඔහුට පැවසුවා. එවිට යේසුස් එම අසරණ ස්ත්‍රියට බැණවැදුණාද? කොහෙත්ම නැහැ! ඒ වෙනුවට ඔහු “දියණියෙනි, ඔබේ ඇදහිල්ල [විශ්වාසය] ඔබව සුව කළේය. සමාදානයෙන්” යන්න කියා කාරුණිකව ඇයට පැවසුවා. (මාක් 5:25-34) ඇයට ඒ වචන මොන තරම් සහනයක් ගෙන දෙන්න ඇද්ද!

13. (අ) යේසුස් පරිසිවරුන්ට වඩා වෙනස් වුණේ කොහොමද? (ආ) ඔහු කුඩා දරුවන්ට සැලකුවේ කොහොමද?

13 සාමාන්‍ය ජනයා ගැන කිසිම හැඟීමක් නොතිබූ පරිසිවරුන් මෙන් යේසුස් කෙදිනකවත් තම අධිකාරිය අයුතු ලෙස යොදාගත්තේ නැහැ. (මතෙ. 23:4) ඔහු යෙහෝවා දෙවි ගැන ජනයාට ඉගැන්නුවේ කාරුණික හා ඉවසිලිවන්ත ගුරුවරයෙකු ලෙසයි. ඔහු තම අනුගාමිකයන්ට ප්‍රේමණීය, කාරුණික මෙන්ම දුකේදී පිහිට වන සැබෑ මිතුරෙක් වුණා. (හිතෝ. 17:17; යොහ. 15:11-15) යේසුස් ළඟට පැමිණීමට කුඩා දරුවන්ට පවා කිසිම බියක් දැනුණේ නැහැ. ඔහු කොතරම් කාර්යබහුල වුණත් දරුවන් සමඟ කාලය ගත කිරීමටද ඔහු අමතක කළේ නැහැ. ඊට මේ උදාහරණය බලන්න. ජනයා තම දරුවන්ව යේසුස්ගෙන් ආශීර්වාද ලබාගැනීමට ඔහු වෙතට ගෙන එන අවස්ථාවේදී තම අනුගාමිකයන් ඔවුන්ව වළක්වන්න උත්සාහ කරනවා යේසුස් දුටුවා. තමා උතුම් යන ආකල්පය ඔවුන්ට තවමත් තිබෙන බව තේරුම්ගත් යේසුස් ඔවුන්ට මෙවැනි දෙයක් පැවසුවා. “කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. ඔවුන්ව වළක්වන්න උත්සාහ නොකරන්න. මන්ද, දෙවිගේ රාජ්‍යය අයිති එවැනි අයටය.” ඊළඟට ඔහු කුඩා දරුවෙකුව ඔවුන් ඉදිරියේ සිටුවා වැදගත් යමක් පැවසුවා. “සැබවින්ම මම ඔබට කියමි, කුඩා දරුවෙකු මෙන් දෙවිගේ රාජ්‍යය පිළි නොගන්නා කිසිවෙක් කිසිසේත් ඊට ඇතුල් නොවන්නේය.”—මාක් 10:13-15.

14. දරුවන් ලබන සැලකිල්ල නිසා ඔවුන් තේරුම්ගන්නේ කුමක්ද?

14 එදා යේසුස් වෙතට පැමිණි දරුවන් ගැන ටිකක් සිතන්න. ඔවුන් වැඩිහිටියන් වූ පසු, යේසුස් තමන්ව ‘තුරුළු කරගෙන ආශීර්වාද’ කළ ආකාරය මතක් වෙද්දී ඔවුන්ට ඒ ගැන කොහොම හැඟෙන්න ඇද්ද! (මාක් 10:16) අද දිනත් ක්‍රිස්තියානි සභාවේ සිටින දරුවන් වැඩිහිටියන් වූ පසු වැඩිමහල්ලන්ගෙන් හා අනිකුත් අයගෙන් ලැබූ අවංක සැලකිල්ල ගැන ආදරයෙන් සිහිපත් කරනවාට කිසිම සැකයක් නැහැ. ඒ සියල්ලටම වඩා ඉන් ඔවුන් තේරුම්ගන්නේ දෙවිගේ බලය ඔහුගේ ජනයාට තිබෙන බවයි.

අකරුණාවන්ත ලොවක කරුණාව පෙන්වීම

15. අද දින කරුණාවන්තකම අඩු වීම ගැන අප පුදුම නොවිය යුත්තේ ඇයි?

15 බොහෝදෙනා පවසන්නේ අන් අයට කරුණාව පෙන්වන්න තරම්වත් තමන්ට වෙලාවක් නැති බවයි. එවැනි සමාජයක ජීවත් වන අපට පාසැලේදී, රැකියාවේදී, ගමන්බිමන් යද්දී හා දේවසේවයේදී අකරුණාවන්ත දේවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒවා නිසා අප යම් ආකාරයකින් අධෛර්යයට පත් වුණත් ඒ ගැන පුදුම වන්නේ නැහැ. ඊට හේතුව මෙම ‘අන්තිම දවස්වලදී මුදලට ප්‍රේම කරන, ජන්ම ස්නේහය නැති’ මිනිසුන් සිටින බව බයිබලයේ කලින්ම පවසා තිබීමයි.—2 තිමෝ. 3:1-3.

16. සෙසු ක්‍රිස්තියානීන්ට කරුණාව පෙන්විය හැකි ආකාර මොනවාද?

16 අද සමාජයේ තත්වය එය වුණත් ක්‍රිස්තියානි සභාව තුළ නම් පවතින්නේ එකිනෙකාව ගොඩනංවන ප්‍රීතිමත් ස්වභාවයක්. යේසුස්ව අනුකරණය කරමින් ඊට දායක වන්න අප සෑම කෙනෙකුටම හැකියි. ඒ කොහොමද? අප සභාව තුළ සිටින අසනීප හෝ වෙනත් දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන අයට අවශ්‍ය උපකාර ලබා දීමට අපට හැකියි. මෙම “අන්තිම දවස්වලදී” එවන් දුෂ්කර තත්වයන් එන්න එන්නම වැඩි වුණත් ඒවා අලුත් දේවල් නොවෙයි. එදා සිටි ක්‍රිස්තියානීන්ද ඒ හා සමාන තත්වයන්ට මුහුණ දුන්නා. අද මෙන් ඊට මුහුණ දීමට ඔවුන්ට උපකාරවත් වුණේ සෙසු ක්‍රිස්තියානීන්ගෙන් ලැබුණු නොමද සහයෝගයයි. දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන අය වෙනුවෙන් කළ යුතු දේ ගැන පාවුල් මෙසේ පැවසුවා. “අධෛර්යයට පත්ව සිටින අයට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා කරන මෙන්ද දුර්වලයන්ට උපකාර කරන මෙන්ද සියල්ලන් ගැන බොහෝ සෙයින් ඉවසන මෙන්ද අපි ඔබට උනන්දු කරමු.” (1 තෙස. 5:14) ඒ සඳහා ක්‍රිස්තුස් පෙන්නුවා හා සමාන කරුණාවන්තකමක් ක්‍රියාවෙන් පෙන්වීම අවශ්‍යයි.

17, 18. යේසුස් මෙන් කරුණාවන්ත වීමට අපට පුළුවන් කොහොමද?

17 යේසුස් මෙන් අපගේ සහෝදර සහෝදරියන්ව ‘සාදරයෙන් පිළිගැනීම’ අපගේ වගකීමයි. යේසුස් අද පොළොව මත සිටියා නම් ඔහු අපගේ සහෝදර සහෝදරියන්ට කෙසේ සලකයිද? ඒ ආකාරයට අපත් ඔවුන්ට සලකන්න අවශ්‍යයි. අවුරුදු ගණනාවක් පුරා දැනහඳුනන අයට පමණක් නොව මීට පෙර කවදාවත් මුණගැසී නැති අයටත් අප එසේ කළ යුතුයි. (3 යොහ. 5-8) අන් අයට කරුණාව පෙන්වීමට යේසුස් මුල් පියවර ගත් ලෙසම අපත් ඊට මුල් පියවර ගෙන අන් අයට සහනයක් ලබා දීමට කටයුතු කරමු.—යෙසා. 32:2; මතෙ. 11:28-30.

18 අප එක් එක් කෙනා අන් අයගේ යහපත වෙනුවෙන් අපට හැකි දේ කර ඔවුන්ගේ තත්වයන් තේරුම්ගැනීමෙන් යේසුස් මෙන් ඔවුන්ට කරුණාව පෙන්වමු. පාවුල් ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ “ප්‍රේමයෙන් යුතුව එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න. එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න” කියායි. (රෝම 12:10) ඉන් අදහස් කරන්නේ ක්‍රිස්තුස් මෙන් අන් අයට කාරුණිකව සැලකීම හා “කුහකකමින් තොර වූ ප්‍රේමය” පෙන්වීමට අප ඉගෙනගත යුතු බවයි. (2 කොරි. 6:6) පාවුල් එවැනි ප්‍රේමයක් විස්තර කළේ මෙසේයි. “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. කරුණාවන්තය. ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත. පුරසාරම් දොඩන්නේ නැත. අහංකාර වන්නේ නැත.” (1 කොරි. 13:4) අපට එවැනි ප්‍රේමයක් තිබෙනවා නම් අපි සෙසු සහෝදරයෙක් හෝ සහෝදරියක් කළ කී දෙයක් නිසා අමනාප වන්නේ නැහැ. ඒ වෙනුවට අප කළ යුත්තේ මෙයයි. “එකිනෙකාට කරුණාවද ගැඹුරු දයානුකම්පාවද පෙන්වන්න. දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔබට මුළු හදවතින්ම කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට මුළු හදවතින්ම කමා කරන්න.”—එෆී. 4:32.

19. යේසුස් පෙන්වූ කරුණාවන්තකම අනුකරණය කිරීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

19 යේසුස් මෙන් සෑම අවස්ථාවකදීම අන් අයට කරුණාවන්තව සැලකීමට උත්සාහ කිරීම අපට බොහෝ ආශීර්වාද ගෙන දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ බලය සභාවේ සියලුදෙනා තුළ වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වීමට පටන්ගනියි. එවිට යහපත් ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගෙන ඒවා විදහා පෙන්වීමට අප සියලුදෙනාටම හැකි වෙනවා. ඊට අමතරව අප යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරමින් එසේ කිරීමට අන් අයටත් උපකාර කරන විට අප එක්සත්ව කරන නමස්කාරය ගැන යෙහෝවා දෙවි බොහෝ සේ සතුටු වෙනවා. ඒ නිසා අපි අන් අය සමඟ කටයුතු කරන විට යේසුස් විදහා පෙන්වූ මෘදුකම හා කරුණාවන්තකම අනුකරණය කිරීමට දැඩි වීර්යයක් දරමු.

ඔබට මතකද?

• තමන් “මෘදු ගුණැති නිහතමානී සිතක් ඇති කෙනෙකු” බව යේසුස් පෙන්නුවේ කොහොමද?

• යේසුස් කරුණාවන්තකම පෙන්නුවේ කොහොමද?

• යේසුස් මෙන් අපටත් මෘදුකම සහ කරුණාවන්තකම පෙන්විය හැකි ආකාර මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ පින්තූරය]

පේතෘස්ට මෙන් අපගේ සහෝදරයන්ටත් දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය අඩු වන අවස්ථාවලදී අප ඔවුන්ට උපකාර කරන්න සූදානම්ද?

[10වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි සභාව නැවුම් බවක් ගෙන දෙන ස්ථානයක් කිරීම සඳහා ඔබට දායක වෙන්න පුළුවන් කොහොමද?